භූ සංචාරිතය 14
This article was published on Vidusara 17.06.2020.
ගංගාවන් රට මැදින් රැගෙන එන අවසාදිත බහාලන ඇසුරුම වන්නේ මහ
මුහුදයි. කිසිම චෝදනාවක් නොමැතිවම ගංගාවන් රැගෙන එන සියල්ල මහ මුහුද පිළිගනියි.
නොපිළිගන්නා සියල්ල නැවත වෙරළ වෙත හරවා නොඑවන්නට තරම් මහා මුහුද පසුබට වෙන්නෙත් නැහැ.
එමනිසා පාවෙන සියල්ල වෙරළේ නවාතැන් ගනියි.
ගංගාවක ශක්තිය පිළිබිඹු වන්නේ එය රැගෙන යන අවසාදිත වල ස්වරුපය
අනුවයි. මහා විශාල ශක්තියක් හෙබි ගංගාවෝ විශාල ප්‍රමාණයේ රළු ඛණිකා සහිත අවසාදිත ප්‍රවාහනය
කරති. ඒ මහා ශක්තිය ගෙන දෙන්නේ වර්ෂාවයි. මහා වැසි එකතු කරන වර්ෂාව ගංගාව පෝෂණය කරන
අතර වැසි සමය ගංගා වලට සිත් සේ ගලන්නට අවකාශය සහ ශක්තිය ගෙන දෙයි. දෙගොඩ තලා ගලනා ගංගාවන්ගේ
ශක්තිය හීන වූ කල ගඟබඩ දෙපස අත අරින්නේ එලෙස රැගෙන එන අවසාදිතයි. කෙලස වුවත් බොහොමයක්
අවසාදිත වල අවසාන නවාතැන්පල වන්නේ මහා මුහුදු පත්ලයි.
වෙරළේ ක්‍රියාකාරිත්වය ගොඩබිම පැවැත්ම උදෙසා විශාල
මෙහෙයක් කරයි. වෙරළේ අවසාදිත වර්ගය තීරණය කරන්නේ රැල්ලේ ශක්තියයි. ශක්තිය වැඩිනම් වෙරළේ
තැන්පත් වන්නේ රළු ඛනිකාමය අවසාදිතයි. සියුම් ඛණිකා සහිත අවසාදිත තැන්පත් වන්නේ රැල්ලේ
ශක්තිය හීන වූ විටයි. හීන ශක්තියකින් හෙබි වෙරල වල බහුලව හමුවන්නේ මැටි සහිත අවසාදිතයි,
ශ්‍රී ලංකාවේ වෙරළේ හමුවන්නේ වඩා විශාල නොවූත් වඩා කුඩා නොවූත් මධ්‍යම ප්‍රමාණයේ වැලි
ඛණිකා බව ඔබට මතකයට නැගේවි. අපේ රටේ වෙරල හරිම ලස්සනයි. ඒ අලංකාරය වැඩිකරන්නට ධවල පැහැති තිරුවානා වැල්ල
බෙහෙවින් උපකාරී වෙනවා කිව්වොත් නිවැරදියි.
මෝසම් සුළං නිසා වෙරළ ආසන්නයෙන් මුහුදේ හට ගන්නා දිගු දුර
දියවැල් වෙරළේ අවසාදිත ඉදිරියට තල්ලු කරන නිසා වැලි කැට එක් රොක් වෙවී ගොඩ ගැසෙන්නේ
බාධකයක් හමු වූ විටයි. වෙරළ සංචරණයට ඉතා අපුරු තැනක්. භූ විද්‍යත්මක සංසිද්ධීන් බහුල
වෙරළ නිසි පරිදි අධ්‍යනය කරන්නේ නම් භූ විද්‍යාඥයින් හට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන.
භූ සංචාරිතයෙන් ඔබට අද ගෙන එන්නේ වෙරළේ වූ එවැනි තවත් භූ
සංසිද්ධියක් නිසා හට ගන්නා භූ ව්‍යුහයක් ගැනයි. වෙරළ සැමවිටම පෙන්නුම් කරන්නේ ලෝකයේ
සාගරවල ජල මට්ටමයි. සමහර කාලෙක මෙම මට්ටම උච්චාවචනය වන්නේ ඉතා පැහැදිලි ලෙසයි.
