03.02.2017
පසුගිය දොහක මට නෝර්වේ රටේ සංචාරයක නිරත වන්න අවස්‌ථාව ලැබුණා. දීර්ඝ ගුවන් ගමනකින් පස්‌සේ ඒ රටට පා තබන අවස්‌ථාවෙ සීත කාලය පටන් අරගෙනයි තිබුණේ. ඒ නිසා දසත විසිරිලා තිබුණේ සුදු ම සුදු හිම. සුළු මොහොතකින් සීතල අපව වෙළාගත්තේ එහි දැඩි දරුණු බව කියාපාමින්. උෂ්ණත්වමානය පෙන්නුම් කළේa සෙල්සියස් අංශක Rණ හයක් (-6) බවයි. ධන තිහක (+30) විතර උෂ්ණත්වයක ජීවත් වෙච්ච අපට ඒ උෂ්ණත්ව වෙනස දරාගන්න බැරි වේ වි කියලා මුල දී හිතුණත් අප හොඳින් සීතලට ලකලැහැස්‌ති වෙලා ගිය නිසා ඒ තරම් ගැටලුවක් වුණේ නැහැ.
නෝර්වේ රාජධානියක් ලෙසයි හඳුන්වන්නේ. එය විශාල රටක්. ශ්‍රී ලංකාව වගේ හයගුණයක් පමණ විශාලයි. යුරෝපා මහාද්වීපයේ උතුරෙන් පිහිටි මේ රට නිරිත ඊසාන දිශානුගත ව විහිදී ගිය ඒ වගේ ම බටහිර පැත්තේ ඉතා දිගු වෙරළ තීරයක් සහිත රටක්. ඒ වාගේ ම මේ රටේ බොහොමයක් ප්‍රදේශ කඳුකර භූමිවලින් යුක්‌ත වන අතර ප්‍රාග් ඵෙතිහාසික යුගයේ නිර්මාණය වූ ග්ලැසියර තැන්පතුවලින් තැනුණු භූ රූපණවලින් සමන්විතයි. මෙහි පවතින බොහොමයක් ගැඹුරු නිම්න අයිස් යුගය අවසානයේ දී දිය වන හිම හේතුවෙන් සිදු වූ ඛාදනයෙන් ඇති වූ ඒවායි. එපමණක් නො වේ, ලෝකයේ වැඩි ම දූපත් සංඛ්‍යාවක් හිමි රට ලෙස ද එය හැඳින්වෙනවා. නෝර්වේ සතු දූපත් ගණන 50,000කට වැඩි බවයි වාර්තා වන්නේ. හැබැයි මෙපමණ විශාල රටක ජනගහනය නම් මිලියන 5කට ටිකක් වැඩියි.
භූ විද්‍යාත්මකව ගත් කල බොහොමයක් ප්‍රදේශ සමන්විත වන්නේ ප්‍රාග් කේම්බී්‍රය යුගයේ නිර්මාණය වූ විපරීත පාෂාණවලින්. ඒ වාගේ ම ග්‍රැනිට් වර්ග, ස්‌ලේට්, වැලිගල් සහ හුණුගල් වැනි අවසාදිත පාෂාණ ද හමු වනවා. බොහොමයක් ප්‍රදේශ කඳුකරයෙන් සමන්විත නිසා ඉතා හොඳ ජලවහන රටාවක් මේ රටට හිමියි. එනිසා ම ඉතා කදිමට ක්‍රියාත්මක වන ජලවිදුලි බලාගාර රැසකින් ඉතා අපූරුවට විදුලිය උත්පාදනය කරනවා. ඊට අමතරව සුළං බලයත් යොදාගන්නවා. නෝර්වේ රාජධානියේ ශක්‌ති අවශ්‍යතාවෙන් 96%ක් ම සපුරාගන්නේ සුනිත්‍ය බලශක්‌තියෙන්. ඒක හින්දා කොච්චර බොරතෙල් තිබුණත් ඒවා භාවිත කරන්නේ හරි ම අඩුවෙන්. ඔවුන් පවසන ආකාරයට තවත් බොහෝ විදුලි ශක්‌ති ප්‍රමාණයක් ජලසම්පත භාවිත කරලා ලබා ගන්න පුළුවන්.
මේ රටේ එක් ප්‍රධාන අපනයනයක් වන්නේ බොරතෙල් සහ ස්‌වාභාවික වායුන්. ඔවුන් ගේ අපනයනයෙන් 50%ක් ම එමගින් තමයි සපුරාගන්නේ. බොරතෙල් අපනයනයෙන් ලෝකයේ පස්‌වැනි තැන ඔවුනට හිමි වනවා. ඒ වාගේ ම ඛනිජ සම්පත්. විශේෂයෙන් ම විවිධ ලෝහ වර්ග ඔවුන් නිස්‌සාරණය කරගන්නවා. යකඩ, ටයිටේනියම් සහ නිකල් මේ අතර වනවා. ඔවුන් හුණුගල්, ඔලිවින් සහ විවිධ පාෂාණ වර්ග ද අපනයනය කරන බව තමයි පැවසෙන්නේ.
