Saturday 6 January 2024

 වර්ණ සහ ලෝහ ඛනිජ

06/01/2024

මිනිසාගේ අවධානයට යොමු වූ පළමු ලෝහ ඛනිජය විය හැක්කේ රත්තරන් විය යුතුය. එලෙස මා  පවසනුයේ පර්යේෂණයෙන් සොයා ගත්තක් නොව මාගේ යම් සිතුවිල්ලකට යටත්වය. ඒ සඳහා සාධාරණ කරුණු කිහිපයක් දැක විය හැක. එහි වර්ණය ආකර්ෂණීයයි. ඕනෑම අයෙකුගේ ඇස ඒ සඳහා යොමු වේ. ඕනෑම භූ පරිසරයක ඉතා පහසුවෙන් කෙනෙකුගේ අවධානයට යොමු වේ. ප්‍රාග් මානවගේ ඇසට රත්තරන් යොමු නොවූ වේ යැයි කිව නොහැක. විශේෂයෙන්ම ගංගා නිම්න පරිසරයේ සැරිසරණ මොවුනට ගසාගෙන එන වැල්ලේ එය නිතැතින්ම හමුවන්නට ඇත. නමුත් රත්තරන් කොතරම් ලස්සන වුවද ඒ සතු යම් දුර්ගුණාංගයක් නිසා එය ඔවුන්ගේ සිත් නොගන්නට ඇත. ලෝහයක් ලෙස එහි භාවිතය එතරම් දුර්වලය. පිරිසිදු රත්තරන් (කැරට් 24) සිහින් ලෙස කැඩි කැඩී යයි. එතරම් ම ශක්තිමත් නොවේ. රත්තරන් වලින් යම් ශක්තිමත් භාණ්ඩයක් සෑදිය නොහැක්කේ මේ නිසාය. ශක්තිමත් වන්නට නම් තවත් ලෝහ සමග මිශ්‍ර කල යුතුය.

නමුත් තඹ එසේ නොවේ. සමහර තඹ ඛනිජ පෙනුමෙන් රත්තරන් වැනිය (දිය රත්තරන්). එනිසාම කලවමේ මෙම ලෝහ ඛණිජ අවධානයට ලක් වන්නට ඇත. එකම වර්ණය දෙන නමුත් වෙනස් ගුණ දෙන ඛනිජ දෙකෙන් තඹ වෙන්කර ගැනීමෙන් සාර්ථක ලෙස ආයුධයක් තනන්නට හැකි බව පැරැන්නන් අවබෝධ කරගන්නට ඇත. එනිසාම රත්තරන් වලට වඩා තඹ එකල ප්‍රචලිත වන්නට ඇත. බොහෝ දේ තඹ ලෝහය ඇසුරුකරගෙන නිමකරන්නට ඇත. පසුව තඹ ඔක්සයිඩය සහ සල්ෆයිඩය වැනි ඛනිජ වලින් තඹ ලෝහය වෙන්කරග්න්නට තරම් වූ තාක්ෂණයක් සොයාගන්නට ඇත. එයත් සමග යකඩ ලෝහය ද නිස්සරණය කරගන්නට හැකි බව ඔවුන්ගේ දැනුමට එකතුවන්නට ඇත. යකඩ ලෝහය සොබාවයේ පවතින්නේ බොහෝ විට ඔක්සයිඩයක් ලෙස හෝ හයිඩ්රෝක්සයිඩයක් ලෙසයි. තඹ නිස්සාරණයේ මූලධර්ම යකඩ ලෝහ නිස්සරණයට කදිමට ගැලපෙන බව සේරුවිල පැරණි ලෝහ කර්මාන්තය පරික්ෂා කිරීමේදී ඉතා හොඳින් ඔප්පු වෙයි.

තඹ නිස්සසාරණයේ ප්‍රතිඵලයක් ලෙස තඹ මිශ්‍රිත සිලිකා (තඹ බොරය- තඹොර) නිල් පැහැති විදුරු වැනිය. සිලිකා උණුවීමෙන් විදුරු ගතිය ලබාදෙන අතර එයට තඹ එක් වීමෙන් නිල් පැහැය ලබා දෙයි. මෙම ප්‍රතිඵලය පසුව විදුරු පබළු කර්මාන්තයක් ලෙස වැඩි දියුණු වන්නට හේතුවන්නට ඇතැයි මට සිතේ. අහම්බයක් ලෙස ලැබෙන මෙම ප්‍රතිඵලය තවත් අතීත කර්මාන්තයක් සඳහා පදනම් විය.

ආකර්ෂණය සහ වර්ණය මෙලෙස ඛනිජ සොයාගැනීමේදී වඩා පහසුවම් මුතුන් මිත්තන්ට ලබා දෙන්නට ඇත. එනිසා රත්තරන් වර්ණය, නිල් පැහැය සහ කොළ පැහැය ( තඹ නිසා) සහ රතු පැහැය (යකඩ) සාදාගන්නට එතරම් අපහසුවක් නොවන්නට ඇති බවයි මාගේ අදහස වන්නේ. මේ අතර ධවල පැහැගත් කිරිමැට්ට සුදු පැහැය සාදා ගන්නට යොදාගන්නට ඇත. මේ ඛනිජ වර්ණ නිසා පැහැය බොහෝ කාලයක් රඳා පවතින බව පැහැදිලිය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

 

Saturday 16 December 2023

 පස සහ දේශගුණ විපර්යාසය

පස සහ වත්මන් දේශගුණ විපර්යාසයන් අතර ඇති අන්තර් සම්බන්ධය ගැන බොහෝදෙනාගේ නොදැනුවත්කම පාංශු ඛාදනය අවම කිරීමට ගන්නා ක්‍රියාමාර්ග සාර්ථක නොවීමට හේතුවක් විය හැකි බව මගේ හැඟීමයි. වායෝගොලයේ වැඩිවන කාබන්ඩයොක්සයිඩ් වායුව ගබඩා කල හැකි විසල් ගබඩාවක් වන්නේ පෘතුවි මතුපිට ආවරණය කරන පාංශු තට්ටුව බව අප වටහාගත යුතුය. පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් වර්ධනය පාංශු ස්තර කාබනික ද්‍රව්‍ය ගබඩා කල හැකි කදිම ස්ථානයක් වන්නේ ශාක සහ සත්ත්ව  කොටස් එහිදී සරල කාබනික ද්‍රව්‍ය බවට පත් වෙමින්ද කාබන් බවට පත් වෙමින්ද ඒ තුල බොහෝ කාලයක් පැවතිය හැකි වීමයි. ඒ පිළිබඳව වත් බටහිර විද්‍යාත්මක පර්යේෂණ වලින්ද තහවුරු කර ඇත. විශේෂයෙන්ම නිර්වායු තත්වයේ පවතින පාංශු ස්තර තුල මෙම කාබනික ද්‍රව්‍ය කාබන් බවට පත්ව බොහෝ කාලයක් පැවතිය හැක. මේ සඳහා පහත්බිම් සහ තෙත් බිම් වැදගත් බව පෙනී යන කාරණාවකි.

ප්‍රභාසංස්ලේෂණයේ ප්‍රතිඵලයක් ලෙස ශාක තුලට එකතුවන වායුගෝලීය කාබන් ජෛව ගෝලය හරහා පාංශු ගෝලයට එක්වන්නේ අප කවුරුත් නොසිතන ලෙසයි. මේ අපූරු පරිවර්තනය කාබන්ඩයොක්සයිඩ් වායුව නිසා ඇතිවන ගෝලීය උණුසුම පහත හෙලන්නට ඉතා හොඳ ක්‍රමවේදයක් බව මේ වන විට විද්‍යාඥයින් වටහාගෙන ඇත. එනිසා ශාක වැස්ම ශක්තිමත් කිරීම පමණක් නොව පසට කාබන් එකතු කරන්නට විවිධ කෘත්‍රිම ක්‍රමවේද පවා යොදාගැනීමේ හැකියාව පිළිබඳව පර්යේෂණ කෙරෙමින් පවතී. සමහර උත්සායන් සාර්ථක වී ඇත.

පාංශු ඛාදනය මගින් පාංශු ද්‍රව්‍ය ඉවත්වන නිසා කාබන් ගබඩා කිරීමට අවැසි පරිසරය විනාශ කර දමයි. යහපත් පාංශු පරිසරයක් ගොඩනැගීම අවශ්‍යතාව පිළිබඳව අවධානය යොමු කිරීම ඉතා වැදගත් වේ. පාංශු ඛාදනය අවම කිරීම මෙහි දී ප්‍රමුඛ කාර්යය වන බව සිහියේ තබා ගත යුතුය.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

 

 

 

Tuesday 12 December 2023

 

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණයසහ දේශගුණික විපර්යාසය

සීඝ්‍ර ලෙස වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවීම සොබාවික පරිසර පද්ධතියේ ඉතා දරුණු වෙනස්කම් ඇතිකරන්නට හේතු වි ඇති බව අප හොඳින්ම දන්නා කරුණකි.  මිලන්කොවිච් චක්‍රය මගින් පහදා දෙන පරිදි සොබාවික හේතූන් මත පමණක් රඳා පැවති ලෝක දේශගුණය එනිසා මේ වන විට මානව බලපෑම නතු වී ඇති බව විද්‍යා පර්යේෂකයෝ පවසති. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය විශාල වශයෙන් වැඩිවීම සහ වැඩිවෙමින් පැවතීම නිසා ගෝලීය උණුසුම වැඩිකරන්නට පමණ නොව තවත් සොබාවික චක්‍ර ගණනාවක් අවුල්කරන්නට හේතු සාධක වීම නිසා මෙතුවක් නොසිතූ ගැටළු රාශියකට අපට මුහුණ පාන්නට සිදු වී ඇත. තවත් කාලයක යන තුරුම මෙම ගැටළු අපව පෙලන්නට සූදානම් ඇති බවත් ඒ කිසිවක් නිසිලෙස නිශ්චය කරගන්නට තරම්වත් දැනුමක් නොමැතිව අප අපොහොසත් ඇති බව බවත් අමුතුවෙන් පැවසිය යුතු නොවේ.

අදම කාබන්ඩයොක්සයිඩ් විමෝචනය සම්පුර්ණයෙන්ම නවතා දැමූවත් තවත් දහසක ගණනාවක් යන තුරම දේශගුණික වෙනස්වීමේ අවබලපෑම්වලින් මිදෙන්නට අපට නොහැකිවන බව නම් වෙන කිසිවකටත් වඩා හොඳින් අපට වටහාගන්නට හැකි වේ. නමුත් හරියටම සිදුවන්නේ කුමක්දැයි නිශ්චය කරගන්නට අප අපොහොසත් බව ද දැනගත යුතුය.

