Saturday, 15 June 2019

පාංශු ජෛව ඉංජිනේරු තාක්ෂණය
(soil  bioengineering)

ගහක් වැලක් කොළක් මලක් නොමැති කල මේ ලෝකයට යන කල දවස ගැන අමුතුවෙන් ටීකා ටිප්පනි ලියන්නට අවශ්‍ය වන්නේ නැත. ජිවය  පත්වාගෙන යන්නට ශාක ලබා දෙන්නේ මහඟු සහයකි.  හුස්ම ගන්නට හැකි වටපිටාව සකස් කරන්නේ ද සතුනට අවැසි අහාර ලබා දෙන්නේ ද ශාක නම් වූ ප්‍රථමික නිෂ්පාදකයායි. දිනෙන් දින මිනිසා ගේ සංවර්ධන කටයුතු නිසා ශාක වැස්ම විනාශ වන අතර එනිසාම රටක් තිබිය යුතු අවම ප්‍රමාණයද දැන් දැන් නැති වෙමින් පවතී.

ශ්‍රී ලංකාවේ මෙම තත්වය ඉතා දරුණු බව පැහැදිලිය. හේතුව කුමක් වුව දිනෙන් දින නැතිවන්නේ අපගේ වන වැස්මයි. හුදු ආත්මාර්ථකාමීත්වය කඳුකරයේ භුමිය අස්ථාවර කරමින්, නාය ආපදා දිනේන දින වර්ධනය කරවයි. වන වැස්ම ද ආර්ථික බෝග ද පාංශු සම්පත ද මෙනිසා අනතුරට ලක්වෙයි. නාය අනතුර නිසා දිනේ දින අපතේ යන භුමි භාගය වැඩිවෙමින් පවතී. කාලගුණික විපරියාසයන් නිසා ද පිළිවෙලක් නැති සංවර්ධන කටයුතු නිසා ද දිනෙන් දින මෙම තත්වය උග්‍ර අතට හැරෙයි.

නාය ආපදා අවදානම අවම කිරිමේ එක පියවරක් ලෙස වර්තමානයේ ජනප්‍රිය ක්‍රමවේදයක් වන්නේ ඉංජිනේරු ක්‍රමවේද භාවිත කර නාය යන ස්ථාන ප්‍රතිස්ථාපනය කිරීමයි (landslide mitigation). මෙහිදී බහුලව කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතා කරන අතර යකඩ සහ කොන්ක්‍රීට් ඒ අතර බහුල වෙයි  නාය යාමට හේතුවන ජලය පස් තුලට රිංගා යාම වැලැක්වීම සඳහා අදාල  ස්ථාන වල ජල අපාරගම්‍ය මතුපිටක් සකස් කිරීම ඉතා වැදගත් වෙයි. ඒ සඳහා විවධ සිමෙන්ති මිශ්‍රණ යොදා එම කාරිය සිදුකරන අතර එනිසා එයින් ලැබෙන මතුපිට පෘෂ්ටය ශාක වැඩීම  සඳහා හිතකර පරිසරයක් නිර්මාණය  කරන්නේ නැත. ශාක වැවුනහොත් එම ව්‍යුහයන් හට හානි ගෙන දෙයි.

කඳුකරයේ බොහෝ ස්ථාන අස්ථාවර වී නාය අවදානම මතු වී ඇති නිසා ඉහත සඳහන් ඉංජිනේරු ක්‍රම වේද මගින් දැන් දැන් එම ස්ථාන ප්‍රතිස්ථාපනය කරමින් පවතී. එනිසා නාය අනතුර නිසා විනාශ වූ වන වැස්ම නැවත ඇති කරන්නට නොලැබෙයි. නාය අනතුරට ලක්වූ බොහෝ ස්ථාන වත්මනෙහි අත්හැර දමා ඇති නිසා එම ස්ථාන වලින් කලින් ලබා ගත්  ආර්ථික ලාභය ද නොලැබෙයි. අත්හැර දැමීම නිසා අනවශ්‍ය ශාක මෙන්ම ආක්‍රමණික  ශක ද වර්ධනය වීමේ සම්භාවිතාව ද වැඩිය. මතුපිට සරුසාර පාංශු ස්තරය ගසා ගෙන ගොස් ඇති නිසා ආර්ථික බෝග වගා කිරීමේ  ගැටලුවක්  ද ඇත.
පාංශු ජෛව ඉංජිනේරු තාක්ෂණය (soil  bioengineering) කරළියට එන්නේ ශ්‍රී ලංකවේ මෙවැනි පසුබිමක් තුලයි. කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය අවම කර සජීවී ශාක යොදා එම කාරිය ඉටු කරගනිම මෙම තාක්ෂණයේ ප්‍රධාන අරමුණ වේ. එමගින් වන වැස්ම  නැවත ස්ථාපනය කිරීමට හැකි වීම මෙයින් ලැබෙන ප්‍රධාන වාසියයි. එපමණක් නොව අතහැර දැමු නාය ගිය භුමි නැවත ප්‍රයෝජනයට ගත හැකි ප්‍රදේශ බවට පත් කිරීමට හැකි වීම ද මෙමගින් ලැබෙන තවත් වාසියකි. වායුගෝලීය කාබන් ඩයොක්සයිඩ් අවශෝෂණය වැඩිවීම, පරිසර පද්ධතිය ප්‍රතිස්ථාපනය වීම, පරිසර උණුසුම අඩු වීම, පාංශු ජල වහන  පද්ධතිය ක්‍රමවත් වීම, සතුන් සඳහා පරිසර නිර්මාණය වීම, පාංශු ඛාදනය අඩු කිරීම පමණක් නොව පසේ තත්වය දියුණු වීම වැනි බොහෝ අතිරේක සහ අනියම් වාසි ගණනාවක් සැලසෙන බව පෙනී යයි. 
  
