Tuesday, 15 April 2025

සමනල වැව  කිරිගරුඬ

පත්මෙගේ භූ විද්‍යා අන්දර  13

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

සමනල වැව ජලාශය සැදීමට ප්‍රථම නිසි භූ විද්‍යත්මක සමීක්ෂණය සිදු නොවූ බව පැහැදිලිය. ජලාශයේ බැම්ම ආසන්නයේම කිරිගරුඬ පාෂාණය පැවතීමෙන් විශාල ජල කාන්දුවක් සඳහා හේතු විය. ජල කාන්දුව නතර කිරීමට මේ දක්වා හැකි වී නොමැත.

මේ සඳහා හේතුවන්නේ කිරිගරුඬ පාෂාණයේ ඇතිවුන කුහර බව මේ වන විට තහවුරු වි ඇත. මේ කුහර ඇතිවන්නේ මෙම කබෝනේට පාෂාණය දියවීම නිසා බව මතක තබා ගත යුතුය. දියවීම යනු පාෂාණ රසායනිකව ජීර්ණය වීමේ එක් ක්‍රමයකි. දියවීම සිදුවන්නේ හුණුගල, කිරිගරුඬ වැනි කබෝනේට පාෂාණ වලය. මෙම දියවීම ඇති විශාල කුහර නිර්මාණයට ද ගුහ නිර්මාණයට ද හේතු වේ.

කෙසේවෙතත් නිසි සමීක්ෂණයක් සිදු නොවීම නිසා ඇති වූ අකරතැබ්බය සමනල වැවෙහි නිසි ප්‍රයෝජන ලබා ගැනීමේ අවස්තාව අහිමි කර ඇත. නමුත් කාන්දුවෙන් ගිලිහි යන ජලය කුඩා විදුබලගාරයක විදුලි ජනනය සඳහා යොදාගැනීම අගය කල යුතුය. එමගින් අතහැරෙන ජලය රජවක ප්‍රදේහය හරහා ගලායන්නේ ඉතා අපුරු භූ රූපණ ඇති කරමිනි.

කාන්දුව පවතින ප්‍රදේශයේ ඇති කිරිගරුඬ පාෂාණය දියවීමෙන් ජලයට එකතුවන හුණු පහලට රැගෙන යන අතර නිසි පරිසරයේදී ඒවා අවක්ෂේපනය වීමෙන් මෙම හුණුගල භූ රූපණ නිර්මාණය වේ. මෙම මෘදු හුණුගල් අතිශය දැකුම් කලුය. ජලය ගලාගෙන යන පරිසරයේ ඇති හෙල්මළු සොබාවය නිසා කුඩා ළිං වැනි දියකඩිති සිමෙන්තියෙන් සෑදුවාක් මෙන් කදිම ව්‍යූහයන් සකස් කරයි.

මෙම අවක්ෂේපණය රසායනික ක්‍රියාවලියකි. කාබෝනේට වල ජල ද්‍රවයතාවය සිමා සහිත නිසාත් උෂ්ණත්වය අනුව එය වෙනස් වන නිසාත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා කල හැක. වැඩි උෂ්ණත්වයේ වැඩි කාබෝනේට සාන්ද්‍රණයක් පැවතීම ද එම ජලය අඩු උෂ්ණත්වයට පත්වන විට වැඩි සාන්ද්‍රණ ජලයෙන් ඉවත් වෙමින් අවක්ෂේප වීම ද සිදු වේ. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවීම නිසා මෙම ප්‍රදේශයේ මෙවැනි හුණුගල් භූ රූපණ රාශියක් ඉතා අලංකාරව බිහිවන්නට හේතු වී ඇත.

මේ අලංකරණය දකින තැනැත්තෝ සුපුරුදු පරිදි ඒවා තමන්ගේ කරගන්නට තැත් කරති ඒවා කඩා බිඳ රැගෙන යන්නට උත්සහ කරති. නමුත් මෙම පරිසරයේ දක්ම්කලු සොබාවය එවැනි කුඩා කැබැල්ලක් ගෙදර ගෙන යැමෙන් ලබා ගත නොහැකි බව හොඳින් මතක තබා ගත යුතුය. ඒ දේවල අයිති එම පරිසරයට වන අතර ඒවා නිර්මාණය වසර විස්සක් තිහක්වත් ගතවන බව ද සිහියේ තබා ගත යුතුය.

