Tuesday, 23 October 2018

විදු පත් ඉරුව
23.03.2016

තම සුඛ විහරණය හා පැවැත්ම ගැන පමණක්‌ ම මූලික කරගත් ගමනක්‌ යෙදී සිටින මානවයා තමා රැඳී සිටිනා ස්‌වාභාවික පරිසරය තම පෞද්ගලික නිර්මිතයක්‌ බවට පත් කරන්නේ අනෙකුත් ජීවීන් සහ ශාක ගැන තුට්‌ටුවකට වත් මායිම් කරමින් නො වේ. ඔහු ගේ එම ක්‍රියාකාරකම් නිසා පරිසරය විටෙක ඉතා වේගයෙන් ප්‍රතිචාර දක්‌වයි. විටෙක එය බොහෝ මන්දගාමී සහ දිගුකාලීන වේ. පරිසරය දිගුකාලීනව දක්‌වන ප්‍රතිචාර නිසා වුව ද අප අපහසුතාවට පත් වන්නේ ඒ වන විටත් එම ක්‍රියාවලිය බොහෝ දුර ක්‍රියාත්මක වී ඇති නිසා ය. ජීව විවිධත්වයට හානි වීම ද මිනිස්‌ ජීවිත අහිමි වීම ද පමණක්‌ නො ව, අවසානයේ එම පරිසර තත්ත්ව යථා තත්ත්වයට පත් කරන්නට යන විට අධික මුදලක්‌ වැය කරන්නට ද සිදු වේ.

1956 වර්ෂයේ දී ජපානයේ මිනමටා ප්‍රදේශයේ "චිසෝ" සමාගමේ රෝහලට ඇතුළු වූ අවුරුදු පහක්‌ වයසැති දරුවාට ඇවිදීමේ සහ කතා කිරීමේ අපහසුතා ඇති ව තිබිණි. පසුව ඔහු ගේ සහෝදරියකට ද එම රෝගය වැළඳී රෝහල්ගත කරන ලද අතර, පසුව එම ප්‍රදේශයේ සිදු කරන ලද සමීක්‌ෂණයෙන්, එලෙස රෝගී වූ අට දෙනකු හමු විය. පැතිරී යන ආසාදන තත්ත්වයක්‌ ලෙස එකල මෙය හඳුන්වා දුන් අතර එමගින් ස්‌නායු පද්ධතියට හානි වන බව වෛද්‍යවරුන්ට පැහැදිලි වී තිබිණි. 1950 දී පමණ එම ප්‍රදේශයෙන් ම හඳුනාගැනුණු  "බළල් නැටුම් රෝගය" (Cat dancing disease)ට බොහෝ සමාන වූ ලක්‌ෂණ මේ රෝගී වූ දරුවන් ද පෙන්වන බව සොයාගැනිණි.

කුමාමොටෝ සරසවියේ පර්යේෂකයන් විසින් සිදු කරන ලද අධ්‍යයනවල දී මිනමාටා මුහුදු තීරයේ ධීවර කර්මාන්තයේ යෙදුණු පවුල්වලින් රෝගීන් බහුලව වාර්තා වූ බව සොයාගන්නා ලදී. ඔවුන් ගේ ප්‍රධාන ආහාරය වූයේ මාළු සහ කරවල බව ද ඒවායේ අඩංගු කිසියම් රසායනික ද්‍රව්‍යයක්‌ මේ රෝගය සදහා හේතු විය හැකි බව ද පර්යේෂකයෝ විශ්වාස කළ හ. රෝගීන් ගේ හිසකෙස්‌ විශ්ලේෂණයට භාජන කළ අතර එහි දී රසදිය (Mucurry) සාන්ද්‍රගත වී ඇති බව ඔවුනට වාර්තා විය. මේ රෝගය සදහා හේතු වී ඇත්තේ රසදිය බව නිගමනය කළ අතර කෙලෙස රසදිය පරිසරයට එක්‌ වන්නේ ද යන්න බැලීම ඔවුන් ගේ ඊළඟ ඉලක්‌කය විය. මේ සදහා හේතු වන්නේ චිසෝ සමාගමෙන් කාලයක සිට බැහැර කරන අපද්‍රව්‍ය බව ද, එමගින් මිනමාටා මුහුදු බොක්‌ක වසර තිහක පමණ කාලයක සිට දූෂ්‍ය වී ඇති බව ද අනාවරණය විය.

