02.03.2018.
කෙනකුට "උතුර දකුණ" මාරු වන්නේ හොඳකට නම් නො වේ. එකවර මුළු ලෝකයට ම උතුර දකුණ මාරු වුව හොත් කුමක් සිදු වේ ද? ඇත්තට ම ඔබ ඒ ගැන කුමක් සිතන්නේ ද? ඒ ගැන ඔබ කුමක් සිතුවත් එකවර මුළු ලෝකයට ම උතුර දකුණු මාරු විය හැකි වීම සත්‍යයක් බව නම් මේ වන විට විද්‍යාඥයන් සොයාගෙන අවසන්. ඇත්තට ම මෙහි දී සදහන් කෙරෙන "උතුර දකුණ" වන්නේ චුම්බක උතුර දකුණ මිස වෙන කිසිවක් නො වේ.
පවතින චුම්බක උතුර, දකුණ වී, පවතින චුම්බක දකුණ, උතුර වීම භූ විද්‍යා ලෝකය තුළ දී නම් අරුමයක් නො වේ. එයට හේතුව වන්නේ අතීතයේ බොහෝ වාර ගණනක් මේ පැති මාරුව සිදු වී ඇති බව වාර්තා වීමයි. භූ චුම්බක ක්‌ෂේත්‍රය මෙලෙස කණපිට පෙරළෙන්නේ මන්දැයි යන්න දැනගැනීමේ කුතුහලයක් ඔබට මේ වන විටත් ඇති වී ඇති බව නිසැක ය. ඔබට මෙයට පෙර වතාවක දී පෘථිවියේ හරස් කඩ කෙබඳු දැයි මා පහදා දී ඇත. රවුම් අලි පෙර ගෙඩියක අභ්‍යන්තර කොටස් පෘථිවියේ ප්‍රධාන ස්‌ථරවලට බොහෝ සමාන වේ. පිටතින් ම ඇත්තේ කබොල වන අතර ඇතුළතින් ම ඇත්තේ හරයයි. ඒ දෙක අතර ප්‍රාවරණය පිහිටයි. හරය ඉතා බර ලෝහවලින් සමන්විත වන අතර යකඩ සහ නිකල් නම් ලෝහවලින් එය සමන්විත වන බව සොයාගෙන ඇත. හරයේ මුල් ප්‍රදේශය අර්ධ ඝන තත්ත්වයේ පවතින අතර අභ්‍යන්තරයට යත් ම ඝන බවට පත් වේ. එනිසා හරය යම් දුරකට ගතික බවකින් යුක්‌ත වේ.
ඔබ විද්‍යාගාරයේ දී විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රයක් ඇති කරගත් ආකාරය සිහියට නගාගන්න. තඹ කම්බි, යකඩ කූරක් වටා ඔතා දෙකෙළවරට විද්යුත් ධාරාවක් ලබා දීමෙන් චුම්බක ක්‌ෂේත්‍රයක් ඇති වන බව ද එය තඹ කම්බිය දෙසට ඇදී යන ඇණ හේතුවෙන් තහවුරු වන බව ද ඔබ අත්දැක ඇත. හරය අභ්‍යන්තරයේ ද මෙවැනි ම ක්‍රියාවලියක් සිදු වේ. ගතික හරයේ පවතින ද්‍රව යකඩ "ඩයිනමෝවක්" කැරකෙන ලෙස සංසරණය වීම නිසා විද්යුත් ධාරාවන් හටගන්නා අතර, එනිසා ම විද්යුත් චුම්බක ක්‌ෂේත්‍රයක් හටගනී. අර්ධ ඝන ද්‍රව්‍යයේ සංසරණ රටාව වෙනස් වීම උතුර දකුණ මාරු වීමට ප්‍රධාන ම හේතුව වේ.
