Thursday, 14 June 2018

විදු පත් ඉරුව
2015.08.26

න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක්‌ පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්‌.

පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක්‌ සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක්‌ අඩංගු වන ඛනිජයක්‌. ඒ "තෝරියනයිට්‌" නම් වූ පළමුව ලෝකයට ලංකාවෙන් හෙළි කළ විකිරණශීලී ඛනිජයයි. මෙයට වසර 111කට පමණ පෙර එනම් 1904 දී ශ්‍රී ලාංකික විද්‍යාඥයකු වන ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා විසින් ලංකාවේ සිදු කරන ලද ගවේෂණවල දී සොයාගන්නා ලදුව ලොවට මෙය ඉදිරිපත් කෙරුණා. මේ ඛනිජයෙහි තෝරියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යය අඩංගු වන අතර බොහෝ විට ලංකාවේ මැණික්‌ ඉල්ලම් ආශ්‍රිතව හමු වන බව වාර්තා වනවා.

ආනන්ද කුමාරස්‌වාමි යන නාමය ඔබට සුපුරුදු එකක්‌ බව නිසැකයි. ඔහු ගේ නාමය ලාංකික ජනතාව අතර නම් ප්‍රසිද්ධ වී ඇත්තේ කලා සහ ඉතිහාස ක්‌ෂේත්‍රයට සම්බන්ධ අයකු ලෙසයි. එහෙත් ඔහු වෘත්තීය වශයෙන් ඛනිජ විද්‍යාඥයකු වන අතර එවකට ලංකාවේ සිදු කළ ඛනිජ ගවේෂණ ව්‍යාපෘතියේ භූ විද්‍යාඥයකු ලෙස ඔහු සේවය කර තිබෙනවා. පසුව ඔහු ගේ එම වැඩකටයුතු ලංකාවේ භූ විද්‍යා සමීක්‌ෂණ දෙපාර්තමේතුව පිහිටුවීමට පුරෝගාමී වුණා. ඔහු එහි පළමු අධ්‍යක්‌ෂවරයා ද වනවා.

එංගලන්තයේ දී මූලික අධ්‍යාපනය ලැබූ ආනන්ද කුමාරස්‌වාමි මහතා තම උපාධිය සඳහා භූ විද්‍යාව සහ උද්භිද විද්‍යාව තමයි හදාරා තිබෙන්නේ. ඉන් තමා වඩාත් ප්‍රිය කළ භූ විද්‍යාව කෙරෙහි නැඹුරු වූ ඔහු ආචාර්ය උපාධිය සඳහා ලංකාවේ ඛනිජ පිළිබඳව පර්යේෂණ සිදු කරමින් ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඉතා අගනා මෙහෙයක්‌ ඉටු කළා. 1877 අගෝස්‌තු 22 දින ලංකාවේ දී දමිල ජාතික පියකුට සහ ඉංග්‍රීසි ජාතික මවකට දා ව උපත ලද ඔහුට වයස වසර දෙකක්‌ වන විට තම පියා වූ සර් මුත්තු කුමාරස්‌වාමි මහතා අහිමි වුණා. එනිසා තම මව සමග ඔහු ගේ කුඩා කාලය ගත කරන්නේ එංගලන්තයේ.

තම භූ විද්‍යා පර්යේෂණ සදහා මෙරටෙහි ගවේෂණ සිදු කරන අතරවාරයේ අහඹු ලෙස ඇස ගැටෙන දඹුලු ලෙන් විහාරයේ සිතුවම්වලට වශීකෘත වන ආනන්ද කුමාරස්‌වාමි මහතා තම ගවේෂණ නවමු මාවතකට යොමු කරමින් සිංහල කලාකෘති අධ්‍යයනයට පෙලඹෙනවා. එනිසා සිංහල කලාව පිළිබඳ ඉතා උත්කෘෂ්ට පුස්‌තක ගණනාවක්‌ ලොවට දායාද කරන්නට සමත් වන ඔහු වැනසී යන ස්‌වෙදේශීය සිංහල කලා ඉතිහාසය රැකගැනීමට මනා පිටිවහලක්‌ වුණා. ඉන්දියාවේ දී ඉන්දියානු කලා ඉතිහාසය ද අධ්‍යයනය කරන්නට සමත් වන ඔහු එමගින් පෙරදිග වූ මනරම් සමාජ චින්තනය බටහිරට හෙළි කරන්නට සමත් වුණා. වර්තමානයේ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් සහ සමාජ විද්‍යාඥයන් අතර ඒ මහතා ගේ කෘති අත්පොත් බවට පත් වී තිබීම මගින් ම ඔහු ගේ ගවේෂණ සහ පර්යේෂණ ශ්‍රී ලාංකේය විද්වතුන් හට කොපමණ බලපෑමක්‌ කර ඇත් දැයි ඔබට සිතාගත හැකියි.

1947 සැප්තැම්බර මස 9 දින ඇමෙරිකාවේ දී මිය යන විට ඔහුට වයස වසර 70ක්‌ වුණා. අද වන විට ඔහු මිය ගොස්‌ වසර 68ක්‌ ගත වී ඇති අතර ශ්‍රී ලාංකික ජනයාට නො මැකෙන සිහිවටන රාශියක්‌ ඒ මහතා උරුම කර දී තිබෙනවා. මේ වසරේ අගෝස්‌තු 22 දිනට සමරන්නේ ඔහු ගේ 138 වැනි ජන්ම දිනයයි. ශ්‍රී ලාංකික භූ විද්‍යා ක්‌ෂේත්‍රයට ඔහු සිදු කර ඇති අමිල මෙහෙවර අගය කරමින් සැම වසරක ම අගෝස්‌තු මාසයේ දී ලාංකික භූ විද්‍යාඥයන් එක්‌ ව ඔහු ගේ ජන්ම දිනය සමරන අතර එය වඩාත් ආලෝකවත් කරන්නට වර්තමානයේ මෙරට භූ විද්‍යා ක්‌ෂේත්‍රයට අගනා වටිනා සේවයක්‌ කළ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥයකු හට ආචාර්ය ආනන්ද කුමාරස්‌වාමි මහතා ගේ නමින් පදක්‌කමක්‌ පිරිනමනු ලබනවා. "ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය" 21 වැනි වතාවටත් මේ මස 22 වැනි දින එම සැමරීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විදයා දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ශ්‍රවණාගාරයේ දී සිදු කළ අතර මෙවර ගරු බුහුමනට පාත්‍ර කරමින් එම පදක්‌කම පිරිනමනු ලැබුවේ දැනට ලාංකික භූ විද්‍යාඥයන් බිහි කරන්නා වූ තිඹිරි ගෙය වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන එල්. ආර්. කේ. පෙරේරා මහතාටයි. මේ ලේඛකයා ගේ ද භූ විද්‍යා දැනුම පුළුල් කරන්නට සහාය වූ ගුරු පියකු වූ එතුමාට මෙවර විදු පත් ඉරුවෙන් සුභාශිංසණ පිරිනමන්නට ලැබීම අතිශය සතුටට සහ ගෞරවයට කරුණක්‌.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 12 June 2018



CKDu සහ ප්‍රතිආසෘත ජලය

දශක දෙකකට අධික කාලයක් තිස්සේ මාරාන්තික වකුගඩු රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකිව පර්යේෂකයන්ද වෛද්‍යවරුන්ද බොහෝ සාකච්චාවල යෙදී සිටින බව අපට පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු කරනු වස් විවිධ සාක්ෂ්‍ය ගෙනහැර පානාමුත් සියල්ල එකගවන්නා වූ පැහැදිලි කිරීමක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුවද බොහෝ දෙනා එකඟ වන්නා වූ එක් කරුණක් වෙයි. ඒ මේ රෝගය ඇතිවන්නේ බිමට ගන්නා ජලය මූලික කර ගෙන බව යන්නයි.

ශ්‍රී ලාංකේය ජල සම්පත දුෂණය වීම පසුගිය දශක කිහිපය තිස්සේ ඉතා සිඝ්‍රව සිදුවන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ මානව ක්‍රියාකාරකම් හේතුවන අතර ඉන් ප්‍රධානම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදුවන අස්ථානිය (non point pollution) දූෂණය යි. එලෙස හැදින්වූවද එහි මුඛ්‍ය අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක් හරහා එකවර දූෂකයන් පොළොවට එක් වී ජල නිධි දූෂණය වන බවයි. කෘෂිකාර්මික කටයුතුවලදී විවීධ රසායනික ද්‍රව්‍ය වගාවට එක් කරන අතර ඒවා බොහොමයක් එක් කරන්නේ ජලීය ද්‍රාවන ලෙසයි. එසේ හෙයින් ඉතා වේගයෙන් පසද ජලයද දූෂණය වීම වැලක්විය නොහැකි වී ඇත.

පසට එක්වන ජලීය රසායනික ද්‍රාවනයන් පස තුලට කාන්දුවීමේ වේගය පසේ ස්වභාවය මත රඳා පවතී. කල්පිටිය ප්‍රදේශය වැනි සම්පුර්ණයෙන්ම වැලි වලින් පමණක් සුසැදි පාංශු ස්තර පවතින ප්‍රදේශ වල කාන්දුවීමේ වේගය ඉතා අධිකය. එනිසා ඉතා පහසුවෙන් අභ්‍යන්තර ජල නිධි කෙලෙසීම සිදු වේ. නමුත් මැටි සාන්ද්‍රණය වැඩි පසක කාන්දුවීමේ වේගය ඉතා අඩුය. එක් කරන රසායනික ද්‍රව්‍ය මතුපිට ස්ථරයේ වැඩි කාලයක් රැඳෙන අතර එනිසා ඉතා පහසුවෙන් වර්ෂා කාලයේදී මතුපිට ජල නිධි වලට එකතු විමේ හැකියාව ඇත.