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මැනීම

 දෛනික වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය “කීලින් වක්‍රය” මගින් ප්‍රකාශයට පත්කරන අතර අද දිනය වන විට එම අගය මිලියනයකට කොටස 215.42 ක පමණ වන බව පෙන්වා දෙයි. “මෝනා ලූවා” නිරීක්ෂණ මධ්‍යස්ථානයේ සිදුකරන  අධ්‍යන කටයුතු මගින් මෙලෙස වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ගණනය කරන අතර එමගින් දෛනික විචලනය අවබෝධ කර ගත හැක. එමගින් පෙන්නුම් කරන ආකාරයට සීඝ්‍ර වැඩිවීමක් මේ වනවිට වාර්තා වන අතර හවායි දූපත් වල පිහිටි මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය මෙම දත්ත ලබා දෙන්නේ වසර 1958 සිටයි. මෙම කටයුත්ත ආරම්භ කල චාල්ස් ඩේවිඩ් කීලින් හට අනුග්‍රාහකත්වය දැක්වීමේ අරමුණින් මෙම සාන්ද්‍රණ වක්‍රය නම් කර ඇත.

පොසිල ඉන්ධන දහනයකරන කොටගෙන මෙලෙස වැඩිවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය කිරික්ෂණය කිරීම මෑත කාලීනව සිදුකරන ලද ඉතා වැදගත් පර්යේෂණ කාරියක් වේ. මෙනිසා කාබන් ඩයොක්සයිඩ විමෝචනය පාලනය කල යුතු බවට වූ ලෝකයේ අවධානය  දිනා ගැනීමට සමත් වීම කිසියම් ප්‍රමාණයකට දේශගුණික විපරියාසය සත්‍ය ලෙසම මානව ක්‍රියා හේතුකොටගෙන සිදුවන බවට වූ යම් සාක්ෂියක් ලෙස විද්‍යඥයින් අතර කතා බහට ලක් කරන්නට සමත් වී ඇත.

ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය

වාර්තාගත අන්දමින් වසර 2000 සිට වසර 2019 පමණ තෙක් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වේගයෙන් වැඩි වි ඇති අතර වසර 2020 දී විමෝචනය කරන ලද කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 36.7 ක් බව ගණනය කර ඇත. කොවිඩ් 19 වසංගතය හේතුවෙන් සිදු වූ විපරියාසය නිසා එම ප්‍රමාණය වසර 2021 දී අසාමන්‍ය ලෙස අඩු වූ අතර එම විමෝචිත ප්‍රමාණය මෙට්‍රික් ටොන් බිලියන 34.81 ක් බව වාර්තා වී ඇත. ඉතා පැහැදිලිව මෙම විමෝචන සඳහා වග කිවයුතු වන්නේ විවිධාකරයේ කාර්මික සහ ප්‍රවාහන කාරියන් සඳහා අවශ්‍ය ශක්ති ජනනය වෙනුවෙන් පොසිල ඉන්ධන දහනය කිරීම නිසා බව සටහන් වේ.  දිහින් දිගටම සිදුවන මෙවැනි ක්‍රියා නිසා ගෝලීය වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය ඉහල යන බව ඉතා පැහැදිලිය. ගෝලීය උණුසුම වැඩිවීම ඇතුළු තවත් නානප්‍රකාර ඍජු සහ වක්‍ර බලපෑම් සඳහා මෙලස ගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වැඩිවීම හේතුවන බව අප අමතක නොකළ යුතුය.

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සහ පාෂාණ ජීර්ණය

ඔබ නොදන්නවා වූවාට වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම බලපාන්නේ ගෝලීය උණුසුම වැඩි කිරීමට පමණක් නොවේ. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම පාෂාණ ජීර්ණය වැඩිකිරීමට ද බලපායි. මෙම වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා වර්ෂා ජලයේ දියවන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය ද වැඩිවේ. එය වර්ෂා ජලය වඩාත් ආම්ලික කරන්නට ද හේතු වෙයි. ආම්ලික වර්ෂා ජලය පාෂාණ ජීර්ණය වැඩිකරන්නට හේතුවන්නේ පාෂාණ නිර්මාණය වන්නා වූ ඛණිජ හා ප්‍රතික්‍රියා කරන නිසායි. මෙම ප්‍රතික්‍රියා හේතුවෙන් කැල්සයිට් වැනි සමහර ඛණිජ දියකර හරින අතර, පෙල්ඩ්ස්පාර් වැනි ඛණිජ සමග සිදුවන ජල විච්චේදන ප්‍රතික්‍රියා සීඝ්‍ර කරයි. එනිසා මැටි ඛණිජ නිර්මාණය වේගවත් කරන අතර පාංශු ජනනය වේගවත් කරයි. පයිරෝක්සින් සහ හෝන්බ්ලෙන්ඩ් වැනි යකඩ ඛණිජ ද වේගවත් ජීරණයක් පෙන්නුම් කරන නිසා මලකඩ ඇති වීම ද වේගවත් වෙයි. අවසානයේදී මැටි ඛණිජ ද , සිලිකා සහ මලකඩ ද සහිත පාංශු දේහයන් නිර්මාණය වන්නේ වේගවත්ව පාංශු ස්තර නිමවාලමින්.. මෙම තත්වය වඩාත් තියුනුව සිදුවන්න ශ්‍රී ලංකාවේ දී නම් තෙත්කලාපයේ වන අතර ලෝකයේ නිවර්තන කලාපීය රටවල ය. මෙම ක්‍රියාදාමය සොබාවිකව සෙමින් සිදුවන ක්‍රියාවලියක් වන අතර වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම මෙම ප්‍රතික්‍රියා වර්ධනය කර සීඝ්‍ර කර පාෂාණ ජීර්නය වැඩිකරන්නට බලපාන බව තේරුම් ගත හැක.  එනිසාම අධිකව පාංශු ජනනය සීඝ්‍ර කර ගැඹුරු පාංශු ස්තර නිර්මාණය ට හේතු වෙයි.

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් ආංශික පීඩනය සහ කාබෝනේට අවක්ෂේපණය

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා පාෂාණ ජීර්ණය වේගවත් වන අතර එනිසා කිරිගරුඬ සහ හුණුගල් වැනි කාබෝනේට පාෂාණ දියවීම අධික වේ. මෙය වේගවත්ව මෙම පාෂාණ තුල කුහර නිර්මාණය සඳහා බලපාන බව සොයා ගෙන ඇත. පාෂාණ අභ්‍යන්තරයේ කුහර ඇතිවීම නිසා ගල්ගුහා නිර්මාණය වන අතර මේ කාලයේ ඒවා ඉතා හොඳින් වර්ධනය වේ. මෙම වර්ධනය වේගවත් වීම කලෙකදී භූ කුහර මතුපිටට ආසන්න වීමෙන් කුහරයේ සිවිලිම කඩා වැටීම නිසා ආවාට ඇති විය හැක. එනිසා මතුපිට ක්ෂණයකින් ගිලා බැසීම සිදුවන අතර මතුපිට ඇති නිර්මිත පරිසරය ආපදාවට ලක්වේ.

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම මෙලෙස ද ප්‍රකාශ කල හැක. ඒ වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් මගින් ඇතිකරන පීඩනය වැඩිවීම ලෙසයි. එය කාබන්ඩයොක්සයිඩ් වල ආංශික පීඩනය වැඩිවීම ලෙස හැඳින්විය හැක. එනිසා සිදුවන්නේ වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් විශේෂයෙන්ම මහා සාගරයේ  ලවණ ජලයේ දියවීම අධික වීමයි. සාගර ජලයේ දියවන වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් නිසා එහි කාබනික අම්ලය නිර්මාණය වන අතර ඒවා කැල්සියම් අයන සමග ප්‍රතික්‍රියා කර ජලීය කැල්සියම් කාබෝනේටය නිර්මාණය කරයි. මේවා ජලයේ දියවන එක්තර සාන්ද්‍රණයක් පවතී. එතනින් ඔබ්බට කොතරම් ජලයේ දියවුනද ඒවා ජලයේ පවතින්නේ නැති අතර ක්ෂණයකින් අවක්ෂේපණය වේ. එය කැල්සියම් කාබෝනේට වල ද්‍රාවයතා ගුණිතය ඉක්මාවා යාම ලෙස හදිනිවිය හැක. ගෝලීය උණුසුම වැඩිවත්ම දියවන ප්‍රමාණය වැඩිවන අතර උෂ්ණත්වය සුළු පසුබෑමකින පවා කාබෝනේට අවක්ෂේපණය සිදුවිය හැක. නිවර්තන කලාපීය නොගැඹුරු සාගර මේ සඳහා කදිම පරි

 

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම සහ සාගර ආම්ලිකකරණය

ඉහත අකී ආකාරයට සිදුවන කාබෝනේට අවක්ෂේපණය වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා සිදුවන බව ඔබට පැහැදිලි ඇතැයි සිතමි. මෙනිසා සිදුවන තවත් ආහිතකර ප්‍රර්ගිඵලයක් වන්නේ සාගර ජලය ආම්ලික වීමයි.  සාමාන්‍යයෙන්  වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සන්ද්‍රනයෙන් 30% පමණ සාගර ජලයේ දියවන අතර සාන්ද්‍රණය ක්‍රමයෙන් වැඩිවීම මෙම තත්වය උග්‍ර අතට හරවන බව අමතක නොකළ යුතුය. මෙනිසා සාගර ජලයේ pH අගය පහත හෙලන අතර එය ගැටළු ගණනාවකට හේතු වේ.

මෙය ප්‍රබල ලෙස බලපාන්නේ කාබෝනේට කවච දරන්නට වනඅතර දෙපියන් බෙල්ලන්, සාගර ගොළුබෙල්ලන් සහ ගල්මල් ජීවින් වන්නන් මෙනිසා අනතුරට පත් වේ., ඔවුන්ගේ කවච වර්ධනය ඇණහිටින අතර ඒවා දියවීම සිදුවේ. මෙය ඔවුන්ගේ පැවැත්මට විශාල තර්ජනයක් වන අතර මෙනිසා එවැනි බොහෝ විශේෂ වඳවී යාමේ හැකියාව පවතී.

ජලජ මසුන්ගේ බිත්තර සහ ඒවා පවතින ප්‍රදේශ වල පාරිසරික තත්වය වෙනස් වීම නිසා ළදරු මසුන්හට තමාගේ ජිවන පරිසරය සොයාගැනීම අපහසු වන අතර ලොකු කුඩා සියලු මසුන්ගේ සතුරන් හඳුනාගැනීම දුර්වල කරයි. මේ ක්‍රියා දෙකම ඔවුන්ගේ පැවැත්මට තර්ජනයක් බවත් එහි අවසාන ප්‍රතිඵලය කුමක් ද යන්නත් ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නොවේ. ජලාජ් ජිවින්ගේ පැවැත්ම මෙලස තීරණාත්මක වීම මිනිසාගේ අන්තනෝමතික කාබනික ඉන්ධන දහනයේ ප්‍රතිඵලයක් බව හොඳින් පැහැදලි වේ.

