Wednesday, 18 January 2017


විදුපත් ඉරුව

17.01.2017. www.vidusara.com

පෘථිවියේ ජිවය රඳා පවත්නේ සූර්යයාගෙන් ලැබෙනා ශක්තියෙන් බව අමුතුවෙන් කියන්නට ඕනෑ කරුණක් නොවෙයි. හිරුගෙන් ලැබෙනා ආලෝකයෙන් ආලෝකමත් වෙන පෘථිවියේ ශක්ති සංසරණය ඉතා අපූරුවට නිර්මාණය වී ඇති බව මදක් විමසිලිමත් වුවහොත් ඔබට පැහැදිළි වේවි. ප්‍රාථමික නිෂ්පාදකයන් වන ශාක හිරුගේ ශක්තිය උරාගන්නා පළමු වැන්නා වෙයි. ඉන්පසු ඔවුන් මත යැපෙන ද්විතිකයින්ද තෘතිකයින්ද ශක්ති දාමය සම්පුර්ණ කරයි. ශක්තිවන්තයා සැමවිටම ජයග්‍රහණය කරා එළඹීම ස්වභාව ධර්මයේ නීතියයි.  

ජීවින් හරහා මෙලෙස හිරුගේ ශක්තිය සම්ප්‍රේෂණය වෙද්දී භෞතික ද්‍රව්‍ය හරහා ද ශක්තිය සම්ප්‍රේෂණය වන බව මෙලොව සිදුවන ස්වභාවික ක්‍රියාදාමයන් මගින් පැහැදිළි වේ. මෙම ශක්ති සංසරණය ජලය හරහා ප්‍රමුඛව සිදුවන බව ඇතිවන කාලගුණික විපරියසයන් මගින් ඉතා කදිමට පෙනී යයි. එපමණක් නොවේ පාෂාණ ජීර්ණය ලෙසද වාතයේ ඇතිවන සුළං දහරා මගින් ද මෙම ශක්ති සංසරණය පෘථිවිය තුල සිදුවන බව අපට පැහැදිළි වේ. පෘථිවියේ ඇති “ඇලය” හේතුවෙන් සුවිශේෂී දේශගුණික කලාපයන් නිර්මාණය වී ඇත. හිරුගේ කිරණ ලැබෙනා පිළිවෙළ නිසාවට හිරුගේ ශක්තිය උපරිමයෙන්  ලබා ගන්නට නිරක්ෂයට හැකියාව ලැබී තිබේ. එමෙන්ම ධ්‍රැවසන්නයට තීව්‍රතාවයෙන් අඩු හිරු කිරණ ලැබෙනා බැවින් ඉතා අඩු ශක්තියක් ලැබෙන බව එහි දේශගුණික තත්වය නිරීක්ෂණයෙන් ඉතා හොඳින් පැහැදිළි වේ.

මේ වන විට පෘතුවියේ පවතින සෑම ආහාර දාමයකම ප්‍රභල සාමාජිකයා වන්නට මිනිසාට හැකියාව ලැබී තිබේ. බුද්ධිය ප්‍රමුඛ කාරණය වී ශක්තිවන්ත කුලකයක් තනන්නට එනිසා මිනිසාට හැකිවී තිබේ. ඒ සදහා බොහෝ කරුණු කාරණා හේතු වී ඇති බව පැහැදිළි වේ. මිනිසාගේ නිර්මාණශීලි හැකියාව සහ දෙඅතේ හුරුව මෙහිදී තීරණාත්මක සාධක වී තිබෙන බව පෙනී යයි. එනිසා විවිධ පරිසර ජයගැනීමට මිනිසාට හැකියාව ලැබී තිබේ. ඇත්තෙන්ම ඒ එම පරිසරයට අනුව ජිවත් වන්නට හැඩ ගැසීමෙනි. වසර දහස් ගණනක් තිස්සේ මෙලෙස සිදු වූ පෙරළිය විවිධ සමාජ සංස්කෘතීන් බිහි කරන්නට හේතු වී ඇත.