වර්ෂාව අධික තෙත් කලාපයේ මෙලෙස එකතුකරන රසායනික ද්‍රව්‍ය පසෙහි සාන්ද්‍රගත වන්නේ ඉතා අඩුවෙනි. වැඩි ප්‍රමාණයක් වර්ෂා කාලයේදී ඇතිවන ගලායන ජලය සමග සේදී යන අතර ක්‍රමයෙන් ඇල දොළ ගංගා වැනි ජල මුලාශ්‍ර වලට එකතු වේ. නමුත් වියළි කලාපයේ තත්වය මෙයට හාත්පසින්ම වෙනස් ය. වසරේ වැඩි කාලයක් නියඟය පැවතීම හේතුවෙන් ඇතිවන අධික වාෂ්පීකරණය ජලයේ දිය වූ ද්‍රාව්‍යය සාන්ද්‍රගත කිරීමට හේතු වේ. ඒ හේතුකොට ගෙන මෙම ප්‍රදේශවල විශේෂයන්ම පසෙහි මතුපිට ස්තරවල අධික ලවණතාවයක් පවතී. වියළි කලාපයේ පසෙහි දක්නට ලැබෙන “කිවුල් කැට” මෙම ලවණ සාන්ද්‍රගත විමේ ප්‍රතිපලයකි. එමෙන්ම අභ්‍යන්තර ජල නිධි වලද ලවණතාවය අධිකය. නමුත් අප කල නිරීක්ෂණ වලින් පැහැදිලි වන්නේ වැව් වැනි මතුපිට පවත්නා ජල මුලාශ්‍ර වල මෙම තත්වය නොමැති බවයි (Table 1).     

වර්ෂා ජලය පස තුලින් කාන්දු වීමේදී එහි රසායනික සංයුතිය වෙනස් වේ. ජලයේ දියවන ඛනිජ ලවණ එකතු කර ගනිමින් පසෙහි පහලට රූරා යන ජලය අභ්‍යන්තර (භූගත) ජල නිධි පෝෂණය කරයි. මෙම ජල නිධි පසෙහි මෙන්ම එයට යටින් වූ පාෂාණ ස්ථරයේ ද හමු වේ. භූගත  ජල නිධි ප්‍රධාන ආකාර දෙකක් වන අතර ඉන් එකක්  වන්නේ “අනවහිර” ජල නිධිය (unconfined aquifer). මේවාට ඉතා පහසුවෙන් මතු පිට ජලය කාන්දු විය හැකි  නිසා දූෂණයට ලක් විමේ ඉඩකඩ වැඩිය. “අවහිර” ජල නිධි (confined aquifer) පොලොව අභ්‍යන්තරයේ සිර වී පවතින ජල නිධි වේ. පොලොව මතුපිට හා සම්බන්දයක් නොමැති මෙම ජල නිධි පහසුවෙන් දූෂණයට ලක් නොවේ. කෙසේ වෙතත් මෙම සෑම නිධියකම පවතින ජලය එහි වූ පාෂාණ හෝ පස හෝ සමග ගැටෙමින් පවතී. මෙය එම ජලයට විවිධ ඛනිජ ලවණ එක් කිරීමටත් එයින් ඉවත් කිරීමටත් හේතු වේ. එම ජලයෙහි හෝ එම ජලය පවත්නා භූ පරිසරයේ ආම්ලික භාෂ්මිකතාව අනුවද පවතින ඔක්සිජන් ප්‍රමාණය අනුවද ද ජලයෙහි උෂ්ණත්වය අනුවද එහි වෙසෙන ක්‍ෂුද්‍ර ජීවි ගහනය අනුවද ජලයට  එකතුවන හෝ එයින් ඉවත්වන හෝ ඛනිජ ලවණ වල සාන්ද්‍රණය තීරණය වේ. එපමණක් නොව මේ එක් එක් ලවණ ජලයේ දියවන්නේ එක්තරා උපරිමයකට පමණි. මෙම උපරිම සාන්ද්‍රණය ලවනයෙන් ලවනයට වෙනස්වේ.

විපරීත පාෂාණ වලින් සමන්විත වන  ශ්‍රී ලාංකේය භූ තලයේ විවීධ ඛණිජවලින් හෙබි පාෂාණ හමුවේ. එප්පාවල ප්‍රදේශයේ හමුවන සුප්‍රසිද්ධ පොස්පේට් නිධිය හේතුවෙන් එම ප්‍රදේශයේ ජලයට ෆ්ලෝරයිඩ අයන එකතු වේ. එනිසා රජරට ප්‍රදේශයේ ජලයෙහි අනෙකුත් ප්‍රදේශවල  ඇති සාමාන්‍ය සාන්ද්‍රණයට වඩා වැඩි ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණයක් පෙන්වයි.  එමෙන්ම කිරිගරුඬ නම් වූ කබෝනේට පාෂාණය පවතින ප්‍රදේශවල ජලයට කැල්සියම් හා මැග්නීසියම් කබෝනේට රසායනයන් එකතුවීමෙන්  කබෝනේට සාන්ද්‍රණය වැඩි වී ජලයෙහි “ඛඨිනතාව” ඉහල නංවයි. එමෙන්ම කබොක් වැනි ද්විතියික ඛණිජ නිධි වල පවතින යකඩ සහ මැන්ගනීස් අයන ජලයට එකතුවී තිත්ත බවක් එක් කරයි. 

කඳුකර ප්‍රදේශවල පවතින ජල නිධිවල ජලය තැනිතලා ප්‍රදේශ වලට සංසරණය වන අතර බෑවුමෙහි ආනතිය අනුව එහි වේගය තීරණය වේ. කෙසේවෙතත් වර්ෂා කාලයේදී මධ්‍ය කඳුකරයේ පස් සහ පාෂාණ තුලින් කාන්දුවන මෙම ජලය කිලෝමීටර සියගණනක් ඇතට ගමන් කරන අතර පාෂාණවල සවිවරතාව අනුව ඒ සදහා ගතවන කාලය වෙනස් වේ. මධ්‍ය කඳුකරයේ පවතින ස්ඵටිකරූපී පාෂාණ සමූහය ඉතා අධිකව කුස්තූර සහ පැලුම් රටා වලින් යුක්ත වන හෙයින් සැලකිය යුතු මට්ටමේ සවිවරතාවක් පවතී. ඒක රේඛියව පිහිටි මෙවැනි කුස්තූර රටාවන් ජලය භූ අභ්‍යන්තරයෙන් ඈතින් ඇතට රැගෙන යෑමට හේතුවේ. තැනිතලා ප්‍රදේශවලදී සංසරණ වේගය අඩාල වනමුත් විශේෂයෙන්ම “අවහිර” ජල නිධි වල ජලය අධික තෙරපුමක් යටතේ පවතී. එනිසා භූගත ජලය ලබා ගැනීම උදෙසා සකස් කල සමහර නල ළිං වල ජලය නිදහසේ ඉහලට විහිදේ. මෙම භූ ගත ජල මුලාශ්‍ර පවතින භූ පරිසරය අනුව ප්‍රධාන වර්ග තුනකට බෙදිය හැක. ඒවා නම්,

1.       ස්ඵටිකරූපී පාෂාණ වල පවතින භූ ගත ජල නිධි

2.       මයෝසින හුනුගලෙහි පවතින භූ ගත ජල නිධි

3.       චාතුර්ථ අවධියේ බිහි වූ අවසාදිත හි පවතින අනවහිර භූ ගත ජලය

එනිසා ශ්‍රී ලාංකේය භූමි භාගයේ පවත්නා භූ ගත ජල නිධිවල රසායනික ස්වරූපය ප්‍රදේශයෙන් ප්‍රදේශයට ඉතා පැහැදිලිව වෙනස්වන අවස්ථා බහුලය. සමහරක් විටෙක එක ළඟ පිහිටි ළිං දෙකක එවැනි තත්වයන් නිරීක්ෂණය කල අවස්ථා ද ඇත. මෙයින් පෙනී යන මූලික කරුණ වන්නේ භූ පරිසරයේ පවතින පාෂාණ සහ පාංශු ස්තර වල රසායනික ස්වරූපය භූ ගත ජලයෙහි ගුණාත්මක බව තීරණය කිරීමට බෙහෙවින් බලපාන බවයි.

ජලයෙහි ගුණාත්මක බවෙහි වෙනස අතීත මුතුන් මිත්තන් ඉතා හොඳින් දැනගෙන සිටී බව ද හොඳින් අධ්‍යනය කර ඇති බවද ඔවුන් ගේ පැරණි යෙදීම් අධ්‍යනය කරන විට අපට මනාව පැහැදිලි වේ. තෙත් කලාපයේ භූගත ජලයෙහි සහ මතුපිට ජලයෙහි ගුණාත්මක බවෙහි විශාල වෙනසක් නොපැවතී බැවින් ළිං වලින් ලබා ගන්නා ජලයද ඇල දොළ ගංගා වලින් ලබාගත් ජලයද එකසේ පානය කළහ. නමුත් වියළි කලාපයට යනවිට තත්වය වෙනස් වේ. භූගත ජලයෙහි අධික ලවණ සාන්ද්‍රණය බිමට පමණක්  නොව වගාවට ද නොසුදුසු බව ඔවූහු දැන සිටීයෝය. එනිසා වර්ෂා ජලයෙහි ගුණාත්මක බව වඩා හොඳ නිසා භාවිතය සඳහා එක්රැස් කර ගැනීමේ ක්‍රමවේද ඉතා හොඳින් නිර්මාණය කළහ. ඒ අප කවුරුත් දන්නා පුරාණ වාරි කර්මාන්තයයි.

නවීන කෘෂිකාර්මික ක්‍රමවේද රටතුලට ආගමනයත් සමග රසායනික ද්‍රව්‍ය භාවිතය ආරම්භ විය. පලවිපාක පිලිබඳ නිසි ඇගැයීමක් නොකට වරින් වර මතු වූ විවිධ වර්ගයේ ක්‍රමවේද ද රසායනික භාවිතයද නිසා පස සහ ජලය දූෂණය වන බව තේරුම් ගත්තේ පසු කාලිනවය. එනිසා වාරි සංස්කෘතියෙන් යැපුන රජරට ජනතාව ක්‍රමයෙන් භූගත ජලය කෙරෙහි යොමු වූ බව පැහැදිලිය. අධික ලවණතාවයෙන් යුක්ත වූ මෙම ජලය කාලයක් තිස්සේ දිගින් දිගටම පානිය අවශ්‍යතාවයට භාවිතා කිරීමෙන් වකුගඩු ක්‍රියාකාරිත්වය අඩපන කරන්නට හේතු වන්නට ඇති බව අපගේ විශ්වාසයයි.