වසර මිලියන 15 කට පමණ පෙර මයෝසීන යුගයේ සිදු වූ එවැනිම තත්වයක් නිසා විශාල ජීවි සංඛ්‍යාවක් මෙලොවින් තුරන් වූ බව විද්‍යාත්මක පර්යේෂණ වලිනි තහවුරු වි තිබේ. එනිසා මෙලෙස වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය දිනෙන දින ඉහල යාම තවත් මහාපරිමාණ ගෝලීය ජීවි විශේෂ වඳ විමක පෙර මග සටහන් කිරීමක් ද විය හැක.

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම, ගෝලීය උණුසුම සහ කාබන් ඩයොක්සයිඩ් සාගර ජලයේ දියවීම

වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා සිදුවන අහිතකර බලපෑමක් වන සාගර ආම්ලිකකරණය සිදුවන බව දැන් අප දනිමු. නමුත් වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් වැඩිවීම නිසා සිදුවන හරිතාගාර ආචරණයේ බලපෑම ලෝකය උණුසුම් කරන බව ද අප හොඳින්ම දනිමු. මෙහි ප්‍රතිඵලයක් ලෙස සාගර ජලය ද උණුසුම් වන බව ද අප දනිමු. සාගර ජලය උණුසුම් වීම නිසා සිදුවන්නේ බොහෝ දෙනෙකු නොසිතන දෙයකි. සාගර ජලයේ දියවන කාබන් ඩයොක්සයිඩ් සාන්ද්‍රණය මෙනිසා අඩුවේ. සාගර උණුසුම් වීම නිසා ජලයේ තබා ගත හැකි කාබන් ඩයොක්සයිඩ් වායු ප්‍රමාණය අඩුවීම නිසා ආම්ලික කරණය ද අඩු විය හැක. එනිසා ගෝලීය උණුසුම වැඩිවීමත් සමග ඇතිවන වර්ධනාත්මක බලපෑමක් වන්නේ මෙයයි.

Dr.Pathmakumara Jayasingha 

 

 

 

 

 

 

 

 

 

 

  

 

 

 

Monday 10 April 2023

 ලොව විශාලම නීල කුරුවින්දය , ශ්‍රී ලංකාවෙන් හමුවේ.

ශ්‍රී ලංකාව මැණික් සඳහා ප්‍රසිද්ධියක් උසුලන්නේ අදක ඊයෙක සිට නොවේ. වසර දහස් ගනනක් සිටම අපට එම වාසනව උදා වී තිබේ. හමුවන මැණික් අතුරින් නිල් මැණික් සඳහා ශ්‍රී ලංකාව ලෝකයේ ඉහල ස්ථානයක් හිමිකරගෙන තිබේ. නිල් මැණික්, කුරුවින්ද ඛණිජ පවුලේ මැණිකක් වන අතර රතු, කහ පුෂ්පරාග, පද්මරාග සහ ගෙවුඩ යන මැණික් ද එම කුලයට අයත් මැණික් වර්ග වේ. මැණික් ලෙස හඳුන්වන්නේ අපූරු පැහැයන්ගෙන් යුක්ත ආලෝකය කදිමට වර්තනය කරන විවිධ ඛණිජ වර්ගයි.  

මෑතක දී රත්නපුරයෙන් හමු වූ දැවැන්ත නිල් මැණික ශ්‍රී ලංකව නැවතත් ලෝපුරා ප්‍රසිද්ධියට පත්කරන්නට සමත් විය. කිලෝග්‍රෑම් 510 ක් පමණ බරැති මේ මැණික දැනට ලොව වාර්තා වී ඇති විශාලම මැණික බව පවසයි. මැණික් වර්ග තක්සේරු කරන්නේ කැරට් නම් ඒකකය භාවිතයෙනි. කැරට් එකක් යනු ග්‍රෑම් 0.2 කි. ඒ අනුව මෙම මැණිකේ කැරට් මිලියන 2.55 පමණ ඇති බව පෙනී යයි.

මෙම මැණික සියැසින් දක්නට නොලැබුන ද වාර්තා වූ චායාරුපවලට අනුව පෙනී යන කාරණාව වන්නේ මෙම මැණික තනි ස්ඵටිකයක් නොව ස්ඵටික සමූහයක් එකතුවක් බවයි. එනම් ස්ඵටික සමුච්චයක් බවයි. මැණික බිහිවීමේ දී ඇති වූ භූ අභ්‍යන්තරික පාරිසරික තත්වයන් මත එලෙස ස්ඵටික සමුච්චයක් නිර්මාණය වන්නට ඇති බව පෙනී යයි, කදිමට නිර්මාණය වූ අපූරු ස්ඵටික සමුහයක් එහි ඇති බව අධ්‍යනය කරන ලද චායරුප වලින් හොඳින් පැහැදිලි වේ. ස්ඵටිකවල ප්‍රමාණය අසන්න වශයෙන් අඟල් දෙකක සිට ඉතා කුඩා ප්‍රමාණ දක්වා බොහෝ සේ වෙනස් බව ද පැහැදිලි වන කාරණයකි.

කුරුවින්ද කුලයේ මැණික් වල රසායනික සංයුතිය වන්නේ ඇලුමිනියම් ඔක්සයිඩ් ය. පාෂාණ නිර්මාණය වීමේ දී එක් ස්ථානයක පමණක් මෙම රසායනය තනි වීමෙන් මෙවන් වූ කුරුවින්ද මැණික් ඛණිජ බිහි වේ. පාරදෘශ්‍යබාවය ද සමගින් නිල් පැහැය ලැබීමෙන් එයට මැණිකක් ලෙස ඉතා හොඳ වටිනාකමක් ලැබී තිබේ. මැණික් ගතිගුණ නොමැතිවිට අපට ලැබෙන්නේ වටිනාකමකින් තොර කුරුවින්ද ස්ඵටික වේ. ඒවා බොහෝ විට මළමැණික් ලෙස සාමාන්‍යය ව්‍යවහාරයේ පවසයි.

නිල්, රතු, කහ ඇතුළු මෙම මැණික් ඛණිජ කුලයේ ප්‍රධාන රසායනය ඉහත පැවසු පරිදි ඇලුමිනියම් ඔක්සයිඩය වුවද පැහැය ගෙන එන්නේ මේවා තුල ඇති විවිධ ලෝහ අපද්‍රව්‍යය යි. නිල් මැණික් සඳහා වැදගත් වන එවැනි අපද්‍රව්‍යය දෙකකි. ඒ ටයිටේනියම් සහ යකඩ නම් වූ ලෝහ අයනයි. මේ අයන දෙක එකෙනෙක මිශ්‍ර වීමෙන් නිල් පැහැය බිහි වේ. එලෙස නොවූ විට බිහිවන්නේ ගෙවුඩ නම් මැණික් වර්ගයයි. මෙම මැණික් තුල ටයිටේනියම් හමුවන්නේ රුටයිල් ඛණිජ ස්ඵටික ලෙසයි. මේවා ඉඳිකටු වැනි ඉතා සියුම් ස්ඵටික වේ. මෙම ඛණිජය පිහිටන රටාව කුරුවින්ද මැණික් වල තාරුකා රටා ඇතිකරන්නට සමත්වේ. බොහෝවිට එය හඳුන්වන්නේ “නුල” යනුවෙනි. නුල් හය, හතර දෙක සහ එකක් ඇති මැණික් හමුවේ.

හමුවී ඇති මැණික ද්විතියික තන්පතුවකින් ලැබුන මැණිකක් බව පෙනී යයි. නමුත් මෙය බිහිවන්නට ඇත්තේ මැණික් පොකට්ටුවක් එසේත් නැතිනම් ගෙඩි ඉල්ලමක් ලෙස බව තවදුරටත් අතීත තොරතුරු විග්‍රහ කිරීමේ දී පෙනීයන කාරණාවයි. ගෙඩි ඉල්ලම් යනු ප්‍රථමික තැන්පතු වේ. එලෙස ඇති වූ ගෙඩි ඉල්ලම පසුව එය හටගත් පාෂාණය ජීර්ණයට ලක් වීමෙන් ස්ථානීය පාංශු ස්තරයට එක්වී අනතුරුව ඛාදනය සහ ගංගා මගින් පරිවහනය වී රත්නපුර ද්‍රෝණියේ තැන්පත්වන්නට ඇත. බොහොමයක් මැණික් එලෙස තැන්පත් වූ දිවිතියික තැන්පතු වේ.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

තුර්කි භූ කම්පා ඛේදවාචකය

තුර්කිය සහ සිරියාව ආසන්නයේ සිදු වූ දරුණු භූ කම්පා ආපදාව නැවත ලෝකයේ අවධානය භූ කම්පා වෙත යොමු කරන්නට හේතු විය. බොහෝ තාක්ෂණික දියුණු වීම් තිබුනත් භූ කම්පා සිදුවන නිශ්චිත වේලාවක් ගැන පැවසීම අතිශය අපහසු බව ප්‍රත්‍යක්ෂ කල මෙය කදිම අවසථාවක් විය. ජිවිත හානි සංඛ්‍යාව 29000 ක් දක්වා ඉහල නංවන්නට සමත් වූ මෙම භූ කම්පාව මෑත කාලීනව සිදු වූ දරුණු භූ කම්පාවක් බව පැවසිය යුතුය. මෙම භූ කම්පාව ඇතිකරන්න හේතු වූ භූ විද්‍යාත්මක පසුබිම සලකා බැලූ විට පැහැදිලි වන්නේ භූ තල ක්‍රියාකාරකම් හේතුවෙන් හටගත්තක් බවයි. මේ පිළිබඳව පැහැදිලි කිරීමේදී භූ තල සහ භූ තල ක්‍රියාකාරිත්වය ගැන දැන ගැනීම වැදගත් වේ.

අතිශය ගතික පෘථිවි පිටත ආවරණය වන කබොල සහ එයට වහාම පහලින් පිහිටන ප්‍රාවරණයේ ඉහල කොටසත් සම්බන්ධ වීමෙන් ශිලා ගෝලය සකස්වන අතර එය භූ තල ලෙස හඳුන්වා දිය හැක. ශිලා ගෝලයට වහාම පහලින් වූ ලෝපතරල ගෝලය අර්ධ ද්‍රව තත්වයේ පවතින ද්‍රවමය පාෂාණ වන ලෝපතරලයෙන් යුක්ත වන අතර එහි ඇතිවන සංවහන ධාරා ඉහලින් වූ භූ තල චලනය කරන්නට හේතු වේ.. මෙම චලන තෙවර්ගයකි. භූ තල එකිනෙකින් ඉවතට සිදුවන චලන, එකිනෙක වෙතට සිදුවන චලන සහ එකිනෙක ඇතිල්ලෙමින් සිදුවන චලන යි. අවසාන දෙවර්ගය නිසා දරුණු භූ කම්පා හට ගැනීමට හේතු වේ.

