Wednesday 28 April 2021

 භූ සංචාරිතයේ නිමාව....!!!

භූ සංචාරිතය  50

This article is originally published on Vidusara.

මේ වසන්තය ලබන කාලයයි. සෞරග්‍රහ මණ්ඩලයේ ප්‍රධානියාගේ වසරක සංචාරය අවසන් කර නව සංචාරයක් ආරම්භ කරන්නට සූදානම් වන මොහොතේ පත්මෙගේ භූ සංචාරිතය අවසාන කලයුතු යැයි සිතේ. වසරකට ආසන්න කාලයක් සංචාරිත ලිපි පනහක් ඇතුලත් වූ  භූ විද්‍යාත්මක සාර සංග්‍රහය ඔබ සියල්ලටම නවමු අත්දැකීමක් වන්නට ඇතැයි සිතමි.

භූ විද්‍යාඥයෙකු ලෙස පසුගිය දශක දෙකක කාලය තුල මෙරට බොහොමයක් තැන්වල කරක් ගසන්නට ඒ ඒ කාලවලදී ලද රැකියාවල රාජකාරි නිසාවට මා හට අවස්තාව ලැබීම මා ලද පරම භාගයක් ලෙස සලකමි. එනිසාවට විශ්ව විද්‍යාලයේ දී මා ඉගෙන ගත් විෂය කරුණු වලට අමතරව මෙරට භූ විද්‍යාවේ බොහෝ දේ මෙන්ම නවතම කරුණු රාශියක අත්දැකීම ද විඳගන්නට මාහට හැකියාව ලැබුණි. මේ ලිපි පෙළෙහි අන්තර්ගතය වූයේ එලෙස මා ලද අත්දැකීම් වන අතර මෙරට ජනතාවට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාව පිලිබඳ මෙරට බහුතරයකගේ භාෂාවෙන් ඉදිරිපත් කරන්නට මම අදහස් කළෙමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ සිතුවිලි ද ඇතුලත්ව යම් කිසි ප්‍රමාණයකට විෂය කරුණු ද සහිතව මාගේ අත්දැකීම් සමග භූ විද්‍යත්මක දෑ සහ ස්ථාන පිළිබඳව රචනා කරන්නට සමත් වූයේ යැයි සිතමි.

මෙය නවමු අත්දැකීමක් ම වූයේ මා පවසන දෑ සරල භාෂාවෙන් ඉදිරිපත් කරන්නට සිදු වීමයි. එය අතිශය අභියෝගාත්මකය. සමහර විද්‍යත්මක වචන තේරෙන භාෂාවෙන් ලියන්නට බොහෝ වෙහෙසක් ගන්නට සිදු විය. ඒ සඳහා සමහර අලුත් වචන පවා පබදින්නට මාහට සිදු විය. යමක් ලියන්නට මත්තෙන් සමහර විෂය කරනු හොඳින් විග්‍රහ කරමින් ඒ කරුණු තහවුරු කරගන්නට මාහට සිදුවිය. ඔලුවට එන සැම දේම ලියන්නට නොහැකිය. මේ විද්‍යත්මක විෂය කරුණු ඉදිරිපත් කිරීමේ දී සැමවිටම තර්කනය පදනම් කරගන්න මා හට සිදු විය. එමගින් යම් කිසි අයෙකුට මා ඉදිරිපත්කරන කරුණු වලට අභියෝගාත්මක සාකච්චාවකට අවස්තාව හිමි වූ නමුත් මෙරට විදුසර කියවන බහුතරයක් විද්වතුන් ඒ සඳහා ඉදිරිපත් නොවූ බව නම් සැබෑවකි. ඉන් ගම්‍ය වන්නේ මා පවසන දෙයෙහි සියල්ල ඔවුන් පිළිගන්නා බව නම් නොවේ.

විවිධ අවස්තාවන් වලදී මා රාජකාරි කල ක්ෂේත්‍රයන්හි යම් යම ක්‍රියකලාපයන් සහ තීන්දු තීරණ ද විවේචනයට ලක් කරන්නට මැලි නොවූ අතර ඒ සිදුකරන ලද්දේ හුදෙක්ම සද්භාවයෙන් යුක්තව ඒ ඒ ක්ෂේත්‍ර වල අභිවෘධිය සඳහාම පමණක් බව ඔබ පිළිගත යුතුය. කිසිදු ආකාරයක පෞද්ගලික මඩ ගැසීමක් හෝ ක්‍රෝධය පිරිමසාගැනීමේ පරමාර්ථය එහි නොවූ බව කරුණාවෙන් සැලකිය යුතුය. මන්දයත් මා වැඩකළ කිසිදු ක්ෂේත්‍රයක අයෙක් මා කිසිදු වෙලාවක මාගේ සතුරෙක් ලෙස මා නොසලකන බැවිනි.

මෙරට භූ විද්‍යාව ස්ථාපනය වී වසර හැටකට වැඩිය. මහාචාර්ය විතානගේ මහතා තැබූ පියවර ඔස්සේ අද සියගණනක් භූ විද්‍යාඥයින් පා තබනා බව පෙනී යයි. ඒ කෙසේ වෙතත් සමහර ක්ෂේත්‍ර තවමත් කෝපි කාලේය. ඒ අතරම නව අදහස් ඇති පරපුරක් ද බිහිවෙමින් පවති. සෑමතැනකම කුහකත්වයෙන් පිරි මිනිසුන් ඇත. ඔවුන් නිසා ඒ අදාල ක්ෂේත්‍රයේ ප්‍රගමනයක් දැකිය නොහැක. නව සිතුවිලි සහිත නව පරපුරක් බිහි වන්නට ඔවුන් සෙවනේ අවකාශ නොලැබේ. සියල්ල කලයුත්තේ තමා හෝ තමාගේ අනුකාරකයන් යැයි සිතන පිරිසක් ද ඒ අතර වෙයි. වාසනාවකට අපහට ඉතා වටිනා ගුරුවරු කිහිප දෙනෙකුගේ ආශ්‍රය සහ ආභාෂය ලබන්නට වාසනාව ලැබුණි. එමගින් අපගේ ගමන් මග ආලෝකමත් කරගන්නට හැකි විය. එපමණක් නොව ඔවුන් නිසා මෙරට භූ විද්‍යාවක්ෂේත්‍රය ආලෝකමත් වී ඇත.  

