භූ සංචාරිතය 11
This article is originally published on Vidusara, 28.05.2020.
එක වසංගතයක් ඉවර වීගෙන එන කොට ඔන්න තවත් ආපදාවක් මෙරටට ඔලුව
දාන්න පටන් අරං. නිරිත දිග මෝසම් වර්ෂාව ආරම්භ වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. දැනට
පවතින්නේ අවුෆන් කුණාටුව නිසා ඇති වූ තත්වයක්. ඒ නිසා තමයි අධික වර්ෂාව නිසා නාය යාමේ
තර්ජනය ඇතිවෙලා තියෙන්නේ. මේ නිසා රත්නපුර වගේම කෑගල්ලෙත් මිනිසුන් කිහිපදෙනෙක් මරණයට
පත් වුනා. නිරිත දිග මෝසම තමයි ශ්‍රී ලංකාවට නාය අනතුර ඇතිකරන්නට මුලිකම සහ ප්‍රධානම
වෙන කාලගුණික විපරියාසය වෙන්නේ. ඒ කියන්නේ මේ මගින් තමයි වැඩිපුරම බලපෑමක් එල්ල කරන්නේ.
මධ්‍යම කඳුකරයේ පිහිටි දිස්ත්‍රික්ක වන කෑගල්ල, රත්නපුර, කළුතර, මහනුවර, නුවරඑලිය,
බදුල්ල වගේ දිස්ත්‍රික්ක මෙනිසා තමයි ආපදාවට ලක් වෙන්නේ. නාය ආපදාව ප්‍රධානම වශයෙන්
කරළියට එන්නේ අසූව දශකයෙන් පස්සේ. ඒකට ඇත්ත වශයෙන්ම ප්‍රධානම හේතුව වන්නේ අවිධිමත්
වේගවත් කඳුකර සංවර්ධනය. තවමත් මේ තත්වය තේරුම් අරන්, මේ සම්බන්ධව වගකිව යුතු ආයතන අදාළ
ක්‍රියාමාර්ග අරගෙන නැහැ. මට හිතෙන්නේ ඔවුන්ට බාලගිරි දෝෂය හැදිලද කොහෙද.
නාය යාමක් කියන්නේ ඇත්තෙන්ම සොබාවික සංසිද්ධියක්. පාෂාණ ජිර්ණයේ
අතුරැ ප්‍රතිඵලයක් නිසා තමයි නාය යාම් සිදුවන්නේ. පාෂාණ ජීර්ණය මිනිසුන්ට නවත්තන්න
පුළුවන් භූ සංසිද්ධියක් නොවෙයි. පෘතුවිය මතුපිටට එන හෝ තියෙන ඕනෑම දෙයක් අත්‍යන්ත ලෙසම
ජීර්ණයට නතු වෙනවාමයි. හැබැයි මේ සොබාවික සංසිද්ධිය අද වෙනකොට ජනතාකරණයට ලක් වෙලා ඉවරයි. ඒ කියන්නේ අද වෙනකොට නාය ඇතිකරන ප්‍රධාන සාධකය වෙන්නේ
මිනිසුන් සහ ඔවුන්ගේ අත්තොනෝමතික ක්‍රියාදාමයන්. මිනිසුන් බලාපොරොත්තු වූ වේගවත් කඳුකර
සංවර්ධනයත් සමගම ඒ වේගයෙන්ම නාය අනතුරත් අත්වැල්
බැඳගෙනම අප ලඟට ඇවිත්.
භූ සංචාරිතයේ මාගේ පළමු නාය අත්දැකීම් ලබන්නේ මා පේරාදෙනිය
විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී යි. ඒ කාලයේ සක්‍රිය වූ කොස්ලන්ද නාය බලන්නට විශ්ව
විද්‍යාලයේ භූ විද්‍යාව හැදෑරු සියලු දෙනාම රැගෙන බසයක් පිටත් වූ බව මට මතකයි.
