Thursday, 15 March 2018

විදු පත් ඉරුව

රුවන්පුරය නැතිනම් රත්නපුරය කියපුවා ම අපට මතක්‌ වෙන්නේ ලොව සුපතළ මැණික්‌ පිළිබඳව. ලෝකයේ අවසාදිත නිධිවලින් හොද ම මැණික්‌ ලැබෙන රටක්‌ තමා අපේ රට. නමුත් අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මැණික්‌ ගැන නම් නොවෙයි. ඔබ අහලා තියෙනව ද "ප්‍රාග් ජීවධාතු" පිළිබඳව. ඒ කියන්නේ "ෆොසිල" ගැන. ඔන්න දැන් නම් දන්නවා කියා වි. රත්නපුරය කියන්නේ පැරැණි ජීවීන් ගේ ශරීර කොටස්‌ සහ සටහන් ලැබෙන ප්‍රදේශයක්‌. මේවා බොහොමයක්‌ ලැබෙන්නේ මැණික්‌ පතල්වලින්. ඒකට හේතුව වෙන්නේ මැණික්‌ ගරන අය තමයි මේ ප්‍රදේශයේ පොළොව හාරන්නේ. ඒ වගේ ම මේ පතල් බොහොම ගැඹුරට හාරන එකත් බලපානවා.

ඉතින් මේ වග රටට මුලින් ම සොයා බලා විස්‌තර සැපයුවේ සුප්‍රකට විද්‍යාඥයෙක්‌ වන පී. ඊ. පී. දැරණියගල මහත්මයා. ඔහු කලෙක පුරාවිද්‍යා කොමසාරිස්‌ වෙලත් හිටියා. ඔහු සදහන් කරන ආකාරයට සිංහයන් ගේ, රයිනෝල ගේ, හිපෝල ගේ, ගවරා ගේ සහ පැරැණි අලින් ගේ ප්‍රාග් ජීව ධාතු රත්නපුරයේ මැණික්‌ පතල්වලින් ලැබිලා තියෙනවා. මේ හමු වන සතුන් ගේ ස්‌වරූපය සහ අවසාදිතවල භූ ලක්‌ෂණ අනුව මහාචාර්ය කුරේ මහතා පවසලා තියෙනවා කලෙක දී මේ ප්‍රදේශය විශාල මඩ ගොහොරුවක්‌ හැටියට තියෙන්න ඇති කියලා. ඒ හොලොසින යුගයේ දී.

දැනටත් එවැනි සතුන් ගේ පැරැණි ශරීර කොටස්‌ මේ ප්‍රදේශයෙන් හමු වෙනවා. ඒ විතරක්‌ නො වෙයි ඒ කාලේ තිබුණ ගස්‌වල කඳන්, ඇට ජාති එහෙමත් හමු වෙනවා. නමුත් ගැටලුවක්‌ වෙලා තියෙන්නේ ඒවා පිළිබඳව බොහෝ දෙනෙක්‌ දැනුවත් නැහැ. ඒක නිසා ගොඩ දාන සැණින් විනාශ වීමට හේතු යෙදෙනවා. සමහර වෙලාවට උදලු පහරවල් නිසා කුඩු වෙලා යනවා පහසුවෙන් ම. මොකද මේවා ගොඩාක්‌ පැරැණි නිසා. අනිත් කරුණ තමයි මේ වගේ දේවල් ලොව බොහොම දුර්ලභයි. ඉතින් අපිට මේ හමු වන ෆොසිල එකතු කරගන්න පුළුවන් නම් පැරැණි ජීවීන් සහ පැරැණි පරිසරය පිළිබඳව ගොඩාක්‌ කරුණු එක්‌රැස්‌ කරගන්න හැකි වෙනවා. ඒක නිසා මේ ෆොසිල මැණික්‌ වගේa ම අපට වටිනා දෙයක්‌. විද්‍යාත්මක අධ්‍යයනවලට බොහෝ ම වැදගත් වෙනවා. එනිසා රත්නපුර ප්‍රදේශයේ ඉන්නා අපේ දුවා දරුවන් සහ මේ විද්‍යාවට ආදරය කරන සියලු දෙනා මේ පිළිබඳව තම තමන් ගේ වැඩිහිටියන්, ඒ වාගේ ම ඥාතීන් දැනුවත් කරන්න ඕනේ. විශේෂයෙන් ම පතල් කර්මාන්තයේ යෙදෙන පිරිස දැනුවත් කිරීම තමයි ඕනෙ ම කරන්නේ.