ශාක වල ඇත්තාවූ සුවිශේෂී ගුණාංගයන් ප්‍රයෝජනයට ගනිමින් මෙම තාක්ෂණය ප්‍රගුණ කරයි. සමහර ශාකවල ඇති මුල් පද්ධතිය ඉතා කදිමට පාංශු ඛණිකා එකට ගොනුකර ඇද  බැඳ තබයි. මුල් පද්ධතියේ ශාකා දසත විහිදී ගොස් සැලකිය යුතු ප්‍රදේශයක පාංශු ස්තර අල්ලා ගැනීම යකඩ ඇණ ගසා පාංශු ස්තර බැඳ තැබුවා වැනිය.  මෙම කාරියේදී මුදුන් මුල් පද්ධතියක් සහිත ද්විබීජ පත්‍රී ශාක යොදාගැනීම මනාය. පාංශු අභ්‍යන්තරයේ ගොඩගැසෙන ජලය එලියට ඇද දැමීම සඳහා පොලොව විද මීටර දහයක් විස්සක් නැතහොත් මීටර පනහක් හැටක් දුරට කෘත්‍රිම බට ගසාලයි. ශාකවල ඇති තවත් සුවිශේෂී ගුණයක් වන්නේ භූ අභ්‍යන්තර ජලය මුල් මගින් උරා පත්‍ර මගින් වායුගෝලයට නිදහස් කිරීමට ඇති හැකියාවයි. මෙම කාරිය ඉතා හොඳින් සිදුවන ශාක කෙරෙහි මෙහිදී අවධානය යොමු වේ. එයට අමතරව ශාකවල බර අඩුබව මෙන්ම බර වැඩි බවද මෙම තාක්ෂණයේදී සැලකිල්ලට ගැනේ. මෙවැනි තවත් බොහෝ සුවිශේෂී ගුණාංග ප්‍රයෝජනයට ගන්නට හැකියාව පවතී.

නේපාලය, හොංකොං, තායිවානය වැනි රටවල මෙම තාක්ෂනය ප්‍රයෝජනයට ගන්නා බව පෙනේ. ශ්‍රී ලංකාව තුල මෙම තාක්ෂනය ප්‍රචලිත කිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනටමත් කටයුතු සම්පාදනය කර ඇති අතර තාක්ෂණික ක්‍රමවේද පිලිබඳ  පර්යේෂණ සිදුකෙරෙමින් පවතී.මෙහිද වඩා වැදගත් වන්නේ මේ සඳහා සුදුසු දේශීය ශාක වර් හඳුනාගැනීමයි. ඒ සඳහා භූ උද්භිද සමීක්ෂණයක් (Geo Botanical Survey) කල යුතුය. මෙහි විශේෂත්වය වන්නේ ශක පිලිබඳ අධ්‍යනය භූ විද්‍යාත්මක කරුණු කරනාද සැලකිල්ලට ගෙන සිදුකිරීමයි. මෙම කාරිය එතරම් පහසු කාරියක්  නොවන්නේ අධික ශාක විවිධත්වයක් අප සතුව ඇති නිසායි.

කෙසේ වෙතත් මෙම තාක්ෂණය  දියුණු කිරීම ඉතා කෙටිකලකින් සිදුකල හැකිවන්නේ නැත. සජීවී ශාක සමග සිදුකරනා ගනුදෙනුවක් නිසා මනා ඉවසීමකින් යුතුව පර්යේෂණ සිදුකල යුතුය. මෙම තාක්ෂණයේ ස්ථාපනය මෙරට ඉංජිනේරු තාක්ෂණයේ පමණක් නොව භූ විද්‍යාවේ සහ උද්භිද විද්යාවේද නව පෙරලියක් වනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ  

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...