Sunday, 30 June 2019

විදු පත්ඉරුව
01.06.2016

සෙනසුරදා දිනය බොහෝ අවිවේකී දිනයක්‌ වන්නේ මා ගේ පෞද්ගලික කටයුතු බොහොමයක්‌ සිදු කරගන්නට වන්නේ සති අන්තයේ බැවිනි. දහවල් වන විටත් බොහොම අපූරුවට ඉර පායා තිබූ බැවින් පසුගිය ඒ සති අන්තය (14 සහ 15) බලාපොරොත්තු සහගත එකක්‌ විය. එහෙත් හිටිවන ම හවස්‌ වන විට මහා වැසි ඇදහැළෙන්නට පටන්ගත් බැවින් රාජකාරිමය වගකීමක්‌ ද වන තත්කාලීන වර්ෂාපතන අගයන් නිරීක්‌ෂණයට මා යොමු වූයේ නිතැතින් ම ය. රාත්‍රිය වන විට වර්ෂාපතන සාරාංශ සටහන කහ වර්ණයෙන් යුක්‌ත වූයේ වෙන දාටත් වඩා අසාමාන්‍ය ලෙසිනි. පෙර දිනයේ දිස්‌ත්‍රික්‌ක තුනකට නාය යැම් අවදානම් පූර්ව අනතුරු ඇගවීම් නිකුත් කර තිබිණි. මහා වැසි ඇදහැළෙමින් තිබුණේ නියගයේ සාපය සෝදාහරින්නට මෙනි. එහෙයින් පසුගිය සතියට පෙර සතියේ විදුපත්ඉරුවට ද මේ වෙනස ගෙනෙන අහස ගැන ම ලිවිය යුතු යෑයි ඉටාගතිමි. සෙනසුරාදා රාත්‍රිය අවසන් වන තෙක්‌ ම වර්ෂාපතන නිරීක්‌ෂණයේ යෙදුණු මා නිදාගත්තේ පසු දාට පහන් වීමෙන් පසු ව ය.

කෙසේ වෙතත් වෙන දාටත් වඩා අලුයම මා පුබුදු කරවන ලද්දේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ මා සේවය කරන නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ අධ්‍යක්‌ෂ බණ්‌ඩාර මහතා ගේ ඇමතුම විසිනි. "ඩේන්ස්‌ වර්ත්" වත්තේ සිදු වූ නාය යැමකින් පුද්ගලයන් තිදෙනකු අතුරුදන් වී තිබිණි. මා කඩිනමින් පරිගණකය පණගැන්වූයේ තත්කාලීන වර්ෂාපතන අගයන් අධ්‍යනයට ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ස්‌වයංක්‍රීය වර්ෂාමානයන් සියයක්‌ පමණ නාය යැමේ අවදානම සහිත දිස්‌ත්‍රික්‌ක සියල්ලේ ම සවි කර තිබූ අතර එමගින් තත්කාලීන වර්ෂාපතන අගයන් එවෙලේ ම පරිගණකය මගින් නිරීක්‌ෂණය කළ හැකි විය. බොහොමයක්‌ ස්‌ථානවල කහ පැහැය, අනතුරු හැගවීමේ තැඹිලි පැහැය බවට පත් වූයේ වර්ෂාපතනය මිලිමීටර සියයේ සීමාව ඉක්‌මවූ බැවිනි. එම තත්ත්වය අප ඇත්තෙන් ම සසල කරවන්නක්‌ විය. බණ්‌ඩාර මහතා ගේ පරිණත නායකත්වය ද බහුල අත්දැකීම් ද තීන්දු තීරණ ගැනීමේ දී අපට මනා පිටිවහලක්‌ විය. එනිසා ම එදින දහවල වන විට දිස්‌ත්‍රික්‌ක හයක්‌ උදෙසා නාය යැම් පූර්ව අනතුරු ඇගවීම් අප විසින් නිකුත් කෙරිණි. මේ රාජකාරිය වෙනුවෙන් ඉරිදා උදෑසන සිට සවස්‌ වන තෙක්‌ ම මා හට පරිගණකය අත් නො හැර ම ඉන්නට සිදු විය. එදින රාත්‍රී දහය පසු වන විට දිස්‌ත්‍රික්‌ක නවයක නාය යැම් පූර්ව ඇගයීම් නිකුත් කරන්නට සිදු වූයේ පැවැති වර්ෂාපතනයේ ප්‍රබලතාව නිසා ම ය.

