Monday, 16 January 2017

විදු පත් ඉරුව

2015  දෙසැම්බර් 23 බදාදා
පසු ගිය දිනෙක සිදු කළ ක්‌ෂේත්‍ර චාරිකාවක දී මධ්‍යම කඳුකරයේ උතුරෙන් පිහිටි අපූරු වනාන්තරයක්‌ දැක බලාගන්නට අවස්‌ථාව ලැබුණු අතර ඒ ආසන්නයේ පිහිටි නවාතැන්පොළක රාත්‍රී නවාතැන් ගැනීමට ද මම වාසනාවන්ත වීමි. මේ දිනවල පවතින ඊසානදිග මෝසමෙන් ලද වර්ෂාපතනය ද අඩු නැති ව ම භුක්‌ති විඳීමට එහි දී අපට හැකි වූ අතර ඇළහැර සිට නවාතැන්පොළට ළඟා වීමට එනිසා ම බොහෝ වේලාවක්‌ ගත විය. රාත්‍රියට වඩා ගස්‌වැල්වලින් ලද අඳුර ද මොර සූරන වර්ෂාව ද හේතුවෙන් කැබ් රථය එම පටු පාරවල ඉතා පරෙස්‌සමෙන් පැදවීමට සිදු විය. වරින් වර ඒ මේ අතට පාරේ තිබූ වංගු ද පාරේ නො පෙනෙන ස්‌ථානවල වැස්‌සේ සුව විඳිමින් සිටි මී ගවයන් ද හේතුවෙන් රියෑදුරු වඩාත් කල්පනාකාරී විය යුතු විය. අවසානයේ දී සියලු බාධක මැඩගෙන නවාතැන්පොළට ළඟා වූ අපට තවත් අකරතැබ්බයකට මුහුණපාන්නට සිදු විය. ඒ විදුලිය නොමැති වීමයි. එය සියලු සම්බන්ධතා කපා හරින්නට හේතු විය. මේ අතර සීතල ද ඉතා තදින් දැනෙන්නට වූ නමුත් කොළඹ දාහයෙන් පීඩා විඳි අපට එය මහත් සහනයක්‌ සේ දැනිණි.

පසු දාට පහන් වූ නමුත් දුම්බර වනයේ වූ සුපුරුදු මීදුම නම් එදා දක්‌නට නො වී ය. ඒ කලින් දින වූ වර්ෂාව හේතුවෙනි. එහෙත් කඳුකරයේ මුදුන් මීදුමෙන් වැසි තිබුණු අතර වර්ෂාව හේතුවෙන් ඇති වූ දියකඳුරු ගලනා සුමිහිරි නාදය සිතට කිසියම් සිසිලසක්‌ ගෙන දුනි. තරමක්‌ ඉහළින් වූ නවාතැනේ සිට කදිමට පහළින් ගලා යන කළු ගඟ, තුරු ගොමු අතරින් දැකගැනීමට හැකි වූ අතර මා ගේ අවධානය ඊළඟට යොමු වූයේ ගඟට ඔබ්බෙන් වූ වනාන්තරය වෙත ය. විවිධ රටාවන් මැවූ ශාක ඉතා හොඳින් නිරීක්‌ෂණය විය. විවිධ ශාක විශේෂවල වෙනස පැහැදිලිව හඳුනාගැනීමට හැකි වීම මා විමතියට පත් කරන්නක්‌ විය. වඩාත් හොඳින් නිරීක්‌ෂණය කළ විට පැහැදිලි වූයේ විවිධ ශාකවල වූ පත්‍රවල වෙනස ද ඒවායේ වෙනස්‌ රටාවන් ද මේ සදහා හේතු වන බවයි. ශාක විශේෂවල කඳන් නො දැක ම විවිධ විශේෂවල පැහැදිලි වෙනස මෙසේ දිස්‌ වීම නම් සැබැවින් ම විස්‌මයජනක ය.

ඔබ ද කෙදිනක හෝ ගසක කොළ (පත්‍ර) දෙස විමසිල්ලෙන් බලා ඇත් දැයි මතක්‌ කරන්න. කොළ පැහැති යෑයි අප දන්නා මේ පත්‍ර පැහැයෙන් පමණක්‌ වුව කොපමණ විවිධත්වයක්‌ පෙන්වන්නේ දැයි ඔබට වැටහෙනු ඇත. ළා කොළ පැහැයේ සිට තද කොළ පැහැය දක්‌වා පැහැය වෙනස්‌ වන අයුරු විවිධ ශාක පත්‍ර අධ්‍යයනයෙන් ඔබට මනාව පැහැදිලි වනු ඇත. එපමණක්‌ නො වේ. ශාක පත්‍ර හැඩයෙන් ද එකිනෙකින් වෙනස්‌ වෙයි. දිගු පත්‍ර, කෙටි පත්‍ර, ශාඛා බෙදුණු පත්‍ර, දාර රැලි සහිත පත්‍ර, විශාල පත්‍ර මෙන්ම ඉතා කුඩා පත්‍ර ද මේ අතර වන බව හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ඔබට පැහැදිලි වේ. තවදුරටත් අධ්‍යයනය කරන විට මේ ශාක පත්‍ර ගසෙහි කදට සවි වන්නේ ද එක්‌තරා රටාවකට බව නිරීක්‌ෂණය කළ හැකි වනු ඇත. සමහර පත්‍ර එක තැනකින් කඳ වටේට ම කිහිපයක්‌ සවි වන බව පෙනෙයි. තවත් සමහර පත්‍ර දෙක බැගින් එක වලයක පිහිටන අතර එයට විරුද්ධ අතට එයට ඉහළින් හෝ පහළින් හෝ වූ වලයේ පිහිටනු දැකිය හැකි ය. එක වලයක එක පත්‍රය බැගින් ඉහළට යත් ම කරකැවෙමින් සර්පිලයක්‌ ආකාරයට කඳට සවි වූ පත්‍ර පිහිටන ශාක ද වෙයි.

ශාකයේ කඳට පත්‍ර සවි වන්නේ නටුව මගින් බව අපි දනිමු. මේ නටුවෙහි ද විවිධත්වයන් පවතී. සමහර ශාක වල පත්‍ර කෙටි නටුවකින් ද සමහර ශාකවල පත්‍ර දිගු නටුවකින් ද සමන්විත වේ. පත්‍රවල මේ විවිධත්වය නම් ඉතා අපූරු ය.

ශාකයක ජීවය රඳා පවතින්නේ ප්‍රධාන කොට ම මේ පත්‍ර මත ය. ශාක ලෝකයේ ඉතා වැදගත් අවයවයක්‌ වන්නේ ශාකයක පත්‍ර ය. ශාකයක මුළුතැන්ගෙය නැත හොත් ආහාර නිෂ්පාදනාගාරය වන්නේ මූලිකව ම එහි පත්‍ර ය. අප හොඳින් දන්නා ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාදාමය සිදු වන්නේ ශාක පත්‍ර තුළ ය. ඒ සදහා සුවිශේෂී ලෙස පත්‍ර සකස්‌ වී ඇති අතර ඉහත කී සැම වෙනසක්‌ ම සිදු ව ඇත්තේ ප්‍රභාසංශ්ලේෂණයේ උපරිම ඵල නෙළාගත හැකි වන පරිදි බව මේ වෙනස්‌කම් හොඳින් අධ්‍යයනය කළේ නම් ඔබට පැහැදිලි වනු ඇත.