භූ කම්පා ඛේදවාචකය සිදු වූ මෙම තුර්කි රාජ්‍යය පිහිටන්නේ ඇනටෝලියා නම් භූ තලයේ වන අතර එය උතුරින් යුරේශියා භූ තලයට සහ දකුණින් අප්‍රිකානු සහ අරාබියානු භූ තලයට සම්බන්ධව පවතී. අප්‍රිකානු භූ තලය දකුණට චලනය වුවත් අරාබියානු භූ තලය උතුරට තල්ලු වීම නිසා මේ අතර වූ ඇනටෝලියා භූ තලය දැවැන්ත යුරේශීයානු භූ තලයට  හිර වීම සිදු වේ. එනිසා ඇතිවන තෙරපීම මෙම භූ තලය විකෘත කරන්නට හේතු වේ. ඒ කෙසේ වෙතත් ඇනටෝලියා භූ තලය සහ යුරේශියානු භූ තලය වෙන්කරන උතුරු ඇනටෝලියානු විබේධය සහ නැගෙනහිරින් පිහිටන නැගෙනහිර ඇනටෝලියානු විබේධය හරහා මෙම තරපුම නිසා ඇතිවන පීඩනය වරින් වර මුදා හැරීම මෙවන් භූ කම්පා ඇතිවීමට හේතු වේ.

මෙවර සිදු වූ භූ කම්පාව හටගෙන ඇත්තේ මෙම නැගෙනහිර ඇනටෝලියා විබේධය ආසන්නයේ වන අතර මෙම විබේධය පිහිටා ඇති ආකාරය අනුව අරාබියානු භූ තලය මෙම විබේධය හරහා ඇතිල්ලෙමින් උතුරට තල්ලු වීම දැකිය හැක. මෙම විබේධය හරහා වූ පාෂාණ කලාප අතර ඇතිවන දැඩි ඝර්ෂණය චලනය වලකන අතර අරාබියානු භූ තල මගින් ලබා දෙන තල්ලුව මෙම ඝර්ෂණය ඉක්මවා යන කල්හි අරාබියානු භූ තලය ඇනටෝලියා භූ තලයේ ඇතිල්ලෙමින් ඉහලට තල්ලු වේ.  රික්ටර් පරිමාණයේ ඒකක 7.8 ක් වූ පළමු ප්‍රභල භූ කම්පාව මෙන්ම ඒකක 7.5 ක් වූ දෙවන ප්‍රභල භූ කම්පාව සිදුවන්නේ ද මෙම නැගෙනහිර ඇනටෝලියාණු විබේධය ආසන්නයේය. අරාබියානු භූ තලය මත සිරියාව පිහිටන නිසා සිරියාව ද භූ කම්පා බලපෑමට ලක් වන බව ඉතා පැහැදිලිය.

ඇමෙරිකානු භූ භූ විද්‍යා සංගමය පවසන පරිදි පෙබරිවාරි මස තුන්වන දා සිට දරුණු ආපදාව සිදුවන තෙක් ද එයට පසුව ද  ඒකක 4 ට වඩා වැඩි භූ කම්පා 100 කට අධික සංඛ්‍යාවක් සිදු වූ බව වාර්තා වි ඇත. බොහෝවිට දරුණු භූ කම්පාවක් සිදුවන අවස්ථාවකට පළමු “පෙර භූ කම්පා” රාශියක් සිදු වීමේ සම්භාවිතාවයක් ඇති අතර “පසු භූ කම්පා” ද සිදුවන බව මෙමගින් ඉතා හොඳින් පැහැදිලි වේ. භූ කම්පා අධ්‍යන විද්වතුන් පවසන ආකාරයට මෙවැනි පෙර සහ පසු භූ කම්පා සිදු වූවද විද්‍යව සහ තාක්ෂණය දියුණු වූවද (ප්‍රභල) භූ කමපාවක් සිදුවන වෙලාව නිර්ණය කිරීම අතිශය අපහසු බවයි.

Saturday 12 March 2022

ඉපැරණි පෙරදිග වේදය : උම්මග්ග ජාතකය ඇසුරෙන්.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ, 

සාරගර්භය

අප සතු සාහිත්‍ය ග්‍රන්ථ අතීත ජනයාගේ සහ එම සමාජයේ දැනුම් පද්ධතිය විග්‍රහ කිරීමට යොදාගත හැකි අපුරු මාධ්‍යයකි. උම්මග්ග ජාතකය ඇසුරෙන් සිදුකරන ලද මෙම විග්‍රහය කේන්ද්‍ර වන්නේ අතීත ජනයාගේ විද්‍යත්මක දැනුම කෙරෙහිය. මෙහි සඳහන් වන විවිධ භාවිතයන් සඳහා පාරිසරික විද්‍යා දැනුම, භෞතික විද්‍යාත්මක දැනුම, සත්ත්ව විද්‍යාත්මක දැනුම, ශාක විද්‍යත්මක දැනුම භූ විද්‍යාත්මක දැනුම මෙන්ම විවිධ කර්මාන්ත පිලිබඳ දැනුම ද ඉතා කදිම තාර්කික පදනමක සිට යොදා ගෙන ඇති බව පැහැදිලි වේ. මෙම පෙරදිග විද්‍යා දැනුම අද භාවිතා වන බටහිර දැනුම හා සංසංදනයෙන් අපට ඉතා හොඳින් අවබෝධ කරගත හැකි බව පෙන්නුම් කෙර්. මෙම පර්යේෂණ පත්‍රිකාව එලෙස සිදුකරන ලද විග්‍රහයක ප්‍රතිඵල ගෙන එයි.

 හැඳින්වීම

පැරණි සාහිත්‍ය ග්‍රන්ථ තුලින් ලබාගත හැක්කේ සාහිත්‍යමය රසය පමණක් නොව අතීත ජනයාගේ සංස්කෘතික, ආර්ථික සහ සමාජීය පසුබිම ද, ඉන් ඔබ්බට විමර්ශනය කරන්නෙකුට නවීන වේදය හා ගැලපෙන ඉපැරණි වේද කරුණු රාශියක් ග්‍රහණය කර ගත හැකි වේ (Savithri, 1988; Kak, 1997). එමගින් අතීත ජනයා තුල තිබූ පරිසරයේ භෞතික ගුණාංග පිළිබඳ උත්කෘෂට ඥානය කදිමට අධ්‍යනය කල හැකි වේ. ඉතා අපූරුවට විග්‍රහ කර ඇති එවැනි කරුණු අදාළ නවීන විද්‍යාත්මක විෂය පථයන් තුල සැරිසරන ප්‍රවීණයකුට ඒවා අවබෝධ කර ගැනීම එතරම් අසීරු කාරියක් නොවනු ඇත.

 

මෙවන් වූ සාහිත්‍ය කෘති අතර, බෞද්ධ ජාතක කතා වලට හිමිවන්නේ අග්‍රගන්‍ය ස්ථානයක් බව අප හොඳින්ම දනී. වණ්ණුපත ජාතකය අපට පෙන්වා දෙන්නේ අතීත ජනයා තුල තිබු “දුරස්ථ සංවේදක ක්‍රමවේද” (Remote Sensing Techniques) පිළිබඳව තිබු දැනුමයි. කාන්තාරයේ, මතුපිට ජලය නොමැති පරිසරයක භූ ගත ජලය (Groundwater) සොයාගැනීම සඳහා ඊ තණ පඳුරු යොදාගැනීම එක් නිදසුනකි. මෙය ලිඛිත ඉතිහාසය තුල නවීන විද්‍යාවේ අද භාවිතාවන දුරස්ථ සංවේදක ක්‍රමවේද පිලිබඳ වාර්තා වන පළමු අවසථාව ද විය හැක.

 

බෞද්ධ ජාතක කතාවන්හි දිගම ජාතක කතාව වන උම්මග්ග ජාතකය මෙහි දී වඩා වැදගත් වන්නේ එවන් වේද (විද්‍යාත්මක) කරුණු රාශියක් එතුල ගොනු වී ඇති බැවිනි. නවීන විද්‍යාව සිත්හි තබා මෙම ග්‍රන්ථය අධ්‍යනය කරන්නෙකුට සියුම් ලෙස ගොතා ඇති පැරණි වේද කරුණු සහ ක්‍රමවේද විග්‍රහ කල හැකි වේ. මෙම පර්යේෂණ පත්‍රිකා අරමුණ වන්නේ උම්මග්ග ජාතකය ඇසුරෙන් අතීත ජනයා සතුව තිබු පැරණි වේද (විද්‍යා) ඥානය සහ දැනුම නවීන විද්‍යත්මක විමර්ශනයකට භාජනය කර ඉදිරිපත් කිරීමයි.  

පර්යේෂණ සම්පත් සහ ක්‍රමවේදය

මෙහි දී ප්‍රධාන පර්යේෂණ සම්පත වන්නේ බෞද්ධ ග්‍රන්ථයක් වන උම්මග්ග ජාතක කතා පොතයි. මේ සඳහා සිංහලෙන් ලියන ලද 1978 වසරේ දී පලකරන ලද උම්මග්ග ජාතක කතා ග්‍රන්ථය පරිශීලනය කරන ලද අතර ඒවායේ හමුවන පැරණි වේද කරුණු සහ ක්‍රමවේද නවීන විද්‍යත්මක කරුණු හා ගලපමින් විමර්ෂණය කිරීම පර්යේෂණ ක්‍රමවේදය විය.

 පසුබිම

දීර්ඝතම ජාතක කතා ග්‍රන්ථය වන උම්මග්ග ජාතකයේ නාමකරණය සනිටුහන් කරන්නේ භූ ගත උමගක් (Underground tunnel) පිළිබඳව කතා බහට ලක් කෙරන බවයි. නමුත් මේ සඳහා දීර්ඝ ප්‍රවේශයක් ලබා ගන්නා අතර එම ප්‍රවේශය තුල විස්තර කෙරෙන්නේ ජාතක කතාවේ ප්‍රධාන චරිතය වන මහෞෂධ බෝසතුන් ගේ විශිෂ්ට ඥානය පිළිබඳවයි. නුවණැති බෝසතුන් ගේ ඉපදීමේ පටන් කතා බහට ලක් කෙරෙන්නේ ඔහුගේ ගැටළු විසඳීමේ දක්ෂතාවයයි. ඉන්පසුව එතුමන්ගේ තරුණ අවධියේ බෝසත් ක්‍රියාකාරකම් සමග රාජ්‍ය පාලන තන්ත්‍රයට ලබා දෙන්නා වූ උත්කෘෂ්ට උපදේශනයත් ආරක්ෂාවත් මෙම ජාතකයේ ඉතා හොඳින් පැහැදිලි කරයි.  අවසානයේ දී තමාගේ රාජ්‍යය බේරා ගන්නට බෝසතුන් යොදා ගන්නා අවස්ථානුකුල උපාය මාර්ග සාර්ථකව යන්නේය. මෙතුලින් ඉතා කදිමට ගම්‍ය වන්නේ බෝසතුන්ගේ සහජ ඥානය පමණක් නොවේ. එතුලින් ගොඩනැගුන නොපමාව, තැනට සුදුසු නුවණ, උපාය උපක්‍රම භාවිතය, උතුම් මිනිස් ගුණාංග සහ පාරිසරික සාක්ෂරතාවය ද වේ. මේ ග්‍රන්ථයෙහි තවදුරටත් සඳහන් වන්නේ මේ කතා සමුච්චය තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන්ම දේශනා කරන ලද්දක් බවයි. ඒ ආසන්න වශයෙන් වසර දෙදහස් පන්සිය පනහකට පමණ පෙරය.

