Saturday, 21 March 2020


මන්දාරම් නුවර ගල්ගුහා; මගේ පළමු ගල්ගුහා චාරිකාව
පත්මෙගේ භූ සංචාරිතය 10
This article is originally published on Vidusara, 18.03.2020.

මන්දාරම් නුවර කියන්නේ පිදුරුතලාගල කඳු වැටියට උතුරින් වූ මොහොර පාමුල ඇති අපුරු ගම්මානයක්. පිදුරුතලාගල කඳු වැටියේ මොහොරෙන් ඇද හැලෙන මිදුම් සේලයන් නිසා නිතරම වැසීයන, සීතලෙන් අනූන වූ, මේ කදිම ගම්මානය එළවළු වගාවටම ගැලෙපන අපූරු තෝතැන්නක්. විවිධ කාරණා  නිසා අවස්ථා ගණනාවක්ම මේ ප්‍රදේශයේ සංචාරය කරන්නට මට හැකියාව ලැබුනා. හැබැයි මේ හැම අවස්ථාවකම අත් දෙක බැඳගෙන සීතල ඉවසන්නට වීම තමයි මා ලද දරුණුම අත්දැකීම වූයේ. 


මන්දාරම් නුවර පළමු සංචාරයට හේතුවෙන්නේ ගල්ගුහාවක් අධ්‍යනය කරන්නට අවැසි වීමයි. ඒ මා මිතුරු බැචා (batchmate) වූ මනෝජ් ප්‍රසන්නගේ ආරාධනයෙන්. මනෝජ් වැඩ ක‍රන්නේ පරිසර අමාත්‍යංශයේ. ඒ දවස්වල කඳුකර දිනය වෙනුවෙන් ඔහු වෙහෙසෙමින් තමයි සිටියේ. පිදුරුතලාගල කඳුවැටියේ පිහිටි මේ සුවිශේෂී භූ රූපණය අධ්‍යනය කල යුතු යැයි ඔහු කිහිප වතාවක්ම මා හා පවසා සිටියේ මාගේ උනන්දුව තව තවත් වැඩි කරමින්. “ඉබ්බා දියට දමන්නට හදන විට ඇන්නෑවේ කිව්වා” සේ මා ද ගමන සඳහා එක පයින්ම කැමැත්ත පල කලෙමි. මේ ගමන සඳහා කැමැත්ත පල කරන්නට තවත් හේතුවක් වූයේ භූ විද්‍යාඥයෙකු ලෙස සංචාරය සඳහා මා තුල වූ අසීමාන්තික ආශාවයි. එනිසා නිතරම මාගේ මනසේ හට ගන්නා මානසික සුවය භෞතික ශරීරයේ හට ගන්නා කුමන අසීරුතාවයක් වුව විඳ දරා ගැනීමට හැකියාව ලබා දී තිබුණි. 


මන්දාරම් නුවර වූ ගෝනකැලේ තේ කර්මාන්ත ශාලාව පසුකරමින් ගෝනකැලේ තේ වත්තේ ඉහල කෙළවරක පිහිටි මේ අපූරු භූ රූපණය සකස්වී තිබුනේ කිරිගරුඬ (marble) පාෂාණයක. කිරිගරුඬ පාෂාණ කියන්නේ විපරීතකරණය වූ හුණුගල් (limestone). භූ තල ක්‍රියාකාරකම් නිසාවෙන් ඇතිවන අධික උෂ්ණත්වය සහ පීඩනය හමුවේ තම රසායනික සංයුතිය නොවෙනස්ව තබා ගනිමින් ඛණිජ සංයුතිය වෙනස් කරගනිමින් රූපණය පමණක් වෙනස්කර ගන්නට උත්සාහ දැරීම එක් එක් පාෂාණවල විපරීතකරණයේ (metamorphism) පොදු සංසිද්ධියක්. කොහොම උනත් හුනුගල්වල දක්නට ලැබෙන්නේ අවසාදනය නිසාවෙන් බිහිවන කැල්සයිට් (calcite) ඛණිජය. මෙම ඛණිජ සංයුතිය විපරීතකරණය වන විට සිදුවන්නේ ප්‍රතිස්ඵටිකිකරණය (recrystalඉළtion) වී නැවත කැල්සයිට් ඛණිජයම බිහිවීමයි. ඒ කෙසේවෙතත් වයනයේ (texture) පැහැදිලි වෙනසක් දැක ගත හැකියි. එයට අමතරව හුනුගලෙහි සිලිකා (SiO2) ඇතිවිට විපරීතකරණයේ අදාල අවස්ථාවට ගැලපෙන සිලිකා ඛණිජ බිහි වී විපරීතකරණයේ යම් යම් ලක්ෂණ ඇතිකරමින් ඒ බව පාෂාණයේ සටහන් කරයි. එනිසා ඉතා පැහැදිළිව අවසාදිත හුණුගලින් විපරීතකරණයෙන් බිහි වූ කිරිගරුඬ පාෂාණය භූ විද්‍යාඥයෙකු හටනම් හොඳින් හඳුනා ගත හැකියි.


ගල්ගුහාව නිර්මාණය වී තිබුනේ විශාල කිරිගරුඬ ගල් ගෙඩි (boulders) කිහිපයක් එකිනෙක එකමත රැඳීමෙන්. ඒ අසල වූ කිරිගරුඬ පාෂාණයෙන් බිඳී පහලට පෙරලී ආඅ ගල් ගෙඩි. මේ විශාල කිරිගරුඬ ගල් ගෙඩි එක මත එක පිහිටීම ඇතුලත කුහරයක් සකස් කරන්නට තරම් වූ ප්‍රභල පිහිටීමකි. අප ඉතා හොඳින් දන්නා දෙයක් තමයි කැල්සයිට් ඛණිජයේ රසායනිකය වන කැල්සියම් කාබෝනේට් බොහොම පහසුවෙන් ජලයේ දියවන බව. ජලය කොහොමත් තරමක් ආම්ලිකයි. ඒකට හේතුව වන්නේ කාබන්ඩයොක්සයිඩ් වායුව දියවීමත්, කාබනික ද්‍රව්‍ය වියෝජනයෙන් ඇතිකරන කාබනික අම්ල දියවීමත් හේතුවෙන්. එනිසා කිරිගරුඬ පාෂාණය දියවී සෑදෙන කැල්සියම් හයිද්රෝක්සයිඩය ගලා ගොස් නැවත තවත් තැනක දී වාෂ්පීකරණය හේතුවෙන් සිදුවන සාන්ද්‍රණකරණයෙන් කැල්සියම් කබෝනේටය යලි බිහිවීමයි සිදුවන්නේ. එවිට නැවත ප්‍රතිස්ඵටිකීකරණයෙන් දළු ලන හිරිලඹ සහ හිරිටැඹ නිර්මාණය වෙයි. මේ ක්‍රියාවලිය නිසා එකිනෙක හේත්තු වූ ගල් ගෙඩි එකට ඇලී (amalgamate) ගොස් තිබෙනවා. එය ඉතා ශක්තිමත් ව්‍යුහයක් සකස් කරන්නට හේතු වී තිබෙනවා. 