මේ ශාක පත්‍රවල බාහිර වෙනස්‌කම් බොහෝ වුවත් එහි අභ්‍යන්තර ව්‍යqහය නම් බොහෝ දුරට සමාන ය. ශාක පත්‍රයක ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාවලිය සිදු වන්නේ සෛල තුළ ඇත්තා වූ ඒ වෙනුවෙන් ම සකස්‌ වූ ව්‍යqහය වන හරිතලව තුළ ය. හරිතලව තුළ සිදු වන ප්‍රභාසංශ්ලේෂණය ද ඉතා අපූරු ක්‍රියාදාමයකි. එය අකාබනික සංයෝග කාබනික සංයෝග බවට පත් කරන සෛලය තුළ ඇති යන්ත්‍රයයි. කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද (CO
2), ජලය ද (H2O) මේ යන්ත්‍රයට දමන අමුද්‍රව්‍ය වේ. ලොවැති සැම යන්ත්‍රයකට ම මෙන්ම මේ යන්ත්‍රය ද ක්‍රියාත්මක වීමට ශක්‌තිය අවශ්‍ය වේ. ඒ ශක්‌තිය ලබා දෙන්නේ විශ්වයේ ඇති ප්‍රබල ම ශක්‌ති ප්‍රභවය වන හිරු ය. සූර්ය ශක්‌තිය ලබාගන්නා හරිතලවය කාබන්ඩයොක්‌සයිඩ් වායුව ද (CO2) ජලය ද (H2O) මනා අනුපාතයෙන් (කාබන්ඩයොක්‌සයිඩ් වායු අණු 06ක්‌ ද ජල අණු 06ක්‌ ද ලෙස) මිශ්‍ර කර ජීවීන්ට ශක්‌තිය ලබා දෙන මිහිපිට ඇති සරල ම කාබනික අණුව නිර්මාණය කරයි. ඒ අප ඔබ කවුරුත් හොඳින් දන්නා ග්ලූකෝස්‌ අණුවයි. ග්ලූකෝස්‌ විද්‍යාත්මකව සීනි වර්ගයක්‌ ලෙස නම් කෙරෙන අතර මේ ග්ලූකෝස්‌ පසුව ගබඩා කිරීමේ පහසුව තකා වඩාත් ස්‌ථායි සංකීර්ණ අණු වන කාබෝහයිඩේ්‍රට බවට පත් කරගනී. ස්‌වාභාවික පරිසරය නම් පුදුමසහගත ය. වෙනත් කර්මාන්ත ශාලාවල අතුරුඵල බොහෝ විට පරිසරයට හානි ගෙන දෙන දූෂකයන් වන අතර ශාක පත්‍ර තුළ ඇති මේ කර්මාන්ත ශාලාවේ නිපදවෙන අතුරුඵලයන් (ඔක්‌සිජන්) නම් ජීවී විශේෂ ජීවත් කරවන දෙයක්‌ වීම ම කෙතරම් විශ්මයජනක දැයි සිතන්න. මෙහි අගය යමකු තේරුම්ගන්නේ නම් එය ම වුව ප්‍රමාණවත් නො වේ ද?

ඒ කෙසේ වෙතත් මිනිසා කෙදිනක වත් ස්‌වාභාවික පරිසරය පැරදවිය හැකි මේ ආකාරයේ නිෂ්පාදනයක්‌ නම් කරනු ඇතැයි සිතිය නොහැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව

2015  දෙසැම්බර් 30 බදාදා

ඔබ කෙදිනක හෝ සමනළයන් ගේ බිත්තර දැක තිබේ දැයි සිහි කරන්න. මා හට ඒ අවස්‌ථාව මෑතක දී නැවත උදා වූයේ, අප කළ සංචාරයක දී මා මිතුරු විමුක්‌ති ගේ පිහිටෙනි. ඔහු එහි දී තෝර ගසක පත්‍රවල සවි වී තිබූ සුදු පැහැති සමනළ බිජු දැකගැනීමට සැලැස්‌වූ අතර සමනළ ලෝකය කෙරෙහි පෙර තිබූ මා ගේ උනන්දුව නැවත වර්ධනය කිරීමට ඒ දසුන හේතු විය. මෙවර විදුපත් ඉරුවේ ඒ පිළිබඳව සටහනක්‌ තැබිය යුතු යෑයි එදින මා අදිටන් කරගත්තේ විදුසර පාඨකයන් ගේ ද අවධානය මේ කෙරෙහි යොමු කරවීම වටින්නේ යෑයි සිතූ බැවිනි. ඔබ පරිසරය හොඳින් නිරීක්‌ෂණය කළේ නම් ශාක පත්‍රවල යට පැත්තේ හෝ වටේ දාරවල මේ බිත්තර රැඳී තිබෙන අයුරු ඔබට දැක ගත හැකි වනු ඇත. විවිධ පැහැ සහ හැඩයන් ගත් බිත්තර විවිධ සමනළ විශේෂ නියෝජනය කරන අතර, බිජු ලෑම සදහා විශේෂිත ශාක වර්ග ඔවුන් විසින් තෝරාගනු ලැබේ. ඒ බිත්තර පිපිරී එළියට එන දළඹුවා ගේ ආහාරයට සරි වන ලෙස ය.

"රූපාන්තරණය" නම් අපූරු සංසිද්ධියකි. රූපණය වෙනස්‌ වෙමින් ගලා යන තම ජීවන චක්‍රයේ සමනළයා අවධි හතරක්‌ ගත කරන්නේ ඒවායේ සුවිශේෂීතා විදහා දක්‌වමිනි. එයින් ද කෝෂගත අවධිය වසරක්‌ පමණ කාලයක්‌ දක්‌වා වුව ද දික්‌ විය හැකි බව පර්යේෂණවල දී පැහැදිලි වී තිබේ. කෝෂ්ඨයෙන් එළියට එන සමනළයා තම පියාපත් දිගහැර ඉතා දක්‌ෂ ලෙස පියාසරන්නේ ජානගත දක්‌ෂතා මනාව පිළිබිඹු කරමිනි. තම ආහාරය මල් ආශ්‍රිතව සොයාගන්නා වැඩුණු සමනළයෝ සති හතරක්‌ වැනි කෙටි කාලයක්‌ තුළ තම ජීවන ගමනේ ඊළඟ පරම්පරාව බිහි කිරීම සදහා සුදුසු ශාක තෝරාගනිමින් බිත්තර දැමීම සිදු කරති. ඒ කාලයේ දී ඔවුන් ශාක පරාගණය උදෙසා අමිල මෙහෙවරක්‌ ඉෂ්ට කරන්නේ ශාක ලෝකයේ සපුෂ්ප ශාකවල ද ජීවන ගමන ස්‌ථිර කරමින් බව ඔබට වැටහෙනු ඇත.

ලෝකයේ මේ වන විට සමනළ විශේෂ 18000කටත් වඩා වැඩි ප්‍රමාණයක්‌ සොයාගෙන ඇති අතර වැඩි ම විශේෂ ඝනත්වයක්‌ පෙන්වන්නේ නිවර්තන කලාපීය රටවල ය. එනිසා ධ්‍රැවාසන්නයේ සමනළයන් හමු නො වන්නේ ඇයි දැයි ඔබට වටහාගත හැකි වනු ඇත. ලෝකයේ විශාලතම සමනළයා වාර්තා වන්නේ "පැපුවා නිව්ගිනි"වලිනි. ඒ "ඇලෙක්‌ස්‌සැන්ද්‍රd රැජන ගේ බර්ඩ්වින්ග්" (Queen Alexandra's Birdwing) නම් විශේෂයයි. ඔවුන් ගේ ගැහැනු සතුන් ගේ පියාපත්වල දිග 25 cmක්‌ පමණ වේ. ශ්‍රී ලංකාවේ ද සමනළ විශේෂ 245ක්‌ මේ වන විට හඳුනාගෙන ඇති අතර එයින් 76 දෙනකු ම වඳ වී යාමේ තර්ජනයට ලක්‌ වූ විශේෂ ලෙස රතු දත්ත පොතට ඇතුළත් කර ඇත. මෙරටට ආවේනික විශේෂ 26ක්‌ සොයාගෙන ඇති අතර ඔවුන් බොහොමයක්‌ තෙත් කලාපයට සිමා වී ඇත. ප්‍රධාන කුල (Family) හයකට අයත් සමනළ විශේෂ අතරට 2014 දී එක්‌ වූ නවතම විශේෂය වන්නේ "යෙලෝ µeන්සි" (Yellow Phancy) නම් වූ සමනළ විශේෂය වන අතර මේ විශේෂය හමු වන්නේ යාපනය ප්‍රදේශයෙන් වීම ද සුවිශේෂී කරුණකි. මේ සමනළ විශේෂය සොයා හඳුනාගැනීමේ ගෞරවය හිමි වන්නේ ශ්‍රී ලාංකික පර්යේෂකයන් ත්‍රිත්වයක්‌ වන හිමේෂ්, සරත් සහ චමිත්ට ය. දශක දෙකකට වැඩි කාලයක්‌ තිස්‌සේ ඔවුන් විසින් මෙරට සිදු කරන ලද අඛණ්‌ඩ පර්යේෂණවල ප්‍රතිඵලයක්‌ ලෙස ඒ සමනළයා සොයාගැනීමට හැකි වී ඇත. ඒ අතර පසු ගිය දිනෙක ඔවුන් සිදු කළ පර්යේෂණ ඇසුරෙන් සමනළයන් පිළිබඳ පර්යේෂණවල නිරත වන ආධුනිකයන් හට වැදගත් වන ක්‌ෂේත්‍ර අත්පොතක්‌ A Pocket Guide to the
Butterflies of Sri Lanka" නමින් එළිදැක්‌වුණු අතර ඔවුන් පර්යේෂණ ක්‌ෂේත්‍රයට සිදු කරන දායකත්වය අගය කළ යුතු ය.

