Thursday 16 May 2024

මානව විද්‍යාව එදා සහ අද

Vidusara 15th May, 2024

මානව විද්‍යාව ලෙස හඳුන්වන්නේ මනුෂ්‍යත්වය පිලිබඳ වූ ක්‍රමවත් හැදෑරීම ලෙසයි. එය තවදුරටත් මානව සමාජය සහ සංස්කෘතිය සහ ඒවායේ වර්ධනයන් පිලිබඳ සවිස්තරාත්මකව අධ්‍යනය කරයි. කවුරුත් පිළිගත් ඔක්ස්ෆෝර්ඩ් ශබ්ධකෝෂය අර්ථකතනය කරන්නේ “මානව ජාතින් සහ  ඒවායේ ආරම්භය, වර්ධනය මෙන්ම සිරිත් විරිත් සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කිරීම” යනුවෙනි.

මානව විද්‍යාව ප්‍රධාන විෂය දහරාවන් තුනකට බෙදෙන අතර ඒවා සමාජසංස්කෘතික මානව විද්‍යාව, ජෛව මානව විද්‍යාව සහ පුරාවිද්‍යාව ලෙස හැඳින්විය හැක. ඒ අතර භාෂාමය මානව විද්‍යාව ලෙස විෂයක් වර්ධනය වෙමින් පවතී. මිනිසුන්ගේ සමාජ සම්බන්ධතා සහ ක්‍රියාකාරිත්වය, සිරිත් විරිත්, ඇදැහිලි සහ විශ්වාස පිළිබඳව අධ්‍යනය කරන්නේ සමාජසංස්කෘතික මානවවිද්‍යාව විෂය දහරාව තුළිනුයි. ජෛව මානව විද්‍යාව මානවයාගේ ජෛව විද්‍යාත්මක පරිණාමය, පැවැත්ම සහ විශේෂ වඳවීම් ගැනද අධ්‍යනය කරයි. පැරණි මානවයන්ගේ භාවිත ද්‍රව්‍ය සහ ද්‍රව්‍ය සංස්කෘතිය ගැන පුරාවිද්‍යා මානවවිද්‍යාව තුලින් සාකච්ඡා කරයි.

දහඅටවන ශතවර්ෂයේදී පමණ ඉංගිරිසියට පෙරළුණ මෙම වචනය ප්‍රංශ භාෂාවෙන් “ඇන්ත්‍රෝපෝලොජියා” නම් විය. ග්‍රීක භාෂාවෙන් සම්භවය වූ මෙම වචනය ‘ඇන්ත්‍රෝස්’ සහ ‘ලොජියා’ නම් වචන දෙකෙහි එකතුවකි.  එමගින් කියවෙන්නේ මානවයා පිලිබඳ හැදෑරීම යන්නයි. වර්තමාන භාවිතය ප්‍රංශ - ජර්මානු පුනුරුදයේ දී ආරම්භ වූ බව පැවසේ. ග්‍රීක දාර්ශනිකයෙකු වන ඇරිස්ටෝටල්ගේ පොත්පත්වල ද සඳහන්ව තිබු බව හෙළි වේ. ලන්ඩනයේ මානවවිද්‍යඥයින්ගේ සංගමයේ පුරෝගාමියා සහ සභාපති වූ ජේම්ස් හන්ට් නමැති මානවවිද්‍යාඥයා එහිදී සිදුකල කතාවක මෙම වචනය සඳහන් කළේය. කෙසේවෙතත් මෙම වචනය ඇරිස්ටෝටල් සඳහන් කරන විට මෙතරම් දුරකට මෙම විෂය වර්ධනය නොවී තිබෙන්නට ඇති බවයි පෙන්නුම් කරන්නේ.  