ගල් ගුහාවේ කුහරය තුලින් ගලා යන කුඩා දිය පහරක් ද දැක ගන්නට පුළුවන්. තෙත සහිත වාතාවරණයක් ගුහාව තුල නිර්මාණය වන්නේ එබැවිනි. එනිසා මේ ව්‍යුහය කදිම ක්ෂුද්‍ර පරිසරයක් ගොඩ නගන්නට සමත් වී තිබෙනවා. මේ ආශ්‍රිතව තම වාසස්ථානය කරගත් විවිධ ආකාරයේ ජීවීන් සමූහයක් ඇති බව අපට දැනගන්නට ලැබුණි. ජෛව විවිධත්වයේ අපූර්වත්වය අත් විඳින්නට කදිම පරිසරයක් බව මෙහි ලා සඳහන් කල යුතුය. අප කල අධ්‍යනයෙන් පැහැදිලිවූයේ විස්සකට අධික සත්ත්ව විශේෂ වර්ග වාර්තාවන බවයි. කෘමි විශේෂ, උභයජිවින්, උරගයන්, පමණක් නොව කුරුල්ලන් සහ ක්ෂීරපායින් ද මෙම අපුරු භූ රූපණය ඇසුරුකරමින් ජිවත්වන බවයි. සීතල අඳුරු පරිසරය කොතරම් චමත්කාර ජනක විවිධත්වයක් එක් කර ඇත්ද යන්න මෙවැනි භූ රූපණ අධ්‍යනයෙන් හොඳින් පැහැදිලි වෙයි.    

මන්දාරම්නුවර ගල්ගුහා සංචාරය මාගේ පළමු විද්‍යත්මක ගල්ගුහා අධ්‍යනයයි. 2008 වර්සරේ දී අප සිදුකල මේ පර්යේෂණ සංචාරයෙන් ලද අත්දැකීම පර්යේෂණ පත්‍රිකාවකට ගොනුකර 2009 වසරේ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ වාර්ෂික පර්යේෂණ සැසියේ දී ප්‍රසිද්ධ කරන්නට හැකි විය. එම පත්‍රිකාව එහි වූ භූ විද්‍යාඥයින්ගේ බොහෝ පැසසීමට ලක් වූ බව සඳහන් කල යුතුය. මන්දයත් එය එම පර්යේෂණ සැසියට අලුත්ම මාතෘකාවක් ලබා දුන් බැවිනි. ඉන් ආරම්භ වූ මාගේ ගල්ගුහා අධ්‍යන කටයුතු පසු කාලීනව බොහෝ පර්යේෂණ පත්‍රිකා බිහිකරන්නට හේතුවිය.


 ඒ අතර ශ්‍රී ලංකවේ පළමු ගලගුහා අධ්‍යනය කවය වන LICAS (lanka institute of cave science) හා එක්වන්නට වාසනාව ලද්දෙන් ඉහත සඳහන් කල බොහොමයක් පර්යේෂණ පත්‍රිකා බිහි කරන්නට හැකියාව ලැබුන බව මෙහි ලා සතුටින් සඳහන් කල යුතුය. ඒ රටවටා අප සිදුකල බොහොමයක් අධ්‍යනය කටයුතු හේතුවෙන්. අඳුරු පරිසර අධ්‍යනය ඇත්තෙන්ම කුතුහලය දනවන සුළු දෙයකි. පැහැදිලි ප්‍රභල ආලෝක ප්‍රභවයක් ඔබ සතුවන්නේ නම් මේ කාරිය එතරම් අපහසු දෙයක් නොවේ. නමුත් අඳුරට බිය නොමැති විය යුතුය. මේ වන විට ගල්ගුහා පනහකට වැඩි ප්‍රමාණයක් අධ්‍යනය කර ඇති අපේ පර්යේෂණ පිළිබඳව ඉදිරි කාලයේදී ඔබ හමුවේ තබන්නට හැකි වේවි.

  

  ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday, 18 March 2020

අභරණ ලොවේ අග රැජිණිය, රිදී ය සුදුවන්... 
This article is published on Divaina, 18.03.2020.

ලෝහ අභරණ තැනීම පුරාණ කල සිටම මිනිසුන් අතර වූ ජනප්‍රිය සංස්‌කෘතිකාංගයකි. රන් නොමැති කල ඒ තැන ගන්නේ රිදී ය. රන් තරම්ම නොවුණත් රිදී ලෝහය ද ජනතාව අතර ජනප්‍රියතාව රැකගත් අප කවුරුත් හොඳින් දන්නා ලෙස අභරණ තනන්නට බහුලව යොදා ගන්නා ලද ලෝහයක්‌ බව නොරහසක්‌. රන් පෙරදිග ජනප්‍රිය වෙද්දී මේ සඳහා රිදී බටහිර ප්‍රමුඛව යොදා ගන්නා ලද ලෝහයකි.
 
 ඛනිජ විද්‍යාත්මකව රිදී (silver) යන සොබාවික ඛණිජයක්‌ ලෙස හඳුන්වා දිය හැකිය. සුලභතාවය දුබල වුවත් රිදී පවතින්නේ මූලද්‍රව්‍යමය (elemental minaral) ඛනිජයක්‌ ලෙසයි. වෙනත් කිසිම රසායනයක්‌ සමග මිශ්‍ර නොවී සොබාවේ පැවතීම, එනිසාම සංයෝගයක්‌ නොසාදන මෙවැනි ඛනිජ හඳුන්වන්නේ මූලද්‍රව්‍යමය ඛනිජ ලෙසයි. ඊට අමතරව සංයෝගමය (compund) ඛනිජ 39 ක්‌ පමණ සොයාගෙන ඇති අතර මේවා බොහොමයක්‌ පරිසරයේ හමුවීම දුලභ අතර -අකන්තයිට්‌ (Acanthaite), ප්‍රවුස්‌ටයිට්‌ (Proustite) සහ පයිරාගිරයිට්‌ (Pyragiraite), වැනි ඛනිජ සොබාවේ තරමක සුලභතාවක්‌ පෙන්වයි. සල්ෆයිඩ, කබෝනේට, හේලයිඩ, සිලිකේට සහ සල්ෆේට ලෙස මෙම සංයෝගමය රිදී ඛනිජය පරිසරයේ හමුවේ. රිදියෙහි පසෙහි පවතින ප්‍රමාණාත්මක සංයුතිය වන්නේ කොටස්‌ මිලියනයකට 0.01 ක පමණය. එය එතරම්ම දුලභය.
 
 සොබාවයේ රිදී පවතින තවත් ආකාරයක්‌ වන්නේ වෙනත් ලෝහ සමග මිශ්‍රව සාදන මාත්තු ලෝහ (alloy) ලෙසයි. බොහෝවිට රන්, තඹ, ආසනික්‌, සල්ෆර්, ඇන්ටිමනි වැනි රසායනයන් සමග මිශ්‍රව පවතින රිදී ලෝහය රසදිය සමග මිශ්‍රව රසදිය මාත්තු ලෝහ සාදන අතර සිනබාර් (Cinnabar) නම් වූ රසදිය සල්ෆයිඩය සමග ද සොබාවයේ හමුවේ. අනෙකුත් ලෝහ නිධිවල ක්‌ෂුද්‍ර සංඝටකයක්‌ ලෙස හමුවේ.
 
 රිදී ඉතාමත් හොඳින් විද්යුතය සහ තාපය සන්නයනය කරන්නා වූ ලෝහයකි. එය ඝනත්වයෙන් අධික වඩා ඉහළ ද්‍රවාංකයක්‌ (961.8 0C) හිමි ධවල පැහැගත් සුසුනිඳු ආන්තරීක ලෝහයක්‌ වෙයි. දැඩියාව ඉතා අඩු බැවින් පිහියෙන් වුව ද කැපිය හැකි ලෝහයකි.
 
