උණුවතුර ලිං බිහිවන්නේ කොහොමද ?
පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 2
This article was originally published on Vidusara 15.01.2020.
එක් දහස් නවසිය අනු අටේ ජනේරුව ශ්‍රී ලාංකිකයන්ට අමතක නොවන වර්ෂයක ආරම්භය වුනා. දළදා මාලිගාවට එල්ලකල කුරිරු ත්‍රස්තවාදීන් ගේ ප්‍රහාරය අප සියල්ලම කැළඹීමට ලක්කලා. ඒ දිනය භූ විද්‍යාඥයින්ගේ ලෝකයටත් අඳුරු දිනයක් වූවා කිව්වොත් නිවැරදියි. ශ්‍රී ලාංකික භූ විද්‍යාවේ නියමුවා, ආරම්භකයා මේ සිදුවීම හේතුකොටගෙන ඇති වූ කම්පනයෙන් මෙලොව හැර ගියා. අපගේ නිර්මාපකයා, මහාචාර්ය විතානගේ ශූරීන් කලෙක පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ උපකුලපති දූරය ද හෙබවූවෙක්. එකල අප පළමු වසර අවසානයේ වූ විභාගයට සුදානම් වෙමිනුයි සිටියේ. කොහොමින් කොහොමින් හරි මහාචාර්ය විතානගේ මහතා සකසා දුන් විෂය ක්ෂේත්‍රය අද වන විට ශ්‍රී ලංකාවට අත්‍යවශය වී හමාරයි.
භූ විද්‍යාව විෂයක් ලෙස ඉගෙන ගැනීමට අවස්තාව හිමිවීමම අපූරු අත්දැකීම් රාශියක් විඳගැනීමට මග සැලසූවා කිව්වොත් නිවැරදියි. ඛණිජ සහ පාෂාණ පිළිබඳව ආරම්භයේ ලබාගත් දැනුම ඉතා ක්‍රියාශීලිව භූ විද්‍යාව උගැන්මට කදිම ප්‍රවේශයක් වූවා. එය යන යන සෑම තැනකින්ම ඛණිජ සහ පාෂාණ එකතු කර ගැනීමට අප පොළඹවනු ලැබූවා. එමගින් විවිධ ඛණිජ වර්ග සහ පාෂාණ පිළිබඳව වූ දැනුම පුළුල් කරන්නට අවකාශය සැලසුන බව කිව යුතුය. ශ්‍රී ලාංකේය භුමි භාගයෙන් බහුතර ප්‍රදේශයක් පුරාවට පැතිරී ඇත්තේ විපරීත පාෂාණ වූවත් තැනින් තැන දක්නට ලැබෙන ආග්නේය සහ අවසාදිත පාෂාණ උද්ගතයන් නිසා තරමක විවිධත්වයක් අත්විඳින්නට අපට හැකිය.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගත් පළමු වසරේ අවසාන භාගයේ දී මෙරටේ දකුණු ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාවක යෙදෙන්නට අප සියල්ලන්ට ම අවකාශ හිමිවිය. විවිධ භූ විද්‍යාත්මක සංසිද්දීන් නිරීක්ෂණය කරමින් ද විනෝදජනක අත්දැකීම් ද සහිත වූ එය භූ විද්‍යාව නිසා කුල්මත් වී සිටි අපට අපූරු චාරිකාවක් වුනා. උස්සන්ගොඩ රක්ත පාංශු නිධි ඒ අතර වූ මනරම් ස්ථානයක්. එයින් ඔබ්බට වූ රට අභ්‍යන්තරයේ පිහිටි උණු වතුර ළිං අප කාගේත් අවධානය යොමු වූ භූ විද්‍යාත්මක සංසිද්දියක්. මදුනාගල, මහපැලැස්ස ප්‍රදේශයේ පිහිටා ඇති උල්පතෙන් වතුර පිරී ඉතිරී යන්නේ කෙලෙසද යන්න අපට ගැටළුවක් වුනා. එපමණක් නොවෙයි මෙලෙස පිරී ඉතිරී යන්නේ උණුවතුර. උණුවතුර උල්පත් බිහිවන්නේ කොහොමද යන්න ඔබටත් ගැටළුවක් වන්නට ඇති.
ශ්‍රී ලාංකේය භූ තලය සකස් වී ඇත්තේ ප්රෝටෙරෝසොයික් යුගයේ නිර්මාණය වූ ලොව පැරණිම පාෂාණ ගොනුවකින්. භූ විද්‍යාත්මකව ප්‍රධාන ප්‍රදේශ තුනකට බෙදා වෙන් කරන්නේ එම පාෂාණ වල වයස පදනම් කරගෙන. මෙම පාෂාණ ගොනු අතර උස්බිම් සංකීර්ණය සහ ඊට නැගෙනහිරින් ඇති විජයානු සංකීර්ණය වෙන්වන මායිම උණුවතුර ළිං ඇති කිරීමෙහි ලා හරිම වැදගත්. මෙම මායිම එක්තරා ආකාරයක කුඩා භූ තල මායිමක් යනුවෙන් හඳුන්වන්නත් පුළුවන්. ඒ වාගේම මෙය භූ තලයේ ඉතා ගැඹුරට විහිදෙන පැල්මක්. මේවාගේම නොවුනත් විවිධ දිශානතීන් ඔස්සේ විහිදෙන පැලුම්, දැදුරු සහ කුස්තුර මෙම පාෂාණ කලාපවල දැකගන්නට පුළුවන්. මේ මායිම උස්සන්ගොඩ සිට ත්‍රිකුණාමලය දක්වාම විහිදී යනවා. ලංකවේ වාර්තා වන බොහොමයක් උණුවතුර ළිං පිහිටා ඇත්තේ මෙම මායිම ඔස්සේ. එහෙමත් නැතිනම් මායිමට ඉතාම ආසන්නයේ.