කෙසේවෙතත් රජරට ප්‍රදේශයේ අප කල සංචාරයකදී විවිධ පුද්ගලයින් සහ රෝගීන් සමගද කතා බස් කිරීමට අවස්ථා ලැබුණි. රෝගය සෑදී පසුව යථා තත්වයට පත් වූ එක් කාන්තාවක් කියා සිටියේ ඖෂධ ලබා ගන්නා අතරම සම්පුර්ණයෙන්ම බෝතල්කල ජලය පානය කල බවයි. මාස හයක පමණ කාලයකදී රෝගය සුව අතට හැරුන අතර එනමුත් බෝතල් ජලය පානය අත්නොහළ බවයි. ඒ වන විට වසරක් පමණ ගත වී තිබුන අතර රෝගය සුව වී ඇති බව ඈ අපහට පැවසුවාය. මෙයින් පෙනී යන එක් කරුණක් වන්නේ පිරිසිදු ජලය (ලවණතාවය සහ ඛටිනතාව අඩු සාමාන්‍ය ජලය = තෙත් කලාපයේ ජලය) පානය කිරිම රෝගය සුව වීමට කිසියම් හෝ ලෙසකින් හේතුවන බවයි.

වැව් මුලාශ්‍ර කරගත් ජලය බෙදා හැරීමක් ජල සම්පත් මණ්ඩලය විසින් සිදුකරන නමුත් එහිදී මිශ්‍රිත රසායනික දුෂක  (හෝ සරලව කෘෂි රසායන) ඉවත්කිරීමට (එම සාමාන්‍ය ක්‍රමවේදයේදී) පියවර ගන්නේ නැත. නමුත් වකුගඩු රෝගයෙන් පෙලෙන ප්‍රදේශවල ජනතාව සඳහා දැනට සැක කරන දුෂක ජලයෙන් ඉවත් කල හැකි ක්‍රම වේදයක් හදුන්වා දී ඇත. එම ක්‍රමවේදය “ප්‍රති ආශ්‍රුති ජල පිරිපහදුව” (Reverse Osmosis (RO) Water Purification) ලෙස හදුන්වන අතර එමගින් වඩාත් පිරිසිදු නමුත් අඩු ලවණ ජලය ජනතාවට ලබා දීමට හැකියාව ලැබී ඇත.

කුමක් ද මේ “ප්‍රති ආශ්‍රුති ජල පිරිපහදුව” ?

ඉතා සරලව හැදින්වුවහොත් මෙය එක්තරා ආකාරයක ජලය පිරිසිදු කරන ක්‍රමවේදයක් ලෙස හදුන්වා දිය හැක. මෙහිදී ජලයේ දිය වී ඇති බොහොමයක් අණු සහ අයන ඉවත් කිරීම සිදුවන අතර ආසෘත ජලයට ආසන්න අයන සාන්ද්‍රණයක් ඇති සුපිරිසිදු ජලය නිපැද වේ.

විසරණ (diffussion) ක්‍රියාවලියේ දී අප කවුරුත් හොඳින් දන්නා පරිදි සිදුවන්නේ කිසියම් ද්‍රාවනයක (solution) ද්‍රාව්‍යය (solute) අංශු (අයන හෝ අණු) සාන්ද්‍රණය වැඩි ස්ථානයක සිට අඩු ස්ථානයක් දක්වා ද්‍රාවකයේ (solvent) අංශු අතරින් සංසරණය වීමයි. නමුත් ආශ්‍රුති (osmosis) ක්‍රියාවලියේදී සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ධ ක්‍රියාවකි. ඒ සදහා හේතුවන්නේ ද්‍රාවකයේ අංශු (ජලය) අධි සාන්ද්‍ර ද්‍රාව්‍යය අංශු ද්‍රවනය වූ පැත්තට අර්ධ පාරගම්‍ය පටලයක් (semipermeable membrane) හරහා ගලා යාමයි (රුප සටහන 01). අර්ධ පාරගම්‍ය පටලයේ කාර්යභාරය වන්නේ තෝරා ගත් ද්‍රාවණයේ (ද්‍රාවකය) අණු හෝ අයන වලට එක් පැත්තකට පමණක් ගමන් කිරීමට සැලැස්වීමයි. ජලීය ද්‍රාවනයක නම් ජල අණු වලට මෙනිසා ද්‍රාව්‍යය සාන්ද්‍රණය අඩු පැත්තේ සිට වැඩි පැත්තට ගමන් කිරීමට ඉඩ සැලසේ. මෙහිදී කාලයත් සමග දෙපස සමතුලිත වන අතර ඒ බව තීරණය කරන්නේ දෙපස ඇත්තා වූ ද්‍රාව්‍යය අංශු වල මවුලික සාන්ද්‍රණය (molar concentration) මතයි. මේ අවස්ථාවේ ඇතිවන පීඩනය නැතහොත් දෙපස සමතුලිත කිරීමට අවශ්‍ය වන අවම පීඩනය ආශ්‍රුතික පීඩනය (osmotic pressure) ලෙස හැදින්වේ (රූපසටහන 02)‌‌‌‌‌. මෙම ක්‍රියාවලිය පහත ලෙස ද සරලව ඔබට තේරුම් ගත හැක. අපගේ ශරීරයේ සෛලවල සෛල පටලය ක්‍රියාත්මක වන්නේ අර්ධ පාරගම්‍ය පටලයක් ලෙසයි. එවැනි සෛලයක් පිරිසිදු ජලයෙහි ගිල්වුවහොත් සෛලය තුලට ජලය ඇතුල් වන අතර සාන්ද්‍රණය වැඩි ලුණු ද්‍රාවණයක ගිල්වුවහොත් වන්නේ සෛලයේ ඇති ජලය පිටතට පැමිණීමයි.   

ප්‍රති ආශ්‍රුති ක්‍රියාවලියේදී සිදුවන්නේ ජලයේ දිය වී ඇති විශාල අයන හෝ අණු අර්ධ පාරගම්‍ය පටලයක් භාවිතයෙන් ඉවත් කිරිමයි. මෙහිදී ආශ්‍රුති පිඩනය පරයන පීඩනයක් පිටතින් ලබා දී  ආශ්‍රුති ක්‍රියාවලිය කණපිට පෙරළා ද්‍රාවණයේ වූ ද්‍රාව්‍යය අංශු පෙරා දමනු ලබයි. එමගින් ජලය පිරිසිදු, අඩු ලවණතාවයකින් යුක්ත ජලය බවට පත් වේ. මෙම ක්‍රියාවලියෙන් වර්තමානයේ සාගර ජලය මෙම ක්‍රියාවලිය මගින් පිරිසිදු බීමට ගත හැකි ජලය බවට පත් කරනු ලැබේ.  

මෙම ප්‍රති ආශ්‍රුත පිරිපහදු ක්‍රියාවලියේ දී අර්ධ පාරගම්‍ය පටලය ලෙස භාවිතා කරන්නේ පොලිඑමයිඩ් (poliamid) වලින් කෘත්‍රිමව සකස් කරන ලද “ඉතා සියුම් සංගත පටලයකි” (thin film composite membrane). එතුලින් ගමන් කල හැක්කේ ජල අණු වැනි ඉතා කුඩා අණුවලට පමණකි. සාමාන්‍ය ජලයේ විවිධ ද්‍රාව්‍යය ද්‍රවණය වී ඇත. අවලම්භිත ඝන ද්‍රව්‍ය (මැටි වැනි), බැක්ටීරියා, වයිරස, බහුආරෝපිත අයන සහ ඒකාරෝපිත අයන මේ අතර වෙයි.  පහත දක්වා ඇත්තේ එලෙස ජලයේ දිය වූ ද්‍රව්‍යය වල විශාලත්වයයි (වගුව 1).

ද්‍රව්‍ය
ඒකකය
ප්‍රමාණය
මැටි අංශු
මිලි මිටර
0.002
බැක්ටීරියා
මයික්‍රෝ මිටර
1
වයිරස්
නැනෝ මීටර
100-50
බහු ආරෝපිත අයන (As(v))
නැනෝ මීටර
0.05
ඒකාරෝපිත අයන(Na+)
නැනෝ මීටර
0.1




මෙම අපූරු ක්‍රියාවලිය ලොවට හෙළි කරන ලද්දේ 1748 දී ප්‍රංශ ජාතික ජීන් ඇන්ටෝනි නොලේට් (Jean-Antoine Nollet) විසින් වූවද වසර 200 ක පමණ කාලයක් එය පර්යේෂණාගාර වලට පමණක් සිමා විය. නමුත් ඇමෙරිකාවේ කැලිෆෝනියා විශ්ව විද්‍යාලය මෙමගින් සාගර ජලයෙහි ලවණතාවය ඉවත්කර පිරිසිදු ජලය බවට පත් කල හැකි බව 1948 දී ලොවට පෙන්වන ලදී. මුල් අවස්ථාවේදී නිෂ්පාදනය කරන ලද පිරිපහදු ජලය ප්‍රමාණිකව අඩුවුවත් පසු කාලිනව වූ තාක්ෂණික දියුණුවත් සමග හොදින් ක්‍රියා කල හැකි “ප්‍රති ආශ්‍රුත ජල පිරිපහදු යන්ත්‍ර” නිපදවන ලදී. 1977 දී ඇමෙරිකාවේ කේප් කොරල් නගරය විශාල වශයෙන් ප්‍රති ආශ්‍රුත ජලය භාවිතා කරන ප්‍රථම නගරය බවට පත් වූ අතර එහි වූ යන්ත්‍රයෙන් දිනකදී ජල ගැලුම් මිලියනයක් පමණ නිෂ්පාදනය කරන ලදී. 2001 වසරේ අවසාන භාගය වන විට ලොව මෙම යන්ත්‍ර 15200 ක් පමණ කරදිය පිරිසිදු කිරීමෙන් බිමට ගත හැකි ජලය නිෂ්පාදනයට යොදවා තිබුණි.

ප්‍රති ආශ්‍රුති පිරිපහදු යාන්ත්‍රණය සිදුවන්නේ කෙසේද..?

