Thursday 25 June 2020


භූ සංචාරිතය 15

This article is originally published on Vidusara 24.06.2020.


“වර්තමානය අතීතයට යතුර” බව පවසන්නේ නවීන භූ විද්‍යාවේ පියා වූ ජේම්ස් හට්න් (James Hutton) නම් වූ ස්කොටිස් ජාතික භූ විද්‍යාඥයායි. භූ විද්‍යාවේ මූලික සිද්ධාන්තයක් වූ මේ කියමන බොහෝ තැන්වලදී අප භාවිත කරන මුත් එය සෑම තැනකදීම නිවැරදිදැයි කීයෙන් කී දෙනෙකු අධ්‍යනය කර ඇත්දැයි නොදනී.  ඔහු මේ පවසන්නේ වර්තමානයේ සිදුවන බොහෝ සොබාවික ක්‍රියාදාමයන් ඒ ආකාරයෙන්ම අතීතයේදී ද සිදු වූ බවයි. ඇත්තටම එය කොතරම් දුරට නිවැරදි ද? වර්තමානයේ සිදුවන එකම ආකාරයේ භූ සංසිද්ධීන් සමුහයක් අතීතයේදී ද සිදුවුනා යයි පැවසීම මටනං තරමක් ප්‍රශ්නාර්ථමය කියමනක් බව පෙනී යයි. අතීතයේ දී සිදු වූ දේ පිළිබඳව අප අද අධ්‍යනය කරන්නේ වර්තමානයේ සිදුවන සිදුවීම් පාදක කරගෙන නම් වත්මනෙහි සිදු නොවන නමුත් අතීතයේ සිදු වූ භූ සංසිද්ධියක් ගැන අධ්‍යනය කරන්නේ කෙසේද යන්න පැහැදිළි කර ගත යුතුය. මේ අප කතා කරන්නේ භූ සංසිද්ධීන් ගැන නම් ඒවායේ වේගය සහ සොබාවය ගැන නම් එය ඉතා ප්‍රශ්නකාරී බව අමුතුවෙන් විස්තර කල යුතු නැහැ. විවිධ භූ විෂයන් හා භූ ක්‍රියකාරකම් ගැන කතා කරන විට මෙහි බරපතල තත්වයක් නොමැතිව මතුපිටින් පමණක් ගැලපෙන කියමනක් බවයි මටනං හැඟී යන්නේ. 


කොහොම වුනත් මේ ගැන ඔබට සිතන්නට ඉතිරි කර අපගේ භූ සංචාරිතය වෙත යමු. කලින් දිනක මා කී පරිදිම වෙරළබඩ පරිසරය භූ විද්‍යාඥයින්හට පර්යේෂණ සඳහා කදිම තෝතැන්නක් බව අමතක නොකළ යුතුය. එනිසා වෙරළබඩ පරිසරය අපගේ භූ සංචාරිතයේ අත්‍යවශය සංධිස්ථානයක් බව නොකියාම බැරිය. එනිසාම වරින් වර වෙරළට පැමිණ යන්නට මා හට අමතක නොවන බව මෙහි ලා සඳහන් කල යුතුය. මුහුදු මට්ටම උච්චාවචනය වීම වෙරළබඩ භූ සංසිද්දීන් පෙළ ගස්වන්නට සමත් ජගතායි. මේ ක්‍රියාදාමය නිසා කලෙක ගොඩ නගන වෙරළබඩ භූ සම්පත් නැවත වරෙක සියල්ල අතු ගා දමන්නට ක්‍රියා කරයි. මුහුද මට්ටම වෙනස්වීම යාමනය කරන්නේ පෘථිවියේ උෂ්නත්වයයි. කොටින්ම කිවහොත් හිරුගෙන් ලැබෙන තාපයයි. කුමන හෝ හේතුවන්  නිසා මෙහි වෙනසක් සිදුවන විට ඉතා පැහැදිළිවම මුහුදු මට්ටමෙහි උච්චාවචනයන් සිදු වේ. ලෝක උෂ්ණත්වය වැඩි වන විට ග්ලැසියර දිය වී සාගර වලට එක් කරන්නේ කලින් ගත් ණයක් ගෙවීමට මෙනි. ඒ ණය අරගෙන ඇත්තේ ශිත යුගයේදී හිම ගබඩාවක් පවත්වාගෙන යාම සඳහා වන අතර උෂ්ණත්වය වැඩිවන විට එම ණය ගෙවීමට සැමවිටම සිදුවනු ඇත. 


ලෝකයේ අවසාන ශිත යුගයේ උපරිමය සටහන් වන්නේ මෙයින් වසර 22000කට පමණ පෙර බව විද්‍යාඥයින් පවසයි. ඒ තත්වය වසර 10000 පමණ වන විට සමතයකට පත් වූ බවත් එනිසා අද පවතින තත්වයට මුහුදු ජල මට්ටම   වැඩි වූ බවත් විද්‍යඥයින් සොයාගෙන ඇත. වසර 10000 කින් පසු ආරම්භ වන්නේ හොලොසින කාලය පරිච්චේදය වන අතර එය නුතන මිනිසාගේ කාලය ලෙසද හඳුන්වයි. කොහොම වුනත් අයිස් යුගය නිම වුවායැයි විද්‍යාඥයින් පවසන්නේ මුත් අප හොඳින් දන්නා එක් සත්‍යක් වෙයි. ඒ තවමත් ධ්‍රැවයේ අයිස් තට්ටු නැතහොත් ග්ලැසියර පවතින බවයි. එසේ නම් අයිස් යුගය සත්‍ය ලෙසම අවසන් වී ඇතැයි පැවසීම ගැටළුවක් බව ඔබට පසක් වනු ඇත. සත්‍ය ලෙස අයිස් යුගය නිමා වන්නේ නම් ලොව පවතින සෑම අයිස් තට්ටුවක්ම නැතහොත් ධ්‍රැවයේ සියලු අයිස් දිය වූ පසුව බවයි මාගේ හැඟීම වන්නේ. කොහොම වුනත් මෙතනදී සඳහන් කල යුතු තවත් කරුණක් වෙයි. ඒ වසර 5000 දී පමණ නැවත වරක් මුහුදු ජල මට්ටම වැඩි වී නැවත අඩු වී අද පවතින තත්වයට පත් වී ඇති බවයි. 


