Monday 15 February 2021

මුතුරාජවෙල තෙත්බිමකි. 

භූ සංචාරිතය 45

This article is originally published on Vidusara, 10.02.2021.

පසුගිය සතියේ ලෝක තෙත්බිම් දිනය සමරන්නට යෙදුනා ඔබට මතක ඇති. ඒ පෙබරවාරි මස දෙවනි දා. තෙත් බිම් යනු ඉතා වැදගත් පරිසර පද්ධතියකි. භූ සංචාරිතයෙන් වරින් වරින් මේ ගැන අප කතා කලා.

රැම්සා සම්මුතිය බිහිවන්නේ තෙත් බිම් අරක්ෂා කරගන්න. එය ආරම්භ වන්නේ අදින් වසර පනහකට පෙර ඉරානයේ රැම්සා නගරයේ පවත්වන්නට යෙදුන සම්මේලනයකින්. එහිදී ඇතිකරගත් එකඟතාවයෙන් ලෝකයේ රටවල් බොහොමයක් මේ සම්මුතියට අත්සන් තබන්න තෙත්බිම් ආරක්ෂා කරගැනීම පරම චේතනාවෙන්. පළමු සැසිය පවත් වූ 1971 වසරේ දී  මේ සඳහා රටවල් 7ක් එකඟතාවය පළ කල අතර මේ වනවිට රටවල් 171 ක් එකඟතාවය පළ කරමින් අත්සන් තබා ඇත. මේ අතර ශ්‍රී ලංකාව ද වෙයි.

ශ්‍රී ලංකාව රැම්සා සම්මුතියට එකඟතාවය පළකරමින් අත්සන් තබන්නේ 1990 දී බූන්දල වනෝද්‍යානය රැම්සා තෙත්බිමක් ලෙස නම් කරමින්. එදා මෙදාතුර කාලයේ එවන් වූ තෙත්බිම් පහක් සමගින් සියල්ල හයක් ලෙස රැම්සා තෙත් බිම් බවට පත්කරමින් ජාත්ත්‍යන්තර අවධානය ලබා ගැනීමට හැකි වී ඇත. ආනවිලුන්දාව, මාදු ගං මෝය, වංකලේ, විල්පත්තුවේ ප්‍රදේශයක් සහ කුමන ජාතික වනොද්යනයන් ද ඒ හය අතර වන බව මතක් කල යුතුය.

තෙත්බිමක් යනු වෙරළාසන්නයේ ජලයෙන් යටවූ පහත් බිමක් පමණක් නොව ගොඩබිමේ පවතින යම් පහත් බිම් ද අයත් බව අමතක නොකළ යුතුය. තෙත්බිමක් සදා ජලයෙන් යටවී හෝ තාවකාලික යටවී පැවතිය හැක. ජලය කරදිය හෝ මිරිදිය වන්නට හැක. පවතින පරිසරය අනුව සුවිශේෂී තත්වයන් එම පරිසරයේ ඇති විය හැකි අතර ඒ පදනම් ව එහි පවතින ජෛව සංයුතිය අතිශය වෙනස් විය හැක.

තෙත්බිම් වඩා වැදගත් වන්නේ වැඩි ජලය එනම් ගංවතුර පාලනයේ දී බව මෙහි ලා සඳහන් කල යුතුය. එපමණක් නොව අප ජලය පිරිපහදුව සඳහා කදිම තෝතැන්නක් බව ද අමතක නොකළ යුතුය. එපමණක් නොව සුවිශේෂී ජෛව විවිධත්වය ගෙන එන්න එම පරිසර පද්ධතියට අපූරු  ආකර්ශනයක්. සතුන්ගේ නිජබිම් පමණක් නොව සමහරුන්ට අවැසි වන තාවකාලික ලැගුම් හලවල් ලබා දෙන්නට තෙත්බිම් පරිසරය පසුබට වන්නේ නැත. මිනිසාට වැදගත් වන ඖෂධ සහ ආහාර පාන පමණක් නොව එදිනෙදා ජිව්තයේදී වැදගත් වන සමහර දේ ලබා දෙන්නට සැදී පැහැදී ඉන්නා බව මතකයේ රඳවා තබා ගත යුතුය.

