Saturday, 6 April 2024


භූ සම්පත්, ජනාවාස සහ සංස්කෘතීන්............!!!

අවශ්‍යතා පදනම් කරගෙන බිහි වූ ශිෂ්ටාචාර ලොව පළමු ශිෂ්ටාචාර වේ. ඒවා බොහෝ විට භූ සම්පත් මූලික කරගෙන බිහි වූ ඒවායි. ජලය මූලික අවශ්‍යතාව කරගත් ඉන්දුනිම්න, හරප්පා සහ නයිල් වැනි ශිෂ්ටාචාර මේ සඳහා කදිම උදාහරණ වේ. එයට අමතරව වෙනත් භූ සම්පත් කේන්ද්‍ර කරගත් ජනාවාස, සමාජ සහ සංස්කෘතීන් ද බිහි වි ඇත. වර්තමානයේ ඔස්ට්‍රේලියාව වැනි රටවල ආර්ථික ලෝහ වන රත්තරන්, තඹ සහ යකඩ වැනි ලෝහ ආකාර මූලික කරගෙන බිහි වූ එවැනි ජනාවාස සහ සංස්කෘතීන් තුල යම් සුවිශේෂීතා දැකිය හැකි වේ. පැරණි කර්මාන්ත වන මැටි කර්මාන්තය, ලෝහ කර්මාන්තය, ලුණු කර්මාන්තය වැනි කර්මාන්ත නිසා අපුරු සාමාජ සංස්කෘතීන් බිහිවන බව අමතුවෙන් පැවසිය යුතු නොවේ. වාග් සම්ප්‍රදායන්ගේ විවිධත්වය සහ මානව හැසිරීමේ විවිධත්වය ඒ තුල දැකිය හැකිය. මෙය වඩාත් තීවෘ වන්නේ කාලගුණය සහ දේශගුණය ඒ මත බල පවත්වන විටයි. ලෝකයේ ඕනෑම සංස්කෘතියක් හැඩගැසෙන්නේ දේශගුණයේ බලපෑම තුලයි.


මානව විද්‍යාව හදාරන්නන් ගේ අවධානය ශ්‍රී ලංකාවේ එවැනි ජනාවාස සහ සමාජ සංස්කෘතීන් වෙත යොමු විය යුතුය. උදාහරණයක් ලෙස අනුරාධපුර සහ පොළොන්නරු යුගවලදී බොහෝ ගොඩනැගිලි පාෂාණමය නැතහොත් ශිලාමය වේ. ඒ තුලින් බිහි වූ සමාජය සහ සංස්කෘතිය දැන් වන විට බිඳ වැටි හමාරය. ඒ තව දුරටත් ශිලා කර්මාන්තය මෙරට ප්‍රමුඛ නොවීම හේතු කොටගෙනයි. එනිසා වර්තමානයේ එහි ඉඟියක් සොයා ගැනීම ඇති දුෂ්කර කාරියකි. නමුත් පාෂාණ නිර්මාණ දෙස් බැලීමේදී එය අතිශය දියුණු සමාජ සන්දර්භයක් ගොඩනගන්නට ඇති බව පෙනීයන් කාරණාවකි. ඒ සඳහා පාෂාණ නෙලීම සම්බන්ධයෙන් මා සිදුකල පර්යේෂණ වඩා හොඳ ප්‍රව්ශයක් ලබා දෙයි. අනුරාධපුර යුගය වඩා භෞතික ක්‍රමවේදවලට සමීප බවත් පොළොන්නරු යුගය රසායනික ක්‍රමවේද භාවිතා කල බවත් තහවුරු වේ. එවන් වූ වෙනස්කම් කොතරම් වූ තරමකට මානව ක්‍රියා විවිධත්වයක් ඇතිකරන්නට ඇතිද යන්න සිතා බැලිය යුතු කාරණාවකි.

සේරුවිල තඹ නිධිය වටා ගොඩ නැගුන ඒ සුවිශේෂී ජනාවාස සහ සංස්කෘතිය ද මේ වන විට වැනසී ගොස් ඇති බව සැබෑවකි. එවන් වූ ලෝහ ඛණිජ නිධියක් සකස්වන්නේ අභ්‍යන්තරයේ රත්තරන් ද බාහිරයෙන් තඹ ද එයට බාහිරයෙන් යකඩ ද පවතින පරිධිය. එනිසා මුල්ම කාලයේ දී මෙම නිධියේ වූ රත්තරන් උකහා ගන්නට ඇත. ඉන්පසු තඹ ද අවසානයේ යකඩ ද නිස්සරණය කර ගන්නට ඇත. ඒ සඳහා සාධාරණ සාක්ෂි ඇති බව අප සිදුකල පර්යේෂණ වලින් කදිමට පැහැදිලි වේ. මෙවැනි ලෝහ නිස්සරණය කරන්නා වූ ස්ථාන පදනම් කරගත් ජනාවාසයක් කෙසේ වන්නට ඇත්දැයි අපට ප්‍රතිනිර්මාණය කරන්නට හැකිය. ඒ සඳහා අවශ්‍ය සාක්ෂි බොහොමයක් තාමත් ඒ ප්‍රදේශයේ පවතින බව නම් සැබෑවකි.

ශ්‍රිලංකාවේ පුරාණ යකඩ තාක්ෂණය හා බැඳුන සංස්කෘතිය වුව තවමත් නිසි පරිදි අධ්‍යනයකට ලක්වී නොමැත. එනිසා ශ්‍රී ලාංකික මානව විද්‍යඥයින් සහ භූ විද්‍යඥයින් එක්ව මෙම ක්ෂේත්‍ර විවිධ මාතෘකා ඔස්සේ අධ්‍යනය සහ පර්යේෂණ වලට ලක් කල යුතුය. එය වර්තමාන මානව සමාජයේ ප්‍රගමනය සඳහා ඉතා හොඳ කාරණා වනු ඇත. 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ  








පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...