ප්‍රති ආශ්‍රුති පිරිපහදු යන්ත්‍රයේ පෙරීමේ ක්‍රියාවලිය අනුව ප්‍රධාන අවස්ථා පහකි. මුලින්ම පීඩනයක් යටතේ ලබා ගන්නා ජලයේ වූ මයික්‍රෝ මීටර 1 ට වඩා වැඩි මැටි අංශු වැනි අවලම්භිත ද්‍රව්‍ය ඉවත් කරනු ලැබේ (particle filtration). ඒ සදහා බොහෝ විට භාවිතා කරනු ලබන්නේ තිරුවානා වැල්ලෙන් නිර්මිත පෙරණයකි (රූපසටහන 02 බලන්න). ඉන් පසු ක්‍ෂුද්‍ර-පෙරණ (micro filtration) ක්‍රියාවලියෙන් නැනෝ මීටර 50 ට වඩා වැඩි අණු හෝ අයන ඉවත් කරන අතර ඒ සදහා බොහෝ විට භාවිතාවන්නේ සක්‍රීය කාබන් අංශු පිරවූ පෙරණයකි. මෙමගින් බොහොමයක් කුඩා අවලම්භිත අංශු සහ බැක්ටීරියාවන් පෙරීමට ලක්වේ. එසේ පෙරන ජලය නැවතත් අතික්‍ෂුද්‍ර-පෙරණයකින් (ultra filtration) පෙරෙණ අතර ඒ සදහා භාවිතා වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකි. එහිදී නැනෝ මීටර 3 ට වඩා වැඩි අණු සහ අයන ඉවත් වන අතර ප්‍රධානව එනිසා වයිරස්, බැක්ටීරියා සහ ක්‍ෂුද්‍ර අවලම්භිත අංශු ඉවත් වේ. නිනිති පෙරණයද (nano filtration) සමන්විත වන්නේ අර්ධ පාරගම්‍ය පටලයකිනි. එමගින් නැනෝ මීටර 1 ට වඩා වැඩි බහු ආරෝපිත අයන පෙරා දමනු ලැබේ. අවසානයේ දී පෙරීමේ ක්‍රියාවලිය අවසන් වන්නේ නැනෝ මීටර 0.1 ට වඩා වැඩි ඒකාරෝපිත අංශුන් ද ජලයෙන් ඉවත් කරමිනි  (hypher filtration).

අවසාන පෙරීමේ ක්‍රියාවලි තුනම අර්ධ පාරගම්‍ය පටලය හරහා සිදුවන ප්‍රති ආශ්‍රුතියට ලක් වන නිසා එයට පෙර ජලය තව දුරටත් මෘදු කරනු ලබයි. ඒ සදහා ජලයෙහි දිය වී ඇති කැල්සියම් සහ මැග්නීසියම් අයන ඉවත් කරයි. මෙම ක්‍රියාවලියට රසායනික මෘදුකයන් (softner) භාවිතා කරනු ලැබේ.  එමගින් මෙම අර්ධ පාරගම්‍ය පටල ඇහිරිම වළක්වාලයි. කිසියම් ආකාරයකට අර්ධ පාරගම්‍ය පටල ඇහිරී ඇත්නම් “ප්‍රතිසේදීමක්” (backwash) මගින් පටල පිරිසිදු කල හැක.

ප්‍රති ආශ්‍රුතියෙන් නිපදවෙන ජලයෙහි තව දුරටත් ක්‍ෂුද්‍ර ජීවින් ඇත්නම් හරණය සදහා පාරජම්බුල කිරණ යොදා ගනී. ප්‍රති ආශ්‍රුති පිරිපහදු පද්ධතියට ජලය ලබා දෙන්නේ පීඩනයක් යටතේ බැවින් ඒ සදහා පිඩක පොම්පයක් යොදා ගනී (රූපසටහන). කිවුල් ජලයෙන් පිරිසිදු වතුර ලබා ගැනීමේදී බාර් 2-17 ක පමණ පීඩනය ක් ලබා දීමට අවශ්‍යවන අතර කරදිය භාවිතා කරන විට මෙම  පීඩනය බාර් 40-82 ක් පමණ වූ අගයක පවත්වා ගනී.  

පෙරීමෙන් පසු ඇතිවන අති සාන්ද්‍රගත ජලය බොහෝ අවස්ථාවලදී ජල ප්‍රතිකාරකයක් (treatment plant) මගින් පරිසරයට එක්කල හැකි ප්‍රශස්ත මට්ටමට ගෙනවිත් පරිසරයට නිදහස් කරනු ලැබේ.

මෙම යාන්ත්‍රණය භාවිතාවන විශාල පරිමාණයේ ජල පිරිපහදු යන්ත්‍ර මගින් විශාල ජනතාවකට පිරිසිදු ජලය ලබා දිය හැකි අතර තම නිවහනේ සාමාජිකයන්ට පමණක් ප්‍රමාණවත් ලෙස ජලය ලබා දිය හැකි කුඩා ප්‍රමාණයේ යන්ත්‍ර ද මේ වන විට ලොව පුරා භාවිතා වේ.

ප්‍රති ආශ්‍රුතියෙන් නිපදවෙන ජලයෙහි සියලුම ක්‍ෂුද්‍ර ජීවින් ද, සියලුම අවලම්බිත අංශුන් ද විශේෂයෙන්ම ආසනික් කැඩ්මියම් වැනි බැර ලෝහද එමෙන්ම බොහොමයක් ඛනිජ ලවණ ද ඉවත් කෙරේ. එනිසාම ශරීරයට අතවශ්‍ය ඛනිජ ලවණ ද අහිමි වන අතර ප්‍රති ආශ්‍රුති පිරිපහදුවෙන් නිපදවෙන ජලය පානය කිරිම සෞඛ්‍ය ගැටළු ඇති කිරීමට හේතු විය හැක බව විද්‍යාඥයින් සැක පල කරන අතර එවැනි සිදුවීම් ද මේ වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වාර්තා වී ඇත. 

ප්‍රති ආශ්‍රුති පිරිපහදුවේ අහිතකර පැත්ත

බොහොමයක් ඛනිජ ලවණ ප්‍රති ආශ්‍රුතියෙන් ඉවත් වීම හේතුවෙන් ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ද අහිමිවීම මෙහි ඇති ප්‍රධානම දුර්වලතාවයයි. සාමාන්‍යයෙන් පානය කරන ජලය මගින් දිනෙක අවශ්‍යතාවයෙන් 6% සිට 30% පමණ දක්වා වූ ප්‍රමාණයක් ශරීරයට අවශ්‍ය ඛනිජ ලවණ ලබා ගැනේ. එනිසා අත්‍යවශ්‍ය ඛනිජ ලවණ අහිමි වීම දිගු කාලීනව ශරීරයට සෞඛ්‍ය ගැටළු ඇති විය හැකි නිසා දිගු කාලීන භාවිතය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇත.

ප්‍රධානකොටම මෙම අත්‍යවශය ඛනිජ ලවණ නොලැබීම නිසා ඇති විය හැකි සංකූලථා මොනවාද යන්න අප විමසා බලමු. සාමාන්‍ය තත්වයේදී ජලයේ තිබිය යුතු, ලෝක සෞඛ්‍ය  සංවිධානය අනුමත කරන කැල්සියම් සහ මැග්නීසියම් මට්ටම වන්නේ ලීටරයට මිලිග්‍රෑම් 20 සහ 10 කි. මෙනිසා ප්‍රති ආශ්‍රුති පිරිපහදු  ජලයේ කැල්සියම් සහ මැග්නීසියම් ලවණ  හිඟ වීම ශරීරයේ මාංශ පේශි ක්‍රියාකාරිත්වයට ඍජුවම බලපාන අතර හෟද රෝග සදහා ද බල පෑ හැකි බව පෙන්වා දෙයි. එමෙන්ම පර්යේෂණ වලින් ලද තොරතුරු අනුව පැහැදිලි වන්නේ මහන්සිය සහ මාංශ පේශිවල කෙණ්ඩා පෙරලීම වැනි තත්ත්ව ඉතා කෙටිකාලින භාවිතයෙන් පවා ඇති විය හැකි බවයි.

ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතය පිලිබඳ ඇත්ත වූ තවත් මතයක් වන්නේ මෙම අඩු සාන්ද්‍ර ජලය පානය කිරීමෙන් ශරීරයේ අභ්‍යන්තර ඛනිජ ලවණ මෙම ජලයට ඇද ගැනීමට ඉඩ ඇති බවයි. එමනිසා ශරීරයේ ලවණ මෙම ජලය පානයෙන් මුත්‍රා පද්ධතිය ඔස්සේ ඉවත් වීමෙන් ශරීරගත ලවණ සාන්ද්‍රණය අඩු වීමත් විය හැකි බවයි. එය ශරීරයේ සාමාන්‍ය ක්‍රියාකාරිත්වයට ප්‍රභලව බල පෑ හැකි බව ද ශරිරයේ සුවිශේෂී ඉන්ද්‍රිය වලට හානි විය හැකි බවද බටහිර වෛද්‍යවරු පෙන්වා දෙනු ලබනවා.

එමෙන්ම ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතා කර ඉවුම් පිහුම් කටයුතු වල යෙදීමේ දී විශේෂයෙන්ම එළවළු සහ පළතුරු වලින් ඛනිජ ලවණ ඉවත් වීමට හේතුවන බව කියවේ. එයද වක්‍රව ශරීරයට අවශ්‍යවන ඛනිජ ලවණ නොලැබී යෑමට හේතුවේ.

අනෙකුත් දුර්වලතාවය වන්නේ මෙම ජලය නල හරහා බෙදා හැරීමේ අපහසුතාවයයි එයට හේතුවද වන්නේ අඩු ලවණ සාන්ද්‍රණය හේතුවෙන් නාලවලට හානි පැමිණීමයි.

එනිසා ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය දිගුකාලින භාවිතය කොහෙත්ම අනුමත කල නොහැකි බව ඔබට වැටහෙනවා ඇත. නමුත් ශ්‍රී ලංකාවේ වර්තමානයේ උද්ගත් වී ඇති තත්වයත් සමග ඒ සදහා භාවිතා කල හැකි කෙටි කාලින හොඳම විකල්පය වන්නේ ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය වේ.  

