Monday, 14 January 2019

විදු පත්ඉරුව
11.05.2016
මුහුදු මට්‌ටම ඉහළ යැම ගැන බොහෝ කලක සිට අපි කතා කරන්නෙමු. ඒ ක්‍රමයෙන් වැඩි වන ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් බව ලොකු කුඩා අපි බොහෝ දෙනා ඉතා හොඳින් දැන සිටින්නෙමු. සාගර ජල මට්‌ටම ඉහළ යැමේ ප්‍රතිඵල ද මේ වන විට අපි හොඳින් වටහාගෙන ඇත්තෙමු. එහෙත් ෆොසිල ඉන්ධන දහනයත්, වනාන්තර විනාශ කිරීමත් ඇතුළු මේ සදහා හේතු වන අනෙකුත් ක්‍රියාකාරකම් නවතා නොමැති බව මනාව පැහැදිලි වේ. කෙසේ වෙතත් මුහුදු මට්‌ටම උච්චාවචනය වීම අද ඊයේක ආරම්භ වූවක්‌ නො වේ. පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ ඒ පැරැණි උච්චාවචනයන් සිදු වීම සදහා බොහෝ විට හේතු වී ඇත්තේ ස්‌වාභාවික කරුණු කාරණා ම වන බවයි.

අයිස්‌ යුග ඇති වීම මුහුදු මට්‌ටම පහත හෙළීම සදහා එක්‌ හේතුවක්‌ වන අතර එය ලෝකයේ වියළි කාලගුණික තත්ත්වයක්‌ ඇති කිරීමට හේතු වී තිබේ. මේ සීතල වියළි කාලගුණික තත්ත්වයන් නිසා ලෝකයේ බොහෝ වෙනස්‌කම් සිදු වී ඇති බව භූවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලින් තහවුරු වී ඇත.

ලෝකයේ ආරම්භයේ සිට සැලකු විට ප්‍රධාන වශයෙන් අයිස්‌ යුග පහක්‌ තිබී ඇති බව පර්යේෂණවලින් සොයාගෙන ඇත. මානවයා ගේ ආරම්භයත් සමග සැලකු කල පැරැණි ම අයිස්‌ යුගය වාර්තා වී ඇත්තේ මෙයට වසර බිලියන 2.4-2.1ක්‌ කලිනි. ඒ ප්රෝටෙරෝසොයික්‌ (Proterosoic) යුගයේ ය. මේ කාලය සාගරවල බහුලව හරිත ඇල්ගාවන් වර්ධනය වූ කාලයයි. ප්‍රභාසංශ්ලේෂණය ප්‍රමුඛ වූ මේ කාලයේ දී වායුගෝලය ඔක්‌සිජන් වායුවෙන් අනූන විය. මේ අයිස්‌ යුගය හියුරෝනියන් (Huronian) ලෙස හදුන්වන ලැබේ. දෙවැනි අයිස්‌ යුගය වන ක්‍රියෝජෙනියන් (Cryogenian) වාර්තා වන්නේ වසර මිලියන 850-650 අතර කාලයේ දී ය. මේ කාලයේ දී ධ්‍රැවාසන්නයේ වූ අයිස්‌ තට්‌ටු සමකාසන්නයටම පැතිරී ඇත. මේ යුගය අවසාන වත් ම ජීවයේ මහා විවිධාංගිකරණය ඇති වූ අතර එම නිසා නා නා ජීවින් ලොව පහළ විය. එකල ඇති වූ අධික ගිනිකඳු පිපිරීමෙන් නිකුත් වූ හරිතාගාර වායුන් නිසා මේ අයිස්‌ යුගය අවසාන වී ඇත. තෙවැනි අයිස්‌ යුගය ඇන්ඩියන්-සහරන් (Andean-Saharan) ලොව ඇති වන්නේ වසර මිලියන 460-430 අතර කාලයේ දී ය. මේ කාලයේ දී සාගරවාසී ජීවීන් 60%ක්‌ පමණ වඳ වී ගොස්‌ ඇති අතර මත්ස්‍ය විවිධත්වය ඇති විය. කාරූ (Karoo) අයිස්‌ යුගය වසර මිලියන 360-260ක පමණ කාලයේ දී ඇති විණි යෑයි පර්යේෂණවලින් තහවුරු වී ඇත. එකල්හි ගොඩබිම බහුල වූ වෘක්‌ෂලතා හේතුවෙන් වායුගෝලයට නිදහස්‌ කරන ලද අධික ඔක්‌සිජන් ප්‍රමාණය මේ අයිස්‌ යුගය සඳහා හේතු වන්නට ඇති බව විද්‍යාඥයෝ විශ්වාස කරති.

