Wednesday 21 August 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  02

2024 අගෝස්තු මස 21 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

ශ්‍රී ලංකාවේ උත්තර ප්‍රදේශයේ භූ විද්‍යාත්මක පසුබිම අපට ගෙන එන්නේ කදිම කතන්දරයකි. එම ප්‍රදේශය නිර්මාණය වි ඇත්තේ අවසාදිත හුණුගල් පාෂාණ වලින්. අවසාදිත හුණුගල් තීරයක් ලෙස පුත්තලමෙන් පටන් ගෙන පුනරීන් හරහා යාපන අර්ධද්වීපය පුරා පැතිරී ඇත්තේය. මෙම අවසාදිත පාෂාණයේ සුවිශේෂිතාවය වන්නේ එතුල ඉපැරණි ප්‍රාග් ජීව ධාතුන් පැවතීමයි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් කලෙක එකම ගොඩබිමක් විය. ඒ වසර මිලියන 300 කට පමණ පෙරය. ඉන්පසු ඇති වූ අපසාරී තලමායිම ඔස්සේ ඉන්දියානු මහද්වීපයෙන් ශ්‍රී ලංකා භූ ස්කන්ධය වෙන්වීම ආරම්භ විය. කලෙක විලක්ව පැවති ජලතීරුව ක්‍රමයෙන් ඉන්දියානු සාගරය හා සම්බන්ධය වී කාවරී ද්‍රෝණිය නිර්මාණය කලේ නව මුහුදු පත්ලක් දෙරට අතර ඇති කරමින්. දිගින් දිගටම සිදු වූ අපසාරී තල මායිමේ ක්‍රියාකාරිත්වය දෙරට අතර දුර වැඩිකළ අතර නොගැඹුරු මුහුද තවත් පුළුල් කරවීය.

නොගැඹුරු මුහුද දියවූ කාබනේට හුණු වලින් එකල පොහොසත් විය. සුර්ර්ය තාපයෙන් හුණු සාන්ද්‍රණ ගත වීම නිසා එම හුණු ජලයේ දියවී පැවතිය හැකි ප්‍රශස්තයට පැමිණීම හුණු අවක්ෂේපණය සඳහා හේතු විය. කාබෝනේට හුණු අවක්ෂේපණයෙන් සෑදෙන අවසාදිත කාබෝනේට මඩ ලෙස හැදින් වේ. මෙම අවසාදිත ක්‍රමයෙන් නිධිගත වී කබෝනේට මඩ තට්ටු නිර්මාණය කරන්නට හේතු විය. කාබෝනේට මඩ ඛණිකා විවිධ ප්‍රමාණවලින් යුක්ත වූ අතර විවිධ හැඩයෙන් ද යුක්ත විය.

වසර මිලියන් 300 ක පමණ කාලයේ මුහුද අරක් ගත්තේ මුහුදු බෙල්ලන්ගෙනි. නොගැඹුරු කලාප ගල්මල් වලින් හැඩවිය. දෙපියන් බෙල්ලන් මුතු බෙල්ලන් බහුල විය. ඔවුන්ගේ පරිණාමය දිගින් දිටම සිදු විය. සමහරුන් ගේ මරණයෙන් පසු කවච මුහුදු පතුලෙ තැන්පත් විය. ඒ කබෝනේට මඩ අතරයි. කබෝනේට මඩ අතර එරී ගිය ඔවුන් ප්‍රතිඛණිජකරණයෙන් ප්‍රාග් ජීව ධාතුන් බවට පත් විය. කබෝනේට මඩ සමග තැන්පත්ව තිබු සිලිකා කලිල ද මේ සඳහා දායකත්වය සැපයිය. එනිසා සමහර කවච ප්‍රතිඛනිජකරණයට ලක් වූයේ සිලිකා මඩ වලින්.