මේ ලිපි පෙළෙහි මුඛ්‍ය පරමාර්ථය වූයේ භූ විද්‍යාව මෙරට ජනප්‍රිය කර ලීමයි. එහි දී කොතරම් දුරට මා සාර්ථක වුවාදැයි දැනගන්නට තවමත් මාහට අවස්තාව ලැබී නොමැත. සමහර විට මෙහි සාර්ථකත්වය එළිවන්නට තවත් වසර ගණනාවක් ගත වනු ඇත. මේ ලිපි පෙළ කියවන පොඩිත්තෝ භූ විද්‍යාව ගැන දැනගෙන එය හදාරන්නට අවස්තාව ලබන්නට කාලයක් ගත  වේ. මේ ලිපි පෙළෙහි ප්‍රතිඵලයක් ලෙස ඔබ භූ විද්‍යාව ඉගෙන ගන්නට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා පීටයට ඇතුලත් වන්නට සිතනු ඇත. නැතහොත් පිටරටක් ගොස් ඒ සඳහා අවස්තාව ලබනු ඇත. නැතහොත් ඉදියේදී මෙරට වෙනත් විශ්ව විද්‍යාලයක් ආරම්භ වන භූ විද්‍යා පාටමාලාවකට ඇතුලත් වන්නට හැකි වනු ඇත. ඒ කෙසේවෙතත් මේ ලිපි පෙළෙහි ඇතුලත් කරුණු ඔබගේ සංචාරයන්හි දී ප්‍රයෝජනයට ගන්නට මෙය කියවන සෑම අයෙකුටම හැකි වන ඇත. වෙනදා යම් යම් ස්ථාන නරඹන්නට යන ඔබ මේ ලිපි පෙළ කියවා ඇත්නම් නව මුහුණුවරකින් ඒ අදාළ ස්ථාන නරඹන්නට හැකි වනු ඇත.

පුරා වසරකට ආසන්න කාලයක් මාහා භූ සංචාරයේ යෙදුනු ඔබ සියලු දෙනාට වැදගත් යමක් එක් කරන්නට අවකාශය හිමි කර දුන් විදුසර පුවත්පතෙහි ප්‍රධාන කතෘ මා මිතුරු කුලසිංහ මහතා ඇතුළු විදුසර කාර්ය මණ්ඩලයට මා බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි. එමෙන්ම මේ ලිපි පෙළත් සමග මා හා රැඳුනු ඔබ සියලු දෙනාටම කෘතන්ඥ වන්නෙමි. මෙහි පළවූ ලිපි සියල්ලම මාගේ බ්ලොගය වන “විද්‍යාවින්දන” හි නැවත වතාවක් පළ කර ඇත. එයට පිවිසෙන්නෙකුට ඒ ලිපි නැවත නැවතත් කියවන්නට හැකිය.  මෙවන් වූ තවත් ලිපි පෙලකින් ඔබව හමුවන අරමුණෙන් යුතුව මා දැනට නවතින අතර ඔබ සියලු දෙනාටම සුභ අනාගතයක් පතමි. සුභ නවවසරක වේවා.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Tuesday 27 April 2021

 පාංශු ඛාදනයේ අහිතකර තත්වය....!!!

භූ සංචාරය 49

පෘථිවියේ මතුපිට වැස්ම පසය. නැතහොත් අවසාදිත ය. මෙහිදී පණ නගින ගැටළුවක් වෙයි. ඒ පස් සහ අවසාදිත යනු මොනවාදැයි යන්නයි. අපි ඒ පිළිබඳව පසුව කතා කරමු. මෙවර භූ සංචාරිතය වෙන් වන්නේ අපට ඉතා වැදගත් වෙන අප යනඑන හැමතැනම, අප වෙසෙන හැමතැනම පවතින, හැමතැනම දැක ගත හැකි භූ සම්පතක් ගැන කතා කරන්නටයි. මේ භූ සම්පත ගැන යම් යම් කරුණු දැනකියා ගැනීම වඩා වැදගත් වෙන්නේ සංචාරකයන්ට පමණක්ම නොවේ. මෙළොව වෙසෙන සෑම දෙනෙකුටම පස් සහ අවසාදිත ගැන දැනගැනීම වැදගත් වන්නේ එය අවසානයේ දී මානව වර්ගයාගේ පැවැත්ම තීරණය කරන එක් සාධකයක් වන බැවිනි.

පාෂාණ ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස මෙලොව බිහිවන පාංශු දේහයන් ඉතා සංකීර්ණ වර්ගීකරණයකට හිමිකම් කියයි. ඉන් පෙනී යන කරුණ වන්නේ විවිධ ආකාරය පස් සහ අවසාදිත මෙළොව පවතින බවයි. ජීර්ණයට ලක්වන පාෂාණයේ ස්වරුපය හැමවිටම පාංශු දේහයන්හි මූලාරම්භකයන් හි විවිධත්වය ආරක්ෂා කරයි. එයට එක්වන කාබනික ද්‍රව්‍ය නිසා පස නිර්මාණය වෙයි. මෙම පස බොහෝවිට පාෂාණය ජීර්ණයට ලක්වන ස්ථානයේ ම පවතින අතර විවිධාකාරයේ ඒජන්තයන් නිසා පරිවහනයට ලක්වෙයි. පරිවහනයට ලක් වූ පස භුමියේ පහත් තැනක, නිම්නයක තැන්පත් වී අවසාදිත නිර්මාණය කරයි. මෙය අවසාදනය ලෙස හඳුන්වයි. අවසාදිත ද වර්ග ගණනාවකට වෙන් කල හැක.

පස් නිර්මාණය වන්නේ පවතින පාෂාණය ක්‍රමයෙන් ජීර්ණය වීමෙන් නිසා පාංශු ස්ථර වර්ධනය වන්නේ ඉහල සිට පහළටය. එය සැමවිටම අත්‍යන්ත සත්‍යක් වන අතර පාංශු ස්ථර ඝනකම් වන්නේ එනිසා භූ අභ්‍යන්තරයටයි. නමුත්  පරිවහනයට ලක් වූ පාංශු දේහයන් අවසාදනය වීමෙන් බිහිවන අවසාදිත ස්ථර වර්ධනය වන්නේ පහල සිට ඉහළටයි. පත්තර ගොඩ ගැහෙන්නාක් මෙන් එකින් මත අවසාදිත ස්ථර තැන්පත් වෙයි. මෙයද අත්‍යන්ත සත්‍යක් වන අතර එනිසා අවසාදිත ස්ථර ඝනකම් වන්නේ පහල සිට ඉහළටයි.