ලෝකයේ මේ "ප්‍රාග් ජීවධාතු" පිළිබදව උගන්වන විෂයක්‌ තියෙනවා. ඒක හඳුන්වන්නේ "ප්‍රාග් ජීවධාතු විද්‍යාව" (Paleontology) කියලා. සමහරු "පාෂාණීභූතධාතු" විද්‍යාව කියලත් හඳුන්වනවා. නමුත් මම හිතන්නේ වඩාත් සුදුසු පදය තමයි මුල් එක. මොකද පාෂාණ බවට පත් නො වන ෆොසිලත් හමු වෙනවා නේ. උදාහරණයක්‌ හැටියට ගත්තොත් සයිබීරියාවේ අයිස්‌වල හමු වන මැමත්ල ගේ ෆොසිල. ඒවා සීතලට හොඳට ම මිදිලා තියෙන්නේ. ඊට අමතරව ෆොසිලවල සටහනුත් මේ කොටසට වැටෙනවා. ලංකාවේ මේ විෂය පාසල් තුළ ඉගැන්වෙන්නේ නැහැ. හැබැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ විද්‍යා පීඨයේ භූ විද්‍යාව හදාරන සිසුනට නම් මේ පිළිබඳව හදාරන්න අවස්‌ථාව ලැබෙනවා.

මේ ප්‍රාග් ජීවධාතූ තියෙන්නේ රත්නපුරේ විතරක්‌ නො වෙයි. ජුරාසික කාලේ ෆොසිල, තබ්බෝව ප්‍රදේශයේත්, මයෝසින කාලයේ ඒවා පුත්තලම, මන්නාරම සහ යාපනය ප්‍රදේශයේත් ඇති පාෂාණවල පිහිටලා තියෙනවා. මේ පිළිබඳව අධ්‍යයනය කිරීම උනන්දු කිරීම සදහා පරිසර අමාත්‍යංශයේ ජෛව විවිධත්ව ලේකම් කාර්යාලය මූලිකව 2007 වසරේ "පුරා ජෛවවිවිධත්ව උපදේශන කමිටුව" පිහිටෙව්වා. මේ පිළිබදව අධ්‍යයනයන් කරන විවිධ ක්‌ෂේත්‍රවල විශේෂඥයන් රැසක්‌ මේ කමිටුවට ඇතුළත්. ආරම්භක පියවර තබන්න මූලික වුණේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයකු වන ගාමිණී ගමගේ මහත්මයා. ඔබ ප්‍රදේශයෙන් ලැබෙන ෆොසිල පිළිබඳ තොරතුරු මේ කමිටුවට දෙන්නත් පුළුවන්. ඒ පිළිබඳව වැදගත් වන තොරතුරු අහගන්නත් පුළුවන්.

රත්නපුර ප්‍රදේශය පිළිබඳව අප වැඩි අවධානයක්‌ යොමු කරන්නේ මේ ෆොසිල සමග පැරැණි මානවයන් ගේ නෂ්ටාවශේෂ ලැබිය හැකි නිසා. මොකද මේ දේවල් මානවයා ආරම්භ වූ කාලයෙන් පසු ජීවත් වූ සතුනට අයත් නිසයි. ඉතින් බොහෝ දුරට එවැනි මානව අවශේෂ සහ ඔවුන් භාවිත කළ මෙවලම් ද හමු වෙන්න පුළුවන්. ඒක නිසා මානව ඉතිහාසය හැදෑරීමේ දී ඔහු ආශ්‍රිතව වූ දේවල් සහ සතුන් හැදෑරීමත් වැදගත් වෙනවා.

