Monday, 1 July 2019

විදුපත් ඉරුව
22.06.2016

PET Scan යන්ත්‍රය මිල දී ගන්නට වුවමනාවටත් වඩා ධන පරිත්‍යාග ලද බව දැනගැනීම අප ඉතා සතුටට පත් කරන්නකි. දනට පිනට හිතැති බෞද්ධ සංස්‌කෘතියෙන් සුපෝෂිත මෙරට අපට එය පුදුම විය යුතු කරුණක්‌ නො වන අතර ම වර්තමාන රාජ්‍ය පරිපාලනයෙන් මහජනතාවට දක්‌වන කුඩම්මා ගේ සැලකිලි හමුවේ මෙය මහජනතාව ලබා දුන් ඉතා ආදර්ශවත් ප්‍රතිචාරයක්‌ බව කිව යුතු ය. එය එක්‌තරා ආකාරයකට රාජ්‍ය පරිපාලනයට ගැසූ තදබල කම්මුල් පහරකි. ආත්මාර්ථකාමී උඩඟු දේශපාලකයන් එළිපිට ම පෙන්වන කුහක බව කොපමණ දරුණු ද යන්න ඔබ අපට දැනගැනීමට සුපිරි වාහන මිල දී ගැනීම හමුවේ ඔවුන් දක්‌වන ප්‍රතිචාර ම ප්‍රමාණවත් ය. නාය යැම් හේතුවෙන් ද, ගංවතුර හේතුවෙන් ද මෙන්ම ඉතා අවාසනාවන්ත ලෙස සිදු වූ සාලාව කඳවුරේ පිපිරීම හේතුවෙන් ද රට වැසියන් කොටසක්‌ අවතැන් වී ඇත. මේ අවතැන් වීම් හමුවේ තම නිවාස අහිමි වීමෙන් උන්හිටි තැන් ගිලිහුණු ජනතාව අද බහුතරයක්‌ කඳවුරුවලට හිර වී ඇත. තමාට නිවසක්‌ ඉඩමක්‌ කව දා හිමි වන්නේ ද යන්න ඔවුන් ගේ ප්‍රධාන ම ගැටලුවයි. තාවකාලිකව අවතැන් වූවන් ද පසු වන්නේ තම කටයුතු සාමාන්‍ය පරිදි සිදු කරන්නේ කවර දා දැයි ඇඟිලි ගනිමිනි. අප සැවොම තේරුම්ගත යුත්තේ මේවා සියල්ල ඔවුන් ගේ දැවෙන ප්‍රශ්න බවයි. විගසින් එම ප්‍රශ්න විසඳිය යුතු බවයි.

එහෙත් ජනතාව ගේ ම කැමැත්තෙන් පාර්ලිමේන්තුවට යෑවූ ඇතැම් මැති ඇමැතිවරුන් මේ ව්‍යසන හමුවේ කිඹුල් කඳුළු වත් නො හෙළන බව ඔවුන් ගේ ක්‍රියා කලාපවලින් කදිමට පැහැදිලි වෙයි. තම අසල්වැසියන් කරදරයක වැටුණු විට, අකරතැබ්බයක්‌ සිදු වූ විට සතුටු වන අයෙක්‌ නම් නැත. එමගින් ලකුණු දමා ගන්නා බොර දියේ මාළු බාන අයෙක්‌ නම් නැත. එහෙත් වර්තමාන කුහක දේශපාලකයන් නම් එසේ ම ය. රටක ආදර්ශවත් විය යුතු ජනතා නායකත්වය මෙසේ "පිස්‌සු කෙළිද්දී" ජනතාව සහනය බලාපොරොත්තු වන්නේ කා ගෙන් දැයි යන්න ප්‍රශ්නයකි. සැබෑ ජනතා නායකත්වයක්‌ වෙයි නම් මේ වන විටත් PET Scan යන්ත්‍රය වැනි දැවෙන අවශ්‍යතා වෙනුවෙන් සුඛෝපභෝගී වාහන සදහා වෙන් කළ මුදල කැප කර හමාර ය. එහෙත් කරුමෙක මහතෘ එසේ වී නැත. එසේ වන්නේ ද නැත. බලාපොරොත්තු ද විය නොහැකි ය.