සැහෙන කාලයක් ගත කරමින් අදාළ ස්ථානයට පැමිණි අප සිත් සේ කොස්ලන්ද නාය අධ්‍යනය කොට ඉතා
සවස් වී නැවත ආපසු පිටත් වුවා ද මතකයි. දෙවනියට මේ අත්දැකීම ලබන්නේ මා තුන්වන වසරේ
අවසාන භාගයේ ඉගෙන ගන්නා සමයේ මාගේ කර්මාන්ත පුහුණුව සඳහා ලත් අවස්තාව හේතුවෙන්. මා
ඒ සඳහා සම්බන්ධ වෙන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් පිළිබඳව අධ්‍යනය
කරමින් සිටි පිළිමතලාවේ පිහිටි ක්ෂේත්‍ර කාර්යාලයටයි. ඒ 1999 දීය. එකල ඔවුන් නාය ආපදා සිතියම් නිර්මාණය කරන්නට අවශ්‍ය
අධ්‍යනය කටයුතු කරමින් සිටියේ. ක්ෂේත්‍ර කාර්යාලයේ ප්‍රධානියා හිටපු අධ්‍යක්ෂක ආර්.එම්.එස්.
බණ්ඩාර මහතා. ඒත් සමග ජයතිස්ස මහතා (වර්තමාන අධ්‍යක්ෂක, නායයම් පර්යේෂණ සහ අවධානම්
කළමනාකරණ අංශය), සෝමරත්න මහතා, කිත්සිරි බණ්ඩාර මහතා මෙන්ම ධර්මසේන ඉංජිනේරු මහතාත්
එහි සේවය කළා. මේ ක්ෂේත්‍ර කාර්යාලය තමයි පසුකලෙක එම ආයතනය තුල නායයාම් පර්යේෂණ සහ
අවදානම් කළමනාකරණ අංශය ලෙස ස්ථාපනය වෙන්නෙත්. ඉහත සම්බන්ධ කණ්ඩායමේ අප්‍රතිහත ක්‍රියාකාරිත්වය
නිසා තමයි මේ වනවිට ශ්‍රී ලංකාව තුල නායයාම් පර්යේෂණ සඳහා යම්කිසි ආකාරයකට රාජ්‍ය මැදිහත් වීමක් සිදුවන්නට
හේතුවන්නෙත්. ඒ වාගේම ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයාම් පර්යේෂණ සඳහා මෙරට
වගකිවයුතු ආයතනය වන්නේත්, මෙවැනි ආයතනයක් මෙරටේ ඇති බව වැසි කාලයේ දී හෝ ජනතාවට මතක්
කර දෙන්නෙත් මෙනිසායි. ඒ වාගේම එදා මේ දියුණුවට
කකුලෙන් ඇදපු මිනිසුන්ගේ යාවජීව ජිවන මාර්ගය බවට මෙය අදවෙනවිට පත් වී ඇත්තෙත් මේ කණ්ඩායමේ
උසස් ක්‍රියාකාරිත්වය නිසා බව ද මෙහිලා සඳහන් කල යුතුය. බොහෝ දෙනෙකු මේ පිළිබඳව නොදන්නවා
වෙන්නට පුළුවන් වාගේම මේ ගැන දන්නා සමහර කුහක මිනිසුන් ඒ බව පවසන්නට ද මැලිවන බව මෙහි
ලා සඳහන් කිරීම වටී
ක්ෂේත්‍ර කාර්යාලය ඇත්තෙන්ම මා හට ඉතා අපූරු තැනක් වුවා පමණක්
නොව බොහොමයක් අත්දැකීම් ලබා ගන්නට ද තෝතැන්නක් විය. නාය ආපදා කලාප සිතියම් පිළිබඳව මූලික අඩිතාලම ලබා
ගන්නට මෙන්ම නාය යාම් සම්බන්ධව නවතම තොරතුරු සමග යාවත්කාලින වන්නට ද මා ලද මේ අවස්තාව
බොහෝ උපකාරී වුවා. අවස්ථා කිහිපයකදී මේ දැවැන්තයන් සමග ක්ෂේත්‍ර චාරිකා වල නිරත වන්නට
ද මා හට අවස්තාව හිමි විය. ඒ අතුරින් නැවත කොස්ලන්ද නාය අධ්‍යනය සඳහා සහභාගී වන්නට
ද මා හට හැකිවිය. ඒ කොස්ලන්ද නාය නිසා විනාශ වූ කොස්ලන්ද වැල්ලවාය පාරේ මෙම ස්ථානයේ
වූ පාලම නැවත ස්ථාපනය සඳහා අවශ්‍ය අධ්‍යන කටයුතු වලට. එක් දිනක් මෙම අධ්‍යනයන් සඳහා
මදි වූ හෙයින් කොස්ලන්දේ අපහට නවතින්නට සිදු වූ අතර එකල අද මෙන් නවතින්නට පහසුකම් සොයා
ගැනීමට පහසු වූයේ නැත. එනිසා අපහට නවතින්නට සිදු වුයේ නාය අසලම පාර අද්දර වූ හානියට
පත් නොවූ නිවසකි. මේ නිවාස අසලින්ම නාය ගොස් තිබුනද නිවසට හානියක් වී තිබුනේ නැත.