අවසාන අයිස්‌ යුගය වන ප්ලියෝසීන-චාතුර්ත (Plieocene-Quaternary) අයිස්‌ යුගය වසර මිලියන 2.8කට පමණ පෙර ආරම්භ වී ඇත. මේ යුගය පුරාවිද්‍යාඥයන් සහ මානව විද්‍යාඥයන් හට වැදගත් යුගයක්‌ වන්නේ මානවයා ගේ ආරම්භය සිදු වන්නේ මේ යුගයේ බැවිනි. මේ අයිස්‌ යුගයේ අවසනය ආරම්භ වන්නේ වසර 20,000-10,000ක පමණ කාලයේ දී ය. අයිස්‌ යුග අතර කාලය "අන්තර් අයිස්‌ යුග" ලෙස හදුන්වන අතර, මේ කාලය බොහෝ විට ලොව කොහේ හෝ අයිස්‌ නො තිබන්නට ඇති බව විස්‌වාස කෙරෙයි. අද ගත වන මේ කාලය හොලොසින (Holocine) ලෙස හදුන්වන අතර මේ කාලය චාතුර්ථ අවධියේ අවසාන කාල සීමාවයි. එනම් අප මේ ගත කරන්නේ අවසාන අයිස්‌ යුගයේ අවසාන භාගයේ ය. කෙසේ වෙතත් මේ කාලයේ අවසාන වසර 10,000 අතර ශ්‍රී ලංකා වෙරළාසන්නයෙන් සොයාගත් සාධක අනුව තෙවරක්‌ ම මුහුදු මට්‌ටම උච්චාවචනය වී ඇත. අයිස්‌ යුග ඇති වූ සැම කල්හි ම ලොව බොහෝ සේ වියළි කාලගුණික ස්‌වරුපයක්‌ ගෙන ඇති බැවින් මේ තත්ත්වය ශ්‍රී ලංකාවට ද බල නො පාන්නට හේතුවක්‌ නොමැත. මෙරට ද එසේ සටහන් වූ වියළි කාලගුණික තත්ත්වයන් තුනක්‌ ඇති බව භූ විද්‍යාඥයන් විසින් දැනට සිදු කරන ලද පර්යේෂණවලින් හෙළි වී ඇත.

බුන්දල සහ පතිරාජවෙල ඓතිහාසික වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකව ද වැදගත්මක්‌ ඇත්තා වූ ස්‌ථාන දෙකකි. මේ ස්‌ථානවල පවතින වැලි කඳු මෙලෙස අවසාන අයිස්‌ යුගයේ වියළි කාලගුණික තත්ත්වය පිළිබිඹු කරන කදිම සාධක වෙයි. මේ වැලි කඳු වසර 80000ක්‌ පමණ

පැරැණි බව භූ කාල නිර්ණ ක්‍රම මගින් සොයාගෙන ඇත. ශ්‍රී ලංකා මානව වංශ කතාවේ දැනට පැරැණි ම සාධක හමු වී ඇත්තේ ද මේ පතිරාජවෙල සිදු කෙරුණ කැණීමකින් බව කියෑවේ. පුරාවිද්‍යාඥයන් ගේ පර්යේෂණවලට අනුව වසර එක්‌ ලක්‌ෂ විසි පන් දහසක්‌ (125000) පමණ පැරැණි ගල් ආයුධ මේ ස්‌ථානයෙන් හමු වී ඇත. එහෙත් මේ සාධක අතිශය මතභේදාත්මක බව කිව යුතු ය. මේ සාධකවලට පසු මේ වන තෙක්‌ වෙනත් කිසි ම ස්‌ථානයකින් හෝ නැවත තහවුරු කරන සාධක හමු නො වීම ද ඉන් එක හේතුවකි.