 ග්‍රන්ථයෙන් හෙළිවන ඉපැරණි වේද කරුණු

මහෞෂධ පණ්ඩිතයන්ගේ ඥානය පසක් කරනා කුඩාකල විසඳු ප්‍රශ්නාවලියේ එන පළමු ප්‍රශ්නය වන මාංශ ප්‍රශ්නයෙන් විග්‍රහ කරන්නේ ආලෝකයේ හැසිරීම ගැන ඇති දැනුම පිලිබදවයි. සැමවිටම ආලෝකය ගමන් කරන්නේ රේඛීයව යි (Waldman, 1983). එලෙස ගමන් කරන ආලෝකය පාරාන්ධ (opaque) වස්තුවක් හා ගැටුන කල ඉන් ඔබ්බට ආලෝකය ගමන් නොකරයි. නමුත් අදාළ වස්තුවේ මායිම හරහා ගමන් කරන ආලෝක කිරණ වස්තුවේ හැඩයට සෙවනැල්ලක් (shadow/umbra) හෙවත් අඳුරු ප්‍රදේශයක් සනිටුහන් කරයි (Voutsinos, 2002). රේඛීය ආලෝකය පතිතවන කෝණය අනුව සෙවනැල්ලේ හැඩය විකෘත විය හැකි වුව ද එමගින් පිළිබිඹු වන්නා වූ මූලික හැඩය හඳුනාගැනීම එතරම් අපහසු නොවේ. එමෙන්ම වස්තුව චලනය වුව ද හැඩය එසේම පවත්වාගන්නේ අදාල වස්තුවේ චලිතයට සමාන වේගයකිනි. එනිසා කුරුල්ලාගේ චලනය යමෙකුට සෙවනැල්ල අධ්‍යනය කිරීමෙන් පමණක්ම අවබෝධ කරගත හැකිය. චලනය වන සෙවනැල්ල පසු පස හඹා යාම මගින් සහ ගෝෂා කිරීමෙන් කුරුල්ලා වික්ෂිප්ත කරන්නේ බය වූ කුරුල්ලාට මස් වැදැල්ල අත්හරින්නට පොළඹවමිනි. එමගින් මහෞෂධ කුමරුවෝ ඒ අභියෝගය අපූරුවට ජය ගනී.

 සුවඳ විලවුන් කර්මාන්තය අද ලෝකයේ බොහෝ ප්‍රචලිතව තිබේ. නමුත් මේ කර්මාන්තය වසර තුන්දහසකට පමණ පෙර පුරාණ ඉන්දියාවේ පැතිරී තිබුන බව මේ වන විට අනාවරණය වි තිබේ (Sharma and Wahad, 2010). ඉන්දියාවේ පමණක් නොව මේ කර්මාන්තය වසර පන්දහසකට පමණ පෙර සිට මිසරයේ සහ මෙසපොතේමියානු ශිෂ්ටාචාරවල පවා ජනප්‍රිය වූ කර්මාන්තයකි (Paul, 2000; Fadel, 2020). සුවඳ විලවුන් යනු සුගධයක් ගෙන දෙන්නා වූ වාෂ්පශීලී කාබනික රසායනික තෙලක්  වන අතර මේවා හයවන සියවස පමණ වනතෙක් නිෂ්පාදනය කරන ලද්දේ සොබාවික ද්‍රව්‍යය වලිනි (Salvador-Carreno and Chisvert, 2005; Chisvert et al., 2019). විවිධ පුෂ්පයන්ගෙන් පමණක් නොව සුවඳ දෙන්නා වූ විවිධ ශාක වර්ග සහ සතුන් ද මේ සඳහා භාවිතා කර ඇත. එම ක්‍රමවේද අඩුවැඩි වශයෙන් වර්තමානයේදී ද භාවිතා කරයි. සුවඳ විලවුන් කර්මාන්තය වසර තුන්දහසකට පමණ පෙර ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ ජනප්‍රිය වූ කර්මාන්තයක් බවට තවදුරටත් එය තහවුරු වන්නේ උම්මග්ග ජාතකයේ “ග්‍රන්ථි ප්‍රශ්නය” සැලකීමේ දී ය. “පුවඟු මලෙන්” උකහාගත් සුවඳක් ගැන මෙහිදී සඳහන් වන අතර පොතෙහි සූචියේ එය දක්වන්නේ “ගස් රුක් මල්” බවයි. එය බොහෝ විට නිවර්තන වන්නන්තර වල හමුවන්නා වූ රුක් අත්තන (Horsfieldia sp) ශාකය වීමට බොහෝ දුරට ඉඩ තිබේ. මෙරට ද එවැනි රුක් අත්තන ශාක තෙත් කලාපයේ හමුවන අතර ඒවායේ පුෂ්පයන් මන්මත් කරනා අධික සුගන්ධයක් පිට කරයි. ඒ වාගේම, මල්වල සුවඳ ඇතිකරන ද්‍රව්‍යය හෙවත් සුවිශේෂී වාෂ්පශීලී කාබනික රසායනයන් උකහා ගැනීම සඳහා ඇල්කොහොල නම් වූ කාබනික ද්‍රාවකය භාවිතා කල බවට ද මෙය කදිම සාක්ෂියක් වන්නේය (Ikenberry, 2021). ඇල්කොහොල නිෂ්පාදනය ද මෙකල තිබු තවත් කර්මාන්තයක් බව එමගින් ගම්‍ය වේ. එපමණක් නොව, එකල ඇත්තන්ගේ, සුවඳ උකහා ගත හැකි සුවිශේෂී ශාක පිලිබඳ දැනුම ද මෙමගින් තහවුරු වේ. එමෙන්ම, විවිධ සුගන්ධවත් කාබනික රසායනයන් සම්මිශ්‍රණයෙන් වඩා සුවඳවත් ප්‍රභල සුගන්ධකාරක නිපැදවිය හැකි බව ද පැරැන්නන් දැන සිටි බවට මෙමගින් හොඳින් අනාවරණය වේ. මෙහි සඳහන් “සර්වසංහාරක” සුවඳ සම්මිශ්‍රිත සුවඳක් බවත් එය භාවිතා කරන්නේ පොහොසතුන් හෝ සමාජයේ ඉහල පැලන්තීන් පමණක් බවත් තවදුරටත් මෙමගින් පැහැදිලි වේ. මෙම සුගන්ධවත් වාෂ්පශීලී කාබනික රසායනික තෛලයන්ගේ සුපැහැදිලි වෙනස පෙන්වා එම ගැටළුව මහෞෂධයන් විසින් කදිමට විසඳයි.  

 කපු නූලෙන් නිමැයෙන ඇඳුම් එකල සුලභ බවක් සූත්‍ර ප්‍රශ්නය විග්‍රහ කිරීමේ දී හෙළි වේ. ඒ වාගේම මෙම විස්තර කෙරන සමාජය ඉන්දියාවේ උණුසුම් දේශගුණයක් සහිත ප්‍රදේශයක පිහිටි බව ද එමගින් තව දුරටත් පැහැදිලි වේ. එනිසාම පාරිසරික දුෂ්කරතාවයක් වන නිවර්තන කලාපීය අධික උණුසුම සමනය කරගැනීම සඳහා වඩා උචිත වන්නේ සෙලියුලෝස් වලින් සමන්විත කපු රෙදි (Houser, 2015) බව ඔවුන් හොඳින් දැන සිටි බව පෙනී යයි. ධවල පැහැති කපු නූල එහි බර මෙන් විසි තිස් ගුණයක ජලය උරා ගත හැකි බවත් ඝර්ෂණයට සහ තාපයට හොදින් ඔරොත්තු දෙන බවත් නවතම පර්යේෂණ වලින් හෙළි වි ඇත (Ravandi and Valizadeh, 2011). ධවල පැහැය ආලෝක කිරණ උරා නොගන්නා නිසා රත් වන්නේ සුළු වශයෙනි (Daziel, 2018). එනිසා නිවර්තන කලාපයේ උණුසුම පහකර ගැනීම සඳහා සුදුසු ඇදුම් නිර්මාණයට කපු නූල කදිම අමුද්‍රව්‍යයකි. ඒ වාගේම කපු කර්මාන්තයේ නියැලෙන්නන් ගේ ප්‍රායෝගික දැනුම ද මෙහි දී විමර්ශනයට භාජනය වෙයි. කපු ඇටය නම් ඉතා කුඩාය. එය න්‍යෂ්ටිය ලෙස ගෙන කපු නූල් බෝල සැකසිය නොහැක. ඒ සඳහා තරමක් විශාල න්‍යෂ්ටියක් අවැසි වේ. තිඹිරි බිජුව ඒ සඳහා යෝග්‍ය වේ. මෙම කරුණු නොවැදගත් යැයි අයෙකුට සිතෙන්නට හැකි මුත් මෙවැනි සියුම් කරුණු විද්‍යාත්මක තර්කණයේදී ඉතා වැදගත් බව ඔබට වැටහේවි. මේ ප්‍රයෝගික විද්‍යාත්මක සත්‍ය දන්නා මහෞෂධයන් විසින් සූත්‍ර ප්‍රශ්නය විසදන්නේ සැවොම විමතියට පත් කරමින්.