ප්‍රති ඛණිජකරණය

මෙම තත්වය සමනය කර ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලයේ ඛනිජ ලවණ සාන්ද්‍රණය වැඩි කිරීමට පිටතින් ඛනිජ ලවණ එකතුකිරීම යෝජනා කරන අතර ප්‍රති ආශ්‍රුති පිරිපහදුවට පිටතින් අත්‍යවශ්‍ය ඛනිජ ලබා දෙන ස්වභාවික ඛනිජ අඩංගු උපාංගයක් මේ සදහා සවි කරනු ලැබේ. කෙසේවෙතත් ප්‍රයෝගිකව මෙය තරමක් අසීරු කර්තවයක් වන්නේ නිරන්තර සොයා බැලීම අවශ්‍ය නිසයි. එනිසා ඉතා පහසුවෙන් විශාල යන්ත්‍ර වලදී මෙම ජලයේ ගුණාත්මක බව පරික්ෂා කල හැකි වුවත් නිවහනේ භාවිතා වන යන්ත්‍ර සදහා නිසි යාන්ත්‍රණයක් සකස් වී නොමැත.

වර්තමානයේ අප හමුවේ ඇති අභියෝග

කෙටි කාලිනව ප්‍රති ආශ්‍රුති පිරිපහදු ජලය භාවිතා කරන අතර දිගු කාලිනව භාවිතා කල හැකි ජල පිරිපහදු ක්‍රමවේදයක් සොයාගැනීම ශ්‍රී ලංකික විද්‍යාඥයන් සතු වර්තමාන අභියෝගය යි. එයට අමතරව ක්‍රමවත් ජල කළමනාකරණ ක්‍රියාදාමයක් දියත් කිරීම ද රටෙහි ජල මූලාශ්‍ර සංරක්ෂණය කිරීමේ ව්‍යාපෘතියක් දියත් කිරීමද කල යුතු වුවත් එයද එක්තරා ආකාරයකට රට හමුවේ ඇති අභියෝගයකි. විශේෂයන්ම අප භාවිතාකරන කෘෂි රසායන ඇතුළු කෘත්‍රිම රසායනයන්ගේ ප්‍රමිතියද භාවිතයෙන් පසුව ඇතිවන ප්‍රතිවිපාක පිළිබඳව ද අධ්‍යනය කරමින් ජල මුලාශ්‍රවල ගුණාත්මක බව ආරක්ෂා කල යුතු වේ.   


ආචාර්ය පත්මකුමාර ජයසිංහ
භුමි කම්පා; ලංකාවට තවත් අනාගත අපදාවක්ද...?

2014 වසරේ විදුසර පුවත්පතෙහි පලකල ලිපියකි.


ආපදා කළමනාකරණය ශ්‍රී ලාංකිකයනට හුරු පුරුදු වචන යුගලයක් වුයේ  මේ මෑත කාලීනවයි. වරින් වර සිදුවෙන්නා වූ නාය යෑම්, ගංවතුර යනාදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් මෙරට වැසියන් පීඩාවට පත් වූවත් 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු විය.

ඉන්දුනීසියාව අසල වූ භූ තල වල එක් රැස් වූ අධික තෙරපුම එකවරම නිදහස් වීම හේතුකොටගෙන මුහුද අභ්‍යන්තරයේ සිදු වූ කම්පනයෙන් කැළඹුන මුහුදු ජල තරංග අධික ශක්තියක් රැගෙන ගොඩබිම බලා වේගවත් ව ගමන් කල අතර වෙරළාසන්න නොගැඹුරු මුහුදු පත්ලෙහි ගැටී ඇති වූ අති බිහිසුණු මාරාන්තික රළ පහර  වෙරලබඩ ජනජීවිතය සුනු විසුනු කරන ලද්දේ ඇසුරු සැණෙකිනි. කිසිවෙකුට හෝ ඒ කෙරහි සිත් අල්වා ගනු පිණිස කාලයක් නොදුන් තරම් ය. එකල මේ බිහිසුණු ආපදාව පිලිබඳ අත්දැකීමක් නොවූයෙන් පෙර සුදානමක් ද නොවීය. එනිසාම සිදු වූ හානිය ද අති මහත් විය.

ශ්‍රී ලාංකිකයන්ගේ පවුරානිකව රැගෙන ආ සංස්කෘතික සබදියාවත්, තිබු එකමුතුකමත් හේතුවෙන් විපතෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් විපතට පත්වුවනට නා නා විධියෙන් උදවු උපකාර කෙරෙන්නට විය. ඇමරිකාව වැනි දියුණු සහ බල සම්පන්න රටවල් කත්‍රිනා වැනි වැහි කුණාටු හමුවේ දුර්මුඛව දුර්වල වෙද්දී (උසස් තාක්ෂණය, බලය සහ ධනය තිබුනත්) ලාංකිකයන්ගේ ක්‍රියා කලාපය එනයින් අතිශය ප්‍රසංසා සහගත විය යුත්තක් ලෙස සියල්ලන්ගේම සිත්සතන් වල පල පැදියන් විය යුත්තකි. 

සුනාමි ව්‍යවසනය වන තුරුත් එවැන්නක් පිලිබඳ කල් යල් බැලීමක්ද නොවුයේ එහි විද්යාත්ම පසු බිම නොදැන සිටීම හෝ/හා සිදුවන්නට හැකි අනාගත ව්‍යසන පිළිබඳ ශ්‍රී ලංකික විද්වතුන් ගේ කතා බහට මාතෘකාවක් ද නොවූ බැවින් යයි මසිතට නැගුනත් වර්තමානයේ නිරන්තර අවධානය ඒ පිලිබඳ යොමු වෙමින් පැවතීම තිබීම සතුට ගෙන දෙන්නකි. නමුත් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අනාගතය පිළිබඳ කිසියම් සුරක්ෂිත බවක් ඇති වී යයි සිතිය හැකිද...?

මන්දයත්, පසුගිය දිනෙක කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ ඛේදජනක සිදුවීම අප විසින් දැන දැන දහවල වලේ වැටීමක් නොවන්නේද..? කවුරු කෙසේ කිව්වත්, සිදුවියහැකි අනතුරු කල්තිය හදුනාගැනීමත්, එය සියලුම පර්ශ්වයන්ට දැනුම් දීමත් සහ අනතුර අවම කර ගැන්මට විකල්ප යෝජනා කිරීමත් සහ ඒ සදහා උනන්දු කිරීමත් පිළිබඳව අප සතුටුවිය යුත්තේ ශ්‍රී ලංකීය භූ විද්‍යාඥයින්ගේ අප්‍රතිහත පර්යේෂණ වල ප්‍රතිපල මහජනතාවගේ ආරක්ෂාව සදහා යොදාගැනීම පිළිබඳවයි. එපමණක් නොව භූ විද්‍යාඥයින් ලෙස තමාගේන් මෙරටට ඉටුවිය යුතු වගකීම නිසි පරිදි  ඉටුකිරීමට කැපවීම පිලිබඳවයි. නමුත් නිසි පරිදි එම ප්‍රදේශයේ ජනතාව විකල්ප ස්ථාන කරා ආපදාවට පෙර යොමුකරවීමට නොහැකි වීම මෙරට රාජ්‍ය තන්ත්‍රය ලැබූ දැඩි පරාජයකි. ආපදා කළමනාකරණයේදී එහි සියලුම පියවරයන් නිසිපරිදි සිදුවනවාදැයි නිති අවදානමෙන් සිටීමේ වගකීමත් ක්‍රියාදාමයේ වඩා වැදගත් පියවරයන් සහ තීරණ ප්‍රමුඛතා කොට සලකමින් සිදුකිරිමේත් වගකීමත් මේ සම්බන්දිත සියලුම පාර්ශවයන් වෙතින් සිදුවූ අතපසුවීමක ප්‍රතිපලයක් වීම ඉතා කණගාටුදායකය.       

වර්තමානයේ සිදු වූ මෙම නායයාමේ ව්‍යවසනයත් ඊට පෙර පසු ගිය දා පැවතියා වූ “අපදා කළමනාකරණය” පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රරණයට සහබාගී වීමෙන් පසුත් මෙම ලිපිය ලිවිම සිත් වුයේ තවත් අනාගතයේ සිදුවිය හැකි අනතුරක් පිළිබඳව සියලුම් පාර්ශව දැනුවත් කිරීමටය. එසේ නොකරන්නේ නම් එය ශ්‍රී ලාංකිකයෙකුට තරම් නොවේ යයි ද සිතුණු බැවිනි.

මෙතෙක් කලක් භූ තල මායිම් හේතුවෙන් ඇතිවන්නාවූ භූ කම්පන පිලිබදව අප රට සුරක්ෂිත යැයි නිගමනය කර සැනසුම් සුසුම් හෙලුවත්, මෙරට අනාගතය නම් එසේ නොවීය හැකි යැයිද භූ කම්පන හේතුවෙන් ඇතිවන්නා වූ ව්‍යවසනයන්ගෙන් නිරන්තර පීඩා විදිය හැකි යැයිද මෙහි ලා සඳහන් කල යුතුය. එපමනක් නොවේ මෙම භූ කම්පන ඇතිවීමේ සුලභතාවය සාගර පත්ලෙහි වීම ද මෙම ව්‍යවසනය එම හේතුවෙන් තවත් තීව්ර කෙරෙන බව ද සිත් හි තැන්පත් විය යුතුය.  එසේ වන්නේ ඇයි..? මෙපමණ කලක් සුරැකිව තිබුනේ විද, හදිසියේම මෙවැනි තත්වයක් හට ගන්නේ කෙසේද..? විද්‍යාත්මක පසු බිම විමසා බැලීමේදී නම් එවැනි ක්ෂණික උද්ගත්විමක් නොවූ බව පැහැදිලි වේ. පසුගිය කාලයේ ඔබ අවධානයෙන් පසු වුවා නම්, මතකයට නැගෙනු ඇත ලං ලං වූ කාලාන්තර වල දිවයිනේ සමහර පෙදෙස් වල ට භූ චලනයන් දැනෙනු බව.  