පසු දා කඩිනමින් නිවසින් පිටත් වූ මා සුපුරුදු ලෙස ආයතනයට පැමිණියේ උදෑසන 7.30 වන්නට ද මත්තෙනි. නැවතත් වර්ෂාපතන අගයන් නිරීක්‌ෂණයෙන් පැහැදිලි වූයේ ඇති වූ කුණාටු තත්ත්වය ඉතා ප්‍රබල එකක්‌ බවයි. කාලගුණ දෙපාර්තමේන්තුවේ පුරෝකථනයන්වලට අනුව කුණාටුවේ වැඩි ම බලපෑම ශ්‍රී ලංකාවේ දක්‌ෂිණ කොටසට වුව ද අප ගේ වර්ෂාපතන අගයන්හි හැසිරීම සහ ප්‍රාදේශීය කාර්යාලවලින් ලද තොරතුරු අනුව පෙනී ගියේ වැඩි ම වර්ෂාපතනයක්‌ ලැබෙමින් පවතින්නේ රටෙහි මධ්‍යම ප්‍රදේශයට බවයි. ඒ අනුව ඉහළ ජල පෝෂක ප්‍රදේශ සංතෘප්ත වන්නට වැඩි කාලයක්‌ ගත නො වනු ඇතැයි මට සිතිණි. නාය යැමේ ප්‍රවනතාව එන්න එන්න ම වැඩි වෙයි. ඊළග තර්ජනය ගංවතුර විය හැකි ය.

වැඩි කාලයක්‌ ගත වූයේ නැත. බුලත්කොහුපිටිය සහ කඩුගන්නාව ප්‍රදේශවල නාය යැම් සිදු විය. පුද්ගල මරණ වාර්තා විය. මේ අතර අරණායකින් දැවැන්ත ම නාය යැමේ අනතුර වාර්තා වූයේ අප සියල්ලන් ම ශෝචනීය තත්ත්වයකට පත් කරමිනි. තවත් බොහෝ ස්‌ථානවල විවිධ ප්‍රමාණයේ නාය යැමේ අනතුරු වාර්තා වූ අතර කොළඹ ප්‍රධාන කර්යාලයේ දුරකථනයට නිවනක්‌ නොමැති විය. නාය යැම් පර්යේෂණ සහ අවදානම් කළමනාකරණ අංශයේ සියල්ලෝ ම එක සීරුවට වෙහෙස වූ හ. මාධ්‍යයෙන් ද බේරුමක්‌ නොමැති විය.

සිකුරාදා (20) වන විට බොහෝ දේ සිදු වී තිබිණි. සබරගමුවේ නාය යැම් ද, කැලණි ගං මිටියාවතෙහි ගංවතුර තත්ත්වයන් ද ඇති විය. කෑගල්ල දිස්‌ත්‍රික්‌කය එම අනතුරු දෙකෙන් ම බොහෝ පීඩාවට පත් වූ බව තහවුරු වූ කරුණකි. ප්‍රාදේශීය පරිපාලන ව්‍යqහයන්හි නිලධාරීහු කඩිනමින් සහන සලසමින් ජනතාව ගේ පීඩාවන් සමනය කරන්නට අපමණ වෙහෙසක්‌ ගත් හ. සහන කඳවුරුවල ජනතාව රැස්‌වන්නට වූ අතර තවත් සමහරු දෙගිඩියාවෙන් හුන් තැන ම රැඳී සිටි බව පෙනිණි. එය නාය යැම් සිදු වූ සහ සිදු විය හැකි ස්‌ථාන තහවුරු කරගැනීම සඳහා අප ගේ සහාය අතිශයින් අත්‍යවශ්‍ය මොහොතක්‌ විය. අප සියල්ලන් ම සක්‍රියව කටයුතු ආරම්භ කර තිබිණි. මෙවර අඩු අවදානම් දිස්‌ත්‍රික්‌කවල භූ විද්‍යාඥයන් සබරගමුවට ඒ මොහොත වන විටත් පැමිණෙමින් තිබිණි.

