Tuesday, 12 June 2018

භුමි කම්පා; ලංකාවට තවත් අනාගත අපදාවක්ද...?

2014 වසරේ විදුසර පුවත්පතෙහි පලකල ලිපියකි.


ආපදා කළමනාකරණය ශ්‍රී ලාංකිකයනට හුරු පුරුදු වචන යුගලයක් වුයේ  මේ මෑත කාලීනවයි. වරින් වර සිදුවෙන්නා වූ නාය යෑම්, ගංවතුර යනාදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් මෙරට වැසියන් පීඩාවට පත් වූවත් 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු විය.

ඉන්දුනීසියාව අසල වූ භූ තල වල එක් රැස් වූ අධික තෙරපුම එකවරම නිදහස් වීම හේතුකොටගෙන මුහුද අභ්‍යන්තරයේ සිදු වූ කම්පනයෙන් කැළඹුන මුහුදු ජල තරංග අධික ශක්තියක් රැගෙන ගොඩබිම බලා වේගවත් ව ගමන් කල අතර වෙරළාසන්න නොගැඹුරු මුහුදු පත්ලෙහි ගැටී ඇති වූ අති බිහිසුණු මාරාන්තික රළ පහර  වෙරලබඩ ජනජීවිතය සුනු විසුනු කරන ලද්දේ ඇසුරු සැණෙකිනි. කිසිවෙකුට හෝ ඒ කෙරහි සිත් අල්වා ගනු පිණිස කාලයක් නොදුන් තරම් ය. එකල මේ බිහිසුණු ආපදාව පිලිබඳ අත්දැකීමක් නොවූයෙන් පෙර සුදානමක් ද නොවීය. එනිසාම සිදු වූ හානිය ද අති මහත් විය.

ශ්‍රී ලාංකිකයන්ගේ පවුරානිකව රැගෙන ආ සංස්කෘතික සබදියාවත්, තිබු එකමුතුකමත් හේතුවෙන් විපතෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් විපතට පත්වුවනට නා නා විධියෙන් උදවු උපකාර කෙරෙන්නට විය. ඇමරිකාව වැනි දියුණු සහ බල සම්පන්න රටවල් කත්‍රිනා වැනි වැහි කුණාටු හමුවේ දුර්මුඛව දුර්වල වෙද්දී (උසස් තාක්ෂණය, බලය සහ ධනය තිබුනත්) ලාංකිකයන්ගේ ක්‍රියා කලාපය එනයින් අතිශය ප්‍රසංසා සහගත විය යුත්තක් ලෙස සියල්ලන්ගේම සිත්සතන් වල පල පැදියන් විය යුත්තකි. 

සුනාමි ව්‍යවසනය වන තුරුත් එවැන්නක් පිලිබඳ කල් යල් බැලීමක්ද නොවුයේ එහි විද්යාත්ම පසු බිම නොදැන සිටීම හෝ/හා සිදුවන්නට හැකි අනාගත ව්‍යසන පිළිබඳ ශ්‍රී ලංකික විද්වතුන් ගේ කතා බහට මාතෘකාවක් ද නොවූ බැවින් යයි මසිතට නැගුනත් වර්තමානයේ නිරන්තර අවධානය ඒ පිලිබඳ යොමු වෙමින් පැවතීම තිබීම සතුට ගෙන දෙන්නකි. නමුත් ශ්‍රී ලාංකිකයන්ට තමන්ගේ අනාගතය පිළිබඳ කිසියම් සුරක්ෂිත බවක් ඇති වී යයි සිතිය හැකිද...?

මන්දයත්, පසුගිය දිනෙක කොස්ලන්ද මිරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ ඛේදජනක සිදුවීම අප විසින් දැන දැන දහවල වලේ වැටීමක් නොවන්නේද..? කවුරු කෙසේ කිව්වත්, සිදුවියහැකි අනතුරු කල්තිය හදුනාගැනීමත්, එය සියලුම පර්ශ්වයන්ට දැනුම් දීමත් සහ අනතුර අවම කර ගැන්මට විකල්ප යෝජනා කිරීමත් සහ ඒ සදහා උනන්දු කිරීමත් පිළිබඳව අප සතුටුවිය යුත්තේ ශ්‍රී ලංකීය භූ විද්‍යාඥයින්ගේ අප්‍රතිහත පර්යේෂණ වල ප්‍රතිපල මහජනතාවගේ ආරක්ෂාව සදහා යොදාගැනීම පිළිබඳවයි. එපමණක් නොව භූ විද්‍යාඥයින් ලෙස තමාගේන් මෙරටට ඉටුවිය යුතු වගකීම නිසි පරිදි  ඉටුකිරීමට කැපවීම පිලිබඳවයි. නමුත් නිසි පරිදි එම ප්‍රදේශයේ ජනතාව විකල්ප ස්ථාන කරා ආපදාවට පෙර යොමුකරවීමට නොහැකි වීම මෙරට රාජ්‍ය තන්ත්‍රය ලැබූ දැඩි පරාජයකි. ආපදා කළමනාකරණයේදී එහි සියලුම පියවරයන් නිසිපරිදි සිදුවනවාදැයි නිති අවදානමෙන් සිටීමේ වගකීමත් ක්‍රියාදාමයේ වඩා වැදගත් පියවරයන් සහ තීරණ ප්‍රමුඛතා කොට සලකමින් සිදුකිරිමේත් වගකීමත් මේ සම්බන්දිත සියලුම පාර්ශවයන් වෙතින් සිදුවූ අතපසුවීමක ප්‍රතිපලයක් වීම ඉතා කණගාටුදායකය.       

වර්තමානයේ සිදු වූ මෙම නායයාමේ ව්‍යවසනයත් ඊට පෙර පසු ගිය දා පැවතියා වූ “අපදා කළමනාකරණය” පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රරණයට සහබාගී වීමෙන් පසුත් මෙම ලිපිය ලිවිම සිත් වුයේ තවත් අනාගතයේ සිදුවිය හැකි අනතුරක් පිළිබඳව සියලුම් පාර්ශව දැනුවත් කිරීමටය. එසේ නොකරන්නේ නම් එය ශ්‍රී ලාංකිකයෙකුට තරම් නොවේ යයි ද සිතුණු බැවිනි.

මෙතෙක් කලක් භූ තල මායිම් හේතුවෙන් ඇතිවන්නාවූ භූ කම්පන පිලිබදව අප රට සුරක්ෂිත යැයි නිගමනය කර සැනසුම් සුසුම් හෙලුවත්, මෙරට අනාගතය නම් එසේ නොවීය හැකි යැයිද භූ කම්පන හේතුවෙන් ඇතිවන්නා වූ ව්‍යවසනයන්ගෙන් නිරන්තර පීඩා විදිය හැකි යැයිද මෙහි ලා සඳහන් කල යුතුය. එපමනක් නොවේ මෙම භූ කම්පන ඇතිවීමේ සුලභතාවය සාගර පත්ලෙහි වීම ද මෙම ව්‍යවසනය එම හේතුවෙන් තවත් තීව්ර කෙරෙන බව ද සිත් හි තැන්පත් විය යුතුය.  එසේ වන්නේ ඇයි..? මෙපමණ කලක් සුරැකිව තිබුනේ විද, හදිසියේම මෙවැනි තත්වයක් හට ගන්නේ කෙසේද..? විද්‍යාත්මක පසු බිම විමසා බැලීමේදී නම් එවැනි ක්ෂණික උද්ගත්විමක් නොවූ බව පැහැදිලි වේ. පසුගිය කාලයේ ඔබ අවධානයෙන් පසු වුවා නම්, මතකයට නැගෙනු ඇත ලං ලං වූ කාලාන්තර වල දිවයිනේ සමහර පෙදෙස් වල ට භූ චලනයන් දැනෙනු බව.  

මොනවද මේ භූ තල මායිම්..? ඒ පිළිබඳව කිසියම් අවබෝධයක් ඇතිකරගෙනම ඇතිවන්නට යන්නා වූ ව්‍යවසනය ගැන කතාබහට ලක් කිරීම වඩාත් උචිත වේ. පෘථිවි පෘෂ්ටය විවිධ පාෂාණ සමූහයකින් තැනුණු දොඩමක ලෙල්ල මෙන් වුවකි. මෙය කබොල ලෙසත් එයට ඇතුලතින් ප්‍රාවරණය නම් වූ තවත් පාෂාණ කලාපයකින්ද අභ්‍යන්තරයේ හරය නම් වූ තවත් අධික ඝනත්වකින් යුක්ත පාෂාණ වලින්ද සමන්විත වී ඇත. කබොලට ඇතුලතින් වූ හරයෙහි ඉහල කොටසෙහි කබොලත් හරයත් වෙන් කරන මායිමේ සිට ගැඹුරින් 1/4 ක්‌ පමණ වූ ප්‍රදේශයක් පසු කල විට පවතින්නේ අධික උණුසුමින් යුක්ත අර්ධ ඝන (හෝ අර්ධ ද්‍රව) තත්වයේ පවතින රක්ත තප්ත වූ කලාපයකි. එහි නිරන්තරයෙන් පැසෙන ලෝදියෙන්ද සමන්විත වේ. මෙම අර්ධ ද්‍රව මත ඊට ඉහලින් වූ හරයෙහි ඉහල කොටසත් කබොලත් එක් වූ තනි පාෂාණ කලාපය භූ තල ලෙස හදුන්වන අතර ඒවා විවිධ ස්ථානවලින් පිපිරී ඉරිතැලී වෙන් වෙන් භූ තල වලට වෙන්ව ඇත. මෙවැනි භූ තල ප්‍රධාන කොට 13ක් පමණ පවතින අතර මෙම තල දෙකක් අතර මායිම “භූ තල මායිම්” ලෙස හදුන්වයි. මෙයට අමතරව සමහර භූ තල කුඩා භූ තල වලටද වෙන් වී ඇත. විශේෂත්වය නම් මෙම භූ තල මායිම් ඉතා ගතික එනම් චලනය වන ඒවා වීමයි. භූ තල අර්ධ ද්‍රව කලාපයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් විවිධ දිශාවන් වලට මේ මොහාත වන විටත් ගමන් කරමින් පවතී. නමුත් මෙම චලන බොහොම සෙමෙන් සිදු වේ. සමහර භූ තල එකෙනෙක වෙත එනම් අභිසාරිව චලනය වේ. තවත් ඒවා එකිනෙකින් ඉවතට එනම් අපසාරිව චලනය වේ. තවත් භූ තල එකිනෙක ස්පර්ශ කරමින් දෙපසට චලනය වේ (පරිණාමණ විභේද).  භූ කම්පන ඇතිවිමේදී ඉහත කි අභිසාරී තල මායිම් වල හා පරිනාමන විභේද වල චලනයන් බෙහෙවින් හේතු වේ. එකිනෙක වෙත තල්ලු වෙන භූ තල නිසා එම මායිම් අසල අධික පීඩනයකට ලක්ව පවතී. දරා ගත නොහැකිවන විට මෙම පීඩනය එකවිටම නිදහස් වේ. මෙනිසා අධික කම්පනයක් සහිතව භුමිය චලනයට ලක් වේ. මෙම තල මායිම් මුහුද මද්‍යයේ වුයේ නම් බොහෝ විට සුනාමි තත්වයක් ඇති කරයි. 2004 වුයේද මෙවැනි භූ තල චලනයක ප්‍රතිපලයකි.  