මානවය පරිණාමය වන්නේ වසර මිලියන හතකට පමණ පෙර බව පර්යේෂණ වාර්තා පෙන්නුම් කරයි. වසර මිලියන 85 කට පමණ පෙර අනෙකුත් ක්ෂිරපායින්ගේ වෙන් වූ ප්‍රයිමාටාවන්ගෙන් මානව පරිණාමය සිදු වූ බව පර්යේෂණවලින් පෙන්වා දෙයි. ඒ එසේවුවත් හොමිනින් නම් වූ පූර්වජයන් (පූර්ව මානවයන් සහ චිම්පංසීන්) ගොරිල්ලාවන්ගෙන් වෙන්වන්නේ වසර මිලියන අටකට පමණ පෙරයි. පූර්ව මානවයා චිම්පංසීන්ගෙන් වෙන්වන්නේ වසර මිලියන 7කට පමණ පෙර බවයි සඳහන් වේ.

පිළිගත් මතය වන්නේ මානව වර්ගයා බිහිවන්නට ඇත්තේ අප්‍රිකාවේ බවයි. ඉන්පසු ලෝකය පුරා විසිරි පැතිරී යන්නට ඇති බවද පර්යේෂණ වාර්තා සඳහන් කරයි. මානව පරිණාමයේ ප්‍රධාන අවධි හතරකින් සිදු වූ බව සොයාගෙන ඇත. පළමු අවධිය වසර මිලියන හතේ සිට හතර දක්වා වූ කාලයයි. පුර්වජ හොමිනින් වන සහෙලන්ත්‍රෝපස්, ඕර්රෝරින් සහ ආඩිපිතෙකස් බිහිවන්නේ මෙම කාලයේයි. මෙම මානවයන් ඍජු කායෙන් යුක්තව ද්විපාද සංරචරණයේ යෙදුනවූවන් බවයි පර්යේෂණ පෙන්වා දෙන්නේ. දෙවන අවධිය වසර මිලියන හතර කාලයේ බවත් තෙවන අවධිය වසර මිලියන 2.7ක පමණ කාලයේ දී සිදුවන්නට ඇතැයි විශ්වාස කෙරේ. හතරවන අවධිය වන විට හෝමෝ නම් ඝනය බිහි වූ බව පර්යේෂණ පෙන්වා දෙන අතර ඒ වසර ලිනිය 2.5 ත් 1.8 ත් අතර කාලයේ දී බව සඳහන් වේ.

හෝමෝ හැබිලිස් ආයුධ අතට ගත් පළමු මානව වර්ගය වන අතර ශිලා ආයුධ නිර්මාණය සහ භාවිතය පිලිබඳ වූ නව සංස්කෘතියක් බිහිකරන්නට එය හේතුවන්නට ඇත. හතරවන අවධියේ සිදු වූ පරිණාමය කපාල ධාරිතාව වර්ධනය කරමින් විශාල මොළයකට හිමිකම් කියන්නෙක් බවට හෝමෝ හැබිලිස් පත්කරන්නට ඇත. එය වෙනස් සංස්කෘතියක් බිහිකරන්නට අඩිතාලම දමන්නට ඇති බවට සැකයක් නොමැත. ආයුධ නිර්මාණය, ඒ සඳහා සුදුසු ද්‍රව්‍ය සොයාගැනීම සහ භාවිතය මෙම පරිවර්තනය සඳහා හේතුවන්නට ඇත. මෙම මානවයාගේ ඛණිජ පිලිබඳ දැනුම වර්ධනය කරමින් කැපුම්දාර ඇතිකරමින් බිඳීයන තිරුවානා, ෆ්ලින්ට්, කහඳ, ඔබ්සිඩියන් වැනි ඛණිජ පරිසරයෙන් වෙන්කර හඳුනාගන්නට ඔවුන්ගේ විශාල මොළය බොහෝ උපකාරිවන්නට ඇත. දඩයම් කල ආහාරය කැබලි කරන්නට සහ වෙන්කරන්නට හැකිබව මෙමගින් උගෙනගන්නට ඇත. එය ඔවුන්ගේ සංස්කෘතියේ නව නැම්මක් ඇතිකරන්නට සහ ඉදිරියට වර්ධනය වන්නට සහය වන්නට ඇත.