අපසාරී තලමායිමේ ක්‍රියාකාරිත්වය දිගින් දිගටම සිදු විය. එනිසා කාලයත් සමග දෙරට අතර මුහුදු අවකාශය පුළුල් විය. මේ අතර මුහුදු කලාපය ක්‍රමයෙන් උක්ෂිප්ත වී ශ්‍රී ලාංකේය ගොඩබිමට ඈඳුන නව භූ ස්කන්ධයක් නිර්මාණය කරන්නට හේතුවිය. මෙමගින් ක්‍රමයෙන් යාපන අර්ධද්වීපය නිර්මාණයට මග පෑදුනි. එම ගොඩබිම් කලාපය මුහුදු බෙල්ලන්ගේ ප්‍රාග්ජිව ධාතූන්ගෙන් සුපෝෂිත හුණුගල් පාෂාණයකින් සමන්විත වූවකි. මයෝසීන යුගයේ ජීවත් වූ මුහුදු බෙල්ලන් නිසා එයට මයෝසීන හුණුගල ලෙස ශ්‍රී ලංකාව තුල නම පට බැඳී ඇත.

එලස හැඳින්වුවත් ක්‍රමවත් නිරපේක්ෂ කාලනිර්නයක් කර නොතිබූ කලෙක මමත් හොන්කොන් විශ්වවිද්‍යාලයේ මාගේ පර්යේෂණ සගයෙකුත් සමග සිදුකල කාලනිර්ණ පර්යේෂණයකින් මෙම නිධිය වසර මිලියන 15 සිට 23 දක්වා වූ කාල පරාසයක් තුලදී නිර්මාණය වූවක් බව ප්‍රථම වරට තහවුරු විය. ඒ සඳහා යොදා ගැනුනේ ස්ට්‍රොන්චියම් විකිර්ණශිලි මූලද්‍රවයයි. මෙම කාලය ඔලිගොසීන කාලයේ සිට මධ්‍යම මයෝසීන කාලය දක්වා දිවයන බව පැහැදිලිය. හුණුගල් මඩ තැන්පත් වූ රටාව සහ බෙල්ලන්ගේ ප්‍රාග් ජීව ධාතුන් සහ ඒවායේ විවිධත්වය හඳුනාගැනීම සිදුකල යුතුව ඇති අතර එමගින් තව බොහෝ කරුණු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්වවිද්‍යාලය 


Wednesday 7 August 2024

 පත්මෙගේ භූ විද්‍යා අන්දර  01

2024 අගෝස්තු මස 07 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි. 

බොහෝ කලකට පසු මා ඔබ හමුවට නවතම භූ විද්‍යා තතු ගෙන එන්නේ මෙම “පත්මෙගේ භූ විද්‍යා අන්දර  ” තුළිනුයි. විදුපත් ඉරුවෙන් සහ භූ සංචාරිතයෙන් මාගේ භූ විද්‍යා අත්දැකීම් ඔබ හා බෙදා හදා ගැනීමට ලැබීම සතුටක්. එම තොරතුරු ආසාවෙන් කියවන පිරිසක් තවමත් සිටින බවට බොහෝ සාක්ෂි මම අත්දකිමින් සිටිමි. භූ විද්‍යා අන්දර  තුළිනුත් විෂය මූලික කරගත් අත්දැකීම් සමග යම් නව දැනුමක් ගෙන එන්නටයි මාගේ බලාපොරොත්තුව වන්නේ.

ශ්‍රී ලංකාව භූ සම්පත් උකහා ගත් පැරැන්නන් සිටි රටකි. ඒ අතර ලෝහ උකහා ගැනීම සඳහා නම දිනාගත් ශිෂ්ටාචාරයක් තිබු රටකි. රත්‍රන් වල පටන් තඹ යකඩ ලෝහය දක්වා වූ ලෝහ උකහා ගැනීම කෙරෙහිම විශේෂණය වූ මෙරට වැසියෝ ඒ සඳහා අපුරු තාක්ෂණයක හිමි කරුවෝ වුහ. ඒ සඳහා ඉතිහාසගත කරුණු පමණක් නොව පුරාවිද්‍යාත්මක සාක්ෂි ද නැතුවා නොවේ. ඉපැරණි යකඩ තාක්ෂණයේ සුවිශේෂිතා මේ වන විටත් බොහෝ අවසථාවලදී සාකච්චාවට භාජනය වි ඇති අතර මෙරටුන්ගේ පමණක් නොව විදේශිකයන්ගේද අවධානය යොමු වි ඇති බව නොරහසකි.  