මෙවැනි සොබාවික නිර්මාණ ජාතික උරුමයන් ලෙස රැකගැනීම ගැන අප උනන්දු විය යුතුය.

 

 

 

 

Wednesday, 9 April 2025

 හොර්ටන් තැන්න

පත්මෙගේ භූ විද්‍යා අන්දර  12

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

හොර්ටන් තැන්න අප සතු ජතුජ සම්පතකි. එහි වෙසෙන සතුන් සහ ශාක උඩරට කඳුකරය නියෝජනය කරන ප්‍රජාවකි. මේ සියල්ල සඳහා පසුබිම සකස් කර ඇත්තේ එහි භූ විද්‍යාවයි. හෝර්ටන් තැන්නේ අසිරිය විඳින්නට නම් එහි භූ විද්‍යාත්මක පසුබිමත් දන සිටීම ඉතා වැදගත් වේ. ඒ සඳහා යම් තරමකට හෝ ඔබ සතුව භූ විද්‍යත්මක දැනුමක් තිබිය යුතුය. කෙසේ නමුත් හෝර්ටන් තැන්නේ භූ විද්‍යාත්මක පසුබිම කුමක්දැයි අප විමසා බලමු.

හෝර්ටන් තැන්න අයත්වන්නේ භූ විද්‍යාත්මකව උස්බිම් සංකීර්ණයට වන අතර මෙහි පවතින සියලු පාෂාණ ඉතා ඉහල උෂ්ණත්වයකට සහ ඉතා ඉහල පීඩනයකට ලක්ව බිහි වූ පාෂාණ වේ. මේවා ප්රොටේරෝසොයික් කාලවකවානුවට අයත් වන විපරිත පාෂාණ වේ. කරන ලද කාලනිර්ණයන්ට අනුව වසර මිලියන 2100 ක් පමණ පැරණි පාෂාණ බව වාර්තා වේ. ඉන් පැහැදිලි වන්නේ මෙම පාෂාණ පැරණි පෘථිවිය ආරම්භයේ පෘථිවි කබොල නිර්මාණය කරන ලද පාෂාණ බවයි.

මෙම ප්‍රදේශයේ සකස් කරන ලද භූ විද්‍යත්මක සිතියම් වලට අනුව හෝර්ටන් තැන්නේ ඇත්තේ ප්‍රධාන වශයෙන් මෙලෙස විපරිත කරණයට ලක්ව නිර්මාණය වූ නයිස් පාෂාණ බවයි. මෙම නයිස් පාෂාණ වර්ග ගණනාවක් මෙහි ඇත. ඉන් ප්‍රමුකව හමුවන පාෂාණය වන්නේ චානොකිටික් නයිස් නම් වූ පාෂාණ වන අතර ක්වාර්ට්සයිට් නම් වූ තනිකරම ක්වාර්ට්ස් වලින් පමණක් සෑදුන පාෂාණ ද හමු වේ.

භූ ව්‍යුහාත්මක පසුබිම සැලකීමේදී මෙමෙ පාෂාණ බහුතරයක් නැගෙනහිර ප්‍රදේශයේදී ඊසාන දිශානුගතව විහිදී යන අතර බස්නාහිර දිශාවේදී ගිනිකොන දිශානුගත වන බව පෙනී යයි. මෙම ප්‍රදේශය තැන්නක සොබාවය ගෙන ඇත්තේ පාෂාණ වළල් ඉතා අඩු ආනතියයි. ඒමේ ආනතිය අංශක 20 ත් 30 ත් අතර අගයක් ගනී. මෙනිසා ඉතා ඉහලින් පිහිටන ශ්‍රී ලංකවේ පියස්ස ලෙස ද අපට හඳුන්වා දිය හැක.

විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවත්නා තැනිතලා ස්වරුපය ඉතා කදිම බේසමක් තනයි. එනිසා වහින වර්ෂාපතනය එක් රැස් කර දිය දියකඳුරු විශාල ප්‍රමාණයක් තනන්නට හේතු වෙයි. ඒ ව අවසානයේදී මහවැලි ගඟට එකතු වේ.  අඩු ආනතිය සහිත වුවත් යම් යම් ප්‍රබල පාෂාණ බිඳ වැටීම් බේකර්ස් අල්ල වැනි ඉතා අලංකාර දිය ඇළි සදන්නට සහය වෙයි.

පවතින අඩු උෂ්ණත්වය නිසා ඉතා සෙමින් වියෝජනය වන කාබනික ද්‍රවය ඝනකම හියුමස් ස්තරයක් සකස් කරයි. පවතින පාෂාණ ජිර්ණයෙන් සෑදුන ස්ථානීය පස විටෙක ඛාදනය නිසා අවසාදිත බවට පත්ව ජල නිම්න ඔස්සේ තැන්පත්ව ඇත. හෝර්ටන් තැන්න අපට හමුවන ඉතා සුවිශෙහි භූ කලාපයක් බව අමතක නොකළ යුතුය.

 

 

 

 

 

 

 

 

 

 

Monday, 7 April 2025

 රළු කළු ගල් සියුමැලි කල අයුරූ

පත්මෙගේ භූ විද්‍යා අන්දර  11

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

අතීත ශ්‍රී ලාංකිකයා කල පාෂාණ නිර්මිත ඉතා අපූරුය.විශ්මය ජනකය. බොහෝ දෙනෙකු අසන පානය වන්නේ මෙවන් වූ රළු පාෂාණ සුමට සුසිනිදු අගනා නිර්මාණ බවට පත්  කරන ලද්දේ කෙසේද යන්නයි. මේ පිළිබඳව දශක එකහමාරකට පමණ පෙර මධ්‍යම සන්ස්කුර්තික අරමුදලේ වැඩකළ අවධියේ මම ගවේෂණාත්මක පර්යේෂණයක් සිදුකලෙමි.

පාෂාණ නිර්මිත අනුරාධපුර යුගයේ ප්මන්ස්ක නොව ita පසුකාලීනව පොළොන්නරු, දඹදෙණි සහ යාපහුව යුග වලද ප්‍රමුඛ විය.  අනුරාධපුරයේ සහ පොළොන්නරුවේ සිදුකල ගවේෂණ වලින් තහවුරු වූයේ මේ සඳහා අවශ්‍ය පාෂාණ ලබා ගෙන ඇත්තේ ඒ ඒ ස්ථානවලින්ම බවයි. පාෂාණ නිර්මිත දක්නට ලැබෙන ස්ථාන අසල අසනන්යේ පාෂාණ උකහා ගත පතල් දක්නට ලැබේ. මෙය බොහෝ පුරාවිද්‍යා ස්ථාන වල දක්නට ලැබෙන සුලභ දෙයකි.  එනිසා ඔවුන් උකහාගෙන ඇත්තේ විපරිත පාෂාණ පමණක් බව ඉතා පැහැදිලිය.

නමුත් කිරිගරුඬ පාෂාණ වලින් කරන ලද නිර්මිත ද දක්නට ලැබෙන අතර ඒවා එම පාෂාණය මෙම ස්ථානවල නොමැති නිසා වෙනත් ප්‍රදේශයකින් ගෙන එන්නට ඇති බව පෙනී යයි. කිරිගරුඬ පාෂාණ විශේෂයන්ම භාවිතා කර ඇත්තේ අලංකරණය සඳහා වන අතර බුදු පිළිම වැනි උසස් නිරමාණ සඳහා බව පැහැදිලි වේ.

anuradhapuara යුගයේ සහ පොළොන්නරු යුගයේ පාෂාණ නෙලා ගැනීම සඳහා භාවිතා කර ඇත්තේ එකිනෙකට වෙනස් ක්‍රම වේද දෙකකි. අනුරාධපුර යුගයේ භෞතික ක්‍රම වේදයක් ප්‍රචලිතව තිබු බව තහවුරු වේ, යකඩ නියන් භාවිතයෙන් පාෂාණ වල සකසන ලද විදුම් කුහර තුලට යකඩ කුඥ්ඥ යොදා මිටි පහර දීමෙන් පාෂාණ පලා ගැනීම සහ නෙලා ගැනීම සිදුකර ඇත. මෙහි දී භාවිත කර ඇති විදුම් කුහර ඕවලාකාර හැඩයක් ගන්නා අතර ඉතා හොඳින් යකඩ කුඥ්ඥ හිර කල හැකි වේ.