මුහුදු මට්ටම වෙනස් වී වෙරළේ ගතික බව රඳවා
ගන්නේ මුහුදේ ජල ප්‍රමාණයේ වෙනස් වීමයි. මුහුද ජල ප්‍රමාණය වැඩි වන විට වෙරළ ගොඩබිම
දෙසට තල්ලු වන අතර මුහුද මට්ටම අඩු වී වෙරළ සාගරය දෙසට තල්ලු වන බව මතක නොකළ යුතුය.
මුහුදේ ජලය වැඩිවන්නේ ජල සංචිත වල ඝන ජලය දියවු විටයි. ජල සංචිත ඇත්තේ ධ්‍රැවය
දෙපස අතර ඒවා ඔබ කවුරුත් හොඳින් හඳුනන ධ්‍රැව
අයිස් වෙයි. ධ්‍රැව අයිස් දියකරන්නේ ලෝකයේ කාලගුණය අයහපත් වූ විටයි. ගෝලීය උණුසුම්
යම් කිසි හේතුවක් නිසා වැඩිවන විට ධ්‍රැව අයිස් දියවන අතර එනිසා මුහුදු මට්ටම වැඩි
වේ. ලෝකයේ උණුසුම අඩු වීම සාගර ජලය මුදවන්නට හේතු වන නිසා ධ්‍රැව අයිස් ගොනුව වර්ධනය
වන අතර එවිට සාගරයේ ජල මට්ටම පහත හෙලන්නට හේතුවෙයි.
ගොඩබිමෙන් ඉවතට වර්ධනය වන වෙරළ නිසා ගොඩබිම ප්‍රදේශය විශාල
වන අතර මධ්‍යයේ වූ ගංගාවන් මුහුද හා සම්බන්ධවීම
සඳහා වැඩි දුරක් ගමන් කිරීමට සිදුවෙයි. මෙනිසා ගංගාව තිරිහන් වන අතර තරුණ සහ මධ්‍ය
අවධියේ වූ නිම්නයන් තව තවත් ගැඹුරු වෙයි. වෘධ අවධියේ ගතකල ගංගා තීරයේ මින් පසු තැන්පත් වන්නේ මධ්‍ය අවධියේ
තැන්පත් වීමට නියමිත රළු ඛණිකාමය අවසාදිත යි. බොරළු වැනි අවසාදිත තැන්පතු ගොඩ ගැසෙන්නේ එබැවිනි. එලෙස ඇති වූ තැන්පතුවකි පතිරාජවෙල ප්‍රදේශයේ
හමුවන්නේ. ප්‍රතිරාජවෙලා ප්‍රදේශය ප්‍රසිද්ධ
වන්නේ වසර ලක්ෂයකට පමණ පැරණි ශිලා මෙවලම් හමුවන පුරා විද්‍යත්මක භූමියක් ලෙසයි.
ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය වන්නේ මැටි ඛණිජ සමග තිරුවානා
වැල්ල නිර්මාණය වීමයි. බොහෝ විට තිරුවාන බොරළු සහ පෙබලු ගංගාවේ ගලා යාම නිසා එකිනෙක
ඝට්ටනය වී කුඩා කැබලි බවට පත් වේ. තිරුවානා (ක්වාට්ස්) ඛනිජයේ නිශ්චිත පැලුම් රටාවක්
නොමැති නිසා ඇතිවන පැලුම් මගින් ලබා දෙන්නේ ඉතා තියුණු දාර යි. මෙම දාර වහා කැපෙන සුළුයි.