රත්නපුරය, කුරුවිට ප්‍රදේශවල මේ පිළිබදව උනන්දුවක්‌ දක්‌වන අයට ඔබ ප්‍රදේශයේ ම ඉන්නා අයකු ගෙන් වුණත් විස්‌තර දැනගන්නත් පුළුවන්. ඒ තමයි දැනට දශක දෙක තුනක ඉඳලා ප්‍රදේශයේ දුවා දරුවන් අතර විද්‍යාව ප්‍රචලිත කරන්න වෙහෙස වන, පරිසරය ආරක්‌ෂා කරන්න උත්සාහ කරමින් ඒ වෙනුවෙන් වැඩ කරන ග්‍රාම නිලධාරී මහතකු ලෙස සේවය කරන කමල් අබේවර්ධන මහත්මයා. ඔහු සතු කදිම ෆොසිල එකතුවක්‌ ද තියෙනවා. කෙනෙකුට යම් ෆොසිලයක්‌ හමු වුණොත් ඔහුට ලබා දෙන්නත් පුළුවන්. ඔහු ගෙන් විස්‌තර ලබාගන්නත් පුළුවන්. ඔබේ පැත්තේ ම හින්දා බොහොම පහසුවක්‌ වේ වි.

කොහොම වුණත් රත්නපුරය අවට සහ ශ්‍රීපාද අඩවිය ප්‍රාග් ජීවධාතූන් ලැබිය හැකි පැති. අවධානයෙන් සිටීම තමයි වැදගත්. කෙනකුට මේ පිළිබඳව දේශන හෝ ප්‍රායෝගික දැනුවත් වීමක්‌ අවශ්‍ය නම් ලබා දෙන්නත් පුළුවන්. ඒ සදහා විදුසර හරහා ඉල්ලීමක්‌ කරන්න විතරයි තියෙන්නේ. ඒ වගේ ම තමයි මේ ලැබෙන ෆොසිල අරක්‌ෂා කරගන්නත් අපේ දුවා දරුවන් හිතට ගන්න ඕනේ.


ආචාර්ය පත්මකුමාර ජයසිංහ


විදු පත් ඉරුව
2015  මාර්තු 18  බදාදා

මේ දිනවල පාසල්වල ක්‍රීඩා තරග ලහි ලහියේ පැවැත්වෙන අතර ඒ බොහොමයක්‌ තරග මේ පාසල් වාරයේ අවසන් කිරීමට සියල්ලන් ම බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැදගත් වන කරුණු කිහිපයක්‌ සදහන් කිරීම වටින බව සිතූ නිසයි මෙවර විදු පත් ඉරුව ක්‍රීඩා ක්‍ෂේත්‍රය කෙරෙහි වෙන් කිරීමට සිතුවේ. පසුගිය වසර කිහිපයේ ම පාසල් ක්‍රීඩා තරගවලට සහභාගී වූ දරුවන් කිහිප දෙනෙක්‌ ම හදිසියේ ම ක්‍රීඩාවල යෙදී සිටින විට මිය ගියා. ඒ සඳහා විවිධ හේතූන් කියවුණා. සමහරුන් ගේ ස්‌වාභාවිකව ම තිබූ ආබාධත් හේතුවක්‌. ඒ කෙසේ වෙතත් මෙමගින් අපට යම් පාඩමක්‌ උගන්වනවා. ඒ තමයි අඩු ම තරමින් මාපියන් තම තම දරුවන් ක්‍රීඩා පුහුණු කිරීම්වල යෙදීමට පෙර පෞද්ගලිකව හෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව. එමගින් කෙතරම් දුරට තම දරුවා ක්‍රීඩා තරගවල යෙදීම සදහා යෝග්‍ය ව සිටින්නේ ද යන්න හඳුනාගත හැකියි. නගරබද පාසල්වලට නම් මෙය එතරම් ගැටලුවක්‌ නො වන්න පුළුවන්. සමහර විට වෛද්‍යවරයෙක්‌ව පාසලට ම ගෙනෙල්ලා උපදෙස්‌ ගන්නත් හැකි වෙනවා. අනිත් කරුණ තමයි නගරබද බොහෝ විට පෞද්ගලික හෝ රජයේ ආරෝග්‍ය ශාලා ඇති නිසා එවැනි තැනකට ගිහින් වුණත් ඒ සේවය ලබාගත හැකියි. ඒත් ගම්බද පාසල් සදහා තමයි ගැටලුව. බොහෝ විට එහෙ මවුපියන් මේ පිළිබඳව දැනුවත් නැහැ. ඉතින් දරුවන් අනතුරට ලක්‌ වීමට වැඩි නැඹුරුතාවක්‌ දක්‌වනවා.