පරිසරයේ රැෙදන රසදිය ජීවීන් ගේ ශරීර තුළට ඉතා පහසුවෙන් ඇතුළු වේ. ඒ ප්‍රධාන වශයෙන් ම ආහාර දාමය හරහා ය. ජෛව සංචයට ලක්‌ වන ලෝහයක්‌ වන රසදිය අවසානයේ දී

එක්‌රැස්‌ වන්නේ මිනිසා ගේ සිරුර තුළ ය. හානි කරන්නේ ප්‍රධාන වශයෙන් ම ස්‌නායු පද්ධතියට ය. සමායෝජනයේ අපහසුතාව, ඇස්‌ පෙනීමේ දුර්වලතා සහ අත්වල සහ පාවල ඉඳිකටු ඇනෙන්නාක්‌ මෙන් ඇති වන දැනීම් රසදිය විෂ වීමේ ලක්‌ෂණ වේ. "මෙතිල් මර්කරි" (Methyl Mucurry) නම් වූ රසායනිකය නිදහස්‌ කළ චිසෝ සමාගම හේතුවෙන් 2001 වන විට ජීවිත 1784ක්‌ බිලි වූ අතර මිනිසුන් 2265ක්‌ රෝගයට ගොදුරු විය. ඩොලර් මිලියන 86ක්‌ මිනිසුන් 10000ක්‌ අතර වන්දි ලෙස බෙදා දෙන්නට මේ සමාගමට සිදු වූ අතර එවැනි ම වූ විශාල මුදලක්‌ දූෂිත පරිසරය පිරිසිදු කිරීම සදහා වැය කිරීමට සිදු විය.

අමිහිරි මිනමාටා සිදුවීමේ මිහිරි අවසාන ප්‍රතිඵලය ලෙස 2013 ජනවාරි 19 දා ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 140ක්‌ එක්‌ ව රසදිය පරිසරයට එක්‌ නො කරන්නට එකඟ ව සම්මුතියකට අත්සන් කළ අතර එය "මිනමාටා සම්මුතිය" ලෙස හැඳින්වේ. මේ රටවල් අද වන විට රසදිය ජනනය කරන මානව ක්‍රියාකාරකම් නවතාලමින් විකල්ප සදහා යොමු වී තිබේ. එහෙත් තවමත් සමහර කටයුතු සහ කර්මාන්ත මානවයා ගේ දැඩි අවශ්‍යතාව මත ක්‍රියාත්මක වෙමින් තිබෙන බව නොරහසකි.