 ශාක වැඩෙන්නේ මුල සිට අගටයි. එනිසාම යම් ශාකයක මුල කොටසේ ඇතිවන සෛලවල ස්වරුපය ශාකය වර්ධනය වත්ම ක්‍රමයෙන් වෙනස් වේ. ජලය සහ ඛණිජ ලවණ ප්‍රවාහනය කරන්නා වූ ෆ්ලොයම් නම් වූ සෙලියුලෝස් වලින් නිර්මිත නාල තුල කාලය ගතවත්ම ලිග්නින් වැනි විවිධ කාබනික රසායනයන් තැන්පත් වීමෙන් ඝනකම් වේ (Hatfield, 2001).  එය ශාකයේ මුල භාගයේ බර වැඩි කරන්නට හේතු වේ. එම සාපේක්ෂ බර වැඩිවීම ගසේ ශාඛා සඳහා ද වලංගු වේ. ඒවාගේම ඕනෑම ශාකයක මුල මහතය අග හීනිය. එමගින් මුල මද අග හඳුනගත හැකිය. නමුත් මුල සහ අගෙහි විෂ්කම්භය කෘත්‍රිමව සමාන කරන ලද්දේ නම් එය දැකීමෙන් පමණක් හඳුනාගත නොහැක. නමුත් මුල භාගයේ සහ අග භාගයේ බරෙහි වෙනස ඒ ආකාරයෙන්ම පවතී. මේ සිද්ධාන්තය දන්නා අයෙක් වෙත්නම් එය පහසුවෙන් හඳුනගත හැක්කේමය. බෝසතුන් දණ්ඩක ප්‍රශ්ණයේ කිහිරි දන්ඩේ මුල අග තෝරන්නේ මෙම උද්භිද විද්‍යත්මක සත්‍යය ඇසුරු කර ගෙනය.

 මානව හිස්කබල වැසුණු සිවියෙන් සහ මාංශයෙන් පිරි විට එයට අපූරු පෙනුමක් ගෙන එන්නේය. එමගින් ස්ත්‍රී පුරුෂභාවය හඳුනගත හැකිය. නමුත් හිස්කබල පමණක් ඇතිවිට මේ වෙනස හඳුනාගත හැක්කේ කෙසේද ? ඒ සඳහා ස්ත්‍රී සහ පුරුෂ හිස් කබලෙහි ඇති සූක්ෂම රූපණ වෙනස්කම් පිලිබඳ මනා දැනුමක් තිබිය යුතුය. එය දැනගත හැක්කේ මෙවැනි දේ පිලිබඳ මානව කායික විද්‍යත්මක (anatomy) හැදෑරීමක් කල අයෙකුට පමණි (Biel, 1997). මානව හිස්කබල නිර්මාණය වන්නේ අස්ථි 22 කිනි (Anderson et al, 2021; Inoue et al, 1992). මේවා එකිනෙක සම්බන්ධ වන්නේ සීවනී නොහොත් සිඛනි මගිනි. මානව හිස්කබලේ ඉදිරියේ නළල නිර්මාණය කරන ලලාටස්ථිය සහ හිස් කබලේ දෙපැති නිමවන පාර්ශ්වික කපාලස්ථි සම්බන්ධවන මෙම සිඛනිය ඇතිතැන පුරුෂයන්ගේ ඉදිමුණු ස්වරුපයක් (වටකුරු ස්වරූපයක්) ඇති අතර ස්ත්‍රීන්ගේ එතැන වක්ව (අවතල ස්වරූපයක්) යන්නේය (Inoue et al, 1992; North Carolina State University, 2012). තවත් එවැනි වෙනස්කම් ගණනාවක් හඳුනාගත හැකිය. මේ වෙනස්කම් දන්නා මහෞෂධ පණ්ඩිතයෝ වේදේහ රජ විසින් එවන ලද හිස් කබල් ස්ත්‍රී පුරුෂ ලෙස වෙන් වෙන්ව හඳුනා ගන්නට සමත් වෙති.

 වර්තමානයේ පමණක් නොව අතීතයේ පවා මිනිසාට නිතරම ගැටෙන්නා වූ දේ ගැන අවධානය වැඩිය. එනිසා ඒ ඒ විෂය පිලිබඳ යම් හැදෑරීමක් කරන්නට ඒ කැමැත්තෝ උත්සුක වෙති. විශේෂයෙන්ම උරගයන්ගේ චර්යා අධ්‍යනය (Herpetology) මිනිසාට සමීප වන්නේ ඔවුන්ගෙන් සිදුවන අතුරු ආන්තරා පමණක් නිසා නොව විටෙක ඔවුන් පූජනීයත්වයෙන් පවා සලකන ලබනු බැවිනි (Lange, 2019). මේ අතර ඉන්දියානු මානව සමාජයේ නාගයන්හට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි (Lange, 2019). මෙරට පවා සමාජයේ එක්තරා මිනිස් කුලයක් සර්ප දමනය සඳහා දක්ෂකම් දැක්වූවෝ ද වෙති. මෙම නගයින්ගේ ස්ත්‍රී පුරුෂ බාවය හඳුනාගැනීම සඳහා ශරීරයේ විවිධ ලක්ෂණ උපයෝගී කරගනී. නාගයාගේ පෙනයේ (hood) ඇති ලක්ෂණ ඒ අතර ප්‍රමුඛ වෙයි. “ප”යන්නේ හැඩය සපුරා ඇත්තේ නාගයන්ගේ වන අතර නාගිනියන්ගේ “ප”යන්න සපුරා දක්නට නොමැත (Whiteker ad Captain, 2008; Reznikova, 2021). එවැනි වූ තවත් ලක්ෂණ කිහිපයක් උපයෝගී කරගෙන (Silva and Jinasena, 2009) මහෞෂධයන් නාගයන්ගේ ස්ත්‍රී පුරුෂභාවය හඳුනා ගන්නට  සමත් වන්නේ නැවත වතාවක් වේදේහ රජු පුදුමයට පත් කරමිනි.

 පාරිසරික අධ්‍යනයේ වැදගත්කම විදහා දක්වන මීළඟ කතාංගය වන්නේ මාණික්‍ය ප්‍රශ්ණයයි. ඉතා කුඩා වුව කුහුඹුවන්ගේ චර්යාවන් කොතරම් වැදගත් ද යන්න ඒ පිළිබඳව හොඳින් අධ්‍යනය කරන්නෙකුට හැර අනෙකුකට තේරුම් යන්නේ නැත (Sheng et al., 2020; Zhou, 2012). මේ කුහුඹු සතුන්ගේ පැණි රසට ඇති කැමැත්ත තම වාසියට හරවා ගන්නට මහෞෂධ පඬිතුමන් සමත්වන්නේ අප සැවොම පුදුමයට පත් කරමින්. කුහුඹුවන් රස සංවේදනයේ අති දක්ෂයෝ වෙති. නවතම විද්‍යා පර්යේෂණ වලට අනුව ඔවුන් සතුව රසය සහ ගඳ සුවඳ හඳුනාගත හැකි රස සංවේදක 400 ක් පමණ ඇති බව සොයාගෙන ඇත (Zhou, 2012; Kent and Robertson, 2009). ඒ වාගේම සීනි සහිත ආහාර කෙරෙහි ඔවුන් වැඩි කැමැත්තක් දක්වන්නේ ඔවුන්ගේ ජිවය පවත්වාගෙන යාමට මෙන්ම කුහුඹු කොළනියේ සමායෝජනය සඳහා එය බෙහෙවින්ම උපකාරී වන බැවිනි (Kay et al., 2014). එනිසා බොහෝ දුරක ඇති සීනිමය ආහාර හඳුනාගැනීම, ස්ථානය නිශ්චය කිරීම සහ සොයා යෑම කුහුඹුවන් සතු සුවිශේෂී ගුණයකි. ඒ වාගේම කුහුඹුවන්ගේ සාමූහිකත්වය ද ඔවුන් සතු අපූරු ගුණයකි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කරන ලද්දේ මිහින්තලයට යි. ඒ සිහිවනු පිණිස මිහින්තලා සෑයේ තැන්පත්ව ඇත්තේ සක් දෙවිඳුන් විසින් කුස රජුන්ට තෑගි කරන ලද අෂ්ඨවංක මාණික්‍යය යි. අෂ්ඨවංක මාණික්‍යයේ විශේෂත්වය වන්නේ එය පබළුවක් ලෙස පැළඳීම පිණිස මැණික හරහා විදීමෙන් නූලක් යැවීමට තනන ලද කුහරයක් සහිත වීමත් එම කුහරය අට තැනකින් වක් වීමත් ය.  එයට පෙර කෙලෙසක හෝ වේදේහයන් සතුව පවතින මේ අෂ්ඨවංක මැණික් පබළුවේ හුය (නූල) දිරායාම මහෞෂධයන්හට තවත් අභියෝගයක් වන්නේය. නව හුයක් වකඅට තුලින් රිංගවීම නම් මෙලොව වෙසෙන සාමාන්‍ය මිනිසෙකුට කල හැක්කක් නොවේ. එනිසා කුහුබුවන්ගේ චර්යාව හොඳින් අවබෝධ කරගෙන ඇති මහෞෂධයන් ඒ සඳහා කුහුඹුවන්ගේ රස සංවේදන හැකියාව ද සාමූහිකත්ව ගුණය ද ක්‍රියාවේ යොදවා අභියෝගය ජය ගන්නේ වකඅට තුලින් නූල යවා මැණික් පබළුව පැළඳීමට හැකි ලෙස ස්ථාපනය කරමිනි.   