 රිදී භාවිතයේ අතීතයේ සිට සුලභය. විශේෂයෙන්ම ආභරණ තැනීම සඳහා බහුලව භාවිතා කර ඇත. එයට අමතරව රිදී ලෝහයේ ප්‍රධාන භාවිතය වී ඇත්තේ මුදල් ලෙස සිදුකළ භාවිතයයි. වසර 3000 ට පමණ පෙර සිට රිදී මානව සංස්‌කෘතිය හා සම්බන්ධ බව ඉතිහාසය ගෙනහැර දක්‌වන අතර ක්‍රිස්‌තු පූර්ව 400 දී පමණ ග්‍රීසිය තම මුදල් ඒකකයක්‌ ලෙස රිදී භාවිතා කර ඇත. හත්වන ශතවර්ෂයේ දී පමණ එංගලන්තය මුදල් ඒකකයක්‌ ලෙස -රිදී සතය (Silver Penny) හඳුන්වා දී ඇත. ඔප දැමීමෙන් ඉතා අලංකාර දිලිසීමක්‌ ලබා දෙන මේ අපුරු ලෝහය එනිසාම විවිධ පිළිරූ සහ ගෘහාලංකාර නිර්මාණකරණය සඳහා බහුලව භාවිතා කර ඇත. මෙසපොතේමියාව ඉරානයෙන් පමණක්‌ නොව ඇනටෝලියාවෙන් සහ ආර්මේනියාවෙන් ද ආනයනය කළ රිදී ලෝහය තම ආර්ථික කටයුතු සඳහා භාවිත කළ බව ඉතිහාසය තතු පවසයි. අටවන ශතවර්ෂයේ දී පමණ චීනය සිල්ක්‌ වෙනුවට රිදී හුවමාරු කළ බව ද සඳහන් වෙයි.
 
 ලෝකයේ රිදී නිධි පවතින්නේ තවත් ලෝහ වන රන් සහ තඹ ලෝහ සමග මිශ්‍රවයි. එයට අමතරව ද්විතියික තැන්පතු ලෙස අවසාදිත හා මිශ්‍රව පවතින බව භූ විද්‍යාඥයින් පෙන්වා දී තිබේ. ජලතාපක (hydrothermal) ක්‍රියාකාරකම් නිසාවට ද රිදී නිධි නිර්මාණය වන බව හඳුනාගෙන ඇත. කෙසේවුවත් රිදී ගැරීම අනෙකුත් ලෝහ ගරන්නා මෙන් සිදුනොවන බව නම් පැහැදිලිය. වෙන වෙනම පතල් නොමැති වුවත් රන් සහ තඹ වැනි පතල් වලින් ලැබෙනා අතුරු ඵලයක්‌ ලෙස රිදී උකහා ගන්නා බවයි පෙනී යන්නේ.
 
 ලෝකයේ ප්‍රධානම රටවල් වන්නේ පහළොස්‌වන ශතවර්ෂයේ දී පමණම නිෂ්පාදනයේ යෙදුන පේරු රාජ්‍යය සහ මෙක්‌සිකෝව යි. රුසියාවත්, ඔස්‌ටේ්‍රලියාවත්, ඇලස්‌කාවත්, ස්‌විට්‌සර්ලන්තය සහ පෝලන්තයත් රිදී නිෂ්පාදනයේ පෙරමුණේ පසු වෙයි. 

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 17 March 2020

තිස්‌ හත් වැනි සැතපුම් කණුව පසු කළ ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය...

පත්මෙගේ භූ සංචාරිතය 09
This article is originally published on Vidusara, 11.03.2020.

සංචාරය සැමවිටම උත්කෘෂට වන්නේ නැත. එනිසාම රසවින්දනය විටෙක පහත හෙලයි. ඒ බොහෝ විට සංචාරයේ දුෂ්කරභාවය ද එනිසාම පැන නගින වෙහෙස මහන්සිය ද මේ සඳහා ප්‍රභල හේතුවක් වෙයි. කෙසේ වෙතත් වසරින් වසර තම සංචාරයේ අත්දැකීම් තම සාමජිකයන්ට ලබා දෙමින් දිනෙන් දින උත්කෘෂ්ට බවට පත්වන්නට හැකි බව බොහෝ සාධක සමග ඔප්පු කරනා අප අතරම අයෙක් වෙයි. ඒ වෙන කවුරුත් නොව ඒක පුද්ගලභාවයක් නොමැති වුවද සාමූහිකත්වයේ පිළිබිඹුව වෙමින් දේශීය පමණක් නොව විදේශීය භූ විද්‍යාඥයින් අතර පවා ගෞරව ආදරයට පත් ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයයි. ඒ ඔබ සංචාරය කල යුතුම ස්ථානයකි. 

වසර 36 ක අනර්ඝ මෙහෙවරක් දේශීය භූ විද්‍යාඥයින්ට ඉටු කරමින් පසුගිය පෙබරවාරි මස 28 වෙනි සිකුරාදා තම තිස්හත්වන සැතපුම් කනුවට පා තබන්නට ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයට හැකි වී තිබේ. ඒ පන්සියයකට වැඩි සාමාජික පිරිසක් සමග ඉහත කී සාමුහිකත්වයේ චාරිකාව සාර්ථක කරගෙන යාමට හැකි විම ද තම දරු දැරියන්ගේ නොමද සැලකිල්ල ද හේතුවෙනි.
වසර එක්දහස් නවසිය අසු තුනේ සුළු පිරිසකින් ආරම්භ කරන ලද මේ සංගමය පසුගිය වසර තිස්හයක කාලය තුල භූ විද්‍යාඥයින් බොහෝ පිරිසකට තමන්ගේ සංචාරක සටහන් පර්යේෂණ පත්‍රිකා ලෙස ලියා සටහන් තබන්නට අවකාශ සලසා දී තිබේ. එපමණක් නොව ඒ ඒ සංචාරක සටහන් පිළිබඳව එක් එක් භූ විද්‍යාඥයින් ගේ විවෘත අදහස් විමසා බලන්නට, ප්‍රකාශ කරන්නට කොටින්ම තම පර්යේෂණ ජිවිතයේ වැදගත් සංධිස්ථාන සනිටුහන් කරගන්නට වාතාවරණය සහ පරිසරය සලසා දෙන්නට මේ අපූරු භූ විද්‍යා සංගමය සමත් වී තිබේ. 

මෙම භූ විද්‍යා සංගමය ආරම්භ කිරීමෙහිලා අමතක කල නොහැකි දැවැන්ත පුද්ගල චරිත කිහිපයක් මේ අතර වෙයි. ඉන් එක අයෙකු වන්නේ මහාචාර්ය කපිල දහනායක මහතායි. එකල ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ප්‍රධානියායි. අනෙක් තැනැත්තා වන්නේ මහාචාර්ය පී. ජී. කුරේ මහතායි. “ජියෝලොජි ඔෆ් සිලෝන්” (Geology of Ceylon) නම් වූ ශ්‍රී ලංකාවේ භූ විද්‍යාව සම්බන්ධව වූ දැවැන්ත ග්‍රන්ථය රචනා කරමින් මෙරට භූ විද්‍යාවට අමතක නොවන සේවයක් කල ඔහු මෙම සංගමය බිහි කිරීම සඳහා පිටුපසින් සිට නිතරම තමන්ව උද්යෝගිමත් කල බව මෑතක දී මහාචාර්ය කපිල දහනායක මහතා මා හා පවසා සිටියේය. තවදුරටත් කරුණු පවසමින් ඔහු පවසා සිටියේ මහාචාර්ය කුරේ මහතාට අතිශය වුවමනාවක් සහ අධික උනන්දුවක් මේ පිළිබඳව තිබු බවයි.  