බටහිර වෙරලේ හමුවන තෙත්බිම් පහත්බිම් අතර මුතුරාජවෙලට හිමිවන්නේ වැදගත් තැනක්. තවමත් රැම්සා රැකවරණය නොලැබුන නමුත් එය වඩාත් අවැසි තෙත්බිමක් ලෙස හඳුනාගත හැකි කදිම පරිසර පද්ධතියකි මුතුරාජවෙල. මිගමුව කලපුවේ ආරම්භය බොහෝ විට කොළඹ සිට මුතුරාජවෙල හරහා ඇති වූ වෙරළ භූ රූපණය හේතු වන්නට ඇත.

මුතුරාජවෙල ද ජෛව විව්ධත්වයෙන් අනූන පරිසර පද්ධතියකි. ශාක වර්ග 200 ට ආසන්න ප්‍රමාණයක් ද සතුන් ද එවැනිම වූ ප්‍රමාණයක් ද  ඒ අතර කුරුල්ලන් 100 ට අධික ප්‍රමාණයක් ද මෙම පරිසර පද්ධතියෙන් වාර්තා වෙයි.

වසර 5000 ට පමණ පෙරකළ මෙරට මුහුද මට්ටමේ ඇති වූ සීග්‍ර වෙනස්වීම මත එකල මේ වෙරළ ආසන්නයේ වූ විශාල වනාන්තරයක් කරදියෙන් යට වීම හේතු කොට ගෙන මෙම අපූරු තෙත්බිම වර්ධනය වී ඇත. එනිසා මෙරට හමුවන විශාලම පීට් නිධිය මෙහි ඇත. කරදිය මිශ්‍ර වූ අවසාදිත වලින් යට වූ එකල බිහි වූ විසල් ශාකා ප්‍රාග්ජීව ධාතුන් බවට පත් වී සංරක්ෂණය වී ඇත. තවමත් ක්‍රමයෙන් පීට් බවට පත් වෙමින් තිබෙන බවයි පර්යේෂණ පෙන්වා දෙන්නේ.

පීට් සහ බොරතෙල් ඇතිවන්නේ දෙආකරයකටයි. පීට් වල අවසානය සනිටුහන් වන්නේ ගල් අඟුරු බවට පත් වීමෙන්. බොරතෙල් ඇතිවන්නට හේතුවන්නේ සාගර ජීවීන්ගේ නිධිගත වීමෙන් සහ එම කාබනික නිධි ක්‍රමයෙන් අවසාදිත පාෂාණ බවට පත් ඉව්මේදී ය. එහිදී වැඩිවන උෂ්ණත්වය සහ පීඩනය හමුවේ මුහුදු ජීවීන්ගේ දේහයන් ක්‍රමයෙන් හයිද්‍රජන් මිශ්‍රිත කාබනික සංයෝග බවට් පත් වේ. මේවා හයිද්‍රෝකාබන ලෙස හඳුන්වයි.

පීට් සහ ගල් අඟුරු බිහිවන්නට හේතුවන්නේ ගොඩබිම ශාක, අවසාදිත සමග මිශ්‍රිතව නිධිගත වීමයි. මේ සඳහා බොහෝ කාලයක් ගතවන අතර පීට් නිධිවල ඇත්තාවූ ප්‍රාග්ජිව්ධාතුන් බවට් පත් වූ ශාක විශේෂ මොනවා ද යන්න හඳුන්ගත හැක. මුතුරාජවෙල හමුවන මෙවැනි ශාක කඳන් සමහරක් තවමත නිසි පරිදි අවම වශයෙන් පීට් බවට හෝ පත් වී නොමැති බව ක්ෂේත්‍ර නිරීක්ෂණ වලදී පැහැදිලි වේ.

බොහෝ කලකට ඉහතදී රජ දවස මේ පහත් තෙත් බිම වගා කටයුතු සිදුකල මුතු වැනි සහල් නිෂ්පාදනය කල භූමියක් බව ඉතිහාසගත වාර්තා පවසයි. කාලීනව සිදු වූ පාරිසරක වෙනස් වීම මත වගා කටයුතු වලින් මිදී ක්‍රමයෙන් සොබාවික ශාක සන්තතියක් බවට පත් වී ඇත. ඒ අවම වශයෙන් වසර දාහක පමණ කාලයක සිට විය හැක.