ඒ අතරින් ලොව රසදිය වායුගෝලයට නිදහස්‌ කිරීමට දායක වන ප්‍රධාන හේතුවක්‌ වන්නේ ගල් අඟුරු දහනයයි. ආසන්න වශයෙන් එය සියයට හැට පහක්‌ පමණ වන වේ. ස්‌වාභාවික පරිසරයේ (පාෂාණ තුළ) රසදිය හමු වන්නේ සිනබාර් (HgS) නම් වූ සල්ෆයිඩ ඛනිජයක්‌ ලෙස ය. ස්‌වාභාවික ජීර්ණය හේතුවෙන් රසදිය ඉතා සෙමෙන් පරිසරයට නිදහස්‌ වේ. ස්‌වාභාවික තත්ත්ව යටතේ දියරමය තත්ත්වයේ හමු වන ලොව එක ම ලෝහ වර්ගය වන්නේ ද රසදියයි. බොහෝ විට රත්රන් ලෝහය සමග එකට හමු වන ලෝහයක්‌ වන අතර එනිසා බොහොමයක්‌ රත්රන් පතල්වල දී ඉවත ලන පස්‌ සහ ගල් සමග මිශ්‍ර ව පරිසරයට නිදහස්‌ වේ. එය ප්‍රමාණිකව සියයට එකොළහක්‌ පමණ වේ. යකඩ නො වන ලෝහ වර්ග නිස්‌සාරණයේ දී ද, යකඩ නිස්‌සාරණයේ දී ද, සිමෙන්ති නිෂ්පාදනයේ දී ද, කෝස්‌ටික්‌ සෝඩා නිෂ්පාදනයේ දී ද පරිසරයට රසදිය නිදහස්‌ වන බව වාර්තා වේ. එපමණක්‌ නො ව රත්රන් කර්මාන්තයේ දී ද රසදිය භාවිත වන අතර එම කර්මාන්තයේ යෙදෙන්නන් පහසුවෙන් රසදිය විෂ වීමට ලක්‌ විය හැකි ය.

වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ රසදිය රත්රන් කර්මාන්තය සදහා භාවිත වන අතර අප භාවිත කරන ෆ්ලෝරසන්ට්‌ විදුලි බුබුළ තුළ ද රසදිය අඩංගු වේ. LED නිෂ්පාදන පැමිණි නිසා ඒවා භාවිතයෙන් ක්‍රමයෙන් ඉවත් වන මුත් තවමත් රට තුළ එම විදුලි බුබුළු සංසරණය වෙමින් පවතී. එනිසා තම ගෙවල, කාර්යාල හා කර්මාන්තශාලාවල එම බල්බ ඇත්නම් ඉතා පරීක්‌ෂාකාරී ව විධිමත් ව බැහැර කළ යුතු ව ඇත. උෂ්ණත්වමානවල ද රුධිර පීඩනමානවල ද රසදිය භාවිත වන බව අපි සැවොම දනිමු. එහෙත් අද වන විට ආජන්ටිනාව, ඔස්‌ටි්‍රයාව, පිලිපීනය, එංගලන්තය සහ ඇමෙරිකාව වැනි රටවල් සම්පූර්ණයෙන් ම මේවා භාවිතයෙන් ඉවත් වී ඇත. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව තවමත් සම්මුතියට අත්සන් කළ තැන ම ද යන්න සැලකිය යුතු කරුණකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 11 October 2018

විදු පත් ඉරුව
16.03.2016
ඉරුදින මුළු රටේ ම සිදු වූ විදුලිය ඇණහිටීම නිසා සැවොම අපහසුතාවට පත් වුණා. බොහොමයක්‌ අත්‍යවශ්‍ය කටයුතු සැලකිය යුතු ලෙස එයින් බලපෑමට ලක්‌ වුණා. මේ දිනවල පවතින අධික උණුසුමත් සමග මේ තත්ත්වය තවත් උත්සන්න වන බව අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ නේ.

හදිසි අවශ්‍යතාවක දී විදුලි සැපයුම යථා තත්ත්වයට පත් වන තෙක්‌ ඒ වෙනුවෙන් වූ විකල්පයක්‌ තවමත් අප රටේ නිර්මාණය වෙලා නැහැ. එක්‌ එක්‌ ආයතන සහ ඒක පුද්ගල පාරිභෝජනය සදහා කුඩා විදුලි ජනකයන් භාවිත කළත් සමස්‌තය සදහා එය වඩා හොඳ විකල්පයක්‌ වී නැහැ.

කෙසේ වෙතත් පෙනී යන කරුණ වන්නේ රටේ සමස්‌ත විදුලි සැපයුම් පද්ධතිය ම යාවත්කාලීන විය යුතු ව ඇති බවයි. නවීන තාක්‌ෂණික ක්‍රමවේදයන් භාවිත කළ යුතු මේ කටයුත්ත සදහා බලධාරීන් ගේ අවධානය කඩිනමින් යොමු කළ යුතු ව තිබෙනවා. එසේ නො වුණොත් මෙවැනි තත්ත්වයන්ට අපට දිගින් දිගට ම මුහුණු දීමට සිදු වේ වි.