වර්තමානයේ සිදු වන නො නවතින පාරිසරික දූෂණයත් සමග සමනළයන් ගේ ජීවන ගමනට අත් ව ඇත්තේ ඉතා දරුණු ඉරණමකි. වන විනාශය, නාගරීකරණය සහ දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති ඔවුන් ගේ ජන්මභූමි සපුරා විනාශ කර ඇති අතර ඇත්තා වූ කෘෂිකාර්මික පරිසරය පවා විවිධ කෘමිනාශක සහ වල්නාශක හේතුවෙන් දරුණු ලෙස විෂ වී ඇත. එසේ හෙයින් තම ජීවන චක්‍රය සම්පූර්ණ කරගැනීමට නොහැකි ව ඉතා දරුණු ලෙස බොහෝ සමනළ විශේෂ වඳ වී යැමේ තර්ජනයට ලක්‌ වී ඇති බව ඔබට වටහාගැනීමට අපහසු නො වනු ඇත. ශ්‍රී ලංකාව තුළ එසේ දරුණු ලෙස තර්ජනයට ලක්‌ වූ මෙරටට ආවේනික එක්‌ සමනළ විශේෂයක්‌ වන්නේ "සිලෝන් රෝස්‌" (Ceylon Rose) නම් විශේෂය වන අතර ඔවුන් ගේ ව්‍යාප්තිය මධ්‍යම කඳුකරයට පමණක්‌ සීමා වී ඇත.

සමනළයන් තම වාසස්‌ථාන කරගන්නා සුවිශේෂී ශාක විශේෂ වෙයි. රනිල කුලයේ ශාක ද, තෘණ වර්ග ද, දෙහි, දොඩම්, කුඹුක්‌, අනෝදා වැනි ශාක පමණක්‌ නො ව යුලෙක්‌ස්‌ (Ulex) වැනි ආක්‍රමණික ශාක ද ඒ අතර වන බව සොයාගෙන ඇත. දළඹුවන් වෙසෙන ශාක හඳුනාගැනීම අපහසු නො වේ. පත්‍රයේ කෙළවරක සිට පිළිවෙළට කා දමන ඔවුහු ඉතා වේගවත් ශාක භක්‌ෂකයෝ වෙති. එනිසා ම කිහිප වතාවක්‌ ම හැව අරිමින් ඔවුන් විශාල වන බව සොයාගෙන ඇත. ඉතා භයානක ස්‌වරූපයක්‌ පෙන්වන දළඹුවන් ඇත්තෙන් ම බොහෝ අහිංසක ය. එහෙත් තම ආරක්‌ෂාව සදහා සමහර දළඹුවෝ විෂ රසායනිකයන් භාවිත කරති. එමෙන්ම අතිශය දක්‌ෂ ලෙස සැඟව සිටීමේ හැකියාව ඇති මොවුන් ගේ ශරීර කදිමට තම බාහිර ස්‌වරූපය පරිසරයට ගැලපෙන අන්දමේ ශරීර වර්ණ රටාවලින් යුක්‌ත වේ.

මීමැස්‌සන්ට නොදෙවැනි ලෙස පරාගණ කෘත්‍යයේ යෙදෙන සමනළයා ගේ දායකත්වය බොහෝ දෙනකු අවබෝධ කර නො ගැනීම ඉතා කණගාටුවට කරුණකි. වර්තමානය එසේ වුව ද අනාගත වැඩිහිටියන් වන ළමා පරපුර එසේ විය යුතු නො වේ. ඔවුන් ගේ දැනුම බහු විෂයාත්මක වන්නේ නම් ජාතික අවශ්‍යතාවන්වල දී මැදහත් තීරණ මගින් සැමට සාධාරණත්වයක්‌ ඉෂ්ට කළ හැකි බව සිතිය හැකි ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ
විදු පත් ඉරුව
2015  මාර්තු 18  බදාදා

මේ දිනවල පාසල්වල ක්‍රීඩා තරග ලහි ලහියේ පැවැත්වෙන අතර ඒ බොහොමයක්‌ තරග මේ පාසල් වාරයේ අවසන් කිරීමට සියල්ලන් ම බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැදගත් වන කරුණු කිහිපයක්‌ සදහන් කිරීම වටින බව සිතූ නිසයි මෙවර විදු පත් ඉරුව ක්‍රීඩා ක්‍ෂේත්‍රය කෙරෙහි වෙන් කිරීමට සිතුවේ. පසුගිය වසර කිහිපයේ ම පාසල් ක්‍රීඩා තරගවලට සහභාගී වූ දරුවන් කිහිප දෙනෙක්‌ ම හදිසියේ ම ක්‍රීඩාවල යෙදී සිටින විට මිය ගියා. ඒ සඳහා විවිධ හේතූන් කියවුණා. සමහරුන් ගේ ස්‌වාභාවිකව ම තිබූ ආබාධත් හේතුවක්‌. ඒ කෙසේ වෙතත් මෙමගින් අපට යම් පාඩමක්‌ උගන්වනවා. ඒ තමයි අඩු ම තරමින් මාපියන් තම තම දරුවන් ක්‍රීඩා පුහුණු කිරීම්වල යෙදීමට පෙර පෞද්ගලිකව හෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව. එමගින් කෙතරම් දුරට තම දරුවා ක්‍රීඩා තරගවල යෙදීම සදහා යෝග්‍ය ව සිටින්නේ ද යන්න හඳුනාගත හැකියි. නගරබද පාසල්වලට නම් මෙය එතරම් ගැටලුවක්‌ නො වන්න පුළුවන්. සමහර විට වෛද්‍යවරයෙක්‌ව පාසලට ම ගෙනෙල්ලා උපදෙස්‌ ගන්නත් හැකි වෙනවා. අනිත් කරුණ තමයි නගරබද බොහෝ විට පෞද්ගලික හෝ රජයේ ආරෝග්‍ය ශාලා ඇති නිසා එවැනි තැනකට ගිහින් වුණත් ඒ සේවය ලබාගත හැකියි. ඒත් ගම්බද පාසල් සදහා තමයි ගැටලුව. බොහෝ විට එහෙ මවුපියන් මේ පිළිබඳව දැනුවත් නැහැ. ඉතින් දරුවන් අනතුරට ලක්‌ වීමට වැඩි නැඹුරුතාවක්‌ දක්‌වනවා.

මෙවැනි අවස්‌ථාවන්වලට මුහුණ දීමට අපට පෙර සිට සූදානම් වෙන්නත් පුළුවන්. උදාහරණයක්‌ හැටියට තරග පැවැත්වෙන දිනයේ මෙවැනි අනතුරු සම්බන්ධව අත්දැකීම් ඇති කණ්‌ඩායමක්‌ ළග ඇති රෝහලෙන් ගෙන්වාගැනීම. එහි දී ඔවුන් ගේ අනුදැනුම සහ අත්දැකීම් නිසාත් බොහෝ අනතුරු අවම කරගන්න හැකි වේ වි. හැබැයි මෙය කලින් කීවාක්‌ වගේ සැම පාසලකට ම ඉටු කරගන්න අමාරුයි. එවැනි අවස්‌ථාවල ප්‍රථමාධාර දීම සදහා පාසලේ දී ම ළමයින් කණ්‌ඩායමක්‌ පුහුණු කළ හැකියි. රතුකුරුස සංවිධානයේ ආධාර උපකාර අරගෙන මෙවැනි වැඩ සටහන් සමහර පාසල්වල නම් පැවැත්වෙනවා. කොහොම වුණත් පාසල් දරුවන් හට ප්‍රථමාධාර ක්‍රම පුරුදු පුහුණු කිරීමේ දී වඩාත් සැලකිලිමත් විය යුතුයි. මන්ද යත් ඒවා නිසි පරිදි ඉගැන්නුවේ නැති වුණොත් එය තවත් අනතුරකට හේතු වෙන්න පුළුවන් නිසා.

ක්‍රීඩාවල යෙදීමේ දී ද පුහුණු වීම්වල යෙදීමේ දී ද බොහෝ වෙහෙස වන නිසා සිරුරෙන් අධිකව දහදිය පිට වීම සිදු වනවා. එනිසා දුවා දරුවන් මෙය සිත්හි තබා ගෙන ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතුයි. ශරීරයට ජලය නො ලැබුණ හොත් විජලන තත්ත්වයක්‌ ඇති විය හැකි නිසයි ඒ. නමුත් එකවර වැඩිපුර ජලය පානය කිරීම ද හොඳ නැහැ. විශේෂයෙන් ම දිවීමේ තරගවල යෙදෙන්නන්ට. වෙහෙස වීමෙන් වැය වන ශක්‌තිය ඉක්‌මනින් ලබා ගැනීම කළ යුතුයි. ශක්‌තිය අවශ්‍යතාව ක්‌ෂණිකව ලබා දෙන්නේ සීනි වැනි ද්‍රව්‍යවලින්. මේ සදහා ඉක්‌මනින් රුධිරගත වන සීsනි අඩංගු ආහාර ගත හැකියි. උදාහරණයක්‌ ලෙස ග්ලූකෝස්‌ වැනි දේ. නැතිනම් දොඩම් වැනි පානයන්. කෘත්‍රීම පානයන් භාවිත නො කරනවා නම් හොඳයි. ගම්බද පාසල්වලට නම් බොහොම පහසුවෙන් දෙහි, දොඩම්, පැෂන් වගේ පලතුරු පානයන් සාදාගන්න පුළුවන්. ක්‌ෂණිකව අවශ්‍ය වන මේ ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්න ආනමාලු වැනි කෙසෙල් ගෙඩියක්‌ කන්නත් පුළුවන්. ගමේ ගොඩේ ඕනේ තරම් කෙසෙල් ගෙඩි වර්ග සොයාගන්න පුළුවන්.