භූ රුපණය සැලකීමේ දී මේ ස්‌ථානය වර්තමාන මුහුදු මට්‌ටමේ සිට මීටර 15ක්‌ පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මේ ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවක ය. එසේ නම් මේ ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්‌ටමට වඩා ඉහළින් පිහිටන්නේ කෙසේ ද යන්න පැරැණි මුහුදු මට්‌ටම් උච්චාවචනය හා සබැඳේ. පෙබලු සහ බොරළුවලින් සමන්විත මේ තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණවලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවධියේ තැන්පතුවක්‌ බවයි. එසේ නම් ගංගාවේ වෘද්ධ අවධිය පිහිටන්නේ තව බොහෝ පහළිනි. මෙමගින් පැහැදිලි වන්නේ මේ තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්‌ටම පහළ ගිය කාලයක බවයි. කෙසේ වෙතත් වෙරළ තීරයේ උච්චාවචනයන් පිළිබඳ අධ්‍යයනයන් වඩා පුළුල් පරාසයක්‌ පැතිරී යා යුතු අතර එය භූ විද්‍යාඥයන් හට පමණක්‌ නො ව මානව වංශ කතාව හදාරන පුරාවිද්‍යාඥයන් හට හට ද ඉතා වැදගත් බව පැවසිය යුතු ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 6 January 2019

විදුපත්ඉරුව
27.04.2016
මේ තියෙන පෑවිල්ල වගේ ම තමයි වහින්න ගත්තහමත්. ඇති පදමට, මදි නො කියන්න වහිනවා. පෑවිල්ල හින්දා වේළිලා තියෙන පොළොවට එතකොට ඔන්න වහින වැසි වතුර බොහොමයක්‌ උරාගන්න එක අහන්නත් දෙයක්‌ ද? වැඩි දවසක්‌ යන්න මත්තෙන් ඇකිළිලා තිබුණ පස්‌ අංශු, වැසි වතුර හොඳට උරාගෙන ඉදිමෙන්න පටන්ගන්නවා. වැඩි කාලයක්‌ යන්න මත්තෙන් මුළු පොළොව ම ජලයෙන් පෙඟිලා සංතෘප්ත වෙනවා. ඔන්න දැන් තමයි ගැටලුව ඇති වෙන්නේ. මේ ක්‍රියාවලිය තැනිතලා ප්‍රදේශයක දී නම් කොහෙත් ම ගැටලුවක්‌ වෙන්නේ නැහැ. ඒ වුණාට ඔන්න කඳුකරයෙ දී තමයි ගැටලු මතු වෙන්නේ. 

අපි දන්නවා පස්‌වලට ජලය උරාගන්න එකෙන් වෙන්නේ ඒ පස්‌වල බර තවත් වැඩි වෙනවා කියන එක. මෙලෙස කඳුකරයේ විවිධ ස්‌ථානවල ඇති පස්‌ කුටිටිවල බර වැඩි වීම ඉතා ම භයානකයි. ඒ මොකද කියලා ඔබ හොඳින් දන්නවා නේ. බහුතරයක්‌ නාය යැම් සිදු වන්නේ අධික වර්ෂාපතනයක්‌ ඇති කාලවල දී. අත්දැකලා තියෙන විදියට දින කිහිපයක්‌ තිස්‌සේ අධික වර්ෂාපතනයක්‌ කඳුකරයේ යම් යම් ප්‍රදේශවලට ලැබීම නාය යැම් ඇති කිරීමට හේතු වෙලා තියෙනවා. සාමාන්‍ය වර්ෂාපතනයක්‌ වුවත් දිගුකාලීනව ඒකාකාරීව ලැබීම යහපත් තත්ත්වයක්‌ නො වෙයි. පොළොව ජලය උරාගත්තට පස්‌සේ සිදු වන තව දෙයක්‌ තමයි පස්‌ අංශු අතර ඇති බැඳීම ලිහිල් වෙන එක. ඒක සිදු වෙන්නෙ නිශ්චිතව ම මේ වේලාවටයි කියලා දැනගන්න එක බොහොම අසීරු දෙයක්‌. එක මොහොතක දී ඉතා ම හදිසියේ සිදු වන මේ සිදුවීම නිසා පස්‌ අංශු අතර ඇති ඝර්ෂණය බිඳ වැටීම තවත් එක්‌ නාය යැමක්‌ සදහා හේතු වනවා.

