Saturday, 17 August 2019

විදුපත් ඉරුව
22.03.2017

අලින්ටත් ළමයින්ටත් නලියන්ට ම ය හිත. ඔවුනට එක ලෙස එක තැනක සිටින්නට නම් බැරි ය. ඒ වාගේ ම ඔවුන් ගේ දඟකාරකම් නො බලා ඉන්නට අපට ද කොහෙත් ම බැරි ය. ඔවුන් ඉතා විමසිලිමත් ය. පසුගිය දිනෙක එලෙස විමසිලිමත් වූ විදුසර කියවන දයාබර දැරියක්‌ ඉතා කදිම පැනයක්‌ මගෙන් විමසා සිටියා ය. ඒ අප ගේ ව්‍යවහාරයේ ඇති අලි ඇතුනට සම්බන්ධ උපහැරණයක සත්‍යතාව පිළිබඳව ය. යම්කිසි දෙයක ප්‍රතිඵල රහිත බව, හිස්‌, නිෂ්ඵල බව කියා සිටින්නට අවශ්‍ය වූ විටෙක අප හොඳින් දන්නා උපහැරණයක්‌ වන 'අලියා ගිල්ල දිවුල් ගෙඩිය වගේ' යෑයි අපි පවසමු. අප පැරැන්නන් පවසන පරිදි අලින් දිවුල් නො විකා ගෙඩි පිටින් ම ගිලින බැවින් ගෙඩියේ මදය අලි උදරයේ දී ජීර්ණය වීම නිසා පුහු දිවුල් අලි බෙටි සමග බැහැර වේ.

මේ කුඩා දැරිය මගෙන් විමසා සිටියේ මෙහි සත්‍යතාවයි. අප හොඳින් දන්නා පරිදි අලි ඇතුන් ශාක භක්‌ෂකයන් බැවින් විකා ගිලීම සඳහා කදිමට සකස්‌ වූ අපූරු දන්ත පද්ධතියක්‌ ඇත. ඒ සදහා සාක්‌ෂි දරන්නේ හොඳින් සකස්‌ වූ පුරශ්චාර්වක සහ චාර්වක දත් පන්තියයි. අලි මුඛයේ අගිස්‌සේ එලෙස සකස්‌ වූ යෝධ දත් තල්මහ ගේ දත්වලට වඩා විශාල ය. අලි මුඛයේ ඉදිරියට ඇදෙන දළවලට අමතරව වරක දී දත් 24ක්‌ පවතින බව සඳහන් වේ. පුර්ශ්චාර්වක 3ක්‌ ද, චාර්වක 3ක්‌ ද ලෙස එක්‌ පසෙක ඇති අතර දෙපස 12ක්‌ ද වේ. උඩු ඇන්දේ සහ යටි ඇන්දේ ඒ අනුව එකතුව 24 කි. දළය ලෙස වැඩෙන්නේ උඩු ඇන්දේ රදනක දතයි. නො නවතින ඝන ආහාර ඇඹරීම නිසා ළදරු අවධියේ සිට ම වයස යන තුරු ම වරින් වර සය වතාවක්‌ පමණ පැරැණි දත් වැටී අලුත් දත් ලැබීම කදිම සිදුවීමකි. මුඛයේ අගිස්‌සෙන් බිහි ව එළියට එන දත් ක්‍රමයෙන් ඇන්දේ ඉදිරියට තල්ලු වන අතර එයට පිටුපසින් නව දත් බිහි වන බව විද්‍යාඥයෝ පවසති. දත් ගෙවෙමින් ක්‍රමයෙන් ඉදිරියට යත් ම ඒවා ගැලවී වැටෙන අතර එයට පිටුපසින් වැඩෙන දත් එම ස්‌ථානය අත් කරගනී.

බර කිලෝග්රෑම් 150ක්‌ පමණ වූ ශාක කොටස්‌ දවසක දී පරිභෝජනය කරන්නට පෙලඹෙන මේ යෝධ සත්ත්වයා ළපටි කොළ අතු පමණක්‌ නො ව ගස්‌ කඳන්වල පොතු ද මුල් ද කා දමන බව සොයාගෙන ඇත. විශාල වපසරියක්‌ පුරා ඇවිදිමින් මෙපමණ ප්‍රමාණයක්‌ සෙමින් සෙමින් දිගු නහය ද පාදය ද අධාරයෙන් කඩා ගලවා ගුලි කර මුව තුළට ඔබාගන්නා අයුරු කදිම ය. කාෂ්ඨීය කොටස සමග ම මුව තුළට ඔබාගන්නා ශාකමය ද්‍රව්‍ය ඔවුන් ගේ දත්වල ඇඹරීමේ ක්‍රියාවලියෙන් ගැලවී මුව තුළට රිංගා යන්නට නම් කොහෙත් ම හැකියාවක්‌ ලැබෙන්නේ නැත.