ධ්‍රැවාසන්න ප්‍රදේශ ශක්ති ඌනතාවයකින් පෙලෙනා බව පිළිගත යුතුය. තාප ශක්තියේ ඌනතාවය ඉතා ප්‍රභල ලෙස බලපාන බව එම ප්‍රදේශවලින් විකාසනය වූ සමාජ සංස්කෘතීන් විග්‍රහ කිරීමේදී පෙනී යයි. පවතින දරුණු ශිත දේශගුණික තත්වය ඔවුන් සමනය කරගන්නේ තමන්ගේ මුළු ශරීරයම බාහිර පරිසරයෙන් වියුක්ත කර ගැනීමෙනි. ඒ සදහා ඔවුන් විවිධ උපක්‍රම භාවිතා කරයි. ඇඳුම් පැළදුම් ඒ අතර ප්‍රමුඛ උපක්‍රම වෙයි. දෙඅත් මෙන්ම දෙපා ද ආවරණය සදහා මේස් පැළඳීම දෙකන් වැසෙන සේ හිස් ආවරණ පැළඳීම පමණක් නොව ගෙල ප්‍රදේශය ශීතලෙන් ආරක්ෂා කරගැනීම සඳහා කරපටි පැළඳීම ද ඔවුන්ගේ සිරිත වෙයි. නිසි පරිදි ගෙල ප්‍රදේශය අරක්ෂා නොවුනහොත් පෙනහළු ආශ්‍රිත රෝග වැළඳීම බව ඔවුන් ඉතා හොඳින් දනී. එනිසා ගෙල ආරක්ෂක ඇඳුම් නොවරදවාම පළදින්නට ඔවුන් වග බලා ගනී. බොහෝ විට අඳුරු හෝ කළු පැහැති ඇඳුම් වලට මූලිකත්වය හිමි වී ඇත්තේ සියලු ආලෝක කිරණ උරා ගැනීමට පහසු වන බැවිනි. අදවන විට මෙවැනි දේ මෝස්තරයන් වී විවිධ ඇඳුම් විලාසිතා නිර්මාණය වී ඇත. නමුත් එහි අත්‍යන්ත අරමුණ වන්නේ ශිතලෙන් අරක්ෂා වී ශරීරය උණුසුම්ව තබා ගැනීමයි.

ශිත රටවල ඇඳුම් පැළඳුම් පමණක් නොවේ ආහාර පාන ද, ආහාර පාන ගන්නා ආකාරයද හැඩ ගැසී ඇත්තේ සැමවිටම උණුසුම රඳවා ගනිමින් ශීතලෙන් මිදෙනා පරිදිය. රත්කර උණුසුම් ව වහ වහා අනුභවය ඔවුන්ගේ සිරිතයි. දෙඅත් සේදීම සඳහා ජලය භාවිතයෙන් මිදෙන්නේ කෝටු කැබලි හෝ හැඳි හෝ ගෑරුප්පු වැනි මෙවලම් භාවිතයෙනි. එවිට දෙඅත් සේදීම අවශ්‍ය වන්නේ නැත. ජල පානය අසීරු බැවින් ඒ වෙනුවට සුප් වැනි දියරමය ආහාර හෝ වයින් වැනි මධ්‍යසාර මිශ්‍රිත පානයන් ඔවුන්ගේ සංස්කෘතියේ විකල්ප වේ. එමෙන්ම ශිත කාලයේ නිතරම ගෘහාශ්‍රිතව ජීවත්වන්නට ඔවුන් තැත් කරයි.  තවත් බොහෝ ක්‍රියාකාරකම් සහ උපකරණ මොවුන්ගේ සංස්කෘතිය තුල දක්නට ලැබෙන්නේ ඒ හැම දෙයක්ම ඉලක්ක ගත වී ඇත්තේ අවසානයේදී ශීතලෙන් මිදී උණුසුම ආරක්ෂා කර ගත හැකි වන පරිදිය. එය ඔවුනට ඒ තරමට වැදගත් සහ අත්‍යවශය බැවිනි.

සමකසාන්නයේ ජිවත්වන්නන්ට පිරි ඉතිරි යන්නට උණුසුම ලැබෙනා බැවින් උණුසුම රඳවා ගන්නට අවැසි වන්නේ නැත. ඔවුනට වැදගත් වන්නේ වැඩි උණුසුම පිටකර සමනය කර ගැනීමටයි. එනිසාම ඇඳුම් විලාසිතා මුළුමනින්ම වෙනස් වේ.  අඩු ඇඳුම් ප්‍රමාණයක් මෙන්ම ඝනකමෙන් අඩු තුනී ඇඳුම් සදහා මෙහිදී ප්‍රමුඛතාවය ලැබේ. සුදු පැහැය අත්‍යන්තයෙන්ම සියලු ආලෝක කිරණ පරාවර්තනය කරනා බැවින් ශරීරයේ උණුසුම අඩු කරගැනීමට මහඟු සහයක් ලබා දෙයි. දෙපා ආවරණය වන පරිදි පාවහන් පැළඳීම අවශ්‍ය වන්නේ ද නැත. හැඳි ගෑරුප්පු කිසිවක සහය ද අවැසි වන්නේ නැත.  ජලය භාවිතයේ අපහසු තාවයක් කිසිවිටෙකත් පැන නොනගින බැවින් ද ශරිර සිසිලනය සදහා අතවශ්‍ය සාධකයක් බැවින්ද ජලය මූලික කරගත් සංස්කෘතියක් බිහි වන්නට හේතු වී ඇත. බොහෝ ක්‍රියාකාරකම් එලි පහළියේ සිදුකරන්නට පෙළඹී ඇත.