විටෙක මෙය ආයතනික මට්‌ටමින් ද දැකිය හැකි ය. තමා යටතේ සේවය කරන සේවකයන් ගේ සුබසාධනය ඉතා වැදගත් ය. ආයතනය රැඳී පවත්නේ එම සේවකයන් හේතුවෙනි. සේවකයන් සතුටින් පසු වීම ආයතනයේ දියුණුවට හේතු වන බව අමුතුවෙන් පැවසිය යුතු නො වේ. ආයතනවල බොහොමයක්‌ නායකත්වයන් තම සේවකයන් ගේ සිත් රිදවීමට බොහෝ සමත් ය. ඔවුහු තම සේවකයන් ගේ ගැටලුවලට කන් නො දෙන්නෝ ය. අදහස්‌වලට ගරු නො කරන්නෝ ය. තම ආයතනයේ දියුණුව උදෙසා කැප කිරීම් කරන සේවකයන් ගේ අදහස්‌වලට කන් නො දෙන නායකත්වය දුර්වල ය, ළපටි ය. ඉහළ නිලධාරීන් නිසා ද ආයතනයේ වෙනත් ගැටලු නිසා ද මංමුළා වන නායකත්වය තමාට දරාගන්නට වන පීඩනය පහ කරන්නේ තම පහළ නිලධාරීන්ට බැන වැදීමෙනි. නැත හොත් අපහාස කිරීමෙනි. එය බොහෝ විට ඔවුන් නොදැනුවත් ව කරන්නකි. මේ හේතුවෙන් ඉතා හොඳින් වැඩ කරන සේවකයෝ ඉතා ඉක්‌මනින් ආයතනික නායකත්වය කෙරෙහි කලකිරෙතිs. එනිසා ම ඔවුහු එම ආයතනයෙන් ඉවත් ව වෙනත් ආයතනයක සේවයට යති.

පරිණත නායකත්වය ගැඹුරු ජලය මෙනි. නො කැලතෙයි. සියල්ලට ම සාවධානව ඇහුම්කන් දෙයි. වටහාගනී. තම සේවකයන් ගේ ගැටලු ක්‌ෂණිකව හඳුනාගනී. සුදුසු තීරණ නිසි කල පැමිණි විට ගනී. ක්‍රියාත්මක කරයි. ඔහු හා ආයතනයේ සියල්ල හිතවත් ය. එහෙත් වරද හමුවේ දඬුවම් කරයි. වරද වටහා දෙයි. එවැනි නායකත්වයක්‌ හා වැඩ කිරීම පහසු ය. එහෙත් වත්මනේ බොහෝ නායකත්වයන් සේවකයන් නොමග යවනසුලු ය. ශ්‍රමය සූරාගැනීම හැර වෙන යමක්‌ ගැන නො සිතයි. තීන්දු තීරණ ගැනීමේ දී සේවකයන් ගේ උපකාරය නො පතයි. නායකත්වය නිසා ඔළුව උදුම්මාගන්නා නිලධරයන් නිසා ආයතන ක්‍රමයෙන් දුර්වල වෙයි.