අලි ඇත්තු පලතුරු කෑමට ද රුසියෝ ය. ශ්‍රී ලංකාවේ හමු වන බොහොමයක්‌ පලතුරුවලට ඔවුහු වගකියති. කෙසෙල්, අන්නාසි, කොමඩු වැනි පලතුරු පමණක්‌ නො ව උක්‌ ගස්‌ වැනි සීනි පිරුණ ආහාරවලට ඔවුහු ඉමහත් කැමැත්තක්‌ දක්‌වති. වියළි හෝ අර්ධ ශුෂ්ක කලාපයේ ඉන්නා අලි ඇතුන් ගේ ප්‍රියතම පලතුරක්‌ වන්නේ කාෂ්ඨීය ආවරණයකින් යුක්‌ත දිවුල් ය.

ජන ව්‍යවහාරයේ ඇති කියමනක්‌ වන 'වෙහෙර ගිල්ල එකාට අග්ගලාවත් කඡ්ජක්‌ දැ'යි අසන්නට සිතෙන්නේ මෙවන් අවස්‌ථාවක ය. එලෙස විසල් අතු සහ ශාක කොටස්‌ තම ආහාරය කරගන්නා අලි ඇතුන් ජීර්ණයේ පහසුව පිණිස කදිමට විකා ගිලිද්දී කුඩා දිවුල් ගෙඩිය පමණක්‌ නො විකා ගිලී දැයි ඔබට අසන්නට සිත් නො වන්නේ ද? අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ රටාව අනුව එලෙස වන්නට කිසි ම හේතුවක්‌ නො වන්නේ ය. අලි ඇතුන් ගේ ආහාර ජීර්ණ පද්ධතිය සකස්‌ වී ඇත්තේ ඉතා හොඳින් ඝන ආහාර ජීර්ණය වන පරිදි ය.

පුහු දිවුල් විවිධ කෘමි සතුන් ගේ ආක්‍රමණයන් නිසා හටගත හැකි ය. මේ පිළිබඳව නිශ්චිත කරුණු කාරණා ගොනු කරගැනීම ඔබට එතරම් අපහසුවක්‌ නො වනු ඇත. ඒ ඔබ ඉතා හොඳින් විමසිලිමත් වුව හොත් පමණකි. බොහෝ දේ පිළිබඳව දුටු පමණින් තීරණවලට එළඹීම එතරම් සුදුසු නො වේ. එලෙස කෘමි සතුන් ගේ ප්‍රහාරවලට නතු වූ දිවුල් ගෙඩියක්‌ අලින් ගේ මළපහ මතට වැටීම අප ගේ පුරාණ මුතුන් මිත්තන් නොමග යෑවුවා විය හැකි ය. කෙසේ වෙතත් යමකු කිවූ පමණින් ම විශ්වාස කිරීම ද කළ යුතු නො වේ.

විද්‍යා පර්යේෂණයක දී එක්‌ වරක්‌ ලබන ප්‍රතිඵල නැවත නැවතත් ලැබෙන්නේ නම් එමගින් හෙළි වන කරුණුවල සත්‍යතාව සදහා එය හේතු වන බව කිව යුතු ය. යමක්‌ පිළිබඳව, යම් පැහැදිලි කිරීමක්‌ පිළිබඳව, විශ්වාසය තැබිය හැක්‌කේ එවිට ය. යමකු යෝජනා කරන යම් දෙයක්‌, ක්‍රියාවලියක්‌ තවත් අයකුට අත්හදා බැලිය හැකි විය යුතු ය. බුදුන් දේශනා කර ඇති දහමේ ද කියා ඇත්තේ යමකු කිවූ පමණින් ම විශ්වාස නො කොට තමන් අත්විඳ එය තේරුම්ගන්නා ලෙස ය.

සංවර්ධනයේ කුරිරු බලපෑම්වලට නිරන්තරයෙන් ම භාජන වෙමින් තම පැවැත්ම ඉතා අසීරුවෙන් තහවුරු කරගැනීමට වෙහෙසන ශ්‍රී ලාංකේය අලි ඇතුන් ගේ ආරක්‌ෂාව පිළිබඳව නිසි පියවර නො ගන්නා බව දිනෙන් දින මරණයට පත් වන මේ යෝධයන් ගේ ප්‍රමාණය මොනවට පැහැදිලි කරයි. දිනෙන් දින හැකිළෙන තම නිජබිම් ක්‍රමයෙන් අහිමි වීම නිසා ගම් වදින මේ අහිංසකයන් දරුණු වී අපට හානි කරන්නේ මන්දැයි අප තේරුම්ගත යුතු ය. එසේ නො කොට ඔවුනට වෙඩි තබා ඝාතනය කිරීම, ලොව වෙසෙන බුද්ධිමතා ගේ යුතුකම නො වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...