එමෙන්ම නැවත හානිය වේයැයි සිතිය හැකි තත්වයක තිබුනේද නැත. එනිසා සියලු දුෂ්කරතා මධ්‍යයේ
මෙහි නවතින්නට තීරණය කළෙමු. සීතලද යහමින් තිබු නිසා ලද කුඩා කාමරය ප්‍රමාණවත් විය.
බතුත්, කිරි අල වෑන්ජනයකුත් සමගින් රාත්‍රී ආහාරය සප්පායම් වී අප නින්දට ගියේ පසුදාද
සැලකිය යුතු වැඩ ප්‍රමාණයක් නිම කරන්නට තිබු බැවිනි.
මේ අත්දැකීම තරමක් හොඳ මට්ටමේ අත්දැකීමක් වුවත් මෙවැනි චාරිකා
වලදී සැමවිටම මෙවැනිවත් පහසුකම් නොලැබු බව මේ කණ්ඩායමේ සාමාජිකයන් සැමවිටම පවසන දෙයක්
විය. බොහෝ විට පන්සලක බණමඩුවක් ඔවුන්ගේ රාත්‍රී නවාතැන් පොළ විය. එවැනි තැන් සඳහා ඔවුනට
යොමුවන්නට සිදුවන්නේ නවාතැන් සඳහා මිල මුදල් වෙන් නොකර ඇති තත්ත්වයකයි. නමුත් ඒ දුෂ්කරතා
සියල්ල විඳ දරා ගනිමින් අද පවතින තත්වයට නාය පර්යේෂණ සහ අධ්‍යන පත්කරන්නට ඔවුනට හැකි
වීම ඉතා අගය කල යුත්තකි.
මෙය කදිම ආදර්ශයක් වන්නේ වායුසමනය කල වහනයක් මෙන්ම ඉතා හොඳ
තත්වයේ ආහාර සපයන හොඳම වර්ගයේ හෝටල නොමැති නං ක්ෂේත්‍ර චාරිකා ප්‍රතික්ෂේප කරන භූ විද්‍යාව
ගැන කිසිත් නොදන්නා එපමණක් නොව නාය ආපදාව පිළිබඳව ද තොලේ කටේ පමණක් ගාගත් දැනුම් ඇති
තනතුරට පමණක් වූ එහෙත් තමන් විද්‍යාඥයින් යැයි හඳුන්වා ගන්නා නව පරපුරේ කෝලම්කාරයන්ටයි.
මුලික සිද්ධාන්තවත් නිසි පරිදි නොදන්නා මොවුන් මෙවන් වූ කදිම අත්දැකීම් ඇත්තන්ටහට විටෙක
කරනා අභියෝග ඉතා විහිළුජනක බව ඔවුන්ට නොතේරීම පුදුමයක් නොවන බව මේ තත්වය හමුවේ පැහැදිළිය.
වර්තමානයේ නාය යාම් පර්යේෂණ සඳහා යොමුව ඇත්තන් තමන් අධ්‍යනය කල විෂය පථය පිළිබඳවවත්
නිසි අවබෝධයක් නොමැත්තන් බව ඉතා අපුරුවට පෙනී යන කරුණක්. බල්ලාගේ කාරිය බූරුවා නොකළ
යුතුය. එවන් තත්වයක් හමුවේ ඉදිරියේදී මෙරටේ නාය ආපදා පර්යේෂණ කොයි අතටකට යොමු වේදෝයි
මහත් සැකයක් මා හට මතු වෙයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