ඊළගට වැදගත් වන දේ තමයි ක්‍රීඩා කිරීමේ දී නිවැරැදි ඉරියව් අනුගමනය කිරීම. එමගින් බොහොමයක්‌ අනතුරු වළක්‌වාගන්න පුළුවන්. ඒ වගේ ම නිවැරැදි ඉරියව්ව එම ක්‍රීඩකයා ගේ උපරිම ජවය සහ හැකියාව ලබා දීමටත් හේතු වෙනවා. ලෝකයේ බොහොමයක්‌ රටවල් අද මේ පිළිබඳව පර්යේෂණ පවා සිදු කරනවා. එමගින් ක්‍රීඩාවේ උපරිමයට යැමටත් සමහර රටවලට හැකි වෙලා තියෙනවා. ඕස්‌ටේ්‍රලියාව වැනි රටවල මේ සදහා විශේෂිත පර්යේෂණ ආයතන පවා ඇති කරලා තියෙනවා. එමගින් අධි තාක්‌ෂණික ක්‍රමවේද භාවිත කරමින් ක්‍රීඩකයා ගේ උපරිමය ලබාගන්නේ කෙසේ ද යන්න අධ්‍යයනය කරනවා. ඔලිම්පික්‌ වැනි ලෝක මටමේ තරගවල දී මිලි තත්පරයක වෙනස පවා දිනුම තීරණය කරනවා. මේ පර්යේෂණ කරන පර්යේෂකයෝ පවසන්නේ මිලි තත්පරයක ඉක්‌මන පවා එනිසා වැදගත් බවයි.

ලංකාවේ නම් මේ තත්ත්වයට අපි තවම පැමිණිලා නැහැ. එනිසා බොහෝ විට අපේ ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය සඳහා තාක්‌ෂණයේ පිහිට ලබාගැනීම අඩු මට්‌ටමකයි තියෙන්නේ, හැබැයි ඒ සදහා ක්‍ෂේත්‍රයේ කිසියම් නැඹුරුතාවක්‌ තියෙන බව පේනවා. විශේෂයන් ම ක්‍රිකට්‌ වැනි තරගවල දී. පසුගිය දොහක විද්‍යා, තාක්‌ෂණ හා නවෝත්පාදන ලේකම් කාර්යාලය ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ තාක්‌ෂණයේ භාවිතය පිළිsබඳ දේශනයක්‌ පැවැත්වූවා. ඒ පිහිනුම් ක්‍රීඩාවේ දී මේ තාක්‌ෂණය භාවිතයෙන් අනතුරු අවම කරගැනීමේ සහ ජවය වැඩි කරගැනීමේ හැකියාව පිළිsබඳව. හවායි විශ්වවිද්‍යාලයයේ මහාචාර්ය ජෑන්ස්‌ මහතා තමයි දේශනය සිදු කළේa. ඒ අයුරින් හෝ යම් කිසි ආරම්භයක්‌ ලබාගැනීමට හැකි වීමත් සතුටක්‌.

කොහොම වුණත් අපේ දුවා දරුවන් ක්‍රීඩා කිරීමේ දී ඉහත කී දෑවලට අවධානය යොමු කරන්න ඕනේ. එපමණක්‌ නො වෙයි මවුපිය වැඩිහිටියනුත් සැම විට ම සැලකිල්ලලෙන් සිටීමෙන් අනතුරු අවදානම අඩු කරගන්න පුළුවන් වනවා. අවසානයේ දී මෙමගින් රැකෙන්නෙ රටේ අනාගතයයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Friday, 13 January 2017



පුරාවිද්‍යාව බහුවිධ විෂයක් වන අතර ලෝකය පුරා දැන් දැන් විවිධ විද්‍යාත්මක ක්‍රමවේදයන් මේ සදහා සීග්‍ර ලෙස භාවිතයට ගනිමින් සිටි. එමගින් පුරාවිද්‍යා විශ්ලේෂණ සහ අර්ථකථන නව නැම්මක් ඔස්සේ ඉදිරිපත් කිරීමටත් වඩා නිවැරදිතාවයකින් පුරාවිදු පර්යේෂණ සිදුකිරීමටත් හැකියාව ලැබී තිබේ. ශ්‍රී ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයටද නවතම විද්‍යාත්මක ක්‍රමවේදයන්හි ආගමනය සිදුවෙමින් පවතී. ලොවපුරා සිදුවන බොහොමයක් පර්යේෂණ සහ සොයාගැනීම් අන්තර් ජාතික සඟරා වල පලවන්නේ ඉංග්‍රීසි භාෂාවෙනි. එමෙන්ම එම තොරතුරු බොහොමයක් පලවන්නේ විද්‍යාත්මක සහ පර්යේෂණ ලේඛණ රටාවෙනි. එනිසා මේ පිලිබඳ උනන්දුවක් දක්වන ලාංකේය ජනතාවටත්, පර්යේෂකයන්ටත්, විශ්වවිද්‍යාලවල පුරාවිද්‍යාව හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ටත් සහ පාසල් දරු දැරියන්ටත් සරලව එම තොරතුරු ගෙන ඒම “විද්‍යා වින්දන” තුලින් සිදුවේවි.

මෙමගින් පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අදාල නවතම විද්‍යාත්මක සොයා ගැනීම්, පැහැදිලි කිරීම් සහ අධ්‍යාපනික තොරතුරු ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවේ.   

නියන්ඩතාල් මානවයාගේ මුතුන්මිත්තන්.....

වර්තමානයේ ස්පැනිෂ් ගල්ගුහාවෙන් හමුවූ පොසිල හිස්කබල් සමූහය මානව වංශ කතාවේ තවත් අපුරු සම්බන්ධයක් විදහා දක්වයි. ඒ නියන්ඩතාල් මානවයාට නෑකම් කියන එයට පෙර විසු ඔහුගේ මුතුන්මිත්තෙක් ගැනයි. සොයාගන්නා ලද හිස්කබල් 17 න් හෙලිදරව්ව් වූ කරුණු වලින් පැහැදිලි වන්නේ ඔවුන් නියන්ඩතාල් මානවයාට සමීප ලක්ෂණ පෙන්වන බවත් ඔහුට බොහෝ පෙර, ආසන්න වශයෙන් අවුරුදු 430 000 කට පමණ කාලයක විසූවන් ලෙසයි.  නියන්ඩතාල් මානවයාට සමීප නමුත් මිශ්‍ර ලක්ෂණ මගින් පෙන්නුම්කරන මෙම පොසිල, සංකීර්ණ සහ සෙමින් දීර්ඝ කාලයක් තිස්සේ නියන්ඩතාල් මානවයාගේ සිදුවූ විකාශනයකට කදිම සාක්‍ෂි බව කියා සිටින්නේ මෙම පර්යේෂණය සිදුකල ස්පාන්ඥ්ඥයේ මැඩ්රීඩ් විශ්වවිද්‍යාලයේ භූවිද්‍යා පීඨයේ පොසිල විද්‍යාඥ ජුවන් ලුවිස් අර්සුගා මහතායි.

උත්තරාර්ධ ගෝලයේ මීට අවුරුදු  200 000 කට පමණ පෙර සැරිසැරූ නියන්ඩතාල් මානවයා අවුරුදු 30 000-10 000 අතර කාලයකදී මිහිමතින් වඳව ගිය අතර සේපියන් මානවයාට බොහෝම ළඟ නෑකම් කියුවෙකි. යුරේසියා මහද්වීපයේ (යුරෝපය සහ ආසියා එකතුව) ශීත කාලගුණික තත්ව යටතේ සිටි මොවුන්, වර්තමාන සමහර විද්‍යාඥයන් විසින් සේපියන් මානවයාගේ උප විශේෂයක් ලෙසත් තවත් සමහරක් සේපියන් මානවයාගෙන් වෙන් වූ විශේෂයක් ලෙසත් හඳුන්වයි. ජාන විශ්ලේෂණ පර්යේෂණ වලට අනුව ඩි.එන්. . සමුච්චයන්ගේ වෙනස වන්නේ 0.12% පමණි. මෙතෙක් ලැබී ඇති පොසිල සාධක අනුව, මොවුන් බටහිර යුරෝපයේ සිට මධ්‍යම සහ උතුරු ආසියාව පුර පැතිර සිට ඇත.