පස් සහ අවාසදිත ලෙස අප වෙන්කලත් පොදුවේ මේ සියල්ල පස් ලෙස හැදින්වෙයි. ඒ කෙසේවෙතත් මතුපිට වැස්ම වන මේ පාංශු ස්ථරය ජෛව පද්ධතිය රඳවා තබන්නේ ජිවය අඛණ්ඩව පවත්වා ගැනීමට උදව් උපකාර කරමින්. ප්‍රාථමික ජීවින් තම දේහයන් ඍජුව පවත්වා ගන්නේ මේ පාංශු ස්ථරය මතයි. මූල පද්ධතිය ශාක කඳ ඔසවා තබන අතර දේහය පවත්වාගැනීමට අවශ්‍ය ඛණිජ සහ අනෙකුත් පෝෂණ ද්‍රව්‍ය උරා ගන්නේ මේ පාංශු දේහයන් වලිනි. මෙනිසා පස් ඉතා වැදගත් භූ සම්පතකි.

අද වනවිට විවිධ මානව ක්‍රියා නිසා පස් දුෂණයට සහ ඛාදනයට ලක්වෙමින් පවතී. ශ්‍රී ලංකාවේ මෑත කාලිනව කඳුකරයේ සිදුකරන ලද දැවැන්ත සංවර්ධන කටයුතු ද අතීතයේ ඉංගිරිසීන් විසින් සිදුකරන ලද මහා පරිමාණ කඳුකර කැලෑ එළිපෙහෙළිය නිසාත් කඳුකරයේ සෞඛ්‍ය පිරිහෙමින් පවතී. එනිසා මෑත කාලිනව බොහෝ නාය යෑම් වැනි ක්‍රියා වේගවත් වී කඳුකරයේ පස දරුණු ලෙස සෝදා පාළුවට ලක් කර ඇත. මෙනිසා පොළොවේ වටිනාම වැස්ම ක්‍රමයෙන් අපට අහිමි යන බව පෙනී යයි. මෙය එතරම් සුභදායක දෙයක් නොවන බව අප වටහා ගත යුතුය.  සෝදාපාළුවේ අවසානය වන්නේ නිසරු පොළොවක් බිහි වීම බව අප අමතක නොකළ යුතුය. නිසරු පොළොව බොහෝ ගැටළු ගණනාවකටම මග පාදන බව අප තේරුම් ගත යුතුය.

නවීන කෘෂිකාර්මික යෙදවීම් නිසා ද සමස්ථ ශ්‍රී ලාංකේය භූමියම මේ වන විට රසායනික ද්‍රව්‍යයන්  නිසා වේගයෙන් දූෂණයට ලක් වෙමින් පවතී. මේ ප්‍රවණතාවය ඇතිවීම කෙරෙහි මෙරට විද්වතුන්ගේ අදූරදර්ශී ක්‍රියාපිළිවෙත හේත්වක් වී ඇති බවයි මාගේ අදහස වන්නේ. පස දූෂණයට ලක් වීම ඇත්තෙන්ම භූ ගත ජලය පමණක් නොව මතුපිට ජලය පවා දූෂණයට ලක් කරන්නට හේතුවන බව අප අමතක නොකළ යුතුය. එනිසාම පසෙහි සමස්ථ ජීවයම අතුගා දමන්නට හේතුවක් වී ඇති බවයි පෙනී යන්නේ. එපමණක් නොව මේ හේතුවෙන් මෙළොව සමස්ථ ජිවයම වඳ වී යන්නට පවා හේතු විය හැක බව දූර්දර්ශිව සිතන්නේ නම් ඔබට වටහා ගත හැක.

ඛාදනය සහ දූෂණය නිසා මෙරට කඳුකරයේ පාංශු වැස්ම නැවතත් යථා තත්වයට පත් කල නොහැකි ලෙසම විනාශ වී යනු ඇත. එවිට වන්නේ අනාගතයේ වගා කිරීමට හැකි සහ ඇති භූමින් අභාවයට යාම් බව ඔබට වටහා ගත හැක. එනිසා මෙරට ආහාර නිෂ්පාදනය පසු බසිනු ඇත. පසෙහි රසායනික දූෂණය නිසා ද වගා කල හැකි භූමින් හිඟවන අතර මේ හේතුවෙන් සිදුවන ජල සම්පත් දූෂණයද භාවිතයට ගත හැකි ජලය අපට අහිමි කරලයි. ජලයේ දුෂණය නිසා පිරිසිදු පස වේගයෙන් දුෂණය කරන්නට හේතු වෙයි.

වගාකළ හැකි භුමින්ගේ අභාවය අහර නිෂ්පාදනයට ඍජුවම සම්බන්ධ නිසා මෙරටට අනාගතයේ දී ඉතා විශාල ගැටළු ගණනාවකටම මුහුණ පාන්නට සිදුවන් ඇත. එනිසා මේ සම්බන්ධව ඇති වගකිවයුතු ආයතන පමණක් නොව මෙරට සමස්ථ ජනතාවම මේ පිළිබඳව අවධානය යොමුකර පසෙහි සංරක්ෂණය සහ තිරසාර සංවර්ධනය සඳහා යොමු විය යුතුය. මේ සියල්ල සලකා බැලූවිට පසෙහි අගය මිල කල නොහැකි අතර භෞතික ගෝලයන්හි සමස්ථ කලමනකරණයම පාංශු ගෝලය මත පැටවී ඇති බව ඔබට තේරුම් යයි.

ඉතා පැරණි කාලවලදී පවා බිහි වූ පාංශු සහ අවසාදිත තැන්පතු මෙරට බොහෝ ස්ථාන වල තවමත් දැක ගත හැකිය. ඒවායේ වටිනාකම ද බොහෝය. අතීත කාලගුණික තත්වයන් සහ පාරිසරික තත්වයන් අනාවරණය කරගැනීම සඳහා පමණක් නොව අතීත ජෛව විවිධත්වය සටහන් කිරීමටද මෙරට රත්නපුර සහ ඇලහැර වැනි ප්‍රදේශ වල ද මෙරට ගල්ගුහා තුල එකතු වූ පාංශු දේහයන් ද තබ්බෝවේ සහ ආණ්ඩිගම වැනි ප්‍රදේශවල හමුවන ඉතා පැරණි අවසාදිත තැන්පතු ද යාපනයේ රක්ත අවසාදිත තැන්පතුද මෙහු ලා ප්‍රමුඛස්ථානයක් ගන්නා බව අමතක නොකළ යුතුය.