පොළොන්නරු යුගයට එනවිට මෙම ක්‍රමය වෙනස් වී ඇති බව නිරීෂණය කළෙමි. විශේෂයන්ම විදුම් කුහර සෘජු කෝණාශ්‍රාකර හැඩයක් ගන්නා බව පෙනී යයි. මෙම හැඩය අනුව පැහැදිලිවන්නේ යකඩ කුඥ්ඥ මේ කාර්යය සඳහා භාවිත කිරීම අපහසු බවයි. එනම් පොළොන්නරු යුගයේ දී භෞතික ක්‍රම වේදය පසෙක ලා රසායනික ක්‍රමවේදයක් අනුගමනය කලේද යන්න සිතිය හැකි වේ, නමුත් මේ සඳහා තවත් කරුණු අනාවරණය කල යුතු අතර නිශ්චිත සාක්ෂි සොයාගත යුතුය. මෙය එක් විය හැක්කක් පමණි.

කෙසේ වෙතත් පාෂාණ වල සොබාවික පැලුම් තල සහ විබේධ පාෂාණ දෙපලු කිරීම සඳහා යොදාගත්තද නිතරම එය මත පිහිටා නැති බව ගවේෂණවලින් පැහැදිලි වේ, පැරණි ගල්වඩුවා නිදහසේ පාෂාණ පාලනය කල බව ඉතා හොඳ සාක්ෂි හමුවේ.

 

 


Wednesday, 12 March 2025

 මාතලේ උමං ගංගා........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  10

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

මාතලේ උමං ගංගා ගැන ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඇත්තෙන්ම එවැනි ගංගා මතලෙ භූ අභ්‍යන්තරයේ හමුවෙනවාද ? එහි භූ විද්‍යාත්මක පසුබිම කුමක්ද ?

මාතලේ ප්‍රදේශයේ භුමිය නිර්මණය වී ඇති පාෂාණය වන කිරිගරුඬ නැතහොත් විපරිත හුණුගල් වලිනි. මෙහි රසායනික සංයුතිය වන්නේ කැල්සියම් කබෝනෙට්. මෙම පාෂාණයේ ඇති ඛනිජය වන්නේ කැල්සයිට් ය. නමුත් මෙම ඛනිජය එහි සෑම තැනකම එක ආකාරයෙන් පැතිර නැත. සමහර ස්ථානවල සිලිකා මිශ්‍රිත ද දක්නට ඇත. එමගින් බිහිවන්නේ සිලිකාමය ඛණිජ වේ.

කිරිගරුඬ පාෂාණය ඉතා පහසුවෙන් රස්යනික ජීර්ණයට ලක්වේ. මෙම ජීර්ණය දියවීම ලෙස හඳුන්වයි. කැල්සයිට් ඛනිජය ඉතා පහසුවෙන් ජලයේ දියවන අතර වැසි ජලයේ මද ආම්ලික බව එය තවත් පහසු කරයි. දියවීමට ලක්වන්නේ කැල්සයිට් ඛනිජය ඇති ස්ථාන වන අතර අනෙකුත් ස්ථාන එලෙස දියවීමට ලක් නොවී ඉතිරි වේ. එය අසමාන ජීර්ණයට හේතු වේ.

ඉතා පහසුවෙන් දියවී යන ස්ථාන කුහර බවට පත්වන අතර මේවා සම්බන්ධවීමෙන් ඉතා දිගු ගුහා නිර්මාණය වේ. මෙම ක්‍රියාදාමය පොලොව මතුපිට මෙන්ම අභ්‍යන්තරයේද සිදු වේ. එනිසා ගුහා සහ කුහර නිර්මාණය භූ අභ්‍යන්තරයේ ද සිදුවිය හැක. වර්ෂා කාලයේ පොලොව තුලට රිංගැ යන ජලය මෙම ගුහා සහ කුහර තුල එක්රැස්විය හැක. එනිසා භූ අභ්‍යන්තරික ජලාශ නිර්මාණය විය හැක.