මේ සම්බන්ධව තව දුරටත් විශ්ලේෂණය කිරීමේ දී පෙනීයන්නේ ඔවුන්ගේ සමාජ සංස්කෘතිය තුල මේ පිළිබඳව සංනිවේදනය සඳහා වචන හෝ සංකේත බිහිවන්නට ඇති බවයි. ඛණිජ වර්ග වෙන්කරන්නට, එය ඇති ස්ථාන පෙන්වා දෙන්නට, ආයුධය සාදාගන්නා ආකාරය පෙන්වා දෙන්නට යම් භාෂාමය දියුණුවක් ඇති වන්නට ඇත. එය භාෂාවේ ප්‍රගමණය සඳහා හේතුවන්නට ඇත.

ගින්දර භාවිතය සොයාගන්නා ලද මානවයා හෝමෝ ඉරෙක්ටස් වෙයි. ඔහුගේ කපාල ධාරිතාව හැබිලිස්ට වඩා බොහෝ වැඩිය. එය දෙගුණයක් පමණ බව සොයාගෙන ඇත. වඩා සංකීර්ණ ආයුධ නිර්මාණය සහ භාවිතය සිදුකරන්නට ඇති බව විශ්වාස කෙරේ. ගින්දර භාවිතය ආහාර පිළියෙළ කිරීම කෙරෙහි මොවුන් උනන්දු කරන්නට ඇත. ආහාර නව්‍යකරණය කරමින් විවිධ වෙනස්කම් වලට ලක්කරන්නට ඔවුන්ට හැකිවන්නට ඇත. එය නව සංස්කෘතියක ආරම්භයක් විය. මෙමගින් භාෂාව තවදුරත් පෝෂණය වන්නට ඇත. එපමණක් නොව මොවුන් අප්‍රිකාව අතහැර ගිය ප්‍රථම මානව වර්ගයා බව සඳහන් වේ. ඒ වසර මිලියන 1.8 ක් පමණ කාලයේය.

නුතන මානවයාගේ පූර්වජයන් වන්නට ඇතැයි සැලකෙන මෙම හෝමෝ ඉරෙක්ටස් ගේ උප විශේෂ කිහිපයක්ම තිබු බව පර්යේෂණ වලින් හෙළි වී තිබේ. අප්‍රිකාව හැර යන්නට ප්‍රථම මෙම මානවයා හෝමෝ සේපියන්ස් නම් වූ විශේෂය බවට පරිවර්තනය විය. ඒ  වසර 300000 කට පමණ පෙරය. හෝමෝ සේපියන් නියන්ඩතාලෙන්සිස් නම් වූ උපවිශේෂය ප්ලයිස්ටෝසීන යුගයේ දී හෝමෝ සේපියන්ස් සේපියන්ස් සමග තරඟයක නියැලීම මෙන්ම දේශගුණ විපර්යාසයට හැඩ ගැසෙන්නට නොහැකි වීම අවසානයේදී නූතන මානවයා මේ ලෝකයේ ඉතිරි කරන්නට හේතුවන්නට ඇතැයි සිතිය හැක. මේ සඳහා වඩා සාධාරණ සාධක ලෙස සැලකිය හැකිවන්නේ මොවුන්ගේ කපාල ධාරිතාව විශ්මය ජනක ලෙස වැඩිවීමයි. එමගින් පාරිසරික හැඩගැස්ම සඳහා ඔවුන්ගේ අනුවර්තන වඩා සාර්ථක ලෙස හසුරුවන්නට ඔවුන්ට හැකියාව ලැබෙන්නට ඇත. ඒත් සමගම සිදු වූ භාෂාවේ සහ එය හැසිරවීමේ දියුණුව නිසා නූතන මානව සන්නිවේදනයේ ප්‍රගමණය අතිසාර්ථක වී ඇත.