කොළඹ සිsටි මා ගේ සේවය ප්‍රාදේශීයව ද අත්‍යවශ්‍ය බව අමුතුවෙන් වටහාගැනීමට අවශ්‍ය නො වී ය. සිකුරාදා උදෙන් ම පිටත් වූ මා දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ ප්‍රාදේශීය ලේකම් කපිල මහතා මුණගැසුණේ උදෑසන 6.30 වන්නට මත්තෙනි. එතැන් පටන් මේ සටහන තබන මොහොත දක්‌වා නො නවත්වා ම විමර්ශන කටයුතු සිදු කෙරෙමින් පැවතීම ම විටෙක මා විස්‌මයට පත් කරන්නකි. එතරම් ප්‍රමාණයක්‌ වූ ස්‌ථාන නාය යැමේ තර්ජනයට මුහුණ පා ඇති බව පැහැදිලි ය. (කාර්යබහුල බව හේතුවෙන් අවසානයේ පසුගිය සතියේ විදුපත්ඉරුව ද ලියා සම්පූර්ණ කරගන්නට නොහැකි විය).

මේ කර්තව්‍යයේ දී මහජනතාව ගෙන් ලද සහාය අපමණ ය. එපමණක්‌ නො ව ප්‍රාදේශීය පාලන තන්ත්‍රයේ නිලධරයන් ගෙන් ද විශේෂයෙන් ම ග්‍රාම නිලධාරී මහතතුන් ගෙන් සහ මහත්මියන් ගෙන් ලද සහාය විශිෂ්ට ය. මේ විමර්ශන කටයුතු කරන විට ජාතික ව්‍යසනයක දී ප්‍රමුඛතාව දිය යුත්තේ කුමකට ද යන්න තීරණය කළ යුතු විය. එනිසා ම ආත්මාර්ථකාමී ඉල්ලීම් බැහැර කරන්නට ද සැම විට ම සිදු විය. ඒ අතර ජනතාව ගේ බිය තුරන් කිරීම ද ඔවුන් ගේ ජීවිත අවදානමෙන් ඉවත් කිරීම ද අවධානයෙන් ඉටු කළ යුතු විය.

එහෙත් මේ ක්‍රියාවලිය ප්‍රාදේශීය දේශපාලඥයන් නිසා විටින් විට කඩා වැටෙන්නට විය. කොහෙන් හෝ දුරකථන අංකය සොයා ඇමතුම් ලබා දෙමින් ප්‍රමුඛතාව දිය යුතු කටයුතු කෙරෙන් අප බැහැර කරන්නට ඔවුන් තැත් කරන්නට සැම විට ම උත්සාහ කළ අතර එම තත්ත්වය වඩාත් ජුගුප්සාජනක වූයේ අප ඔවුන් ගේ ප්‍රදේශයට ගෙන්වූයේ ඔවුන් යෑයි ජනතාවට හැෙගන්නට ඉඩ හැරිය කල්හි ය. ඔවුන් සියල්ල බොර දියේ මාළු බාන්නන් බව ද කිඹුල් කදුළු හෙළන්නන් බව ද පසක්‌ වන්නට වැඩි කාලයක්‌ ගත වූයේ නැත.

නාය යැම් සම්බන්ධව බොහොමයක්‌ ජනතාව ගේ දැනුම් ඉතා හොඳ මට්‌ටමක්‌ තිබුණු බව මේ විමර්ශන කටයුතුවල දී මනාව පැහැදිලි විය. අප විසින් සිදු කරන ලද දැනුවත් කිරීම් ඵලදායි බව ඉන් වැටහිණි. එහෙත් සමහර ස්‌ථානවල දී එම තත්ත්වය සපුරා වෙනස්‌ විය. එවැනි ස්‌ථානවල දී සමහර පුද්ගලයන් බොරු බියක්‌ ඇති කරගෙන තිබූ අතර අනෙක්‌ අය ද එම තත්ත්වයට පත් කරමින් තිබිණි. ජනමාධ්‍යවලින් ලබා දෙන පණිවිඩ සහ දැනුවත් කිරීම් නිසි පරිදි ඔවුන් වටහාගෙන නො තිබූ අතර එය වඩාත් භයානක තත්ත්වයක්‌ නිර්මාණය කර තිබිණි. මේ සියල්ලන් ගෙන් ම ඉතා හොඳින් පැහැදිලි වන්නේ භූ විද්‍යාත්මක දැනුම සමාජගත කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක අවශ්‍යතාවයි. එය ඉදිරි කාලයේ දී "සමාජ භූ විද්‍යාව" ලෙස අප තුළින් ම මතු වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...