පාංශු දේහයන් හි අධික කාබනික ද්‍රව්‍ය ප්‍රමාණයක් පැවතීම ප්‍රදේශයේ භූ ගත ජලයේ සංයුතිය රසායනිකව වෙනස්කරන්නට හේතු වී ඇත. කාබනික ද්‍රව්‍ය සමග මිශ්‍රව පවතින ගෙන්දගම් වැනි රසායනිකයන් නිසා භූ ගත ජලයට දැඩි ආම්ලික බවක් අත්කර දී ඇත. එනිසා මෙම ප්‍රදේශයේ බොහෝ ස්ථාන වල ජලය සොබාවිකවම ආම්ලික ලක්ෂණ පෙන්නුම් කරයි.

මුතුරාජවෙල සංරක්ෂණය කල යුතු භූ විද්‍යාත්මකව වැදගත් වන භූමියකි. මෙහි භූ විද්යාත්මක, රසායනික සහ ජෛව විද්‍යාත්මක හැදැරීම් තුලින් පැරණි කාලගුණික තත්වයන් පමණක් නොව ශාක සහ සතුන්ගේ අගමනයන් ද අධ්‍යනය කල හැකි බව මෙහි ලා සඳහන් කල යුතුය. එපමණක් නොව වසර 2000ක් 3000ක් පමණ කාලයේ වර්ධනය වූ මෙරට සංස්කෘතික කවරක් ද යන්න උකහා ගැනීමට පවා කදිම තෝතැන්නක් බව බොහෝ දෙනෙකුට මතකයට නැගෙන්නේ නැත.

තෙත්බිමක් ලෙස ඉතා ඉහල වටිනාකමින් යුක්ත මේ භුමිය රැම්සා තෙත්බිමක් බවට පත් කිරීම තුලින්ඒ සඳහා වැඩි අවධානයක් ලබා ගැනීමට හැකි වේ. ඒ අයුරින් හෝ මේ කදිම තෙත් බිම අරක්ෂා කරගැනීම අනාගතයේ දී  බොහෝ වැදගත් විය හැක.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 6 February 2021

 භූ සංචාරිතයේ අනාගත අභිවෘධිය...!!!

භූ සංචාරිතය 44

This article is originally published on Vidusara 06.02.2021.

දැන් ඔබ වසරක පමණ කාලයක සිට මා සමග භූ සංචාරිතයේ යෙදෙනවා නේ. ඉතින් ලංකාවේ විවිධ ප්‍රදේශවල අපි ඇවිදින නිසා සංචාරයේ දී සැලකිය යුතු කරුණු සමූහයක් ඇති බව අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම කඳුකරයේ සංචාරය කරද්දී මේ පිළිබඳව අප වඩාත් සැලකිය යුතුයි.

කඳුකරය සුන්දර පරිසරයක් බව අප හොඳින්ම දන්නා දෙයක්. විවිධාකාරයේ භූ රූපණ සමග එකතු වූ අපූරු ගහකොළ ද ගෙන එන්නේ චමත්කාරජනක බවක්. කඳුකරයේ ඉහලටම යද්දී සුන්දර වලාකුළු අපගේ වතකමල සිප ගැනීම විටෙක අපව විස්මයට පත්කරන්නක්.  කලකදී කඳු තරණය පුරුද්දක් කර ගත්තේත් එවන් වූ සුන්දරත්වයක් අත් විඳීමේ පරම ආශාවෙන්.

සංචාරය සාර්ථක කරගන්නට නම් අතරමගදී සිදුවිය හැකි ආපදාවන් ගැන අප සැලකිලිමත් විය යුතුය. කඳුකරයේ සංචාරය කරද්දී නම් ඇතිවන්නේ බොහෝ විට නාය යාම් වැනි ආපදා වන අතර සමහර විටෙක භූ කම්පා තර්ජනයට ද ලක් වීමේ සම්භාවිතාවක් ඇතිවා නොවේ. දැන් දැන් වර්ධනය වන භූ කම්පා අවදානම භූ තලවල බලපෑම  නිසා බව බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ නැත. නමුත් එය එසේ වීමට බොහෝ ඉඩකඩ ඇත්තේ බව අප වටහා ගත යුතුය. ඒ කෙසේ වෙතත් භූ උපද්‍රව නිසා කඳුකර ජනයාට වන්නා වූ ආපදා කුලකයට භූ කම්පා අවදානම ද ඉදිරියේදී එක් විය හැකි බවයි මාගේ අදහස වන්නේ.