සුබවාදී නායකත්වය හේතුවෙන් සේවක මනස සන්සුන් වෙයි, ක්‍රියාශීලී වෙයි. එනිසා ම සේවය කරන පරිසරය යහපත් වෙයි. මේ තත්ත්වයන් නිර්මාණය වීම වර්තමාන විද්‍යාවෙන් ද සොයාගෙන ඇති අතර බුදු දහමේ ද සදහන් වෙයි. මේ වර්ධනය සමාජයේ කුඩා ම ඒකකය වන පවුල් සංස්‌ථාවට ද අදාළ ය. පියා හෝ මව හෝ පවුලේ මූලිකත්වය ගත යුතු ම ය. නැත හොත් දරුවන් නිසි පරිදි සමාජගත කළ නොහැකි ය. ඇත්තෙන් ම අනාගතය යහපත් කිරීම පටන්ගත යුත්තේ ද මෙතැනින් ම ය. නිසි හික්‌මවීම, සමාජශීලී භාවය, අන්‍යයන්ට ගරු කිරීම, වගකීම් සහිත බව යනාදී බොහෝ කරුණු කාරණා ළමා මනසට කාවැද්දිය හැක්‌කේ ගෙදරින් ම ය. වැඩිහිටියන් ගේ සුබවාදී ආදර්ශවත් බව දරුවන් සැම විට ම යහමගට ගෙන යයි. යහපත් අනාගතයක්‌ නිර්මාණය වන්නේ එවිට ය. ගැටලුවක දී දරුවනට බැන වැදීමෙන් ඔවුන් මංමුළා වන අතර නිවැරැදි තීරණ ගැනීමේ දී පසුබෑමක්‌ ඇති කරයි. පසු කාලීනව විවිධාකාර මානසික ව්‍යාකුලතාවන් ගෙන් යුක්‌ත වූ මිනිසුන් සමාජයට බිහි කරන්නේ කුඩා කල ම දරුවන් ගේ හිත් තලා දැමීමෙනි.

යහපත් මවුපියන් ගේ රැකවරණයෙන් ඉතා හොඳ සමාජයට වැඩදායි මිනිසුන් බිහි වන බව අමුතුවෙන් කිව යුත්තක්‌ නො වේ. ආයතනයට ද මෙය අදාළ ය. නායකත්වය යහපත් වන විට සේවක මඩුල්ල ඉතා හොඳින් සේවයේ නිරත වෙයි. එනිසා ආයතනය දිනෙන් දින ම දියුණු වෙයි. රටකට ද මෙය ම ය. අඳබාලයන් තෝරන්නේ සමාජයට අහිතකර නායකයන් වන අතර හොඳ මිනිසුන් බහුල කල රටක නායකත්වයට පත් වන්නේ හොඳ අයෙකි. පරිසරය සුබවාදී වීම රටක්‌, ආයතනයක්‌ මෙන්ම පවුලක්‌ සමෘද්ධිමත් කරන අතර වගකිව හැකි ආරක්‌ෂාකාරී සමාජයක්‌ බිහි කරයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත්ඉරුව
08.06.2016

"යා දෙත නොරත රත - සමග පෑහීමක්‌ නැත" යෑයි අපේ මුතුන් මිත්තන් පැවසුවේ යමක ඇති නො ගැළපීම පැවසීමට ය. "බානේ බැන්ද එළ හරකා ගොඩට අදිනා හෙයින් ද ඊට නොදෙවෙනි ව මී හරකා මඩට අදිනා හෙයින් ද හානා හීයක්‌ නැත්තේ ය, ඒ හෙයින් මඩ තැබූ නියර ම රැහෙන්නා සේ ය" යන්නෙන් ද පැහැදිලි වන්නේ එය ම ය. ඒ නො ගැළපීම නිසා සිදු වන අනර්ථයක්‌ බව සක්‌ සුදක්‌ සේ පැහැදිලි වන සත්‍යයකි. ස්‌වාභාවික සංසිද්ධියක්‌ හේතු කොටගෙන මෙවර සිදු වූ නාය යැම් ව්‍යසනය ද මීට නිදසුන් සපයයි.