මෙහි දී තේරුම් යන ඒක දෙයක් නම් වර්තමාන තත්වය අයිස් යුගයේ අවසාන අවස්තාව ලෙස පිළිගෙන ඇති බවයි. නමුත් එය කොතරම් සාධාරණ ද යන්න අප වටහා ගත යුතුය. ජේම්ස් හටන්ගේ නියමය පිළිපැදීම නිසා මෙම තත්වය පොදු තත්වයක් ලෙස දකින්නේද යන්නත් අප සාකච්චා කල යුතුය.  


කිරින්ද සිට තංගල්ල දක්වා වූ මුහුද තීරය ඉතා වැදගත් භූ සංසිද්ධියක් පාදක කරගත් ප්‍රදේශයක් බවත් භූ සංචරණයට ඉතා කදිම බවත් මෙහි ලා සඳහන් කල යුතුය. මුහුද ජල මට්ටමෙහි උච්ච්වචනය නිසා එහි ඍජු බලපෑමට ලක් වූ මෙම ප්‍රදේශය ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ මෙහි පහත්බිම් වසා පවතින මුහුදු බෙල්ලන්ගේ කවච නිධි හේතුවෙනි. ඉතා පහත් බිම් වල විශේෂයෙන්ම කුඹුරු ආශ්‍රිතවද මෙම බෙලි කවච නිධි දැක ගත හැකිය. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ කලපු ආශ්‍රිතව මෙහි ව්‍යාප්තියේ සම්බන්ධයක් ඇති බව පෙනී යයි. බොහොමයක් බෙලි කවච නිධි හමුවන්නේ මුහුද වෙරළේ සිට කිලෝමීටර එකකට දෙකකට ඈතින් ගොඩබිම දෙසින් බව පෙනී යයි. වැදගත්ම කරණය වන්නේ මෙවැනි මුහුදු බෙලි කවච ගොඩබිමෙන් හමුවන්නේ කෙසේද යන්න පැහැදිලි කිරීමයි. මෙවැනි මුහුදු බෙලි කවච නිධියක් බුන්දල උස්බිම් ප්‍රදේශයේ ද හමුවන බව මාගේ මතකයක් ඇත. මුහුද හා සම්බන්ධ මෙවැනි භූ රූපන සහ නිධි හමුවීමෙන් පවසන්නේ මෙහි ඇති වීම කෙරෙහි ඍජුවම මුහුදේ බලපෑමක් ඇති බවයි. එනම් මුහුද මට්ටම නැතහොත් මුහුද මෙම ප්‍රදේශයේ අතීතයේදී පැවති බවයි.   මුහුදු මට්ටම වැඩි කලෙක ගොඩබිම මුහුදෙන් යටවීම අනුමත කල හැක. පසු කාලීනව මුහුදු මට්ටම අඩුවන විට ක්‍රමයෙන් ගොඩ බිම දෙසින් ජලය බැස යන අතර වෙරළට වඩා ගැඹුරු වූ නිම්න කලාප වල ජලය එක් රැස් වී කලපු නිර්මාණය විය හැක. මෙම කලපු වල මුහුද බෙල්ලන්ගේ වර්ධනය සිදුවන අතර දෙපියන් බෙල්ලන් වැනි කෑමට ගත හැකි බෙල්ලන් විශාල වශයෙන් වැඩෙන පරිසර බවට පත් වේ. 


‘මිනිඇතිළිය’ යනු මෙම ප්‍රදේශයේ වූ අපුරු පහත් බිමක් වන අතර දැනට කුඹුරු කර්මාන්තයේ  යෙදෙන පරිසරයකි. වැළලී ගිය ‘මැණික් හාමි’ හමුවන්නේ මෙම ප්‍රදේශයේ එක් කුඹුරකින් වන අතර එම ප්‍රදේශය පුරාවටම භූ අභ්‍යන්තරයේ  දැක ගත හැකි වන්නේ මුහුදු බෙල්ලන්ගේ කවච වලින් පිරුණ භූමියක් බවයි. බොහෝ පුරා විද්‍යඥයින්ගේ මතය වුයේ මෙය පුරාන මිනිසා විසින් කා ඉවත දමන ලද බෙලි කටු නිධියක් බවයි. නමුත් මෙම ස්ථානය අහඹු ලෙස දැක බලා ගැනීමට භාග්‍ය ලද මාගේ නිගමනය වූයේ එය එසේ නොවන බවත් මෙය සොබාවිකව තැන්පත් වූ බෙලි කවච නිධියක් බවත්ය. ලෝකයේ විවිධ ස්ථාන වල එසේ බෙලි කවච නිධි හමුවිය හැකි වුවත් මාත් මාගේ මිතුරු මනොජ් ප්‍රසන්නත් සිදු කල පර්යේෂණයෙන් පැහැදිලි වුයේ මාගේ මතය නිවැරදි බවයි. මිනිසාගේ බලපෑමෙන් එය සකස් වූයේ නම් මෙම නිධියේ වැඩිපුරම හමුවන්නේ  වැඩුන බෙල්ලන්ගේ කවච වන අතර ඒ සඳහා හේතුවන්නේ සැමවිටම ආහාරය සඳහා මිනිසා ලබා ගන්නේ වැඩුන බෙල්ලන් බැවිනි. නමුත් අපගේ අධ්‍යනයෙන් හෙළි වුයේ විවිධ ප්‍රමාණවල බෙලි කටු හමුවන බවත් ඒවා බෙල්ලනගේ වර්ධනයේ එක් එක්අවධි නිරුපණය කරන බවත්ය. ඉතා කුඩා ප්‍රමාණයේ ලපටි බෙල්ලන්ගේ කවච හමු වීමෙන් මාගේ මතය තහවුරු වන අතර තව දුරටත් මුහුද මට්ටම අඩුවීම නිසා මෙම කලපු පරිසර එකවර සිඳී යාම මෙවැනි මුහුදු බෙලි කවච නිධි ඇති වන්නට හේතු වූ බව මාගේ අදහසයි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















Thursday 18 June 2020


භූ සංචාරිතය 14
This article was published on Vidusara 17.06.2020.