එකිනෙක සම්බන්ධ වූ කුහර සහ ගුහා මෙම ජලාශ යා කරනඅතර ඒ අතර ජාල ගලනයක් ද අපේක්ෂා කල හැක. මේ එකදිගට බොහෝ දුරක් යනතුරු සම්බන්ධ වීමෙන් එකදිගට පිහිටන නලයක සේ සකස් විය හැක. එසේ නොවන්නට ද ඉඩ තිබේ. ජීර්ණ ක්‍රියාදාමය නොනැවතී සිදුවන බවින් වරෙක් සම්බන්ධ නොවූ කුහර පසුකලෙක එකනෙක් සම්බන්ධවිය හැක. එනිසා නව කුහර සහ ගුහා සම්බන්දතා නිර්මාණය වේ.

නමත් මෙම ජලාපවහන පොලොව  මතුපිට මෙන් වූ ගංගා මෙන් නොවන බව අප වටහා ගත යුතුය. භූ අභ්‍යන්තරයේ පවතී මෙම කුහර කාලයත් සමග පොලොව මතුපිටට ආසන්න වූ විට එක්වරම මතුපිට පවතින් සියල්ල සමග ගිල බැසීමේ ප්‍රවනතාවක් ද ඇත. එවැනි අවස්ථා ගණනාවක් මාතලේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. එවැනි ස්ථාන වල නිවාස වැනි ගොඩනගිලි ආදිය ඇත්නම් ඒවා අනතුරට ලක්වීමේ අවදානමක් ඇත.

කිරිගරුඬ හෝ හුණුගල් පාෂාණ ඇති ස්ථානවල ඉදිකිරීම් කිරීමේදී ඉතා සැලකිලිමත් විය යුතුය. එසේ නොවුනහොත් පසුකලෙක අපදාවලට ලක්විය හැක. එනිසා භූ විද්‍යඥයින්ගේ පරිෂාකිරීම් වලට ලක්කර ගොඩනැගිලි ඉදිකිරිම කල යුතුය.

 

 

 

Tuesday, 11 March 2025

 

උස්සන්ගොඩ රක්ත පාංශු ස්තර.........!!!

පත්මෙගේ භූ විද්‍යා අන්දර  09

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

රක්ත පාංශු ස්තරයකින් සමන්විත වෙරළබඩ අපූරු භූ විෂමාතාවය උස්සන්ගොඩ දෙස් විදෙස් සංචාරකයින්ගේ සිත් ඇඳ බැඳ ගත් ස්ථානයකි. ඔක්සිකරණය වූ යකඩ ලෝහය අන්තර් ගත වූ නිසාම මෙහි පාංශු ස්තර රතු පැහ ගනී. විසල් තැනිතලා භුමිය ප්‍රදේශයට අලංකාරයක් එක් කරන්නේ එහි වැවෙන සුවිශේෂී තුරුලතා ද සමගින්.

ශ්‍රී ලංකාවේ භුමිය සකස් වී ඇති පාෂාණ සමුච්චය විපරිත පාෂාණයි. ඒවා ගොනු වී ඇත්තේ ප්‍රධාන කලාප තුනකයි. වන්නි සංකීර්ණය, උස්බිම් සංකීර්ණය සහ විජයනු සංකීර්ණ ලෙස ඒවා හැඳින්විය හැක. ඉතා ඉහල උෂ්ණත්වයේ සහ ඉහල පීඩනවලට ලක්ව නිර්මාණය වූ මෙම පාෂාණ වසර මිලියනයකට වඩා පැරණි බව පැවසේ.

මෙම සංකීර්ණ, කුඩා භූ තැටි ලෙස ද හැඳින්විය හැක. ඒවා එකට එකතු වී ශ්‍රී ලංකේය භුමිය නිර්මාණය කර ඇත. උස්බිම් සංකීර්ණය සහ විජයානු සංකීර්ණය එකට එකතු වූ මායිම ඉතා හොඳින් හඳුනාගත හැක. ඒ ඔස්සේ උණුවතුර ළිං ද ස්ථාපනය වී ඇත.