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය බිහිකිරීමේ දී එකල පැවති රාජ්‍ය තන්ත්‍රය පාලනය කල ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ද සුභදායි අතදීමක් වූ බව මාහාචාර්ය කපිල දහනයක් මහතා මතක් කරන්නේ හද පිරි සතුටිනි. එනිසාම එකල මේ පිළිබඳව රූපවාහිනියේ ප්‍රවෘතියක් ලෙස විකාශනය වූ බව තවදුරටත් ඔහු පවසා සිටියේය. අප්‍රතිහත ධෛර්යය නිසාවට බිහි වූ සංගමය එකල ක්ෂේත්‍රයේ පැවති යම් යම් නොහොඳ නෝක්කාඩු ද අහවර වූ බව පැවසේ.

වසර තිස් හයක් අඛණ්ඩව මෙම සංගමය ආරක්ෂාකාරීව පවත්වාගෙන යන්නට එකල මෙකල වූ වගකියන නිලධාරී මණ්ඩලය ද හේතුවක් වී ඇති බව මෙහිලා ඉතා ගෞරවයෙන් මතක් කල යුතුය.  තත්වය එසේ වුවත් මෙහි පැවැත්ම තවදුරටත් අවශ්‍ය බව අප තේරුම් ගත යුතුය. ඒ මන්දයත් ආධුනික භූ විද්‍යාඥයින් හට තම තමන්ගේ දස්කම් විස්කම් තම වර්ගයාට පෙන්වන්නට කදිම තෝතැන්නක් මෙහි සකසා දෙන බැවිනි. මා 2002 වසරේ සිටම එම අගන අවසථාව හිමි කරගත් අයෙක්. මාගේ ප්‍රථම පර්යේෂණ පත්‍රිකාව එළි දක්වන්නට 2002 වසරේදී හැකි විය. ඒ මා මගේ තනි කැමැත්තෙන් කරන ලද අවසාන වසරේ පර්යේෂණ පුස්ථකය මූලික කරගෙනය. ඉන්පසු එක දිගට වසර ගණනාවක් පුරාවට මාගේ පර්යේෂණ චාරිකාවල ලත් තොරතුරු විද්‍යාත්මකව සම්පාදනය කර වාර්ෂික පර්යේෂණ සමළුවේ දී ඉදිරිපත්කරන්නට භාගයය ලද්දෙමි. ම ඉදිරිපත් කල සමහර විෂය ක්ෂේත්‍ර සහ මාතෘකා බොහෝ දෙනෙකුගේ ඇගයීමට ලක්විය. 

වසර කිහිපයකම එහි විද්වත් කමිටුවේ සාමාජිකයෙකු වන්නට ද මා හට හැකි විය. එමගින් ද මා ලද අත්දැකීම් බොහෝය. එමෙන්ම ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමයේ තිස් හයවෙනි (2019/2020) කමිටුවේ ද තිස්හත්වෙනි කමිටුවේද (2020/2021) ලේකම් ලෙස පිට පිටම දෙවතාවක්ම කටයුතු කරන්නට ලැබීම ද එක්තරා ආකාරයකට මා ලද භාග්‍යයකි. එවැනි අත්දැකීමක් ලබන්නට නවක භූ විද්‍යාඥයින් උත්සුක විය යුතුය. මෙවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වීම ක්ෂේත්‍රයේ බොහෝ දෙනෙකු හඳුන්ගන්නට ලැබීමද වක්‍රව ලැබෙන එක් වාසියකි.

ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය අංකුර භූ විද්‍යාඥයින් දිරිමත් කිරීම සඳහා ශිෂ්‍යත්ව ලබා දීමේ වැඩසටහනක් ද ආරම්භ කර ඇත. ඒ අතර මහචාර්ය පි. ඩබ්. විතානගේ මහතා සිහිකරමින් එනමින් ශිෂ්‍යත්ව ලබා දීම විශේෂයි. මේ ශිෂ්‍යත්වය ආරම්භ කිරීමෙහි ලා මා හටද යම් සැලකියයුතු කාර්ය භාරයක් ඉටු කරන්නට ලැබීම ද සතුටකි. විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය භූ විද්‍යා සංගමයට, 1998 දී ශ්‍රී ලංකා භූ විද්‍යා සංගමය කරන ලද ආරාධනාවක් අනුව රුපියල් 50,000 ක මුදලක් මෙම අරමුදල සඳහා සොයා දීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ‘උදුම්බරා’ නම් වූ සංගීත ප්‍රසංගය ඉදිරිපත් කර අවසානයේදී රුපියල් 75,000 ක මුදලක් මෙම අරමුදල වෙනුවෙන් ලබා දෙන්නට හැකියාව ලැබුණි. එකල මා විශ්වවිද්‍යාලිය භූ විද්‍යා සංගමයේ භාණ්ඩාගාරික තනතුර දරමින් සිටි අවධියයි. ඒ වෙනුවෙන් එලෙස සක්‍රියව දායකත්වය ලබා දීමට හැකි වීම සාමුහිකත්වයේ වගකීම ඉෂ්ටකිරීමට ලද මහඟු අවස්තාවක් ලෙසයි මා සලකන්නේ. 

වාර්ෂිකව අවංම ලෙස පර්යේෂණ පත්‍රිකා සහිත සඟරා දෙකක් එලි දක්වමින්  සාමාජිකයන්ගේ සංචාරක අත්දැකීම් ලෝකයට එලි දක්වන්නට ද කටයුතු කර ඇත. එලෙස භූ විද්‍යා සන්ධර්භය තුල මහඟු කාර්ය භාරයක් ඉටුකරමින් සාර්ථක සංචාරයක නිරත වන භූ විද්‍යා සංගමය තවත් චිරාත් කාලයක් දක්වා පවත්වාගැනීම සාමාජික අප ඔබ සියල්ලන්ගේම වගකීම බව සිහි තබා ගතැහැ යුතුය. එය අනාගත ආයෝජනයක් බව අප අමතක කල යුතු නොවේ. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


Friday, 13 March 2020

 මිනිස්‌සුන්ට පිස්‌සු සාදන ඊයම් ලෝහය
This article is originally published on Divaina, 11.03.2020.

රෝ මය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරමින් සිටි බව ලෝක ඉතිහාසයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ කතාවකි. මෙතරම් ආපදාවක්‌ වෙද්දී ඔහු සතුටු වන්නේ කෙලෙසද යන්න ගැටලුවක්‌ නොවේද? ඔහු සිහි බුද්ධියෙන් සිටියා විය නොහැක. යම්කිසි මානසික ව්‍යාකුලතාවක්‌ තිබුණා විය හැක. රෝම ඉතිහාසයේ භූ සම්පත් භාවිතය සලකා බැලීමේදී මේ හා සැසඳෙන අපූරු ඛනිජයක්‌ ගැන සඳහන් වන බව අපට පෙනී යයි. ඒ වෙන කිසිවක්‌ නොව අධික ලෙස ඊයම් ලෝහය භාවිත කිරීමයි. රෝමානුවන් ඊයම් ලෝහය භාවිත කරන ලද්දේ ජලාපවහන කටයුතු සඳහා වන අතර ඊයම් වලින් සාදන ලද -ඊයම් සීනි, වයින් රස ගන්වන්නට භාවිත කළ බව සඳහන් වේ. ඊයම් යනු විවිධ ඇනායන හා සම්බන්ධ වූ සංයෝගයක්‌ ලෙස සොබාවික පරිසරයේ මුණගැහෙන ඛනිජයකි. ගැලීනා (galeena) ලෙස හඳුන්වන්නේ ඊයම් සල්µයිඩයයි. ඊයම් සල්ෆෙටය ද ඊයම් කබෝනේටය ද සොබාවික පරිසරයේ දක්‌නට ලැබෙන අතර ඊයම් උකහා ගැනීම සඳහා වැඩිපුරම ලොව භාවිත කරන ඊයම් ඛනිජය වන්නේ ගැලීනා ඛනිජයයි.
 
