Saturday, 17 April 2021

 කල්‍යාණි ගංගාවෝ

භූ සංචාරය 46

This Article is originally published on Vidusara.

කැළණි ගංගාවෝ කඳුකරයේ සිට තරුණ අවධියේ තමා සතු ජවාධික බවෙන් කිතුල්ගල ප්‍රදේශයේ පසු කරන්නේ අපූරු ගංගා රූපණ ඇතිකරමින්. වරෙක ගංගා මාර්ගයේ අධික වැසි සමයේ ගෙන ආ විශාල ගල් කුළු අතරින් ඒවායේ තම ජල දේහය වද්දවමින් වේගයෙන් ගමන් කරන්නේ හිටිවනම වතුර වක්කලමකට ජල පහර ඇද දමමින් ය. කල්යාණි ගේ තරුණ අවධියේ අවසාන අදියර මෙලෙස අපූරු ගංගා රූපණ ඇතිකිරීම බොහෝ සංචරකයනේ සිත් ඇඳ බැඳ තබා ගන්නා බව ඉතා පැහැදිළිය. ධවල පැහැති පෙන බුබුළු ඇතිකරමින් ගලා යන ජලයට සුන්දරත්වයක් එක් කරන්නට මේ ගංගා රූපණ බොහෝ ඉවහල් වෙයි. වරෙක තැනි පෙත්තට කපා දමාපු ලී කොටයක  මතුපිටක් සේ ඇති ගල් තලා සංචාරකයන්හට දිය මත ලිස්සා යාමට කදිම පසුබිමක් සකස් කර දෙයි. ධවල ජලයේ ලිස්සා යාම ප්‍රචලිත වන්නේ මෙවන් පසුබිමකය.  එනිසා මේ වන විට කිතුල්ගල ප්‍රදේශය සංචාරකයන්හට කදිමට සුව විඳිය හැකි පරිසරයක් බවට පත් වී හමාරය. 

කිතුල්ගල, නිවර්තන කලාපීය රටක පවතින තෙත්කලාපීය වැසි වනාන්තර ගහනව තිබු ප්‍රදේශයකි. නමුත් අවාසනාවන්ත ලෙස බ්‍රිතාන්‍යන්ගේ අදූරදර්ශී සහ විනාශකාරී වගාවන් හේතුවෙන් කදිමට තිබු වනාන්තර භුමි බොහොමයක් මේ වනවිට වලපල්ලට ගොසින්. නමුත් තවමත් ගංගාවෙන් අනෙක් පස ඉතිරි වී ඇති වැසි වනාන්තරය නිසා ජෛව ශ්‍රී විභූතියේ සලකුණු තවමත් තරමක් හෝ ඉතිරි වී ඇති බව සිතිය හැක. මාකන්දාව වැසි වනාන්තරය ලෙස හඳුන්වන මේ කදිම ජෛව පරිසරය හෙක්ටයාර දහසක පමණ භූමියක් ආවරණය කරමින් දුලභ දුර්ලබ ජීවි විශේෂ සියයකට අධික සංක්‍යාවක් සඳහා වාසභූමි සපයන බව අප මතකයේ රඳවා ගත යුතුය.

මෙවන් වූ සුන්දර පරිසරයක් සංචරණය සඳහා තව කොතකුත් දේ ඇත්තේමුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ ධවල ජලයේ ලිස්සා යාමට පමණක් බව පෙනී යයි. අතීතයේ මේ වැසි වනාන්තර භුමිය ප්‍රාග් ඉතිහාසිකයන් සඳහා වාස භුමිය සැපයු භූමියක් බව බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. පසු ගිය කාල වකවානුවේ මෙරට පුරා විද්‍යාඥයින් විසින් කරන ලද ගවේෂණ සහ පරීක්ෂණ මගින් ඒ බව කදිමට අනාවරණය කර ඇත. ඒ කිතුල්ගල බෙලි ලෙන නම් වූ සුන්දර ගල් ගුහාවේ සිදු කරන ලද පර්යේෂණ මගින්.

බෙලි ලෙන පිහිටන්නේ කිතුල්ගල නගරයේ සිට කිලෝමීටර අටක දහයක් පමණ දුරින් වූ රබර් වත්තකය.  යම් දුරක් ප්‍රාදේශීය මාර්ගයක ගමන් කර ඉන් පසු ගල් පඩි සහිත අඩි පාරක් ඔස්සේ ගල් ගුහාවට ලඟා විය හැක. තවමත් ගුහාව පවතින භුමිය ද්විතියික ශාක සන්තතියක ආරක්ෂාව ලබමින් පැවතීම සතුටට කාරණයකි.

