Saturday, 6 July 2019

විදු පත් රුව

නුරාධපුර යුගය මෙරට ලිත ඉතිහාසයේ ප්‍රථම යුගයයි. එහි දී බුදුදහම රාජ්‍ය අනුග්‍රහය යටතේ ස්‌ථාපිත වීමත් ඒ හා සබැඳි සංස්‌කෘතියක්‌ මෙරට ඉතා කදිමට ව්‍යාප්ත වීමත් ප්‍රකට කරුණු ය. ස්‌තූප නිර්මාණයත්, බුදු දහම මූලික කරගත් ගෘහ නිර්මාණ ශිල්පයත්, අවිහිංසාවාදී කෘෂිකර්මාන්තයත් එහි මූලික අංග අතර විය. සමස්‌ත පද්ධතිය තුළ දිගුකාලීනව වර්ධනය වූ ශිල්පීය දැනුමක්‌ මේ සංස්‌කෘතිය තුළ ඇති බව පෙනී යයි. ඒ ශිල්පීය දැනුම වන්නේ නිර්මාණශීලිත්වය පාදක කරගත් හෙළ කලාවයි. සාම්ප්‍රදායික දේශීය දැනුම හා මුසු වූ ඉන්දීය කලා ශිල්පය මෙරට සුවිශේෂී රටා මතු කරන්නේ මෙරට වූ දැනුම් පද්ධතිය නව මගකට යොමු කරමිනි.

මේ අතර භූ සම්පත් පිළිsබඳ දැනුම සහ එහි භාවිතය ද උපරිමයක වූ බව ඉතා හොඳින් පැහැදිලි වන අවස්‌ථා බොහොමයක්‌ හමු වේ. පැරැන්නන් ගේ භූ විද්‍යාත්මක දැනුම ඉතා විශිෂ්ට බව කිව හැකි ය. අනුරාධපුර යුගයේ බොහොමයක්‌ ගොඩනැගිලි නිර්මාණය සදහා පාදක වී ඇත්තේ පාෂාණ මූලික වූ ව්‍යqහයන් බව අදටත් පැහැදිලි වේ. එලෙස පාෂාණ යොදාගන්නා අතර බොහොමයක්‌ ඒ ආසන්නයේ හමු වන පාෂාණ බව පසුගිය දශකය තුළ මවිසින් සිදු කරන ලද භූපුරාවිද්‍යාත්මක පර්යේෂණවලින් ප්‍රකට වූ කරුණකි. ශ්‍රී ලංකාවේ හමු වන බොහොමයක්‌ පාෂාණ විපරිත පාෂාණ වන අතර මෙතෙක්‌ සිදු කරන ලද පර්යේෂණවලට අනුව කිසි ම අවස්‌ථාවක ග්‍රැනයිට්‌ වැනි ආග්නේය පාෂාණ හමු නො වන බව කිව යුතු ය. පාෂාණ කුට්‌ටි කරගැනීම සදහා ඉතා කදිම ක්‍රමවේදයන් අපේ පැරැන්නන් භාවිත කර ඇත. අනුරාධපුර යුගයට ම ආවේනික වූ ඒ ක්‍රමවේදය පොළොන්නරු යුගය වන විට ක්‌ෂීණ වී ගොස්‌ වෙනත් ක්‍රමවේදයකට මාරු වී ඇත. නයිස්‌ පාෂාණවල (Gneiss) ස්‌වාභාවික පැලුම් රටාවන් මනාව අධ්‍යයනය කර ඉතා කදිමට ඔවුන් භාවිතයට ගෙන ඇත්තේ වර්තමාන භූ විද්‍යාඥයන්ට නොදෙවැනි ලෙසිනි. පාෂාණ කුට්‌ටි කරගැනීම සදහා රසායනික ක්‍රමවේදයන් භාවිත කරන්නට ඇති බවට ද යම් යම් කරුණු මේ පර්යේෂණවල දී මතු විය. එක්‌ එක්‌ වට ප්‍රමාණවලින් යුතු විවිධ වැලි වර්ග භාවිත කිරීමෙන් ඉතා කදිමට පාෂාණ සුමට කරගැනීම සිදු කර ඇත. විසල් ගල් කණු, බැමි පමණක්‌ නො ව විවිධාකාරයේ පිළිම බිහි වන්නේ මෙවැනි පසුබිමක්‌ තුළ ය.

කබොනේට අඩංගු විපරිත පාෂාණයක්‌ වන කිරිගරුඬ පාෂාණය (Marble) ගෘහ අලංකරණය සදහා පමණක්‌ නො ව ඉතා උසස්‌ ගණයේ පිළිම නිර්මාණයට ද යොදාගෙන ඇති බව මහමෙව්නාවේ ඇති සමාධි බුදුරුව සාක්‌ෂි ගෙන එයි. ඉතා දුර්වල පාෂාණයක්‌ වන මේ කිරිගරුඬ පාෂාණය එනිසා ම දමනය ඉතා අසීරු ය. එහෙත් මේ පිළිම සහ කැටයම් අධ්‍යයනයෙන් පෙනී යන්නේ එකල තාක්‌ෂණ ශිල්පීන් භාවිත කළ ක්‍රමවේදයන්හි අග්‍රගණ්‍යභාවයයි. මේ පාෂාණවල භාවිතය ශ්‍රී ලාංකේය බොහොමයක්‌ පුරාවිද්‍යාඥයන් හඳුනාගෙන ඇත්තේ අවසාදිත පාෂාණයක්‌ වන "හුණුගල්" (Limestone) ලෙස වන අතර ඒ අර්ථකථනය සපුරා වැරැදි බව මෙහි දී සදහන් කළ යුතු ය. තමාට අවැසි සම්පත් තම ආසන්නතම පරිසරයෙන් උකහාගෙන ඇති බවට තවත් එක්‌ සාක්‌ෂියක්‌ වන්නේ යාපනය අර්ධද්වීපයේ බොහොමයක්‌ පැරැණි නිර්මාණයන් සදහා මයෝසීන හුණුගල භාවිතයයි.