 ඊයම් යනු බැර ලෝහ ගණයට වැටෙන ලෝහයකි. බැර ලෝහ සොබාවික පරිසරයේ දක්‌නට ලැබුණ ද ශරීරගත වීම සෞඛ්‍යමය ගැටලු ඇතිකරන මූලද්‍රව්‍ය වෙයි. ඊයම් ශරීරගත නොවිය යුතු ලෝහයක්‌ ලෙස හඳුනාගෙන ඇත. ඒ මන්ද යත් එමගින් මිනිසාගේ ස්‌නායු පද්ධතියට හානි සිදුකරන බැවිනි. ඊයම් ශරීරගත වීම එනිසා යම් කිසි ආකාරයකට මිනිසාගේ මනස විකෘති කරන්නට හැකියාවක්‌ ඇති බව පැහැදිලි වේ.
 
 ස්‌වභාවික පරිසරයේ ඊයම් ඉහත කී ඛනිජ ලෙස පවතින අතර අවසාදිත ගොනු අතර නිධිගත වීමේ සම්භාවිතාවක්‌ ඇත. එනමුත් ප්‍රාථමිකව ආග්නේය පාෂාණ සහ විපරිත පාෂාණ සමග බිහිවන අතර ඒවායේ ජිර්ණය සහ ඛාදනය අවසදිතකරණය සඳහා හේතුවෙයි. අඩු උෂ්ණත්වයකදී පහසුවෙන් උණුවන ඛනිජයකි. එනිසා ඉතා පහසුවෙන් උකහා ගැනීමේ හැකියාව ඇත. සොබාවික පරිසරයේ පවතින අනෙකුත් රසායනයන් සමග ප්‍රතික්‍රියා කර වෙනත් ඊයම් ඛනිජ බවට පත් වීමේ හැකියාව පවතී. ජීර්ණ ප්‍රතික්‍රියා මඟින් ඊයම් සල්ෆෙටය සහ ඊයම් කාබෝනේටය බවට ද පත් වෙයි. එම සඳහා කිසියම් ආකාරයකට ක්‌ෂුද්‍ර ජීවීන්ගේ ක්‍රියාකාරිත්වය ද බලපාන බව සඳහන් වෙයි.
 
 ඊයම් පතල් පිළිබඳ පැරණි තොරතුරු යකඩ යුගයේ සිටම සඳහන් වනමුත් බහුල භාවිතය සිදුවන්නේ 17 වැනි සහ 18 වැනි සියවස්‌ වලදී මෙන්ම ඊට පෙර කල රෝමානුවන් විසින් ද බව ඉතිහාසයේ සඳහන් වෙයි. 19 වැනි සියවසේදී ද ඊයම් බහුල භාවිතය පිළිබඳව සඳහන් වේ. ඊජිප්තු වැසියන් ඊයම් අංජන සාදා ගැනීම සඳහා භාවිත කර ඇත.
 
 වර්තමානයේදී ඊයම් භාවිත වන්නේ වෙඩි උණ්‌ඩ නිෂ්පාදනයට, බැටරි නිෂ්පාදනයට වාගේම විවිධ පයිප්ප වර්ග නිෂ්පාදනයට ද යොදා ගැනේ. ඊයම් තරමක්‌ වැඩි බරකින් යුක්‌ත නිසා බෝට්‌ටු සහ නැව්වල බර තුලනය සඳහා -තුලන බෝල (ballast) නිෂ්පාදනය සඳහා ද යොදා ගනී. ඒ වාගේම බරක්‌ අවැසි කිමිදුම් කරුවන්ගේ බඳපටි සඳහා ද භාවිත කරයි. ඊයම් ලෝහය ඉතා අඩුවෙන් ජීර්ණයට ලක්‌වෙන නිසා ගැඹුරු ජලයේ/මුහුදේ භාවිත කරන විදුලි කේබල ආවරණයට ද යොදා ගනි. තීන්ත නිෂ්පාදනයේදී ද ඊයම් අංශු යොදා ගනී.
 
 ඊයම් අංශු ඉතා පහසුවෙන් වායුගෝලයට මුක්‌ත වීමේ හැකියාව ඇත. එනිසා දූවිලි අංශු සමග බැඳෙන ඊයම් අංශු ඉතා පහසුවෙන් මිනිසාගේ ශ්වසන පද්ධතිය ඔස්‌සේ දේහගත වීමේ හැකියාව ඇත. එමෙන්ම ජලයට ද පසට ද පමණක්‌ නොව ජෛව ගෝලයට ඇතුළු වීමේ හැකියාව ද ඇත. බොහෝ විට පොසිල ඉන්ධන භාවිතය නිසා ද කර්මාන්ත නිසා ද ඊයම් වායුගෝලගත වීම පහසුවෙන් සිදුවේ. ඊයම් යනු ජෛව සංචායනය විය හැකි බැර ලෝහයකි. එනිසා කුඩා ප්‍රමාණවලින් පවා එකතු වීම දිනෙක ප්‍රබල ලෙස බලපාන ගැටලු ඇති කරන්නට හේතුවෙයි.
 
 ලොව වැඩිපුරම ඊයම් නිෂ්පාදනය කරන රටවල් වන්නේ චීනය, රුසියාව ඇමෙරිකා එක්‌සත් ජනපදය, පේරු රාජ්‍යය, මෙක්‌සිකෝව ඉන්දියාව යනාදී රටවල් වෙයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 5 March 2020


එදිනෙදා ජීවිතයට මැටි වැඩ නම් නැතුවම බැරිය 
This artcile is originally published in Divaina, 04.03.2020.


උයා පිහාගෙන කන්න පටන් ගත්ත කාලේ ඉඳලම අපට මැටි නැතුවම බැරිය. මැටි වලින් කරන වැඩ මැටි වැඩය. මෝඩ වැඩ කරන විටත් අප කියන්නේ මැටි වැඩ කරනවා කියලා ය. නමුත් අද අපි කතා කරන මැටි වැඩ එහෙම නොවේය. එම මැටි වැඩ නම් ඇත්තෙන්ම මැටි භාවිතා කර කරනු ලබන නිෂ්පාදන සම්බන්ධවයි. 


මැටි යනු ඛණිජ වන අතර මැටි ඛණිජ ගොනුවක් ම පවතී. ඛණිජ විද්‍යාත්මකව සැලකූ විට මැටි ඛණිජ ගොනුවේ මැටි ඛණිජ වර්ග ගණනාවක් ඇත. කෙයෝලින්, මොන්ට්මොරිලිනයිට්, ක්ලොරයිට්, ඉලයිට්, ස්මෙක්ටයිට් යනාදී වශයෙන් හඳුනාගත හැක. භූ විද්‍යාත්මකව සැලකු කල මැටි ඛණිජ නිර්මාණය වන්නේ පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙසයි . එම නිසා මැටි ඛණිජ හඳුන්වන්නේ ද්විතියික ඛණිජ ලෙසයි. බොහෝ විට මැටි ඛණිජ නිර්මාණය සඳහා දායක වන ප්‍රාථමික ඛණිජය වන්නේ පෙල්ඩ්ස්පා(ර්) නම් වූ  පාෂාණ කාරක ඛණිජය වන අතර  මයිකා වැනි සමහර ඇලුමිනියම් සිලිකේට් ඛණිජ වර්ග ජිර්ණයෙන් ද මැටි ඛණිජ බිහි වෙයි. පෙල්ඩ්ස්පාර් ඛණිජය වැඩි පුර හමුවන පාෂණ නිසා මැටි ඛණිජ නිධි බිහිවන අතර  මේ තත්වය නිවර්තන කලාපයේ සහ යම් කිසි ප්‍රදේශයක තෙත් කලාපය තුල ප්‍රමුඛ වෙයි. 