ගංගාවන් රට මැදින් රැගෙන එන අවසාදිත බහාලන ඇසුරුම වන්නේ මහ මුහුදයි. කිසිම චෝදනාවක් නොමැතිවම ගංගාවන් රැගෙන එන සියල්ල මහ මුහුද පිළිගනියි. නොපිළිගන්නා සියල්ල නැවත වෙරළ වෙත හරවා නොඑවන්නට තරම් මහා මුහුද පසුබට වෙන්නෙත් නැහැ. එමනිසා පාවෙන සියල්ල වෙරළේ  නවාතැන් ගනියි. 


ගංගාවක ශක්තිය පිළිබිඹු වන්නේ එය රැගෙන යන අවසාදිත වල ස්වරුපය අනුවයි. මහා විශාල ශක්තියක් හෙබි ගංගාවෝ විශාල ප්‍රමාණයේ රළු ඛණිකා සහිත අවසාදිත ප්‍රවාහනය කරති. ඒ මහා ශක්තිය ගෙන දෙන්නේ වර්ෂාවයි. මහා වැසි එකතු කරන වර්ෂාව ගංගාව පෝෂණය කරන අතර වැසි සමය ගංගා වලට සිත් සේ ගලන්නට අවකාශය සහ ශක්තිය ගෙන දෙයි. දෙගොඩ තලා ගලනා ගංගාවන්ගේ ශක්තිය හීන වූ කල ගඟබඩ දෙපස අත අරින්නේ එලෙස රැගෙන එන අවසාදිතයි. කෙලස වුවත් බොහොමයක් අවසාදිත වල අවසාන නවාතැන්පල වන්නේ මහා මුහුදු පත්ලයි. 


වෙරළේ ක්‍රියාකාරිත්වය ගොඩබිම පැවැත්ම උදෙසා විශාල මෙහෙයක් කරයි. වෙරළේ අවසාදිත වර්ගය තීරණය කරන්නේ රැල්ලේ ශක්තියයි. ශක්තිය වැඩිනම් වෙරළේ තැන්පත් වන්නේ රළු ඛනිකාමය අවසාදිතයි. සියුම් ඛණිකා සහිත අවසාදිත තැන්පත් වන්නේ රැල්ලේ ශක්තිය හීන වූ විටයි. හීන ශක්තියකින් හෙබි වෙරල වල බහුලව හමුවන්නේ මැටි සහිත අවසාදිතයි, ශ්‍රී ලංකාවේ වෙරළේ හමුවන්නේ වඩා විශාල නොවූත් වඩා කුඩා නොවූත් මධ්‍යම ප්‍රමාණයේ වැලි ඛණිකා බව ඔබට මතකයට නැගේවි. අපේ රටේ වෙරල හරිම ලස්සනයි.  ඒ අලංකාරය වැඩිකරන්නට ධවල පැහැති තිරුවානා වැල්ල බෙහෙවින් උපකාරී වෙනවා කිව්වොත් නිවැරදියි. 


මෝසම් සුළං නිසා වෙරළ ආසන්නයෙන් මුහුදේ හට ගන්නා දිගු දුර දියවැල් වෙරළේ අවසාදිත ඉදිරියට තල්ලු කරන නිසා වැලි කැට එක් රොක් වෙවී ගොඩ ගැසෙන්නේ බාධකයක් හමු වූ විටයි. වෙරළ සංචරණයට ඉතා අපුරු තැනක්. භූ විද්‍යත්මක සංසිද්ධීන් බහුල වෙරළ නිසි පරිදි අධ්‍යනය කරන්නේ නම් භූ විද්‍යාඥයින් හට බොහෝ දේ ඉගෙන ගන්නට පුළුවන. 


භූ සංචාරිතයෙන් ඔබට අද ගෙන එන්නේ වෙරළේ වූ එවැනි තවත් භූ සංසිද්ධියක් නිසා හට ගන්නා භූ ව්‍යුහයක් ගැනයි. වෙරළ සැමවිටම පෙන්නුම් කරන්නේ ලෝකයේ සාගරවල ජල මට්ටමයි. සමහර කාලෙක මෙම මට්ටම උච්චාවචනය වන්නේ ඉතා පැහැදිලි ලෙසයි. මුහුදු මට්ටම වෙනස්  වී වෙරළේ ගතික බව රඳවා ගන්නේ මුහුදේ ජල ප්‍රමාණයේ වෙනස් වීමයි. මුහුද ජල ප්‍රමාණය වැඩි වන විට වෙරළ ගොඩබිම දෙසට තල්ලු වන අතර මුහුද මට්ටම අඩු වී වෙරළ සාගරය දෙසට තල්ලු වන බව මතක නොකළ යුතුය. මුහුදේ ජලය වැඩිවන්නේ ජල සංචිත වල ඝන ජලය දියවු විටයි. ජල සංචිත ඇත්තේ ධ්‍රැවය දෙපස අතර ඒවා ඔබ කවුරුත් හොඳින්  හඳුනන ධ්‍රැව අයිස් වෙයි. ධ්‍රැව අයිස් දියකරන්නේ ලෝකයේ කාලගුණය අයහපත් වූ විටයි. ගෝලීය උණුසුම් යම් කිසි හේතුවක් නිසා වැඩිවන විට ධ්‍රැව අයිස් දියවන අතර එනිසා මුහුදු මට්ටම වැඩි වේ. ලෝකයේ උණුසුම අඩු වීම සාගර ජලය මුදවන්නට හේතු වන නිසා ධ්‍රැව අයිස් ගොනුව වර්ධනය වන අතර එවිට සාගරයේ ජල මට්ටම පහත හෙලන්නට හේතුවෙයි.