බෙලි ලෙන යනු ගුහා වර්ගීකරණයට අනුව මවු පාෂාණමය ගල් පියැස්සක් වන අතර එය ගුහා පද්ධතියකින් අලංකාර වී ඇත. කැනීම් කරන ලද ප්‍රධාන පියැස්සට ඔබ්බෙන් තවත් ගුහාවක් පවතින බව දැක ගත හැක. එකල පැවති කාලගුණික තත්වයන් අනුව පාෂාණ ජිර්ණයේ සහ ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මේ කදිම ගුහා පද්ධතිය අතීත මානවයාගේ වාස භුමි බවට පත්වීම කොතරම් අරුමයක් ද යන්න විටෙක සිතේ. තම ආහාර අවශ්‍යතාවය සඳහා කදිම තෝතැන්නක් ව තිබෙන්නට ඇති මේ භුමිය ජලය වැනි මූලික අවශ්‍යතා ප්‍රාග් මානවයාගේ දෙපා ළඟටම ලබා දීමෙන් වාසය සඳහා වඩා සුදුසු භූමියක් බව පෙනී යයි. ගුහාවේ ඉහල සකස් වී ඇත්තේ හිටිවනම ඇති වූ විශාල හෙලකිනි. මෙකල වර්ෂා කාලයේ ඉහල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන ජල බිඳිති ඝනව වැඩුණු කාබනික ස්ථරයෙන් සෙමෙන් උරා ගෙන මවු පාෂාණය මත වැතිර පවත්නා තුනී පාංශු ස්තර හරහා රුරා පහලට ගලන්නේ පාෂාණ හෙළයේ තොන්ගලේ වූ පාෂාණ වැටිය ඔස්සේ පහලට ඇදහැලෙන්නට අවකාශ සකසමින්.  මේ ක්‍රියාවලිය අවසානයේ නිර්මාණය කරන්නේ දෙවැනි ලෙන හරහා තිරයක් මෙන් සකස් වෙමින් ඇද හැලෙන්නා වූ සුන්දර දිය ඇල්ලක් ඇතිකරමින්. සුන්දරව ඇදහැලෙන ජල ධාරාව පවතින සුළං ධාරා මගින් බිඳිති බවට පත් කරන්නේ යම් මොහොතක වාෂ්පයක් බවට පත් ව මීදුමක් සේ නැවත ඉහල නගින්නට ආරාධනා කරමින්. සුන්දරත්වය ඇතිවන්නේ එලෙසය. මේ අපූරු දිය ඇල්ල හිතුවක්කාර කොලු ගැටයන්හට නම් පැන පැන ඔලුව අල්ලා ඇඟපත තෙමා ගන්නට කදිම අවකශයක් ලබා දෙයි.

බෙලි ලෙනේ ආදී වාසීන් විසුවේ අඩි වසර තිස් දහසකට පමණ පෙර බව පුරා විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි. ඔවුන්ගේ ඉතා වැදගත් මෙම පර්යේෂණ තව දුරටත් පෙන්වා  දෙන්නේ මෙහි විසුවෝ අදින් වසර දසදහසක පමණ කාල සීමාවක් දක්වා දිවි ගෙවන්නට ඇති බවයි. එනම් හොලොසින අවධිය ආරම්භය වන තෙක් පමණ බව පෙනී යයි.  ඒවාගේම වසර 16 000 ක් පමණ පැරණි මානව ඇටසැකිලි හමු වූ බවද වාර්තා වෙයි. ශිත යුගයේ දිවි ගෙවූ මේ අපූරු ප්‍රාග් ඓතිහාසිකයන් රටේ පහත් බිම් වල දිවි ගෙවූවන් හා සම්බන්ධතාවයන් පවත්වන්නට ඇති බවට කදිම සාක්ෂියක් හමු වෙයි. ඒ මුහුදු බෙලි කටු වන අතර ප්‍රදේශ වාසින් පවසන අන්දමට ලෙනට නාමය ගෙන එන්නේ ද මෙය පදනම්වය. මුහුදු ආහාර රස විඳින්නට වෙරළට ඇදුනෝ පහත් බිම් වාසින් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒ වාගේම මුහුද බෙලි කටු පවසන්නේ වෙරළට ඇදුනෝ ලුණු රසය හඳුනන්නන් බවයි.

මේ ලුණු සහිත මුහුදු ආහාර පරිහරණය තවත් කදිම අර්ථකතනයක් සඳහා පසුබිම සපයයි. එනම් මෙහි විසුවෝ ලුණු ආහාර භාවිතයට කලින් සිටම පුරුදු වුවන් බවයි. මේ පුරුද්ද ඔවුන් කඳුකරයට යම් හේතුවක් නිසාවට සංක්‍රමණය වන්නට පෙර සිට ඇති කර ගත්තක් විය යුතුය. එසේ නොමැතිව නුපුරුදු දේ සොයා යාමේ පුරුද්දක් ඔවුන්ගේ තිබෙන්නට හැකියාවක් නොමැත. ලුණු රසය පුරුදුව සිටි, මුලිකවම පහත් බිම් වාසීන් වන මොවුන්ගේ ප්‍රධාන ආහාරයක් වන්නට ඇත්තේ මුහුදු බෙල්ලන් වැනි මුහුද ආහාර වන්නට ඇත. කඳුකරය ට සංක්‍රමණය වීමෙන් ඔවුන්ගේ සුන්දර මතකයන් සහ රසයන් සොයා වෙරළට ඇදෙන්නට ඇතුවාට කිසිම සැකයක් නොමැත. කෙසේ වෙතත් මේ කාලය ශිත යුගයේ උපරිමය සටහන් කරන කාලයට සමගාමී නිසා අපට සිතිය හැක්කේ ජෛව විවිධත්වය ද මේ වැසි වනාන්තරයේ සාපේක්ෂව අඩු වන්නට ඇති බවයි.

 ඒ කෙසේ වෙතත් කිතුල්ගල් මේ සුන්දර බෙලි ලෙන සංචරනයට කදිම ස්ථානයකි. දැන් දැන් නුතන මානවයාගේ කුහක හසීම මගින් මේ අපූරු පරිසරය දුෂණය වන්නට පටන් ගෙන ඇත. එහි සංචරණයට යන්නන් අඩි සලකුණු පමණක් ඉතිරි කර අනෙකුත් දේ ආපසු රැගෙන එන්නේ නම්  ඉතා උසස් බව මතක් කර දිය යුතුය.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...