Wednesday 10 July 2024

 

ආදම්ගේ පාලම හෙවත් රාම සේතු ගොඩබිම් සම්බන්ධය

විදුසර 09/07.2024

කොපර්නිකස් සෙන්ටිනෙල් 2 නමු වූ චන්ද්‍රිකාව මේ ස්ථානයේ ලබාගත් චන්ද්‍රිකා චායාරුප වලට අනුව යම් කිසි ඉදිකිරීමක් දක්නට ලැබෙන බව පැවසෙයි. කොපර්නිකස් සෙන්ටිනෙල් 2 නම් වූ චන්ද්‍රිකාවට කිලෝමීටර් 48 ක් පුරා පවතින මෙම පාලම ඉදිකළ ව්‍යුහයක් ලෙස දිස්වන්නේ ඉහත දැක වූ කාරණාව නිසා විය හැක. මෙම චායාරූපය රාම සේතු නොගැඹුරු කලාපය කදිමට පෙන්වයි. ඒ මත වැඩුන කොරල් වැනි ජීවීන්ගේ ගහනයන් ද කදිමට පිළිබිඹු වන බව පැවසේ.

කලක පටන් රාවණා පුවත සමග ගෙතුන මෙම ආදම්ගේ පාලම මිනිසුන් තුල කුතුහලයක් පමණක් නොව ගෞරවයක් ඇතිකරන්නට සමත් වි තිබේ. එම කතා පුවතට අනුව මෙම පාලම ඉදිකරන්නේ රාමාගේ වානර සේනාව විසිනුයි. සංස්කෘතිකව පමණක් නොව ඉතිහාසඥයින්ටත්, පුරාවිද්‍යාඥයින්ටත් භූ විද්‍යාඥයින්ටත් එකසේ වැදගත් වන මෙම ව්හුහය පිලිබඳ විවිධ කරුණු අනාවරණය වීම සමහර මත තහවුරු කරන්නට උපකාරී වේ. භූ විද්‍යඥයින්ගේ අදහස වන්නේ මුහුදු මට්ටම උච්චාවචනය වීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය බිහිවන්නට ඇති බවයි.

වසර 22000 කට පෙර ශ්‍රී ලංකාව වටා වූ මුහුද තිබුනේ අදට වඩා මීටර 120 ක් පමණ පහලිනි. එසේවීම නිසාම ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් මන්නාරම දුපත සහ රාමේශ්වරම් දුපත හරහා ගොඩබිමෙන් සම්බන්ධ විය. මෙම ගොඩබිම් සම්බන්ධය/පාලම මුහුදු මට්ටම උච්චාවචනය වීමේ ප්‍රතිඵලයක් විය. ශිත යුගය ක්‍රමයෙන් අහවර වි උණුසුම් කාලය එළඹෙත්ම මුහුදු මට්ටම ඉහල යාම නිසා මෙම ගොඩබිම් සම්බන්ධය ක්‍රමයෙන් ජලයෙන් ඇහිරෙන්නට විය. මීටරයේ සිට මීටර 10 දක්වා ගැඹුරක් ඇතිකරමින් මෙම භූ ස්කන්ධය වත්මන් භූ විෂමතාවයක් පෙන්වයි. විද්‍යඥයින් පිළිගන්නා ලෙස ශිත දේශගුණය උණුසුම් දේශගුණයට පෙරලීම වසර 11000 කදී සිදු වී තිබේ. ක්‍රමිකව සිදු වූ මෙම මුහුදු මට්ටම් ඉහල යාම නිසා ගොඩබිම් සම්බන්ධය එකවර නැති නොවන්නට ඇත. ඒ වාගේම යට වූ ස්ථාන හරහා මෙම සම්බන්ධය පවත්වාගන්නට අවැසි තැන පාලම් ඉදිවන්නට ඇත. එය ක්‍රමිකව වර්ධනය වී බොහෝ දුරක් සඳහා පාලම් ඉදිවීම දෙරට අතර සම්බන්ධය තහවුරු කරන්නට ඇත.

මහාචාර්ය කටුපොත මහතා කර ඇති පර්යේෂණවලට අනුව අදින් වසර 11,000 ට පසු අවස්ථා තුනකදී මුහුදු මට්ටම අද පවතින මට්ටමට වඩා වැඩි වී තිබේ. වසර 6000 දී පමණ සිදු වූ එවැනි උච්චවචනයකදී  ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මෙම ගොඩබිම් සම්බන්ධය බිඳෙන්නට ඇත. කෙසේවෙතත් 15 වැනි සියවස පමණ වනතුරුම මේ ගොඩබිම් පාලම හරහා දෙරට අතර ගමන් කරන්නට හැකිව තිබු බව භූ විද්‍යාඥයින් විස්වාස කරයි. පසුව ඇති වූ දරනු කුණාටු හේතුකොටගෙන මේ ගොඩබිම් මාර්ගයේ කොටසක් මුහුදබත් වන්නට ඇතැයි සැලකේ. රාම සේතුව හෙවත්  ආදම්ගේ පාලම වර්තමානයේ පවතින තත්වයට පත්වන්නට ඇත්තේ ඉන් අනතුරුවය. දැනට තිබෙන විද්‍යාත්මක සාක්ෂි අනුව පෙනෙන්නේ ආදම්ගේ පාලම හෙවත් රාම්සේතුව මිනිස් දෑතින් කෙරුණ නිර්මාණයකට වඩා ස්වභාවික නිර්මාණයක් විය හැකි බවයි

ආචාර්ය පත්මකුමාර ජයසිංහ/ භූ විද්‍යඥ


  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...