භූ චුම්බක ප්‍රතිවර්තනය පිළිබඳව මුල්වරට අධ්‍යයන කටයුතු සිදු කර ඇත්තේ විසිවැනි ශතවර්ෂයේ මුල් භාගයේ වන අතර එහි දී ඔවුන් ආග්නේය පාෂාණ තැන්පත් වී ඇති රටාවෙහි ප්‍රතිවිරුද්ධතාවක් නිරීක්‌ෂණය කර ඇත. විශේෂයෙන් ම සාගර පතුල විස්‌තාරණය වන ප්‍රදේශවල භූ අභ්‍යන්තරයෙන් ගෙන එන ද්‍රව මැග්මා ඝනීභවනය වී තැන්පත් වන්නේ තත්කාලයේ පවතින භු චුම්බක රටාවට අනුව ය. එනිසා මධ්‍ය සාගරික කඳු වැටියේ දෙපසින් තැන්පත් වන සෑම මැග්මා (ලාවා) පෙදියක් ම පවතින රටාව අනුගමනය කරයි. ප්‍රතිවර්තනය වන විට ද එම ප්‍රතිවර්තනය එනිසා ඉතා කදිමට මේ පාෂාණවල සටහන් වේ. එවිට ප්‍රතිවිරුද්ධ දිශානතීන්ට තැන්පත් වූ පාෂාණ පොදි ඇති වේ. මෙවැනි ක්‍රියාවලියක් මුලින් ම කාලනිර්ණයකට භාජන කරන ලද්දේ 1920 "මොන්ටෝරි මතුයාම" නැමති විද්‍යාඥයා විසිනි. මහාද්වීප ප්ලාවිතයත් සමග සබැදුණ මේ පර්යේෂණ හේතුවෙන් 1950 පමණ වන විට භූ චුම්බක ප්‍රතිවර්තනය යන්න හොඳින් පැහැදිලි කරගෙන තිබිණි.
සාමන්‍ය චුම්බක ක්‌ෂේත්‍රයේ දිශානතිය පවතින කාලය සහ ප්‍රතිවර්තනය වී කණපිට පෙරළුණු කාලය ද අතර පරතරය වසර මිලියන 0.1 සිට 1 පමණ දක්‌වා කාලයක් වන බව මේ වන විට සොයාගෙන ඇත. ඒ අනුව සාමන්‍යය වන්නේ වසර 450,000 පමණ ය. බොහොමයක් ප්‍රතිවර්තන පැවැති කාල සීමාව වසර 1000ක් 10000ක් පමණ වේ. මැතක දී සිදු වූ ප්‍රතිවර්තනය සිදු වී ඇත්තේ මෙයින් වසර 41000කට පමණ පෙර අන්තිම ග්ලැසියර යුගයේ දී ය. එම ප්‍රතිවර්තනය වසර 440ක් පමණ තිබූ බව ගණනය කර ඇත. සමහර ප්‍රතිවර්තන ඉතා කුඩා කාලයකට සීමා වී ඇති බව ද මේ වන විට තහවුරු වී ඇත. "බ්රරන්චස්-මතුයාමා" නම් භූ චුම්බක ප්‍රතිවර්තනය මෙයට වසර 780000කට පමණ පෙර සිදු වී ඇත.
භූ චුම්බක ප්‍රතිවර්තනය කෙලෙස ජීවී ගෝලයට බලපාන්නේ ද යන්න අධ්‍යයනය ඉතා ම වැදගත් ය. තවමත් නිශ්චිතව තහවුරු නො වුවත් ජීවීන් සමූහ ලෙස වඳ වී යැමට මෙය හේතු වන බවට මතයක් පවතී. ප්‍රතිවර්තනය සිදු වන කාල සීමාවේ දී චුම්බක ක්‌ෂේත්‍රයේ බලය හීන වන බවට ද මතයක් පවතින අතර එනිසා වායුගෝලය තුළ අහිතකර කිරණවල බලපෑම වැඩි වන බවට විශ්වාස කෙරෙයි. එය කිසියම් ආකාරයකට ජාන විකෘත කරන්නට හේතු වන බවත් එනිසා නව විශේෂ බිහි කිරීමට හේතු වන බවත් විශ්වාස කෙරෙයි. කෙසේ වෙතත් විද්‍යාඥයන් පවසන ආකාරයට මේ ප්‍රතිවර්තනය සුවිශේෂී ක්‌ෂණික වෙනස්‌කම්වලට හේතු නො වන බව පෙනී යයි.
වර්තමානයේ චුම්බක උතුර පිහිටන්නේ ලෝකයේ ආර්ක්‌ටික් ප්‍රදේශයට ද, දකුණ පිහිටන්නේ ඇන්ටාර්ක්‌ටික් ප්‍රදේශයට ද දිශානුගතව ය. සත්‍ය උතුර හා අංශක 6ක පමණ වෙනසක් දක්‌ෂිණාවෘත ව ඇති අතර අප භාවිත කරන මාලිමාවේ සටහන් වන්නේ චුම්බක උතුර බව මතක තබාගත යුතු අතිශය වැදගත් කරුණකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