මේ පාෂාණ හඳුනාගැනීමේ දී සහ එමගින් යම් යම් පුරාවිද්‍යාත්මක අර්ථකථනයන් සිදු කිරීමේ දී භූ විද්‍යාත්මක දැනුම ඉතා වැදගත් වේ. එනිසා ඒ සදහා භූ විද්‍යාඥයකු ගේ පර්යේෂණ දායකත්වය ලබාගැනීම නුවණට හුරු ය. එසේ නොමැති ව සිදු කර ඇති වැරැදි අර්ථකථනයක්‌ ගැන මෙහි දී විශේෂයෙන් සදහන් කළ යුතු ය. අනුරාධපුරයේ ඡේතවනය කෞතුකාගාරයේ හමු වන අලංකාර පිළිම සහ කැටයම් කිහිපයක්‌ වන අතර පුරාවිද්‍යාඥයන් ඒවා හඳුන්වන්නේ ඉන්දීය "කඩප්පා" හුනුගල් පාෂාණයෙන් කරන ලද්දක්‌ ලෙස ය. මෙවැනි ම වූ පිළිම කිහිපයක්‌ තිස්‌සමහාරාම ප්‍රදේශයෙන් ද හමු වී ඇත. මතුපිටින් සුදු පැහැ හුණුමය ස්‌වභාවයක්‌ දක්‌වන මේ පාෂාණයේ අභ්‍යන්තරය ඉතා අලංකාර කොළ නිල් පැහැයකින් යුක්‌ත වෙයි. භූ විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වූයේ එම පාෂාණ විපරීත පාෂාණයක්‌ වන එක්‌තරා කිරිගරුඬ (serpentinized marble) විශේෂයක්‌ වන බවයි. මේ පාෂාණ විශේෂය ලංකාවේ උඩුපුස්‌සැල්ලාව ප්‍රදේශයේ හමු වන අතර ඉන්දියාවෙන් ගෙන්වීමට තරම් අවශ්‍ය නො වන බව ය තේරුම් යන්නේ. ඒ අනුව පුරාවිද්‍යාඥයන් ගේ අර්ථකතනය කොපමණ නිවැරැදි ද යන්න ඔබට තේරුම්ගත හැකි වනු ඇත.

මල්වතු ඔය නිම්නය පැරැණි ස්‌තුප නිර්මාණයේ දී බොහෝ භූ සම්පත් ලබා දුන් ප්‍රදේශයකි. පාෂාණවලට අමතරව ගඩොල් නිර්මාණය සදහා ඉතා අගනා මැටි ලබා දෙන්නේ මල්වතු ඔය නිම්නයේ ගල්කඩවල ප්‍රදේශයෙනි. ඉතා විශාල ගඩොල් නිර්මාණය කරමින් ස්‌තුප පිරවුම සදහා පැරැන්නන් තාක්‌ෂණය මෙහෙයවූ ආකාරය ඉතා අගනේ ය. ඉතා සවි ශක්‌තිමත් ගඩොල් නිර්මාණය සදහා අවශ්‍ය වැලි සහ මැටි සුසංයෝගය තීරණය වී ඇති අන්දම විස්‌මයජනක ය. එපමණක්‌ නො ව විටෙක දහයියා අළු ද මේ සමග මිශ්‍ර ව ඇති බව පෙනී යයි. විවිධ අවශ්‍යතාවන් සදහා විවිධ ප්‍රමාණවල ගඩොල් නිර්මාණය කරමින් පැරැන්නන් ගේ තාක්‌ෂණික කුසලතාව මැනැවින් ඉස්‌මතු කර ඇති බව එම නිර්මාණ අධ්‍යයනය කළ විට මැනැවින් තේරුම්ගත හැකි ය. අමු ගඩොල් කදිමට පුළුස්‌සා ඇති බව ද අඩුවෙන් පුළුස්‌සා අමු ගඩොල් නො තැනීමෙන් ද, වැඩියෙන් පුළුස්‌සා උණු වූ ගඩොල් නො තැනීමෙන් ද ගින්දර භාවිතය මගින් උෂ්ණත්ව පාලනයේ අපූරුව ඉස්‌මතු වේ.

භූ සම්පත් භාවිතය පිළිබඳව තව බොහෝ උදාහරණ ඇත. ඛනිජ වර්ග භාවිතය ඉතා බහුලව සිදු ව ඇති බව ද එමගින් පබළු වැනි කදිම නිර්මාණයන් කර ඇති බව ද මා කර ඇති පර්යේෂණවලින් පැහැදිලි වේ. ඉදිරි කාලයේ දී මෙතුළින් තවත් වටිනා කරුණු කාරණා බොහොමයක්‌ ඔබ හමුවට ගෙන ඒමට හැකි වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...