උස්සන්ගොඩ යනු ඉහත කී සංකීර්ණය සම්බන්ධ වන  තැනකි. මායිමකි. මෙවැනි මායිම් පොළොවේ ගැඹුරට සම්බන්ධ වේ. එනිසාම පාෂාණ නිමැයෙන කාලයේදී ගැඹුරේ සිට මතූ වූ සමහර පාෂාණ මෙවැනි ස්ථානවල දැක ගත හැක. මෙනිසාම උස්සන්ගොඩ ද නිකල් ලෝහය අඩංගු සර්පන්ටිනයිට් නම් වූ පාෂාණය වාර්තා වේ.

මුහුදට ආසන්නයේ පිහිටීම ඉතා කදිම වෙරලක් නිර්මාණය කරයි. ඛාදිත වෙරළ භූ රූපණ මෙන්ම අවසාදිත භූ රූපණ ද දැක ගත හැකි වැලිකඳු ඒ අතර ප්‍රමුඛ වේ. උස්සන්ගොඩ වෙරළ සංචාරකයින්ගේ පරාදීසයකි.

උස්සන්ගොඩ පිහිටි සුවිශෙහි භූ සැකැස්ම විධිමත් කළමනාකරණයකට නැතුව භූ සංචාරිතය සඳහා භාවිතා කල හැක. එනිසාම මෙරටට එය මහඟු සම්පතකි. උස්සන්ගොඩ භූ උද්‍යානයක් බවට පත්කළ හැකි ස්ථානයකි.

භූ විද්‍යාත්මක වැදගත්කමත් සමග ජෛව විද්‍යත්මක වැදගත්කමක් ද මෙහි ඇත. ඒ සුවිශේෂී පාංශු ස්ථරයේ වැවෙන සුවිශේෂී ශක ප්‍රජාව නිසායි. එමෙන්ම එය තවත් හැඩ ගස්සවන්නට වෙරළ පරිසරයෙන් එන මුහුදු සුලඟ සමත්වෙයි. එයට අමතවර මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වැදගත්කම් ද වෙයි. ඒ අතීත මානවයාගේ ශිලා ආයුධ මෙම ස්ථානයේ වාර්තා විමෙන්.

මෙවන් වූ බහුවිධ වැදගත්කම් නිසාම උස්සන්ගොඩ ඉතා හොඳ සංචාරක ස්ථානයකි.  දැනට එහි ප්‍රමාණවත් ආරක්ෂාවක් සහ සංරක්ෂණයක් නොමැති වීම එය විනාශවීමට දැඩි නැඹුරුතාවක් ඇත. ක්‍රමවත් වැඩපිළිවෙලක් යටතේ සංවර්ධනය කර සංචාරක කර්මාන්තයට දායක කිරීමෙන්ඉතා හොඳ ආර්ථික ලාභ අපේක්ෂා කල හැක.

Sunday, 5 January 2025

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  08

මුහුදු මට්ටම උච්චාවචනය වීම ගෝලීය උණුසුමත් සමග බැඳී පවතී. සුර්ර්ය තාපය ලැබීමේ සිදු වූ වෙනස්කම් ගෝලීය උණුසුම උච්චාවචනය කරන්නට හේතු වේ. අවසාන අයිස් යුගයෙන් පසු වසර 11,000 කට පමණ පෙර ගෝලීය උණුසුම ක්‍රමිකව වැඩි වී උණුසුම් අන්තර් අයිස් යුගය කරා ලෝකය යන්නට විය.

සැමවිටම මේ ක්‍රියා දාමයේ වැඩිවීම් මෙන්ම අඩුවීම් ද හඳුනාගත හැකිවේ. මුහුදු මට්ටම ඉහල යන සැම අවස්තාවකම වෙරළ රට තුලට තල්ලු වෙයි. එනිසා ගොඩබිම වපසරිය ක්ෂිණ වෙයි. ඉහල යන සෑම අඟලකින්ම වෙරළබඩ යට වන අතර එය විවිධ වෙරළ භූ රූපණ ඇතිකරන්නට සමත් වෙයි.

