Thursday, 13 June 2019

ශ්‍රී ලංකාවේ නාය ආපදාව සහ  අවදානම

13.06.2019

ශ්‍රී ලංකාවේ ආපදා සැලකූ විට නාය ආපදා මෙරට ජන ජිවිතයට ඉතා ප්‍රභල ලෙස බලපායි. එනිසාම එම තත්වය සලකා නාය අවදානම පවතින ප්‍රදේශ ලෙස දිස්ත්‍රික්ක 12 හඳුනාගෙන ඇති අතර අවිධිමත්ව සිදුකරන සංවර්ධන ක්‍රියා නිසා කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකද ඇතුලත් වේ. මෙරට නාය ආපදා වාර්තා වන්නේ වර්ෂා කාල වලදී ය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය ආපදා පිලිබඳ පර්යේෂණ සිදුකරන මෙරට පවතින ප්‍රධානම ආයතනය වේ.

නාය අවදානම් කලාප සිතියම්

නාය අවදානම් කලාප සිතියම් මගින් කඳුකරයේ නාය අවදානම ඇත්තාවූ ප්‍රදේශ හඳුනාගත හැකිය. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් මෙම සිතියම් නිර්මාණය කර ඇති අතර 1:50000 පරිමාණයෙන් ලබා ගත හැකි වේ. ඊට අමතරව 1;10000 සහ 1;5000 පරිමාණයේ සිතියම් නිර්මාණය කරමින් පවතින අතර  නාය අවදානම ඇති දිස්ත්‍රික්ක වල සමහර ප්‍රදේශ මේ වන විට ආවරණය කර ඇත.

මෙම සිතියම් නිර්මාණයේ දී විවිධ භූ සාධක (සාධක හයක්) සලකා බලා ඇති අතර එක් එක් සාධක සඳහා අගයන් ලබා දී අදාල ප්‍රදේශ සඳහා එම සාධක වල අගයන්ගේ එකතුව සලකා බැලේ. මෙම සාධක ලෙස පාෂාණ වර්ගය සහ ව්‍යුහයන්, පාංශු වර්ගය සහ එහි ඝනකම, ආනතිය, ජලවහන රටාව, භුමි පරිහරණ රටාව සහ කළමනාකරණය සහ භූ රූපණය මෙම සිතියම් නිර්මාණයේදී අධ්‍යනයට ලක් කෙරේ.

සාධකවල බලපෑම

නායයාම් ඇතිවීම කෙරෙහි පාෂාණ වර්ගය විවිධ ලෙස බලපායි. ඉතා පහසුවෙන් අධිකව ජීර්ණයට ලක්වන පාෂාණ නිසා ඉතා ඉක්මනින් පාංශු පැතිකඩවල්  නිර්මාණය වේ. විශේෂයෙන්ම පෙල්ඩ්ස්පාර් නම් ඛනිජය බහුලව ඇත්තාවූ පාෂාණ ජීර්ණයට ඉතා පහසුවෙන් ලක්වේ. එමෙන්ම ඉතා අධිකව පැලුම් ඇත්තාවූ පාෂාණ ද ඉතා පහසුවෙන් ජීර්ණයට ලක්වේ. ජීර්ණය සඳහා විශේෂයෙන්ම ජලය, වාතය (ඔක්සිජන්), තාපය සහ ජීවින් වැනි සාධක හේතුවන අතර මෙම සාධක ඉතා හොඳින් ලැබෙන නිවර්තන කලාපයේ පාෂාණ ජීර්ණ වේගය සාපේක්ෂව වැඩිය. එනිසාම පාංශු පැතිකඩ නිර්මාණය වන වේගය ද වැඩිය. ශ්‍රී ලංකාව සැලකු කල මෙනිසා එහි තෙත්කලාපයේ ඉතා හොඳින් වර්ධනය වූ ඝනකම් පස් තට්ටු දැකිය හැක.

පාෂාණ ජීර්ණය හේතුවෙන් ඇතිවන පස් තට්ටු "ස්ථානීය පස්" (Residual soil) ලෙස හඳුන්වන අතර,  කිසියම් හෝ හේතුවක් නිසා මෙම පස් තවත් ස්ථානයකට තල්ලු වී යා හැක.නැතහොත් ගසා ගෙන යා හැක. එලෙස නිර්මාණය වන්නේ අවසාදිත වන අතර සුළු දුරක් ගමන් කිරීමෙන් තැන්පත් වන අවසාදිත "සුන්පහන්" (Collovial sediment) ලෙස හැදින්වේ. නාය යෑම හේතුවෙන් නිම්න භුමි හෝ කඳුකර පාදාන්තයේ එක් රැස් වන්නේ මෙවැනි අවසාදිත වේ.