කඳුකරයේ සංචාරය කරන්නේ කඳුකර මාර්ග වලය. මෙම කඳුකර මාර්ග පමණක් නොවේ, කඳුකර සංචාරක ස්ථාන ද බොහොමයක් එවන් වූ දුෂ්කර සහ සුන්දර පරිසර සමග බද්ධව පැවතීම සංචාරය තරමක අසීරු කාරියක් බවට පත්කරන්නේ නිතැතින්මය. එනිසා සියල්ලටම මතතෙන් අපගේ ප්‍රවේශම සහ ආරක්ෂාව තහවුරු කරගත යුතුය.

කඳුකරයේ ඔබ සංචාරය කරද්දී වඩාත් සැලකිලිමත් විය යුත්තේ නාය අනතුර පිලිබඳවය. මන්ද යත් බොහෝ කඳුකර බිම් මේ වන විට වඩා අස්ථාවර තත්වයට පත් වී ඇති බව සිහියේ තබා ගත යුතුය. ඒ වෙන කිසිවක් නිසා නොව මිනිසාගේ අත්තනෝමතික ක්‍රියාකාරකම් නිසා බව අප හොඳින්ම දනී. එවන් වූ අස්ථාවර ස්ථාන ගෙන එන්නේ ආපදාවකි. එවන් වූ ස්ථාන පෙන්නුම් කිරීමට නැතහොත් ඔබගේ අවධානයට ලක් කරන්නට සංඥා පුවරු සවිකර ඇත. ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වඩා වැදගත් වේ. ඒ වාගේම විශේෂයෙන්ම වර්ෂාපතනය සිදුවන අවධිවල දී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත් කරනා නිවේදන පිළිබඳව ඔබගේ අවධානය යොමු විය යුතුය. එමගින් ඔබ සංචාරය කිරීමට බලාපොරොත්තු වන ස්ථාන සහ ප්‍රදේශ වල තත්වය එමගින් තහවුරු කර ගත හැකි වේ.  

වඩා හොඳින්, තරයේම ඔබ මතක තබා ගත යුතු කාරණය වන්නේ එවන් වර්ෂාපතනය අධික කාල වල දී ගල්ගුහා සංචරණය නොකළ යුතු බවයි. එයට හේතුව වන්නේ මේවයේ පවතින පාෂාණ සහ පාංශු දේහයන් අස්ථාවර වීමේ අවදානමක් ඇති විය හැකි බැවිනි.

ඒ වාගේම භූ සංචාරයේ දී අප සැලකිය යුතු තවත් කාරණා ගණනාවකි. පළමුවැන්න නම් සංචාරකයන්ගේ පමණක් නොව ප්‍රාදේශීය ජනතාවගේ ද ආරක්ෂාව තහවුරු විය යුතුය. එනිසා සැමවිටම අති දුෂ්කර සංචාරක ස්ථාන පරිහරණය කිරීම ගැන දෙවරක් සැලකිය යුතුය. එවන් වූ ස්ථාන නිරීක්ෂණයේදී ඇතිවිය හැක ආපදා පිළිබඳව පළමුව සැලකිලිමත් විය යුතුය. එපමණක් නොව ඒ සඳහා ආරක්ෂාකාරි පියවර ගත යුතුය.

දෙවැන්න වන්නේ සංචාරක ස්ථාන වල කල් පැවැත්ම සහ ආරක්ෂාවයි. එය සොබාවික පරිසරයක් නම් දූෂණකාරක නිදහස් නොකරන්නට වග බලා ගත යුතුය. එමෙන්ම අදාළ පරිසරයේ ඔබ දකින භූ ව්‍යුහයන් විනාශ නොකළ යුතුය. එමෙන්ම එම පරිසරයේ විවිධ කොටස් (පස්, පාෂාණ, ඛණිජ සහ ගහකොළ)  ගෙදර රැගෙන යාම සඳහා එකතු නොකළ යුතුය.