දේශගුණයේ ඇතිවන වෙනස්කම් මෙලෙස එකිනෙකට වෙනස් සංස්කෘතීන් බිහිකරන්නට හේතු වී ඇත. එනිසා එකිනෙකට වෙනස් විටෙක පරස්පර විරෝධී සිතුම් පැතුම් පමණක් නොව චාරිත්‍ර වාරිත ද හමු වෙයි. මේ වෙනස මෙරටේ බොහෝ දෙනෙකු තේරුම් නොගෙන ඇති බව ඉතා සරල දෑ වලින් පෙනී යයි. ඉහින් කනින් දාඩිය බේරෙන දහවලේ කරපටිද කබා කුරුත්තා ද ඇඳ උජාරුවට යන මිනිසුන් මෙරටේ හමුවන්නේ පාරිසරික සහ දේශගුණික වෙනස තේරුම් නොගන්නා බැවින් යැයි සිතේ. මෙය මුළුමනින්ම විහිළුවක් බවට පත් වී ඇත්තේ ඔවුන් ශිෂ්ට සම්පන්න බව මැනීමට යොදා ගන්නා ප්‍රධාන නිර්ණයක් බවට එවැනි දෑ පත් කර ගැනීමයි.     

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

විදුපත් ඉරුව

2015  දෙසැම්බර් 09 බදාදා

2013 වර්ෂය දේශගුණික විපර්යාසය ගැන කතා කරන විට ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ බවට පත් වූයේ ප්‍රථම වරට වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 400යේ සීමාව පසු කළ බැවිනි. එයින් පසුකාලීනව උච්චාවචනය වූ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මේ වන විට මේ සීමාව කිහිප වතාවක්‌ ම පසු කර ඇති බව "කීලින්" චක්‍රය විමසීමේ දී ඔබට හොඳින් පැහැදිලි වෙනවා නිසැක ය.

1750 වසර සැලකෙන්නේ කාර්මික විප්ලවය ඇරඹුණු වසර ලෙස ය. එකල වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 280ක්‌ ව පැවැති අතර වසර 2015 වන විට 40%කින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමට "කෑදර" මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ඒ අතුරින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම කෙරෙහි කාබනික ඉන්ධන දහනය ඉතා ප්‍රබලව බලපාන බව අමුතුවෙන් ඔබට පහදා දිය යුතු නො වේ. එම ක්‍රියාවලිය අඩු කළ හැකි සැම ක්‍රියාදාමයක්‌ ම කරළියට ගෙන ඒම පාරිසරික සංරක්‌ෂණයේ මූලික බලාපොරොත්තුවක්‌ විය යුතු බව මෙහි ලා සදහන් කළ යුතු ය.

සූර්ය ශක්‌තිය, සුළං බලය සහ ජල විදුලිය හරිත ශක්‌තියේ ප්‍රමුඛතාව ගත්ත ද ශ්‍රී ලංකාවේ ජල විදුලිය කෙරෙහි වූ බලාපොරොත්තුව දැන් දැන් වියෑකෙමින් යන්නේ බොහොමයක්‌ අවස්‌ථා ප්‍රයෝජනයට ගෙන ඇති බැවිනි. එමෙන් ම එය Rජුව ම වාර්ෂික කාලගුණ රටාව මත ද රඳා පවතින බැවින් සමහර කාලවල දී උපරිම පල නෙළාගැනීමට නොහැකි ය. සුළං බලශක්‌ති බලාගාර ද කිසියම් ප්‍රමාණයකට මෙරට විකසිත වුව ද ඒ ද සීමාසහිත වන්නේ කාර්යක්‌ෂම සුළං බලශක්‌ති උත්පාදන ස්‌ථාන ද සීමාසහිත වීමෙනි. තවමත් නිසි පරිදි විකසනය නො වුව ද සූර්ය ශක්‌ති පෙරණයන් මෙරට දී මිල දී ගැනීමට අධික මිලක්‌ වැය වීම සාමාන්‍ය ජනතාව අතර ඒවා ජනප්‍රිය නො වීමට ප්‍රධාන හේතුව වී ඇත. එපමණක්‌ නො ව උකහාගන්නා ශක්‌තියෙන් වැඩි ප්‍රමාණයක්‌ වැඩි කාලයක්‌ ගබඩා කළ හැකි කාර්යක්‌ෂම සහ දැකුම්කලු විද්යුත් කෝෂ නිපදවී නො තිබීම ද තවත් එක්‌ හේතුවකි.

