Wednesday 4 September 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  03

2024 සැප්තැම්බර මස  04 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

රත්නදීප නමින් හැඳින් වූ අප රට මැණික් බහුල රටකි.  විවිධ ආකාරයේ මැණික් මෙරටින් හමුවේ. විවිධ අවශ්‍යතා සඳහා මෙරටුන් මැණික් භාවිතා කල බව සඳහන් වේ. මේ ඉතිහාසය බොහෝ දුරකට දිවෙන බව නම් පැහැදිලිය.

අනුරාධපුර යුගයේ පබළු නිර්මාණය සඳහා මැණික් භාවිතා කල බවට ජේතවන ව්‍යාපෘතියේ කැනීම් මගින් තහවුරු වි ඇත. කෘත්‍රිම සහ සොබාවික ද්‍රව්‍යය වලින් නිර්මිත පබළු විශාල ප්‍රමාණයක් එහිදී හමු වී ඇත. මේ අතර හමුවන කුරුවින්ද වලින් නිමයූ පබළු සුවිශේෂී ස්ථානයක් ගන්නා බව මෙහිදී සඳහන් කල යුතුය.

මේ සම්බන්ධව මා සිදුකල පර්යේෂණයකින් හෙළි වූයේ කුරුවින්ද වලින් නිර්මිත පබළු කැපුම් තල මගින් හැඩගන්නවා නොමැති බවයි. නමුත් ඒවා ඇති සැටියෙන්ම හොඳින් ඔපදමා ඇති බව පෙන්නුම් කරයි. මැණික් කැපීම් සඳහා උපකරණ භාවිතා කල යුතු අතර, ඒ සඳහා දැඩියාවෙන් වැඩි ඛණිජ ද්‍රව්‍යයක් භාවිතා කල යුතුය. කුරුවින්ද වල දැඩියාව මෝහා පරිමාණයට අනුව 9ක් වන අතර එය ලෝකයේ දෙවනියට වැඩිම දැඩියාවක් පෙන්වන ඛණිජය වේ. වැඩිම දැඩියාවක් ඇත්තේ දියමන්ති වලයි.

අතීත මිනිසුන්ගේ ඛණිජ පිලිබඳ දැනුම වඩාත් ඉස්මතුවන තැනක් වන්නේ ජේතවනයේ හමුවන මැණික් පබළු එකතුවයි. කුරුවින්ද මැණික් වල දැඩියාව ගැන මනා අවබෝධයක් ඔවුනට තිබු බව කදිමට පැහැදිලි වෙයි. නමුත් අපට අපහැදිලි තැනක් ඇත්තේය. ඒ ඔවුන් දියමන්ති ගැන දන සිටියාද යන්නයි. ඒ පිළිබඳව දැනුවත් වූවා නම් මැණික් කපන උපකරණ දියමන්ති භාවිතයෙන් ඔවුන් තැනුවා ද?

ඔවුන් මැණික් කපන උපකරණ දියමන්ති භාවිතා කර තැනුවා නම් කුරුවින්ද මැණික් නොකැපුවේ මන්ද යන්න ගැටලුවකි. එසේත් නැතිනම් එමගින් පිළිබිඹු වන්නේ එකල්හි දියමන්ති ගැන ඔවුන් දැන නොසිටිය බවද? සමකාලීන අසල්වැසි රටවන ඉන්දියාව වසර 3000 පමණ වන විට දියමන්ති ගැන දන සිටියහ. ඒ ගෝදාවරී නම් වූ ගංගාවේ හමුවන බවයි. එමෙන්ම ඊට බොහෝ කලකට පෙර එනම් වසර හයදහසකට පමණ පෙර ආසියාතික රටක් වන චීනය දියමන්ති ජේඩ් ඛණිජ ඔප දමන්නට භාවිත කල බවට සාක්ෂි හමුවේ.

ශ්‍රී ලංකාව අවට රටවල බොහෝ කල සිට දියමන්ති ගැන දැන සිටි බව හොඳින් පැහැදිලි වේ. එසේනම් ශ්‍රී ලංකාවේ අතීත ජනයා දියමන්ති ගැන නොසිටින්නට හේතුවක් නොමැත. වසර 2500 කට පෙර සිටම අන්තර් ජාතික වෙළඳාම හොඳින් පැවතුන බව පුරාවෘත වලින් පමණක් නොව මාන්තයි සහ ගෝකන්න හි කරන ලද සමහර පුරාවිද්‍යාත්මක පර්යේෂණ වලින් හෙළි වී තිබේ.

ඒ කෙසේවෙතත් ජේතවනයේ හමුවන නොකපා ඔප දැමූ පබළු විද ඇත්තේ ද එක පසකින් නොව දෙපසිනි. ඒ හිල් කිරීම සඳහා ඔවුන් භාවිත කල ද්‍රව්‍ය එතරම් ප්‍රභල දැඩියාවකින් යුතු නොවන නිසා විය යුතුය. මෙම කුරුවින්ද කුලයේ මැණික් අතර රතු කැට, පුෂ්පරාග සහ ගෙවුඩ විශේෂ හමුවන බව මාගේ පර්යේෂණ වලින් තහවුරු වී ඇත.

අතීත ශ්‍රී ලංකික ජනයාගේ ඛණිජ සහ භාවිතය පමණක් නොව එම ඛණිජ වල ගුණ පිළිබඳව ඉතා හොඳ දැනුමක් තිබී ඇත.  එනිසා ඒවායේ භාවිතය නිසි ලෙස හසුරුවන්නට ඔවුනට හැකියාවක් තිබු බවට මෙම තොරතුරු ඉතා හොඳ සාක්ෂියක් වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය



 

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...