ගොඩබිමෙන් ඉවතට වර්ධනය වන වෙරළ නිසා ගොඩබිම ප්‍රදේශය විශාල වන අතර මධ්‍යයේ වූ ගංගාවන් මුහුද හා  සම්බන්ධවීම සඳහා වැඩි දුරක් ගමන් කිරීමට සිදුවෙයි. මෙනිසා ගංගාව තිරිහන් වන අතර තරුණ සහ මධ්‍ය අවධියේ වූ නිම්නයන් තව තවත් ගැඹුරු වෙයි. වෘධ අවධියේ  ගතකල ගංගා තීරයේ මින් පසු තැන්පත් වන්නේ මධ්‍ය අවධියේ තැන්පත් වීමට නියමිත රළු ඛණිකාමය අවසාදිත යි. බොරළු වැනි අවසාදිත තැන්පතු ගොඩ ගැසෙන්නේ  එබැවිනි. එලෙස ඇති වූ තැන්පතුවකි පතිරාජවෙල ප්‍රදේශයේ හමුවන්නේ.  ප්‍රතිරාජවෙලා ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ වසර ලක්ෂයකට පමණ පැරණි ශිලා මෙවලම් හමුවන පුරා විද්‍යත්මක භූමියක් ලෙසයි.


ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය වන්නේ මැටි ඛණිජ සමග තිරුවානා වැල්ල නිර්මාණය වීමයි. බොහෝ විට තිරුවාන බොරළු සහ පෙබලු ගංගාවේ ගලා යාම නිසා එකිනෙක ඝට්ටනය වී කුඩා කැබලි බවට පත් වේ. තිරුවානා (ක්වාට්ස්) ඛනිජයේ නිශ්චිත පැලුම් රටාවක් නොමැති නිසා ඇතිවන පැලුම් මගින් ලබා දෙන්නේ ඉතා තියුණු දාර යි. මෙම දාර වහා කැපෙන සුළුයි. මේ අපූරු ලක්ෂණය හඳුනා ගන්න අපේ මුතුන් මිත්තෝ කැපුම් තලයක් ලෙස භාවිත කරන්නට පටන් ගත් අතර පසු කාලීනව මානවයා විසින් මෙවැනි තියුණු කැපුම් දාර සහිත මෙවලම් තමා විසින්ම නිර්මාණය කරගන්නට පෙළඹුන බව අපට පෙනී යයි. අහඹු ලෙස පිපිරුණ තිරුවානා අත්ගලෙන් මතු වූ තියුණු දාර සහිත කැපුම් දාර තල  පසු කාලීනව විශාල පෙරලියක් කරන්නට හේතු වේ යැයි ඔවුන් කිසිසේත් නොසිතන්නට ඇත. පසු කාලීනව නිර්මාණය කරන ලද වඩා දියුණු ශිලා මෙවලම් තිරුවානා ඛනිජයේ භාවිතයක් බව අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැත. ශ්‍රී ලංකාවේ නම් තිරුවානා ඛනිජයට අමතරව සිලිකා මගින් නිර්මාණය වූ කහඳ (චර්ට්) නම් වූ අස්ඵටික ද්‍රව්‍යද යොදා ගෙන ඇති බව පර්යේෂණ මගින් තහවුරු වෙයි. 


සොබාවික ව නිර්මාණය වූ තිරුවානා කැපුම් දාර සහිත කුඩා කැබලි මිනිසා විසින් නිර්මානය කරන ලද්දක් ද නොවේද යන්න දැනගන්නේ කෙසේද. ඒ සඳහා ඇති ක්‍රමවේදය කුමක් ද. කුමන ලක්ෂණ මේ සඳහා යොදා ගන්නේ ද? ක්ෂුද්‍ර ශිලා මෙවලම් අධ්‍යනයේදී මිනිසා විසින් නිර්මාණය කරන ලද්දක් බව ඉතා පැහැදිලිව වටහා ගත හැකිය. මන්දයත් මිනිසා විසින් එය නිර්මාණය කිරීමේදී ඇතිකරන ලද සියුම් දාරවල් සහ පැති පහසුවෙන් හඳුනා ගත හැකි නිසයි. කෙසේ වෙතත් මාගේ මතය අනුව පැරණි මුතුන් මිත්තන් ප්‍රාථමිකව භාවිතා කරන්නට ඇත්තේ තමා නිර්මාණය කරන ලද ශිලා මෙවලම් නොවන අතර ඒවා බොහෝවිට සොබාවිකව නිර්මාණය වූ තිරුවානා කැබලි වන්නට ඇත. සොබාවිකව නිර්මාණය වූ සහ ප්‍රාතමිකව මිනිසා නිර්මාණය කරන ලද ශිලා මෙවලම් හඳුනා ගත හැකි ද? මාගේ මතය වන්නේ එය කිසි සේත්ම කල නොහැකි බවයි. එලෙස හැකිවන්නේ එම ශිලා මෙවලම් පැරණි මිනිසුන් වාසය කළා යැයි විශ්වාස කරනා ස්ථාන වලින් හම්වූ වූ විටෙක පමණි. එසේ නොමැති නම් බාහිර රූපකාය අනුව සොබාවිකව නිර්මාණය වූ තියුණු දාර සහිත තිරුවානා කැබලි සහ ප්‍රාථමික ශිලා මෙවලම් හඳුනා ගැනීම අතිශය දුෂ්කර බව අමතක නොකළ යුතුය. ඒ අනුව පතිරාජවෙල බොරළු නිධියෙන් වසර ලක්ෂයකට ආසන්නයේ හමු වූ ශිලා මෙවලම් සත්‍ය ලෙසම මිනිසා නිර්මාණය කරන ලද්දක් ද නැතහොත් සොබවිකව ගංගාවේ චලනය නිසා  බිඳුම් ඇතිවී එමගින් නිර්මාණය වුවා ද යන්න පැහැදිලි නොමැති බවයි මාගේ මතය වන්නේ. එනිසා එවැනි මතබේදාත්මක කරුණු පාදක කර යම් යම් නිගමන වලට එළඹීම නොකළ යුත්තකි. නිශ්චිත ලෙස පතිරාජ වෙල බොරළු නිධියෙන් හමුවන්නේ සොබාවිකව නිර්මාණය වූ තිරුවානා බොරළු කැබලි නම් වසර ලක්ෂයකට පමණ පෙර ශ්‍රී ලංකාවේ මිනිසුන් වාසය කළා යන්න හුදු බොරුවක් පමණක් ම වන බව අප අමතක නොකළ යුතුය. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















Thursday 11 June 2020


භූ සංචාරිතය 13
The article is originally published on Vidusara, 10.06.2020.