ඒ කෙසේවෙතත් පාංශු සහ අවසාදිත ගොනුවල සංරක්ෂණය කෙරෙහි අපගේ අවධානය මෙරට වඩා වැඩියෙන් යොමුවිය යුතු අතර, දිගුකාලින වැඩපිළිවෙලක් සමග මෙරට ජනතාව එයට සහයෝගය දැක්විය යුතුය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday 23 April 2021

 අභාවයට යන පුලතිසි ශිලා උරුමය

භූ සංචාරය 48

This article is originally published on Vidusara.

ශ්‍රී ලංකාවේ අතීතයේ  නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත බොහොමයකි. අනුරාධපුර සහ පොළොන්නරු යුග වලදී පමණක් නොව මහනුවර යුගයේ දී පවා මෙවන් වූ පාෂාණ නිර්මිත කරවන ලද බව පෙනී යයි. සමාධි පිළිමය ඇතුළු බොහොමයක් පාෂාණ නිර්මිත මෙකල්හි ඇත්තේ කාලයක් තිස්සේ සිදුවන සොබාවික ජීර්ණ ක්‍රියාදාමයට නතු වෙමින් විනාශ මුඛයට යමිනි. මෙළොව පවතින කිසිම දෙයකට නොගලවිය හැකි ක්‍රියා දාමය වන්නේ ජීර්ණ ක්‍රියාවලියයි. එනිසා එය නැවතිය නොහැක. හැක්කේ පමා කිරීම පමණකි.

සොබාවික පරිසරයේ සොබාවික තත්වයන්හි පවතින මෙවන් වූ අතීත මිනිසුන් විසින් නිර්මාණය කරන ලද පාෂාණ නිර්මිත ද මේ වන විට පවතින්නේ පාෂාණ ජීර්ණ ක්‍රියාදාමයට ලක් වී බව අමතක නොකළ යුතුය. බොහෝදෙනෙකු සිතන පරිදි කළුගලින් කරන ලද මෙම පිළිම ඇතුළු අනෙකුත් ගෘහ නිර්මාණ අනාදිමත් කාලයක සිට හොඳින් පැවතියත් මෙම පාෂාණ සොබාවික පරිසරයට නිරාවරණය වූ දා පටන්ම තම ජීර්ණ ක්‍රියාවලිය පටන් ගෙන තිබේ. එනිසා එළියට පෙනෙන පරිදි දැඩි ගතියකින් සහ බොහෝ කාලයක් පවතින සේ පෙනුනත් ඇත්තෙන්ම මෙම පාෂාණ නිර්මිත විනාශ මුඛයට යමින් පවතී.

මෙවර  භූ සංචාරිතයෙන් ඔබගේ අවධානය යොමුකරන්නට මා උත්සාහ කරන්නේ අපගේ කදිම සංචාරක ස්ථානයක් වන ලෝක උරුම නගරයක් වන පොලොන්නරුව වෙතයි.  ඉතා අපූරු පාෂාණ නිර්මිත රාශියක් දක බලා ගත හැකි පොලොන්නරුව පුදබිම මෙරට ඉතිහාසයේ බොහෝ වැදගත් සන්ධිස්ථානයකි. පොලොන්නරුව ලෝක උරුම නගරයේ සංචාරය කරන ඔබ ගල විහාරය වෙත යන බව නොඅනුමානය. ගල විහාරයේ ලොව විශිස්ටතම පිළිම වහන්සේලා තුන් නමක් වැඩ සිටී. හිඳී පිළිම දෙකක්, හිටි පිළිමයක් සහ සැතපෙන පිළිමයක් ලෙස සඳහන් කල හැකි ප්‍රධාන පිළිම වහන්සේලා සතර නමකින් මේ ස්ථානය වර්ණවත් වී ඇත.

පොළොවෙන් මතු වූ පිහිටි පාෂාණයේම නෙළන ලද මේ අපූරු පිළිම සතර හොඳින් නිරීක්ෂණය කිරීමේදී අත්‍යන්ත ජිර්ණයේ ප්‍රතිඵල දැක බලා ගත හැකිය. ඉතා සියුම්ව හටගත් පැලුම් සහ පිපිරුම් මිග්මටයිට් නයිස් පාෂාණයෙන් කරන ලද පිළිම දේහයන්හි හට ගෙන ඇත. මෙම පිපිරුම් පාෂාණයේ සොබාවික පැලුම් රටාව අනුගමනය නොකරන බව පෙනී යන අතර, සමහර ස්ථාන වල දී පාෂාණ කොටස් ගැල වී ගොස් ඇති බව ද දැක බලා ගත හැකිය.

මිග්මටයිට් පාෂාණයේ සොබාවික වර්ණ තීරු මේ වන විටත් ජිර්ණයේ ප්‍රතිඵලයක් ලෙස අතුරුදහන් වී ගොස් ඇත. එනිසා ලා පැහැති බව මතු වී බොහෝ විට පෙන්නුම් කරන්නේ ග්‍රැනයිට් පාෂාණයක ගති ලක්ෂණය. නමුත් සියුම් නිරීක්ෂණය කිරීමේදී අපට නයිස් පාෂාණයේ වර්ණ තීරු වල ලක්ෂණ තවමත් දැක බලා  ගත හැකිය. මේ වර්ණ තීරුවල වියැකී යාම පළමු හිඳී පිළිමයේ වැඩියෙන් නිරීක්ෂණය කල හැකිය. නමුත් අනෙකත් පිළිමයන්හි තවමත් නයිස් පාෂාණයේ වර්ණ තීරු කදිමට දැක බලා ගත හැකිය. කෙසේවෙතත් ඒ වර්ණ තීරු ද ක්‍රමයෙන් වියකෙන බව නිරීක්ෂණය කල හැකිය.  

පොලොන්නරුව ප්‍රදේශය වර්ෂා පතනය අඩුවෙන් ලැබෙන වසරේ වැඩි කාලයක් අව් රශ්මියෙන් පීඩා විඳින ප්‍රදේශයකි. අධිකව ලැබෙන හිරු රශ්මියෙන් මේ බොහෝ දෑ අධික රත් වීමට සහ වේලීමට භාජනය වෙයි. දහවලදී සිදුවන මේ අධික රත් වීම සහ වේලීම පාෂාණ තාපජ ප්‍රසාරණයට ලක් කරයි. එමගින් පාෂාණයේ ඛනිජ සංයුතිය භෞතික ජ්ර්ණයට ලක් කරන්නට පෙළඹවන බව අමතක නොකළ යුතුය. මේ තත්වය රාත්‍රියේ හාත්පසින්ම වෙනස් වේ. අධික තාපය පරිසරයෙන් ඉතා ඉක්මනින් බැහැර වන  නිසා පාෂාණ  නිර්මිත පරිසරයට වඩා වැඩි උෂ්ණත්වයකින් යුක්ත වේ. පාෂාණ දහවලදී රත්වන්නේ සෙමින් නිසා පරිසරයට වඩා අඩු උෂ්ණත්වයකින් යුක්ත වේ. මෙනිසා දහවලදී සහ රාත්‍රියේ දී ඇතිවන උෂ්ණත්වය වෙනස නිසා උද්ගතවන උෂ්ණත්ව අන්තරය පාෂාණය භෞතිකව ජීර්ණය කරයි. මේ තත්වය පාෂාණයේ සියුම් පිපිරුම් ඇතිකරන්නට හේතුවෙයි.