ඉතා ම සුහදශීලී මිනිසුන් සිටින රටක් වන නෝර්වේ රාජ්‍යයේ බොහොමයක් අය උතුරු ජර්මානු ජාතිකයන්. එයට අමතරව වැඩි ම සංක්‍රමණිකයන් පිරිසක් සිටින රටක් ලෙසත් සලකන්න පුළුවන්. ශ්‍රී ලාංකිකයන් ද සැලකිය යුතු පිරිසක් එහි වෙසෙනවා. මිනිසුන්ට අවශ්‍ය බොහොමයක් පහසුකම් එම රජයෙන් සපයා තිබෙන අතර සෞඛ්‍ය පහසුකම් සහ ගමනාගමන පහසුකම් ඉන් මුල්තැන ගන්නා බවයි අපට තේරුම් ගියේ. අප ගේ සංචාරය කේන්ද්‍රගත වූ ඔස්‌ලෝ නගරය ඉතා කදිම ප්‍රවාහන පද්ධතියකින් සමන්විතයි. ට්‍රෑම් කාර් මෙන්ම කාර්යක්‌ෂම දුම්රිය සේවයක් ද මෙහි පවත්වාගෙන යනු ලබනවා. බොහොමයක් දෙනා තම තමන් ගේ වාහන ගෙදර දමා කාර්යාලයට මෙන්ම කඩපිලට යන්නෙත් මේවායින්. එනිසා අප දුටු තවත් සුවිශේෂීතාවක් වන්නේ වාහන තදබදය අවම වීමයි.
මහා මාර්ගයේ දී පළමු තැන හිමි වන්නේ පයින් ගමන් කරන්නාට වන අතර දෙවැන්න බයිසිකල් කරුවාටයි. මෝටර රථ පදවන්නන්ට හිමි වන්නේ අවසාන තැනයි. එනිසා මාර්ග අනතුරු නගරය තුළ අවම වනවා පමණක් නො වේ මෙනිසා පරිසර දුෂණය ද ඉතා ම අඩුවෙන් පවත්වාගෙන යන්නට ඔවුනට හැකි වී තිබෙනවා. පයින් ගමන් කරන්නා ද, බයිසිකල්කරුවා ද එනිසා බොහෝ දිරිමත් වන අතර එය ඔවුන් ගේ සෞඛ්‍යය රැකගැනීමට ද අනියම් ලෙස බලපාන බවයි පෙනෙන්නේ. එය එක්‌තරා අකාරයකට රෝහල් සදහා වාර්ෂිකව වැය වන මුදල කිසියම් ප්‍රමාණයකට අඩු කිරීමක්. එපමණක් නො වේ, කාර්යාලවල කාර්යක්‌ෂමතාව ඉහළ නංවන්නක්.
වර්තමානයේ ඔස්‌ලෝ නගරයේ පරිපාලනය පරිසර දූෂණයෙන් තොර නගරයක් ලෙස පවත්වාගෙන යැමට තීරණය කර තිබෙනවා. එනිසා ඉදිරි කාලයේ නගරයට පෞද්ගලික වාහන ඇතුළු වීම සපුරා තහනම් කෙරෙනු ඇති. මේ කාලයේ බොහෝ රටවල ජනප්‍රිය වෙමින් යන විදුලි මෝටර් රිය ද මේ රටට සැපත් වී ඇති බව පෙනෙන්නට තිබුණා. දැනගන්නට ලැබුණ තොරතුරු අනුව විදුලි මෝටර් රිය භාවිතය දිරිමත් කිරීම සදහා මේ මෝටර් රථ ආරෝපණය සදහා විදුලිය නොමිලයේ ම ලබා දෙනවා. බොරතෙල් බහුල රටක් වුව ද මේ තීරණය ගෙන ඇත්තේ පාරිසරික සංරක්‌ෂණය උදෙසා ම බව ඉතා පැහැදිලි කරුණක්. අපේ රට හා සැසඳීමේ දී අප ඉන්නේ කොතැන ද යන්නත් පරිපාලනය කෙතරම් අවස්‌ථාවාදී ද යන්නත් ඔබට වැටහෙනු ඇති.
වසරේ මාස හයක් පමණ ම සීත දේශගුණයකින් යුක්‌ත මේ රට එනිසා ම එම කාලය මුළුල්ලේ ම හිමෙන් වැසි තිබීම සුවීශේෂීත්වයක්. වසර 30කට පමණ පසු වාර්තා වූ අවම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක Rණ 18 (-18) වාර්තා වූයේ අප එරටින් පිට වූ දවසේයි. ඔවුන් ගේ කාලගුණික අනාවැකි ඉතා ම සාර්ථක බව අප එහි වාසය කළ දින කිහිපයේ දී මනාව අත්විඳීමට ලැබුණා. ඔවුන් නවතම තාක්‌ෂණයන් භාවිත කරන අතර ඔවුන් හා සැසඳීමේ දී අප ගේ කාලගුණ අනාවැකි අන්ධයන් ගේ වැනි යෑයි අපට සිතුණා. ඉතා ම සතුටුදායක කාලයක් ගත කරන්නත් ඒ වාගේ ම අපූරු අත්දැකීම් සම්භාරයක් ලබාගන්නත් මේ චාරිකාවෙන් අපට අවස්‌ථාව ලැබුණා. අප බොහෝ දෙනකු මෙරට හා සම්බන්ධව නෝර්වේහි ක්‍රියා කලාපය අනුමත නො කෙරුවත් එරට අපට බොහෝ ආදර්ශ ගෙන එන බවයි අප ගේ හැඟීම වන්නේ.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