ස්පැනිෂ් ගල්ගුහාවෙන් හමුවූ පොසිල හිස්කබල වල පෙන්නුම් කරන ඉදිරියට නෙරුණු දත් සහ නිකටයමක් තදින් අල්වා ගැනීමට සහ රඳවා ගැනීමට කල භාවිතය නිසා ඇති වූ විකරණ ලෙස පැහිදිලි වන බව තවදුරටත් පවසන මෙම විද්‍යාඥ්ඥයා පසු කාලින නියන්ඩතාල්ගේ ජීවනය සඳහා එය  මහත් උපකාරයක් වන්නට ඇතැයි නිගමනය කරයි. එමෙන්ම මෙම සාක්‍ෂි වලට අනුව මෙම හිස්කබල් සත්‍ය නියන්ඩතාල් ලෙස හදුන්වන මානවයාට පෙර සිටි තවත් මානව විශේෂයකට අයත් වන අතර මෙම දෙකොටසම එකම පූර්වජයකුගෙන් බිහිවන්නට ඇති බව විස්වාස කරයි. මෙවැනි විශේෂ තවත් බොහොමයක් නියන්ඩතාල් බිහිවන්නට මත්තෙන් ඉන්නට ඇතැයි විශ්වාස කෙරේ.

සේපියන් සහ නියන්ඩතාල් මානවයන්ගේ කපාල ධාරිතාව අනෙකුත් විශේෂ වලට වඩා වැඩි අතර එම ප්‍රමාණ චිම්පන්සියකුගේ මෙන් දෙගුණයක් පමණ වේ. නමුත් නියන්ඩතාල් ගේ කපාල ධාරිතාව සේපියන් ගේ කපල ධාරිතාවට වඩා වැඩිය. ස්පැනිෂ් ගල්ගුහාවෙන් හමුවූ පොසිල හිස්කබල වල කපාල ධාරිතාව මෙම විශේෂ දෙකටම වඩා අඩු බව විශ්ලේෂණ වලින් පැහදිලි වී ඇත. මෙලෙස කපාල ධාරිතාවල වෙනස ඇතිවන්නට අත්තේ එකිනෙකට වෙනස් ක්‍රියාදාමයක ප්‍රථිපලයක් ලෙස වන්නට ඇතැයි මෙම විද්‍යාඥ්ඥයා විශ්වාස කරන අතර සේපියන් මානවයාගේ ප්‍රගමනයටත් නියන්ඩතාල් මානවයාගේ වඳ වීමටත් හේතුවන්නට ඇතැයි උප කල්පනය කරයි..

මෙම මානව පොසිල ස්පැනිෂ්නම් වූ ගල්ගුහාවෙන් හමුවූවා සේම නියන්ඩතාල් මානව පොසිල බොහොමයක් හමු වී ඇත්තේද ගල්ගුහාවලිනි. ප්‍රථම නියන්ඩතාල් පොසිලය හමූ වුයේ 1829 එන්ගිස් නම් වූ බෙල්ජියමේ ගල්ගුහවකිනි. “නියන්ඩතාල්නාමය ස්ථාපිත වීමට හේතු වූයේද ජර්මනියේ ඩසල්ඩොෆ් ප්‍රදේශයේ නියන්ඩර්නම් වූ නිම්නයේ ගල්ගුහාවකින් 1856 දි හමු වූ පොසිලයකි. 1864 දී ඇන්ග්ලෝ-අයිරිෂ් භූ විද්‍යාඥයකු වන විලියම් කිංග් නැමැත්තා විසින් Homo neanderthalensisලෙස ද්විපද නාමකරණය යෝජනා කරන ලදී. 

තොරතුරු ලබාගත්තේ....

Arsuaga et al. Neandertal roots: Cranial and chronological evidence from Sima de los Huesos. Science 20 June 2014:  1358-1363.

Fossil Human Skulls Unearthed in Spanish Cave Shed Light on Neandertal Evolution. Popular Archaology.19June 2014. Vol. 15 06052014.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ



විශ්ව සංචිතය; මහා පිපිරුමෙන් ඔබ්බට

මෙම විද්‍යා ප්‍රබන්ධය මවිසින් 2015 වසරේදී ලියන ලද්දකි. මෙය ද විදුසර පුවත් පතෙහි පල විය.
----------------------------------------------------------------------------------------------------



මෙතරම්ම පසුබෑමකට මෙම ව්‍යාපෘතිය මෙතෙක් කලක් ලක් නොවුණි. වරින් වර විවිධ බාධක පැමිණියද ඒ සියල්ල සාර්ථකව විසඳාගැනීමට ආචාර්ය අරවින්ද සමත් විය. නමුත් මෙකල එය එසේ නොවේ. අභ්‍යවකාශ ව්‍යාපෘතියේ මූලිකත්වය රාජ්‍ය අනුග්‍රහය සහිතවම ආචාර්ය අරවින්ද ට ලැබුනේ ඔහු කෙටි කාලයකදී දක්වන ලද සාර්ථකත්වය ද පර්යේෂණ වලට දැක වූ ශුරතවය ද හේතුවෙනි. සිසිර තරණයේ දී යානා දියත් කිරීමේදීත් නැවත ගොඩ බැසීමේදීත් ඇතිවන කාල පමාව මෙයට අවුරුදු පහකට පෙර කිසිවක් දැන සිටියේ නැත. එනිසා අභ්‍යවකාශ සේවයේ නියතු සියලු දෙනාගේම ආයු කාලයෙන් සියයට පහක් අතුරුදහන් විය. එය ගණනය කිරීම සිදු කල හැකි වුයේද එයට හේතුවද විසඳුමද ආචාර්ය අරවින්ද සොයාගැනීමෙන් අනතුරුවය.

පාරභෞතික පරාමිතීන්ට අනුව මෙම දින කිහිපයේදී ඒකක 0.045 පමණ වූ මනෝකායික ක්ෂයවිමක් ඇති බව අද උදෑසන කරන ලද පරීක්ෂණයෙන් ඔහුට පැහැදිලි විය. නමුත් එය එතරම් සැලකිය යුතු දෙයක් නොවේ. දින කිහිපයක් නිදි නොමැති වූ විට එලෙස ශරීරයේ දීප්තිය අඩු වේ. නමුත් උදෑසන තමා යන්ත්‍රයට අතුලුවන විට යන්ත්‍රය දැක්‌ වූ ඒකක සමග ඔහුට එකඟ විය නොහැකි බව පසක් වූයේ ඒ අවස්ථාවේ තිරයේ දුටු වර්ණ රටාව නැවත සිහි කරන විටය. බාහිරයෙන්ම වූ කහ පැහැති තීරය දෙපොළකින්ම ඛණ්ඩණය වී තිබු අතර එම ස්ථාන වලින් දම් පැහැති වර්ණ දළු එලියට පැන තිබුණි. ශිශිර තරනයේ කාල පමාව නිවැරදිකරණයේ දී   භාවිත වන ක්ෂුද්‍ර තරංග ත්වාරකය කිහිප වතාවක්ම විසන්ඳි වීම මේ සදහා හේතුවක් විය හැකිදැයි යන සිතුවිල්ල ඔහුට පහළ විය. යාබද  කාමරයේ වූ ක්ෂුද්‍ර තරංග ත්වාරකයේ තැන්පත් වූ මෘදුකාංග දත්ත පරික්ෂා කිරීම සඳහා අරවින්ද නැගී සිටියේය.

නමුත් එළියෙන් ඇසෙන්නට වූ ඝෝෂාව  හේතුවෙන් අරවින්ද ප්‍රධාන දොර වෙත වේගයෙන් ගියේය. කාල තරණ යානයක් එළියේ වූ යානා ගොඩ බසින අංගනයට බැස තිබුනේය.

අරවින්ද අපේ සංඥා පද්ධතියේ ගැටළුවක් වගේ. මේ යානය එන බව දන්නේ නැහැ. තව පොඩ්ඩෙන් විශාල විනාශයක් වෙනවාප්‍රධාන සංඥා ඉංජිනේරු ජූඩ් වේගයෙන් පවසා සිටියේ අතිශය තැති ගත් විලාශයෙනි.

මොකද මේ එක පාරටම..” අරවින්ද ද විශ්මයට පත් විය.