එපමණක් නොව වර්ෂා කාලයේදී වායුගෝලයේ ජලවාෂ්ප වැඩිකරමින් ආර්ද්‍රතාවය වැඩි කරයි. වර්ෂා කාලයේදී ඇතිවන හිරිකඩ මගින් මෙම පාෂාණ නිර්මිත තෙමා දමයි. එය මගින් පරිසරයේ පමණක් නොව මෙම පාෂාණ නිර්මිත වලද තෙත ගතිය වැඩි කරයි. එය පාෂාණයේ ඛණිජ රසායනිකව ජීර්ණය කරයි. එනිසා යකඩ වැනි ඛණිජ රසායනිකව ජීර්ණය වීම නිසා යකඩ ඔක්සයිඩය ඇතිකරයි. එය පිළිම වහන්සේලාගේ මතුපිට පෘෂ්ටයේ දුඹුරු පැහැති පැල්ලම් ඇතිකරන්නට හේතුවෙයි. මේ තත්වය වර්තමානයේ ඉතා හොඳින් මෙම පාෂාණ නිර්මිත වල දැක ගත හැකිය.

මෙවන් වූ පාෂාණ නිර්මිත වල ජීර්ණ ක්‍රියාදාමය අධ්‍යනය කල යුතුය.නිරන්තරයෙන්ම නිරීක්ෂණය භාජනය කල යුතුය. මේ සඳහා පාෂාණයේ නියැදි ලබා ගැනීම කල නොහැක්කේය. එනිසා වෙනත් ක්‍රමවේද මගින් තත්වය අධ්‍යනය කල යුතුය. මේ සඳහා ඇති වී ඇති පිපිරුම් වල දිග පළල වැඩි වන්නේදැයි අධානයනය කල හැකිය. එපමණක් නොව ඇති වී ඇති දුඹුරු පැහැති පැල්ලම් වල ප්‍රමාණය වැඩි වන්නේදැයි නිරීක්ෂණය කල හැකිය. දීර්ඝ කාලයක් තතිස්සේ මේ අධ්‍යනය සිදු කිරීමෙන් ජීර්ණය වන්නා වූ වේගය පිළිබඳව යම් අදහසක් ලබා ගත හැකිය. ඒ මත යම් සංරක්ෂණ ක්‍රියාදාමයක් ආරම්භ කිරීමෙන් මේ පිළිම විනාශ මුඛයට යාම වලක්වා ගත හැකි වේ.

පාෂාණ නිර්මිත සංරක්ෂණය සඳහා මෙරට විද්වතුන්ගේ අවධානය යොමු වී ඇත්තේ ඉතා අඩුවෙන් බව පෙනී යයි. නමුත් විද්‍යාත්මක ක්‍රමවේද අනුගමනය කරමින් සංරක්ෂණ ක්‍රම වේද විද්වතුන්ගේ ද සහයෝගයෙන් කල හැකි වේ. ඒ සඳහා වැදගත් වන්නේ යම් ක්‍රමවේදයක් ඇතිකිරීමයි. දීර්ඝ කාලයක් තිස්සේ සිදුවන මේ ජිර්ණ ක්‍රියාවලිය ගැන අඩු අවධානයකින් ක්‍රියාකිරීම මගින් මේ අපූරු නිර්මිත විනාශ මුඛයට යාම වලක්වා ගැනීම කල නොහැක.  

මෙහිදී වැදගත් වන්නේ ප්‍රදේශයේ කාලගුණික තත්වයන් පිලිබඳ මනා අවබෝධයක් ඇතිකරගැනීම සහ පාෂාණයේ ගති ලක්ෂණ අධ්‍යනය කිරීමයි. එමගින් ඇතිවී ඇති සහ ඉදිරියේදී ඇතිවන්නා වූ තත්වය මනාව අවබෝධ කරගත හැකි වේ. ලෝක උරුම බවට පත් වී ඇත්තා වූ මෙවන් වූ ස්ථාන වල ඇත්තා වූ පාෂාණ නිර්මිත පිළිබඳව වඩා හොඳ අවධානයක් ඇති විය යුතු බවයි මාගේ අදහස වන්නේ.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday 18 April 2021

සිංහල වාරි සංස්කෘතිය 

භූ සංචාරිතය 47

This article is originally published on Vidusara

සිංහලයෝ වැව් තැනුවෝ වෙති. විජයගෙන් ඇරඹි ඒ සිංහල රාජවංශයේ බොහෝ රජවරු ඒ සඳහා ඉතා කදිම දායකත්වයක් දක්වා ඇත. මහා වංශය පවසන අන්දමට අභය වැවෙන් ඇරඹි වාරි සංස්කෘතිය සිංහල සංස්කෘතියේ මුල් තැනක් ගත්තෙකි. වන්නියේ වියළි කාලගුණික තත්වය හමුවේ ද තැනිතලා භූ විෂමතාවය ද ඒ සඳහා කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. වියලි පරිසරය සැමවිටම බලකර සිටින්නේ ජල සංරක්ෂණයේ යෙදෙන ලෙසයි. ඉන් ලද ගැම්ම විසල් වැව් තනන්නට සිංහලයා පොළඹවන්නට ඇත.

මහාවංශය සිංහලයා සතු අපූරු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් බව පැවසිය යුතුමය. වසර දහසකට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සඳහන් කර ඇත්නං ඒ මහාවංශයේ ය. සමහර විද්වතුන් මෙය ප්‍රශ්න කරයි. පිළිගත නොහැකි බව පවසයි. එනමුත් මහාවංශය සිංහල ඉතිහාසය ගැන කදිම තොරතුරු රාශියක් අප හමුවේ තබයි. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි යනුවෙන් සිංහල කියමනක් ඇත. එනිසා සෑම දෙයක් ගැනම යම් කිසි තාර්කික පදනමක් මත පිහිටුවා අධ්‍යනය කිරීම හොඳය.

