Sunday, 20 April 2025

නාය භුමි ප්‍රතිස්ථාපනය සහ අධ්‍යාපන සංචරණය

පත්මෙගේ භූ විද්‍යා අන්දර  13

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

නාය භුමි ප්‍රතිස්ථාපනය ශ්‍රී ලංකාවට අලුත් කාර්යයක් නොවුනත් එමගින් ලැබිය හැකි ප්‍රතිලාභ ගැන තවමත් අප උනන්දු නැති බවයි මගේ හැඟීම වන්නේ. එන්න එන්නටම කණ්ඩි කඩා වැටීමේ ප්‍රවණතාවය වැඩි වෙම්න් පැවතීම සනිටුහන් කරන්නේ ජනතාව විසින් කඳුකරයට සිදුකරන බලපෑමේ තරමයි. ජනතාව විසින් කඳුකර භූමියට එල්ල කරන පීඩාව නැවත  ජනතාවටම භුක්ති විඳින්නට වන්නේ මෙවැනි ආපදා හරහා බව අමතක නොකළ යුතුය.

ජනතාවගේ දැනුවත් බවය මෙහිදී ඉතා වැදගත්ය. එනිසා මෙවැනි ආපදා අවම කරගැනීමත්, එමගින් සිදුවන බලපෑම අවම කරගැනීමටත් අප වග බලා ගත යුතුය. හපුතලේ කහගොල්ල නම් ස්ථානයේ  වසර පනහකට පමණ පෙර සිට ක්‍රියාත්මක වූ නායක් විය. එය ඉතා සෙමෙන් ක්‍රියත්මක වන වර්ෂා කාලයේදී පමණක් සක්‍රිය වන නායකි. එහි බලපෑමෙන් හපුතලේ බදුල්ල ප්‍රධාන මාර්ගය නිරන්තරව හානියට ලක් වූ අතර සැමවිටම වර්ෂාවෙන් පසුව ප්‍රතිසංස්කරණය කරන්නට සිදු විය. එය වසර පහකට පමණ පෙර ප්‍රතිස්ථාපනය කරන ලදින් දැන් එම බලපෑම තුරන් වි ඇත.

භූ අභ්‍යන්තරයේ වූ කිරිගරුඬ පාෂාණයේ ඇති වූ කුහර තුල මෙම නාය ඇදී යන්නට ඇතැයි භූ විද්‍යාඥයින් විශ්වාස කරයි. එනිසාම අසල වූ ගෙවල් මන්ඩියට මෙමගින් කරදරයක් සිදු වුයේ නැත. ප්‍රතිස්ථාපනය සඳහා විශාල මුදලක් වැය විය. වර්තමානයේ මාර්ගය අවහිර වීමකින් තොරව ප්‍රවාහනය හොඳින් පවත්වාගෙන යාමට හැකි වි තිබේ.

මෙයට අමතරව මෙම ස්ථානය සංචාරක නවාතැනක් ලෙස භාවිත කිරීමේ හැකියාව ඇත. ඒ මෙරට ජනතාවට පමණක් නොව පිටරැටියන්ට පවා නාය ආපදාව ගැන ඉගෙන ගැනීමට හැකි තැනක් ලෙස වැඩි දියුණු කිරීමෙනි.  මෙම ස්ථානයේ භූ විද්‍යත්මක පසුබිම ගැන ද, සොබාවික නායක ස්වරුපය ගැන ද  ප්‍රතිස්ථාපනය කරන ලද ආකාරය ගැන ද අධ්‍යාපනයක් ලබා දිය හැකි තොරතුරු මධ්‍යස්ථානයක් සහිත කෞතුකාගාරයක් ස්ථාපනය කල යුතුය.

සංචරණය මගින් ආපදා ගැන දැනුවත් වීමට මෙම ස්ථානය කදිම ස්ථානයකි. ඉතා අපුරු භූ දර්ශයක් මවන මෙම ස්ථානය සංචාරක කර්මාන්තයට නම් මහඟු ස්ථානයක් බව කිව යුතුය. නවතාවයකි යුතුව මෙවැනි ස්ථාන ප්‍රචලිත කිරීමටත් එමගින් ආර්ථිකයට යම් මුදලක් එකතු කරගැනීමට  මෙරට බලධාරීන් පියවර ගන්නේ නම් මෙය මහඟු අවස්ථාවකි.

මෙවැනි ස්ථාන බොහෝ ප්‍රමාණයක් මෙරට ඇති බව මතක තබා ගත යුතුය. නිසි කළමනාකරණයකින්  යුතුව මෙවැනි නවෝත්පාදන සඳහා අතගැසීමෙන් දැනුවත්භාවය ලබා දෙන අතර ආර්ථිකයට ද යම් සහනයක් ලබා දිය හැකි වේ. නවතාවකින් යුතුව සිතීමෙන් මෙරට දියුණුවට ඔබට ද යම් දෙයක් එකතු කල හැකි වේ.

 

 

 

No comments:

  Soilbioengineering පත්මෙගේ භූ විද්‍යා අන්දර   15 ආචාර්ය පත්මකුමාර ජයසිංහ ශාක සහ පස අතර ඇත්තේ කදිම සම්බන්ධයක්. එය එක්තරා ආකාරයකට පවති...