මෙරට බලශක්‌ති පරිභෝජනය සලකා බැලීමේ දී 2014 වසරේ දී ප්‍රවාහනය සදහා වැය කර ඇති බලශක්‌ති ප්‍රමාණය සම්පූර්ණ බලශක්‌ති පරිභෝජනයෙන් සියයට 30ක්‌ පමණ වූ විශාල ප්‍රමාණයක්‌ බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්‌ති අධිකාරියෙහි වෙබ් පිටුව බැලීමේ දී පෙනී යයි. මෙය බලශක්‌ති සංරක්‌ෂකයන් ගේ විධිමත් සැලකිල්ලට භාජන විය යුතු ය. මෙරට ඇති බහුතරයක්‌ (සියයට අනූ නවයක්‌ ම) කාබනික ඉන්ධන දහනයෙන් දිවෙන වාහන වේ. දහනවවැනි ශතවර්ෂයේ විසූ සුප්‍රකට විදුලි ඉංජිනේරුවරයකු වන "නිකොලා ටෙස්‌ලා" විදුලි මෝටරය ලොවට හදුන්වා දෙමින් ද එමගින් විදුලි මෝටර් රථය හදුන්වා දෙමින් ද සිදු කළ පෙරළිය අතිමහත් ය. එහෙත් නියමිත කල්හි එය භාවිතයට නො ගැනීම ලෝකය වෙනස්‌ ම මාවතකට ඇද දැමුණ බව පැහැදිලි වේ. කෙසේ වෙතත් කාලය ගත වී හෝ විදුලි කාරය අද වන විට ලෝක ප්‍රවාහන ක්‌ෂේත්‍රයට පැමිණීම ඉතා වැදගත් සිදුවීමකි.

එම විදුලි කාරය මෙරටට ද පසුගිය වසරේ හදුන්වා දුන් අතර එය මෙරට බලශක්‌ති සංරක්‌ෂණ ක්‌ෂේත්‍රයේ පිරිස්‌වලට පමණක්‌ නො ව පරිසරයට ආදරය කරන්නන්ට ද ඉතා සුබ ආරංචියක්‌ බව විශ්වාස කළ හැකි ය. මන්ද යත් මේ විද්යුත් වාහන ලොව උණුසුම් කිරීමට හේතු සාධක වන ප්‍රධාන හරිතාගාර වායුව වන කබන්ඩයොක්‌සයිඩ් නො නිපදවන නිසා ය. විද්යුත් කාරය ශ්‍රී ලංකාවේ බලශක්‌ති අර්බුදයට පිළියමක්‌ මෙන්ම වායුගෝලීය සිසිලනය සදහා භාවිත කළ හැකි ද යන්න අද බොහෝ දෙනකු ප්‍රශ්න කරනු දක්‌නට ලැබේ. මෙහි දී සැලකිල්ලට ගත යුතු කරුණු කාරණා කිහිපයකි. පාරිසරික සංරක්‌ෂණය සැලකිල්ලට ගන්නේ නම් අප ගේ අදහස වන්නේ මේ සංකල්පය අතිශය නිර්මාණශීලී බවයි. කාබනික ඉන්ධනවලින් දිවෙන වාහන කුඩා ප්‍රමාණවලින් වුව ද ඉතා විශාල සංඛ්‍යාවකින් ඉතා විශාල ප්‍රදේශයක්‌ පුරා හරිතාගාර වායුව පිට කරන යන්ත්‍ර බව ඔබට වැටහෙනු ඇත. එනිසා ම මේ විමෝචන පාලනය කළ නොහැකි බව ඉතා හොඳින් වැටහෙනු ඇත. විද්යුත් වාහන කරළියට ඒම, පාලනය කළ නොහැකි එවැනි විමෝචන සීමා කරන අතර විශාල ප්‍රදේශයක්‌ පුරා හරිතාගාර වායු පැතිරීම වළකාලයි.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාව වැනි රටක නිපදවෙන සම්පූර්ණ විද්යුත් ශක්‌තිය සුපිරිසිදු නො වේ. නිපදවෙන විද්යුතයෙන් අඩක්‌ පමණ ම කාබනික ඉන්ධන දහනයෙන් නිපදවෙන අතර එනිසා ම අයකුට මෙරට විද්යුත් වාහන ප්‍රචලිත කිරීම ප්‍රායෝගික ද යන්න ප්‍රශ්න කළ හැකි ය. බැලූ බැල්මට එය Rණාත්මක ලෙස පෙනුණ ද ධනාත්මකව ද භාවිත කළ හැකි ය. විද්යුත් වාහන වැඩි වීම මගින් විද්යුතය භාවිත කිරීම වැඩි වේ. එහෙත් එම වැඩි වන විද්යුතය නිපදවීමට කාබනික ඉන්ධන දහනයෙන් ක්‍රියා කරන බලාගාර (ඩීසල් සහ ගල් අඟුරු බලාගාර) වැඩියෙන් ක්‍රියාත්මක කිරීමට සිදු වුව ද සීමිත ස්‌ථාන කිහිපයකින් පමණක්‌ එම විමෝචන සිදු වන බැවින් විමෝචනයන් ප්‍රායෝගිකව පාලනය කිරීම අපහසු කාරියක්‌ නො වේ. ඒ සදහා නවීන ක්‍රමවේද භාවිත කළ හැකි ය. (හුනුදියර මගින්
CO2  සහ SO2 උරාගන්නට සැලැස්‌වීම වැනි ක්‍රම). එනිසා ම ඉතා විශාල ප්‍රදේශයක්‌ පුරා පිට වන හරිතාගාර වායුව නවතාලීමට හැකි වීම මෙහි ඇති ප්‍රධාන වාසිය බව ඔබට පෙනී යනු ඇත.