 ඇඹුල බිජුවට නම් අප හොඳින් දන්නා ජලජ ශාක වන ඕලු, නෙලුම් හෝ මහනෙල් වැනි ශාකවල බීජයි. මේ බීජ පැළවෙන්නේ පොකුණු මඩ, නැතහොත් ජලයෙන් වැසී ගිය මඩ මත්තෙහි බව අප හොඳින් දනිමු. ජලයෙන් වැසී යාම නිසා මේ මඩ පවතින්නේ ඔක්සිජන් රහිත එනම් ඔකසිජනීහෘත පරිසරයකයි (Craft, 2016; Schlesinger and Bernhardt, 2013). ඇඹුල බිජු පැළවීමට හැකි එවන් වූ පරිසරයක බිහිවන හෝ පවතින පස බොහෝ විට සියුම් ඛණිකාමය (fine grained particles) මැටි පසකි (Zarczynski et al., 2019). මේ මැටි පස බිහිවන්නේ පොකුණේ නිසල ජලයේ අඩු ශක්තිය හේතු කොටගෙනයි. හිමාලයෙන් ගෙනෙන ලද මැට්ට ද මෙවන් වූ ලාක්ෂණිකතා පෙන්වයි (Neupane et al., 2019). හිමාලයේ ශීත කාලගුණික තත්වය නිසා ප්‍රදේශය හිමවලින් වැසී පවතී. ඒ ප්‍රදේශයේ පවතින ජලාශ සහ  පොකුණු වල ජලය පවා මිදීම හේතු කොට ගෙන පොකුණේ අභ්‍යන්තර ජලය නිසලව පවතී. ශීත දේශගුණයක ඇති ජලාශයක පවතින මේ නිසල බව උණුසුම් කාලයේ හිම දියවීමෙන් ගලන ජලයෙන් එයට ගෙන එන සියුම් අවසාදිත පාංශු ඛණිකා තැන්පත් කරන්නට කදිම පරිසරයක් සකස් කරදෙයි. ශිත කාලයේ දී හිම මිදීමෙන් ජලය වායුගෝලය හා ගැටීම වලක්වාලයි. එනිසා ජලාශය තුල ඔක්සිජන් සිමා කාරී වෙයි. ක්‍රමයෙන් තැන්පත් වන මඩ ඒවායේ අභ්‍යන්තරය ඔක්සිජන් හා ගැටීම තව දුරටත් වලක්වාලයි. එනිසා ඇතිවන්නේ ඔක්සිජනීහෘත පරිසරයකි. කාබනික ද්‍රව්‍යය වියෝජනය අඩු නිසා ජලාශයේ පවතින මඩ කාබනික ද්‍රව්‍ය වලින් පවා අනූන වෙයි (Choudhary et al., 2009). එනිසා ඇඹුල බිජුවට පැළවීම සඳහා හිමාලයෙන් ගෙනෙන ලද මැටි කදිම උපස්තරයක් සකස් කර දෙයි. එපමණක් නොව මෙම ජලජ ශාක ගැන අධ්‍යනය. කර ඇත්තෝ මේවායේ මුකුටයන් විකසිත වන්නේ ජලතලය මත්තට වර්ධනය වීමෙන් පසු බව හොඳින් දන්නෝය. ජලයේ ගැඹුර කොතරම් වුව ඒ ගැඹුර අභිභවා මිස මෙවැනි ජලජ ශාක මුකුලිත නොවේ. එනිසා සැට රියන් උස උණ දණ්ඩ ඔස්සේ පුෂ්පයේ නටුව දිග ඇදී උණ දණ්ඩේ මත්තේ මුකුලිත වන්නේය. මෙහි දී බෝසතුන්හට අවශ්‍ය වන්නේ තම රට ජලයෙන් අනූන බව පෙන්වීමටයි. ඔහු ඒ සඳහා ක්‍රම වේද දෙකක් යොදාගනී. පළමුව ජලයේ වර්ධනය වන ඇඹුල ශාක ඇති බව පෙන්වීමෙන් තම රට තුල ජලාශ ඇති බව ද ඉතා දිගු දණ්ඩක් සහිත ඇඹුල පුෂ්පයක් පෙන්වීමෙන් ඒ ජලාශ ඉතා ගැඹුරු බව ද පෙන්වයි. මේ සඳහා ඉතා වේගවත් වර්ධනයක් සඳහා අවශ්‍ය ඛණිජ ලවණ සහ කාබනික ද්‍රව්‍ය සහිත හිමාලයෙන් ගෙනෙන ලද පොකුණු මඩ යොදා ගන්නා අතර පොකුණේ ගැඹුරු බව පෙන්වීම සඳහා ඉතා දිග නටුවකින් හෙබි ඇඹුල පුෂ්පයක් ඇතිකිරීම සඳහා සැට රියන් උස උණ දණ්ඩ යොදා ගනී.  මේ කරුණු කාරණා මෙලෙස ක්‍රමවත්ව සකස් කරනා මහෞෂධයන් නුවර ගැනීමේ එක් ප්‍රයන්තයක් එලෙස ව්‍යවර්ථ කරයි. 

 මහෞෂධ පණ්ඩිතයෝ භූ ඉංජිනේරු වේදයේ(Geotechnical Engineering)  ශිල්ප දක්වන්නට පටන් ගන්නේ උත්තර පංචාල දේශයේ සිරවන වේදේහයන් බේරා ගැනීමේ අටියෙන්. භූ ඉංජිනේරු වේදය වර්තමානයේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ බෙහෙවින්ම භාවිතා වන නවීන ප්‍රායෝගික වේද ක්‍රමයකි (Manoliu and Radulescu, 2008; Shah and Shroff, 2003). විශේෂයෙන්ම විවිධාකාරයේ උමං නිර්මාණයේ දී සහ ඉදිකිරීමේ දී මෙම ශිල්පීය ක්‍රමය අතිශය ප්‍රයෝජනවත් වේ (Adachi, 2001; Jones, 2022)  එමගින් භූ අභ්‍යන්තරය විමර්ශණයට භාජනය කරමින් උමං නිමැවීම සඳහා සුදුසු පාරිසරික තත්වයන් පිලිබඳ අධ්‍යනය කරයි. යම් කිසි අවාසිදායක තත්වයක් ඇත්දැයි සොයා බලන අතර ඒ අතර ඒ සඳහා සුදුසු පාංශු ප්‍රතිස්ථායිකරන ක්‍රමවේද (Soil retaining) මගින් භූ අභ්‍යන්තරය ස්ථාවර කරයි (Yoo et al., 2014). මෙහි දී භාවිතාවන ශක්‍යතා අධ්‍යනයන් (Reconnaissance Survey) මගින් උමං කර්මාන්තය සඳහා අවැසි භූ පාරිසරික තත්වයන් විශ්ලේෂණය කරයි. මහෞෂධයන් පළමුව අනුගමනය කරන්නේ ඒ පිළිවෙතයි. උත්තර පංචාලයට මහෞෂධයන් යන්නේ වේදේහයන් පමණක් නොව එක් සියයක් රජ දරුවන් සහ ඔවුන්ගේ අටළොස් අක්ෂෞහිණියක් වූ සේනාවද ද බේරා ගැනීමේ අටියෙන්. එනිසා තමන් සිදුකරන්නට යන උමං කර්මාන්තයේ වපසරිය තීරණය කරන්නට ඒ කරුණු ද සැලකිල්ලට ගනී. ඒ වාගේම උමං පෙතේ දෙකෙළවර ස්ථාපනය කරන්නට නම් ක්ෂේත්‍ර නිරීක්ෂණය (Field Investigation) භූ ඉංජිනේරු ශිල්පයේ අවැසිම පියවරකි. ගං තෙරේ සිට මාලිගාව දෙසට පියවර මනිනා බෝසතුන් දෙගව්වක් සලකනු කරන්නේ මහා උමග කරවනු අටියෙනි. එතනින් ඔබ්බට පිරික්සාකරන පණ්ඩිතයන් මාලිගා ඉදිකිරිම සඳහා සුදුසු භූමිය තෝරා  ගනී. ඉන්පසුව මෙම මාලිගාව සහ චූලනි රජුගේ මාලිගාව සම්බන්ධ කරන්නට තවත් කුඩා පරිමාණයේ උමගක් කරන්නට සැලසුම් කරන්නේ චූලනී රජුගේ මාලිගාවේ යම් අයෙකු සිර වුවහොත් බේරාගැනීමේ අටියෙන්. මහා බෝසතුන් මේ සියල්ල සැලසුම් කරන්නේ තමා දකින භුමියේ අභ්‍යන්තරික තත්වය ගැන ද මනා අවබෝධයක් ඇතිව බව පෙනී යයි. ගං තෙරෙහි භූ අභ්‍යන්තරික තත්වය ගැන මනා අවබෝධයක් ඇත්තෙක් තේරුම් ගන්නේ සියුම් මැටි අංශූන් ගෙන් සමන්විත දියළු අවසාදිත සහිත පිටාර තැන්නක ලාක්ෂණිකයන් එහි ඇති බවයි (Toda, 2005’ Anup, 2015). එයින් ගම්‍ය වන්නේ කැණීම් කටයුතු පහසුමුත් ස්ථාපිතකරණය පිලිබඳ හොඳ සැලකිල්ලක් ගත යුතු බවයි. සුළු උමගේ දොරකඩ නිමවන්නට සැලසුම් කරන්නේ චූලනී රජුගේ මාලිගාවේ උඩුමහලට නගින ඉනිමග පටගන්නා ස්ථානයේයි. එහි දී භාවිතාකරන තාක්ෂණය පැහැදිලි කරන්නේ මෙසේයි. “සුළු උමග දොර මෙ තැනැ වියැ යුතු යැ’ යි ඉඳුරා සලකා, පරණ හිණ අරවා යම් තැනෙකැ උමග දොර වේ ද, ඒ තැනැ පස් නොවැගිරෙන පරිදෙන්න පෝරු අතුරුවා නො හෙන පරිද්දෙන් නිශ්චල කොටැ හිණ සිටුවා ලූ සේක.” සියුම් කලිල අංශුන්ගෙන් සමන්විත ලිහිල් දියළු පාංශු ස්ථර ස්ථාවරකරණය මෙලෙස ඉතා පැහැදිලිව දක්වන්නේ වත්මනේ භාවිතාකරන මූලික ක්‍රමවේදවල සිද්ධාන්තයන්ම උපයෝගී කරනා බව පෙන්වමින්.  සුළු උමග ගව්වක් දිගය. එහි කෙළවර වේදේහ රජු ට තාවකාලිකව වසන්නට නව නුවර ඉදිකරන්නට සැලසුම් කරන්නේ මහා උමග හා සම්බන්ධ කරන අටියෙනි. මහ උමග නම් අටළොස් රියන් (අඩි තිහක් පමණ) උසය. මේ සියල්ල තනන්නේ තනිකරම මැටි පිරි භූමියක යි. එනිසා ඇති ප්‍රමාණ මැටි ඇති බැවින් ඒවා ගඩොල් කර්මාන්තය සඳහා ද යොදා ගනී. එමගින් පණ්ඩිතයන්ගේ යෝධයෝ නුවර පවුරු තනන්නෝය. එය සම්පත් කළමණාකරණය පෙන්වන්නකි. උමග පස් පිරි උමගක් ලෙස නොපවත්නේ, එය මහඟු ලෙස සැරසිලි කරනා බැවිනි. ඒ සඳහා මකුළු මැට්ට යොදා ගත් බව සඳහන් වේ.  මකුළු මැට්ට සුදු පැහැති ය. වර්තමානයේ අප ධවල පැහැගත් කෙයෝලින්  මැට්ට ලෙස හඳුන්වන්නේ බොහෝ විට මේ මකුළු මැට්ටටයි (Prasad, 2091). ඉංජිනේරු තාක්ෂණයේ උච්චත්වය තව දුරටත් මෙහි දක්වන්නේ උමග යාන්ත්‍රීකරණය කර ඇති බව සඳහන් කරමින්. එය මෙලෙස එහි සඳහන් කරයි.” උමග වනාහි අටළොස් රියන් උස (අඩි තිහක් පමණ) ඇති යන්ත්‍රයෙන් යුක්ත දොරවලින් ගැවැසී ගත්තේ යැ. එක ඇණයක් මිරිකා ලන්නා ඒ දොරවල් මුළුල්ලේ පිහී යන්නේ යැ. අනෙක් ඇණයක් මිරිකා ලන්නා ඇරී යන්නේ යැ.” . ජාතක කතාවේ දක්වන පරිදි එහි මහා දොරවල් අසූවකි. කුඩා දොරවල් හැට හතරකි.  ඒ දොර සියල්ල එකවර වැසිය හැකි ලෙසත් ඇරිය හැකි ලෙසත් යන්ත්‍ර මගින් තහවුරු කරන්නේය. උමග දෙපස තවත් ගබඩා සිය ගණනකි. සිය ගණනක් නිදන කාමරය. මේ සියල්ල යන්ත්‍රානුසාරයෙන් ක්‍රියා කරන්නේය. මෙවැනි යාන්ත්‍රික දොරවල් අද බොහෝ විසල් ගොඩනැගිලි වල දක්නට ලැබෙන ප්‍රමුඛ ලක්ෂණයකි. නමුත් මෙවන් වූ කේන්ද්‍රගත යෝධ නිර්මාණයක් ගැන නම් වත්මන් විද්‍යා ලෝකයේ අසන්නට ලැබෙන්නේ නැත. සියළු සැරසිලි සහිතව තුන් ගවු උමං ඇතුළු අංග සම්පූර්ණ නුවරක් කරවන්නට පණ්ඩිතයනට ගතවන්නේ සාර මසක් පමණි. සම්පත් කළමනාකරණයේ සහ කාලය කළමනාකරණයේ අපූර්වත්වය මෙහි දී අපට අත් විඳින්නට හැකි බව ඉතා හොඳින් පැහැදිලි වන කාරණයකි.