මොනවද මේ භූ තල මායිම්..? ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිකරගෙනම ඇතිවන්නට යන්නා වූ ව්‍යවසනය ගැන කතාබහට ලක් කිරීම වඩාත් උචිත වේ. පෘථිවි පෘෂ්ටය විවිධ පාෂාණ සමූහයකින් තැනුණු දොඩමක ලෙල්ල මෙන් වුවකි. මෙය කබොල ලෙසත් එයට ඇතුලතින් ප්‍රාවරණය නම් වූ තවත් පාෂාණ කලාපයකින්ද අභ්‍යන්තරයේ හරය නම් වූ තවත් අධික ඝනත්වකින් යුක්ත පාෂාණ වලින්ද සමන්විත වී ඇත. කබොලට ඇතුලතින් වූ හරයෙහි ඉහල කොටසෙහි කබොලත් හරයත් වෙන් කරන මායිමේ සිට ගැඹුරින් 1/4 ක්‌ පමණ වූ ප්‍රදේශයක් පසු කල විට පවතින්නේ අධික උණුසුමින් යුක්ත අර්ධ ඝන (හෝ අර්ධ ද්‍රව) තත්වයේ පවතින රක්ත තප්ත වූ කලාපයකි. එහි නිරන්තරයෙන් පැසෙන ලෝදියෙන්ද සමන්විත වේ. මෙම අර්ධ ද්‍රව මත ඊට ඉහලින් වූ හරයෙහි ඉහල කොටසත් කබොලත් එක් වූ තනි පාෂාණ කලාපය භූ තල ලෙස හදුන්වන අතර ඒවා විවිධ ස්ථානවලින් පිපිරී ඉරිතැලී වෙන් වෙන් භූ තල වලට වෙන්ව ඇත. මෙවැනි භූ තල ප්‍රධාන කොට 13ක් පමණ පවතින අතර මෙම තල දෙකක් අතර මායිම “භූ තල මායිම්” ලෙස හදුන්වයි. මෙයට අමතරව සමහර භූ තල කුඩා භූ තල වලටද වෙන් වී ඇත. විශේෂත්වය නම් මෙම භූ තල මායිම් ඉතා ගතික එනම් චලනය වන ඒවා වීමයි. භූ තල අර්ධ ද්‍රව කලාපයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් විවිධ දිශාවන් වලට මේ මොහාත වන විටත් ගමන් කරමින් පවතී. නමුත් මෙම චලන බොහොම සෙමෙන් සිදු වේ. සමහර භූ තල එකෙනෙක වෙත එනම් අභිසාරිව චලනය වේ. තවත් ඒවා එකිනෙකින් ඉවතට එනම් අපසාරිව චලනය වේ. තවත් භූ තල එකිනෙක ස්පර්ශ කරමින් දෙපසට චලනය වේ (පරිණාමණ විභේද).  භූ කම්පන ඇතිවිමේදී ඉහත කි අභිසාරී තල මායිම් වල හා පරිනාමන විභේද වල චලනයන් බෙහෙවින් හේතු වේ. එකිනෙක වෙත තල්ලු වෙන භූ තල නිසා එම මායිම් අසල අධික පීඩනයකට ලක්ව පවතී. දරා ගත නොහැකිවන විට මෙම පීඩනය එකවිටම නිදහස් වේ. මෙනිසා අධික කම්පනයක් සහිතව භුමිය චලනයට ලක් වේ. මෙම තල මායිම් මුහුද මද්‍යයේ වුයේ නම් බොහෝ විට සුනාමි තත්වයක් ඇති කරයි. 2004 වුයේද මෙවැනි භූ තල චලනයක ප්‍රතිපලයකි.  

මෙරටට මෙම තල මායිම් වල බලපෑම සිදුවන්නේ කෙසේද? මෙතෙක් කලක් අප සිතා සිටියේ ශ්‍රී ලංකාව ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය මධ්‍යයේ පිහිටීම නිසා භූ චලන පිළිබඳව අවධානමක් නොමැති ලෙසයි. නමුත් එම තත්වය මේ වන විට ක්‍රමිකව වෙනස් වන බව පෙනී යයි. මේ සඳහා කදිම විද්‍යාත්මක සාක්‍ෂි සපයන්නේ ජාතික විද්‍යා පදනමෙන් පලකරන විද්‍යා සඟරාවේ 30 වෙනි වෙළුමෙහි පළමු කලාපයේ ඇත්තා වූ පර්යේෂණ පත්‍රිකාවකි. මේ පත්‍රිකාවෙහි ලේඛකයා වන්නේ පේරාදෙණිය සරසවියෙහි භූ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙහි සේවය කල ජේෂ්ඨ මහාචාර්ය සි. බි. දිසානායක මහතායි. ඔහු පවසන ආකාරයට ලංකාවට දකුණු මුහුදෙහි නව භූ තල මායිමක්‌ හට ගනිමින් පවතී. එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට සැතපුම් 600 ක්‌ පමණ දකුණු දිග මුහුදු කලාපයේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ පිහිටයි. මෙම පිපිරිමක්‌ කාලයත් සමග තව දුරටත් පුළුල් වෙමින් වඩාත් ක්‍රියාකාරී තල මායිමක් බවට පරිවර්තනය විය හැකි බව මගේ හැඟීමයි.පසුගිය කාල වකවානුවෙහි සිදු වූ භූ චලනයන් වල කේන්ද්‍රයන් සිතියම ගත කල හොත් ඒ ව බොහොමයක්‌ මෙම නව පිපිරිම සිදු වූ කලාපයේ ස්ථානගත වන බව සොයාගෙන ඇත (සිතියම 01 බලන්න).   

1980 දී වෙයිසල් ගේ පර්යේෂණ කණ්ඩායම සහ 1986 දී වීන්ස් සිදුකල පර්යේෂණ වලින් මෙම නව භූ තල මායිම බිහිවන බව හොදින්ම තහවුරු කර ඇත. තවමත් උසයන හිමාලය කන්ද බිහිවීමේ ක්‍රියාදාමය දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය උතුරු දෙසට චලනය වී අතිවිශාල යුරෝපියානු භූ තලයේ ගැටීමෙන් ඇතිවන පීඩනය බොහෝවිට නිදහස් වන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ දුර්වල කලාපයක් හරහා පිපිරීම් ඇති කරවමිනි. එනිසා ඉන්දු-ඔස්ට්‍රේල්යානු භූ තලය මධ්‍යයේ ලංකාවට දකුණු දිග මුහුදේ (සැතපුම් 600ක් පමණ ඈතින්) වාර්තා වන එම පිපිරීම් හේතුවෙන් අන්තඃ භූ තල භූ කම්පා ඇතිවන බව වින්ස් ගේ පර්යේෂණ වලින් පැහැදිලි වේ.  භූ තල වල පිපිරීම් දර්ශණය නොවූවත් මෙලෙස ඇතිවන්නා වූ අන්තඃ භූ තල භූ කම්පා එම සිදුවීම් නියෝජනය කරයි. ලෝකයේ බහුතරයක් භුමි කම්පා වාර්තා වී අත්තේ මෙවැනි භූ තල මායිම් ඇසුරු කරගෙනයි.

එසේනම් අනාගතයේ ලංකේය භුමිය කෙසේ නම් භුමි කම්පා අවදානමෙන් තොර වන්නේදැයි කිව හැකිද? දැන් ම නොවුනත් අනාගතයේ යම් දිනක දරුණ ව්‍ය්වසනයකට මුහුණ පෑමේ අවධානමට මුහුණ දිය හැකි බව මෙමගින් හොදින් පැහැදිලි වේ. යමෙකුට “ මුහුද හත්ගව්වක් තබා අමුඩය ගැසීමක්” ලෙස හැඟුනත් අවධානමට පෙර සුදානම් වීම ස්තිරයෙන්ම හානිය අවම කරවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පෙරසුදානම සහ ඒ පිළිබඳව තව තවත් පර්යේෂණ සිදුකිරීම කෙලෙසකවත් මුදල් අපතේ යැවීමක් නම් නොවනු ඇත.

භුමි කම්පා හේතුවෙන් කවරනම් ආපදාවන් සිදු වේද යන්න වටහා ගැන්ම එතරම් අසීරු දෙයක් නොවනු ඇත. මන්ද යත් එවැනි ඛේදවාචකයන්ට හසුවූ රටවල් බොහොමයක් උදාහරණයන් වන හෙයිනි. ජපානය නිතරගයෙන්ම මතකයට නැගෙන්නේ රටෙහි නමත් සමග භුමි කම්පා ඔවුනට උරුමව එම ජනජීවිතයට බද්ධව ඇත්තාක් මෙනි. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන හේතුවෙන් ජපානය භූ කම්පා අනතුර මග හැරිමින් ඇතිවන ආපදා අවම කරගැනීමට සමත් වීම පෙරසුදානමෙහි අගය මොනවට ගෙනහැර පායි.
    
ශ්‍රී ලංකේය භූමිභාගය පුරාවටම ඊසාන-නිරිත දිශානුගතවද සහ වයඹ-ගිනිකොණ දිශානුගතවද ඇත්තා වූ විබෙදයන් (පැලුම්) හේතුවෙන් ඇතිවන්නා වූ භූ කම්පා වල දී විසිරෙන ශක්තිය රට අභ්‍යන්තරයට ගෙන යාමේ හැකියාව ඉතා වැඩිය. එනිසා එම විභේදයන් ඔස්සේ පවතින නගර, ගම්, ජලාශ සහ අනෙකුත් ඉදිකිරීම් අනතුරට ලක්වීමට වැඩි සම්භාවිතයක් ඇත. එනිසා එවැනි ප්‍රදේශ හෝ ස්ථාන හෝ ඉදිකිරීම් හදුනාගෙන ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් ඇතිකල යුතු වේ. එපමණක් නොව එවැනි ප්‍රදේශ වල ඉදිකිරීම් සිදුකරන්නේ නම් නව තාක්ෂණ ක්‍රමෝපායන් භාවිතයෙන් සුරක්ෂිත බව තහවුරු කලයුතු වේ. භුමි කම්පාව සිදුවන විටද එයින් පසුවද ජනතාවගේ ආරක්ෂාව පතා ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම් ද පෙරහුරද පැවැත්වීමද මගින් ජිවිත හානි අවම කර ගත හැකිවේ. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය වැනි ආයතනවලින් මේ සම්බන්දිත භූ විද්‍යාත්මක දැනුම සහ පර්යේෂණ වල ප්‍රතිපල ඇසුරුකරගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් කර වීම අපහසු කටයුත්තක් නොවේ. ආපදාවන්ට ලක්විය හැකි විවිධ විෂය පථයන් හඳුනාගෙන හානිය අවම කරගැනීම උදෙසාද ඔරොත්තු දීම සදහාද විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම අනාගත ආයෝජනයක් වනවා නිසැකය. නමුත් වර්තමානයේ සිදුවනවා මෙන් එම පර්යේෂණ අන්තර්ජාතික සඟරාවල පල වන තවත් එක් පර්යේෂණ පත්‍රිකාවක් පමණක් නොවීමටත් එම දැනුම ආපදා කළමනාකරණය තුලට සුසංයෝජනය කර ගැනීමටත් අප දක්ෂ විය යුතුයි.       