ප්‍රාදේශීයව බල ගැන්විය හැකි මෙන්ම අවශ්‍ය විටෙක මධ්‍යම යාන්ත්‍රණයෙන් මිදී ප්‍රාදේශීයව විදුලිය සැපයිය හැකි ක්‍රමවේදයක්‌ හෝ යාන්ත්‍රණයක්‌ ස්‌ථාපිත කළ හැකි නම් මෙවැනි බිඳ වැටීම්වලට පහසුවෙන් මුහුණ දිය හැකි බව අප ගේ හැඟීමයි.

මේ වන විටත් රටේ බොහොමයක්‌ ජල මූලාශ්‍ර බලශක්‌ති ජනනය සදහා භාවිතයට ගෙන ඇති අතර එමගින් සපිරිය හැකි විදුලි අවශ්‍යතාවය සීමාසහිතයි. නුදුරු අනාගතයේ දිනෙක මූලික ශක්‌ති ප්‍රභවයන් විය යුතු නමුත් දැනට විකල්ප ක්‍රමවේදයන් වන සුනිත්‍ය බලශක්‌තීන් කෙරෙහි අවධානය යොමු වී ඇති මුත් එහි ද භාවිතයේ දී යම් යම් සීමාකාරී තත්ත්වයන් ඇති බව බලධාරීන් පවසනවා. වඩාත් ශක්‌තිමත් ව එවැනි ශක්‌තීන් භාවිත කිරීමට සුදුසු යාන්ත්‍රණයක්‌ බලගැන්විය යුතුයි. නැත හොත් සිදු වන්නේ ගල් අඟුරු සහ ඩීසල් වැනි භාවිතයන් සදහා රට දිගින් දිගට ම යොමු වීමයි. රටෙහි ආර්ථිකයට එය එතරම් සුබදායි තත්ත්වයක්‌ නො වේ. එමෙන් ම පාරිසරිකව ගත්තත් කොහෙත් ම හිතකර තත්ත්වයක්‌ නො වේ. හරිතාගාර ආචරණය සවිමත් කරන මෙවැනි බලාගාර එහෙයින් ලොවට වක්‍ර ව සිදු කරන්නේ බලවත් හානියක්‌. දැනටමත් ඔබ අප දන්නා පරිදි නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඉදි වන්නේ මෙරටෙහි ශක්‌ති අවශ්‍යතාවේ අඩුව සැපිරීමට වුවත් නිසි තාක්‌ෂණය සහ පිරිසිදු ගල් අඟුරු නො යෙදීම වැනි කරුණු විවිධ පාරිසරික ගැටලු ඇති කිරීමට හේතු වී තිබෙනවා. කෙසේ වෙතත් මෙවැනි ගල් අඟුරු බලාගාර කිහිපයක්‌ ම මෙරටෙහි ස්‌ථාපිත කිරීමට මේ වන විටත් යෝජනා කර ඇති බව සැළයි.