ඒක තමයි මටත් හිතාගන්න බැහැ. අද උදෙනේ මේ යන්ත්‍ර සියල්ල මම පරික්ෂා කරලා බැලුවේ. කිසිම වැරද්දක් අහුවුනේ නැහැ

එය එසේ විය නොහැක. සංඥා පද්ධතියේ නිවැරදිතාවය මේ දක්වා සීරුවට තිබුණි. හදිසියේම කුමක් වන්නේ ද යන්න වටහා ගත නොහැක. සංඥා පද්ධතිය සම්පුර්ණයෙන්ම ගොඩ නැගී තිබුනේ අධි තාක්ෂණික සුක්ෂම සර්වකාලින කාලමාන දෘඩකාංගයෙනි. ක්වන්ටම් තාක්ෂණය අභිබවා ගිය මෙම නවතම තාක්ෂණයේ නිවරැදි බව පිලිබඳ අමුතුවෙන් සිතිය යුතු නොවේ. විශ්වයේ ප්‍රසාරණයේ අවස්ථා නමයකදිම ඇතිවූ වේග සංකෝචනය මනාව සනිටුහන් කරගන්නට හැකි වුයේ ද මෙමගිනි. එකිනෙක වෙතින් ඈත් වෙන මන්දාකිණි පද්ධති වෙත සිදු කරන්නාවූ සිසිරතරණ චාරිකාවල කාලදිගුවේ නිත්‍ය බව පවත්වාගෙන යන්නට හැකි වුයේද මෙම තාක්ෂණය යොදා ගැනීමෙනි.

නරකද සමැන්තා එක්ක ගිහින් මේ ගැන අයෙත් හොයා බලන එක... මම ඒ අතරේ මෘදුකාංග දත්ත ගැන බලන්නං.”

පැවසු අරවින්ද ආපසු හැරුණේ ක්ෂුද්‍ර තරංග ත්වාරක යේ මෘදුකාංග දත්ත පරික්ෂා කිරීම සදහායි.

-------------------------------------------------------
මහා පිපුරුමත් සමග ඒක රාශි වූ ශක්තිය වේගයෙන් පදාර්ථ බවට පත් වීමේ ක්‍රියාවලියේ දී ශක්ති හානියක් වන්නේද යන්න මෙතෙක් කලක්  ගැටළුවක් ව තිබුණි. විසි එක්වන ශතවර්ෂයේ අග බාගයේ දී නිව්ටන්ගේ නියමයන් අනුගමනය නොකරන අවස්ථා ඇති බව සිසිරතරණ චාරිකා වලදී සොයාගත හැකිවුවද පැහැදිලි කිරීම් ඉතා මතබේදාත්මක විය. මහා පිපිරුම ආරම්භයේ ඉතා අධික තාපයක් පිටවීම එක් හේතුවක් ලෙස දැක්‌ වුවද ඒ සදහා විද්‍යාත්මක සාක්‍ෂි අපැහැදිලි විය. විසිවන ශතවර්ෂයේ මුල ආරම්භ වූ දරුණු කාලගුණික වෙනස්කම් විසිඑක්වන ශතවර්ෂයේ අගබාගය වන විට ස්ථායි වීම ද ශක්ති හානියේ ප්‍රතිපලයක් විය හැකි බව ලෝක කාලගුණික කේන්ද්‍රය ප්‍රකාශයට පත් කලද භෞතික විද්‍යාඥයින් එය පිළිගැනීමට මැලි කමක් දැක් වීම ලෝක බලවතුන්ගේ දේශපාලනික බිඳවැටීම් වලට පවා හේතු විය. අවසානයේ ආසියාතික රටවල පාරභෞතික විද්‍යාඥයින්ගේ එකමුතුව මේ සදහා විසඳුමක් ලෙස සංකීර්ණ පර්යේෂණ පද්ධතියක අවශ්‍යතාවය පෙන්නුම් කල අතර සියල්ලන්ගේ ම ආශිර්වාදයෙන් සර්වකාලින කාල පර්යේෂණ ව්‍යාපෘතියස්ථාපිත කෙරුණි. ඒ සඳහා සෑම රටකින්ම මුදල් ආධාර සහ විශේෂ ප්‍රගුන්‍යයෙන් හෙබි විද්වතුන් ගේ සහායද ලබා දීමට එකඟ වීම එක්තරා ආකාරයකට ලෝක සාමය පවත්වා ගැනීම සම්බන්දව නව ප්‍රවනතාවයක් ඇති විය. එහිදී සුවිශේෂි කාර්යබාරයක් ඉටු කරන ලද්දේ ශ්‍රී ලංකික විද්‍යාඥයෙකු වූ ආචාර්ය අරවින්ද රාජසිංහ විසිනි. ශ්‍රී ලංකික විද්‍යාවේ මෑත කාලයේ ඇතිවූ අතිශය දියුණුව මෙමගින් ලෝකයට පැහැදිලි වූ අතර එය බොහොමයක් ලාංකික විද්වතුන්ට මෙම ව්‍යාපෘතිය හා සම්බන්ද වීමට හේතුවක් විය. විසි දෙවන ශතවර්යේදී ආචාර්ය අරවින්දට ලෝක සාමය උදෙසා වූ නොබෙල් ත්‍යාගය හිමි වුයේද සර්වකාලින කාල පර්යේෂණ ව්‍යාපෘතිය යෝජනා කිරීමේ මූලිකයා වීම ම පමණක් නොවේ. එම ව්‍යාපෘතිය පවත්වාගෙන යාමේදී සිදු කල ඉතා වැදගත් සොයාගැනීම් මගින් ලෝකය නව මාවතකට යොමු කිරීමද ඒ සඳහා බෙහෙවින් ම බල පෑ බව නොබෙල් ත්‍යාග ප්‍රදානෝත්සව මහා සමුළුවේදී පැහැදිලි කරන ලදී.

ශ්‍රී ලාංකේය භුමි භාගය සහ ඒ අවට ඉතා අධික ප්‍රති ආකර්ෂිත බල ක්ෂේත්‍රයක් ඇති ව තිබීම නිසා අභ්‍යවකාශයට අජීවී භාණ්ඩ ප්‍රවාහනය සිදු කිරීම සදහා වඩාත් යෝග්‍ය ස්ථානය ශ්‍රී ලංකාව බව ට තහවුරු වූයේ මේ අතරතුරය. අනතුරුව සියල්ලන්ගේම ඒකමතික කැමැත්තෙන් ඒ සඳහා වූ අභ්‍යවකාශ ප්‍රවාහන මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ පිහිටවුණි. එනිසාම එක්සත්ජාතීන්ගේ සංගමය ශ්‍රී ලංකාව ලෝක උරුමයක් ලෙස නම් කිරීමට ගත් තීරණය ප්‍රශංසා සහගත විය. එය පළමු වතාවට රටක් ලෝක උරුමයක් ලෙස නම් කෙරුණ අවස්ථාව වීමද තවමත් එලෙස නම් කෙරුණ එකම රට වීමද සුවිශේෂී කාරණයකි.මේ සියල්ලට හේතු වූ බුදු දහමින් සුපෝෂිත ජනතාවක්‌ බිහිවීම, ශ්‍රී ලංකාව ලෝක ජනතාව අතර දිදුලන්නට මං පෑදූ බව ලොවට නොරහසක් විය.

විසිවන ශතවර්ෂයේ දී සංකල්පයක්ව පැවති දූරප්‍රවාහක තාක්ෂණය බලාත්මක වීම අජීවී භාණ්ඩ ප්‍රවාහනය පහසු කර විය. පදාර්ථය ශක්තියටද නැවත පදාර්ථයට ද පත්කිරීමේ මූල ධර්මය මූලික කරගත් මෙම තාක්ෂණය බලගැන් වුයේ  ප්‍රබල ක්‍ෂුද්‍ර අංශු ත්වරකයකිනි. එමනිසා භාණ්ඩ ප්‍රවාහක අභ්‍යවකාශ නැව් දියත් කිරීම අනවශ්‍ය විය. එනිසා බොහොමයක් අභ්‍යවකාශ නැවතුම් පළවල් සහ පර්යේෂණ මද්‍යස්ථාන ගොඩනැගීම පහසු විය. විසිවන ශතවර්ෂයේ තැනුණ හබල් දුරේක්ෂය වැනි දුරේක්‍ෂ දහස් ගණනක් අභ්‍යවකාශයේ රඳවන්නට මේ නිසා හැකි විය. එම දුරේක්‍ෂ හබල් මෙන් දහස් ගුණයකින් ප්‍රබල විය. ඉතා දුරින් පිහිටි පරමාණු වලින් තැනුණු සිලිකන් වාෂ්පයෙන් මෙම දුරේක්‍ෂ වල කාච නිර්මාණය වූ අතර එනිසා ඉතා පහසුවෙන් නාභිගත කිරීමට ද සමමිතික සේයා රූ ලබා ගැනීමටද හැකි විය. කොටින්ම විශ්වයේ තත් කාලින චලන මැනවින් ග්‍රහණය කරගන්නට හැකි විය.

