Monday, 17 December 2018

විදු පත් ඉරුව
20.04.2016.

බොන්නට තැබූ ජල බඳුනේ කොණ්‌ඩ කුරුල්ලෙක්‌ ගිනි මද්දහනේ බැහැගෙන නානවා. උන්ටත් මේ දිනවල තියෙන දාහය දරන්න බැරුව ඇති. සතා සිවුපාවට විතරක්‌ නො වෙයි අපි හැමෝටමත් මේ දිනවල පවතින දාහය දරාගන්න අමාරුයි. සිංහල අවුරුද්ද මේ දාහය අස්‌සෙම ගෙවිලා ගියාට තියෙන රස්‌නය නම් දැන් ම ගෙවෙන පාටක්‌ නෑ වගේ. වෙන දා වහින බක්‌ මහේ වර්ෂාවටත් බැරි උනා මේ දාහය නිවාලන්න. ශ්‍රී ලංකාව වගේ සමකය ආසන්න රටවලට තමයි මේ තත්ත්වය ප්‍රබලව බලපාන්නේ. 2015 වසර ගෙවුණේ මේ තත්ත්වය ඇති කරගෙන. මේ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන් සිතුවට 2015 උණුසුම් ම වර්ෂය වෙයි කියලා 2016 දී ලෝක උණුසුම තවත් වර්ධනය වෙයි කියලයි ඔවුන් දැන් අනුමාන කරන්නේ.

අපි හොඳින් ම දන්නව නේ සූර්යයා තමයි අපිට ශක්‌තිය ලබා දෙන්නේ කියලා. අපව උණුසුම් කරන්නේත් සූර්යයා. එපමණක්‌ නො වෙයි ලෝකයේ පැවැත්ම තීරණය කරන්නෙත් සූර්යයා. හැබැයි මේ දිනවල පවතින උණුසුම ඇති කරන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ නම් "එල් නිනෝ" නම් ක්‍රියාවලියක්‌. දැනටමත් මේ නම අහලා ඇති. ඔබ දන්නව ද එල් නිනෝ ක්‍රියාවලිය (ආචරණය) හටගන්නේ කොහොම ද කියලා. මෙය බැලූ බැල්මට බොහොම සරල ක්‍රියාවලියක්‌. ලෝකයේ උණුසුම පාලනය කරන්න සාගර ජලය ඉතා විශාල කර්තව්‍යයක්‌ ඉටු කරන බවයි පෙන්වා දී තිබෙන්නේ. සාගර මතුපිට ඇති ජලය හිරු ගේ උණුසුම උරාගෙන ගැඹුරේ ඇති සීතල ජලය සමග මිශ්‍ර කරමින් තමයි මේ පාලනය සිදු කරන්නේ. සාමාන්‍ය කාලවල දී එය එසේ වුණත් එල් නිනෝ කාලවල දී මේ ක්‍රියාවලිය අවුල් වෙනවා. ඒකට හේතු වන්නේ සාගර ජලය අසාමාන්‍ය ලෙස වැඩිපුර සූර්ය තාපය උරාගැනීම කියලයි විද්‍යාඥයන් පවසන්නේ.

සාගරයේ ජල ස්‌තර අතුරින් ඉහළින් ම ඇති මීටර සියයේ ජලය උණුසුම්. ඉන් පහළට යත් ම උණුසුම අඩු වන අතර ගැඹුරේ සීතල ජලය සමග මිශ්‍ර වෙමින් මේ උණුසුම් ජලය පහළ බහිනවා. මෙය විද්‍යාඥයන් හඳුන්වන්නේ සිරස්‌ මිශ්‍රණය කියලයි. සිරස්‌ මිශ්‍රණය සිදු නො වූ විට රත් වූ ජලය තිරස්‌ ලෙස ගමන් කරන අතර එනිසා වෙන දාට වඩා වැඩියෙන් වායුගෝලය උණුසුම් කරනවා. මෙනිසා අධික වාෂ්පීකරණයෙන් වායුගෝලයේ ජල වාෂ්ප ප්‍රමාණය වැඩි කරන්නේ සමකාසන්න රටවලට අධික උණුසුමක්‌ ඇති කරමින්. විශේෂයෙන් ම පැසිµsක්‌ සාගර කලාපයේ ඇති වන මේ අක්‍රමවත් ක්‍රියාදාමය නිසා මුළු ලෝකයේ ම බොහොමයක්‌ ප්‍රදේශවලට අසාමාන්‍ය කාලගුණික තත්ත්වයන් නිර්මාණය කරනවා. මානව ක්‍රියාකාරකම් නිසා මේ ක්‍රියාවලිය තවත් ප්‍රබල වෙලා කියලයි විද්‍යාඥයන් දැන් දැන් පවසන්නේ.

