2015 නොවැම්බර් 25 බදාදා
කැලණි ගඟ සබරගොමුව සරුසාර කරන එක් ජල සම්පතකි. ඔබ අප සැවොම හොඳින් දන්නා පරිදි කුඩා ජල දහරක් ලෙස ශ්‍රීපාද අඩවියෙන් පටන් ගන්නා මේ ගංගාවේ මුල් අවස්‌ථාව සීත ගඟුලයි. නමේ හැටියට ම සීතල වතුර පිරි මේ ජල දහර ශ්‍රීපාද වන්දනාවේ යන බැතිමතුන් ගේ වෙහෙස නිවන්නට බොහෝ උපකාරී වෙයි. එලෙස සලකන මේ දිය දහරට අප ජනතාව ගෙන් නම් එතරම් හොඳ ප්‍රතිඋපකාරයක් නො ලැබෙන බව ය පෙනෙන්නේ. ඒ බැතිමතුන්
රැගෙන යන ආහාර සහ පොලිතින් ඇතුළු අප ද්‍රව්‍ය කිසිදු වග විභාගයක් නොමැති ව එයට අතහරින බැවිනි. ශ්‍රී ලංකාවේ, පටන් ගැන්මේ පටන් ම දූෂණයට ලක් වන ගංගාවලට කැලණි ගඟ ද හොඳ උදාහරණයකි.
අද සිට තවත් මාසයකින් එනම් ලබන දෙසැම්බරයේ පසළොස්‌වක දින මෙවරත් ශ්‍රීපාද වන්දනාව පටන් ගැනීමට නියමිත ය. මාස පහක පමණ කාලයක් පුරා දිවෙන මේ වන්දනා මුරය අවසන් වන විට අවට පරිසරය බොහෝ දූෂණය වෙයි. බොහෝ දෙනකු මෙවර වන්දනාව සදහා දැනටමත් සැලසුම් සකස් කර තිබෙනවා ඇත. ඒ අතර කෝඩුකාරයෝ ද පළපුරුදු ඇත්තෝ ද වෙති. පසුගිය වාරවල ඔබ කෙසේ ශ්‍රීපාදය වන්දනා කළ ද මෙවර නව මානයකින් යුක්‌ත ව ශ්‍රීපාද වන්දනාවට සූදානම් වන්නේ නම් ඉතා හොඳ ය. ඒ සදහා අවට පරිසරය දූෂණය නො කර තමන් ගෙන යන සියලු දෑ අතරමග නො දමා ආපසු ඒමට සිතට ගත යුතු ය. විශේෂයෙන් ම ලක්‌ෂ ගණනාවකට පානීය ජලය සපයන මේ දිය දහර දූෂණය නො කරන්නට වගබලාගත යුතු ය. සපයා ඇති පහසුකම්වලින් තෘප්ත ව ඔබ අප මෙන්ම වූ තවත් සිය දහස් ගණනකට තම අභිලාෂයන් සපුරාගැනීමට අවස්‌ථාව සැලැස්‌වීමට මෙවර සිතට ගන්නේ නම් ඔබ සැබෑ බැතිමතකු වනවා නොඅනුමාන ය.
සීත ගඟුලෙන් පටන් ගන්නා මේ දිය දහර අවට නිම්නවලින් ගලා යන දිය දහරා ද එකතු කරමින් කැලණි ගඟ බවට පත් වන අතර වේගවත් බැස්‌මක් ඔස්‌සේ විශාල ජල කඳක්
රැගෙන එයි. වේගවත් බැස්‌ම ද සමගින් තැනින් තැන පවතින විශාල ඇලි අපූරු දිය ඇලි නිර්මාණය කරන අතර එය මනරම් සංචාරක ස්‌ථාන බිහි කිරීමට හේතු වී ඇත.
එවැන් ස්‌ථානයක් වන කිතුල්ගල ප්‍රදේශයේ දී හමු වන සුවිශේෂී භූ ලක්‌ෂණ ක්‌ෂණික වේගවත් ජල පහරවල් ද ජල පොකුණු ද නිර්මාණය කිරීම හේතුවෙන් ලෝ ප්‍රකට වික්‍රමාන්විත ජල ක්‍රීඩාවක් වන "ශ්වේත ජල තෙප්පම් පැදීම" කිතුල්ගල ප්‍රදේශයේ ස්‌ථානගත වී ඇත. පරිසරයේ ස්‌වාභාවික පිහිටීම මේ ප්‍රදේශයේ ජනතාවට ධන උල්පතක් පාදා දුන්න ද එම ස්‌වාභාවික සම්පත් රැකගැනීමට එම ප්‍රදේශවාසීන් තුළ ඇත්තේ ඉතා අඩු සැලකිල්ලක් බව කණගාටුවෙන් වුව ද පැවසිය යුතු ය.