ඒ වාගේම වසර 11,000 කට පමණ පෙර ගෝලීය කාලගුණයේ සිදු වූ ප්‍රාමාණික යහපත් බව නූතන මානවයා තව දුරටත් සමාජශීලි කරන්නට හේතු වූ අතර වසර 8000 – 6000 ක කාලයේදී ශිෂ්ඨාචාර බිහිකරන්නට තරම් බුද්ධිමත් තත්වයකට පත් වූ බව පැහැදිලිය.  බුද්ධිමත්බව මානවයා සිතන්නට හැකි සත්ත්වයෙකු බවට පත් කල ඇත, එය ඔවුන්ගේ සමාජශීලීබාවය වැඩි දියුණු කරන්නට හේතු විය. එකිනෙකාට උදවු කරගැනීම තුලින් තම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගන්නට අවැසි පසුබිම සකස්වීම නිදහස් කාලයක් ඔවුන්ට උරුමකර දෙන්නට සමත් විය. එය වඩා වඩා සිතුවිලි මෙහයවන්නට ඒ තුලින් නව නිර්මාණ බිහිකරන්නට සමත් විය. ගැටළු නිරාකරණය කරගනිමින් පරිණාමයේ ඉදිරියට පියනැගීම අද වැනි සමාජ තත්වයක් බිහිකරන්නට සමත් විය. එමගින් මානව විද්‍යාව වැනි විෂයයන් නිර්මාණය කරගනිමින් ඔවුන්ගේ අතීතය, පරිණාමය සහ භෞතික සහ සමාජ ප්‍රගමණය මෙන්ම වත්මන් තත්ත්වය සහ අනාගත පරිකල්පන ගොතන්නට නූතන මානවයා සමත්වීමම කොතරම් ආශ්චර්ය ජනකදැයි ඔබට සිතෙනු ඇත.

ඒ අනුව පැරණි ග්‍රීක දාර්ශනිකයන්ගේ දර්ශනවාදී අදහස්වල පටලැවුන මානව සොබාවය සහ සමාජ සංස්කෘතිය වචනවලට පෙරලවී අපුරු ලියවිලි බවට පත් විය. ක්‍රිස්තු පූර්ව හතරවන ශතවර්ෂයේ විසු හෙරඩෝටස් නම් වූ ග්‍රීක ඉතිහාසඥයාගේ අදහස් මෙම මානව විද්‍යාව නම්  විෂය බිහිකරන්නට මූලික වන්නට ඇතැයි විශ්වාස කෙරේ. පබිලියස් කොරනේලිස් ටැසිටස් නම් රෝම ඉතිහාසඥයා ද ක්‍රිස්තුවර්ෂ පලමු ශත වර්ෂයේ දී පමණ යුරෝපයේ විසු පැරණි මිනිස් කාණ්ඩ ගැන තම ලියවිලිවල සඳහන් කර ඇත.

පස්වන සියවසේ දී පමණ බිඳවැටෙන රෝම ශිෂ්ඨාචාරයෙන් පසුව එළබෙන්නේ මධ්‍යතන යුගයටයි. දහවන ශතවර්ෂයේ දී පමණ විසු ඉබ්න් අහ්මඩ් අල් බිරුනි නම්  වූ පර්සියානු ජාතික විද්‍යාඥයා ඉන්දියානු මහද්වීපයේ විසූවන් ගැන අධ්‍යනය කරන ලද බව සඳහන් වේ. එපමණක් නොව මැදපෙරදිග සහ දකුණු ආසියානු රටවල වැසියන්ගේ ආගම සහ සංස්කෘතිය ගැන දීර්ඝ පර්යේෂණ වාර්තා සකස්කර ඇත.

යුරෝපියානු නොවන සමාජයන් ගැන වාර්තා සකස් කල, නුතන මානව විද්‍යාවේ ප්‍රාරම්භාකයෙකු ලෙස සැලකෙන, මධ්‍යතන යුගයේ විසූ ජෝන් ඔෆ් ප්ලේනෝ කාර්පිනි නම් වූ විද්‍යාඥයා මොන්ගෝලියානු ජාතිකයන් ගැන ලියූ වාර්තාව බෙහෙවින් වෙනස් සමාජ සංස්කෘතියක් ගැන කියැවෙන බව සැලකේ.