මෙවැනි අවස්‌ථාවන්වලට මුහුණ දීමට අපට පෙර සිට සූදානම් වෙන්නත් පුළුවන්. උදාහරණයක්‌ හැටියට තරග පැවැත්වෙන දිනයේ මෙවැනි අනතුරු සම්බන්ධව අත්දැකීම් ඇති කණ්‌ඩායමක්‌ ළග ඇති රෝහලෙන් ගෙන්වාගැනීම. එහි දී ඔවුන් ගේ අනුදැනුම සහ අත්දැකීම් නිසාත් බොහෝ අනතුරු අවම කරගන්න හැකි වේ වි. හැබැයි මෙය කලින් කීවාක්‌ වගේ සැම පාසලකට ම ඉටු කරගන්න අමාරුයි. එවැනි අවස්‌ථාවල ප්‍රථමාධාර දීම සදහා පාසලේ දී ම ළමයින් කණ්‌ඩායමක්‌ පුහුණු කළ හැකියි. රතුකුරුස සංවිධානයේ ආධාර උපකාර අරගෙන මෙවැනි වැඩ සටහන් සමහර පාසල්වල නම් පැවැත්වෙනවා. කොහොම වුණත් පාසල් දරුවන් හට ප්‍රථමාධාර ක්‍රම පුරුදු පුහුණු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද යත් ඒවා නිසි පරිදි ඉගැන්නුවේ නැති වුණොත් එය තවත් අනතුරකට හේතු වෙන්න පුළුවන් නිසා.

ක්‍රීඩාවල යෙදීමේ දී ද පුහුණු වීම්වල යෙදීමේ දී ද බොහෝ වෙහෙස වන නිසා සිරුරෙන් අධිකව දහදිය පිට වීම සිදු වනවා. එනිසා දුවා දරුවන් මෙය සිත්හි තබා ගෙන ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි. ශරීරයට ජලය නො ලැබුණ හොත් විජලන තත්ත්වයක්‌ ඇති විය හැකි නිසයි ඒ. නමුත් එකවර වැඩිපුර ජලය පානය කිරීම ද හොඳ නැහැ. විශේෂයෙන් ම දිවීමේ තරගවල යෙදෙන්නන්ට. වෙහෙස වීමෙන් වැය වන ශක්‌තිය ඉක්‌මනින් ලබා ගැනීම කළ යුතුයි. ශක්‌තිය අවශ්‍යතාව ක්‌ෂණිකව ලබා දෙන්නේ සීනි වැනි ද්‍රව්‍යවලින්. මේ සදහා ඉක්‌මනින් රුධිරගත වන සීsනි අඩංගු ආහාර ගත හැකියි. උදාහරණයක්‌ ලෙස ග්ලූකෝස්‌ වැනි දේ. නැතිනම් දොඩම් වැනි පානයන්. කෘත්‍රීම පානයන් භාවිත නො කරනවා නම් හොඳයි. ගම්බද පාසල්වලට නම් බොහොම පහසුවෙන් දෙහි, දොඩම්, පැෂන් වගේ පලතුරු පානයන් සාදාගන්න පුළුවන්. ක්‌ෂණිකව අවශ්‍ය වන මේ ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්න ආනමාලු වැනි කෙසෙල් ගෙඩියක්‌ කන්නත් පුළුවන්. ගමේ ගොඩේ ඕනේ තරම් කෙසෙල් ගෙඩි වර්ග සොයාගන්න පුළුවන්.