මෙරටට මෙම තල මායිම් වල බලපෑම සිදුවන්නේ කෙසේද? මෙතෙක් කලක් අප සිතා සිටියේ ශ්‍රී ලංකාව ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය මධ්‍යයේ පිහිටීම නිසා භූ චලන පිළිබඳව අවධානමක් නොමැති ලෙසයි. නමුත් එම තත්වය මේ වන විට ක්‍රමිකව වෙනස් වන බව පෙනී යයි. මේ සඳහා කදිම විද්‍යාත්මක සාක්‍ෂි සපයන්නේ ජාතික විද්‍යා පදනමෙන් පලකරන විද්‍යා සඟරාවේ 30 වෙනි වෙළුමෙහි පළමු කලාපයේ ඇත්තා වූ පර්යේෂණ පත්‍රිකාවකි. මේ පත්‍රිකාවෙහි ලේඛකයා වන්නේ පේරාදෙණිය සරසවියෙහි භූ විද්‍යා දෙපාර්තුමෙන්තුවෙහි සේවය කල ජේෂ්ඨ මහාචාර්ය සි. බි. දිසානායක මහතායි. ඔහු පවසන ආකාරයට ලංකාවට දකුණු මුහුදෙහි නව භූ තල මායිමක්‌ හට ගනිමින් පවතී. එය ශ්‍රී ලංකාවේ දකුණු වෙරළ තීරයේ සිට සැතපුම් 600 ක්‌ පමණ දකුණු දිග මුහුදු කලාපයේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ පිහිටයි. මෙම පිපිරිමක්‌ කාලයත් සමග තව දුරටත් පුළුල් වෙමින් වඩාත් ක්‍රියාකාරී තල මායිමක් බවට පරිවර්තනය විය හැකි බව මගේ හැඟීමයි.පසුගිය කාල වකවානුවෙහි සිදු වූ භූ චලනයන් වල කේන්ද්‍රයන් සිතියම ගත කල හොත් ඒ ව බොහොමයක්‌ මෙම නව පිපිරිම සිදු වූ කලාපයේ ස්ථානගත වන බව සොයාගෙන ඇත (සිතියම 01 බලන්න).   

1980 දී වෙයිසල් ගේ පර්යේෂණ කණ්ඩායම සහ 1986 දී වීන්ස් සිදුකල පර්යේෂණ වලින් මෙම නව භූ තල මායිම බිහිවන බව හොදින්ම තහවුරු කර ඇත. තවමත් උසයන හිමාලය කන්ද බිහිවීමේ ක්‍රියාදාමය දිගින් දිගටම ක්‍රියාත්මක වීමෙන් ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලය උතුරු දෙසට චලනය වී අතිවිශාල යුරෝපියානු භූ තලයේ ගැටීමෙන් ඇතිවන පීඩනය බොහෝවිට නිදහස් වන්නේ ඉන්දු-ඕස්ට්‍රේලියානු භූ තලයේ දුර්වල කලාපයක් හරහා පිපිරීම් ඇති කරවමිනි. එනිසා ඉන්දු-ඔස්ට්‍රේල්යානු භූ තලය මධ්‍යයේ ලංකාවට දකුණු දිග මුහුදේ (සැතපුම් 600ක් පමණ ඈතින්) වාර්තා වන එම පිපිරීම් හේතුවෙන් අන්තඃ භූ තල භූ කම්පා ඇතිවන බව වින්ස් ගේ පර්යේෂණ වලින් පැහැදිලි වේ.  භූ තල වල පිපිරීම් දර්ශණය නොවූවත් මෙලෙස ඇතිවන්නා වූ අන්තඃ භූ තල භූ කම්පා එම සිදුවීම් නියෝජනය කරයි. ලෝකයේ බහුතරයක් භුමි කම්පා වාර්තා වී අත්තේ මෙවැනි භූ තල මායිම් ඇසුරු කරගෙනයි.

එසේනම් අනාගතයේ ලංකේය භුමිය කෙසේ නම් භුමි කම්පා අවදානමෙන් තොර වන්නේදැයි කිව හැකිද? දැන් ම නොවුනත් අනාගතයේ යම් දිනක දරුණ ව්‍ය්වසනයකට මුහුණ පෑමේ අවධානමට මුහුණ දිය හැකි බව මෙමගින් හොදින් පැහැදිලි වේ. යමෙකුට “ මුහුද හත්ගව්වක් තබා අමුඩය ගැසීමක්” ලෙස හැඟුනත් අවධානමට පෙර සුදානම් වීම ස්තිරයෙන්ම හානිය අවම කරවන බව අමුතුවෙන් කිවයුතු නොවේ. පෙරසුදානම සහ ඒ පිළිබඳව තව තවත් පර්යේෂණ සිදුකිරීම කෙලෙසකවත් මුදල් අපතේ යැවීමක් නම් නොවනු ඇත.

භුමි කම්පා හේතුවෙන් කවරනම් ආපදාවන් සිදු වේද යන්න වටහා ගැන්ම එතරම් අසීරු දෙයක් නොවනු ඇත. මන්ද යත් එවැනි ඛේදවාචකයන්ට හසුවූ රටවල් බොහොමයක් උදාහරණයන් වන හෙයිනි. ජපානය නිතරගයෙන්ම මතකයට නැගෙන්නේ රටෙහි නමත් සමග භුමි කම්පා ඔවුනට උරුමව එම ජනජීවිතයට බද්ධව ඇත්තාක් මෙනි. විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන හේතුවෙන් ජපානය භූ කම්පා අනතුර මග හැරිමින් ඇතිවන ආපදා අවම කරගැනීමට සමත් වීම පෙරසුදානමෙහි අගය මොනවට ගෙනහැර පායි.
    
ශ්‍රී ලංකේය භූමිභාගය පුරාවටම ඊසාන-නිරිත දිශානුගතවද සහ වයඹ-ගිනිකොණ දිශානුගතවද ඇත්තා වූ විබෙදයන් (පැලුම්) හේතුවෙන් ඇතිවන්නා වූ භූ කම්පා වල දී විසිරෙන ශක්තිය රට අභ්‍යන්තරයට ගෙන යාමේ හැකියාව ඉතා වැඩිය. එනිසා එම විභේදයන් ඔස්සේ පවතින නගර, ගම්, ජලාශ සහ අනෙකුත් ඉදිකිරීම් අනතුරට ලක්වීමට වැඩි සම්භාවිතයක් ඇත. එනිසා එවැනි ප්‍රදේශ හෝ ස්ථාන හෝ ඉදිකිරීම් හදුනාගෙන ආරක්ෂාකාරී ක්‍රියා පිළිවෙතක් ඇතිකල යුතු වේ. එපමණක් නොව එවැනි ප්‍රදේශ වල ඉදිකිරීම් සිදුකරන්නේ නම් නව තාක්ෂණ ක්‍රමෝපායන් භාවිතයෙන් සුරක්ෂිත බව තහවුරු කලයුතු වේ. භුමි කම්පාව සිදුවන විටද එයින් පසුවද ජනතාවගේ ආරක්ෂාව පතා ඔවුන් ක්‍රියා කලයුතු ආකාරය පිලිබඳ දැනුවත් කිරීම් ද පෙරහුරද පැවැත්වීමද මගින් ජිවිත හානි අවම කර ගත හැකිවේ. භූ විද්‍යා සහ පතල් කාර්යාංශය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ජාතික ගොඩනැගිලි සහ පර්යේෂණ ආයතනය වැනි ආයතනවලින් මේ සම්බන්දිත භූ විද්‍යාත්මක දැනුම සහ පර්යේෂණ වල ප්‍රතිපල ඇසුරුකරගනිමින් ක්‍රමවත් වැඩපිළිවෙලක් දියත් කර වීම අපහසු කටයුත්තක් නොවේ. ආපදාවන්ට ලක්විය හැකි විවිධ විෂය පථයන් හඳුනාගෙන හානිය අවම කරගැනීම උදෙසාද ඔරොත්තු දීම සදහාද විද්‍යාත්මක පර්යේෂණ සිදුකිරීම අනාගත ආයෝජනයක් වනවා නිසැකය. නමුත් වර්තමානයේ සිදුවනවා මෙන් එම පර්යේෂණ අන්තර්ජාතික සඟරාවල පල වන තවත් එක් පර්යේෂණ පත්‍රිකාවක් පමණක් නොවීමටත් එම දැනුම ආපදා කළමනාකරණය තුලට සුසංයෝජනය කර ගැනීමටත් අප දක්ෂ විය යුතුයි.       

නොදන්වා පැමිණි සුනාමියේ තතු නොදැන සිටීම හේතුවෙන් විසල් ආපදාවකට මුහුණ දුන් අප අනාගතයේ සිදුවිය හැකි භුමි කම්පා ව්‍යවසන පිලිබඳ විද්වතුන් අඟවන අනතුරු නොසලකා හැරියහොත් දෙවැනි වරටත් අප රෑ වැටුණු වලේ දවල් වැටීමක් ම වන්නේය. කොස්ලන්දෙන් ඉගෙනගත් පාඩම ආදර්ශයට ගෙන අපද කළමනාකරණ ක්‍රියාවලියේ දුර්වල ස්ථාන ශක්තිමත් කල යුතුය. නැතහොත් අප අප විසින්ම අනතුරේ හෙළ ගැනීමක්ම වනු ඇත.
 
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Monday, 11 June 2018

විකෟතවූ විජානනයෙක් ..


හැරුණා ආපසු හනි හනික

බලා ඉන්නට බැරිව

විභාජනයෙන් දෙබිඩි වී

බෙදී බෙදී වෙන් වෙවී..

සෑම අඩ හෝරාවකට පසු  

දෙගුණ වන ඇමීබාවන්

තව සුළු මොහොතකින්

පිරි ඉතිරි යාවි

එගා(ර්) පිරුණ පෙට්‍රි දීසිය..

ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගෙන් විකසනව

මොළය ඇති කඳක් නැති 

ඒක සෛලිකයා..

මෙන්න හරි වැඩක්..

කෑ ගැසුවා අන්වික්ෂයේ ඇහැ තියන්

වෙන් නොවූ දෙබිඩ්ඩෙක්

හරිම පුදුමයි.. හරිම පුදුමයි

විකෟතවූ විජානනයෙක්..

ඉතින් හොයාපල්ලාකො

මුගේ කිත්තන්ද කිරිකිත්තන්ද

සමග නත්තන් හා පනත්තන්ද

මදි වුනොතින් හෙම  කොස් පොත්තන්ද

වර්ණදේහයේ සුළු වෙනසෙන් 

වෙසෙසින්ම වූ දේහ වර්ණයේ රහස

පරිණාමයේ අපුරුව...........!!!!



ආචාර්ය පත්මකුමාර ජයසිංහ


ජල දුෂණය


ජල දුෂණය රටෙහි ජාතික වශයෙන් වැදගත්කමකින් හෙබි මාතෘකාවක් බවට පත්වෙමින් තිබෙන බව වර්ථමානයේ සිදුවූ ආන්දෝලාත්මක සිදුවීම් කිහිපයක් නිසා පැහැදිලි වේ. එමෙන්ම කර්මාන්ත හේතුවෙන් සිදුවන්නා වූ ජල දුෂණය පිලිබඳ ජනතාව අවදියෙන් සිටින බව එම සිදුවීම් වල දී ඔවුන් ක්‍රියාකළ ආකාරයෙන් තේරුම් යයි. එම සිදුවීම් හොඳින් විශ්ලේෂණය කල විට පැහැදිලි වන්නේ ජල දුෂණය විද්‍යාත්මකව ජනතාවට පැහැදිලි කිරීමේදීත්, ඒ සඳහා භාවිතා වන විද්‍යාත්මක පරාමිතින් සහ ඒවායේ සම්බන්දතාවය පිළිබඳව ජනතාව තුලත් අඩු අවබෝදයක් ඇති බවයි.  එය වඩාත් තිවෳරව දැනෙන්නේ වර්තමාන සිදුවීම් වලදී ජලයේ ආම්ලික- භාෂ්මිකතාවය විස්තර කෙරෙන පී.එච්. අගය සහ ජල දුෂණය පිළිබඳව ඇති වී ඇත්තාවූ නොපැහදිලි බවයි. එය තවදුරටත් සරල කළහොත්, “පී.එච් අගය ජල දුෂණය මනින සාධකයක් ලෙස ගත හැකිද ?” ලෙස ගත හැක. පිළිතුර ලෙස “ඔවු” යන්න වගේම තවත් කරුණු කාරනා කිහිපයක් නිසාම “ නැත” යන්නත් දිය හැකියි. එනිසා ශ්‍රී ලංකිකයන් සියලු දෙනාම යැපෙන්නා වූ මෙරටෙහි මිරිදිය (මතුපිට සහ භූ ගත ජලය) කේන්ද්‍ර කරගනිමින් මෙම සම්බන්දතාවයන් පිලිබඳ පැහැදිලිකිරීමක් මෙම ලිපියෙන් ඉදිරිපත් කිරීමට බලා පොරොත්තු වේ.