මැටිවල ඇත්තේ මැටි ඛණිජ වර්ග පමණක් නොවේ. එය තවත් ඛණිජ වර්ග ගණනාවකම එකතුවක් ලෙසද හැඳින්විය හැකියි. සිලිකා වැලි, යකඩ මලකඩ, කාබනික ද්‍රව්‍යය පමණක් නොව සමහර විට අර්ධ ලෙස ජීර්ණයට ලක්වූ මයිකා වැනි ඛණිජ කොටස් ද මෙහි පැවතිය හැක. පවතින සිලිකා වැලි ප්‍රමාණය අනුව එහි සවිවර බව රැඳී තිබේ. එනිසා ජලය අවශෝෂණය මෙන්ම පාරගම්‍ය බවද පාලනය වෙයි. යකඩ මලකඩ හේතුවෙන් මැටි වලට රතු පැහැය හෝ ඒ හා ආසන්න පැහැයන් ලැබෙයි. 


මැටි ප්‍රධාන වශයෙන්ම වර්ග හයකට පමණ බෙදිය හැකිය. එනම් කෙයෝලින්, බෙන්තොනයිට්, බෝල මැටි, ගිනි  මැටි, සාමාන්‍ය මැටි සහ ෆුලර්ස් මැටි යනුවෙනි. මේ වර්ගීකරණය විද්‍යාත්මක වර්ගීකරණයක් නොවන අතර එදිනෙදා ජීවිතයේදී යෙදී ඇති භාවිතයන් ඇසුරෙන් වර්ග කර ඇත. කෙයෝලින් බොහෝ විට සුදු පැහැති මැටි වන අතර එමගින් අලංකාර නිර්මාණ සඳහා මෙන්ම තීන්ත වර්ග නිෂ්පාදනය සඳහා යොදා ගනී. චීන මැට්ට ලෙස හඳුන්වන්නේ ද මෙම වර්ගයම වේ. බෙන්තොනයිට් බිහිවන්නේ ගිනිකඳු මගින් තැන්පත්වන අළු ජීර්ණයට පත් වීමෙනි. ඉතා හොඳ ලිහිස්සි ද්‍රව්‍යයක් වන බෙන්තොනයිට් මිහි විඳුම් කටයුතු වලදී බහුලව යොදා ගනී. ගිනි මැටි සෙරමික් වැනි අධික තාපයට ඔරොත්තු දෙන භාණ්ඩ නිෂ්පාදනය සඳහා භාවිතා කරයි. සාමාන්‍ය මැටි ගඩොල්, උළු සහ පිගන් ගඩොල් නිෂ්පාදනයේදී යොදා ගනී. ෆුලර්ස් මැටි යොදාගන්නේ ද්‍රවයන් අවශෝෂණය කරවීම සඳහා වන අතර තවද රසායනික කෘමි නාශක නිෂ්පාදනය සඳහා ද භාවිතා කරයි. 


ඉහත සඳහන් කල යොදා ගැනීම් වලට අමතරව මැටි ඖෂධ  නිෂ්පාදනයේදී ද යොදා ගන්න බව සඳහන් වෙයි. බොහෝවිට චර්ම රෝග  නිවාරණය සඳහා කදිම ආලේපනයක් බව සඳහන් වෙයි. ආදී මෙසපොතේමියානුවන් මෙලෙස මැටි ඖෂධ ලෙස යොදා ගත් බව සඳහන් වේ.

පස් සහ අවසාදිත සැලකූ කල ඒවායේ ප්‍රධන සංඝටකයක් වන්නේ මැටි ඛණිජයි. නමුත් මැටි අංශු නොමැති අවසාදිත හමුවන මුත් පාංශු දේහයේ නම් අනිවාර්යෙන්ම මැටි ඛණිජ පවතියි. පාංශු ඛණිකා වල ප්‍රමාණාත්මක විශ්ලේෂණයක දී මැටි ඛණිකා වර්ග වන්නේ සියුම් ඛණිකා ලෙසයි. මෙවැනි සියුම් ඛණිකා වල විශාලත්වය බොහෝ විට මිලිමිටරයකින් දාහකින් පංගුවක් පමණ වෙයි. මැටි ඛණිකා මෙතරම් සියුම් වීමත් ඒවායේ ස්පහ්ටිකවල ස්වාරුපයත්  නිසා අපාරගම්‍ය බවක් පෙන්වයි. මෙනිසා බොහෝවිට මැටි ජල ගමනා ගමනය අඩපන කිරීමට අවැසි විටෙක යොදා ගනී. 


බ්‍රසීලය, ඇමෙරිකාව සහ එංගලන්තය කෙයෝලින් නිෂ්පාදනයේ ප්‍රමුඛයෝ වෙති. ජර්මණිය බෝල මැටි නිෂ්පාදනය සඳහා නමක් දිනාගෙන ඇති අතර ගිනි මැටි සඳහා චීනය, චෙක් රාජ්‍යය සහ ප්‍රංශය පෙරමුණේ වෙයි.  



ආචාර්ය පත්මකුමාර ජයසිංහ



Monday, 2 March 2020



මන්නාරම් කලපුවේ ඇල්ගේ කළා
පත්මෙගේ භූ සංචාරිතය 08
This article is originally published on Vidusara, 26.02.2020.

පසුගිය සතියේ අප සංචාරය කලේ මන්නාරම් දූපතේ බව ඔබට මතක ඇති. ඉතා සියුම් වැල්ලෙන් නිර්මාණය වූ මේ කදිම දූපතෙන් සමුගැනීම භූ විද්‍යාඥයකු වන මා හට නම් අසීරු කරුණක්. මේ දූපත එතරම්ම වටිනා භූ සම්පතකි. 

මේ කදිම දූපත ප්‍රධාන දිවයින හා සම්බන්ධ වන්නේ ඉතා පටු වැලි තීරුවකිනි. මේ තීරුව හා සම්බන්ධව වටකුරුව විහිදෙනා මුහුද සහ ගොඩබිම සම්බන්ධ කරන තීරුව නිර්මාණය කරන්නේ තවත් අනර්ඝ භූ රූපණයකි. වෙරළබඩ භූ රූපණ යනු භූ විද්‍යාඥයෙකු විසින් අනිවාර්යෙන්ම හැදෑරිය භූ සංසිද්ධියක් බව මෙහිලා සඳහන් කල යුතුම ය. 

මන්නාරම් කලපුව දඟකාර සාගර තරංග මෙල්ල කරනා අපූරු ස්ථානයකි. එය හරියටම තාරුණ්‍යයේ වූ විසේකාර තරුණයෙකු කල්ගත වෙත්ම පරිණත වීමේදී පෙන්වන තැන්පතු බවට සමාන කල හැක.  ජලයේ වේගය සැමවිටම අවසාදිත තැන්පතු කෙරෙහි ඉතා ප්‍රභලව බලපායි. විසේකාර මුහුදු තරංග ඇතිකරනා මුහුදු රැළි ගෙන එන තරමක් බරැති අවසාදිත ඛණිකා කලපු පරිසරයට ඇතුළුවත්ම සිදුවන වෙනස වටහා ගෙන මෙන් ශක්තිය අඩු තරංග බිහිවන කලපු කටේ දී තමාගේ සියලු බලාපොරොත්තු අත් හරිමින් මුහුදු පත්ල සිප ගන්නේ වෙන කරන්නට කිසිවක් නොමැති නිසාවෙනි. එය එසේ වුවත් අහංකාර සියුම් අවසාදිත ඛණිකා ආඩම්බරයෙන් හිස ඔසවා ගත් යව්වණියෙකු තමාගේ අහංකාර ගමන් විලාසය එලසම තබා ගනිමින් කලපුව තුලට අතුලුවන්නේ එය තමාගේ මහා ගෙදර යැයි සලකමින් බව මේ ක්‍රියාදාමය ඉතා හොඳින් නිරීක්ෂණය කරනා භූ විද්‍යාඥයෙකු හට නම් අරුමයක් නොවේ.