මුහුදු මට්ටම ඉහල යාම නිසා රට තුල කලපු නිර්මාණය වේ. ඒ වෙරළ ආසන්නයේ ඇති පහත් බිම් මුහුදු වතුරෙන් යටවීමෙන්. මුහුදු මට්ටම අඩු වූ විට කලපු මඩ සහිත ගොඩබිම ඉතිරි වේ. වෙරළ ආසන්නයේ ඇති බොහොමයක් කුඹුරු නිර්මාණය වී ඇත්තේ මෙම කලපු තුලයි. නැතිනම් වත්මන් තෙත්බිම් නිර්මාණයට දායක වී ඇත.

කලපු පරිසරයක් නිර්මාණය නොවූ කල නොගැඹුරු මුහුදු කලාප නිර්මාණය වේ. ඒවායේ කොරල් පරද කලපු වල මුහුදු බෙල්ලන්ගේ ඝනාවාස ද ඇති වේ. වෙරළ බැස ගිය පසු කොරල් නිධි ද මල බෙල්ලන්ගේ කටු නිධිද කලපු මඩ සමග ගොඩබිම ඉතිරි වේ. මුහුද බැස යන්නේ ගෝලීය දේශගුණයේ සිදුවන වෙනස් වීම් නිසාවේ.

එලෙස ඉතිරි වූ බෙල්ලන්ගේ කටු සහිත නිධි වර්තමානයේ බුන්දල, මිනිඇතිලිය, ඉඳුරුව වැනි ප්‍රදේශ වල රටතුලින් හමු වේ. එපමණක් නොව මුතුරාජවෙලින් ද හමුවන බව වාර්තා වේ. මුහුදු මට්ටම උච්චවචානය වූ බව කියන්නට ඒවා කදිම සාක්ෂි සපයන බව අප අමතක නොකළ යුතුය.

බොහෝ කලක සිට මෙම ප්‍රදේශයේ ජනතාව බෙලිකටු හුණු නිෂ්පාදනය සඳහා යොදා ගනී. එනිසා බෙලි කටු නිධි පවතින ස්ථාන හාරමින් ඒවා එකතු කර ගනී. වර්තමානයේ මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් වියකී යමින් පවතින බව මෑත කාලීනව කරන ලද විමසීමකදී පැහැදිලි විය. ඒ නිධි හමාර වෙමින් පැවතීම ද හේතුවක් විය හැක.

සමහර පුරාවිද්‍යාඥන්ගේ අදහස මෙම නිධි ආදී මානවයා කෑම සඳහා භාවිතා කල බෙල්ලන්ගේ ඉවතලන ලද කටු බවයි. එසේනම් නිධිවල පවතින කටු බොහොමයක් එකම ප්‍රමාණයේ විය යුතු අතරම තෝරා ගැනීමක් නිසා එකම වර්ගයක බෙලි කටු බහුලව හමු විය යුතුය.

පසුගිය කාලයේ කරන ලද පර්යේෂණයකට අනුව එසේ නොවන බව ඉතා හොඳින් පැහැදිලි විය. විවිධ ප්‍රමාණයේ බෙලි කටු හමුවූ අතර වර්ග ගණනාවක විශේෂ වල බෙලි කටු ද හමු විය.  එනිසා ඉහත මතය බිඳ වැටේ, මේවා සොබවිකව නිර්මාණය වූ බෙලි කටු නිධි ම වේ.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 30 October 2024

පත්මෙගේ භූ විද්‍යා අන්දර  07

කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ගල් පරයක් මතය. එම ගල් පරය කාලයක් තිස්සේ සිදුවන මුහුදු ඛාදනයේ ප්‍රතිඵලයකි. ග්‍රැනයිට් නයිස් නම වූ පාෂාණයේ ජීර්ණය බිහිකරන්නේ ගෝලාකාර ව්‍යුහයන්ය. එය අපූරු භූ විෂමතාවක් ඇතිකරන්නට සමත් වී ඇත.