පී. එච් අගය යනු කුමක්ද? එමගින් පැහැදිලි කෙරෙන්නේ ජලයෙහි ආම්ලික සහ භාෂ්මික බවයි. නො එසේනම් ජලයෙහි අයනීකරණය වූ හයිඩ්‍රජන් අයන කොපමණ තිබේද යන්නයි. සෙන්ටිග්‍රේඩ් අංශක 25 දි සුපිරිසිදු (ආශුත) ජලයෙහි පි.එච් අහය 7ක් වේ. එනම් එම ජලය උදාසීන බවයි. එම අගය 7 ට වඩා අඩුනම් ජලය ආම්ලික බවත් 7 ට වැඩිනම් භාෂ්මික බවත් කියවේ.  සත්‍යතාවය නම් ස්වභාවික පරිසරයේ ඇති (ගංගා, ඇල, දොළ, ලිං වල ඇති) මතුපිට ජලයෙහි සහ භූ අභ්‍යන්තරයේ ඇත්තාවූ ජලයෙහි පි.එච් අගය පාෂාණ සහ පස් වැනි භූ පාරිසරික තත්ත්ව මත තීරණය වේ. බොහෝ විට ස්වභාවික ජලයෙහි පි.එච් අගය 7 ට අඩු වේ. එමෙන්ම වැසි ජලය ද සුළු වශයෙන් ආමලික වේ. උෂ්ණත්ව මත ද පි.එච් අගය රඳා පවතින අතර එමනිසා උෂ්ණත්ව වැඩි වන විට එම අගය අඩු වේ.



ස්වාභාවික තත්ත්ව යටතේ ගංගා, ඇල. දොළ, පොකුණු සහ වැව් වලට ජලය එකතුවන්නේ වැස්ස සහ ස්වභාවික උල්පත් හේතුවෙනි.  පොලව අභ්‍යන්තරයේ විවිධ පාෂාණ සහ පස් ඇසුරු කර ගනිමින් පහලට රූරා ගොස් එක් රැස් වන්න වූ ජලය භූගත ජලය ලෙස හැඳින්වේ. මෙලෙස මතුපිට සහ පොලොව අභ්‍යන්තරයේ ගලායන්නා සහ එකතුවන ජලයට එමගින් ක්ෂණිකව දියවන්නා (ද්‍රාව්‍ය)  වූ භූ රසායනිකයන් එකතුවේ. මතුපිට ජලයට වඩා ඉතා අඩු වේගයකින් භූගත ජලය ගලා යන අතර සමහර අවස්ථාවලදී බොහෝ කාලයක්‌ එක තැනක එකතු වී තිබිය හැක. එමගින් එම ජලය ස්පර්ශ කරන්නා වූ භූගත පරිසරයෙන් භූ රසායනිකයන් දියවීමේ සහ එකතුවීමේ ඉඩකඩ වැඩිය.    



ඍජුවම උල්පත්, ගංගා, ඇල, දොළ සහ ලිං වලින් ලබා ගන්නා ජලයෙහි එලෙස එක්‌ වූ ද්‍රවිත රසායනිකයන් අඩංගු වේ. එමගින් අපගේ ජීවිතය පවත්වාගෙන යාමට අවශ්‍ය වන්නා වූ අත්‍යවශය ඛනිජ ලවන ද ශරීරගත වේ. නමුත් සමහර අවස්ථාවලදී අනවශ්‍ය විෂ සහිත රසායනිකයන්ද ශරීරයට ඇතුල් වේ. එනිසා විවිධ රෝග ඇතිකිරීමට එය හේතුවක් වේ. මෙවැනි සිදුවීම් ලෝකයේ ඉතා හොදින් අධ්‍යනය කර ඇති අතර බංගලාදේශයේ ආසනික්‌ නම් වූ රසායනිකය හේතුවෙන් ඇති වී ඇත්තා වු ඛේදවාචකය කදිම නිදසුනකි. මෙම ආසනික් ජලයට එකතු වී අත්තේ එරටෙහි ඇති සමහර පාෂාණ වලිනි. තවද අප රටෙහි වියලි කලාපයෙහි ජනතාව අතර දක්නට ලැබෙන දත් දුර්වරණ වීමේ රෝගයද භූ පරිසරයේ ඇත්තා වූ ෆ්ලොවොරින් නම් වූ රසායනිකය හේතුවෙන් ඇතිවුවෙකි.



මෙලෙස ද්‍රාවනගත වන්නාවූ භූ රසායනිකයන් ගේ ප්‍රමාණයන් පි.එච් අගයේ වෙනස් වීම මත තීරණය වේ. සමහර භූ රසායනිකයන් (බොහොමයක් ලෝහ සහ බැර ලෝහ අයන) ආම්ලික, එනම් පි.එච් අගය අඩු ජලයෙහි හොදින් ද්‍රවනය වේ. නමුත් පි. එච් අගය වැඩි වන විට ඒවා අද්‍රාවය තත්වයට පත් වී භූ පරිසරයේ තැන්පත් වේ. එමනිසා එක තැනකදී ද්‍රාවනගත රසායනිකයන් තවත් තැනකදී අද්‍රාවය වී ජල පද්ධතියෙන් ඉවත් වේ. එමගින් තේරුම් යන්නේ ජලයේ පි.එච් අගය (එසේත් නොමැතිනම් ආම්ලික භාස්මික බව) මෙම අයන වල ඉරණම තීරණය කරනු ලැබේ.



සමහර අවස්ථාවලදී ජලයට එකතුවන ගෙන්දගම් (සල්ෆර්), පීට්, හුණු (කැල්සයිට්) වැනි ස්වභාවික රසායනිකයන්/ඛනිජ නිසා ජලයේ පී.එච් අගය වෙනස්විය හැක. අපට මෙවැනි රසායනිකයන්/ඛනිජ බොහොමයක් හදුනාගත හැකි අතර, කෙසේවෙතත් අප තේරුම් ගත යුත්තේ, භූ පරිසරයේ රසායනික ස්වභාවය අනුව ජලයේ පි.එච් අගය වෙනස්වන බවයි. එනයින් පැහැදිලිවන්නේ රටෙහි සැම තැනකම එකම ආකාරයෙන් ජලයෙහි පි.එච් අගය නොපවතින බවයි. උදාහරනයක් ලෙස පර්යේෂණ වලින් හදුනාගෙන ඇති ආකාරයටමුතුරාජවෙල ප්‍රදේශයේ ජලය එහි පවතින පීට් නිධිය හේතුවෙන් ආම්ලික ස්වභාවයෙන් යුක්ත වන අතර යාපනය ප්‍රදේශයේ ජලය එහි පවතින අවසාදිත හුණුගල් හේතුවෙන් සුළු වශයෙන් භාස්මික වේ. එමෙන්ම කල්පිටිය ප්‍රදේශයේ ජලය බොහෝදුරට උදාසීන ස්වභාවයෙන් යුක්ත වේ. මෙවැනි අසමතුලිතා රට පුරා හදුනාගත හැක.



මෙවැනි ස්වභාවික තත්වයන් වලට අමතරව, මිනිසාගේ ඍජු සහ වක්‍ර ක්‍රියාකලාපයන් හේතුවෙන් ද ජලයේ පි.එච් අගය වෙනස් වේ. ජලයේ රසායනික ස්වභාවය වෙනස් කරන මෙවැනි මිනිස් බැහැර කිරීම් දුෂක ලෙස හැසිරෙයි. මෙම දුෂක බැහැර කිරීම් ප්‍රධාන වශයෙන් ස්ථානීය සහ ප්‍රාදේශීය (අස්තානිය) ලෙස  හඳුනා ගත හැක. ස්ථානීය වශයෙන් බැහැර කරන දුෂක පහසුවෙන් හඳුනාගත හැකි අතර ව්‍යාප්ත වීම, ප්‍රමානය සහ ප්‍රදේශය තීරණය කල හැක. එමගින් එවැනි ජල දුෂණයන් පහසුවෙන් පාලනය කල හැක. නමුත් ප්‍රාදේශීය වශයෙන් ව්‍යාප්ත වන්න වූ දුෂක එලෙස පහසුවෙන් පාලනය කල නොහැකි වන්නේ දුෂක බැහැර කිරීම විශාල ප්‍රදේශයක් පුරා පැවතීමත් සහ දුෂක විශාල ප්‍රදේශයක පැතිරී යාමත් නිසාවෙනි.  එමනිසා මෙවැනි දේ අධ්‍යනය කිරීමේදී දුෂක බැහැර කරන ස්ථාන, බල පෑ ප්‍රදේශය සහ එහි ප්‍රමාණය කොපමණද යන්න පහසුවෙන් හඳුනාගැනීමට නොහැකි නිසා, පර්යේෂණ වාර ගණනාවක් කිරීමට සිදු වේ. මේ සදහා කදිම නිදසුන වන්නේ කෘෂිකර්මාන්ත කටයුතු වලදී භාවිත වන පොහොර හේතුවෙන් සිදුවන්න වූ ජල දුෂණයයි.



මතුපිට හෝ භූගත ජලයට එකතුවන්නා වූ මෙම දුෂක හේතුවෙන් එහි රසායනික ස්වාභාවය වෙනස් වන අතර එම වෙනස පැහැය සහ ගන්ඳය වැනි සාධක මගින් භෞතිකව හඳුනාගත හැක. නමුත් සමහර අවස්ථාවලදී එලෙස හඳුනාගත නොහැකි වන අතර  රසායනික විශ්ලේෂණයන් ගේ අවශයතාවය පැන නගී. මේ සදහා තත්ත්ව පරීක්ෂණ ගණනාවක් සිදු කල යුතු වන්නේ ජලයේ රසායනික වෙනස් වීම කුමන හෝ ආකාරයේ එකක් වීමේ හැකියාවත්,  සුළු වෙනසකින් ජලයේ රසායනික ස්වභාවය ආකාර ගණනාවකින්ම වෙනස් වියහැකි වීමත් නිසාවෙනි. මෙම සාධක වලින් පි.එච් අගය බොහෝවිට ජල දුෂණය හදුනාගැනීමේ විශ්වාසදායක සාධකයක්‌ වෙයි. කෙසේවෙතත් එය, ජල දුෂකය සහ එම ප්‍රදේශයේ ජලයේ පසුබිම් පි.එච් අගය මත තීරණය වෙයි. එමනිසා නිගමනයන්ට එළඹීමට පෙර ජලයේ පසුබිම් පි.එච් අගය සමග විශ්ලේෂණ මගින් ලැබෙන ප්‍රතිපල සංසන්දනය කිරීම අත්‍යවශය සහ නුවණැති ක්‍රියාවකි.



කර්මාන්ත මගින් සිදුවන්න වූ ජල දුෂණය ඉතා පහසුවෙන් නිශ්චය කිරීමද පාලනයද කල හැක.  සමහර විට එම ප්‍රදේශයේ පසුබිම් පි.එච් අගයන් නොදැන සිටියද දුෂකය පැතිරෙන ආකාරය සහ ඒවායේ සාන්ද්‍රන මගින් දුශකයේ ස්වභාවය ද තීරණය කල හැක.  බොහෝවිට ඉතා සරල විශ්ලේෂණ ක්‍රමවේද කිහිපයක් මගින් ජලය දුෂනය වී ඇත්ද එහි ස්වභාවය කුමක්ද යන්න නිගමනය කිරීම එතරම් අපහසු කටයුක්තක් නොවේ.  උදාහරණයක් ලෙස බැහැර කරන දුෂක ද්‍රව්‍ය වල පි.එච් අගය අඩුනම් බැහැර කරන ස්ථානයේ අවට පසෙහි සහ ජලයෙහි පි.එච් අගය අනෙකුත් ස්ථාන වලට වඩා අසාමාන්‍ය ලෙස අඩුවන අතර එම ස්ථානයෙන් ඉවතට යනවිට එම අගය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට ලඟා වේ. නමුත් බැහැර කිරීම වල සහ ප්‍රදේශයේ ජලයෙහි සහ පසෙහි පි.එච් අගය අතර වෙනසක් නොමැතිනම් දුෂණ තත්වය තීරණය සදහා වෙනත් පරාමිතියක් භාවිතා කල යුතුවේ. සමහර කර්මාන්ත සම්බන්දයෙන් සුවිශේෂී පරාමිතීන් සහ විශ්ලේෂණ භාවිත කල හැක. දුෂක ද්‍රව්‍ය පස සහ ජීවින් හට බලපාන්නේ නම් ජීව සාධක මේ සදහා භාවිතයට ගත හැක. 