අජීවී භාණ්ඩ ප්‍රවාහනය සදහා යොදාගත් දූරප්‍රවාහක තාක්ෂණය ජීවින් ප්‍රවාහනය සදහා යොදා ගැනීම තරමක් අසාර්ථක වුයේ එසේ ප්‍රවාහනය කරන ලද ජීවින් හිටි හැටියේම අදාළ ගමනාන්තයට ලඟා නොවී අතුරුදහන් වීමයි. වඩාත් පැටලිලි සහගත වුයේ ඔවුන් යවන ලද්දා වූ මාර්ගයේ කිසිම තැනක නැවත හමු නොවීමයි. ගමනාන්තයට නොගියේ නම් නැවත මූලාරම්භයට පැමිණිය යුතු වුවද ප්‍රයෝගිකව එසේ නොවීම මෙම තාක්ෂණය යොදා ගැනීම පිළිබඳව වඩාත් ගැටළු සහගත විය. මේ නිසා ජීවී ප්‍රවාහනය පාර හෞතිකයේ නිම වළලු පුළුල් කල අගය වැඩි කල සිතුවිලි තරංග භාවිතයට ගත් අතර ඒ සදහා විශේෂ ප්‍රගුන්‍යයෙන් හෙබි මිනිසුන් අභ්‍යවකාශ නැවියන් ලෙස යොදා ගැනුණි.

----------------------------------------------------------------------
සස දුරේක්ෂයෙන් ලැබුණ විශ්ව චලිත රටා වල වෙනසක් තියෙනවා වගෙයිසමැන්තා ගේ ටෙලිපති තරංඟ ග්‍රහණයෙන් අරවින්දට හැඟුනි.

මොකද විශ්ව චලිත රැලි එක ළඟට වුනේ..?” අරවින්ද ද තමාගේ ටෙලිපතිය ක්‍රියාත්මක කළේය.

හිතා ගන්න බැහැ අරවින්ද..එත් මට හිතෙනවා අපි මෙච්චර කල් අත්විදපු නැති දෙයක් කියලා මේක. හැබැයි විශ්ලේෂණය කරන්න කලින් මම කියන්නේ ..විශ්වයේ ප්‍රසාරණ වේගය එකපාරටම වැඩි වෙලාද කියලා

ඇයි එහෙම කියන්නේ..? ඒක වෙන්නේ කොහොමද මේ වේගය අඩුවෙමින් යන වෙලාවේ

ඒක තමයි මටත් තියෙන ගැටලුව 

විශ්ව චලිත රැළි වල රටාව මගින් විශ්වයේ චලිතය මනාව අධ්‍යනය කිරීමට වර්තමානයේ දී සර්වකාලින පර්යේෂණ ව්‍යාපෘතියට හැකි වූ අතර එමගින් විශ්වය සංකෝචනය වන බව නිශ්චිතව සොයාගැනුනි.

විශ්ව චලිත රැළිවල පළල ක්‍රමයෙන් වැඩිවන බවත් එය සංකෝචනයේ පෙරනිමිත්තක් බවත් අරවින්දට මතක් වුයෙන් තත් කාලීන අවකාශය ද එසේ විය යුතු බව වැටහුණි. නමුත් මේ සිදුවන්නේ එයට ප්‍රතිවිරුද්ද සංසිද්දියකි. එකවරම අරවින්දට මෙනෙහි වුයේ පසුගිය කාලයේ හිතට වද දුන් ගැටලුව වන විශ්වය තනි වී ඇත්ද යන්නයි. ප්‍රසාරණයෙන් ආරම්භ වන විශ්වය සංකෝචනයෙන් නැවත තමා විස්ථාපිත පදාර්ථයේ වූ ශක්තිය ඒක රාශි කරමින් ගුලි ගසන්නට පටන්ගනී. අවසානයේ කාලය ද ශක්තිය තුල ම ගුලි ගැසෙන අතර කාලය පිලිබඳ දැනට අප තුල ඇත්තාවූ හැඟීම අවසාන වන බව පිළිගැනිම දුෂ්කර බව ඔහුට වරින් වර සිතුණි.  ප්‍රසාරණයේ දී ඇතිවන සහ සංකෝචනයේ දී නැතිවන කාලය ට අමතරව අප ග්‍රහණය නොකල යම් මානයක්‌ ඇති වා දැයි ක්ෂණිකව අරවින්දට හැඟුනේ මෙම විශ්ව චලිත රැළි වල වේගය වැඩි වීම පිලිබඳ දැන ගැනීමෙන් පසුවයි. මහා පිපිරුමට පෙර ඇත්තේ හෝ සංකෝචනයට පසු උදාවන්නේ විශ්වයේ කුමන තත්වයක් ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් සංකෝචනයෙන් පසු නැවත විශ්වය ප්‍රසාරණය වන බව නියතය. ඒ අතරතුර සිදුවන්නේ කුමක් ද..? හකුලුවාගත් ගත් කාලයත් සමග එක් ලක්ෂීය වූ ශක්තිය නැතිනම් හැකිලුන විශ්වය කෙසේ හැසිරේද යන්න  ගැටලුවකි. විශ්ව විනාශය අප හමුවේ ඇති ප්‍රබල අභියෝගයකි. 

අරවින්දට නැවත යානා අංගනය වෙත යාමට සිත් විය.

ජූඩ් ඔය පැත්තේ තත්වේ මොකද..?”
එලියට යාමට පෙර අරවින්ද ජූඩ් ගෙන් විමසීය.

ඔක්කොම පරික්ෂා කරලා බැලුවා. දැනුයි ඉවර උනේ. කිසිම වැරද්දක් හොයාගන්න බැහැ. සර්වකාලින දෘඩකාංගය ඉතා හොදින් වැඩ කරනවා.”

කිසිම වෙනසක් නැහැ ?”  

හැබැයි අපිට යානා මාර්ග ගවේෂණ මෘදුකාංගයහරහා ලැබුන පින්තුර වල අතර මැද ජීවින් ගේ රූ සටහන් කිහිපයක් සලකුණු වෙලා තියෙනවා.”  

මොනවා..?” අරවින්ද විශ්මයට පත් විය.

පුදුම හිතෙන දේ නම් ඒවා සියල්ල ජීවී දූරප්‍රවාහකයෙන් යැවීමේදී නැතිවුන සතුන්ගේ ජූඩ් පැවසුවේය.

ඇත්තටම පුදුමයි තමයි. ඒ පින්තුර සහ ප්‍රවාහන වාර්තා සියල්ල මගේ දත්ත ගබඩාවට එවන්න.” පවසමින් අරවින්ද යානා අංගනය වෙත යාම පසෙක තබා නැවත තමාගේ විද්‍යාගාරය කරා ඉක්මනින් පා තැබුවේය.

------------------------------------------------------------------------
ගත වූ දෙසතිය නං ආචාර්ය අරවින්දට බොහෝ වෙහෙසකර එකක් විය. නිදානොගත් තරම්ය. වරින් වර ආතතිය නිදහස් කරන ව්‍යායාම වල යෙදීමෙන් පහසුවක් ලබා ගත් නමුත් සම්පුර්ණ ප්‍රතිපුරණය ලද්දේ ඛණිජලවන සහ ග්ලුකෝස් මිශ්‍රිත සුවිශේෂී පානයෙනි. භාවනායෝගීව ගත කල පැයක කාලය නිදාගැනීමේ අවශ්‍යතාවය බොහෝ දුරට අඩු කරන ලැබීය. 

ඔක්කොම සුදානම් ද..?”
අරවින්ද තම සහායක සඳරුවන්ගෙන් විමසුයේ සිදු කිරීමට නියමිත තමාගේ කතාව ප්‍රක්ෂේපන යන්ත්‍රයෙන්  හතරවෙනි වතාවටත් පරික්ෂා කරමිනි. කිසිම වැරද්දක් නැතැයි තහවුරු වූ පසු ප්‍රක්ෂේපන යන්ත්‍රය නිවා දැමු ඔහු රැස්වීම් ශාලාවට යාමට පිටත් විය. සහායක ද අරවින්ද අනුගමනය කළේය.

ශාලාව පිරි තිබුනේ සර්වකාලින පර්යේෂණ ව්‍යාපෘතියේ විද්‍යාඥයින්ගෙන් පමණක් නොවේ. විශ්වයේ සම්භවය පිළිබඳ උනන්දුවන විද්‍යාඥයින් ද, ජීවයේ සමභවය පිලිබඳ පර්යේෂණ සිදුකරන විද්‍යාඥයින් ගෙන්ද, අභ්‍යවකාශ තාක්ෂණ ඉන්ජිනේරුවන් ද පමණක් නොව විද්‍යා පුවත් සැණෙකින් ලොවට හෙළි කරන මාධ්‍යවේදින්ගෙන්ද රැස්ව සිටි පිරිස සමන්විත විය. එයට අමතරව ලෝ බලවතුන්ගේ රටවල් (පැරණි) නියෝජනය කරමින් තානාපතිවරු රැසක් එහි විය.