මධ්‍යතන යුගයේ (අටවන සහ පහළොස්වන ශතවර්ෂය අතර කාලය තුල) ලියැවුන බොහෝ ඉතිහාසය සහ භූ ගෝලය සම්බන්ධ සංචාරක වාර්තා වල ප්‍රධාන ලක්ෂණයක් වූයේ මානව විද්‍යාව ගැන සඳහන් වීමයි. මධ්‍යතන යුගයේ දී ඇති වූ නගර වල විසු මිනිසුන්ගේ සංස්කෘතිය එම නගරවලට අනුරූප ලාක්ෂණිකතා පෙන්නුම් කරන බව එම වාර්තාවල සඳහන් වේ. මෙමගින් එම නගරවාසීන්ගේ හැසිරීම සහ සංස්කෘතිය සංසන්දනයකට ලක් වූ අතර සමානතා සහ විෂමතා පිළිබඳව කතා බහට ලක් විය.

ඉබ්න් බතුතා, ඉබ්න් ජෝබයිර්, මොසබ්බාහි, මැග්රයිසී, මාර්කෝ පෝලෝ, අබ්දාරි, නසීර් කොස්රෝව් සහ බිරුනිගේ වාර්තා මධ්‍යතන යුගය පිළිබිඹු කරන මානව විද්‍යාවේ අගනා වටිනා සටහන් බව පිළිගැනේ. ක්‍රිස්ටෝපර් කොලොම්බස් සහ වස්කෝ ද ගාමා ගේ දේශ ගවේෂණ වාර්තා ද මෙම විෂය සඳහා වටිනා කරුණු එක්කර ඇති බව හොඳින් පැහැදිලි වේ. මොවුන් සොබාදහම සහ භූ ගෝලය  මානව විද්‍යාව සමග සම්මිශ්‍රණය කරමින් සිදුකරන ලද මෙම අධ්‍යන මානවයාගේ සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් ගෝලීය අවකාශය තුල කදිමට පෙලගස්වන්නට සමත් වී ඇත.

මධ්‍යතන යුගයෙන් පසු එනම් දහසයවන ශතවර්ෂය පමණ වනවිට පැන නගින දර්ශනයේ සහ විද්‍යාවේ පුනුරුදය මානව විද්‍යාව නව මාවතකට තල්ලු කරන්නට සමත් විය. දාහත්වන සහ දහඅටවන ශතවර්ෂවලදී සිදු වූ බුද්ධිමය සහ දර්ශණයේ සිදු වූ මහා ප්‍රබෝධය මෙලෙස මානව විද්‍යාව නව පැතිකඩ නිර්මාණය කරන්නට දායක වන්නට ඇතැයි සැලකිය හැකිය. මෙම කාලය තුල මානව විද්‍යාව වඩා ක්‍රමවත් අධ්‍යනයකට ලක් වූ බව පැහැදිලි වේ. ඉතා අගනා වටිනා ග්‍රන්ථයක් ලියමින් ඉමානුවෙල් කාන්ට් නම් දර්ශනිකා මානව විද්‍යාවට මහඟු සේවයක් සිදුකල බව සඳහන් වේ. 1972 දී පමණ මොහු මානව විද්‍යාව උගන්වන්නට වාර්ෂික පාඨමාලාවක් පටන් ගත්තේය. මෙකල බිහි වූ විල්හෙල්ම් දිල්තේ සහ ජෝන් ගොට්ෆ්‍රයිඩ් හේඩර් නම දාර්ශනිකයන් දෙදෙනාගේ සංස්කෘතීන් ගැන සිදුකල පර්යේෂණ මානව විද්‍යාවේ වර්ධනයට ඉවහල් වූ බව කියැවේ.