වාරි සංස්කෘතිය ඇරඹියේ විජයගෙන් පසුද යන්න මා හමුවේ ඇති ගැටලුවයි. භූ පරිසරයේ මුණ ගැහෙන මේ අපූරු ගොඩනැගුම සිංහල ඉංජිනේරු තාක්ෂණයේ කදිම මුහුණවර අප ඉදිරියේ නිරාවරණය කරයි. අදමෙන් දායක වූ සියල්ලන්ම පැත්තක් තබා කිසිවක් නොකළ දේශපාලනඥයකුගේ නාමය සඳහන් කර සටහන් තබා ඉදිවන ඉදිකිරිම් ලෙස  නොව කිසිවක් සොයාගැනීමට කිසිම සටහනක් නොතබා ඉදිකළ මේ ඉදිකිරීම් සිංහල ඉංජිනේරු තාක්ෂණයේ අපුර්වත්වයම ගෙනහැර පාන බව අමතක නොකළ යුතුය.

විජය මෙරටට පැමිණෙන විට කුවේණිය සිටියේ කපු කටිමින් බව පැවසෙයි. ඉන් ගම්‍යවන්නේ හික්මවීමට අවශ්‍යතාවක් නැති හොඳින් දියුණු වූ මනා සංස්කෘතියක් හිමි වූ මිනිසුන් පිරිසක් මෙහි සිටි බවයි. ඇඳුම් ආයිත්තම් අවශ්‍ය වුවෝ නම් හොඳින් හික්මවුන සංස්කෘතියක් හිමිකාරයෝ වෙති. එනයින් බලනකල මෙරට තාක්ෂණය, සංස්කෘතිය සහ සභ්‍යත්වය ගැන අමුතුවෙන් විචාරීම අවශ්‍යතාවයක් නොවේ.  සංස්කෘතියේ සහ සභ්‍යත්වයේ උච්චත්වයට පත් විසල් රටකට ආසන්නයේ පිහිටි මේ කදිම දූපතේ විසූවෝ බුදුන් කල සිටම ජිවිතයේ අරුත සෙවුවෝ විය යුතුය. බුදු දහම වැළඳ ගන්නට දෙපාරක් නොසිතු මොවුන් බුදුන් කල සිටම බෞද්ධයෝ වූහ.

එනිසාම මෙරට කෘෂිකර්මාන්තය ගැන අමුතු තර්ක ඇති කිරීමෙන් පලක් නොවේ. අපගේ හෙළ මුතුන් මිත්තන් විජය පැමිණෙන්නට පෙර සිටම වී ගොවිතැන කරන්නට ඇති බවට සැකයක් නොමැත. එනිසා වාරි කර්මාන්තයේ භාවිතය ගැන සැකයක් ඇති කර ගත යුතු නොවේ. ඉන්දියාවේ පවා ප්‍රමුඛ නොවූ මෙවන් වූ වාරි තාක්ෂණයක් මෙරට ප්‍රමුඛ වන්නේ ඉන්දියාවෙන් ලද අභාෂය නිසා නොවන බව පැහැදිලිය.

තැනිතලා බිමෙහි සියුම් උච්චාවචනයන් සොයාගන්නට එකල විසු අපගේ මුතුන් මිත්තන්හට අපූරු දැනුමක්, තාක්ෂණයක් තිබෙන්නට ඇත. එනිසාම ‘එල්ලන්ගාව’ නමින් හැදින්වෙන වාරි පද්ධතියක් ගොඩ නගන්නට ඔවුනට හැකි විය. එක් ජලාශයකට ජලය පිරි ඉතිරි යන කල වැඩි ජලය නැවතූ එකතු කර ප්‍රයෝජනයට ගන්නට පහලින් තවත් වැවක් ඉදි විය. එලෙස එකිනෙක හා බැඳුන වැව ගණනාවක් බිහි වන්නට ඇත.

භූ සංචාරිතයේ යෙදෙන ඔබ වන්නියේ වාරි සංස්කෘතිය නැරඹීමට අමතක නොකරන්නේය. ගිනිගහන අව්වේ වේදනා සමනය කරන්නට මේ අපූරු වාරි පරිසරයට හැකි විය. විසල් ප්‍රදේශයක් පුරා විසිරි පැතිර යන වාරි පරිසරය ගිනි ගහන අව්වේ වායුගෝලයට ජල වාෂ්ප එක් කරන්නේ රත් වූ පරිසරය සිසිලනය කරමින්. ඒ එපමණක් නොව ලවණ සාන්ද්‍රණය වැඩි භූ ගත ජලය වෙනුවට මෘදු වැසි ජලය භාවිතයට හුරුකරවන්නට මේ වාරි සංස්කෘතියට හැකි විය.

එකල්හි සිටියෝ භූ ගත ජලයේ ගුණාගුණ දැනගත්තෝ වෙති. ඔවුන්හට යම් කිසි ප්‍රමාණයකට භූ විද්‍යාත්මක දැනුමක් හිමි වී තිබු බව හොඳින් පැහැදිලි වේ. එනිසාම ඔවුහු ලවණ සාන්ද්‍රණය අධික ජලය භාවිතා නොකර මෘදු වැසි ජලය භාවිතයට හුරු විය. එමගින් තමන්ගේ වකුගඩු අරක්ෂා කර ගන්නට සමත් විය. එපමණක් නොව වාරි කර්මාන්තයේදී වැදගත් වන ජල ගබඩාව සඳහා අවශ්‍ය භූ පසුබිම සකසා ගැනීමේදී මැටි ඛණිජ වල වැදගත්කම ඔවුන් හොඳින් දැනගෙන ඉන්නට ඇත. එනිසාම අපාරගම්‍ය මැටි තට්ටුවක් වැව් පතුලේ සකසා ජලය භූ ගත වීම වලක්වාගෙන ඇත. ජලය පිරුණු පසු ඇතිවන වාෂ්ප වීම වලක්වා ගැනීම සඳහා ඕලු, නෙලුම්, මහනෙල් වැනි ශාක වවා ජලය ආරක්ෂා කරගෙන ඇත. එපමණක් නොව පාරසරික සංගුනකයක ද මෙමගින් තහවුරු කරන්නට හැකි වී ඇත.   

