Wednesday 21 August 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  02

2024 අගෝස්තු මස 21 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

ශ්‍රී ලංකාවේ උත්තර ප්‍රදේශයේ භූ විද්‍යාත්මක පසුබිම අපට ගෙන එන්නේ කදිම කතන්දරයකි. එම ප්‍රදේශය නිර්මාණය වි ඇත්තේ අවසාදිත හුණුගල් පාෂාණ වලින්. අවසාදිත හුණුගල් තීරයක් ලෙස පුත්තලමෙන් පටන් ගෙන පුනරීන් හරහා යාපන අර්ධද්වීපය පුරා පැතිරී ඇත්තේය. මෙම අවසාදිත පාෂාණයේ සුවිශේෂිතාවය වන්නේ එතුල ඉපැරණි ප්‍රාග් ජීව ධාතුන් පැවතීමයි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් කලෙක එකම ගොඩබිමක් විය. ඒ වසර මිලියන 300 කට පමණ පෙරය. ඉන්පසු ඇති වූ අපසාරී තලමායිම ඔස්සේ ඉන්දියානු මහද්වීපයෙන් ශ්‍රී ලංකා භූ ස්කන්ධය වෙන්වීම ආරම්භ විය. කලෙක විලක්ව පැවති ජලතීරුව ක්‍රමයෙන් ඉන්දියානු සාගරය හා සම්බන්ධය වී කාවරී ද්‍රෝණිය නිර්මාණය කලේ නව මුහුදු පත්ලක් දෙරට අතර ඇති කරමින්. දිගින් දිගටම සිදු වූ අපසාරී තල මායිමේ ක්‍රියාකාරිත්වය දෙරට අතර දුර වැඩිකළ අතර නොගැඹුරු මුහුද තවත් පුළුල් කරවීය.

නොගැඹුරු මුහුද දියවූ කාබනේට හුණු වලින් එකල පොහොසත් විය. සුර්ර්ය තාපයෙන් හුණු සාන්ද්‍රණ ගත වීම නිසා එම හුණු ජලයේ දියවී පැවතිය හැකි ප්‍රශස්තයට පැමිණීම හුණු අවක්ෂේපණය සඳහා හේතු විය. කාබෝනේට හුණු අවක්ෂේපණයෙන් සෑදෙන අවසාදිත කාබෝනේට මඩ ලෙස හැදින් වේ. මෙම අවසාදිත ක්‍රමයෙන් නිධිගත වී කබෝනේට මඩ තට්ටු නිර්මාණය කරන්නට හේතු විය. කාබෝනේට මඩ ඛණිකා විවිධ ප්‍රමාණවලින් යුක්ත වූ අතර විවිධ හැඩයෙන් ද යුක්ත විය.

වසර මිලියන් 300 ක පමණ කාලයේ මුහුද අරක් ගත්තේ මුහුදු බෙල්ලන්ගෙනි. නොගැඹුරු කලාප ගල්මල් වලින් හැඩවිය. දෙපියන් බෙල්ලන් මුතු බෙල්ලන් බහුල විය. ඔවුන්ගේ පරිණාමය දිගින් දිටම සිදු විය. සමහරුන් ගේ මරණයෙන් පසු කවච මුහුදු පතුලෙ තැන්පත් විය. ඒ කබෝනේට මඩ අතරයි. කබෝනේට මඩ අතර එරී ගිය ඔවුන් ප්‍රතිඛණිජකරණයෙන් ප්‍රාග් ජීව ධාතුන් බවට පත් විය. කබෝනේට මඩ සමග තැන්පත්ව තිබු සිලිකා කලිල ද මේ සඳහා දායකත්වය සැපයිය. එනිසා සමහර කවච ප්‍රතිඛනිජකරණයට ලක් වූයේ සිලිකා මඩ වලින්.

අපසාරී තලමායිමේ ක්‍රියාකාරිත්වය දිගින් දිගටම සිදු විය. එනිසා කාලයත් සමග දෙරට අතර මුහුදු අවකාශය පුළුල් විය. මේ අතර මුහුදු කලාපය ක්‍රමයෙන් උක්ෂිප්ත වී ශ්‍රී ලාංකේය ගොඩබිමට ඈඳුන නව භූ ස්කන්ධයක් නිර්මාණය කරන්නට හේතුවිය. මෙමගින් ක්‍රමයෙන් යාපන අර්ධද්වීපය නිර්මාණයට මග පෑදුනි. එම ගොඩබිම් කලාපය මුහුදු බෙල්ලන්ගේ ප්‍රාග්ජිව ධාතූන්ගෙන් සුපෝෂිත හුණුගල් පාෂාණයකින් සමන්විත වූවකි. මයෝසීන යුගයේ ජීවත් වූ මුහුදු බෙල්ලන් නිසා එයට මයෝසීන හුණුගල ලෙස ශ්‍රී ලංකාව තුල නම පට බැඳී ඇත.

එලස හැඳින්වුවත් ක්‍රමවත් නිරපේක්ෂ කාලනිර්නයක් කර නොතිබූ කලෙක මමත් හොන්කොන් විශ්වවිද්‍යාලයේ මාගේ පර්යේෂණ සගයෙකුත් සමග සිදුකල කාලනිර්ණ පර්යේෂණයකින් මෙම නිධිය වසර මිලියන 15 සිට 23 දක්වා වූ කාල පරාසයක් තුලදී නිර්මාණය වූවක් බව ප්‍රථම වරට තහවුරු විය. ඒ සඳහා යොදා ගැනුනේ ස්ට්‍රොන්චියම් විකිර්ණශිලි මූලද්‍රවයයි. මෙම කාලය ඔලිගොසීන කාලයේ සිට මධ්‍යම මයෝසීන කාලය දක්වා දිවයන බව පැහැදිලිය. හුණුගල් මඩ තැන්පත් වූ රටාව සහ බෙල්ලන්ගේ ප්‍රාග් ජීව ධාතුන් සහ ඒවායේ විවිධත්වය හඳුනාගැනීම සිදුකල යුතුව ඇති අතර එමගින් තව බොහෝ කරුණු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය 


  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...