ඉතා ම කදිමට පෙඟිලා තියෙන පස්‌ අංශු, එක තැනකින් ලිහිල් වෙලා පහළට රූටා යැමට පටන්ගැනීමත් සමග ම ඒ හා බැඳුණු අනෙකුත් පස්‌ අංශුත් ඒ ගමනට එකතු වනවා. පස්‌වල ඇති මැටි අංශු මේ ගමනට එක්‌තරා ආකාරයකට රුකුලක්‌ දෙනවා කිව්වොත්

නිවැරැදියි. මැටි අංශු දිය වී හැදෙන දියරමය ස්‌වභාවය අති විශාල පාෂාණ කුට්‌ටි පවා පහළ ගෙන යන්නේ ඉතා ක්‌ෂණයකින්, කිසි ම අපහසුවකින් තොර ව. මේ වේගවත් චලනය තමන් ගලා යන මාර්ගයේ ඇති බොහොමයක්‌ දේ එක්‌කාසු කරගෙන යන්නට ඉතා හොඳින් වග බලාගන්නවා. ඉහළ ස්‌ථානයක තිබෙන විට ද ජලය උරාගෙන ද ඇති වූ විභව ශක්‌ති වැඩි වීම චාලක ශක්‌තියක්‌ බවට පත් කරගෙන ගමනට අවශ්‍ය ජවය ලබාගන්න මේ අස්‌ථාවර පස්‌ කුට්‌ටි ශක්‌තිය හානි කරගෙන ස්‌ථාවර වන්නේ සුදුසු නවාතැන්පළක්‌ සොයාගත් පසුයි. මේ නවාතැන්පළ හිටපු තැන ඉඳලා මීටර කිහිපයක්‌ වෙන්නත් පුළුවන්. නැතිනම් මීටර සියයක්‌ දෙ සියයක්‌ වෙන්නත් පුළුවන්. සමහර විටෙක මීටර දාහක්‌ පමණ වූ අවස්‌ථාත් තියෙනවා. මේ ගමන් මාර්ගයේ ආරම්භයේ සිට කොහේ හෝ ස්‌ථානයක මානව ජනාවාස තිබුණොත් සිදු වන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ.

මේ ක්‍රියාදාමය අතිශය ස්‌වාභාවික වන මුත් දැන් දැන් වර්තමානයේ මිනිසුන් ගේ අත්aතනෝමතික ක්‍රියා හින්දා නාය අවදානම වැඩි වෙලා කිව්වොත් නිවැරැදියි. ජලය වාගේ ම නාය යැමක දී අදාළ ප්‍රදේශයේ භූමියේ බෑවුමත් අතිශය වැදගත්. බෑවුමෙහි අඛණ්‌ඩභාවයට හානි පැමිණීම නාය යැම් වර්ධනයට තවත් හේතුවක්‌. අතීත මිනිසුන් තමන් ගේ නිවහන හදාගත්තේ බොහොම ස්‌ථාවර භූමියක. කොහොම උනත් ඔවුන් කඳුකර අස්‌ථාවර භූමිවලට අත නො තිබූ බවයි පෙනී යන්නේ. තමා ගේ නිවහන සාදාගන්න සුදුසු භුමිය තෝරාගන්න ඔවුන් තමන් ගේ භූ විද්‍යාව පිළිබඳ පාරම්පරික දැනුම භාවිත කරන්න ඇති. ඒ නිසා වාසස්‌ථානයට ඉතා සුදුසු ස්‌ථාන සොයාගැනීම ඔවුනට එතරම් අපහසුවක්‌ නො වන්න ඇති. නමුත් වර්තමානයේ මිනිසුන් ගේ තම වටපිටාව පිළිබඳ ඇති දැනුම බොහොම අල්පයි. එනිසා ඔවුනට තමා අවට පරිසරය තේරුම්ගන්නට බැහැ. වැඩි වන ජනගහනයත් සමග ම මිනිසුන් ගේ යම් යම් ප්‍රදේශවලට ඇති කැමැත්ත නිසා ඒ අවට ප්‍රදේශවලට මිනිසුන් රොක්‌ වීම තමයි අද ගැටලුවක්‌ වෙලා තියෙන්නේ. එනිසා තමා ගේ කැමැති ප්‍රදේශයේ කොහේ හෝ තැනක්‌ නිවහන කරගන්න හිතගෙන ඔවුන් ඉඩම් මිල දී ගන්නා බවයි පෙනෙන්නේ. ඉන් පස්‌සේ තමයි ඔවුන් ගැටලුවලට මුහුණ පාන්නේ.