තල මායිමේ එහෙම නැතිනං මේ පැල්මේ ගැඹුරට යත්ම යත්ම උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩිවෙයි. මේ තත්වය ලෝකයේ සෑම තැනකම එක සමානව සිදුවෙන්නේ නැහැ. බොහොමයක් වෙලාවට මීටර සියයක් ගැඹුරට යද්දී සෙන්ටිග්‍රේඩ් අංශක එකක් දෙකක් පමණ වැඩිවෙනවා. සමහර තැන්වල සෙන්ටිග්‍රේඩ් අංශක පහක් පමණ වෙන්නත් පුළුවන්. සාමන්‍යයෙන් භූ අභ්‍යන්තරයේ උණුසුම් වැඩිකරන්නට හේතුවන්නේ ප්‍රවරණයේ (mantle) ඇති විකිරණශීලි මුලද්‍රව්‍ය. මෙම මුලද්‍රව්‍ය නිකුත් කරන විකිරණ නිසා තමයි ප්‍රවරණයේ තාපය වැඩිවන්නේ. මෙම තාපය ඉහළට ගමන් කිරීම හේතුවෙන් ඊට ඉහලින් වූ භූ කලාප රත් වෙනවා. මේ නිසා ගැඹුරේ ඇති ජලය උණුසුම් වී ඒවායේ ඝනත්වය ක්‍රමයෙන් අඩුවෙයි. අඩු ඝනත්වයෙන් යුක්ත ජලය පාෂාණ වල ඇති දැදුරු සහ කුස්තුර ඔස්සේ යම් පිඩනයකින් ඉහලට ගමන් කරයි. පිඩනයකින් ජලය ගමන් කරන නිසා මතුපිටට පැමිණෙන්නේ ජල උල්පතක් ලෙසයි. ඒ වාගේම ගැඹුරේ දී රත් වීම නිසා ඉහලට එන ජලය උණුසුම්. මේ තත්වය ගිනිකඳු නිසා භූ අභ්‍යන්තර ජලය රත් වීම නොවෙයි. ඒක නිසා අපේ රටේ ගිනිකඳු ඇතිවෙන්නත් පුළුවන් නේද කියලා බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම තත්වයක් මේ මායිම ආසන්නයේ වෙන්නේ නැහැ.
“උණුවතුර උල්පත්” කියලා හඳුන්වන්න නිශ්චිත අර්ථකතනයක් මේ දක්වා ඉදරිපත් වෙලා නැහැ. එක් එක් පැහැදිලි කිරීම් තියෙනවා. සමහරු කියන ආකාරයට අවට පරිසරයේ උෂ්ණත්වයට වඩා වැඩි වෙන්නට ඕනේ කියලා. ඒ තත්වය පරිසරය අනුව වෙනස් වෙනවා නේද කියලා අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ. මිනිස් සිරුරේ උෂ්ණත්වයට වැඩි වැඩිවෙන්න ඕනේ කියලත් සමහරු කියනවා. කොහොම උනත් අපට තියෙන උණුවතුර උල්පත්වල උෂ්ණත්වය එකිනෙකට වෙනස්. මේ වෙනකොට උණුවතුර උල්පත් දහයක් පමණ වාර්තා වෙලා තියෙනවා. ඒ අතර මදුනාගල, කින්නියා, මහඔය ඇති උණුවතුර ළිං බොහොම ප්‍රසිද්ධයි. සමහරු උණුවතුර ළිං වලින් ස්නානය කිරීමෙන් ලෙඩ සුවවෙනවා යයි මතයක් දරනවා.
ගැඹුරේ සිට උණුවතුර ඉහළට එන විට ජලය උණුසුම් නිසා නොයෙකුත් රසායනයන් එකතු කරගන්නවා. සමහර රසායනයන් සාමාන්‍ය ජලයේ ඒ කියන්නේ මතුපිට ඇති ජලයේ දියවෙන්නේ නැහැ. ඒ උණුසුම් මදි නිසා. නමුත් භූ අභ්‍යන්තරයේ දී ජලය රත් වීම නිසා ඉතා පහසුවෙන් යම් යම් රසායනයන් දිය කරගන්නට හැකි වෙනවා. මේ නිසා යම් යම් රෝග සුව වෙනවා වෙන්නත් පුළුවන්. විශේෂයෙන්ම සමේ ඇතිවන් රෝග. කොහොමත් උණුවතුර ස්නානය නම් ගත සිත දෙක ප්‍රබෝධ කරවන්නක්.
මේ ස්ථාන නරඹන්නට යෑම ඉතාම අගනේයි. භූ විශ්මයන් මොනවාදැයි ඉගෙන ගන්නට එය අපූරු ප්‍රස්ථාවක් වේවි. එනමුත් මේ ස්ථාන ආරක්ෂා කර ගැනීම අපේම වගකීමක්. මොකද අනාගතයේ අපේ දුවා දරුවන්ටත් මේවායේ සුන්දරත්වය ඇත විඳින්නට අවස්ථාව ලබා දීම අපේ යුතුකමක්.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