නවීන කෘෂිකාර්මික වත් පිළිවෙත් වන්නියේ ගොවීන්ගේ සාම්ප්‍රදායික දැනුම සහ ඔවුන් සතු සක්සුදක් සේ තහවුරු වූ ඥානය අභියෝගයට ලක් කලේ නිසරු වත් පිළිවෙත් යැයි ඉවත දමමින්. එමගින් වූයේ මේ ජනතාව කබලෙන් ලිපට ඇද දැමීමයි. වැසි ජලය පිරි වැව් අමුණු කෘෂිකාර්මික රසායනයන්ගෙන් දූෂණය වීමෙන් පසු ඔවුනගේ වැසි ජල භාවිතය ද ඇණ හිටුනි. එනිසා වන්නියේ මිනිසුන් නිතැතින්ම තල්ලු වූයේ ලවණ සාන්ද්‍රණය අධික භූ ගත ජල පරිහරණයටයි. එයයි රජරට වකුගඩු රෝගය ආරම්භය වූයේ. මේ පිළිබඳව අද බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවන්නේ නැත. මෘදු ජලය භාවිතා කරන්නන් හට මේ රෝගයෙන් මිදීමේ හැකියාවක් ඇති බව මා කල ක්ෂේත්‍ර විමර්ශනයකින් හෙළිවීම මාගේ අනුමානය තහවුරු කරන්නනෙකි.

පාරිසරික තුල්‍යතාවය ගැන මනා වැටහීමක් ඇතිව එකල විසු අපගේ මුතුන් මිත්තන් වැඩකටයුතු කරන්නට ඇත. එනිසාම පාරිසරික සංරක්ෂණය සැමටම වඩා ප්‍රමුඛ කරගන්නට ඇත. එමගින් මුතුන් මිත්තන් සිදුකල පාරිසරික වෙනස්කම්වල පසු බලපෑම්  අවම කරගන්නට සමත් විය. එනිසාම මිනිසාගේ යහපැවැත්ම පමණක්  නොව පරිසරයේ යහපැවැත්ම ද තහවුරු කරගන්නට හැකි වීම කොතරම් අපූරු ද යන්න වැටහෙන්නෙකි.  

      

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Saturday 17 April 2021

 කල්‍යාණි ගංගාවෝ

භූ සංචාරය 46

This Article is originally published on Vidusara.

කැළණි ගංගාවෝ කඳුකරයේ සිට තරුණ අවධියේ තමා සතු ජවාධික බවෙන් කිතුල්ගල ප්‍රදේශයේ පසු කරන්නේ අපූරු ගංගා රූපණ ඇතිකරමින්. වරෙක ගංගා මාර්ගයේ අධික වැසි සමයේ ගෙන ආ විශාල ගල් කුළු අතරින් ඒවායේ තම ජල දේහය වද්දවමින් වේගයෙන් ගමන් කරන්නේ හිටිවනම වතුර වක්කලමකට ජල පහර ඇද දමමින් ය. කල්යාණි ගේ තරුණ අවධියේ අවසාන අදියර මෙලෙස අපූරු ගංගා රූපණ ඇතිකිරීම බොහෝ සංචරකයනේ සිත් ඇඳ බැඳ තබා ගන්නා බව ඉතා පැහැදිළිය. ධවල පැහැති පෙන බුබුළු ඇතිකරමින් ගලා යන ජලයට සුන්දරත්වයක් එක් කරන්නට මේ ගංගා රූපණ බොහෝ ඉවහල් වෙයි. වරෙක තැනි පෙත්තට කපා දමාපු ලී කොටයක  මතුපිටක් සේ ඇති ගල් තලා සංචාරකයන්හට දිය මත ලිස්සා යාමට කදිම පසුබිමක් සකස් කර දෙයි. ධවල ජලයේ ලිස්සා යාම ප්‍රචලිත වන්නේ මෙවන් පසුබිමකය.  එනිසා මේ වන විට කිතුල්ගල ප්‍රදේශය සංචාරකයන්හට කදිමට සුව විඳිය හැකි පරිසරයක් බවට පත් වී හමාරය. 

කිතුල්ගල, නිවර්තන කලාපීය රටක පවතින තෙත්කලාපීය වැසි වනාන්තර ගහනව තිබු ප්‍රදේශයකි. නමුත් අවාසනාවන්ත ලෙස බ්‍රිතාන්‍යන්ගේ අදූරදර්ශී සහ විනාශකාරී වගාවන් හේතුවෙන් කදිමට තිබු වනාන්තර භුමි බොහොමයක් මේ වනවිට වලපල්ලට ගොසින්. නමුත් තවමත් ගංගාවෙන් අනෙක් පස ඉතිරි වී ඇති වැසි වනාන්තරය නිසා ජෛව ශ්‍රී විභූතියේ සලකුණු තවමත් තරමක් හෝ ඉතිරි වී ඇති බව සිතිය හැක. මාකන්දාව වැසි වනාන්තරය ලෙස හඳුන්වන මේ කදිම ජෛව පරිසරය හෙක්ටයාර දහසක පමණ භූමියක් ආවරණය කරමින් දුලභ දුර්ලබ ජීවි විශේෂ සියයකට අධික සංක්‍යාවක් සඳහා වාසභූමි සපයන බව අප මතකයේ රඳවා ගත යුතුය.

මෙවන් වූ සුන්දර පරිසරයක් සංචරණය සඳහා තව කොතකුත් දේ ඇත්තේමුත් බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී ඇත්තේ ධවල ජලයේ ලිස්සා යාමට පමණක් බව පෙනී යයි. අතීතයේ මේ වැසි වනාන්තර භුමිය ප්‍රාග් ඉතිහාසිකයන් සඳහා වාස භුමිය සැපයු භූමියක් බව බොහෝ දෙනෙකු නොදන්නවා ඇති. පසු ගිය කාල වකවානුවේ මෙරට පුරා විද්‍යාඥයින් විසින් කරන ලද ගවේෂණ සහ පරීක්ෂණ මගින් ඒ බව කදිමට අනාවරණය කර ඇත. ඒ කිතුල්ගල බෙලි ලෙන නම් වූ සුන්දර ගල් ගුහාවේ සිදු කරන ලද පර්යේෂණ මගින්.

බෙලි ලෙන පිහිටන්නේ කිතුල්ගල නගරයේ සිට කිලෝමීටර අටක දහයක් පමණ දුරින් වූ රබර් වත්තකය.  යම් දුරක් ප්‍රාදේශීය මාර්ගයක ගමන් කර ඉන් පසු ගල් පඩි සහිත අඩි පාරක් ඔස්සේ ගල් ගුහාවට ලඟා විය හැක. තවමත් ගුහාව පවතින භුමිය ද්විතියික ශාක සන්තතියක ආරක්ෂාව ලබමින් පැවතීම සතුටට කාරණයකි.