සංචාරකයන් ගේ පැමිණීම නව හෝටල් සහ අවන්හල් බිහි වීමට හේතු වුව ද එමගින් කැලණි ගඟේ සිදු වන දූෂණ නම් බහුල ය. හතු පිපෙන්නාක් මෙන් මේ හේතුවෙන් දිනෙන් දින වැඩි වන ඉදිකිරීම් ද ක්‍රමානුකූල නැති බව පසුගිය දිනෙක අප කළ සමීක්‌ෂණයක දී ඉතා හොඳින් ගම්‍ය විය. ගඟ ද ඒ අවට රක්‌ෂිතය ද ආක්‍රමණය කරමින් සමහර ඉදිකිරීම් සිදු කර ඇති අතර ඒවා ගඟෙහි නිදහස් ගලනයට බාධාවක් වී ඇති බව බුද්ධියක් ඇත්තකුට හොඳින් වැටහිය යුතු ය. මුදල් සහ බලය පමණක් ම මූලික කරගෙන මෙවැනි සුන්දර ස්‌ථාන මේ ආකාරයට විනාශ වී යැමට ඉඩ දෙන බව හොඳින් පැහැදිලි ය. සංචාරක කර්මාන්තය රටෙහි ආර්ථික දියුණුවට කොතරම් වැදගත් වුව ද එමගින් පරිසරය ද සංස්‌කෘතිය ද අභියෝගයට ලක් කරන බව පෙනී යන කරුණකි. මේ ප්‍රදේශයේ දරුවන් ගේ අධ්‍යාපන තත්ත්වය ක්‍රමයෙන් කඩා වැටෙන බව ද හොඳින් පෙනී යයි. බොහොමයක් පිරිමි දරුවන් පාසල් යැම අතහැර පහසුවෙන් මුදල් සෙවිය හැකි "ජල ක්‍රීඩා" ප්‍රමුඛ සංචාරක කර්මාන්තයට යොමු වී ඇත. රටෙහි අනාගතය ද කැලණි ගඟෙහි අනාගතය ද විනාශ වන්නේ මේ ආකාරයට ය.
කැලණි ගඟෙහි වූ ගැඹුරු බැස්‌ම හේතුවෙන් වේගවත් ව ගලා යන ජලය යටියන්තොටට නුදුරෙන් වූ ඉහත්තාවේ දී සන්සුන් වන්නට පටන්ගනී. වේගයෙන් රැගෙන ආ ගංගාවේ අවසාදිත ඉවුර දෙකෙළවරේ තැන්පත් කරමින් දෙපස පෝෂණය කරයි. එහෙත් දශකයකට අධික කාලයක් තිස්‌සේ ගංවතුර පිටාර නො දමන්නේ ගඟෙහි ගැඹුර වැඩි වූ බැවිනි. ගඟෙහි ගැඹුර වැඩි වූයේ ස්‌වාභාවිකව නම් නො වේ. ඒ ද මිනිසා ගේ ක්‍රියාකාරකමක් හේතුවෙනි. ගොඩනැගිලි ඉදි කිරීම සදහා අවශ්‍ය වූ වැලි සැපයීම වෙනුවන් වසර සිය දහස් ගණනක් තිස්‌සේ තැන්පත් වූ වැලි සම්පත ඉතා සුළු කලෙකින් ගොඩ දැමීම මෙයට ප්‍රධාන හේතුවයි. ඉතා කෙටි කලකින් වැඩි වූ ගැඹුර ගඟෙහි දෙපස ඉවුර කඩා වැටෙන්න ද භූගත ජල නිධි වියළන්නට ද හේතු වී ඇත. ගඟ පත්ලේ වූ වැලි නිධි ගොඩ දැමීම තවත් ව්‍යසනයකට හේතු වෙයි. ඒ හංවැල්ල ප්‍රදේශයේ සිට ගඟ ක්‍රමයෙන් මුහුදු මට්‌ටමට වඩා පහත් වීමයි. එය ගඟෙහි නිදහස් ගලනයට බාධාවක් වන අතර මුහුදු ජලය ගඟ තුළට ගෙන ඒමට හේතු වේ. මුහුදු ජලය මිශ්‍ර වීමෙන් ජලයෙහි රසායනය වෙනස් වන අතර එම නිසා ජලජ ජීවීන් නිසැකව ම අනතුරට පත් වේ. ඔවුන් ගේ බිත්තර ද පැටවුන් ද විනාශ වීම හේතු කොටගෙන වටිනා ජලජ පරිසර පද්ධතියක පැවැත්ම බිඳ වැටේ. මුහුදු ජීවීන් ගේ ආක්‍රමණ ද මේ සදහා හේතු වේ. නාගරීකරණයේ ප්‍රතිඵල ඉතා ප්‍රබලව අත්විදින්නේ කැලණි ගඟයි. කොළඹ හා ඒ තදාසන්නයේ වූ කර්මාන්ත ශාලා තම අපද්‍රව්‍ය බොහොමයක් බැහැර කරන්නේ කැලණි ගඟට ය.
ශ්‍රී ලංකාවේ ජල සම්පත රැකගැනීම කෙරෙහි ඇත්තේ ඉතා අඩු උනන්දුවක් බව ඒ හා සබැඳි අනේකවිධ ක්‍රියාකාරකම් විශ්ලේෂණය කිරීමෙන් මනාව පැහැදිලි වේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