මාගේ මතය අනුව ලෝක විනාශය ආරම්භ වන්නේ මිට අවුරුදු මිලියන 2-2.6 කට පමණ කලින්. ඒ කාලේ තමයි මානවයාගේ ආරම්භය සටහන් වෙන්නේ. වානරයාගේ දෙපා සංචරණය නිසා ලැබෙන අති විශාල වාසි කන්දරාවත් සමග මානවයා වානරයා පසු කර ගෙන යනවා. විශාලිත වූ මොළය දෙපා සංචාරණයේ වාසිය ඉතා අපූරුවට කළමනාකරණය කර ගැනීම නිසා මිනිසා මේ වන විට පෘථිවි ගෝලය තුල වසන සුපිරි සත්ත්වයා බවට පත් වෙලා. නමුත් ඒ අපුරු හැකියාවන් මිනිසා අද භාවිතා කරන්නේ ලෝකය විනාශ කරන්නට බව සත්‍යයක්. තමන් ඇතුළු සියලුම ජීවින් මෙලොවින් අතු ගා දමන්නට මේ වන විට මිනිසා සිදුකර ඇති අනුවන ක්‍රියාකරකම් හොඳටෝම ඇති. 


චාතුර්ථ යුගයේ ආරම්භයත් සමගම ඇතිවන මානව ආරම්භය සහ සංස්කෘතිය මිනිසාගේ පැහුණ බුද්ධියට අසුවන්නේ පුරා විද්‍යාව ලෙසයි. එහි වපසරිය නිර්මාණය වන්නේ මානව ආරම්භයත් සමග බොහෝ දෙනෙකු දන්නා බවක් හැගෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය නම් ඒ කාල සීමාව වානර ආරම්භයට වුව රැගෙන යා හැක. ඒ අනුව යමෙකුට පුරාවිද්‍යා සන්දර්භය තුල එතෙක් වූ විකාශනය ගැන කතා කරන්නට හැකියාව ඇත්තේ මුත්, පුරා සත්ත්ව විද්‍යාව ඔස්සේ ජුරාසික යුගයේ හෝ මයෝසින යුගයේ සත්ත්ව විකාශනයන් ගැන කතා කිරීමට උත්සහ දැරීම කොතරම් විහිළුවක්දැයි ඔබට තේරුම් යනු ඇත. මිනිසා සමග හිලෑ වූ සහ මිනිසාගේ පරිභෝජනයට නතු කර ගත් සතුන් ගැනයි ඒ තුල කතා කල යුත්තේ.  


ඒ කෙසේ වුවත් මේ සියලු දේ පුරා විද්‍යාඥයින්ට හමුවන්නේ අවසාදිත තැන්පතු තුලිනි. අවසාදිත පිළිබඳව ඔබ නොදන්නේ නම් පුරා විද්‍යා කැනීම් පර්යේෂණ කිරීමෙන් කිසිම් පලක් වන්නේ නැහැ. ඔබට හැකිවන්නේ ඒ තුල හමුවන දේ ගැන කතා කිරීම පමණකි. මේ පිළිබඳව මා පුන පුනා පවසන්නේ භූ විද්‍යත්මක පර්යේෂණ වල සහය ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකරනා බැවිනි. කාලීනව තැන්පත් වන අවසාදිත තට්ටු ගැන මාගේ මතය වන්නේ ඒවා ඉතා වැදගත් සංස්කෘතික සහ පාරිසරික දත්ත සිරකර ගත් කාල කැප්සියුල ලෙසයි. රසායනික ලෙස මෙන්ම භෞතිකව ද මෙලෙස තැන්පත් වූ සාක්ෂි වෙන් කර ගැනීම අප සතු දක්ෂතාවයයි. මෑත කාලින පුරා විද්‍යා පර්යේෂණ තුල මෙලෙස විද්‍යත්මක ලෙස පාංශු අධ්‍යනයන් සිදු නොවූ බව සහතිකයි. භෞතිකව පෙනෙනා පැහැය සහ වයනය (තරමක් දුරට අතින් අල්ලා බලා) පාංශු ස්තරායනය පිළිබඳව යම් නිගමනයකට එළෙඹෙනවා පමණක් බව අමතක නොකළ යුතුය. 


භූ සංචාරිතයෙන් අද ඔබ රැගෙන යන්නේ තවත් ගල් ගුහාවක් වෙතයි. පාහියන්ගල පිහිටි පාහියන් ගුහාව ඉතා ප්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානයකි. පුරා විද්‍යා ස්ථානයක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ගුහාව අසල කරන ලද කැනීම් තුලින් හමු වූ මානව අස්ථි අවශේෂ හේතුවෙනි. ශ්‍රී ලාංකේය පුරා විද්‍යාඥයින් පවසන අන්දමට මේ මානව අවශේෂ ආසන්න වශයෙන් වසර 38000ක් පමණ පැරණි බවයි. එයින් පැවසෙන්නේ ඔවුන් ජීවත්ව ඇත්තේ ප්ලයිස්ටෝසීන කාලයේ බවයි. වසර මිලියන 2ක් පමණ කාලයේ සිට වසර 10,000 දක්වා වූ කාලය වෙන් වන්නේ ප්ලයිස්ටෝසීන කාලයටයි. ඉන් පසු එන්නේ හොලෝසීන කාලයයි. 


මව් පාෂානයේම විකාශනය වූ මෙම ගුහාව ඉතා අපූරු ගල් ගුහාවකි. ඉතා විශාල කටක් සහිත මෙය ඉතා හොඳින් ආලෝකය ලැබෙන කදිම වාසස්ථානයක් වන අතර විශාල පිරිසකට නවාතැන්ගත හැකි ස්ථානයකි. මේ කරුනුත් සමග පෙනී යන්නේ පැහැදිලිවම මෙම ගුහාව අපගේ පැරැන්නන්ගේ වාසභවනක් වන්නට ඇති බවයි. මතුපිට තැන්පත්ව ඇති අවසාදිත ඉතා සියුම් අංශු වලින් යුක්ත අවසාදිත වන අතර සැකයක් නොමැති ලෙසම පෙනී යන්නේ සුලඟ මගින් තැන්පත් වූ “ වාලුකා අවසාදිත” බවයි.