ඊළගට වැදගත් වන දේ තමයි ක්‍රීඩා කිරීමේ දී නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම. එමගින් බොහොමයක්‌ අනතුරු වළක්‌වාගන්න පුළුවන්. ඒ වගේ ම නිවැරැදි ඉරියව්ව එම ක්‍රීඩකයා ගේ උපරිම ජවය සහ හැකියාව ලබා දීමටත් හේතු වෙනවා. ලෝකයේ බොහොමයක්‌ රටවල් අද මේ පිළිබඳව පර්යේෂණ පවා සිදු කරනවා. එමගින් ක්‍රීඩාවේ උපරිමයට යැමටත් සමහර රටවලට හැකි වෙලා තියෙනවා. ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල මේ සදහා විශේෂිත පර්යේෂණ ආයතන පවා ඇති කරලා තියෙනවා. එමගින් අධි තාක්‌ෂණික ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩකයා ගේ උපරිමය ලබාගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරනවා. ඔලිම්පික්‌ වැනි ලෝක මටමේ තරගවල දී මිලි තත්පරයක වෙනස පවා දිනුම තීරණය කරනවා. මේ පර්යේෂණ කරන පර්යේෂකයෝ පවසන්නේ මිලි තත්පරයක ඉක්‌මන පවා එනිසා වැදගත් බවයි.

ලංකාවේ නම් මේ තත්ත්වයට අපි තවම පැමිණිලා නැහැ. එනිසා බොහෝ විට අපේ ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය සඳහා තාක්‌ෂණයේ පිහිට ලබාගැනීම අඩු මට්‌ටමකයි තියෙන්නේ, හැබැයි ඒ සදහා ක්‍ෂේත්‍රයේ කිසියම් නැඹුරුතාවක්‌ තියෙන බව පේනවා. විශේෂයන් ම ක්‍රිකට්‌ වැනි තරගවල දී. පසුගිය දොහක විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තාක්‌ෂණයේ භාවිතය පිළිsබඳ දේශනයක්‌ පැවැත්වූවා. ඒ පිහිනුම් ක්‍රීඩාවේ දී මේ තාක්‌ෂණය භාවිතයෙන් අනතුරු අවම කරගැනීමේ සහ ජවය වැඩි කරගැනීමේ හැකියාව පිළිsබඳව. හවායි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජෑන්ස්‌ මහතා තමයි දේශනය සිදු කළේa. ඒ අයුරින් හෝ යම් කිසි ආරම්භයක්‌ ලබාගැනීමට හැකි වීමත් සතුටක්‌.

කොහොම වුණත් අපේ දුවා දරුවන් ක්‍රීඩා කිරීමේ දී ඉහත කී දෑවලට අවධානය යොමු කරන්න ඕනේ. එපමණක්‌ නො වෙයි මවුපිය වැඩිහිටියනුත් සැම විට ම සැලකිල්ලලෙන් සිටීමෙන් අනතුරු අවදානම අඩු කරගන්න පුළුවන් වනවා. අවසානයේ දී මෙමගින් රැකෙන්නෙ රටේ අනාගතයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...