කඳුකරයේ ආනතිය මෙලෙස නිර්මාණය වන පස් සහ අවසාදිත කෙරෙහි බලපාන ආකාරය ඉතා තීරණාත්මක වේ. අධික ආනතියක් ඇත්තාවූ බැවුම් වල බොහෝ විට පාංශු ස්තර රැදෙන්නේ නැත. ඉතා ඉක්මනින් ඒවා පහලට රූරා වැටෙයි. නැතහොත් පහසුවෙන් ඛාදනයට ලක් වෙයි. බෑවුමේ ආනතිය මධ්‍යම අගයක ඇතිවිට (30-60 වැනි) ඝනකම් පස් තට්ටු එම ආනත බෑවුමේ ටික කලක් රැදෙන්නට හේතුවෙයි. නමුත් කලක් ගත වීමේදී පාංශු ඝනකම වැඩිවත්ම බරද වැඩිවන හෙයින් ඉතා පහසුවෙන් එතනින් මිදී පහලට රූරා යයි. නාය යාමක්  ලෙස හඳුන්වන්නේ මෙයයි. මෙම ක්‍රියාදාමය අතිශය ස්වභාවික වේ. වායුගෝලයට නිරාවරණය වන ඕනෑම දෙයක ජීර්ණය නම් වූ ස්වභාවික ක්‍රියාදාමයට නතු වේ. පාෂාණ ජීර්ණය සහ පාංශු නිර්මාණය එලෙසම ස්වභාවික වූ ක්‍රියාදාමයන් වේ. ස්වභාවික තත්ත්ව යටතේ මෙම භූ ක්‍රියාකාරකම නවතාලිය හැකි නොවේ.

ස්වභාවික වන වැස්ම දෙආකාරයකින් නාය යාම් සඳහා බලපායි. සමහර ශාක වර්ග වල මුල් පද්ධති වල ක්‍රියාකාරකම් නිසා පාංශු අංශු ඉතා හොඳින් ග්‍රහණය කර ගනිමින් පාංශු තට්ටු බඳවා රඳවා තබා ගනී. එමෙන්ම පාංශු ජලය උරා ඉක්මනින් වාශිපීකර්ණයට  ලක් කර භුමිය වේලීමෙන් ද ජලයෙන් වන හානිය අවම කරයි. නමුත් ශක සන්තතිය වර්ධනය වත්ම එම පද්ධතියේ බර වැඩිකිරීමට හේතුවන හෙයින් නායයාම් වර්ධනය කරන්නට ද හේතුවන බව අප වටහා ගත යුතුය. එනිසා භුමි පරිහරණ රටාව පිළිබඳව ඉතා සැලකිලීමත් විය යුතුය. වන වැස්ම වැදගත් වන්නේ පාංශු ඛනිකා රඳවා තබා ගැනීමට පමණක් නොවේ.. පාංශු ඛාදනය වලක්වා ගැනීම ද මෙහි දී ඉතා වැදගත් වෙයි.

ජලවහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය ද නාය යාම් කෙරෙහි ඉතා තදින් බලාපායි. එක එල්ලේ පතිතවන වර්ෂා ජලය එලෙසම භූ අභ්‍යන්තරයට ගමන් කිරීම ආකාර දෙකකට බලපායි. භූ අභ්‍යන්තරයට ගලා යන ජලය නිසා පසෙහි අභ්‍යන්තර ජල පීඩනය වැඩි කරන අතර අනෙක් පසින් එම පාංශු පද්ධතියේ බර වැඩිකරයි.

ප්‍රධාන නාය අවදානම් කලාප

මෙම සාධක සියල්ල සැලකිල්ලට ගෙන නිර්මාණය කරන සිතියම් හි ප්‍රධාන අවදානම් කලාප හතරක් (4) දැකිය හැක. ඒ නාය අවදානම  අධිකව ඇති කලාප, නාය අවදානම මාධ්‍යමව ඇති කලාප, නාය අවදානම අඩු කලාප සහ නාය අවදානමක් නොමැති කලාප ලෙසයි. කඳුකරයේ, අධික අවදානමක් ඇත්තාවූ කලාප සංවර්ධන කටයුතු සඳහා භාවිතා නොකළ යුතුය. දැනට පවතින තත්වයන් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අනෙකුත් අවදානම් කලාප දෙකහි සිදු කරන සංවර්ධන කටයුතු  වලදී තාක්ෂණික නිර්දේශ ලබා දීම සඳහා දිස්ත්‍රික්ක එකොළහක තම ප්‍රාදේශිය කාර්යාල පිහිටුවා ඇත.