එල්නිනෝ උණුසුම නිසා ඇති වන වියළි කාලගුණික තත්ත්වය කිසියම් ප්‍රමාණයකට ලෝකය අකර්මණ්‍ය කරන බව පැහැදිලියි. ඒ කාලගුණික අසාමන්‍යතා ඇති කරමින්. මේ නිසා වර්ෂා රටාව වෙනස්‌ වීම පමණක්‌ නො වේ දැනට සොයාගෙන ඇති විද්‍යාත්මක කරුණුවලට අනුව පැහැදිලි වන්නේ වායුගෝලයේ ඉහළ ස්‌තරවල ඇති ඕසෝන සාන්ද්‍රණයට පවා අහිතකර බලපෑම් ඇති කරන බවයි. ගොඩබිමෙහි උණුසුම වැඩි වීමට සමානුපාතිකව පොළොවෙහි මතුපිට ස්‌තර වියළී යැම කිසියම් ප්‍රමාණයකට ලැව් ගිනි ඇති කිරීමට හේතු වන බව නොරහසක්‌. ලැව් ගිනි ඇති වීම වායුගෝලයේ කාබන් අංශු සහ කාබන්ඩයොක්‌සයිඩ් ප්‍රමාණය වැඩි කිරීමට හේතුවක්‌ බව අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.

මේ උණුසුම් කාලගුණික තත්ත්වය ඉන්දියාව, ඉන්දුනීසියාව සහ සිංගප්පූරුව ප්‍රමුඛ ආසියාවේ රටවලට පමණක්‌ නො ව ඔස්‌ටේ්‍රලියාව වැනි මහාද්වීපවලට ද බලපාන බව පෙනී යන කරුණක්‌. උතුරු ඇමෙරිකාවේ සීත කාලගුණය මෙනිසා සමනය කරන අතර හිම වැටීම අඩු කරනවා. මේ අතර දකුණු ඇමෙරිකාවේ තත්ත්වය හාත්පසින් ම වෙනස්‌. එහි අධික වර්ෂාපතනයක්‌ ඇති කරන අතර පේරු, ඉක්‌වදෝර් සහ චිලි වැනි රටවලට මෙය ප්‍රබලව බලපානවා. මේ තත්ත්වය එක්‌තරා ආකාරයකට ඔවුනට වාසිදායක තත්ත්වයක්‌. ඒ මන්ද යත් මේ හේතුවෙන් එම ප්‍රදේශවල මුහුදේ මත්ස්‍ය ගහනය වැඩි වී වැඩිපුර මත්ස්‍ය අස්‌වැන්නක්‌ ලැබීමයි. එහෙත් යුරෝපයට නම් මේ තත්ත්වය බලපාන ආකාරය පැහැදිලිව තවමත් වටහාගෙන නැහැ. කොහොම වුණත් මේ එල් නිනෝ තත්ත්වය සාමාන්‍යයෙන් වසර හතරකට පමණ වරක්‌ ඇති වන්නක්‌. මෙතෙක්‌ සිදු වී ඇති රටාව අධ්‍යයනය කළ විට එයට වඩා අඩු කාලයක දී පවා එල්නිනෝ නැවත ඇති වී ඇති බව පෙනී යනවා.

"ලා නිනා"ව මේ රටාව උඩුයටිකුරු කරනවා. මෙනිසා ලා නිනා කාලයක දී එල් නිනෝ කාලවල වියළි කාලගුණික රටාවක්‌ පෙන්වූ ප්‍රදේශවලට ඉතා අධික වර්ෂාපතනයක්‌ ගෙන දෙනවා. ඒ වාගේ ම අධික වර්ෂාපතනයක්‌ ලද ප්‍රදේශවලට වියළි කාලගුණික තත්ත්වයක්‌ ඇති කරනවා. සාගරයේ ඉහළ ස්‌තරවල ජලය වැඩිපුර සිසිලනය වීමෙන් තමයි මේ තත්ත්වය ඇති වන්නේ. කොහොම වුණත් එල් නිනෝ සහ ලා නිනා යන ක්‍රියාවලි දෙකෙන් ම සිදු වන්නේ සාමාන්‍ය කාලගුණ තත්ත්වය වෙනස්‌ කරන එකයි.

මේ පවතින උණුසුම අඩු වන්න තව සති කිහිපයක්‌ ගත වේ වි. එතෙක්‌ අප ගේ සෞඛ්‍යය රැකගන්න වගබලාගත යුතුයි. හැකි සැම විට ම පාහේ ජලය පානය කිරීම ඉතා වැදගත්. ඒ වාගේ ම බෙලිමල්, රණවරා වැනි දේශීය පානයන් ද ඔබට පානය කළ හැකියි. එළිමහනේ වැඩකටයුතු කිරීමේ දී පරෙස්‌සම් විය යුතුයි. විශේෂයෙන් ම අධිකව මහන්සි වන කටයුතුවල දී. කොහොම වුණත් ඒ සියල්ල ම කරන ගමන් සතා සිවුපාවටත් දාහය නිවාගන්න ජල බඳුනක්‌ දෙකක්‌ තියන්න අමතක කරන්න එපා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...