පාෂාණ ජිර්ණයේ අත්‍යන්ත ප්‍රතිඵලය පාංශු ජනනයයි. අවසාදනය වන්නේ මෙවන් වූ පාංශු දේහයන් වන අතර කිසිම අවස්ථාවක ස්ථානීය පාංශු ස්තර අතර මානව සාක්ෂි හෝ පුරාවිද්‍යාත්මක සාධක හමුවන්නේ නැත. අවසාදිත තැන්පත් වන්නේ මෙම ස්ථානීය පාංශු දේහයන්ගේ මතු පිටින් බව අමතක නොකළ යුතුය. පාෂාණ ජීර්ණය නිසා පාංශු ජනනය වන්නේ පාෂාණයේ ඉහල සිට භූ අභ්‍යන්තරයට වන අතර එනිසා ස්ථානීය පාංශු ස්ථරයේ වැඩිම ඉහල සිට පහලට සිදුවේ. අවසාදිතකරණය නිසා ගොඩනැගෙන පාංශු ස්තර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පුරා විද්‍යඥයින්හට වැදගත් වන්නේ එලස තැන්පත් වන අවසාදිත තැන්පතු මිස ස්ථානීය පාංශු ස්ථර නොවේ. ඔබ කැණිම් කරන්නේ නම් මෙම වෙනස ඉතා පැහැදිළිව දැන ගත යුතුය. නැතහොත් ඔබගේ මුදල් පමණක් නොව කාලය ද අපතේ යනවා නිසැකයි, කිසිම සාක්ෂියක් නොලබාම.


අවසාදිත වල වයනය එනම් පාංශු ඛණිකා වල හැඩය, විශාලත්වය සහ අන්‍යෝන්‍ය සම්බන්ධය විස්තර කිරීමට හැකි නම් ප්‍රාග් කාලගුණික තත්වයන් ගැන පමණක් නොව අවසාදනය වූ ආකාරය එනම්  ස්ථානීය සැකැස්ම ගැනද අපට යම් අවබෝධයක් ලබා ගැනීමට හැකියාව ලැබේ. සැමවිටම මානවයා සිදුකරන සෑම ක්‍රියාකාරකමක්ම පවතින තත්කාලීන පාරිසරික සහ කාලගුණික තත්වය මත තීරණය වන අතර මෙලොව පවතින කිසිම සංස්කෘතියක් එය පවතින පරිසරයෙන් හෝ පවතින කාලගුණික තත්වයෙන් වියුක්තව ගොඩනැගී නැති බව අප අමතක නොකළ යුතුය. මානව ක්‍රියාකාරකම් අධ්‍යනය මගින් පැවති කාලගුණික තත්වයද කාලගුණික තත්වය ද අධ්‍යනය මගින් මානව සංස්කෘතීන්ගේ විකසනය ද අපහට තේරුම් ගත හැකි බව මනාව වටහා ගත යුතුය. 


පාංශු දේහයන්ගේ ස්තරාභවනය නිසි පරිදි වටහා නොගැනීම කරන කැණීම අවසානයේ ඛේදවාචකයකට  මුලපිරීමක් බව පුරා විද්‍යඥයින් වටහා ගත යුතුය. එලෙස ඛේදවාචකයක් වූ කැණීමක් ලෙස පාහියන්ගල ගල් ගුහාව තුල සිදුකල කැණීම හඳුගාගත හැක. කොතරම් ගැඹුරට කැනීම සිදුකර ඇතිද යත්, අවසාදිත තට්ටු පසු කර ස්ථානීය පාංශු ස්ථර ද පසු කර වර්ධනය වන ජිර්ණිත පාෂාණය ද කැණීමට ලක් කර ඇත. මෙහිදී ඔබට වැද්ගත් වන්නේ අවසාදිත තට්ටුව තෙක් කැනීම පමණකි. මේ වෙනස හඳුනාගැනීමට නොහැකි වීම කණගාටුදායක සංසිද්ධියක් බව අමුතුවෙන් විස්තරකර කල යුතු නොවේ, පුරාවිද්‍යාත්මක කැණීම් උදෙසා භූ විද්‍යඥයින්ගේ සහය ලබා ගැනීම පිළිබඳව කලපනා කිරීමට ඔබට සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුලය.  නැතහොත් භූ විද්යාත්ම සංකල්ප පුරාවිද්‍යඥයින්හට විශ්ව විද්‍යාලයේදී පළමු වසරේ සිටම ඉගැන්වීමයි කල යුත්තේ. එවිට ඔවුන් මේ විෂය කරුණු පිළිබඳව හොඳින් දැනුවත් වේවි. ලෝකයේ පුරා විද්‍යාව වේගයෙන් ඉදිරියට යන්නේ විද්‍යත්මක භාවිතයත් සමගයි. ශ්‍රී ලංකාවේ සිදුවන්නේ ආපස්සට යාමයි. කනගාටුවට කරුණ නම් ඔවුන් විද්‍යාව වෙතින් පලා යමින් සිටියි. 


 ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Wednesday 3 June 2020


භූ සංචාරිතය 12
This article is originally published on Vidusara, 03.06.2020.


මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයට ගොහින් බැලුවහොත් අපට පැහැදිලි වෙන කාරණය තමයි ගල්ගුහා ගැන මිනිසුන්ගේ තියෙන අධික උනන්දුව සහ සැබෑ අවධානය මොකක්ද කියන එක. හැබැයි ඒ ඔය කියන අඳුරු ගල්ගුහා ගැන නම් නොවෙයි. ඔවුන්ගේ අවධානය යොමු වුනේ ආලෝකමත් වූ ගල්ගුහා වලටයි. ඇත්තෙන්ම ගල්ගුහා අඳුරු නැහැ. බලන කෝණය සහ පුද්ගලයා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මටනං ගල්ගුහා සියල්ල ආලෝකමත්. ඒ තුල බොහෝ දේ බලන්න තියෙනවා. සචේතනිකව දකින්න තියෙනවා. 