පසුගිය කාලයේ වූ සමහර ජල දුෂණ සිදුවීම් සමනය වූ තත්වයක් පෙන්නුම් කලත්, නිරන්තර ජල දුෂක ක්‍රියා නිසාවට ජල හිඟයකට මුහුණ පෑමේ අවධානමකට අප ලක් වී ඇත. ශ්‍රී ලංකාවේ ජල සම්පත් වලට ප්‍රධානම සහ ප්‍රබලම බලපෑම සිදු කරන්නේ නවින සහ බටහිර කෘෂිකාර්මික කටයුතුවලදී භාවිතා කරන රසායනික පොහොර, කෘමි සහ වල් නාශකයි.  එපමනක්‌ නොව එය ශ්‍රී ලංකික ජල දුෂණයේ ප්‍රාදේශීයව බල පවත්නා ප්‍රධානම සාධකය වේ. කෘමි සහ වල් නාශක භාවිතය පිලිබඳව ශ්‍රී ලංකික ජල පර්යේෂණ ක්ෂේත්‍රය තුල තවමත් නිසි අවධානය යොමු වී නැති බව පෙනී යයි. එමනිසා අනාගත ජනතාවගේ යහපත සහ පැවැත්ම පිලිබඳ නොපැහැදිලිතාවයක් මතු වේ. රටෙහි කර්මාන්ත ස්ථාපිත වීම වේගවත් වී ඇති අතර එනිසාම එමගින් සිදුවන්නවූ බලපෑම පිලිබදව සහ ඒවා අවම කරගැනීමත් වලක්වගැනිමත් පිළිබඳව සැලකිලිමත් වීම අත්‍යවශය වේ. ජල දුෂණය හදුනාගැනීම සහ වලක්වාගැනීම සඳහා ජාතික මාර්ගෝපදේශනයන් සපයා ඇති මුත් ඒ පිලිබඳ අවදානය සහ දැනුවත්වීම අඩු බවද පැහැදිලි වේ. කෙසේනමුත් මෙම ජල විශ්ලේෂණ කටයුතුවලදී පසුබිම් දත්ත ලබාගැනීම සහ එම ප්‍රදේශය පිලිබඳ කාලිනව කරන ලද පර්යේෂණ තොරතුරැ එක්‌ රැස් කර ඒවා අධ්‍යනය කිරීම ඉතා වැදගත් කරුණකි. එපමණක් නොව එවැනි අධ්‍යනය වලදී එම ප්‍රදේශයේ කාලගුණික තත්වය පිළිබඳව සැලකිලිමත් වීමද වැදගත් වන්නේ ජලයේ රසායනික ස්වභාවය වෙනස් කිරීමෙහි ලා එය ප්‍රබලව බලපාන බැවිනි.



ජාතික වශයෙන් වැදගත් වන මෙවැනි ගැටළු හමූ වේ මුහුණ දීම සදහා කිසියම් පෙර සුදානමක් තිබීම අත්‍යවශය වේ. මේ සඳහා රටෙහි ජල සම්පත් පිළිබඳව ප්‍රමාණාත්මකව වාගේම තත්වය පිලිබදව ද කරුණ ගොනු කර තැබීම ඉතා වැදගත් වේ.



ආචාර්ය පත්මකුමාර ජයසිංහ

ශ්‍රී ලාංකේය ප්‍රාග් කාලගුණික තත්වය

බුන්දල සහ පතිරාජවෙලඵෛතිහාසික  වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකවද වැදගත්මක් ඇත්තාවූ ස්ථාන දෙකකි. ශ්‍රී ලංකික මානව වංශ කතාවේ දැනට පැරණිම සාධක හමු වි ඇත්තේ මෙම පතිරාජවෙල සිදු කෙරුණ කැණිමකිනි.  වසර එක්ලක්ෂ විසිපන්දහසක් (125000)  පමණ පැරණි ගල් ආයුධ මෙම ස්ථානයෙන් හමු වි ඇත. භූ රුපණය සැලකීමේදී මෙම ස්ථානය වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර 15ක් පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මෙම ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවකයි. එසේ නම් මෙම ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහලින් පිහිටන්නේ කෙසේද යන්න පැරණි මුහුදු මට්ටම් උච්චාවචනය සහ සබැඳේ. පෙබලු සහ බොරළු වලින් සමන්විත මෙම තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවදියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘධ අවදිය පිහිටන්නේ තව බොහෝ පහලිනි. මෙමගින් පැහැදිලිවන්නේ මෙම තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්ටම පහළ ගිය කාලයක බවයි. එම කාලය බොහෝ විට ලොව පැවති අවසාන අයිස් යුගය විය යුතුය. මානව වංශ කතාව ආරම්භවන්නේ අදින් වසර මිලියන් දෙකකට පමණ පෙරය. එම කාලය භූ විද්යත්මකව හඳුන්වන්නේ “චාතුර්ථ අවධිය” (Quaternary Period) ලෙසයි.

ලෝකයේ ආරම්භයේ සිට සැලකුවිට ප්‍රධාන වශයෙන් අයිස් යුග පහක් තිබී ඇති බව පර්යේෂණ වලින් සොයාගෙන ඇත. පැරණිම අයිස් යුගය වාර්තා වි ඇත්තේ මෙයට වසර් මිලියන 2.4-2.1 කලිනි. ඒ ප්රෝටෙරෝසොයික් (Proterosoic) යුගයේයි. මෙම කාලය තුලදී සාගර වල බහුලව හරිත ඇල්ගාවන් වර්ධනය වූකාලයයි. ප්‍රභා සංස්ලේෂණය ප්‍රමුඛ වූ මෙම කාලයේ දී වායු ගෝලය ඔක්සිජන් වායුවෙන් අනුන විය. මෙම අයිස් යුගය “  හියුරෝනියන් (Huronian)”ලෙස හදුන්වන ලැබේ.දෙවන අයිස් යුගය වන “ක්‍රියෝජිනියන් (Cryogenian) ” වාර්තා වන්නේ වසර මිලියන 850-650 ත් අතර කාලයේදීය. මෙම කාලයේදී ධ්‍රැවාසන්නයේ වූ අයිස් තට්ටු සමකාසන්නයටම පැතිරී ඇත. මෙම යුගය අවසාන වත්ම ජීවයේ මහා විවිධාංගිකරණය ඇති වූ අතර එම නිසා නා නා ජීවින් ලොව පහල විය.එකල ඇති වූ අධික ගිනිකඳු පිපිරීමෙන් නිකුත් වූ හරිතාගාර වායුන් නිසා මෙම අයිස් යුගය අවසාන වි ඇත. තෙවන අයිස් යුගය ‘ අන්ඩියන්-සහරන් (Andean-Saharan)” ලොව ඇති වන්නේ වසර මිලියන 460-430 අතර කාලයේදීයි. මෙම කාලයේදී සාගර වාසි ජීවින් 60% පමණ වඳ වි ගොස් ඇති අතර මාළුන්ගේ විවිධත්වය ඇති විය.  කාරූ (Karoo) අයිස් යුගය වසර මිලියන 360-260 ක පමණ කාලයේදී ඇති වි යැයි පර්යේෂණ වලින් තහවුරු වි ඇත. එකල්හි ගොඩබිම බහුල වූ වෘක්ෂලතා හේතුවෙන් වායුගෝලයට නිදහස් කරන ලද අධික ඔක්සිජන් ප්‍රමාණය මේ අයිස් යුගය සඳහා හේතුවන්නට ඇති බව විද්‍යාඥයින් විශ්වාස කරයි. 

අවසාන අයිස් යුගය වන මා ඉහත සඳහන් කල “ප්ලියෝසින-  චාතුර්ත” අයිස් යුගය වසර මිලියන 2.8 කට පමණ පෙර ආරම්භ වි ඇත. අවසනය ආරම්භ වන්නේ වසර 20,000-10,000 ක පමණ කාලයේදීයි. අයිස් යුග අතර කාලය “අන්තර් අයිස් යුග” ලෙස හදුන් වන අතර,  මෙම කාලය බොහෝ විට ලොව කොහේ හෝ අයිස් නොවන්නට ඇති බව විස්වාස කරයි. අද ගතවන මෙම කාලය “හොලොසින (Holocine)” ලෙස හදුන්වන අතර මෙම කාලය චතුර්ථ අවදියේ අවසාන කාල සීමාවයි. එනම් අප මේ ගත කරන්නේ අවසාන අයිස් යුගයේ අවසාන භාගයේයි. කෙසේ වෙතත් මෙම කාලයේ අවසාන වසර 10,000 අතර ශ්‍රී ලංකික වෙරලාසන්නයෙන් සොයා ගත් සාධක අනුව තෙවරක්ම මුහුදු මට්ටම උච්චාවචනය වි ඇත. අයිස් යුග ඇති වූ සැම කල්හිම ලොව බොහෝ සේ වියළි කාලගුණික ස්වරුපයක් ගෙන ඇත. එම නිසා ලංකාවේද එසේ සටහන් වූ වියලි කාලගුණික තත්වයන් තුනක් ඇති බව භූ විද්‍යාඥයින් විසින් දැනට සිදු කරන ලද පර්යේෂණ වලින් හෙළි වි ඇත.

පෙර සදහන් කල බුන්දල වැලිකඳු වල වූ වැලි වල කාලනිර්ණයෙන් එම වැලිකඳු වසර මිලියන 80000 ක් පමණ පැරණි බව සොයා ගෙන ඇත. වැලි කඳු ඇති වන්නේ සුවිශේෂී කාලගුණික තත්ත්ව යටතේයි. ඒ සදහා ප්‍රභල වියලි කාලගුණික තත්වයක් තිබිය යුතුය.   

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

ආර්ථික දියුණුවට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන ගෙන එන ස්වර්ණමය අවස්ථා වල ගිලිහීම සහ උපයෝගිතාව


ආර්ථික දියුණුවට විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන

මෙයට දශක කිහිපයකට පෙර ජරා ජීර්ණ වූ මුඩුක්කු පිරුණු ප්‍රදේශයක් හැදින්වුයේ “කොරියාව” යනුවෙනි. ඒ ඒතරම්ම කොරියාව ජරාජීරණ වූ පරිසරයකින් හෙබි අතිශය දුප්පත් රටක් ලෙස අප අතර තිබු අත්දැකීමයි. 1960 දශකය වන විට දකුණු කොරියාවේ ඒක පුද්ගල දල ජාතික නිෂ්පාදනය අමෙරිකානු ඩොලර් 80 ක් වන විට ශ්‍රී ලංකාවේ එය ඇමෙරිකානු ඩොලර් 320 ක් පමණ විය. එකල්හි කොරියානුවන් ගේ පැතුම වුයේ ලංකාව වැනි රටක් වන්නටය. 2010 වනවිට නොසිතු ලෙස දකුණු කොරියනු ඒකපුද්ගල දල ජාතික නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් 20,757 ක්‌ වූ අතර එම අගය ශ්‍රී ලංකාවේ 2,423කි. එසේ වුයේ කෙසේද..? මෙතරම් දියුණුවක් කරා ලඟා වීමට ඔවුන් අනුගමනය කල සුවිශේෂි ක්‍රමෝපායන් කවරක් ද..? සුක්ෂමව විමර්ශනය කල විට පැහැදිලි වන්නේ වර්තමානය වන විට ඔවුන් අතිශයින්ම විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන මුලික කරගත්ආර්ථික රටාවකට අවතීරණය වී ඇති බවයි. මෙය මනාව පැහැදිලිවන්නේ, දකුණු කොරියානු ආර්ථිකයේ නිෂ්පාදන අපනයනයෙන් ලබාගන්නා මුදලින් 33.4% පමණම අත්කර දෙන්නේ අධිතාක්ෂණික ක්‍රමවේදයන්ගෙන් අගය වැඩිකළ නිෂ්පාදන වලින් වීමෙනි. වසර 2007 වන විට  දකුණු කොරියාව එරට දලජාතික නිෂ්පාදනයෙන් 3.47% පර්යේෂණ සහ තාක්ෂණික දියුණුව සඳහා වැය කර ඇත්තේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ශක්තිමත් ආර්ථික රටාවකට හේතුවන නිසාවෙනි. එය වසර 2013 වන විට 4.3% දක්වා වැඩිකර ඇත. නමුත්, ශ්‍රී ලංකාවේ එම අගය 2008 දීත් 0.11% ක්‌ තරම් වූ සුළු ප්‍රමාණයකි. එයින් අදහස්වන්නේ පර්යේෂණ, තාක්ෂණ සහ නවෝත්පාදන වල සහය ලංකික ආර්ථිකය ගොඩනැංවීම සඳහා එතරම් වැදගත් නොවන බවද..? එසේත් නොමැතිනම් ලාංකික නිෂ්පාදන ලෝකයට විද්‍යාව සහ තාක්ෂණය භාවිතය පිළිබඳව විශ්වාසයක් නොමැති බවද..? නැතිනම් මෙහි අගය තවම වටහාගෙන නොමැති බවද..? ලංකාව කෙරෙහි මෙම කරුණ කරණා එසේ වුවත් විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල ආර්ථික දියුණුව සඳහා කොතරම් බලපාන්නේද යන්න ඔබ දැනටමත් වැටහා ගෙන ඇතුවා නිසැකය.  එය තවදුරටත් ස්ථිර කරනුයේ, ඇමෙරිකාව, එංගලන්තය, ජපානය සහ චීනය වැනි රටවල් විද්‍යා සහ තාක්ෂණික පර්යේෂණ සහ නවෝත්පාදන සඳහා කොතරම් මුදල් වෙන් කරන්නේද යන්නෙනි. වසර 2007 දී  තම දල ජාතික නිෂ්පාදනයෙන් ඇමෙරිකාව 2.67% ක් ද, එංගලන්තය 1.84% ක් ද, ජපානය ඩොලර් 3.44% ක්‌ ද සහ චීනය ඩොලර් 1.49% ක්‌ ද රටෙහි පර්යේෂණ සහ තාක්ෂණික දියුණුව සඳහා වැය කර අත්තේ ආර්ථිකය නගා සිටුවීම සඳහා විද්‍යාත්මක භාවිතය කොතරම් වැදගත්ද යන්න අවබෝද කර ගෙනය.