කැලණියට ගැලූ ,මුහුදට විහාරමහා දේවිය බිලිකල ද ඇය නැවත ගොඩබිමට සේන්දු වන්නේ කිරින්දෙනි. මුහුද ගැලූ කාරණාව ඉතිහාසයේ පැහැදිලි කර ඇතත් භූ විද්‍යාත්මකව සලකු කල එය විසල් සුනාමියක් වන්නට ඇතැයි සිතිය හැක. සුනාමියක් එන්නේ නම් එය බටහිරින් නොව නැගෙනහිරින් විය යුතුය. ඒ සඳහා හේතුභූත වන්නේ සුමාත්‍රා ආසන්නයේ ඇති භූ තල මායිම්ය.

සුනාමි හැමදාම එන්නේ නැත. ඒ සඳහා නිශ්චිත කාලාන්තරයක් ද නැත. එනිසා 2004 ට පසු නැවත එන දිනයක් ද කියන්නට ද බැරිය. ඒ සඳහා සුදුසු තාක්ෂණයක් ද තවම බිහි වී නැත. 2004 සුනාමියට පසු ශ්‍රී ලංකවේ බොහෝ දෙනා සුනාමි ව්‍යවසනය ගැන අවධානය යොමු කලෝය. ඒ අතර පැරණි සුනාමි ගැනද ඔවුන්ගේ අවධානය යොමු විය.

ඒ කාලයේ මා සේවය කලේ මධ්‍යම සංකෘතික අරමුදලේය. පර්යේෂණ විද්‍යාගාරයේ අධ්‍යක්ෂක ආචාර්ය මොහාන් මහතා ද මම ද එක්ව පැරණි සුනාමි සොයන්නට කිරින්ද ට ගියෙමු. එහිදී සිදුකරන ලද පර්යේෂණ වලට අනුව අනුමාන කල හැකි වැලි තැන්පතුවක් කලපු මඩ අතර තිබී හමුවිය. තාප සන්දීප්තතා කාලනිර්ණය සඳහා රාත්‍රියේදී නියැදිකරනයට ලක් කළෙමු.

පර්යේෂනගාරයේදී වෙන්කර ගත් වැලි කැට කාල නිර්ණයට භාජනය කළෙමු. පුදුමයක මහත එම වැලි ස්තරය විහාරමහාදේවිය කිරින්ද ට ගොඩබැස්ස කල වකවානුවට අයත් විය. එම පර්යේෂණය දිගින් දිගටම කරගෙන යාමට අවශ්‍ය වුවත් ප්‍රමාණවත් අරමුදල් නොතිබූ නිසා අතමග නැවතුණි. පසුව, වසර විස්සකට වඩා පැරණි වූ එම කාලනිර්ණ උපකරණය අබලන් විය. පර්යේෂණය නැවතුණි.

තවමත් ඒ පිලිබඳ ආශාවක් ඇතත් පර්යේෂණ කරගෙන සුදුසු අවසථාවක් එළඹියේ නැත. පසුගිය දිනෙක වසර විස්සකට පමණ පසු ඒ ප්‍රදේශයේ සංචාරය කිරීමට නැවත අවස්තාවක් හිමි වූයේ කොළඹ විශ්ව විද්‍යාලයේ අවසන වසරේ සිසුන්ගේ ක්ෂේත්‍ර චාරිකාවට එක් වීම නිසායි. එම ප්‍රදේශයේ මේ වන විට බොහෝ වෙනස් වී ඇත. ඉතා අපුරු ලවණ වගුරු සහිත තෙත්බිමක් නිර්මාණය වෙමින් පවතී. ජෛව විවිධත්වයෙන් අනූනය.

වසර විස්සකට පෙර සුනාමිය විසින් අතුගා දැමු මෙම ප්‍රදේශය දැන් සොබාවිකවත් මිනිසුන් විසිනුත් විවිධ වෙනස්කම් වලට භාජනය කරමින් පවතී. එය නැවත සුනාමියක් එනකම් විය හැකියි. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  Soilbioengineering පත්මෙගේ භූ විද්‍යා අන්දර   15 ආචාර්ය පත්මකුමාර ජයසිංහ ශාක සහ පස අතර ඇත්තේ කදිම සම්බන්ධයක්. එය එක්තරා ආකාරයකට පවති...