මේ ගමන මාගේ භූ සංචාරිතය විස්තර කරන්නේ මාගේ දෙවන ගල්ගුහා අධ්‍යනය ගැන. 2010 වසරේදී පමණ මා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ගල්ගුහා වර්ගිකරණය තුලින් මෙරට වූ විවිධ ආකාරයේ ගල්ගුහා ගැන අධ්‍යනයට ලක් කළා. ඒ අනුව අපට ගල් පියැසි (rock shelters) හමුවෙන අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගල් පියැසි බව අමතක නොකළ යුතුය. මාගේ පර්යේෂණ සගයන් සමහරක් මාගේ මතයන් ගැන එකඟ නොවනවා වෙන්නට පුළුවන. මාගේ වර්ගීකරණය තුල හමුවන සත්‍ය ගල්ගුහා සැමවිටම පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ. මතුපිට පිහිටන ගල්පියැසි වර්ග දෙකකි. බෝල්ඩර පියැසි සහ මවු පාෂාණමය පියැසි යනු ඒ දෙවර්ගයයි. මින් වඩා බහුලව හමුවන්නේ බෝල්ඩර පියැසියි.


කැළණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මහාචාර්ය ගාමිණි අධිකාරි මහතාගේ මූලිකත්වයෙන් වාරණ රජමහා විහාරයේ කරන ලද ගල්ගුහා කැනීමේ පාංශු නියැදි භූ පුරාවිද්‍යාත්මකව අධ්‍යනය කරන්නැයි කරන ලද ඉල්ලීම මා බොහෝ කැමැත්තෙන් භාරගනු ලැබුවේ මේ තුලින් ශ්‍රී ලාංකේය පුරා විද්‍යාවට ඉතා වටිනා කරුණු සම්භාරයක් එක් කල හැකි බැවිනි. අද වගේම තමයි එදත් ශ්‍රී ලාංකික පුරාවිද්‍යාඥයින් අතලොස්සකට තමයි භූ විද්‍යාව තම පර්යේෂණ වලට එක් කර ගත යුතුයි කියලා අදහසක් තිබුනේ. ඉන් එක්කෙනෙක් තමයි මහාචාර්ය ගාමිණි අධිකාරි මහතා.  


පුරා විද්‍යාවට භූ විද්‍යාව අතවශ්‍ය විෂයක් බව අප මතක නොකළ යුතුයි. කනගාටුවට කරණය නම් මේ ඉතා වැදගත් විෂය අද ශ්‍රී ලාංකේය පුරා විද්‍යා විෂය ධාරාව තුල ශිෂයින්ට උගන්වන්නේ නැහැ. උගන්වන්නේ නම් ඒ ප්‍රධාන විෂයක් ලෙස නොව තවත් අවශේෂ විෂයක් ලෙස පමණි. රජරට විශ්ව විද්‍යාලය පමණක් අවසන් වසරේ සිසුන්හට එම අවස්තාව ලබා දීම ඉතා හොඳ ප්‍රවණතාවක් බව සඳහන් කල යුතුය. මේ පිළිබඳව ශ්‍රී ලාංකීය විශ්ව විද්‍යාල සහ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව අධ්‍යන කල යුතුයි. එපමණක් නොව ඒ සඳහා වහා පියවර ගත යුතුයි. භූ විද්‍යාත්මක සංකල්ප පුරාවිද්‍යාවේ සෑම අංශයකදීම උවමනා වන බව මෙහි ලා සඳහන් කල යුතුයි. ඔබ කැණීමක් කල ද, ගවේෂණයක් කල ද සංරක්ෂණයක් කල ද ඒ සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත හැකි අවස්ථා බොහොමයකි. එමගින් පුරාවිද්‍යාවේදී පැන නගින ගැටළු නිරාකරණය කරගැනීමට අවශ්‍ය භූ විද්‍යත්මක දැනුම ලැබෙන බව අමතක නොකළ යුතුය. 


කැනීම් සිදුකරන්නේ පොලොවෙහිය. නැතහොත් භූ පරිසරයෙහිය. පුරාවිද්‍යාඥයින්හට වැදගත් වන්නේ මතුපිට ස්තරය වසාලන අවසාදිත තට්ටුවයි. එය යම් කිසි භූ ක්‍රියාකාරකමක් හේතුවෙන් තැන්පත් වූවක් වන අතර ඒ අතර තැන්පත් වන්නේ මානවයාගේ ක්‍රියාකාරකම් වේ. එම සාක්ෂි විවිධ ලෙස මෙම පාංශු දේහයන් තුල තැන්පත් වන අතර භූ පුරා විද්‍යාවේදී සිදුකරන්නේ මෙම සාක්ෂි සියුම් භූ විද්‍යාත්මක සංකල්ප සහ ක්‍රමවේද මගින් විශ්ලේෂණය කර සත්‍ය කරුණු මතු කර ගැනීමයි. මානව සංස්කෘතික ලක්ෂණ රැගත් මෙම අවසාදිත තැන්පතු “සංකෘතික අවසාදිත” ලෙස හෝ “පුරාවිද්‍යාත්මක අවසාදිත” ලෙස හැදින්විය හැක. 


සංස්කෘතික අවසාදිත ස්ථර බොහෝවිට කෙලවර වන්නේ ගැඹුරේ ඇති ස්ථානීය පාංශු ස්ථර අසලිනි. ස්ථානීය පාංශු ස්ථර යටින් වූ පාෂාණයේ ජිර්ණයේ ප්‍රතිඵලයකි. ඉන් ඔබ්බෙන් වූ ජිර්ණිත පාෂාණය කෙලවර වන්නේ නැවුම් මවු පාෂාණය ළඟින්. අවසාදිත තැන්පතුවක් සැමවිටම කිසියම්ම හෝ පැරණි කාලගුණික විපරියාසයක සාක්ෂියක් සහිතය. පුරාවිද්‍යාඥයින්හට වැදගත්වන්නේ මෙම අවසාදිත තැන්පතු පමණකි. ඉන් ඔබ්බට කැනීම් කිරීමෙන් ප්‍රයෝජනයක් නොමැත. එනිසා ඔවුන්හට පස් සහ අවසාදිත පිලිබඳ වූ භූ විද්‍යත්මක දැනුම ඉතා වැදගත් වේ. එසේ දැනුමක් නොමැති තැනැත්තන් කල නිෂ්ප්‍රයෝජන කැණීමකි, පාහියන්ගල ගල් ගුහාවේ කර ඇති කැනීම. එය නිස්කාරණේ මුදල් අපතේ යැවීමකි. ඒ පිළිබඳව අප වෙනම දවසක සාකච්චා කරමු.