ලෝක තරඟකාරීත්ව දර්ශකයට (Global Competitiveness Index- GCI) අනුව 2013-2014 සදහා මුල් දස ස්ථානයන් ලබා ගෙන ඇත්තේ යුරෝපියානු රටවල්ය. එයිනුත් ස්විට්සර්ලන්තය, ෆින්ලන්තය, ජර්මනිය,  ස්වීඩනය සහ නෙදර්ලන්තය පෙරමුණ ගනී. රටවල්හි ආර්ථික පැතිකඩවල් විශ්ලේෂණය කිරීමේදී පෙනී යන්නේ ප්‍රධාන දායකත්වය සපයා ඇත්තේ විද්‍යාත්මක පර්යේෂණ සහ නවෝත්පාදන මගින් බවයි. එපමණක් නොව ලෝක නවෝත්පාදන දර්ශකයට (Global Innovation Index) අනුව පසුගිය අවුරුදු පහ මුළුල්ලේම එහි මුල්තැන ගන්නට සමත් වී ඇත්තේ ස්විට්සර්ලන්තයයි. ඉතිරි ස්ථාන හතරම හිමිකරගෙන ඇත්තේ විද්‍යාව, තාක්ෂණය සහ නවෝත්පාදන වල සහය ආර්ථිකයට මුසු කර ගත්යුරෝපියානු රටවල් වීම ද විශේෂත්වයකි. මෙම දර්ශකයට අනුව 2013 වසරේදී 98 ස්ථානයේ පසු වූ අප රට මෙම වසර වන විට 105 ස්ථානයට පසු බැස ඇති බව පෙනී යයි.  



පර්යේෂණ සදහා වැය කරන මුදල මනා ආයෝජනයක් බවට පත් කිරීම සදහා ඉතා කදිම උදාහරණයක් ඇමෙරිකා එක්සත් ජනපදය සපයයි. ඔවුන් විසින් දියත් කරන ලද මානව ජිනොම ව්‍යාපෘතිය සදහා වැය කර ඇති මුදල ඩොලර් බිලියන 3.8 ක්‌ වේ. එමගින් රැකියා අවස්ථා 310,000 ලබා දී ඇත. එමෙන්ම එම වැයකළ සෑම ඩොලරයකින්ම වර්තමානයේ ඩොලර් 141 උපයමින් සිටියි. මෙමගින්ද මනාව ගම්‍ය වන්නේ රටක ආර්ථිකය ගොඩනැගීම සදහා අතිශයින්ම විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්‍රියාදාමය අත්‍යවශය බවයි. දුරදර්ශි ක්‍රියාපිලිවෙතක් ඇතිකරගැනිමත් ඒ සදහා කාලින සහ අවස්ථානුකූල ක්‍රමෝපායන් විද්‍යාව සහ තාක්ෂණික පර්යේෂණ තුලින් දියත් කිරීමත් රටක බල සම්පන්න ආර්ථික වර්ධනයකට හේතුවේ. මේ සදහා ඇතිවන්නා වූ අවස්ථාවන් හදුනාගැනීමත්, අවස්ථා අතපසු කිරීම හෝ නොසලකා නොහැරිමත් මනා වූ ශක්තිමත් ආර්ථික ගමනකට හේතුවේ. මෙම ගමනේදී නවෝත්පාදන සදහා අවස්ථාවන් සැලසීමත්, පහසුකම් සැපයීමත් එමෙන්ම නිපදවන්නා වූ නව නිපැයුම් රටෙහි ආර්ථික සංවර්ධනයට මුසු කරගැනීමට වැඩ පිළිවෙලක් ද සකස් කලයුතුය. විවිධ ක්ෂේත්‍ර ඔස්සේ කරණු ලබන්නාවූ සමීක්ෂණ මගින් අඩුලුහුඩුකම් සහ දුර්වලකම් වටහා ගත හැකි අතර විද්‍යාත්මක ක්‍රමවේදයන්ගේ දායකත්වයෙන් එවැනි ක්ෂේත්‍ර උදෙසා ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීම එතරම් අසීරු කාරියක් නොවේ.



කෙසේ වෙතත් පසු ගිය කාල වකවානුවේදී ලාංකික ජන සමාජය තුල නොවොත්පාදන කෙරෙහි කිසියම් පිබිදීමක් දක්නට ලැබීම යහපත් ප්‍රවනතාවයක් ලෙස සැලකිය හැකියි. ශ්‍රී ලංකා නවෝත්පාදන කොමිසන් සභාව මගින් වාර්ෂිකව සිදු කරන්නා වූ තරඟකාරී ප්‍රදර්ශන මගින් නවෝත්පාදන කෙරෙහි ලාංකික ජනතාව උනන්දු කිරීම ඉතා අගේ කොට යුත්තකි. එමගින් කිසියම් ආකාරයකට විශේෂයෙන්ම රටේ ඉදිරි ජිවනාලිය වන්නා වූ ළමා පරපුර උදෙසා යහපත් පරිසරයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනී යයි. නිසි ආකාරයට ක්‍රියාත්මක වුවහොත් ඉදිරි දශකය තුල එම නවෝත්පාදන ජාතික ආර්ථිකයට මුසු කරගැනීමට එතරම් අපහසු කර්තව්‍යක් නොවනු ඇත.





ගිලිහුන ස්වර්ණමය අවස්ථා

ඇතිවන්නාවූ නවොත්පාදන සහ පර්යේෂණ වල ප්‍රතිපල රටේ ජාතික ආර්ථිකයට සම්බන්ද කර ගැනීමට නොහැකි වුවහොත් එය ඛේදජනක සිදුවීමක් වනවා නොඅනුමානයි. අතීතය මේ සදහා ඉතා කදිම සාක්‍ෂි සපයයි. ආචාර්ය රේ විජේවර්ධන මහතා විසින් 1955 දී කුඩා පරිමාණ වී ගොවිතැන පහසු කිරීමට සැදු අත් ට්‍රැක්ටරයෙහි නිෂ්පාදන අයිතිය ලංකාවට අහිමි වී. එකල්හි පැවතුන ලාංකික රජයෙහි මෙන්ම පුද්ගලික අංශයේද යම් යම් පසුබෑම් හේතුවෙන් එම නව නිපයුමෙහි නිෂ්පාදන අයිතිය එංගලන්තයේ නොටින්හැම් ප්‍රාන්තයේ ලෑන්ඩ්මාස්ටර් නම් වූ සමාගම ලබා ගත් අතර ඔවුන් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කර ලොව පුර බෙදා හැරීමට කටයුතු කළහ. විශාල විදේශ විනිමයක් එංගලන්තයට ලබා ගැනීමට එමගින් හැකිවුණි. නමුත් කෙසේ හෝ අකාරයකට මෙම නිර්මාණය ලංකාව තුල රදවා ගැනීමට සමත් වුයේ නම් එම විදේශ විනිමයේ හිමි කරුවා වන්නේ ලංකාවයි.  ආචාර්ය කුලසිංහයන් විසින් ලංකාවට පෙර සවි කොන්ක්‍රීට් තාක්ෂණය හදුන්වා දෙමින් ගොඩනැගිලි කර්මාන්තයට නව ජීවයක් ලබා දුනි. එපමණක් නොව ලොව පළමු වතාවට කොන්ක්‍රීට් සිල්පර කොට දුම්රිය අංශයට හදුන්වා දෙමින් ලී සිල්පර කොට භාවිතය ඉවත් කිරීමට අඩිතාලම දැමුණි. 1956 දි මෙම තාක්ෂණය සදහා පේටන්ට් බලපත්‍ර ලබා ගත්තත් අද වනවිට මෙම තාක්ෂණය ලොව පුරා නිදහසේ භාවිතා වෙන්නේ ලංකාවට කිසිම මුදලක් ලබා නොදෙමිනි. අද වන විට අපදා කළමනාකරණය පිලිබඳ නිරන්තරයෙන් කතාකරමින් සිටි. මේ වන විටත් කොස්ලන්ද ප්‍රදේශයේ ඇති වූ නායයාමක් හේතුවෙන් විශාල පිරිසක් අවතැන් වී ඇත. සහන සැලසීම සදහා හදිසි වැඩපිළිවෙලක දියත් කළයුතුව ඇත.අපදා කළමනාකරණය සදහා ශ්‍රී ලාංකිකයෙකු විසින් නිර්මාණය කල “ සහන” මුදෘකනගය ඇමෙරිකාව. පිලිපීනය ඇතුළු රටවල ගණනාවක භාවිත කලත් මෙරට ඒ සදහා අවස්ථාව ලබා නැති බව පෙනී යයි. මෙවැනි අවස්ථා ගිලිහෙන්නට නොදී අපේම නිර්මාණ අගය කරමින් ඒවා භාවිතයට ගැනීමට වැඩ පිළිවෙලක් සකස් වන්නේනම් දැනුම පදනම් කරගත් ආර්ථික සංවර්ධනයක් උදෙසා මෙරට යන ගමනට මනා රුකුලක් වනවා නොඅනුමානය.



එක්තරා අකාරයකට මෙවැනි ගිලිහුන අවස්ථා සමහරක් විටෙක ලාංකික ආර්ථිකයේ ස්වර්ණමය අවස්ථා වෙන්නට තිබුණි. නමුත් අවන විට එම ස්වර්ණමය අවස්ථා ගිලිහි ගොස් අවසානය. එමනිසා පේටන්ට් කිරීම වැනි ක්‍රියාදාමයන් මගින් දේශීය නව නිෂ්පාදන වල අයිතිය තහවුරු කිරීම අත්‍යවශය වේ. දේශීය පේටන්ට් බලපත්‍ර සදහා එතරම් මුදලක් මේ සදහා වැය නොවුනද අන්තර් ජාතික වශයෙන් වැදගත් වන්නවූ පේටන්ට් බලපත්‍ර සදහා විශාල මුදලක් වැය වේ. බොහොමයක් අවස්ථාවලදී ලාංකික නවොත්පාදකයා මේ සදහා අපොහොසත් වෙයි. එමනිසා ඔහුගේ එම අයිතිය තහවුරු කල හැකි ක්‍රමවේදයක් මෙන්ම එමගින් නව කර්මාන්ත උත්පාදනය කෙරෙහි උනන්දු කලයුතු වේ.   