මේ අපූරු ලක්ෂණය හඳුනා ගන්න අපේ මුතුන් මිත්තෝ කැපුම් තලයක් ලෙස භාවිත කරන්නට පටන්
ගත් අතර පසු කාලීනව මානවයා විසින් මෙවැනි තියුණු කැපුම් දාර සහිත මෙවලම් තමා විසින්ම
නිර්මාණය කරගන්නට පෙළඹුන බව අපට පෙනී යයි. අහඹු ලෙස පිපිරුණ තිරුවානා අත්ගලෙන් මතු
වූ තියුණු දාර සහිත කැපුම් දාර තල පසු කාලීනව
විශාල පෙරලියක් කරන්නට හේතු වේ යැයි ඔවුන් කිසිසේත් නොසිතන්නට ඇත. පසු කාලීනව නිර්මාණය
කරන ලද වඩා දියුණු ශිලා මෙවලම් තිරුවානා ඛනිජයේ භාවිතයක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය
නැත. ශ්‍රී ලංකාවේ නම් තිරුවානා ඛනිජයට අමතරව සිලිකා මගින් නිර්මාණය වූ කහඳ (චර්ට්)
නම් වූ අස්ඵටික ද්‍රව්‍යද යොදා ගෙන ඇති බව පර්යේෂණ මගින් තහවුරු වෙයි.
සොබාවික ව නිර්මාණය වූ තිරුවානා කැපුම් දාර සහිත කුඩා කැබලි
මිනිසා විසින් නිර්මානය කරන ලද්දක් ද නොවේද යන්න දැනගන්නේ කෙසේද. ඒ සඳහා ඇති ක්‍රමවේදය
කුමක් ද. කුමන ලක්ෂණ මේ සඳහා යොදා ගන්නේ ද? ක්ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යනයේදී
මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව ඉතා පැහැදිලිව වටහා ගත හැකිය. මන්දයත් මිනිසා
විසින් එය නිර්මාණය කිරීමේදී ඇතිකරන ලද සියුම් දාරවල් සහ පැති පහසුවෙන් හඳුනා ගත හැකි
නිසයි. කෙසේ වෙතත් මාගේ මතය අනුව පැරණි මුතුන් මිත්තන් ප්‍රාථමිකව භාවිතා කරන්නට ඇත්තේ
තමා නිර්මාණය කරන ලද ශිලා මෙවලම් නොවන අතර ඒවා බොහෝවිට සොබාවිකව නිර්මාණය වූ තිරුවානා
කැබලි වන්නට ඇත. සොබාවිකව නිර්මාණය වූ සහ ප්‍රාතමිකව මිනිසා නිර්මාණය කරන ලද ශිලා මෙවලම්
හඳුනා ගත හැකි ද? මාගේ මතය වන්නේ එය කිසි සේත්ම කල නොහැකි බවයි. එලෙස හැකිවන්නේ එම
ශිලා මෙවලම් පැරණි මිනිසුන් වාසය කළා යැයි විශ්වාස කරනා ස්ථාන වලින් හම්වූ වූ විටෙක
පමණි. එසේ නොමැති නම් බාහිර රූපකාය අනුව සොබාවිකව නිර්මාණය වූ තියුණු දාර සහිත තිරුවානා
කැබලි සහ ප්‍රාථමික ශිලා මෙවලම් හඳුනා ගැනීම අතිශය දුෂ්කර බව අමතක නොකළ යුතුය. ඒ අනුව
පතිරාජවෙල බොරළු නිධියෙන් වසර ලක්ෂයකට ආසන්නයේ හමු වූ ශිලා මෙවලම් සත්‍ය ලෙසම මිනිසා
නිර්මාණය කරන ලද්දක් ද නැතහොත් සොබවිකව ගංගාවේ චලනය නිසා බිඳුම් ඇතිවී එමගින් නිර්මාණය වුවා ද යන්න පැහැදිලි
නොමැති බවයි මාගේ මතය වන්නේ. එනිසා එවැනි මතබේදාත්මක කරුණු පාදක කර යම් යම් නිගමන වලට
එළඹීම නොකළ යුත්තකි. නිශ්චිත ලෙස පතිරාජ වෙල බොරළු නිධියෙන් හමුවන්නේ සොබාවිකව නිර්මාණය
වූ තිරුවානා බොරළු කැබලි නම් වසර ලක්ෂයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ මිනිසුන් වාසය කළා යන්න
හුදු බොරුවක් පමණක් ම වන බව අප අමතක නොකළ යුතුය.
ආචාර්ය පත්මකුමාර
ජයසිංහ