අප හොඳින් දන්නා පරිදි "සුපිරිසිදු ගල් අඟුරු" භාවිත නො කිරීම සල්ෆර් ඩයොක්‌සයිඩ් වැනි ආම්ලික වායුන් වායුගෝලයට මුක්‌ත කිරීමට හේතුවක්‌. එය වැඩි කල් නො ගොසින් ම අම්ල වැසි ඇති කිරීමටත් එනිසා ම ප්‍රබල ලෙස ජීවීන් ප්‍රමුඛ සමස්‌ත පරිසරයට ම හානි කරන්නටත් හේතු වනවා. විද්‍යාඥයන් ගේ පර්යේෂණ සහ සමීක්‌ෂණවලට අනුව ගල් අඟුරු භාවිතය ආම්ලික වායුන් පමණක්‌ නො ව රසදිය වැනි බැර ලෝහ ද පරිසරයට එකතු කිරීමට හේතු වන තවත් ප්‍රබල ක්‍රියාදාමයක්‌. මේ සදහා ප්‍රධානව හේතු වන්නේ ගල් අඟුරු බිහි වීමේ දී සාන්ද්‍රගත වන රසායනිකයන් දහනය සහ සංචිත වීමයි. ගල් අඟුරු බිහි වන්නේ මිහි මත කලක දී තිබූ වනාන්තර, අවසාදිත මගින් වැසී ගොස්‌ කාලයක්‌ ගත වන විට සිදු වන උෂ්ණත්ව පීඩන වෙනස්‌ වීම හේතුවෙන් ඇති වන රසායනික වෙනස්‌ වීමකින් .එහි දී ශාකවල වූ සමහර බැර ලෝහ සහ සල්ෆර් වැනි රසායනිකයන් ගල් අඟුරු තුළ එක්‌ රැස්‌ වනවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday, 2 October 2018

විදු පත් ඉරුව
09.03.2016

පසුගිය සතියේ අප කතා කළේ ලෝකයේ උතුර දකුණ මාරු වීම පිළිබඳව ය. මේ සතියේ කතා කරන්නට වන්නේ ශ්‍රී ලංකාවේ මිනිසුන්ට උතුර දකුණ මාරු වීම සම්බන්ධව ය. කුලියාපිටියේ දරුවාට තවමත් පාසලක්‌ ලැබී නොමැත. බටහිර වෛද්‍යවරු අදාළ රෝගය ගැන ඉතා හොඳින් දන්නා ඇත්තෝ වෙති. එනිසා ඔවුන් ගේ වදන් පිළිබඳව සැකයක්‌ ඇති කරගැනීමට අවශ්‍ය නො වේ. වසර ගණනාවක්‌ තිස්‌සේ මේ රෝගය පිළිබඳව ඔවුන් විවිධ පර්යේෂණ සිදු කර ඇත. රෝගය පැතිරෙන්නේ කවරාකාරයෙන් දැයි ඔවුන් ඉතා හොඳින් මේ වන විට පැහැදිලි කර ඇත. අපට පෙනී යන ආකාරයකට මේ කරුණු සමාජගත වීමේ දී කිසියම් අඩුපාඩුවක්‌ ඇති වී ඇති බව සිතේ. සම්පූර්ණ විස්‌තරය විධිමත් ව සමාජගත නො වී යම් කරුණු පමණක්‌ ජනතා සිත් සතන් තුළ පැළපදියම් වීමට හේතුව කුමක්‌ ද යන්න අප සොයා බැලිය යුතු ය.

පැහැදිලි සත්‍යයක්‌ ඇත. ඒ ජනතාව සමග ගනුදෙනු කිරීම පහසු නැති බවයි. විවිධාකාරයේ දැනුම් මට්‌ටම් ඇත්තන් විසීමත්, ඔවුන් දැනුම ග්‍රහණය කරගන්නේ විවිධ මට්‌ටම්වලින් වීමත් මේ සදහා ප්‍රධාන හේතුවකි. මෙලෙස ලබාගන්නා දැනුම තම මනෝභාවය තුළ හිඳිමින් ම විශ්ලේෂණය කරන්නට පෙලඹෙන ජනතාව කෙළවර නිගමනය කරන්නේ අප කිසිවකු බලාපොරොත්තු නො වූ ආකාරයට ය. වෛද්‍යවරුන් රෝගය ගැන ඉතා හොඳින් පැහැදිලි කළ පසු ද එය පිළිගැනීමට එම ජනතාව අපොහොසත් වීමෙන් මේ බව මැනැවින් පසක්‌ වෙයි. නැත හොත් අත්‍යන්තයෙන් ම පෙනී යන්නේ එය පෞද්ගලික පලිගැනීමක්‌ බවයි.