ඒ කෙසේ වෙතත් භූ විද්‍යාඥයෙකු ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ මා ගත කල වසර දහයකට ආසන්න කාලයේ මා තුල හට ගත් ආසාව වූයේ ලෝහ නිස්සරණය පිළිබඳව සිදුකල හැකි පර්යේෂණ අවස්ථා සොයා බැලීමයි. මෙහිදී පුරවිද්‍ය්ඥයින් සමග සිදුකල කතා බහේදී අනාවරණය වුයේ යපස් ලෙස හැදින්වෙන්නේ කුමන වර්ගයක ඛනිජයක් ද යන්න්සෝය බැලිය යුතු බවයි. වසර දහයකට පමණ පෙර පුරාවිද්‍යා පශ්චාත් උපාදි අවයතනය මගින් සිදුකල සේරුවිල තඹ නිධිය සහ යකඩ තාක්ෂණය සම්බන්ධව කල පර්යේෂණයට දායකත්ව ලබා දෙන්නට මට හැකි විය. අප සිදුකල පර්යේෂණයට අනුව එහිදී අනාවරණය වූයේ එම ප්‍රදේශයේ යකඩ නිස්සරණය සඳහා හිම්ටයිට් නම් ද්විතියක යකඩ ඛනිජය යොදාගත් බවයි.

මේ කරුණ තවත් සනාථ කරගැනීම සඳහා මෙම වසරේ දී  තවත් පර්යේෂණයක් මා දියත් කල අතර ඒ සඳහා තෝරා ගනු ලැබූවේ පැරණි යකඩ නිස්සරණ තාක්ෂණය සඳහා සුප්‍රකට බලන්ගොඩ, සමනල වැව ප්‍රදේශයයි. මේ සඳහා මා උගන්වන විශ්ව විද්‍යාලයේ භූ ගෝල විද්‍යාව හදාරන ශිෂ්‍යයෙකු ගේ සහය ලබා ගත් අතර එම පර්යේෂණය ඉතා සාර්ථක එකක් විය. එහිදී ද ප්‍රථම වරට අනාවරණය වූයේ යකඩ නිස්සරණය සඳහා භාවිතා කල යපස් නිර්මාණය වී තිබුනේ හිමටයිට් නම් වූ ද්විතියික යකඩ ඛනිජයෙන් බවයි. මෙම පර්යේෂණය සඳහා භූ විද්‍යාත්මක ක්‍රම වේද භාවිතා කරන ලදී.

මෙම පර්යේෂණ දෙකටම අනුව පැහැදිලි වන කාරණාව නම් මෙරට යකඩ නිස්සරණය සඳහා යොදාගත් ඛනිජය හිමටයිට්  බවයි. හිමටයිට් යනු වෙනත් යකඩ ඛණිජ රසායනිකව සිදුවන ජීර්ණයෙන් ද්විතියිකව බිහිවන ඛනිජයකි. මේ සඳහා වඩා යෝග්‍ය වන්නේ තෙත් පරිසරයක් සහ උණුසුම් කාලගුණයක්. මේ පිළිබඳව තවත් කරනු රාශියක් අනාවරණය කර ගත යුතය එනිසා මෙම පර්යේෂණ ඉදිරියටත් කරගෙන යාමට අදහස් කරන අතර අප හා එක්වන්නට කැමති සියලු දෙනාම ගෞරවයෙන් පිලිගනිමි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

කොළඹ විශ්ව විද්‍යාලය

  පත්මෙගේ භූ විද්‍යා අන්දර  04 2024 සැප්තැම්බර මස  18 දින විදුසර පුවත්පතේ පල වූ ලිපියකි.  ශ්‍රී ලංකාවේ අවධානය දේශගුණ විපර්යාස කෙරෙහි යොමුවීම...