බෆන් නම් වූ සොබාවික විද්‍යඥයාගේ ලිපි මගින් විස්තර වන්නේ ආයතනික මට්ටමෙන් මානව විද්‍යාව මතුවන්නේ සොබාවික විද්‍යා ඉතිහාසය තුලින් බවයි. මානව විද්‍යාව තුල සංස්කෘතිය, භාෂාව, මනෝවිද්‍යාව වැනි විෂයයන් අධ්‍යනය සොබාවික විද්‍යා විෂය ධාරාව තුල ශාක සහ සතුන් ගැන අධ්‍යනයට සමාන බවයි පැවසෙන්නේ. ලුවිස් හෙන්රි මෝර්ගන් නම් වූ මානව විද්‍යඥයා උතුරු ඇමෙරිකානු දේශීයයන් ගැන ද බීවරයන් ගැනද කියවෙන පර්යේෂණ පත්‍රිකාවක් ඉදරිපත් කරන්නේ එනිසාමයි. අප්‍රිකානු දේශීය ජනතාවගේ භාණ්ඩ සහ ආයුධ සොබාවික විද්‍යා කෞතුකාගාරයේ සතුන්ගේ ප්‍රාග් ජීවධාතූන් සමග තබන්නේද මෙනිසාම බව පැවසේ.

මානව විද්‍යාව තුල ‘මනුෂ්‍යත්වය’ නම් වූ නව විෂය දහරාව පැන නගින්නට හේතුවන්නේ සොබාවික විද්‍යාවේ පර්යේෂණ ක්‍රමවේදය ද වර්ධනය වන නව ක්‍රමවේද සහිත ව්‍යුහාත්මක සම්මුඛ සාකච්ඡා පමණක් නොව ව්‍යුහාත්මක නොවන සහභාගිවන්නගේ දැක්ම ද පදනම් කරගෙන බව පැවසේ. හෝමෝ නම් මානව ඝනයේ සුවිශේෂී  ලාක්ෂණිකතා පදනම් කරගෙන සිතීමේ සහ ක්‍රියාත්මක වීමේ හැකියාව මත සංස්කෘතිය බිහි වූ බව මානව විද්‍යාඥයින් විශ්වාස කරයි.

විසිවන ශතවර්ෂය වනවිට ඇමෙරිකානුවන් ඔවුන්ගේ දේශයේ මානව විද්‍යාව හදාරන්නට උත්සුක විය. 1967 දී මාවින් හැරිස් නම් වූ මානව විද්‍යාඥයා මානව විද්‍යා සංකල්ප වල වර්ධනය නම් වූ පර්යේෂන්ත්මක ග්‍රන්ථය ඉදිරිපත් කරන ලද අතර මානව විද්‍යාවේ වර්ධනය සම්බන්ධව අධ්‍යනය කරන්නට අධ්‍යන ආයතනයක් බිහිකරන්නට සමත්විය. වමෙම කාලවකවානුවේ යුරෝපීයයන් විශ්වාස කරන ලද්දේ සියලු මිනිසුන් අතර ඔවුන් වඩා ශිලාචාර සහ සංස්කෘතික ජාතියක් බවයි. ඒ ඔස්සේ යම් වර්ධනයක් ද මානව විද්‍යාවට එක් විය. මෙම සිතුවිල්ල අභියෝගයට ලක් කරන ලද්දේ ජර්මානු ජාතික මානව විද්‍යාඥයෙකු වන ප්‍රාන්ස් බෝස් නැමැත්තායි. ඔහුගේ එම අධ්‍යනය සහ මතය තවත් ඇමරිකානු සහ යුරෝපියානුවන් සමහරකගේ මතය වෙනස් කරමින් සියලු ජාතින් එකසමාන ලෙස සලකන්නට මාර්ගය පෑදුනි. මෙය බෝසියන් විප්ලවය ලෙස හැදින්වේ.