නිසි විද්‍යා අධ්‍යාපනයක වැදගත්කම මෙයින් මනාව පැහැදිලි වේ. අප ගේ සාක්‌ෂරතාව කෙතරම් හොඳ මට්‌ටමක තිබුණ ද ජනතාව වැදගත් කරුණු ග්‍රහණය කරගන්නේ කෙතරම් සුළු වශයෙන් දැයි අමතුවෙන් ඔබට පැහැදිලි කළ යුතු නො වේ. සති අග දී විවිධ විශේෂාංග සහිතව පුවත්පත් ගණනාවක්‌ නිකුත් වේ. සතියේ දිනවල ද පුවත් මවන මාධ්‍ය එමට ය. බොහෝ වාර ගණනක්‌ සුවසෙත, ලෙඩ රෝග ගැන කතා බහ කරන ලිපිවල ද, සාකච්ඡාවල ද අඩු පාඩුවක්‌ නොමැත. එහෙත් පෙනී යන කරුණු අනුව මේවා බලා, කියවා සිතට ධාරණය කරගන්නන් නොමැති බවක්‌ හැඟී යයි. සමර අය පුවත්පත් යොදාගන්නේ බත් ඔතන්නටත් අත පිහදාන්නටත් පමණක්‌ විය හැකි ය.

ජනතාවට වැදගත් වන කරුණු කාරණා පැහැදිලි කිරීමේ දී ද, ඉදිරිපත් කිරීමේ දී ද විවිධ ක්‍රමවේද භාවිත කළ හැකි ය. සිත් කාවදින ලෙස ඉදිරිපත් කිරීමට යම් හැකියාවක්‌ ඇති වැඩසටහන් නිෂ්පාදනය කිරීම ගැන මෙහි දී සැලකිය යුතු ය. එහෙත් ඒ එලෙස ම සිදු වේ ද යන්න ගැටලුවකි. එවැනි වැඩසටහන් නිර්මාණය වන්නේ ඉතා අඩුවෙනි. අතළොස්‌සක්‌ වූ එවැනි වැඩසටහන් සදහා විකාශන අවකාශය ද ඉතා අඩු ය. අද බොහෝ නාළිකා ප්‍රමුඛතා ලබා දී ඇත්තේ හරසුන් වැඩසටහන්වලට ය. එනිසා ජනතාව ද වැදගත් වන කිසිවක්‌ ග්‍රහණය කර නො ගනිමින් ඔහේ බලා සිටියි. දෙඇස පිනවන බව පමණක්‌ දනී. ඔළුවට වදිනා දෙයක්‌ නම් නොමැත.

මේ නාළිකා වෙළෙඳ දැන්වීම් සදහා නම් වැඩි කාලයක්‌ ලබා දෙනවා මෙන්ම ඒ අංශයේ නිර්මාණාත්මක බව ද ඉහළින් ම පවත්වාගනී. මේ දිනවල විකාශනය වන එක්‌තරා ක්‌ෂණික ආහාර දැන්වීමක්‌ පිළිබඳව අප ගේ අවධානය යොමු කළ හැකි ය. අප දන්නා පරිදි ස්‌වාභාවිකව ලබාගන්නා ආහාරවල ගුණාත්මකභාවය ඉහළ ය. එහි කිසි ම තර්කයක්‌ නැත. එමෙන් ම කෘත්‍රිම නිෂ්පාදනවල යොදාගන්න විවිධ රසායනික ද්‍රව්‍ය නිසා එම ආහාර ස්‌වාභාවික ආහාර හා ළඟින් වත් තැබිය නොහැකි ය. එහෙත් මේ දැන්වීමෙන් නිෂ්පාදකයන් නො කියා කියන්නේ ඔවුන් ගේ කෘත්‍රිම නිෂ්පාදනය මේ හැමට ම වඩා ඉහළ බවයි. යොදාගෙන ඇත්තේ ද කුඩා දරුවෙකි. මෙදෙස බලා ඉන්නා කුඩා දරුවන් ද එය අනුගමනය නො කරනු ඇතැයි කවරකුට කිව හැකි ද? එවිට මාපියන් ගේ පැහැදිලි කිරීම් පලක්‌ වේ ද යන්න ඔබට තේරුම්ගත හැකි ය.