මෙරට සමහර ගල්ගුහා පරිසර තුරිතයන් සඳහා කදිම නැවතුම් බවට පත් වී ඇත. එනිසා බොහොමයක් ස්ථාන වල මෙම කුරුල්ලන්ගේ වාසස්ථාන සහ ඒවායේ ඔවුන්ගේ පැටවුන් දක්නට ලැබේ. සාමකාමී පරිසරයක දිවි ගෙවීමට පුරුදු වූ ඔවුනට සංචාරකයන්ගේ ගෝෂාව කරදරයක් විය හැක. එනිසා ඔවුන් ඔවුන්ගේ වාසස්ථාන අත්හරින්නට ද හැකිය.

එවන් වූ ස්ථාන සංචාරක නැවතුම් බවට පත්කරන්නට මත්තෙන් ඒ පිළිබඳව අප සැලකිලිමත් විය යුතුය. ජෛව විවිධත්වයෙන් අනූන අපේ රටේ මෙවන් වූ ජිවී විශේෂ මේ නිසාම ක්ෂණයකින් අතුරුදහන් විය හැක. එය ඔවුන්ගේ වඳ වී යාම දා විය හැක. එනිසා මෙවන් වූ භූ සංචාරක ස්ථාන ඒවායේ සංවේදී බාවය අනුව යම් වර්ග කිරීමකට ලක්කර ආරක්ෂාව තහවුරු කල යුතුය.  

ඔබගේ භූ සංචාරක ව්‍යාපාරය සැමවිටම සකස් විය යුතු යුත්තේ මෙරටට සාධාරණ ලෙස ආර්ථික ලාභයක් ගෙන දීමටයි.  එමගින් විශාල හෝටල් සඳහා පමණක් නොවේ අදාළ ප්‍රදේශයේ ජනතාවට ද යම් මුදලක් සොයාගැනීම සඳහා විවෘත විය යුතුය. අන්තර්ජාතික සංචාරකයන්ට මෙරට සංස්කෘතිය පිලිබඳ පැහැදිලි අවබෝධයක් ලබා දීමට හැකි විය යුතුය. එනිසා ග්‍රාමීයව පිහිටි සංචාරක ස්ථාන වලදී යම් යම් සංකෘතික වැඩසටහන් පමණක් නොව අදාළ කාලයට ආවේනික පෙරහැර වැනි වැඩසටහන් ද ප්‍රචලිත කිරීමට අවකාශය ලැබේ.

ඔබගේ භූ සංචාරිත ස්ථාන පිලිබඳ මනා දැනුමක් ලබා තිබීම වඩා උචිතය. එමගින් සංචාරකයන් ගේ දැනුම වර්ධනය කිරීමත් එවන් වූ ස්ථාන කෙරෙහි කැමැත්තක් ඇති කිරීමත් මගින් වැඩි සංචාරකයන් ප්‍රමාණයක් සමග වැඩි ප්‍රතිලාභයක් ලද හැකි වේ. භූ විද්‍යත්මක දැනුම වර්ධනය කරගැනීම කෙරෙහි ඔබගේ අවධානය යොමු විය යුතු අතර ඒ සඳහා වැදගත් වන පාටමාල මෙරට ආරම්භ කල යුතුය.

භූ සංචාරිත ස්ථාන වල භූ විද්‍යාත්මක වැදගත්කම පමණක් නොව පුරාවිද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක සහ ඓතිහාසික වැදගත්කම පිළිබඳව ද අප උගෙන ගත යුතුය. බහුවිෂයාත්මක ප්‍රවේශයන් සහිත එවන් ස්ථාන භූ සංචාරිත කලාප හෝ උයන් බවට පත්කළ හැක. ඒ සඳහා කදිම උදාහරණයක් වන්නේ උස්සන්ගොඩයි.

මෙවන් වූ තවත් කරුණු කාරණා ඇති අතර භූ සංචාරිතය සාර්ථක කර ගැනීමට එවන් වූ චාරිත්‍ර වාරිත්‍ර සමූහයක් මෙම කර්මාන්තයේ අභිවෘධිය සඳහා සහ දිගු කාලින පැවැත්ම උදෙසා සකස් විය යුතුය, මෙරට ස්ථාපිත විය යුතුයි.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...