පෙර සතියේ මා කී පරිදි ම තවමත් නාය යැම් පරීක්‌ෂා කිරීමේ නියුතු වන්නට අපට සිදු වී තිබේ. විශේෂයෙන් ම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ බොහෝ ස්‌ථාන නාය යැමේ අවදානමේ ඇති බැවිනි, අනෙකුත් ප්‍රදේශවල මෙන් ඉතා විගසින් පරීක්‌ෂණ කටයුතු නිම කළ නොහැකි තත්ත්වයක්‌ උද්ගත වී ඇත්තේ. මෙලෙස මෙතරම් ම ප්‍රමාණයක්‌ වූ ස්‌ථානවලට නාය යැමේ ප්‍රවණතා ඇති වන්නට හේතු වී ඇත්තේ කවරක්‌ ද? පසුගිය දෙසතිය තුළ මා සිදු කළ නිරීක්‌ෂණවල දී තහවුරු වූ එක දෙයක්‌ ඇත. එය නම් නාය යැම සදහා කෙතරම් සාධක බලපෑව ද භූමි පරිහරණ රටාවේ සිදු වී ඇති වෙනස මේ සදහා ප්‍රබල ව බලපා ඇති බවයි. මා නිරීක්‌ෂණයට භාජන කළ බොහොමයක්‌ ස්‌ථාන කුමන හෝ හේතුවක්‌ නිසා එළිපෙහෙළි කළ තැන් වන අතර ඒ බොහොමයක්‌ ස්‌ථාන එලෙස එළිපෙහෙළි කර ඇත්තේ තේ වගාව සදහා වීම අතිශය සැලකිල්ලට බඳුන් විය යුතු කරුණකි. ඒ අතර රබර් වගාව, කුරුදු වගාව පමණක්‌ නො ව අලුතින් මාර්ග තැනීම, නිවාස ඉදිකිරීම වැනි සංවර්ධන කටයුතු ද වේ.

කෙසේ වෙතත් මෙලෙස බෝග වගාව සදහා සිදු කර ඇති භුමියෙහි වෙනස්‌කම්, ආනතිය ඉතා අධික බෑවුමකට, හෙලකට හෝ කන්දකට ඉතා තද වර්ෂාපතනයක්‌ මධ්‍යයේ දරාගත නොහැකි ය. නිරාවරණය වූ භූමියේ පසට උරාගන්නා අධික ජලය මගින් ඇති කෙරෙන පීඩනය, පස්‌ අංශුවල බන්ධනයන් ලිහිල් කිරීම සහ පසෙහි බර වැඩි කිරීම කෙතරම් ප්‍රබල ලෙස සිදු කර ඇත් දැයි නාය ගිය සහ නාය යැමේ ලක්‌ෂණ පෙන්නුම් කළ බොහෝ ස්‌ථාන නිරීක්‌ෂණයෙන් දත හැකි ය. මේ වගා කටයුතුවල දී සිදු වී ඇති ප්‍රධාන ම දුර්වලතාව නම් ක්‍රමානුකුල බවක්‌ නොමැති වීම සහ එක්‌ එක්‌ භූමි අතර අන්තර් සම්බන්ධතාවක්‌ ඇති නො වීමයි. ඒ සදහා හේතු වන්නේ කුඩා පරිමාණයේ තේ වගාවන් සිදු වීම සහ එය ප්‍රචලිත කිරීම බව අමුතුවෙන් වටහාගැනීම අනවශ්‍ය ය. මහා පරිමාණයේ බෝග වගාවක දී දැකිය හැකි ක්‍රමවත් කානු පද්ධතියක්‌ නොමැති වීම, ගල් වැටි නොමැති වීම වැනි හේතු ද පස ආරක්‌ෂා කරන යටි වගාවක්‌ නොමැති වීම සහ එළි කිරීම නිසා නිරන්තරයෙන් ම පසට හානි පැමිණීම වැනි කරුණු මේ නිරීක්‌ෂණ කටයුතුවල දී පැහැදිලි වූ ලක්‌ෂණයන් ය.