      

විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල උපයෝගිතාවය රටේ ආර්ථිකයට කොතරම් වැදගත් වුවත්, නිසි කළමනාකරණය සදහාත් උපරිම භාවිතය සදහාත් මනා නීති පද්ධතියක්  අත්‍යවශය වේ. නැතහොත් පවතින හිදැස් තුලින් රිංගා යමින් රටේ දැනුම, සම්පත් සහ නිෂ්පාදන පස්සා දොරෙන්ම පිටමන් වීමට ඉඩ ඇත. මෙවැනි අත්දැකීම් අප සතුව නැතුවද නොවේ. මේ වන විට සමහරක් දේශීය ශාකවල සහ ඒවායේ නිෂ්පාදන අයිතිය අපහට අහිමි වී ගොස් ඇත. හොඳම උදාහරණය වන්නේ වියලි කලාපයන් අපට හමුවන දේශීය ශාඛයක් වන කොතලහිම්බුටු වල අයිතිය ජපානය සතු කරගැනීමයි. එයින් කෙරෙන්නාවූ නිෂ්පාදන සදහා පේටන්ට් පත්‍ර 9 පමණ ලබා ගෙන ඇත. එපමණක් නොව කඳුකරයේ වැවෙන අලංකාර පුෂ්පයක් ගෙන දෙන දේශීය නිල් බිනර පැලෑටිය සදහා වූ අයිතියද   අහිමිව ඇත. මේ ආකාරයට සියයට අධික සංඛාවක් පමණ දේශීය ශාක වල අයිතිය අද අහිමිව ගොස් ඇත. මෙය ඉතා කණගාටුදායක තත්වයකි. හොරෙන් රැගෙන යාම මෙන්ම පර්යේෂණ සදහාද වෙනත් රටවල් වලට මෙම ද්‍රව්‍ය රැගෙන යාම හේතුවෙන් මෙලෙස දේශීය ජාන සම්පත අහිමිවිමේ ප්‍රවනතාවය ඇත.



විද්‍යා දැනුම ප්‍රචාරණය සහ දේශීය ව්‍යාප්තිය

නිදහස් අද්‍යාපනය හේතුවෙන් ග්‍රාමීය දරු දැරියන්ට අකුරු කිරීමේ හැකියාව ලැබීම මෙරටට ලැබුන ඉතා වටිනා තත්වයකි. ඉහල සාක්ෂරතාවය හේතුවෙන් තොරතුරු හුවමාරුව ඉතා පහසු වීමත් කවර හෝ ආකාරයේ දැනුම් පද්ධතියක් ඉතා පහසුවෙන් ප්‍රචාරණය කිරීමත් හැකි වී ඇත. නමුත් විද්‍යාව සහ තාක්ෂනයන් පිල්බන්ඩ් දැනුම දේශීය දැනුම් පද්ධතිය තුලට සුසංයෝජනය වීම තරමක පසු බෑමක් වී ඇත. එයට ප්‍රධාන හේතුව වන්නේ විද්‍යාත්මක දැනුම සිංහලට පරිවර්තනය වීමේ ගැටලුවයි. නිසි පද පෙරළියත් සමගම එදිනෙදා ජීවිතයේදී විද්‍යාත්මක දැනුම පැතිර විය හැකි ක්‍රමවේදයක් දියත් කිරීම මගින් මෙම අඩුව පුරවාලිය හැක. එදිනෙදා මාධ්‍ය මගින් මෙම කර්තව්‍ය ඉතා පහසුවෙන් කල හැකි නමුත් එම ක්ෂේත්‍ර තුලද මේ කෙරෙහි ඇත්තාවූ දියාරු ප්‍රතිපත්තිය හේතුවෙන් එම මාර්ගයද ඇහිරී ඇත. ඒ කෙසේ වෙතත් දැනට අවුරුදු 27 කල් සිට “ විදුසර” මෙම කර්තව්‍යට උර දෙමින් ඉතා අගනා මෙහයක් ඉටු කරයි. මෙම උසස් කාරිය හේතුවෙන් දශක තුනකට අසන්න කාලයක් තුල විදුසර විද්‍යා දැනුම උරා ගත් දේශීය ජනතාව එම දැනුම ලාංකික ආර්ථිකයට එකතුකරන කාලය දැනටමත් එළඹ ඇති බව නොඅනුමානය. එමනිසා විදුසර නිසොල්මනේ සිදුකරන මෙහෙය ඉතා ඉහලින් අගය කල යුක්තකි. එලෙස සැම මාධ්‍යකම කිසියම් වෙලාවක් හෝ ඉඩක් වෙන් කළහැකි නම් ඉතා වටිනා කර්තවයකි. විද්‍යා දැනුම ව්‍යාප්ත කිරීම සදහා රාජ්‍ය පාලන තන්ත්‍රය මුලික වීම ද අනිවාර්ය වේ. ඒ මගින් ලබා දෙන්නා වූ උත්තේජනය රට තුල විද්‍යා දැනුම ප්‍රචාරණය ස්ථාපිත කිරීමට ඉවහල් වේ. එවැනි දෙයකට හොඳම උදාහරණය වන්නේ පවතින පාලන තන්ත්‍රය දියත් කරන ලද පරිගණක මධ්‍යස්ථාන ඇතිකිරීමේ ක්‍රියාවලියයි. මෙමගින් පාසල් විශාල ප්‍රමාණයකට දැනුම ලබා ගැනීම සදහා දොරටු විවර කිරීමක් හා වන්නකි එමෙන්ම එයට සමගාමිව පුද්ගලික අංශයද මෙවැනි ක්‍රියාදාමයක් ආරම්භ කිරීම මගින් තව තවත් අවස්ථා ඇතිකරමින් පරිගණක දැනුමැති පුද්ගලයන්ගේ සේවය ජාතික ආර්ථිකයට දායක කිරීමට කැප වීම ඉතා අගනේය.





විද්‍යා ඥානය දේශය තුල රදවා ගැනීම

කෙසේවෙතත් විද්‍යා දැනුමින් පොෂිත පුද්ගලයන් ගේ හිගය වැඩිවෙමින් පවතින බව මගේ හැඟීමයි. එයට ප්‍රධාන වන්නේ විද්‍යා ක්සේත්‍රය තුලින් උසස් අධ්‍යාපනයට ඇත්තා වූ අඩු නැඹුරුතාවයත් එමෙන්ම විද්‍යා ප්‍රවීනයන්ගේ (විද්යන්ගයන්ගේ) නිරන්තර රට හැර යාමත් ය. නිසි සැලකිල්ලත් පර්යේෂණ සදහා පවතින පාලන රටාව තුල ඇති ඍනාත්මක ආකලපත්, විද්‍යා පර්යේෂකයන් සදහා ලැබෙන අඩු වේතනයත්, විදෙස් රටවලින් ලැබෙනා සැලකිල්ල සහ ඉහල වේතනද මේ සදහා හේතුවේ. ආචාර්ය සරත් ගුණපාල සහ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ වැන්නවුන් අද ලෝකයට කරන මෙහෙය අතිශය අගය කල යුතු නමුත් ඔවුන් අදාල පහසුකම් සහිතව මෙරට රදවා ගැනීමට හැකි වූවානම් ඔවුන් වැන්නවුන්ගෙන් ජාතික ආර්ථිකයට ලැබෙන්නා වූ දායකත්වය ගැන අමුතුවෙන් විස්තර කලයුතු නොවේ. කෙසේ හෝ මෙරට හැදි වැඩි නිදහස් අධ්‍යාපනය ලබා උසස් අධ්‍යාපනයෙන් දැනුම වර්ධනය කරගත් මෙවැනි ප්‍රවීනයන් මෙරටට අහිමි වීම කෙරෙහි පාලන තන්ත්‍රය තම අවධානය වඩාත් යොමු කල යුතු කාලය එළඹ ඇති බව හැඟෙන්නේ ලෝකයේ බොහෝමයක්‌  රටවල් තම ආර්ථිකය දියුණු කර අත්තේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන උපයෝගී කරගත් වැඩ පිලිවෙලකින් වීම හේතුවෙනි.



පාරම්පරික දේශිය ඥානයේ භාවිතය

අපගේ අවධානය යොමු විය යුතු තවත් පාර්ශවයක් ඇත. එනම් දැනට දේශීයව වර්ධනය වූ සහ රැකගෙන ආ දැනුම් පද්ධතියයි.  වසර දහස් ගණනක සිට ප්‍රයෝගිකව සපථ කල මෙම දැනුම් පද්ධතිය මෙරට ආර්ථික දියුණුව උදෙසා ලබා ගත හැකිය. කෘෂිකාර්මික අංශයේ සිට සවුඛ්‍ය අංශයද, ජල කළමනාකරණයද ඇතුළුව සකලවිද ක්ෂේත්‍රයන්හි අප ලබා ඇති දේශීය ඥානය අමිලය. ඉතා සුළු ක්‍රියාකාරකමකීන් බොහෝ දේ කල හැකි ක්‍රමවේද මෙම දැනුම පද්ධතිය තුල ඇති බව අප බොහෝ දෙනෙක් ප්‍රයෝගිකව අත් දැක ඇති බවට නිසැකය. විශේෂයෙන්ම විවිධ රෝගාබාධ සුව කිරීමේදී මෙම දැනුම අප තවමත් උපයෝගී කර ගනී. විවිධ ශල්‍ය කර්ම සදහා වුවද පැරණි වෙදකමෙහි ක්‍රම වේද තිබී ඇත. එමෙන්ම අපගේ ශරීරයට පමණක් නොව ගහට කොළට පවා හානියක් නොකර සිදු කළහැකි සුව කිරීමේ ක්‍රමවේද ඇති බවද අද තහවුරු වී ඇත. එනිසා මෙම දේශීය දැනුම පද්ධතිය තුලින් ලබා ගත් ඥානය තාක්ෂණ සහ නවෝත්පාදන කෙරෙහි යොමු කරවීම රටෙහි ආර්ථික දියුණුව ඇතිකරගැනීම සදහා ප්‍රබල දායකත්වක් ලබා ගත හැකිවෙන බව නොඅනුමානය.



විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල වර්තමාන දායකත්ව

අද ලංකාවේ විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ක්ෂේත්‍රය තුල ඇතිකරගත් සහ ඇතිකර ගෙනන යමින් සිටින්නාවූ දියුනුව පිලිබඳවද අප අවදානය සිදු කල යුතුයි. පැරණි ආර්ථික බෝග වන තේ රබර් පොල් යනාදීය සදහා පමණක් නොව අනෙකුත් කෘෂිකාර්මික බෝග සදහාද විවිධ පර්යේෂණ සහ තාක්ෂණ ආයතන පිහිටුවා ඇත. එවායෙ මෙම බෝගවල උපරිම උපයෝගිතාවය සදහා නිරන්තර පර්යේෂණ සිදුකෙරන අතර ඉතා සාර්ථක ප්‍රතිපල අත්කගෙන ඇත. වී පර්යේෂණ ආයතනය විසින් එහි හැට වසරක කාලය තුල නව වී වර්ග හැටක්‌ ද දෙමුහුන් වී වර්ග පහළොවක් ද දේශීය වී ගොවිතැනට දායක කිරීම එම පර්යේෂණ ආයතනයේ ක්‍රියාශීලි බවට කදිම සාක්ශියකි. එමෙන්ම රබර් පර්යේෂණ ආයතනයද, තේ පර්හ්ෂණ ආයතනයද මෙලෙසම වැඩි දියුණු කල විශේෂ අදාළ බෝග ක්ෂේත්‍රවලට දායක කර ඇත. එනිසා වැඩි පලදාවක්ද, රෝග වලට මෙන්ම ලාංකික පරිසරයට ඔරොත්තු දෙන විශේෂ මෙරටට ලබා දීමට තරම් සාර්ථක වී ඇත. එමනිසා මෙම පර්යේෂණ හේතුවෙන් මෙම ආර්ථික බෝග කිසියම් ප්‍රමාණයකට ඉහලට ගෙන ඒමට සමත්වීම විද්‍යා පර්යේෂණ වල සහ තාක්ෂණ භාවිතයේ අවශයත්වයට කදිම නිදසුන් වේ. නමුත් මේ සදහා මුදල් ආයෝජනය කිරීම වැඩි කිරීමත් නවතම ක්‍රමවේද භාවිතයත් පිලිබඳ අවදානය යොමු කල යුතුය.