 ජලයේ හැසිරීම සහ බලපෑම්

මෙම අවදානම් කලාප සිතියම් නිර්මාණයේදී සලකා බැලු සාධකයන් වන පාෂාණ වර්ගය සහ ව්‍යුහයන් ද, පාංශු වර්ගය සහ එහි ඝනකම ද ආනතියද මානව පාලනයෙන් තොරය. නමුත් භූමි පරිහරණ රටාව මානව ක්‍රියාකාරකම් හේතුවෙන් නිරන්තර වෙනස්කම් වලට භාජනය වේ. එනිසාම ජල වහන රටාව සහ භූ අභ්‍යන්තර ජලය ඍජුව බල පෑමට ලක් වේ. ඉහත සාධක හේතුවෙන් නාය යාමට අධික අවදානමක් ඇත්තාවූ ස්ථානයන් වර්ෂාකාල වලදී නාය යාමට ලක් විය හැක. මෙම කුමන සාධකයක් ප්‍රමුඛව පැවතියද එමගින් වන්නේ අවදානම වැඩිවීම පමණකි. සමහර රටවල නායයාම් සඳහා භූ කම්පන බලපෑවද ශ්‍රී  ලංකාවේ නායයාම් සඳහා මූලික වන්නේ  වර්ෂාවයි. වර්ෂාව මගින් අදාල ස්ථානයන්හි පාංශු පද්ධතිවල අභ්‍යන්තර ජල පීඩනය වැඩිකරන අතර ඉතා සුළු කාලයකදී ලැබෙන අධික වර්ෂාපතනය (300-400 mm) මෙම තත්වය උග්‍ර කරන්නට හේතුවෙයි අභ්‍යන්තර ජල  පිඩනයට වැඩිවන්නට හේතුවන්නේ පාංශු පද්ධතියේ ඇති මැටි ඛනිජයි. මැටි ඛනිජ හේතවෙන් අභ්‍යන්තර නිදහස් ජලවහනයට බාධා ඇති වේ. එය අභ්‍යන්තර ජල පීඩනය වැඩිකරන්නට හේතුවෙයි. එමෙන්ම අභ්‍යන්තර ජලය රැඳීම හේතවෙන් පාංශු අංශු අතර බන්දනයන් ලිහිල්  කරන්නට හේතුවන අතර  ඇතිවන ජල  පීඩනය පද්ධතියෙන් පාංශු කොටසක් අස්ථාවර කර දමන්නට හේතුවෙයි. මෙය අදාළ ප්‍රදේශය නායයාමට ලක් කිරීමයි.

මෝසම් වර්ෂාව මගින් අධික වර්ෂාපතනයක් ලබා දෙන්නට හේතුවන නිසා බොහෝ විට නිරිත දිග මෝසම සහ ඊසාන දිග මෝසම පවතින කාලවලදී ශ්‍රී ලංකාවේ නායයාම් වාර්තාවන අතර අසාමාන්‍ය වර්ෂාපතන තත්ත්ව යටතේ මෙම තත්වය උග්‍ර විය හැක. වියළි කාලය මෙනිසා නාය අවදානම සැලකු විට බොහෝ යහපත් වෙයි.

අවදානම අවම කිරීම

නාය අවදානම අවම කිරීමෙහි ලා බොහෝ ක්‍රියාකාරකම් සිදුකල හැකි අතර මූලිකවම භූමි පරිහරණය ක්‍රමවත් කිරීමෙන් ද ව්‍යුහාත්මක ඉංජිනේරු ක්‍රමවේද මගින් ද අවදානම අවම කල හැක. නමුත් අවදානම් කලාප වල ජලවහන රටාව ක්‍රමවත් කිරීම ද ඉතා වැදගත් වෙයි. අවදානම් කලාප වලට ජලය බැස යාම හෝ ජලය  එක් රැස්වීම වැලැක්වීම ද සිදුකල යුතුය. එපමණක් නොව එම පාංශු පද්ධති වලින් ජලය ඉවත් කිරිම සඳහා පොලොව විද නල සවිකර අභ්‍යන්තර ජලය ඉවත් කිරීම වැනි නවීනතම ක්‍රමවේද දැන් දැන් මෙරට තුල සිදුකරයි.

අප සතු වගකීම

ප්‍රධාන වශයෙන්ම ප සතු වගකීම වන්නේ නාය අවදානම අවම කිරීමට ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමයි. අධි අවදානම් කලාප වල සංවර්ධන කටයුතු සහ නිවාස ඉදිකිරිම වැනි ක්‍රියා මගින් එම කලාපවල සතවරත්වයට බාධා නොකළ යුතුය. විශේෂඥ උපදෙස් ගෙන මාධ්‍ය සහ අඩු අවදානම් කලාප වල සංවර්ධන කටයුතු සිදුකිරීම ස්ථාවර තත්වයන්  පවත්වාගැනීමට හේතුවෙයි. අවට පරිසරයේ ජල වහන රටාව ක්‍රමවත් කිරීම, භූ අභ්‍යන්තරයට ඍජුවම ජලය ඇතුල්වීම වැලක්වීම, භුමි පරිහරණ රටාව  නිසි පරිදි පවත්වා ගෙන යාම පමණක් නොව තම ප්‍රදේශය අවදානම පිළිබඳව දැනුවත්ව සිටීම ද ලබා දෙන උපදෙස් නිසි පරිදි පිළිපැදීම ද සිදුකරන්නේ නම් මෙම අවදානම අවම කරගැනීමට අප ලබා දෙන මනා සහයක් වනු ඇත. එපමණක් නොව යම් සංවර්ධන කටයුත්තක් කරන්නේනම් නාය අවදානම් කලාප සිතියම් භාවිත කර අවදානම හඳුනා ගැනීමට අප කටයුතු සිදුකරන්නේ නම් අවදානම අවම කර ගැනීමට අපට ගත හැකි හොඳම ක්‍රියා මාර්ගය වේ. 
  
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...