නොදන්වා පැමිණි සුනාමියේ තතු නොදැන සිටීම හේතුවෙන් විසල් ආපදාවකට මුහුණ දුන් අප අනාගතයේ සිදුවිය හැකි භුමි කම්පා ව්‍යවසන පිලිබඳ විද්වතුන් අඟවන අනතුරු නොසලකා හැරියහොත් දෙවැනි වරටත් අප රෑ වැටුණු වලේ දවල් වැටීමක් ම වන්නේය. කොස්ලන්දෙන් ඉගෙනගත් පාඩම ආදර්ශයට ගෙන අපද කළමනාකරණ ක්‍රියාවලියේ දුර්වල ස්ථාන ශක්තිමත් කල යුතුය. නැතහොත් අප අප විසින්ම අනතුරේ හෙළ ගැනීමක්ම වනු ඇත.
 
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 11 June 2018

විකෟතවූ විජානනයෙක් ..


හැරුණා ආපසු හනි හනික

බලා ඉන්නට බැරිව

විභාජනයෙන් දෙබිඩි වී

බෙදී බෙදී වෙන් වෙවී..

සෑම අඩ හෝරාවකට පසු  

දෙගුණ වන ඇමීබාවන්

තව සුළු මොහොතකින්

පිරි ඉතිරි යාවි

එගා(ර්) පිරුණ පෙට්‍රි දීසිය..

ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගෙන් විකසනව

මොළය ඇති කඳක් නැති 

ඒක සෛලිකයා..

මෙන්න හරි වැඩක්..

කෑ ගැසුවා අන්වික්ෂයේ ඇහැ තියන්

වෙන් නොවූ දෙබිඩ්ඩෙක්

හරිම පුදුමයි.. හරිම පුදුමයි

විකෟතවූ විජානනයෙක්..

ඉතින් හොයාපල්ලාකො

මුගේ කිත්තන්ද කිරිකිත්තන්ද

සමග නත්තන් හා පනත්තන්ද

මදි වුනොතින් හෙම  කොස් පොත්තන්ද

වර්ණදේහයේ සුළු වෙනසෙන් 

වෙසෙසින්ම වූ දේහ වර්ණයේ රහස

පරිණාමයේ අපුරුව...........!!!!



ආචාර්ය පත්මකුමාර ජයසිංහ


ජල දුෂණය


ජල දුෂණය රටෙහි ජාතික වශයෙන් වැදගත්කමකින් හෙබි මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව වර්ථමානයේ සිදුවූ ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයක් නිසා පැහැදිලි වේ. එමෙන්ම කර්මාන්ත හේතුවෙන් සිදුවන්නා වූ ජල දුෂණය පිලිබඳ ජනතාව අවදියෙන් සිටින බව එම සිදුවීම් වල දී ඔවුන් ක්‍රියාකළ ආකාරයෙන් තේරුම් යයි. එම සිදුවීම් හොඳින් විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ජල දුෂණය විද්‍යාත්මකව ජනතාවට පැහැදිලි කිරීමේදීත්, ඒ සඳහා භාවිතා වන විද්‍යාත්මක පරාමිතින් සහ ඒවායේ සම්බන්දතාවය පිළිබඳව ජනතාව තුලත් අඩු අවබෝදයක් ඇති බවයි.  එය වඩාත් තිවෳරව දැනෙන්නේ වර්තමාන සිදුවීම් වලදී ජලයේ ආම්ලික- භාෂ්මිකතාවය විස්තර කෙරෙන පී.එච්. අගය සහ ජල දුෂණය පිළිබඳව ඇති වී ඇත්තාවූ නොපැහදිලි බවයි. එය තවදුරටත් සරල කළහොත්, “පී.එච් අගය ජල දුෂණය මනින සාධකයක් ලෙස ගත හැකිද ?” ලෙස ගත හැක. පිළිතුර ලෙස “ඔවු” යන්න වගේම තවත් කරුණු කාරනා කිහිපයක් නිසාම “ නැත” යන්නත් දිය හැකියි. එනිසා ශ්‍රී ලංකිකයන් සියලු දෙනාම යැපෙන්නා වූ මෙරටෙහි මිරිදිය (මතුපිට සහ භූ ගත ජලය) කේන්ද්‍ර කරගනිමින් මෙම සම්බන්දතාවයන් පිලිබඳ පැහැදිලිකිරීමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වේ.



පී. එච් අගය යනු කුමක්ද? එමගින් පැහැදිලි කෙරෙන්නේ ජලයෙහි ආම්ලික සහ භාෂ්මික බවයි. නො එසේනම් ජලයෙහි අයනීකරණය වූ හයිඩ්‍රජන් අයන කොපමණ තිබේද යන්නයි. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දි සුපිරිසිදු (ආශුත) ජලයෙහි පි.එච් අහය 7ක් වේ. එනම් එම ජලය උදාසීන බවයි. එම අගය 7 ට වඩා අඩුනම් ජලය ආම්ලික බවත් 7 ට වැඩිනම් භාෂ්මික බවත් කියවේ.  සත්‍යතාවය නම් ස්වභාවික පරිසරයේ ඇති (ගංගා, ඇල, දොළ, ලිං වල ඇති) මතුපිට ජලයෙහි සහ භූ අභ්‍යන්තරයේ ඇත්තාවූ ජලයෙහි පි.එච් අගය පාෂාණ සහ පස් වැනි භූ පාරිසරික තත්ත්ව මත තීරණය වේ. බොහෝ විට ස්වභාවික ජලයෙහි පි.එච් අගය 7 ට අඩු වේ. එමෙන්ම වැසි ජලය ද සුළු වශයෙන් ආමලික වේ. උෂ්ණත්ව මත ද පි.එච් අගය රඳා පවතින අතර එමනිසා උෂ්ණත්ව වැඩි වන විට එම අගය අඩු වේ.



ස්වාභාවික තත්ත්ව යටතේ ගංගා, ඇල. දොළ, පොකුණු සහ වැව් වලට ජලය එකතුවන්නේ වැස්ස සහ ස්වභාවික උල්පත් හේතුවෙනි.  පොලව අභ්‍යන්තරයේ විවිධ පාෂාණ සහ පස් ඇසුරු කර ගනිමින් පහලට රූරා ගොස් එක් රැස් වන්න වූ ජලය භූගත ජලය ලෙස හැඳින්වේ. මෙලෙස මතුපිට සහ පොලොව අභ්‍යන්තරයේ ගලායන්නා සහ එකතුවන ජලයට එමගින් ක්ෂණිකව දියවන්නා (ද්‍රාව්‍ය)  වූ භූ රසායනිකයන් එකතුවේ. මතුපිට ජලයට වඩා ඉතා අඩු වේගයකින් භූගත ජලය ගලා යන අතර සමහර අවස්ථාවලදී බොහෝ කාලයක්‌ එක තැනක එකතු වී තිබිය හැක. එමගින් එම ජලය ස්පර්ශ කරන්නා වූ භූගත පරිසරයෙන් භූ රසායනිකයන් දියවීමේ සහ එකතුවීමේ ඉඩකඩ වැඩිය.    



ඍජුවම උල්පත්, ගංගා, ඇල, දොළ සහ ලිං වලින් ලබා ගන්නා ජලයෙහි එලෙස එක්‌ වූ ද්‍රවිත රසායනිකයන් අඩංගු වේ. එමගින් අපගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ අත්‍යවශය ඛනිජ ලවන ද ශරීරගත වේ. නමුත් සමහර අවස්ථාවලදී අනවශ්‍ය විෂ සහිත රසායනිකයන්ද ශරීරයට ඇතුල් වේ. එනිසා විවිධ රෝග ඇතිකිරීමට එය හේතුවක් වේ. මෙවැනි සිදුවීම් ලෝකයේ ඉතා හොදින් අධ්‍යනය කර ඇති අතර බංගලාදේශයේ ආසනික්‌ නම් වූ රසායනිකය හේතුවෙන් ඇති වී ඇත්තා වු ඛේදවාචකය කදිම නිදසුනකි. මෙම ආසනික් ජලයට එකතු වී අත්තේ එරටෙහි ඇති සමහර පාෂාණ වලිනි. තවද අප රටෙහි වියලි කලාපයෙහි ජනතාව අතර දක්නට ලැබෙන දත් දුර්වරණ වීමේ රෝගයද භූ පරිසරයේ ඇත්තා වූ ෆ්ලොවොරින් නම් වූ රසායනිකය හේතුවෙන් ඇතිවුවෙකි.



මෙලෙස ද්‍රාවනගත වන්නාවූ භූ රසායනිකයන් ගේ ප්‍රමාණයන් පි.එච් අගයේ වෙනස් වීම මත තීරණය වේ. සමහර භූ රසායනිකයන් (බොහොමයක් ලෝහ සහ බැර ලෝහ අයන) ආම්ලික, එනම් පි.එච් අගය අඩු ජලයෙහි හොදින් ද්‍රවනය වේ. නමුත් පි. එච් අගය වැඩි වන විට ඒවා අද්‍රාවය තත්වයට පත් වී භූ පරිසරයේ තැන්පත් වේ. එමනිසා එක තැනකදී ද්‍රාවනගත රසායනිකයන් තවත් තැනකදී අද්‍රාවය වී ජල පද්ධතියෙන් ඉවත් වේ. එමගින් තේරුම් යන්නේ ජලයේ පි.එච් අගය (එසේත් නොමැතිනම් ආම්ලික භාස්මික බව) මෙම අයන වල ඉරණම තීරණය කරනු ලැබේ.