එවැනි ම තවත් දැන්වීමක්‌ වෙයි. එක්‌තරා රසකාරකයක්‌ එක්‌ කර තම ආහාර රසවත් කරගත හැකි යන්න එහි දී කියා සිටි. එක ම එක රසයක්‌ සැම ආහාරයක්‌ සදහා ම සුදුසු බවයි ඒ සූපවේදිනිය කියා සිටින්නේ. ශ්‍රී ලාංකික අපි බොහෝ ආහාර වර්ග රස විදින්නෝ වෙමු. ඒ අපට ඉතා ඉහළ ආහාර විවිධත්වයක්‌ හිමි නිසාවෙනි. ඒ සියල්ල අත්හැර එක ම රසයකට යා යුතු ද? ඔබ මේ පිළිබඳව ඉතා සූක්‌ෂමව කල්පනා කළ යුතු ය. අනෙක්‌ කරුණ වන්නේ මේ රසකාරකය අප කවුරුත් හොඳින් දන්නා MSG නමින් හඳුන්වන රසායනිකය අඩංගු නිෂ්පාදනයක්‌ බව ය. මේ වන විට මේ රසායනිකයේ සෞඛ්‍යාරක්‌ෂිත බව සම්බන්ධයෙන් මතභේද පවතියි.

මෙවැනි ම වූ තවත් බොහෝ උදාහරණ ඇති බව රූපවාහිනිය බලන්නකු නම් ඔබට තේරුම් යනු ඇත. නො දැනී ම අප විනාශ කරගන්නේ අප ගේ බුද්ධිමත් ස්‌වයං තීරණ අයිතිය නො වේ ද? කිරා බලා නිසි දෙය තීරණය කිරීම යටපත් කොට මවාපාන බොරුව හොඳ බව තීරණය කරන්නට අප බොහෝ දෙනකු පෙලඹෙන්නේ නිතැතින් ම ය. මේ දැන්වීම් බොහොමයක බොරුව පින්තාරු කර ඇත්තේ විද්‍යාවෙනි. එනිසා ජනතාව ඉතා පහසුවෙන් අතරමං වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. මන්ද යත් ජනතාව නිසි ලෙස විද්‍යා දැනුම ග්‍රහණය කර නො ගන්නා බව මේ දැන්වීම් නිර්මාණකරුවන් ඉතා හොඳින් දන්නා බැවිනි.

විද්‍යා අධ්‍යාපනය නිසි පරිදි ව්‍යාප්ත කිරීම පමණක්‌ නො ව මෙවැනි හානිදායක, ජනතාව මුළා කරන වෙළෙඳ දැන්වීම් විකාශය කිරීම පිළිබඳව කිසියම් පාලනයක්‌ තිබීම අනිවාර්ය බව ඔබට වැටහෙනු ඇත. එනිසා මේ පිළිබඳ යම් සාකච්ඡා, දැනුවත් කිරීම් පමණක්‌ නො ව අවශ්‍ය නම් විරෝධතා ද පළ කළ හැකි ය. පාලකයන් ගේ අවධානය නම් මේ සම්බන්ධව යොමු වීම ඉතා අවශ්‍ය ය. වෙළෙඳ දැන්වීම් සම්බන්ධව ජනතාවට හිතකර ප්‍රතිපත්තියක්‌ ස්‌ථාපිත කිරීමට දැනටමත් අප ප්‍රමාද ය.

එමෙන් ම ජනතාව සැබැවින් ම ග්‍රහණය කරගත යුතු සෞඛ්‍ය පණිවිඩ, වෙළෙඳ දැන්වීම් තරම් ග්‍රහණය කර නො ගන්නේ මන්දැයි සොයා බලා ඊට ද පිළියම් යෙදිය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...