බෙලි ලෙන යනු ගුහා වර්ගීකරණයට අනුව මවු පාෂාණමය ගල් පියැස්සක් වන අතර එය ගුහා පද්ධතියකින් අලංකාර වී ඇත. කැනීම් කරන ලද ප්‍රධාන පියැස්සට ඔබ්බෙන් තවත් ගුහාවක් පවතින බව දැක ගත හැක. එකල පැවති කාලගුණික තත්වයන් අනුව පාෂාණ ජිර්ණයේ සහ ඛාදනයේ ප්‍රතිඵලයක් ලෙස බිහි වූ මේ කදිම ගුහා පද්ධතිය අතීත මානවයාගේ වාස භුමි බවට පත්වීම කොතරම් අරුමයක් ද යන්න විටෙක සිතේ. තම ආහාර අවශ්‍යතාවය සඳහා කදිම තෝතැන්නක් ව තිබෙන්නට ඇති මේ භුමිය ජලය වැනි මූලික අවශ්‍යතා ප්‍රාග් මානවයාගේ දෙපා ළඟටම ලබා දීමෙන් වාසය සඳහා වඩා සුදුසු භූමියක් බව පෙනී යයි. ගුහාවේ ඉහල සකස් වී ඇත්තේ හිටිවනම ඇති වූ විශාල හෙලකිනි. මෙකල වර්ෂා කාලයේ ඉහල පෝෂක ප්‍රදේශයට ඇදහැලෙන ජල බිඳිති ඝනව වැඩුණු කාබනික ස්ථරයෙන් සෙමෙන් උරා ගෙන මවු පාෂාණය මත වැතිර පවත්නා තුනී පාංශු ස්තර හරහා රුරා පහලට ගලන්නේ පාෂාණ හෙළයේ තොන්ගලේ වූ පාෂාණ වැටිය ඔස්සේ පහලට ඇදහැලෙන්නට අවකාශ සකසමින්.  මේ ක්‍රියාවලිය අවසානයේ නිර්මාණය කරන්නේ දෙවැනි ලෙන හරහා තිරයක් මෙන් සකස් වෙමින් ඇද හැලෙන්නා වූ සුන්දර දිය ඇල්ලක් ඇතිකරමින්. සුන්දරව ඇදහැලෙන ජල ධාරාව පවතින සුළං ධාරා මගින් බිඳිති බවට පත් කරන්නේ යම් මොහොතක වාෂ්පයක් බවට පත් ව මීදුමක් සේ නැවත ඉහල නගින්නට ආරාධනා කරමින්. සුන්දරත්වය ඇතිවන්නේ එලෙසය. මේ අපූරු දිය ඇල්ල හිතුවක්කාර කොලු ගැටයන්හට නම් පැන පැන ඔලුව අල්ලා ඇඟපත තෙමා ගන්නට කදිම අවකශයක් ලබා දෙයි.

බෙලි ලෙනේ ආදී වාසීන් විසුවේ අඩි වසර තිස් දහසකට පමණ පෙර බව පුරා විද්‍යා පර්යේෂණ පෙන්වා දෙයි. ඔවුන්ගේ ඉතා වැදගත් මෙම පර්යේෂණ තව දුරටත් පෙන්වා  දෙන්නේ මෙහි විසුවෝ අදින් වසර දසදහසක පමණ කාල සීමාවක් දක්වා දිවි ගෙවන්නට ඇති බවයි. එනම් හොලොසින අවධිය ආරම්භය වන තෙක් පමණ බව පෙනී යයි.  ඒවාගේම වසර 16 000 ක් පමණ පැරණි මානව ඇටසැකිලි හමු වූ බවද වාර්තා වෙයි. ශිත යුගයේ දිවි ගෙවූ මේ අපූරු ප්‍රාග් ඓතිහාසිකයන් රටේ පහත් බිම් වල දිවි ගෙවූවන් හා සම්බන්ධතාවයන් පවත්වන්නට ඇති බවට කදිම සාක්ෂියක් හමු වෙයි. ඒ මුහුදු බෙලි කටු වන අතර ප්‍රදේශ වාසින් පවසන අන්දමට ලෙනට නාමය ගෙන එන්නේ ද මෙය පදනම්වය. මුහුදු ආහාර රස විඳින්නට වෙරළට ඇදුනෝ පහත් බිම් වාසින් සමග සම්බන්ධකම් පවත්වන්නට ඇත. ඒ වාගේම මුහුද බෙලි කටු පවසන්නේ වෙරළට ඇදුනෝ ලුණු රසය හඳුනන්නන් බවයි.

මේ ලුණු සහිත මුහුදු ආහාර පරිහරණය තවත් කදිම අර්ථකතනයක් සඳහා පසුබිම සපයයි. එනම් මෙහි විසුවෝ ලුණු ආහාර භාවිතයට කලින් සිටම පුරුදු වුවන් බවයි. මේ පුරුද්ද ඔවුන් කඳුකරයට යම් හේතුවක් නිසාවට සංක්‍රමණය වන්නට පෙර සිට ඇති කර ගත්තක් විය යුතුය. එසේ නොමැතිව නුපුරුදු දේ සොයා යාමේ පුරුද්දක් ඔවුන්ගේ තිබෙන්නට හැකියාවක් නොමැත. ලුණු රසය පුරුදුව සිටි, මුලිකවම පහත් බිම් වාසීන් වන මොවුන්ගේ ප්‍රධාන ආහාරයක් වන්නට ඇත්තේ මුහුදු බෙල්ලන් වැනි මුහුද ආහාර වන්නට ඇත. කඳුකරය ට සංක්‍රමණය වීමෙන් ඔවුන්ගේ සුන්දර මතකයන් සහ රසයන් සොයා වෙරළට ඇදෙන්නට ඇතුවාට කිසිම සැකයක් නොමැත. කෙසේ වෙතත් මේ කාලය ශිත යුගයේ උපරිමය සටහන් කරන කාලයට සමගාමී නිසා අපට සිතිය හැක්කේ ජෛව විවිධත්වය ද මේ වැසි වනාන්තරයේ සාපේක්ෂව අඩු වන්නට ඇති බවයි.

 ඒ කෙසේ වෙතත් කිතුල්ගල් මේ සුන්දර බෙලි ලෙන සංචරනයට කදිම ස්ථානයකි. දැන් දැන් නුතන මානවයාගේ කුහක හසීම මගින් මේ අපූරු පරිසරය දුෂණය වන්නට පටන් ගෙන ඇත. එහි සංචරණයට යන්නන් අඩි සලකුණු පමණක් ඉතිරි කර අනෙකුත් දේ ආපසු රැගෙන එන්නේ නම්  ඉතා උසස් බව මතක් කර දිය යුතුය.

 

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...