මෙම පර්යේෂණ වල සාර්ථකත්වය පිලිබඳ තව දුරටත් සදහන් කරන්නේ නම්, කර්මාන්ත තාක්ෂණ පර්යේෂණ ආයතනය (Industral Technology Institute) මගින් සිදු කල පර්යේෂණ වල ප්‍රතිපලයක් ලෙස හදුන්වා දුන් කිතුල් මලෙන් වැඩි දියර ප්‍රමානයක් ගත හැකි ක්‍රම වේදය ඉතා සාර්ථක වූ පර්යේෂණයක ප්‍රතිපල බව මෙහි ලා සදහන් කල හැක. දේශීය කිතුල් පැණි සහ හකුරු කර්මාන්තය සිදුකරන්නන්හට තම ජීවනාලිය සාර්ථක කර ගැනීමට විද්‍යා පර්යේෂණ වල දායකත්ව ලබාදුන් කදිම නිදසුනකි. මෙවැනි පර්යේෂණ තව බොහොමයක් සිදුකර ඇති අතර තව දුරටත් සිදුවෙමින් පවතී. 1999 සිට 2014 වර්ෂය වන විට ශ්‍රී ලාංකික පර්යේෂකයන් පර්යේෂණ පත්‍රිකා 5000 කට අධික සංක්‍යවක් අන්තර්ජාතික පර්යේෂණ සඟරා වල පල කර ඇත. නමුත් අපගේ අවධානය යොමු විය යුත්තේ මෙම පර්යේෂණ පත්‍රිකා වල ප්‍රතිපල ජාතික ආර්ථිකයට මුසු කරගන්නා ආකාරයයි.       



අනාගතය සරු කර ගැනීමට නම්

විවිධ ක්ෂේත්‍ර ඔස්සේ මෙලෙස විද්‍යාත්මක පර්යේෂණත්, නව තාක්ෂනයන් සහ ඒවායේ දියුණුවත්, නවොත්පාදනත් සදහා දැනුමද මානව සමපතද ඇති බව අද තහවුරු වී ඇත. එමනිසා අප සතු සම්පත් පිලිබඳ මනා වැටහීමකින් යුක්තව විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන ආර්ථිකයට මුසු කරගැනීමේ ක්‍රමවත් වැඩ පිළිවෙලක් සකස් කිරීමට නිසිකල එළඹ ඇත. මෙවර අයවැය යෝජනාවේදී විද්‍යා, තාක්ෂණ සහ නවෝත්පාදන වල දායකත්වය මෙරට ආර්ථික වර්ධනය සදහා අවශ්‍ය බව සදහන් කිරීම මේ පිළිබඳව පාලන තන්ත්‍රය වටහා ගෙන ඇති බවට යම් කිසි කොළ එළියක් දැල්වීමක් මෙන්ම විද්‍යා හා තක්ෂණ පර්යේෂකයන්ටද, දේශීය නවොත්පාදකයන්ටද එය මෙරට රැදීමටත්, තම නිපැයුම් සහ සොයාගැනීම් නිෂ්පාදන ක්ෂේත්‍රයට දායක කිරීමටත් අවකාශය ලැබෙනු ඇතැයි සිතිය හැකි වේ. කෙසේවෙතත් වැදගත් වන්නේ මෙම යෝජනා සංකල්පනා වලට පමණක් සිමා නොකර දේශයට ආදරය කරන, දේශයේ දියුණුවට කැප වෙන මානව සම්පත හරහා සක්‍රියව ක්‍රියාවට නැගීමයි.       

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව
2015.08.19

අතීතයේ අපේ ආහාර ඉහළ විවිධත්වයකින් යුක්‌ත වූ බව නොරහසක්‌. විවිධ එළවළු වර්ග, ධාන්‍ය වර්ග, පලා වර්ග පමණක්‌ නො වෙයි විවිධ මස්‌ වර්ග සහ මාළු වර්ග ද ඒ අතර විය. එපමණක්‌ නො ව, එදා විවිධ හතු වර්ග ද අහාරයට එක්‌ කරගත් බව ෂ\හන් කළ යුතු ව තිබේ. බිම් මල්, කඳන් හතු හා ලේන පලා ඒ අතර ප්‍රමුඛ හතු වර්ග වේ. ගොයම් කපා පාගා ඉවත දමන පිදුරු කමතේ පැත්තක ගොඩා ගසා තබන අතර කාලයත් සමග ක්‍රමයෙන් මේවා දිරාපත් වේ. වර්ෂා කාලයේ දී පිදුරු ගොන්නේ පිපෙන පිදුරු බිම්මල් නෙළා රසවත් ආහාරයක්‌ අපේ පැරැන්නෝ සකස්‌ කර ගත් හ. පැරැණි ගම්වල මෙලෙස තවමත් මේ රසවත් ආහාරය පිළියෙල කරන බව වාර්තා වේ.

බිම්මල් නැත හොත් හතු ප්‍රොaටීන බහුල ආහාරයකි. මේවා වර්තමානයේ විශේෂයෙන් ම එලවළු පමණක්‌ අහාරයට ගන්නා අය අතර බොහෝ ජනප්‍රිය ආහාරයක්‌ වේ. දැනට ගෙවත්තේ කළ හැකි වගාවක්‌ ලෙස හඳුනාගෙන ඇති මේ බිම්මල් වගාව බොහෝ ස්‌ථානවල සිදු කරන නමුත් ඉල්ලුමේ හැටියට සපයාගත නොහැකි බව පෙනෙන්නට ඇත. වගාව සඳහා නව ප්‍රභේද සොයාගෙන තිබෙන මුත්, ඉහත ස`දහන් කළ ඉබේ වැවෙන හතු වර්ග අපේ ජනතාව අතර තවමත් ඉතා ජනප්‍රිය ය. ඒ ඒවායේ ඇති සුවිශේෂී රසය හේතු කොටගෙන ය.

මේ අතර ආහාරයට ගත නොහැකි ප්‍රභේද ද ඇත. ඒ පිළිබ`දව ද පැරැන්නෝ ඉතා හො`දින් දැන සිටිය හ. නයි හතු ද, සිනා හතු ද ආහාරයට නො ගත යුතු ඒවා බව ද ඉන් නයි හතු ඉතා විෂ බව ද, සිනා හතු ආහාරයට ගත් විට නො නවත්වා සිනාසෙන බව ද අපේ ජනප්‍රවාදවල ස`දහන් වේ. ආහාරයට ගත හැකි ප්‍රභේද පිළිබඳ දැනුම පාරම්පරිකව ඔවුන් ගේ දරු පරපුරට උරුම වූ නමුත් වර්තමානය වන විට සිදු වන පාරිසරික විනාශයත් සමග විශේෂයෙන් ම නගරබදව මේ පිළිබඳ දැනුම අල්ප බව පැහැදිලි කාරණයකි. දිරා ගිය කඳන්වල ඇති වන තරමක්‌ වියළි කුඩා හතු වර්ගයක්‌ වන ලේන පලා මගේ කුඩා කාලයේ බැදුමක්‌ ලෙස ද ලුණුමිරිස්‌ සමග මිශ්‍ර ව ද ආහාරයට ගත් බව මගේ මතකයේ ඇත.

හතු නැත හොත් දිලීර ශාක ලෝකයේ සුවිශේෂී ජීවි කොට්‌ඨාශයකි. වෙන ම වූ රාජධානියක්‌ ලෙස හතු වර්ග කර ඇත. එක්‌ විශේෂත්වයක්‌ වන්නේ මේවායේ සෛල බිත්තිය සකස්‌ වී ඇත්තේ "කයිටින්" නම් වූ කාබනික සංයෝගයෙනි. ඒක සෛලික ජීවින් මෙන්ම බහු සෛලික ජීවින් ද මේ රාජධානියට අයත් වේ. ඒක සෛලිකයන් වන්නේ අප කවුරුත් හොඳින් හඳුනන "යීස්‌ට්‌" විශේෂ ය. බිම්මල් ඒ අතර වූ බහු සෛලිකයන් වේ. බහු සෛලික දිලීර සතු ව අපූරු ජාලයක්‌ වෙයි. එය දිලීර මයිසිලියම ලෙස හ`දුන්වන අතර, උසස්‌ ශාකවල මූල පද්ධතිය සේ පස්‌ අංශු අතරින් රිංගා යැමේ හැකියාව ඊට ඇත. එපමණක්‌ නො වේ. පස්‌ අංශු අතර වූ ජලය ද ඛනිජ ලවණ ද උරාගනිමින් ඒවා මයිසිලියම වර්ධනය කරගනියි.

මේ දිලීර තම වර්ගය බෝ කරන්නේ බීජාණුවලිනි. බීජාණු සෑදෙන කල විශේෂ ව්‍යqහයක්‌ සකස්‌ වන අතර ඒවා බිජාණුධානි ලෙස හැ`දින්වේ. බිම්මල්වල නම් ඉහළට පැමිණෙන කුඩයක්‌ බඳු වූ මේ ව්‍යqහයට ය අප බිම් මල ලෙස නම් තබන්නේ. විවිධ විශේෂවල මේ බිජාණුධානි නොයෙක්‌ පැහැ ගනී. බිම්මල පිපුණ විට යට පැත්තේ වූ බිජාණු සුළඟට මුසු ව සැම තැනක ම පැතිරෙන අතර සුදුසු උපස්‌තරයක්‌ සුදුසු කල්හි හමු වූ විට එම`ගින් දිලීර ජාලය ව්‍යාප්ත වේ. පසෙහි වූ ඵෙන්ද්‍රීය ද්‍රව්‍ය තම ආහාරය කරගන්නා මේ දිලීර හේතුවෙන් පසට කාබනික ද්‍රව්‍ය ද, ඛනිජ ලවණ ද එකතු වේ. මෙය පස සාරවත් කිරීමට ඉවහල් වේ. ඛනිජ ලවණ චක්‍රීකරණයේ දී දිලීර විසින් ඉටු කෙරෙන මෙහෙය අමිල ය.

ලෝකය පුරා පැතිරී ඇති මේ දිලීර විශේෂ මිලියන 1.5ක්‌ පමණ දැනට හ`දුනාගෙන ඇති අතර හඳුනාගැනීමට තව බොහෝ වෙයි. කාන්තාර මෙන්ම අධික ලවණතාවකින් යුක්‌ත පරිසරවල ද ජලයේ ද මේ දිලීර විශේෂ පැතිරී ඇත. පර්යේෂණ වාර්තාවලට අනුව සමහර දිලීර විශේෂවලට කොස්‌මික්‌ කිරණවලින් ද අරක්‌ෂා වී ජීවත් විය හැකි බව තහවුරු වී ඇත. දිලීර ආහාරයක්‌ ලෙස පමණක්‌ නො ව බෙහෙත් වර්ග ලෙසත්, එන්සයිම ලෙසත්, ජීවවිද්‍යාත්මක පළිබෝධනාශක ලෙසත් යොදාගැනේ. එපමණක්‌ නො වේ, වයින් වර්ග සහ මත්පැන් වර්ග නිෂ්පාදනයේ දී මේ දිලීර වර්ග බහුලව භාවිත කෙරෙයි.

අප කවුරුත් හොඳින් දන්නා පාන් නිෂ්පාදනයේ දී පිපුම්කාරකයක්‌ ලෙස මේ දිලීර යොදාගනී. යීස්‌ට්‌ ලෙස හඳුන්වන මේ දිලීර විශේෂය ස්‌වාභාවික පරිසරයේ නිදහසේ හමු වේ. එනිසා ම පොල් හෝ කිතුල් මල් කැපීමෙන් ලබාගන්නා තෙලිඡ්ජ කාලයත් සමග රා බවට පෙරළෙන්නේ මේ හේතුවෙනි.