එපමණක්‌ නො ව ශ්‍රී ලංකාවේ දිනක ශක්‌ති පාරිභෝජන රටාව හේතුවෙන් අප මුහුණපාන ගැටලුවක්‌ වෙයි. එනම් උදෑසන සහ රාත්‍රියේ ඇති වන අධික ශක්‌ති පරිභෝජනය නිසා පවතින අධික ඉල්ලුමයි. එනිසා එම කාලය තුළ විදුලි බලාගාර බොහොමයක්‌ ක්‍රියාත්මක කිරීමට සිදු වේ. ඒ අතර කාබනික ඉන්ධන දහනයෙන් වැඩ කරන බලාගාර නො නවත්වා ක්‍රියාත්මක කිරීමට සිදු වීම ද තවත් හේතුවකි. එනිසා දෛනික ඉන්ධන පරිභෝජන රටාවේ සිදු වන අධික උච්චාවචනය තුලනය කිරීමට අනෙකුත් වෙලාවන්හි දී විද්යුත් ශක්‌තිය භාවිතයට ගැනීම කළ යුතු දෙයකි. එය කිසියම් ප්‍රමාණයකට අධික ඉල්ලුම සමනය කර මුළු දවස පුරා බෙදාහරිමින් ශක්‌ති පරිභෝජනය තුලනය කිරීමට පහසුවක්‌ වේ. කෙසේ වෙතත් මේ තුලනය සදහා ද කිසියම් ප්‍රමාණයකට විද්යුත් කාරය ප්‍රයෝජනයට ගත හැකි බව අප ගේ විශ්වාසයයි. ඒ විශේෂයෙන් ම මධයම රාත්‍රියේ දී කාරය ආරෝපණය කිරීම මගිනි. විද්යුත් වාහන භාවිතය, මෙරට ශක්‌ති කළමනාකරණයට කිසියම් ලෙසකින් Rජු දායකත්වයක්‌ ලබා දෙන බව අප ගේ හැඟීමයි.

විද්යුත් වාහන ප්‍රචලිත වීම ඒ හා සබැඳුණ අනෙකුත් නිෂ්පාදන දියුණු වීමට එක හේතුවක්‌ වේ. විශේෂයෙන් ම විද්යුතය ගබඩා කරන විද්යුත් කෝෂ කර්මාන්තයේ මනා විකසනය මේ අතර ප්‍රමුඛ වේ. ඉතා කාර්යක්‌ෂම වැඩි අරෝපණ ප්‍රමාණයක්‌ ගබඩා කළ හැකි විද්යුත් කෝෂ නිර්මාණය වීම සූර්ය ශක්‌තිය ගබඩා කිරීමෙහි ලා ද වැදගත් වේ.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...