2015 ජුලි 29 බදාදා
පැරැණි ලක්‌වාසීහු භූ සහ ඛනිජ සම්පත් පිළිබඳව බොහෝ දැනුවත් වූවෝ වෙති. එම දැනුම ප්‍රාග් ඓතිහාසික යුගයන් දක්‌වා විහිදෙන බව මෙරටෙහි කරන ලද පුරාවිද්‍යා කැණීම්වලින් පැහැදිලි වෙයි. පසුගිය සතියෙක මා විදුපත් ඉරුවෙහි සඳහන් කළ අලවල පොත්ගුල් ලෙනෙහි සිදු කරන ලද කැණීමෙන් හමු වූ ද්‍රව්‍ය අතර මැග්නටයිට්, හෙමටයිට් සහ මිනිරන් ඛනිජ වේ. මැග්නටයිට් සහ හෙමටයිට් යනු යකඩ ඔක්‌සයිඩ වේ. මැග්නටයිට් ඛනිජයට කාන්දම්වලට ආකර්ෂණය වීමේ සුවිශේෂී හැකියාව ඇති අතර, හෙමටයිට් එවැනි ගුණයක් පෙන්වන්නේ නැත. මැග්නටයිට් ප්‍රාථමිකව බිහි වන ඛනිජයක් වන අතර හෙමටයිට් බොහෝ විට බිහි වන්නේ ජීර්ණයේ ප්‍රතිඵලයක් ලෙස ද්විතීයික ව ය. වැස්‌සකට පසු ජලය ගලා ගිය මාර්ගයේ සමහර ස්‌ථානවල කළු පැහැති වැල්ලක් ඔබ දැක ඇති බවට නොඅනුමාන ය. කාන්දම් කැබැල්ලක් ගෙන එම වැල්ලට ආසන්නයේ ඉහළින් රඳවා තැබීමේ දී එයට ආකර්ෂණය වන යම් කළු වැල්ලක් ද වෙයි ද එය මැග්නටයිට්‌වලින් සමන්විත වේ. එහෙත් සමහර කළු පැහැති වැලි එසේ ආකර්ෂණය නො වේ. ඒවා බොහෝ විට මිනිරන් හෝ බයෝටයිට් නම් වූ මයිකා (නැත හොත් තලාතු මිනිරන්) වේ. මේ දෙකෙන් මිනිරන් හඳුනාගැනීම ඉතා පහසු වේ. කළු පැහැය අතෙහි හෝ සුදු පැහැති කඩදාසියක තැවරෙන්නේ නම් ඒ මිනිරන් වේ.
පොත්ගුල් ලෙනෙහි විසූ ආදිවාසීන් විසින් මෙවැනි වර්ණ ඇති කරන ඛනිජ භාවිත කරන ලද්දේ කුමක් සඳහා දැයි විමසා බැලීමේ දී ඒ යම් යම් සංකේත මගින් අදහස් හුවමාරු කරගැනීමට ද, එමෙන් ම ඔවුන් ගේ යාතු කර්මවල දී හිස් කබල් ආදිය පැහැ ගැන්වීමට ද, තම තමන් ගේ ශරීර පැහැගැන්වීමට ද විය හැක. කෙසේ වෙතත් මේ ඛනිජ ගලක ඉලීමෙන් කදිමට පැහැයන් සාදාගත හැකි බව ඔවුන් දැන සිටීම ඇත්තට ම විස්‌මයජනක ය. විශේෂයෙන් ම රතු පැහැය සාදාගැනීමට මැග්නටයිට් හෝ හෙමටයිට්, වතුර බිඳක් දමා, ගලෙහි උරච්චි කළ යුතු ය. මේ රතු පැහැයට හේතු වන්නේ එහි රසායනය යකඩ ඔක්‌සයිඩය ලෙස පැවතීමයි. පුරාවිද්‍යාඥයන් "රතු ගුරුගල්" ලෙස හදුන්වන්නේ ද යකඩ ඔක්‌සයිඩය අඩංගු අර්ධ ලෙස ජීර්ණය වූ පාෂාණ කැබැලි ය. එහි බොහෝ විට වැඩි ප්‍රමාණයක් කෙයෝලින් නම් වූ මැට්‌ට පවතී. එනිසා ඉතා පහසුවෙන් තවත් යමක් මත තැවරිය හැකි ය.