දිලීර මෙලෙස අපට උපකාර කළ ද හානි කරන අවස්‌ථා ද නැත්තේ නො වේ. අප පුස්‌ ලෙස හ`දුන්වන්නේ ද දිලීර ම ය. අප ගේ ඇඳුම්වලට ද ආහාරවලට ද පුස්‌ නිසා හානි පැමිණේ. සමහර අවස්‌ථාවල දී ආහාරවල පුස්‌ ඇති වීමෙන් එම ආහාර විෂ වන අවස්‌ථා ද ඇත. අප ප්‍රිය කරන රටකජුවල පුස්‌ ඇති වන අතර ඒවා ආහාරයට ගැනීමෙන් මිනිසුන් මිය ගිය අවස්‌ථා ද වාර්තා වේ. එනිසා දිලීර හටගැනීමෙන් නරක්‌ වූ දෑ ආහාරයට නො ගත යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව
2015.08.12
ඔන්න ග්‍රීෂ්ම නිවාඩුවත් ඇවිල්ලා. දැන් ඉතිං දරුවන් ගේ ඉහේ මල් පිපිලා ඇති, ඇතිපදම සෙල්ලම් කරන්න කාලේ ආවා කියලා. වියළි කාලගුණය දූවිලි අවුසන්නේ බොහොම සැරට. වියළි හුළඟත් එක්‌ක පැතිරෙන දූවිල්ල ගහකොළ වසා දමන්නේ සැණෙකින්. වියළි හුළඟ දූවිලි විතරක්‌ නො වෙයි, අහසට නංවන්නේ. "සිලිසිලි බෑග්" කියලා අප හඳුන්වන පොලිතීන් මලු පරිසරයේ නිදහසේ පා වන අයුරු වර්තමානයේ සුලබ දසුනක්‌. ඉස්‌සර නං එහෙම නැහැ නේ. සුපිරි වෙළෙඳසල් නිසා සිලිමලු පාවිච්චිය වැඩි වෙලා ද කියලා හිතෙනවා. අනවශ්‍ය අවස්‌ථාවල දී පවා පොලිතින් මලු භාවිතයට මහජනතාව පෙලඹිලා. අපි පොඩ්ඩක්‌ හිතලා බැලුවොත් පාවිච්චි කරන "එක පොලිතින් මල්ලක්‌" දෙපාරක්‌ භාවිත කළොත් පොලිතින් භාවිතය සැලකිය යුතු මට්‌ටමකින් අඩු කළ හැකියි. ඒ වුණාට බොහෝ දෙනෙක්‌ ගෙදර ගෙනෙන පොලිතීන් මලු බොහොමයක්‌ වෙලාවට කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. එහෙම නො කර මලු එකතු කරගැනීමෙන් නැවත භාවිතයට ගන්න පුළුවන්. කඩේට යන අවස්‌ථාවල දී මෙලෙස එකතු කරගත් මලු කිහිපයක්‌ අරන් යනවා නම් අලුත් පොලිතින් මලු හින්දා පරිසරයට එකතු වන ප්‍රමාණය අඩු කරන්න ඔයාලටත් දායක වෙන්න පුළුවන්. ඒ වාගේ ම අපට පුළුවන් වෙනත් විකල්පවලට යන්න. කඩදාසි කවර එක උදාහරණයක්‌. ඒ වාගේ ම කඩේ යනකොට වේවැල් කූඩයක්‌ වැනි විශාල බෑගයක්‌ අරන් යන්න පුළුවන්. එතකොට පොඩි පොඩි පොලිතින් කවර ගණනාවක්‌ ගෙදර ගේන එක නවත්තන්න පුළුවන් නේ.

පොලිතින් මලු භාවිතයෙන් සිදු වන පරිසර හානිය අඩු කරගන්න කියලා මෙරටෙහි පරිපාලනය තුනී පොලිතින් මලු භාවිතයෙන් ඉවත් කරලා, ඒ වෙනුවට ඝනකමින් වැඩි පොලිතින් මලු භාවිතය හඳුන්වා දුන්නා කියලා ඔබට මතක ඇති. ඒත් ඇත්තට ම නිසැක ලෙස ම එයින් අප බලාපොරොත්තු වූ "වාසිය" සැලසුණා ද කියා ඔබට සිතා බැලිය හැකියි. හොඳින් සලකා බැලුව හොත් අපට පෙනී යන්නේ පෙරටත් වඩා වැඩි පොලිතින් ප්‍රමාණයක්‌ පරිසරයට එකතු වන්නට ඉඩ සැලසී ඇති බවයි. අවසානයේ දී "වාසිය" තවත් හානියක්‌ වී ඇත්තේ එමගින් ඇති වන ගැටලු පුරෝකථනය නො කර ම තීරණවලට එළඹී ඇති නිසයි.

පරිසරයට එකවර ම දිරවාගත නොහැකි මෙය, ව්‍යසනයක්‌ බව අමුතුවෙන් කිව යුතු නැහැ. එහෙම වුණත් මේ කෘත්‍රිම ද්‍රව්‍ය නිපදවන්නේ අප හොඳින් ම දන්නා ස්‌වාභාවික රසායන ද්‍රව්‍යයකින් කියලා ඔබ හැමෝ ම දන්නවා ඇති නේ. බොර තෙල්වල අතුරුඵලයක්‌ ලෙස බිහි වන එතිලින් නම් වූ වායුව බහු අවයවීකරණයෙන් තමයි පොලිතින් නිෂ්පාදනය වෙන්නේ. එතිලින් යනු කාබනික සංයෝගයක්‌. බොරතෙල් ද කාබනික සංයෝග මිශ්‍රණයක්‌. දිගු කාලයක්‌ තිස්‌සේ පොළොව අභ්‍යන්තරයේ අධික තාපයට සහ පීඩනයට නතුව මේ බොරතෙල් බිහි වන්නේ සාගරයේ තැන්පත් වූ මඩ/අවසාදිත ස්‌ථර අතර සිර වුණ කාබනික ද්‍රව්‍යවලින්. මේ කාබනික ද්‍රව්‍ය අවසාදිත අතර තැන්පත් වන්නට හේතු වන්නේ සාගරයේ ජීවත් වන ජීවින් ගේ මළකුණු සාගර පත්ලට ගොඩගැසීමයි. සාගරයේ ජීවත් වන මත්ස්‍යයන් වැනි විශාල ජීවින් ද ඩයටම වැනි කුඩා ප්‍රභාසංශ්ලේෂී ක්‌ෂුද්‍රජීවීන් ද මේ තැන්පතු ගොඩනැගීම සඳහා දායක වනවා. ගංගාවල් සාගරයට අතහරිනා අවසාදිතවල සියුම් අංශු තැන්පත් වන්නේ ගැඹුරු සාගර පත්ලේ වන අතර ඒවා අතර ක්‍රමයෙන් සාගර සත්ත්ව සහ ශාක මළකුණු ගොඩගැසෙනවා. සියුම් මඩ අතර සැඟව යන මේ අමු කාබනික ද්‍රව්‍යයන් ක්‍රමයෙන් ගොඩගැසෙන අවසාදිත තට්‌ටු හේතුවෙන් ඇති වන ක්‍රමික උෂ්ණත්ව සහ පීඩන වැඩි වීමට ඔරොත්තු දෙන්නට එහි වූ මුල් රසායනිකයෙන් වෙනස්‌ ව වෙනත් සංයෝග බිහි කරනවා. මේ හේතුවෙන් කාබනික වායූන් ද බොර තෙල් ද නිෂ්පාදනය වනවා. බොහෝ විට ප්‍රභව නිධියේ මෙලෙස සෑදෙන බොරතෙල් එතනින් ඉවත් ව අධික සවිවරතාවකින් යුක්‌ත වැලිගල් වැනි පාෂාණ තුළ එක්‌රැස්‌ වනවා. බොරතෙල් නිධි බිහි වීමට හේතු වන්නේ එයයි. මේ සඳහා වසර දහස්‌ ගණනක සිට වසර මිලියන ගණනක්‌ ගත වනවා. එසේ තැන්පත් වූ බොරතෙල් ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කරන්නට අප පෙලඹී ඇත්තේ මෙමඟින් ඇති වන ගැටලු පුරෝකථනය නො කරමයි.

පොළොවෙන් එසේ ලබාගන්නා තවත් ශක්‌ති ප්‍රභවයක්‌ වන්නේ ගල් අඟුරු. ගල් අඟුරු බිහි වීමට හේතු වන්නේ ද අවසාදිත අතර තැන්පත් වූ කාබනික ද්‍රව්‍ය වුවත් මෙහි දී මූලික වන්නේ සාගරයේ තැන්පත් වන කාබනික ද්‍රව්‍ය නො වේ. ගොඩබිමෙහි වූ මඩවගුරු, කලපු වැනි නිරන්තරයෙන් ම අවසාදිත තැන්පත් වන පරිසරවල ඇති වනාන්තරවල පත්‍ර පතනයෙන් ද දිරා ගිය ගස්‌ නිසා ද මඩ අතර සිර වන කාබනික ද්‍රව්‍ය අධික උෂ්ණත්ව සහ පීඩනවලට නතු වීමෙන් ද ගල් අඟරු බිහි වනවා. ගල් අඟුරුවල බහුලව ඇත්තේ අප හොඳින් දන්නා කාබන් නම් මූලද්‍රව්‍යයයි. එහෙත් බොරතෙල්වල කාබන්වලට අමතරව ඔක්‌සිජන් සහ හයිඩ්රජන් යන මූලද්‍රව්‍ය ද අඩංගු වනවා. ප්‍රභාසංශ්ලේෂණයෙන් ශාකවල තිර වන හිරු ගේ ශක්‌තිය මෙලෙස ගල් අඟුරු ලෙස ද බොර තෙල් ලෙස ද වන්නා වූ ශක්‌ති ප්‍රභවයන් භූ අභ්‍යන්තරයෙන් උකහාගත හැකි වී තිබෙනවා. බිහි වීමට වසර මිලියන ගණනක්‌ ගත වන නමුත් අප ඉතා කෙටි කාලයක දී සිදු කළ අධික පරිභෝජනය නිසා වර්තමානයේ මේ ශක්‌ති ප්‍රභවය හිඟතාවකට පත් වී තිබෙනවා. එමෙන් ම තවමත් නිසි විකල්ප බිහි වී නොමැති වීම අනාගත විශාල ශක්‌ති අර්බුදයක්‌ ඇති විය හැකි බවට අනතුරු අඟවනවා.

ගල් අඟුරු බිහි වීමට ප්‍රථම "පීට්‌" නම් වූ අතරමැදි කාබනික ද්‍රව්‍යයක්‌ බිහි වන අතර එය ද ශක්‌ති අවශ්‍යතාව සදහා භාවිත කළ හැකියි. එහෙත් ගල් අඟුරුවල තරම් ම කාබන් ප්‍රතිශතයක්‌ මේ පීට්‌වල අඩංගු වන්නේ නැහැ. අප රටෙහි ද ස්‌වාභාවික "පීට්‌" නිධියක්‌ පවතිනවා. ඒ මුතුරාජවෙල ප්‍රදේශයේයි. වසර 5000-6000කට පෙර මේ ප්‍රදේශය තෙත් කලාපීය කැළෑවකින් යුක්‌ත වුණා. මුහුදට ආසන්නයේ වූ මේ කැළෑව පසුව ක්‍රමයෙන් සිදු වූ කාලගුණික විපර්යාසයන් හේතුවෙන් මඩ වගුරක්‌ බවට පත් වූ අතර එහි තැන්පත් වූ පැරැණි ගස්‌, අතු සහ කොළ හේතුවෙන් මේ "පීට්‌" නිධිය නිර්මාණය වී තිබෙනවා.

අප රටෙහි අසන්න මුහුදෙහි තෙල් නිධි ගවේෂණය සිදු වෙමින් පවතිනවා. එක්‌තරා ආකාරයකට එය සතුටට කරුණක්‌ වන මුත් පාරිසරික වශයෙන් නම් එතරම් හොඳ දෙයක්‌ නො වේ. කෙසේ වෙතත් මේ සියලු කාරණා සැලකිල්ලට ගැනීමෙන් අපට පෙනී යන කරුණ වන්නේ සුනිත්‍ය බල ශක්‌ති ප්‍රභවයක අවශ්‍යතාවයි. එසේ නම් ඒ සදහා එක ම විසදුම වන්නේ සූර්ය ශක්‌තියයි. කළ යුත්තේ පහසුවෙන් හිරු ගේ ශක්‌තිය විදයුතය බවට පත් කරගත හැකි ක්‍රමවේදයක්‌ සොයාගැනීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...