 සාරාංශය

පැරණි සාහිත්‍ය කෘති අතීත සමාජයේ ප්‍රතිබිඹුවකි. එමගින් සමාජය ගැන මෙන්ම ඔවුන්ගේ දැනුම, අවබෝධය, පාරිසරික සාක්ෂරතාවය, තාක්ෂණික දැනුම යනාදිය පිළිබඳව පැහැදිලි අර්ථකතනයක් කල හැකි වේ. උම්මග්ග ජාතකය ඇසුරෙන් සිදු කරන ලද මෙම අධ්‍යනයෙන් පැහැදිලි වන්නේ අතීත පෙරදිග ජනයාගේ විද්‍යා දැනුමේ වපසරියයි. වර්තමානයේ භාවිතාවන බොහෝ බටහිර විද්‍යත්මක දැනුම පෙරදිග වැසියන් බොහෝ කලකට පෙර භාවිතාකරන ලද බවට මෙම විග්‍රහය කදිම නිදසුනකි. නමුත් එම දැනුම ප්‍රකාශවන්නේ අද බටහිර විද්‍යා ලෝකයේ භාවිතාකරන ආකාරයට ද නොවන බව අප අවබෝධ කරගත යුතුවේ.

ස්තුතිය

මාගේ විශේෂ ස්තුතිය පර්යේෂණ පත්‍රිකාවක් නිමවීම සඳහා මා උනන්දු කල ශාස්ත්‍ර පිඨයේ පිඨාධිපති මහාචාර්ය ලසන්ත මානවඩු මහතාට යි. එමෙන්ම මේ මහඟු ග්‍රන්ථය කුඩාකලම මා අතට පත්කල නොබෝදා අප අතරින් වෙන්වූ මාගේ ආදරණිය පියාණන්ට ද ගෞරව පූර්වකව ස්තුති වන්ත වන අතර මෙය කියවා මා දිරිමත් කල මාගේ ආදරණිය මාමණ්ඩිය ප්‍රවීණ පරිවර්තක සිරිල් චන්ද්‍රසේකර මහතාට ද බෙහෙවින්ම කෘතඥ වෙමි.  

 පරිශීලන

1.    Adam D. Kay, Abbie J. Bruning, Andy van Alst, Tyler T. Abrahamson, W. O. H. Hughes and Michael Kaspari. 2014. A carbohydrate-rich diet increases social immunity in ants, Proceedings of the Royal Society B, March 7, 2014.

 

2.    Anup, KC. And Kalu, S. 2015. Soil Pollution Status and Its Remediation in Nepal, in Soil Remediation and Plants.  2015. Soil Remediation and Plants, Prospects and Challenges, Edition: 1stChapter: 11. Elsevier, Edit: Khalid Rehman Hakeem, Muhammad Sabir, Münir Öztürk, Ahmet Ruhi Mermu. DOI: 10.1016/B978-0-12-799937-1.00011-5

 

3.    Bradley W. Anderson, BW., Kortz., MW., Al Kharazi KA. 2021. Anatomy, Head and Neck, Skull. Treasure Island (FL): Stat Pearls Publishing; 2021. NBK499834PMID: 29763009.

 

4.    Chisvert, A., López-Nogueroles, M. and Salvador,A., 2019. Encyclopedia of Analytical Science, Reference Work, Third Edition, 2019. Pages 158-163.

 

5.    Choudhary, P., Routh J. and Chakrapania, GJ., 2009. An environmental record of changes in sedimentary organic matter from Lake Sattal in Kumaun Himalayas, India . Sci Total Environ. 407(8). doi: 10.1016/j.scitotenv.2008.12.020.

 

6.    Craft, C. 2016.  Creating and Restoring Wetlands, From theory to practice. Elsevier, 2016.

 

7.    Deziel, C. 2018. Lignin Formation in Plants. The Dilemma of Linkage Specificity Ronald Hatfield, Wilfred Vermerris Author Notes Plant Physiology. 126 (4). Pages 1351–1357, https://doi.org/10.1104/pp.126.4.1351.

 

8.    Fadel, DR., 2020. History of the Perfume Industry in Greco-Roman Egypt. International Journal of History and Cultural Studies (IJHCS). 6(4). Pages 26-45.

 

9.    Hauser, P., 2017. Sustainable chemical management and zero discharges. Sustainable Fibres and Textiles. The Textile Institute Book Series, Pages 347-366

 

10. Ikenberry, E., 1951. Perfume and Chemistry. Transactions of the Kansas Academy of Science (1903-) 54, no. 4 (1951): 508-10. Accessed August 29, 2021. doi:10.2307/3626211.

 

11. Inouea, M., Inouea, T. Fushimib, Y., Okadaa, K. 1992. Sex determination by discriminant function analysis of lateral cranial form. Forensic Science International. Vol 57 (2)., Pages 109-117.

 

12. Jones, B. 2021. Soft Ground Tunnel Design, CRC Press (Copyright Year 2022).

13. Kent, LB and Robertson. HM. 2009. Evolution of the sugar receptors in insects. BMC Evolutionary Biology. 9(41).

 

14. Lange., G. 2019. Cobra Deities and Divine Cobras: The Ambiguous Animality of Nagas. Animals and World Religions (Special Issue in 2019). doi:10.3390/rel10080454.

 

15. Manoliu I., and Radulescu. N. 2008. Education and Training in Geo-Engineering Sciences Soil Mechanics and Geotechnical Engineering, Engineering Geology, Rock Mechanics. CRC Press (2008).

 

16. Adachi, T., Tateyama, K and Kimura, M. 2001. Modern Tunneling Science and Technology. CRC Press.

 

17. Neupane, B., Kang, K., Chen, P., Zhang, Y., Ram, K., Rupakheti, D., Tripathee, L., Sharma, CM., Cong, Z., Li, C., Hou, J., Xu, M. and Thapa, P. 2019.  Historical Black Carbon Reconstruction from the Lake Sediments of the Himalayan–Tibetan Plateau

18. North Carolina State University. 2012. Significant skull differences between closely linked groups. Science Daily. 12 April 2012.

 

19. Subhash C. Kak, SC. 1997. On the Science of Consciousness in Ancient India. Indian Journal of History of Science. 32. Pages 105-120.

 

20. Paul, S. 2000. Mendeleyev's Dream. The Quest For the Elements. New York: Berkley Books. ISBN 0-425-18467-6.

 

21. Prasada, MS., Reida, KJ and Murray, HH. 1991. Kaolin: processing, properties and applications. Applied Clay Science, 6 (2), Pages 87-119.

 

22. Ravandi, SAH and Valizadeh, M. 2011 Properties of fibers and fabrics that contribute to human comfort in Improving Comfort in Clothing. Wood head Publishing Series in Textiles, Pages 61-78.

 

23. Salvador-Carreno, A and Chisvert, A., 2005. Perfumes, Encyclopedia of Analytical Science, Reference Work, Pages 36-42.

 

24. Savithri, SR. 1988. Speech and Hearing Science in Ancient India. A Review of Sanskrit Literature. Journal of Communication Disorders,. 21(4).  Pages 271-317. 

 

25. Schlesinger, WH. And Bernhardt, ES. 2013. Biogeochemistry: An Analysis of Global Change (Third Edition). Waltham, MA : Academic Press, an imprint of Elsevier, ©2013.

 

26. Shah, DI. and Shroff, AV. 2001. Soil Mechanics and Geotechnical Engineering By

27. Sharma, AK., Wahad, S. and Śrīvāstava, S., 2010. Agriculture Diversification: Problems and Perspectives. I. K. International Pvt Ltd. p. 140.

 

 

28. Sheng, L., Shields, EJ., Gospocic, J., Glastad, KM., Ratchasanmuang, P., Berger, SL., Raj, A., Little, S. and Bonasio, R. 2020. Social reprogramming in ants induces longevity-associated glia remodeling. Sci Adv. 6(34): doi: 10.1126/sciadv.aba9869.

 

29. Toda, Y., Ikeda, S., Kumagai, K. and Asano, T. 2005. Effects of Flood Flow on Flood Plain Soil and Riparian Vegetation in a Gravel River. Journal of Hydraulic Engineering. 131(11).

 

30. Voutsinos, C., 2002. Teaching Optics: Light sources and Shadows. Journal of Advances in Physics Vol 2, No.2.

 

31. Waldman, G., 2002. Introduction to Light: The Physics of Light, Vision, and Color (Dover Books on Physics) Revised Edition 2002. Prentice-hall Inc.

 

32. Whitaker, R. and Captain, A. 2008. Snakes of India, The Field Guide Hardcover (2008). Draco Books; Hard cover First Reprint edition (January 1, 2008).

 

33. Xiaofan Zhou, X., Slone, JD., Rokas, A., Berger, SL., Liebig, J., Ray, A., Reinberg, D., Zwiebel, LJ. 2012. Phylogenetic and Transcriptomic Analysis of Chemosensory Receptors in a Pair of Divergent Ant Species Reveals Sex-Specific Signatures of Odor Coding. PLoS Genet 8(8).

 

34. Yoo, C., Park, SW., Kim, B and Ba, H. 2014. Geotechnical Aspects of Underground Construction in Soft Ground. CRC Press.

 

35. Zhanna Reznikova, 2021. Ants’ Personality and Its Dependence on Foraging Styles Ecol. Evol. https://doi.org/10.3389/fevo.2021.661066

 

 

 

   

 

 

  

 

 

 

 

 

 

  

 

 

 

 

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...