සංස්කෘතික මානව විද්‍යාව ලෙස නව විෂය ක්ෂේත්‍රයක් නිර්මාණය වන්නට මාර්ගය පෑදෙන්නේද මෙම කාලයේයි. නුතන මානව විද්‍යාව තව දුරටත් විකසනය වෙමින් ප්‍රයෝගික මානව විද්‍යාව බිහිවන්නේ එදිනෙදා ජීවිතයේදී සහ සමාජයේදී පැනනගින ගැටළු නිරාකරණය කරගැනීම සඳහායි. මානව පරිණාමය සහ විකසනය පදනම් කරගනිමින් බිහිවන ජෛව මානව විද්‍යාව මිනිසාගේ ජෛව විද්‍යාත්මක පරිණාමික පිලිබඳ අධ්‍යනයට බදුන් කරයි.

විසිඑක්වන ශතවර්ෂය ආරම්භ වනවිට මානව විද්‍යාව තවදුරටත් විකසනය වෙමින් සංස්කෘතීන් අතර අන්තර් සම්බන්ධතා අධ්‍යයනයට වාගේම ගෝලීයකරණය තුල මිනිසුන් , සමාජය, සංස්කෘතීන් සහ අදහස් වල වර්ධනයන්, පරිවර්තනයන් සහ විකසනයන් පිලිබඳ අධ්‍යනය කරන්නටත් සංචරණය සහ ඩයස්පෝරාව ගැන අධ්‍යනය කරන්නටත් හේතු විය.

කාර්මික විප්ලවයත් සමග ඇරඹි තාක්ෂණික යුගය මානව විද්‍යාව තවදුරත් සංකීර්ණ කරන්නට බලපෑ ප්‍රධාන කාරණාවකි. මානව සමජයේ යහපත සදහා පමණක් නොව යුධ කටයුතු සඳහා ද පරිවර්තන සිදුකරමින් මානව සමාජය අභියෝගයට ලක්කරන ලද මෙම තාක්ෂණික වර්ධනය මානව ශිෂ්ඨාචාරයට නව සංකල්ප බිහිකරගනිමින් මානව වර්ගය අරක්ෂා කරගැනීමට සිදුවීම මානවවිද්‍යාව නව මානයකට තල්ලු කරන්නට හේතුවිය. කාර්මික විප්ලවයේ ප්‍රතිපල ලෙස අද අත්විඳින දේශගුණික විපර්යාසයේ ප්‍රතිඵල හේතුවන් පරිසරය සහ මානවයා අතර සම්බන්ධය නැවත වරක් සිතන්නටත් මානවයා සියල්ලට ඉහලින් යන සංකල්පයෙන් බැහැරවීමත් මානව විද්‍යවේ අපූරු කාලීන ප්‍රගමනයක් බව කිව යුතුය.

මානව විද්‍යාව ක්‍රමිකව වර්ධනය වේ. එය සමාජයේ සහ සංස්කෘතියේ ප්‍රගමනයෙන් වියුක්ත නොවන බවත් ඊට සමාන්තර බව අප තේරුම් ගත යුතුය. වර්තමානය පවතින්නේ අංකිත තාක්ෂණයත් සමගයි. එය දැන් දැන් එහි වඩා දියුණු මට්ටම් වන කෘත්‍රිම බුද්ධිය, රොබෝ තාක්ෂණය සහ පිටසක්වල සංචාර සමග අත්වැල් බැඳගන්නට ද නියමිතය. එනිසා මානව විද්‍යාවේ ප්‍රගමනය අනාගතයේදී බොහෝ වෙනස්කම් වලට භාජනය වන්නට නම් නියමිත බව කිව යුතුය. එමෙන්ම  මානවයාට බොහෝ තීක්ෂණ ලෙස තම බුද්ධිය භාවිතකරමින් තම මානව වර්ගය සහ පරිසරය එක්තැන් කරන්නටත් පිටසක්වලයන් සමග සම්බන්දකම් පවත්වාගනිමින් තම පැවැත්ම තහවුරුගන්නටත් අවශ්‍ය පසුබිම වර්ධනය වන මානවවිද්‍යාව සපයනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ


  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...