කලපු අවසාදිත භූ විද්‍යාඥයෙකු විසින් අධ්‍යනය කලයුතුම භූ සම්පතකි. නිශ්චල ජලය ඇති මන්නාරම් කලපුව සියුම් අවසාදිත තැන්පත් කරනා මහඟු භූ පරිසරයකි. මිලිමීටරයකින් සියයකින් පංගුවක් පමණ වූ විශාලිත විශ්කම්භයකින් යුක්ත වූ අවසාදිත ඛණිකා තැන්පත් කරන්නට තරම් සමත් මේ පරිසරය ගෙන එන්නේ ඉතා සුවිශේෂී කලපු තැන්පතු බව මෙහි ලා සඳහන් කලයුතුය. ඉතාම සියුම් ඛණිකා කලපු පත්ලේ තැන්පත් කරන්නට මේ පරිසරය වගා බලා ගනී.

ඉතා සියුම් ඛණිකා බොහෝ විට මැටි අංශු බව අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම මැටි අංශු බිහිවන්නේ පෙල්ඩ්ස්පාර් නම් වූ පාෂාණ කාරක ඛණිජය ජිර්ණයෙනි. මෙවැනි මැටි අංශු කෙලසක හෝ මහා සාගරය වෙත ගෙන එන්නට අපගේ ගංගා පද්ධතිය සමත්වන්නේය. ශක්තිජනක සාගර තරංග හා තරඟ කරමින් කලපුවට ඇතුළුවන මෙවැනි සියුම් ඛණිකා තමාගේ නවාතැන් පල කරගන්නේ ඉතා කැමැත්තෙනි. මේ අතර තවත් අපූරු ද්‍රව්‍යයන් මේ සමග තැන්පත් වන්නට මග බලා හිඳී. ඒ විවිධ ජීවින් විසින් නිපදවනු ලබන කාබනික සියුම් ඛණිකා වෙයි. මෙවැනි කාබනික සියුම් ඛණිකා බොහෝවිට සමන්විත වනුයේ ඉතා සියුම්ව නිමැයුනු ක්ෂුද්‍ර දේහධාරී ජීවින්ගේ මළකුණු වලින් බව අප තේරුම් ගත යුතුය. මෙවැනි නිශ්චල පරිසර බොහොමයක් ක්ෂුද්‍ර ජීවීන්ගේ සුසාන භූමින් බව අප වටහා ගත යුතුය. 

මෙම ක්ෂුද්‍ර දේහධාරීහු කවුරුහු ද? බොහෝවිට මෙවැන්නන් වන්නේ ‘ඩයටම’ (diatom) නම් වූ සිලිකාමය ශරීර ඇත්තන්ය. දිලිසෙන සුළු සිලිකාමය දේහධාරී ඩයටමයන් තමාගේ මරණින් පසු අත්වන ඉරණම ගැන නොදන්නා බව නම් නිසැකව ම පැවසිය හැක. ඩයටමයන්ට අමතරම නීලහරිත ඇල්ගාවන් සහ ක්ෂුද්‍ර ඇල්ගාවන් ද මෙම කලපු සුසාන භුමියේ මිහිදන් වන්නට තරම් වාසනාවන්තයන් වන බව පෙනී යයි. මෙලෙස අනුක්‍රමිකව තැන්පත් වන්නා වූ අකාබනික මඩ සහ කාබනික මඩ නිර්මාණය කරන්නේ අනාගතයේ අපට බොරතෙල් ගෙන දෙන්නා වූ අවසාදිත තැන්පතුවක් බව කිව යුතුය. 

මන්නාරම් කලපුවේ දක්නට ලැබෙන්නේ ප්‍රාග් ඓතිහාසික පරිසරයේ නිර්මාණය වූ “ඇල්ගේ කළාල” (Algal mat) වලට සමාන වූ ජීවි කාබනික ව්‍යුහයන් බව හඳුනාගත හැක. කලපුව පුරාවට විසිරි පැතිරී ඇති මේ අපූරු සජීවී සංගමය සිහි ගන්වන්නේ පැරණි ලෝකයේ නිර්මාණය වූ ඇල්ගේ කළාලයන් ය. මේ ඇල්ගී කළාල කලිල (මඩ) තැන්පතු හා මිශ්‍ර වී “ඇල්ගේ තලසයන්” (stromatalight) නිර්මාණය කර ඇති බව ප්‍රාග් අවසාදිත තැන්පතු විශ්ලේෂණය කිරීමේ දී ඉතා කදිමට පැහැදිලි වන කරුණකි.  මෙවැනි තැන්පතු අධ්‍යනය කිරීම ප්‍රාග් ජීවය පිලිබඳ යම් අර්ථකතනයන් සඳහා මඟ පෙන්වා ඇත. 

ප්‍රාග් ඇල්ගේ තලසයන් මෙළොව හමුවන පැරණිම ජීවී දේහයන් අධ්‍යනය කිරීමට සුදුසු ඉතා අපූරු අවසාදිත තැන්පතු බව කිව යුතුමය. ලෝකයේ එවැනි වූ පැරණිම ඇල්ගේ තලසයන් හමුවන්නේ ග්‍රීන්ලන්තයෙන් බව භූ විද්‍යාඥයින් සොයාගෙන ඇත. එම ප්‍රාග් තැන්පතු වසර බිලියන 3.7 ක් පමණ පැරණි බව කාලනිර්ණ ක්‍රමවේදයන් මගින් තහවුරු කර ඇත. මෙලෙස කදිමට පාෂාණීභූත වූ ප්‍රාග් ඇල්ගේ තැන්පතු සමන්විතවන්නේ ඇල්ගේ කළාල තට්ටු අතර සිරවූ සියුම් මඩ ඛණිකා තට්ටු වලිනි. ග්‍රීන්ලන්තයේ හමුවන මෙම ප්‍රාග් ඇල්ගේ තලසයන් ඇත්තෙන්ම “ප්‍රාග් ජීව ධාතුන්” බව සඳහන් කළ යුතුය. 

නීල හරිත ඇල්ගාවන් යනු සයනෝ බැක්ටීරියාවන් වේ. මොවුන්ගේ අධ්‍යනය පැරණි කාලගුණික තත්වයන් ප්‍රති නිර්මාණය කරන්නට මාර්ගය පාදන බව අප සිහි තබා ගත යුතුය. ආදී කාලික සයනෝ බැක්ටීරියාවෝ වායුගෝලයට මුලින්ම ඔක්සිජන් සැපයුවෝ වෙති. එකල වායුගෝලයේ ඔක්සිජන් රහිත විය. මේ ඔක්සිජන් වැයවන්නේ සාගරයේ දිය වූ යකඩ ඔක්සිකරණය කරන්නටය.  ඔක්සිකරණය වූ යකඩ සාගරයේ තැන්පත් වන්නේ පාවෙන කලිලත් සමගයි. රක්තවර්ණ අවසාදිත පාෂාණයක් වන රක්ත වර්ණ යමුසු පාෂාණය (banded iron formation) බිහිවන්නේ මෙලසයි. 