ආර්ථික සංවර්ධනය උදෙසා සිදු කෙරුණ මෙවැනි බෝග වගා ප්‍රචලිතය මා දකිනා පරිදි කඳුකරයට නො ගැළපෙන්නේ ම ය. කඳුකරය යනු ඉතා සංවේදී කලාපයක්‌ වේ. කඳුකරයේ බෝග වගාව හේතුවෙන් උපයාගන්නා වූ මුදල වසර ගණනාවකට පසු ඇති වන මෙවැනි එක්‌ නාය යැම් ව්‍යසනයකින් ගිල දමන්නට හැකි බව ඔබට පැහැදිලි වනු ඇත. මා මුලින් පැවසූ නො ගැළපීම මතු වන්නේ මෙතැන ය. සංවේදී කඳුකරයේ භුමි පරිහරණය ඉතා පරෙස්‌සමෙන් කළ යුතු ය. අර්ථික බෝග වගාව සදහා කඳුකරය භාවිත කරන්නේ නම් පස සංරක්‌ෂණය සහ පස තුළ ජල පාලනය අංක එකට සලකා බැලිය යුතු ය. එලෙස කළ හැකි බෝග පමණක්‌ මෙහි දී භාවිත කළ යුතු ය. නො ගැළපෙන බෝග පමණක්‌ නො ව ගැළපෙන බෝග වුව ද නො ගැළපෙන ලෙස සිටුවන්නේ නම් එය නාය යැම් සදහා අත වනන්නක්‌ බව ඔබට වැටහෙනු ඇත. බොහොමයක්‌ කඳුකර ස්‌ථානවල පහළ පවතින්නේ මානව ජනාවාස ය. තම නිවසට ඉහළින් වූ භුමිය අපරීක්‌ෂාකාරී ලෙස පරිහරණය කරන්නේ නම් ඔබට ඔබ ගේ ජීවිතය

රැකගැනීමේ අවස්‌ථාව අහිමි කරන බව ඔබ තදින් ම සිත්හි තබාගත යුතු ය. ජීවිතය අනතුරට හෙළා ලබාගන්නා ආර්ථික සංවර්ධනය නම් කුමකට ද යන්න ඔබට වැටහිය යුතු ය.

අධිරාජ්‍ය යුගයේ දී කඳුකරයේ ආර්ථික බෝග වගාව සදහා සිදු කළ වෙනස්‌කම් යම් තාක්‌ දුරකට සමනය කර ඇත්තේ කඳුකර භුමියේ ක්‍රමවත් කානු පද්ධතිය සහ පාංශු සංරක්‌ෂණ ක්‍රමවේදයන් ගෙනි. එහෙත් වර්තමානයේ නිරන්තරව ම සිදු විය යුතු පාලනය ගිලිහී යැමට තවත් එක්‌ හේතුවක්‌ වන්නේ පෞද්ගලික අංශය වෙත එම වතු පැවරීම ය. ලාබය පමණක්‌ ම සලකා සිදු කළ යුතු අනිවාර්ය භුමි සංවර්ධන කටයුතු නො කිරීම ද කඳුකරයේ නාය යැම් සදහා හේතු වී ඇති බව පැහැදිලි වන කරුණකි.

මේ අතර සිහි තබාගත යුතු තවත් කාරණයක්‌ වෙයි. එය නම් සුදුසු කල්හි බෝග වගාව සිදු කිරීමයි. පස නිරාවරණය වන සේ එළිපෙහෙළි කළ භුමි වර්ෂා කාලය වන තෙක්‌ පැවතීම ද ගැටලුසහගත ය. පැරැන්නන් තම සාම්ප්‍රදායික වගා කටයුතු සදහා නිසි කාලය තෝරාගත්තේ පාරම්පරික දැනුමෙනි. එහෙත් තේ, රබර් හා කුරුඳු වැනි බෝග එලෙස නො වේ. මේ සදහා දැන් දැන් විද්‍යාත්මක ක්‍රමවේද භාවිත කළ ද භූ විෂමතාව පරිහරණය කළ යුත්තේ කෙලෙස දැයි තවමත් නිසි පරිදි අධ්‍යයනය වී නොමැති බව පෙනී යයි.

කඳුකරය ආරක්‌ෂා කරගැනීම ද බෝග වගාවෙන් ලබන ආර්ථික සංවර්ධනය ද එළ හරකා සහ මී හරකා ගේ ක්‍රියාව මෙන් වුව හොත් සිදු වන්නේ මේ ආකාරයට නාය යැම් තව තව වර්ධනය වීමයි. එනිසා මේ ෙéත්‍රය එකිනෙක මනා ලෙස සම්බන්ධ විය යුතු ය. තිරසාර බව පවත්වාගැනීම කෙරෙහි අවධානය යොමු විය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...