සමහර අවස්ථාවලදී ජලයට එකතුවන ගෙන්දගම් (සල්ෆර්), පීට්, හුණු (කැල්සයිට්) වැනි ස්වභාවික රසායනිකයන්/ඛනිජ නිසා ජලයේ පී.එච් අගය වෙනස්විය හැක. අපට මෙවැනි රසායනිකයන්/ඛනිජ බොහොමයක් හදුනාගත හැකි අතර, කෙසේවෙතත් අප තේරුම් ගත යුත්තේ, භූ පරිසරයේ රසායනික ස්වභාවය අනුව ජලයේ පි.එච් අගය වෙනස්වන බවයි. එනයින් පැහැදිලිවන්නේ රටෙහි සැම තැනකම එකම ආකාරයෙන් ජලයෙහි පි.එච් අගය නොපවතින බවයි. උදාහරනයක් ලෙස පර්යේෂණ වලින් හදුනාගෙන ඇති ආකාරයටමුතුරාජවෙල ප්‍රදේශයේ ජලය එහි පවතින පීට් නිධිය හේතුවෙන් ආම්ලික ස්වභාවයෙන් යුක්ත වන අතර යාපනය ප්‍රදේශයේ ජලය එහි පවතින අවසාදිත හුණුගල් හේතුවෙන් සුළු වශයෙන් භාස්මික වේ. එමෙන්ම කල්පිටිය ප්‍රදේශයේ ජලය බොහෝදුරට උදාසීන ස්වභාවයෙන් යුක්ත වේ. මෙවැනි අසමතුලිතා රට පුරා හදුනාගත හැක.



මෙවැනි ස්වභාවික තත්වයන් වලට අමතරව, මිනිසාගේ ඍජු සහ වක්‍ර ක්‍රියාකලාපයන් හේතුවෙන් ද ජලයේ පි.එච් අගය වෙනස් වේ. ජලයේ රසායනික ස්වභාවය වෙනස් කරන මෙවැනි මිනිස් බැහැර කිරීම් දුෂක ලෙස හැසිරෙයි. මෙම දුෂක බැහැර කිරීම් ප්‍රධාන වශයෙන් ස්ථානීය සහ ප්‍රාදේශීය (අස්තානිය) ලෙස  හඳුනා ගත හැක. ස්ථානීය වශයෙන් බැහැර කරන දුෂක පහසුවෙන් හඳුනාගත හැකි අතර ව්‍යාප්ත වීම, ප්‍රමානය සහ ප්‍රදේශය තීරණය කල හැක. එමගින් එවැනි ජල දුෂණයන් පහසුවෙන් පාලනය කල හැක. නමුත් ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වන්න වූ දුෂක එලෙස පහසුවෙන් පාලනය කල නොහැකි වන්නේ දුෂක බැහැර කිරීම විශාල ප්‍රදේශයක් පුරා පැවතීමත් සහ දුෂක විශාල ප්‍රදේශයක පැතිරී යාමත් නිසාවෙනි.  එමනිසා මෙවැනි දේ අධ්‍යනය කිරීමේදී දුෂක බැහැර කරන ස්ථාන, බල පෑ ප්‍රදේශය සහ එහි ප්‍රමාණය කොපමණද යන්න පහසුවෙන් හඳුනාගැනීමට නොහැකි නිසා, පර්යේෂණ වාර ගණනාවක් කිරීමට සිදු වේ. මේ සදහා කදිම නිදසුන වන්නේ කෘෂිකර්මාන්ත කටයුතු වලදී භාවිත වන පොහොර හේතුවෙන් සිදුවන්න වූ ජල දුෂණයයි.



මතුපිට හෝ භූගත ජලයට එකතුවන්නා වූ මෙම දුෂක හේතුවෙන් එහි රසායනික ස්වාභාවය වෙනස් වන අතර එම වෙනස පැහැය සහ ගන්ඳය වැනි සාධක මගින් භෞතිකව හඳුනාගත හැක. නමුත් සමහර අවස්ථාවලදී එලෙස හඳුනාගත නොහැකි වන අතර  රසායනික විශ්ලේෂණයන් ගේ අවශයතාවය පැන නගී. මේ සදහා තත්ත්ව පරීක්ෂණ ගණනාවක් සිදු කල යුතු වන්නේ ජලයේ රසායනික වෙනස් වීම කුමන හෝ ආකාරයේ එකක් වීමේ හැකියාවත්,  සුළු වෙනසකින් ජලයේ රසායනික ස්වභාවය ආකාර ගණනාවකින්ම වෙනස් වියහැකි වීමත් නිසාවෙනි. මෙම සාධක වලින් පි.එච් අගය බොහෝවිට ජල දුෂණය හදුනාගැනීමේ විශ්වාසදායක සාධකයක්‌ වෙයි. කෙසේවෙතත් එය, ජල දුෂකය සහ එම ප්‍රදේශයේ ජලයේ පසුබිම් පි.එච් අගය මත තීරණය වෙයි. එමනිසා නිගමනයන්ට එළඹීමට පෙර ජලයේ පසුබිම් පි.එච් අගය සමග විශ්ලේෂණ මගින් ලැබෙන ප්‍රතිපල සංසන්දනය කිරීම අත්‍යවශය සහ නුවණැති ක්‍රියාවකි.



කර්මාන්ත මගින් සිදුවන්න වූ ජල දුෂණය ඉතා පහසුවෙන් නිශ්චය කිරීමද පාලනයද කල හැක.  සමහර විට එම ප්‍රදේශයේ පසුබිම් පි.එච් අගයන් නොදැන සිටියද දුෂකය පැතිරෙන ආකාරය සහ ඒවායේ සාන්ද්‍රන මගින් දුශකයේ ස්වභාවය ද තීරණය කල හැක.  බොහෝවිට ඉතා සරල විශ්ලේෂණ ක්‍රමවේද කිහිපයක් මගින් ජලය දුෂනය වී ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න නිගමනය කිරීම එතරම් අපහසු කටයුක්තක් නොවේ.  උදාහරණයක් ලෙස බැහැර කරන දුෂක ද්‍රව්‍ය වල පි.එච් අගය අඩුනම් බැහැර කරන ස්ථානයේ අවට පසෙහි සහ ජලයෙහි පි.එච් අගය අනෙකුත් ස්ථාන වලට වඩා අසාමාන්‍ය ලෙස අඩුවන අතර එම ස්ථානයෙන් ඉවතට යනවිට එම අගය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට ලඟා වේ. නමුත් බැහැර කිරීම වල සහ ප්‍රදේශයේ ජලයෙහි සහ පසෙහි පි.එච් අගය අතර වෙනසක් නොමැතිනම් දුෂණ තත්වය තීරණය සදහා වෙනත් පරාමිතියක් භාවිතා කල යුතුවේ. සමහර කර්මාන්ත සම්බන්දයෙන් සුවිශේෂී පරාමිතීන් සහ විශ්ලේෂණ භාවිත කල හැක. දුෂක ද්‍රව්‍ය පස සහ ජීවින් හට බලපාන්නේ නම් ජීව සාධක මේ සදහා භාවිතයට ගත හැක. 



පසුගිය කාලයේ වූ සමහර ජල දුෂණ සිදුවීම් සමනය වූ තත්වයක් පෙන්නුම් කලත්, නිරන්තර ජල දුෂක ක්‍රියා නිසාවට ජල හිඟයකට මුහුණ පෑමේ අවධානමකට අප ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජල සම්පත් වලට ප්‍රධානම සහ ප්‍රබලම බලපෑම සිදු කරන්නේ නවින සහ බටහිර කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතා කරන රසායනික පොහොර, කෘමි සහ වල් නාශකයි.  එපමනක්‌ නොව එය ශ්‍රී ලංකික ජල දුෂණයේ ප්‍රාදේශීයව බල පවත්නා ප්‍රධානම සාධකය වේ. කෘමි සහ වල් නාශක භාවිතය පිලිබඳව ශ්‍රී ලංකික ජල පර්යේෂණ ක්ෂේත්‍රය තුල තවමත් නිසි අවධානය යොමු වී නැති බව පෙනී යයි. එමනිසා අනාගත ජනතාවගේ යහපත සහ පැවැත්ම පිලිබඳ නොපැහැදිලිතාවයක් මතු වේ. රටෙහි කර්මාන්ත ස්ථාපිත වීම වේගවත් වී ඇති අතර එනිසාම එමගින් සිදුවන්නවූ බලපෑම පිලිබදව සහ ඒවා අවම කරගැනීමත් වලක්වගැනිමත් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශය වේ. ජල දුෂණය හදුනාගැනීම සහ වලක්වාගැනීම සඳහා ජාතික මාර්ගෝපදේශනයන් සපයා ඇති මුත් ඒ පිලිබඳ අවදානය සහ දැනුවත්වීම අඩු බවද පැහැදිලි වේ. කෙසේනමුත් මෙම ජල විශ්ලේෂණ කටයුතුවලදී පසුබිම් දත්ත ලබාගැනීම සහ එම ප්‍රදේශය පිලිබඳ කාලිනව කරන ලද පර්යේෂණ තොරතුරැ එක්‌ රැස් කර ඒවා අධ්‍යනය කිරීම ඉතා වැදගත් කරුණකි. එපමණක් නොව එවැනි අධ්‍යනය වලදී එම ප්‍රදේශයේ කාලගුණික තත්වය පිළිබඳව සැලකිලිමත් වීමද වැදගත් වන්නේ ජලයේ රසායනික ස්වභාවය වෙනස් කිරීමෙහි ලා එය ප්‍රබලව බලපාන බැවිනි.



ජාතික වශයෙන් වැදගත් වන මෙවැනි ගැටළු හමූ වේ මුහුණ දීම සදහා කිසියම් පෙර සුදානමක් තිබීම අත්‍යවශය වේ. මේ සඳහා රටෙහි ජල සම්පත් පිළිබඳව ප්‍රමාණාත්මකව වාගේම තත්වය පිලිබදව ද කරුණ ගොනු කර තැබීම ඉතා වැදගත් වේ.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...