Wednesday, 13 November 2019

 කළු රත්තරන්වලින් හදන ප්ලාස්‌ටික්‌ 
Original article was publsihed in Divaina, 13.11.2019.
http://divaina.com/daily/index.php/visheshanga3/35613-2019-11-12-13-12-50.
 
අපි කවුරුත් හොඳින් දන්න, හැමවෙලේම ඕනෑ වන ප්ලාස්‌ටික්‌ සරල කාබනික සංයෝග බහුඅවයවීකරණයේ ප්‍රතිඵලයක්‌. බොහෝ විට එතිලීන් නමැති කාබනික සංයෝගය තමයි මේ සඳහා යොදාගන්නේ. එතිලීන් ලබාගන්නේ 'කළු රත්තරන්' වලින්. මොනවා මේ කළු රත්තරන්? කළු රත්තරන් ලෙස හඳුන්වන්නේ බොර තෙල්. ඛනිජ තෙල් කියලත් හඳුන්වනවා. එහෙම නැතිනං පොසිල ඉන්ධන කියලත් කියනවා.
 
 බොර තෙල් කියන්නේ කාබනික සංයෝග එකතුවක්‌. කාබන් සහ හයිඩ්‍රජන් අඩංගු මේ කාබනික සංයෝග හයිඩ්රෝකාබන් ලෙස හඳුන්වන අතර, වසර මිලියන ගණනාවක්‌ භූ අභ්‍යන්තරයේ පැසීම හේතු කොටගෙන තමයි බොරතෙල් බවට පත්වෙන්නේ. හැබෑටම කොහොමද බොරතෙල් නිෂ්පාදනය වෙන්නේ. සාගර පත්ලේ සිදුවන භූ විද්‍යාත්මක සංසිද්ධියක අතුරු ප්‍රතිඵලයක්‌ ලෙසයි බොරතෙල් නිෂ්පාදනය වන්නේ. බොර තෙල් නිෂ්පාදනයට අමුද්‍රව්‍ය සපයන්නේ මුහුදු ජීවින්. මුහුදේ වසන සාගර ජීවීන්ගේ මරණයෙන් පසු ඔවුන්ගේ දේහයන් තැන්පත් වෙන්නේ මුහුදු පත්ලේ. මුහුදු පත්ලේ තියෙන මුහුදු කළිල (මඩ) එක්‌ක මිශ්‍ර වෙමින් ක්‍රමයෙන් යටවෙන මේ ජීවී දේහයන් කාලයත් සමග උෂ්ණත්වය සහ පීඩනය වැඩිවීම හේතු කොටගෙන වෙනත් කාබනික ද්‍රව්‍ය බවට පත් වී බොර තෙල් නිෂ්පාදනය වෙයි.
 
 බොරතෙල් නිෂ්පාදනයට හේතුවෙන්නේ සාගර සතුන්ගේ දේහයන්. ශාක දේහයන් මෙලෙස තැන්පත්වීමෙන් නිර්මාණය වෙන්නේ ගල් අඟුරු සහ පීට්‌. ඒ වෙනස අප හොඳින් දැනගත යුතුයි. කාබනික ද්‍රව්‍ය සහිත අපාරගම්‍ය සාගර අවසාදිත වල උෂ්ණත්වය දිගුකාලීනව වැඩිවීම හේතුකොටගෙන මුලින්ම කෙරෝජින් (Kerogene) නමැති රසායනය බිහිවන අතර ඒවා සෙන්ටිගේ්‍රඩ් අංශක 60 - 120 ට පමණ රත්වීම හේතුකොටගෙන බොරතෙල් බවට පත්වේ. බොරතෙල් බිහිවන පරිසරය ඔක්‌සිජන් රහිත පරිසරයක්‌. බොහෝ විට මෙමගින් ඇතිවන හයිඩ්රොකාබන් ඉතා සැහැල්ලු අතර ජලයේ ඝනත්වයටත් වඩා අඩු නිසා නිෂ්පාදනය වන ස්‌ථානයේම රැඳෙන්නේ නැත. සැහැල්ලු හයිඩ්රෝකාබන් බොහෝ විට වායුන් වන අතර මෙම නිධි මඟින් බොරතෙල්වලට අමතරව කාබනික වායුන් ද නිෂ්පාදනය වීම නිසා බොහොමයක්‌ බොරතෙල් නිධිවල ඉහළ කොටස පිරී ඇත්තේ මෙම කාබනික වායුන් වලිනි.
 
 සැහැල්ලු මෙවැනි පොසිල කාබනික ද්‍රව්‍ය පැසීමෙන් පසු වසර දහස්‌ ගණනාවක්‌ තිස්‌සේ වෙනත් ස්‌ථානයකට තැන්පත්වීම සඳහා ගමන් කරන අතර ඒ සඳහා බොහෝ විට වැලි ගල් වැනි ඉතා හොඳින් කුහර සහ විවර සහිත පාරගම්‍ය පාෂාණයක්‌ තිබිය යුතුය. බොරතෙල් නිෂ්පාදනයේ විශේෂත්වය අප හොඳින් තේරුම්ගත යුතුය. එක්‌ ස්‌ථානයක ඇති කාබනික ද්‍රව්‍යවලින් සුපෝෂිත සාගර කළිල (මඩ) වලින් නිෂ්පාදනය වන බොරතෙල් සහ වායුන් තැන්පත්වන්නේ තවත් ස්‌ථානයකයි.
 
 මෙවන් තෙල් නිධි ලෝකයේ බොහෝ ස්‌ථානවල හමුවෙනවා. පැරණිම කාබනික ද්‍රව්‍ය නිධි වලින් නිර්මාණය වූ තෙල් මුණගැහෙන්නේ ඔස්‌ට්‍රේලියාවෙන්. එම තෙල් වසර බිලියන 3 ක්‌ පමණ පැරණි බවයි පැවසෙන්නේ. එවැනිම තෙල් දකුණු අප්‍රිකාවේ සහ කැනඩාවේ ද හමුවන බවයි භූ විද්‍යාඥයන් පවසන්නේ. ලෝකයේ වඩාත්ම විශාලතම තෙල් නිධි හමුවන්නේ වෙනිසියුලාවෙන් බවයි පැවසෙන්නේ.
 
 අප ඉන්ධන පිරවුම්හලට ගොස්‌ ලබා ගන්නේ මෙලෙස නිෂ්පාදනය වූ බොරතෙල් බිඳ හෙළීමෙන් ලබාගන්නා හයිඩ්රෝකාබන් ඉන්ධන වන අතර අප අමතක නොකළ යුත්තේ මේවා වසර මිලියන ගණනාවකට පෙර සාගර ජීවින් විසින් ගබඩා කරන ලද සූර්ය ශක්‌තිය බවයි.

 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...