ලෝකය බිහි වීමේ දී ද පළමුව මුහුදු පත්ලෙහි අවසාදනය වූ ලෝහ ඛනිජය වන්නේ ද යකඩයි. සාගර සූපයේ මුලින් ම වූ රසායනයන් ගේ එක් සංඝටකයක් වන්නේ "මූලද්‍රව්‍ය යකඩ" ය. ඔක්‌සිජන් රහිත එනම් ඔක්‌සිජනීහෘත තත්ත්ව යටතේ වූ පෘථිවියෙහි මූලික ජීවින් තම ආහාර නිෂ්පාදනය කරගත්තේ රසාසංශ්ලේෂණයෙනි. එහෙත් කලක දී ප්‍රභාසංශ්ලේෂකයන් බිහි වී වායුගෝලයට ඔක්‌සිජන් මුදාහරින්නට විය. එහෙත් මුදා හළ මේ ඔක්‌සිජන් සියල්ල මූලද්‍රව්‍ය යකඩ ඔක්‌සිකරණයට වැය වූ අතර යකඩ ඔක්‌සයිඩ ලෙස මේවා මුහුදු පතුලේ අනෙකුත් අවසාදිතත් සමග තැන්පත් වී රතු පැහැති Ñ"ස්‌ථරමය යකඩ නිධි" සාදන ලදි. සාගරයේ වූ සියලු ම යකඩ ඔක්‌සිකරණය වීමෙන් අනතුරුව වායුගෝලයට ඔක්‌සිජන් එක් වන්නට විය. එය පෘථිවියෙහි සිදු වූ මහා වෙනසක මූලාරම්භය විය. තැන්පත් වූ යකඩ ඔක්‌සයිඩ සහිත අවසාදිත පසු කාලීනව විපරීතකරණයෙන් යකඩ අඩංගු ඛනිජ සහිත පාෂාණ බවට පත් වූ අතර සමහර මහාද්වීපවල අද ද එම පාෂාණ දැකිය හැකි වේ. ශ්‍රී ලාංකේය භුමි භාගය ද සමන්විත වන්නේ ප්‍රොaටෙරෝසොයික් යුගයේ ඇති වූ ලොව පැරැණි ම පාෂාණ තට්‌ටුවකින් බැවින් සමහර විටෙක එලෙස ඇති වූ යකඩ ඛනිජ සහිත පාෂාණ හමු වීමේ සම්භාවිතාවක් නැත්තේ නො වේ. මේ සඳහා වූ පර්යේෂණ කෙරෙහි යොමු වීමට භූ විද්‍යාඥයන් හට තවමත් අවකාශය පවතී.
ඉහත සඳහන් කළ යකඩ අඩංගු ඛනිජ දෙකට අමතරව යකඩ අඩංගු තවත් ඛනිජ සමූහයක් ලංකාවේ පාෂාණවල පවතී. එහෙත් මේ ඛනිජ දෙකෙහි යකඩ ප්‍රතිශතය ඉතා වැඩි ය. අනෙකුත් ඛනිජවල යකඩ පවතින්නේ සාපේක්‌ෂව සුළු වශයෙනි. එහෙත් මේ ඛනිජ ජීර්ණයේ දී ද්‍රdව්‍ය කැටායන දිය වී ඉවත් වන අතර, යකඩ වැනි කැටායන ඔක්‌සිකරණය වී ඉතිරි වේ. එය ක්‍රමයෙන් ද්විතීයික යකඩ නිධි නිර්මාණය සදහා හේතු වේ. වර්ෂා ජලයෙන් සේදී යන යකඩ ඔක්‌සයිඩ කුඩා වැලි අංශු වල රැඳී ගෝලාකාරව අවසාදනය වන අතර මෙමගින් හෙමටයිට් බොරැල්ල නිර්මාණය කරයි. මේ නිසා අප රටෙහි වැඩිපුර ම දක්‌නට ලැබෙන යකඩ අඩංගු ඛනිජය වන්නේ හෙමටයිට් ඛනිජයයි. මෙයට අමතරව ජලයේ ද්‍රdව්‍ය යකඩ ඛනිජය වන්නේ ගොතයිට් ය. වර්ෂාපතනය අධිකව මෙන්ම සූර්යතාපය අධිකව ද ලැබෙන මෙරට තෙත් කලාපයේ හෙමටයිට් සහ ගොතයිට් සහිත නිධි සකස් වන අතර ඒවා ලැටරයිට් නැත හොත් කබොක් ලෙස හැඳින්වේ. කබොක් ඉතා සුසිනිදු වන අතර ඉතා පහසුවෙන් කුට්‌ටි කරගැනීමේ හැකියාව ලැබී ඇත. එනිසා ම තෙත් කලාපයේ එක කලක දී ගෙවල් තැනීම සඳහා බහුලව භාවිත කර ඇත.
ශ්‍රී ලංකාව ඉපැරැණි යකඩ තාක්‌ෂණය සදහා ලෝකයේ නම් දැරූ රටෙකි. පුරාවිද්‍යා පර්යේෂණ තුළින් ද මේ බව කදිමට ඔප්පු වී ඇත. එසේ නම් යකඩ නිස්‌සාරණය සඳහා යොදාගන්නට ඇත්තේ කවර නම් ඛනිජයක් දැයි ඔබට සිතිය හැකි ද? දැනට හමු වී ඇති සහ විස්‌තර කර ඇති පර්යේෂණවලින් පැහැදිලි වන්නේ ඉතා බහුලව රටෙහි සැම ප්‍රදේශයක ම යකඩ නිස්‌සාරණය කර ඇති බවයි. මැග්නටයිට් ඛනිජය රටෙහි සැම තැනක ම හමු වුවත් යකඩ නිස්‌සාරණය සදහා ලබාගත හැකි ලෙස නිධිගත වී නොමැති බව භූ විද්‍යාත්මක පර්යේෂණවලින් හෙළි වී තිබේ. එනිසා අප ගේ ඊළඟ අවධානය යොමු වන්නේ හෙමටයිට්‌වලට ය. මෙරට යකඩ නිස්‌සාරණ තාක්‌ෂණයේ වතගොත ද පිරික්‌සීමෙන් පෙනී යන්නේ හෙමටයිට් සහිත නිධි යපස් ලෙස යොදාගෙන ඇති බවයි. ඉතා පහසුවෙන් ලබා ගත හැකි වීම ද, රටෙහි සැම තැනක ම පැතිරී පැවතීම ද යන කරුණු සැලකිල්ලට ගෙන මෙරටෙහි ඉපැරැණි මිනිසුන් හෙමටයිට අතහැර මැග්නටයිට් වෙත යොමු නො වනු ඇති බවයි මගේ හැඟීම.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