කෙසේ වුවත් පවතින තත්කාලීන පාරිසරික තත්ත්ව මත මන්නාරම් කලපුවේ ඇති වූ “ඇල්ගේ කළාල” පවතින ආකාරය මත කලාප තුනකට බෙදා වෙන්කළ හැකි බව මහාචාර්ය අතුල සේනාරත්නයන්ගේ පර්යේෂණ පෙන්වා දෙයි. කෙසේවුවත් ආදී කාලික ප්‍රාග් ඇල්ගේ තලසයන් මන්නාරමේ හමුවන්නේ නැත. මෙවැනි පාරිසරික තත්ත්ව පිළිබඳව තවත් දවසක ඔබට අනාවරණය කිරීමේ අවශ්‍යතාව පැහැදිළිව ඇත. භූ සංචාරිතයෙන් මේ අපූරු සංසිද්ධිය ගැන කතා කරන්නට පසුවට ඉඩ තබා ඔබ සියල්ලන්ටම ආරාධනා කරන්නේ මන්නාරමේ ඇල්ගේ කළාල දැකබලා ගන්නටයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 27 February 2020


පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ

This article is originally published on Divaina, 16.02.2020.


වසර දස දහසක් පමණ පැරණි පුරාවිද්‍යාත්මක ලෝහය වන්නේ තඹ (copper) යි. තඹ ලෝහය භාවිතයත් සමග මානව ඉතිහාසයේ නව පරිච්චේදයක් ආරම්ඹ වන අතර එය වසර හයදහසක් පමණ වූ කාලයක් දක්වා වූ මෑත කාලයට පැතිරී යයි. ඊශ්‍රායලය මේ සඳහා පැරණිම සාක්ෂි ලබා දෙන බව විද්‍යාඥයින් පවසයි. ඉතිහාසගත කරුණු එසේ වන්නේ මුත් අපට වැදගත් වන්නේ එහි භූ විද්‍යත්මක, ඛණිජ විද්‍යාත්මක පසුබිමයි.


තඹ ලෝහය ඉතා මෘදු, පහසුවෙන් තැලීමට හැකි එමෙන්ම පහසුවෙන් කැපීමට හැකි රතු පැහැති ඛණිජයක් ලෙස හඳුන්වා දිය හැක. සොබාවික පරිසරයේ තඹ ලෝහය මූලද්‍රවයමය ඛණිජයක් ලෙස හමුවන අතර එයට අමතරව පාෂාණවල තඹ අඩංගු ඛණිජ සමූහයක් ඇත. තඹ සල්ෆයිඩය (sufide) ලෙස ද කබෝනේට (carbonate) ලෙසද  ඔක්සයිඩය (oxide) ලෙසද සොබාවික පරිසරයේ මුණ ගැසේ. කැල්කෝ පයරයිට් (chalcopyarite) යනු තඹ සල්ෆයිඩ යයි. මෙයට ශ්‍රී ලංකවේ දී භාවිතාවන නාමය වන්නේ “දිය රත්රන්” යන්නයි. මැලචයිට් (malachite) යනු තඹ කබෝනේටයකි. කියුප්‍රයිට් (cuprite) යනු තඹ ඔක්සයිඩයකි. ඇසූරයිට් (azurite) සහ බෝනයිට් (bornite) යනු තවත් තඹ අඩංගු ඛණිජ වර්ග දෙකකි. 


වැඩිපුරම තඹ ලෝහය වෙන්කරගන්නේ ඉහත සඳහන් කල සල්ෆයිඩයෙනි. චිලී රාජ්‍යය, ඇමෙරිකාව, කැනඩාව, රුසියාව, පේරු රාජ්‍යය, සැම්බියාව, පෝලන්තය වැනි රටවල ඉහත සඳහන් කල ඛණිජ වලින් තඹ ලෝහය නිස්සරණය කර ගනී. තඹ ලෝහය වෙන්කර ගැනීම තරමක් සංකීර්ණ ක්‍රියාවලියකි. බොහොමයක් තඹ නිධිවල ඇති තඹ ප්‍රතිශතය සියයට  එකක් (< 1%) පමණ වන අතර ඉතිරිය වන්නේ සිලිකේට ඛණිජ වර්ගයි. තඹ ලබා ගැනීම බොහෝවිට සිදුවන්නේ තඹ නිධි විවෘත ආකර ලෙස කැනීම් කරමිනි. 


තඹ ලෝහයක් ලෙස ඉතා වැදගත් වන්නේ විද්‍යුතය සන්නයනයටයි. ලෝකයේ ඇති හොඳම සන්නායකතාව තඹ සතුවන අතර ලෝකයේ මෑත ඉතිහාසයේ එක්තරා කලෙක තඹ විදුලි කම්බි නිෂ්පාදනයේදී ප්‍රමුඛතාව ලබා ගෙන තිබුණි. ඒ වාගේම තාපය ද කදිමට සන්නයනය කරන නිසා විශේෂයෙන්ම ඉවුම් පිහුම් කටයුතු වල දී භාජන නිෂ්පාදනය සඳහා බහුලව යොදාගෙන ඇත. තඹ ලෝහයේ දැඩියාව 2.5 ත් 3 ත් අතර අගයක් ගනී. ලේඛාවේ පැහැය වන්නේ රතු පැහැයයි. 


තඹ නිධි ජනනය ආකාර කිහිපයකි. ඉන් ප්‍රධාන වන්නේ ආගනේය ක්‍රියාවලියයි. කිලෝමීටර කිහිපයක් භූ අභ්‍යන්තරයේ ඇති මැග්මා කුටීර තුල බිහිවන “ගිනියම් ජලීය දියරයන්” (hydrothermal liquid) හා මුසුව ඉහළ නගින තඹ, ආග්නේය පාෂාණ ඇසුරේ ඝනීභවනය වීමෙන් තඹ ලෝහ නිධි  නිර්මාණය වේ. තඹ වලට අමතරව මෙම නිධිවල ආර්ථික වටිනාකමක් ඇති මොලිබ්ඩිනම්, රිදී සහ රත්රන් වැනි ලෝහද පවතින අවස්ථා වාර්තා වෙයි. අවසාදිත තැන්පතු ආකාරයෙන්ද තඹ නිධි හමුවන අවස්ථා ඇත. 


තඹ භාවිතය පැතිරුණ අංශ කිහිපයකි. ප්‍රධාන වශයෙන් ම විදුලි පරිවහනය කිරීමේදී ඉතා වගකිවයුතු කාර්ය  භාරයක් ඉටු කරයි. ගෘහ විදුලි පරිපථ නිර්මාණය සඳහා නැතිවම බැරි අමුද්‍රවයයකි. ඒ වාගේම විවිධ වර්ග වල විදුලි භාන්ඩ නිහ්ස්පාදනයේදී ද මෙම තඹ ලෝහය යොදාගනී. එයට අමතරව ඔක්සිකරණය සෙමෙන් සිදුවන නිසා නිවාස වල වහල සඳහා ද වැහිපීලී වැනි දෑ නිෂ්පාදනයට ද යොදාගනී. ජලය පරිවහනය සඳහා ද තඹ ලෝහවලින් තැනු පයිප්ප යොදා ගන්නා බව ඉතිහාසයේ වාර්තා වෙයි. නිවසේ  ඉවුම් පිහුම් කටයුතු වලට ද යොදාගෙන ඇත. විවිධ තීන්ත වර්ග නිෂ්පාදනයේ දී, විශේෂයෙන්ම නිල් සහ කොළ පැහැයන් සඳහා තඹ භාවිතා කරන බව වාර්තා වෙයි. එයට අමතරව මැණික් ඛණිජයක් ලෙස භාවිතා වන අවස්ථා ද වාර්තා වේ. ඇසූරයිට්, මැලචයිට්, ටාර්ක්වෝස් (turquoise) වැනි තඹ ඛණිජ කපා හොදින් ඔප දැමීමෙන් ඉතා අපූරු මැණික් ඛණිජ ලබා ගත හැක. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ








 

  













 


පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...