වාරණ කැනීම කරන ලද්දේ ගල් පියස්සක් යට තැන්පත් වූ අවසාදිත තැන්පතුවකයි. ගුහා තැන්පතු සකස්වන්නේ ඉතා සුවිශේෂී ආකාරයකටයි. බොහොමයක් අවසාදිත තැන්පත් වන්නේ සුළං මගින් වන අතර මේවා වාලුකා අවසාදිත තැන්පතු ලෙස හැඳින්විය හැක. ඉතා සියුම් ඛණිකා රැගත් මෙම පාංශු තැන්පතු අධ්‍යනය ඉතා අපහසුය. තන්පතුවේ සොබාවය ගල්ගුහාව පවතින පරිසරය සහ ගල්හාගුහාවේ ප්‍රමාණය මත ද එයට අමතරව බාහිර බලවේග මත ද වෙනස් විය හැක. ඉතා විශාල නොවූ තරමක් කුඩා තුන්පැත්තකින්ම නිරාවරණය වූ මෙම ගල් පියැස්ස දෙතුන් දෙනෙකුට පමණ සෙවණ දිය හැකි ස්ථානයකි. මෙම ගල්ගුහාවට ලැබෙන බාහිර බලපෑම් වැඩි අතර එනිසාම මෙහි තැන්පත් වූ අවසාදිත ඉහත කී අකාරයේ තැන්පතු වලින් තරමක් වෙනස් බව පෙනී යයි. බොහොමයක් අවසාදිත තරමක් මධයම් ප්‍රමාණයේ ඛණිකා රැගත් අවසාදිත වන අතර ඛණිකා වල කෝණාකාර හැඩය පෙන්නුම් කරන්න මද දුරක් ගමන් කල හෝ එසේ නොමැති හෝ  අවසාදිත ඛණිකා බවයි. ඉතා බහුල ලෙස මුණ ගැහෙන හිමටයිට් ඛණිකා (තෙල් බොරළු) පැහැදිලි කරන්නේ වරින් වර පැවතී කාලගුණික තත්වයේ වෙනස් වීමයි. තෙත් පරිසරයක ලක්ෂණ පෙන්නුම් කරන මෙම අවසාදිත හා බහුලව ප්‍රථමික මට්ටමේ ශිලා මෙවලම් මෙන්ම එක් ස්තරයක කලවමේ ශිලා මෙවලම් සමග වලන් කැබලිති ද හමු වේ. 


කලකදී මෙරට පුර විද්‍යාඥයින් මෙවැනි ස්ථර අර්ථකථනය කරනු ලැබුවේ නොවැදගත් කෘත්‍රිමව (මානවයා විසින් පසු කලෙක) කලවම් වූ අවසාදිත ලෙසයි. නමුත් මෙම ස්තරය ඉතා වැදගත් සංස්කෘතික පරිණාමයක අතරමැදි අවස්තාවක් ලෙස හඳුන්වයි. පස්චාත් මෙසොලිතික යුගය ලෙස හඳුන්වන මෙම යුගය පිළිබිඹු කරන අවසාදිත තැන්පතු හුදෙක් නොවැදගත් යැයි ඉවත්කළ අවස්ථා ගැන මෙරට පුරා විද්‍යා කැනීම් ඉතිහාසයේ හමුවන බව සමහර ඇත්තන් පවසනු මට ඇසී ඇත. 


කෙසේ වෙතත් අපගේ අධ්‍යනයන් අනුව මෙම ස්ථානය මානවයා තාවකාලිකව පරිහරණය කරන ලද ස්තානයක් බව ඔප්පු වූ අතර ඉතා අනර්ඝ ලෙස ස්ථර වෙන් කිරීම සහ අනෙකුත් අර්ථකතනයන් සඳහා භූ විද්‍යත්මක සංකල්ප යොදාගත් අවස්ථාවක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රථම වතාවට ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා පර්යේෂණ ඉතිහාසයේ භූ විද්‍යාත්මක සංකල්පයක් වන පාංශු ඛණිකා විශ්ලේෂණය ද අංගාර අංශු විශ්ලේෂණය ද මේ සඳහා යොදාගත් බව සඳහන් කල යුතුය. මෙම විශ්ලේෂණ ඇසුරු කරමින් 2009 දී පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව විසින් සංවිධානය කරන ලද පර්යේෂණ සැසියේදී (Volume 2, pp 45-57) ම විසින් ආචාර්ය ශිරාන් දැරණියගල මහතා ඇතුළු ජෙය්ෂ්ට පුරාවිද්‍යාඥන් සමුහයක් හමුවේ ඉදිරිපත් කලද බොහෝ දෙනෙකු මේ තුල වූ විද්‍යත්මක පැහැදිලි කිරීම සහ සොයා ගැනීම අවබෝධ කර ගත්තේ නැත. එය ඉතා කණගාටුවට කරුණක් වන අතර එවන් තත්වයක් හමුවේ මා තේරුම් ගත්තේ භූ පුරා විද්‍යාව කෙසේ වෙතත් මෙරට පුරා විද්‍යාවේද ප්‍රගමණය අඳුරු බවයි. එය හුදෙක්ම සිතුවිල්ලක් නොවන බව සමහරු පුරා විද්‍යාත්මක සන්දර්භය තුල භූ විද්‍යත්මක කරුණු කාරණා ගැන ලබා දෙන අර්ථකථන අනුව අද පැහැදිලි වෙන බව මෙහි ලා පැවසිය යුතුය. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ






















  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...