අරවින්ද ශාලාවට ඇතුළුවත්ම සියලු දෙනාම නැගී සිටි අතර උණුසුම් ලෙස අත්පොළොසන් දෙමින් ඔහුව පිළිගන්නට වුයේ නොබෙල් ත්‍යාගය ලත් ලාබාලතමයා වීම ම පමණක් නොවේ. ඒ ඔහු මානව සංහතිය කිහිපවතාවක්ම දරුණු ව්‍යවසන වලින් බේරා ගැනීමට ඇපකැප වූ නිසාවෙනි. සියල්ල සන්සුන් වීමටද මත්තෙන් ලෝක විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති මහාචාර්ය නොයෙල් එඩ්ගාර් තම පර්යේෂණ සගයා වූ ආචාර්ය අරවින්ද වැළඳ ගෙන පිළිගත්තේය.

ලෝක ඉතිහාසයේ අද දිනය ඉතා වැදගත් දිනයක් නොඅනුමානයි. ඒ කවර නිසාද යත් ආචාර්ය අරවින්ද්ගෙන් අපට මෙතුවක් කල් ප්‍රශනයක් ව පැවති මහා පිපිරුමෙන් ඔබ්බට වන්නේ මන්ද යන්න සදහා වඩාත් තාර්කික පිළිතුරක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බැවිනි

සහතිකයි මේ පිළිබඳව ඔබ කිසිවක් නොදන්න බවයැයි මහාචාර්ය එඩ්ගාර් පැවසුවේ ශාලාව තුලින් විශ්මය පළ කිරීම හේතුවෙනි.

නැවතත් එකවරම ඉතා උද්වේගකර අත්පොලසන් නාදයක් මතුවිය.

එම සුභ දායක ආරංචිය පැවසීමට සහ පර්යේෂණ වාර්තා ඉදිරිපත් කිරීමට ආචාර්ය අරවින්දට මා මෙතනට ආරාධනා කරනවා

පසෙකින් වූ ආචාර්ය අරවින්ද ප්‍රක්ෂේපන යන්ත්‍රය ක්‍රියාත්මක කරත්ම ශාලාව නැවතත් නිස්ශබ්ධ ද විය.

තිරයේ දිස් වුයේ තාරකා මණ්ඩල වල තිඹිරි ගෙය වන නෙබුලාවක සේයා රුවකි.

අපි දැනටමත් දන්නවා විශ්වය නැවත හැකිලෙන බව. පසුගිය වර්ෂයේදී පමණ අපට ලැබුන සමහර දත්ත වලින් මේ කතාන්දරය ට නොගැලෙපන අවස්ථාවන් ගණනාවක්ම නිරීක්ෂණය කළා. ඒ කියන්නේ නැවත විශ්වයේ ප්‍රසාරණ වේගය වැඩි වූ අවස්ථා ගැන. මේ බව අපි හොඳටම නිරීක්ෂණය කලේ සිසිරතරණ ගමන් වලදී සිදු වූ කාල පමාව ගැන කරපු පර්යේෂණ වලින්. හැබැයි ඒක ගමන් වලට ප්‍රශ්නයක් උනේ නැහැ. නමුත් අපගේ එදිනෙදා වැඩ කටයුතු මේ නිසා කිසියම් ප්‍රමාණයකට අඩපණ වුණා කිව්වොත් නිවැරදියි.”

නමුත් අපි සැක කරපු දේ වඩාත් ප්‍රබලව අත් වින්දේ සති දෙකකට කලින් පමණ වූ සිදුවීමකින්. ඒ කාල තරණ යානාවක්‌ අප සිතුවාටත් වඩා කලින් ගමනාන්තයට ලං වීමෙන්. මෙවැනි සිදුවිම් ගණනාවක් ලෝකයේ අනෙකුත් අංගන වලින් පසුව අපට වාර්තා වුනා. අප සිතුවේ අපේ පද්ධතියේ දෝෂයක් කියලා.”

ඒ වුනාට අපි දිගින් දිගටම පැරණි වාර්තා විශ්ලේෂණය කළා. වේගවත් විශ්ලේෂණයකට අප නිර්මාණය කල සර්වකාලින කාල චක්‍ර මෘදුකාංගය බෙහෙවින් ම ඉවහල වුණා.”

ඒ විතරක් නොවෙයි අප සිතුවෙත් නැති විදියට දූරප්‍රවාහක පර්යේෂණ සදහා යොදාගත්, එහිදී අන්තර්දාන වූ සතුන්ගේ සේයා රූ සමූහයක් අහම්බෙන් අපේ යානා මාර්ග ගවේෂණ මෘදුකාංගයේ සටහන් වී තිබුණා

මේ සියල්ල එකට බැඳී ඇතැයි මට සිතුන නිසා පසු ගිය සති දෙකක කාලයේ අපි ඉතා සුක්ෂම ව දත්ත විශ්ලේෂණය කරලා අවසන් නිගමනයකට ආවා”.

එමනිසා මම හිතනවා මහා පිපිරුමෙන් ඔබ්බටයාමට අපට හැකි වුනා කියලා

ශාලාවේ සියලුම් දෙනා නැවතත් විශ්මය දනවන ශබ්ද නිකුත් කල අතර සමහරු ඒ කෙසේදැයි මහා හඬින් විමසා සිටියා.

ඔවු මම ඒක කියන්න තමයි හදන්නේ ..ඒත් ඊට කලින් තවත් දෙයක් කියන්න තියෙනවා..ඒ තමයි අපට සත්‍ය ලෙසම පවතින අප කෙදිනකවත් නොසිතපු සමමිතික විශ්වයක් අප විශ්වය හා බැඳී පවතින බව

මොනවා සමමතික විශ්වයක්...! ඒ කොහොමද...??”

ඒ කියන්නේ අපේ විශ්වය හා චලනය වන මේ හා සමාන එකක් ද ? මහාචාර්ය නොයෙල් එඩ්ගාර් ද වික්ෂිප්තව විමසා සිටියා .

ඔවු ..! හරියටම හරි...!

නමුත් විශේෂත්වය තමයි එය චලනය වන්නේ ප්‍රතිවිරුද්ධ අතට...!  ඒ කියන්නේ මෙය ප්‍රතිවිශ්වය ලෙස හදුන්වන්න පුළුවන්”.

අපට පැහැදිලි නැහැ...! ශාලාව තුලින් බොහෝ කටහඩ නැගුණි.

බොහොම සරලව කිව්වොත් අපේ විශ්වය ප්‍රසාරණය වෙනකොට ප්‍රතිවිශ්වය සංකෝචනය වෙනවා. අපේ විශ්වය සංකෝචනය වෙනකොට ප්‍රතිවිශ්වය ප්‍රසාරණය වෙනවා”.

එක නිසා තමයි ප්‍රසාරණය වන් අවස්ථාවේ දී සමහර මන්දාකිණි මැරී යන්නේත්, ඒ වගේම සංකෝචනය වන විට සමහර මන්දාකිණි ආරම්භ වන්නේත්. ඒ විතරක් නොවෙයි ප්‍රතිවිරුද්ද චලන නිසා සමහර අවස්ථාවල විශ්ව චලන රැළිති වල රටාව බිඳ වැටෙන්නේ. අප දූරකාල ප්‍රවාහකයෙන් යවපු සමහර සතුන් සමමිතික ප්‍රතිවිශ්වයේ චලන රැළි වලට අහුවුන නිසයි අන්තර්දාන වුනේ . ඔවුන් ප්‍රතිවිශ්වයේ සමහර මන්දාකිණි වල මතුවෙලා ඇති

එතකොට මේක කොහොමද මහා පිපිරුමෙන් ඔබ්බට වෙන්නේ..? කොහොමද ප්‍රතිවිශ්වය ඒකට සම්බන්ද වෙන්නේ. ...??”

දෙතුන් දෙනෙකුම එකවරම ප්‍රශ්ණ කෙරුවෝය.

මේ ක්‍රියාවලිය නිසා මට තේරුණ දේ තමයි ප්‍රතිවිශ්වය පැවතීම යනු අප නොදන්නා මානයක් ඇති බව තහවුරු කිරීම.”

එය විශ්ව සංචිතයක් ඇති බවට පණිවිඩයක් ගෙනෙනවා..! ඒ කියන්නේ මහාපිපිරුමෙන් ඔබ්බට සහ සංකෝචනයෙන් පසු අප අද දකින කාලය සහ අවකාශය මෙන් වෙනස් මානයක බොහෝ විශ්වයන් පවතින බව. අප විශ්වය ඉන් එකක් පමණි

එනම් අපගේ විශ්වය ද තනි වී නොමැති බවයි  


----------------නිමි--------------------

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...