තමන් ගේ නිවහනට අවශ්‍ය ඉඩ සකස්‌ කරගැනීමට බැවුම් අධික ස්‌ථානවල කණ්‌ඩි කැපීම අද සුලබ තත්ත්වයක්‌. මෙලෙස කණ්‌ඩි කැපීම බෑවුම් අස්‌ථාවර කරන බවට ඉතා හොඳින් පැහැදිලි වී ඇති සත්‍යයක්‌. එනමුත් බොහෝ දෙනා ඒ පිළිබඳව විමසිලිමත් නො වන බවයි පෙනෙන්නේ. තමන් ගේ නිවහනටත් වඩා උස කණ්‌ඩි නිවසේ පිටුපසින් තනාගන්නා මිනිසා නිවසේ ඉංජිනේරු තාක්‌ෂණය පිළිබඳ විශ්වාසය තබා නින්දට යන්නේ භූ ස්‌ථාවරත්වය ගැන කිසිවක්‌ නො දැනයි. රාත්‍රියේ හෝ උදෑසන වන විට තම නිවහනට පමණක්‌ නො ව තමාට වූයේ ද කුමක්‌ දැයි දැනගැනීමට විටෙක නිවැසියා ජීවත් වන්නේ ද නැහැ. බොහොමයක්‌ නිවාස සහ අනෙකුත් ගොඩනැගිලි කඳුකරයේ තනන විට භූ ස්‌ථාවරත්වය පිළිබඳව නො තැකීම අද විශාල ගැටලුවක්‌ වන්නේ මේ නිසයි.

මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට ගෙන ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) මෙරට කඳුකරය පිහිටි දිස්‌ත්‍රික්‌ක දහයක්‌ නාය යැම් සිදු විය හැකි හා අවදානම ඇති ප්‍රදේශ ලෙස නම් කර තිබෙනවා. ඒ වාගේ ම එම ප්‍රදේශවල කිසියම් ම හෝ ඉදි කිරීමක්‌ කරන්නේ නම් එම සංවිධානයේ රෙකමදාරුව ලබාගත යුතු මයි. මේ තීරණයට එළඹ තිබෙන්නේ මිනිසුන් ගේ සුබසාධනය උදෙසා වන අතර අප සියලු දෙනා ඒ බැව් හොඳින් තේරුම්ගත යුතුයි. එනිසා ඔබ නාය යැම් අවදානම ඇති ප්‍රදේශයක නිවහන සාදන්නේ නම්, එම දිස්‌ත්‍රික්‌කයේ ප්‍රාදේශීය කාර්යාලයට ගොස්‌ ඔබ ගේ ඉඩමෙහි තත්ත්වය පරීක්‌ෂා කරගැනීම ඔබ ගේ නිවහන ඉදි කරන්නේ සුරක්‌ෂිත තැනක දැයි තහවුරු කරගන්නට මහඟු උපකාරයක්‌ වේ වි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...