ග්‍රීෂ්මය නිමා කරමින් වැසි ඇදහැළෙන්නට පටන් ගත් නිසා පරිසරය සිසිල් වෙලා. ගහ කොළ අතපය දිගහැරලා ප්‍රාණවත් වෙමින් ඊළඟ වර්ධන සංග්‍රාමය පටන්ගන්න ලහි ලහියේ සුදානම් වෙමින් ඉන්නේ. වියළුණු පත්‍ර අතර සැඟවිලා තිබුණු බීජ ක්‍රමයෙන් ජලය උරාගෙන බීජාවරණ මොළොක් කරන්නේ ඒ අතර සුරැකි අනාගත ජීවය මෙලොවට පහළ කරන්නටයි. වැඩි කාලයක් යන්නට මත්තෙන් බීජාවරණ දෙපලු කරගෙන නැවුම් අංකුර මතු වන්නේ තාවකාලිකව පෝෂණය සපයන බීජ පත්‍රත් සමගයි. එළියට විහිදුණු අංකුර ක්‍රමයෙන් වර්ධනය වෙමින් කුඩා පත්‍ර බිහි කරන අතර හරිතප්‍රද නිපදවමින් ප්‍රභා ශක්‌තිය තිර කරන්නට පටන් ගන්නවා. ඒ තවත් ප්‍රභාසංශ්ලේෂී පරපුරක ඇරඹුමයි.
වත්මනෙහි ලොව දියුණු ම ශාක රාජධානිය වන සපුෂ්ප ද්විබීජපත්‍රී ශාක ඉතා සාර්ථකව ගොඩබිම ජය ගත් අයයි. මොවුන් තම "දරු පරම්පරාව" බිහි කිරීමේ දී නොදියුණු ශාකවලට ඇත්තා වූ ජල අවශ්‍යතාවෙන් සම්පූර්ණයෙන් ම මිදී තිබෙනවා. පරාගණය නම් වූ අපූරු ක්‍රියාදාමයක් ඔස්‌සේ ජාන සම්මිශ්‍රණයට පෙලඹුණු මේ ශාක පරාග පතනය සඳහා කදිම වේදිකාවක් කලංකය නිර්මාණයෙන් තනා තිබෙනවා. පතනය වූ පරාගයේ වර්ධනය වේදිකාව මතින් ම ඇරඹෙන අතර දිගු කීලය ඔස්‌සේ පරාගයේ වූ න්‍යෂ්ටිය
රැගෙන යන්නේ පරාගයෙන් නිර්මාණය කරන්නා වූ නාළය මගින්. ඩිම්බකෝෂ මස්‌තකයට සවි වූ කීලයේ පහළ කෙළවරින් විනිවිද යන එම නාළය ඩිම්බ හා සම්බන්ධ වෙමින් සංසේචන ක්‍රියාවලිය අවසන් කරනවා. සරල වූත් විස්‌මයජනක වූත් මේ ක්‍රියාවලිය හේතුවෙන් දියුණු සපුෂ්ප ශාක ලිංගික ප්‍රජනනයේ දී අවශ්‍ය වන ජලය සැපිරීම පරාග නළයට පමණක් සීමා කිරීම ඔවුනට ගොඩබිම ජයගැනීමට හේතු වූ ප්‍රධාන ම සාධකයයි.
ලෝකයේ අස්‌සක් මුල්ලක් නෑර ව්‍යාප්ත වූ මේ ද්විබීජපත්‍රී ශාක අපට විවිධාකාරයෙන් උපකාරී වනවා.
ඉහත කී කරුණු කාරණාත් සමග මා ගේ මතකයට නැෙගන්නේ අප පාසලේ වූ දැවැන්ත සියඹලා ගසයි. උදයෙන් ම පාසලට යැමට පුරුදු වී සිටි මා යහළුවන් එන තුරු බොහෝ විට රැඳී සිටියේ මේ ගස මුලයි. එනිසා එහි දිනෙන් දින සිදු වන වෙනස්‌කම් නිරීක්‌ෂණයට කදිම අවස්‌ථාවක් මා හට උදා වුණා. කුඩා නමුත් ළං වී සුපරීක්‌ෂාකාරීව බැලූ විට ඉතා අලංකාර පුෂ්පයක් සියඹලා ශාකයට තිබෙන බව දකින්නට පිළිවන්. සැම අතු අගිස්‌සක ම මල් හටගන්නා අතර සම්පූර්ණ ගස ම මලින් වැසී ගිය පසු එය කදිම දසුනක් මවනවා. ටික දිනකින් ගහ යට පර වූ මලින් වැසී යන අතර පරාගනයේ ප්‍රතිපලය ලෙස ඉතා කුඩා පල හට ගැනීම නිරීක්‌ෂණය කළ හැකි වනවා. කාලයත් සමග දිගට ඇදෙමින් විශාල වන පල, කරලක් ලෙස අපට දිස් වනවා. කරල් පැහෙනා කාලය වන විට නම් පහත අතු අතර කිසිදු කරලක් සොයාගැනීමට හැකි වන්නේ නැහැ. ඒ සියලු අමු කරල් පාසලේ සිසුන් විසින් කා දමනු ලබන නිසා. කෙසේ වෙතත් අස්‌වැන්න අවසානයේ කුණු වූ කරල්වලිනුත්, බිමට වැටුණු කරල්වලිනුත් නිදහස් වන බීජ ගස අවට ප්‍රදේශය පුරා විසිරී තිබෙනු දක්‌නට ලැබෙනවා. වර්ෂා කාලය එළඹෙත් ම සියඹලා බීජ පැළ වන්නට පටන් ගන්නවා. එහෙත් මා ගේ පාසල් කාලය තුළ නම් කිසිදු පැළයක් ඒ විසල් සියඹලා ගස යට නම් වැඩෙනු දුටුවේ නැහැ.
සියඹලා ගස වැඩෙන්නේ බොහෝ විට වියළිs කලාපයේයි. එහෙත් මෙය තෙත් කලාපයේත් හොඳින් ම වැවෙන්නක්. අතුපතර විහිදා වැඩෙන නිසා මේ ශාකය සෙවණක් ද සිසිලසක් ද ගෙන දෙනවා. සියඹලා කරලෙන් ද ලැබෙන්නේ එවැනි ම වූ සිසිලසක්. හොඳින් වියළුණු කරලේ මදයෙන් අපූරු පානයක් සකස් කරගත හැකි අතර එය අප ගේ ගත සිත නිවා දමන්නට සමත්. ආමාශය ආශ්‍රිත රෝග නිවාරණයටත් අජීරණවල දීත් ආහාර රුචිය වැඩීමටත් මේ සුදුසු බව අත්දුටු දෙයක්. බොහෝ විට දෛනිකව ආහාර පිසීමේ දී අඩුම කුඩුම ලෙස අප සියඹලා යොදාගන්නේ එනිසා ද විය හැකියි. මේවා අතීතයේ සිට ම අක්‌ෂි රෝගවල දී ඇස් සේදීම සඳහා යොදාගන්නා බව ද සඳහන් කළ යුතුයි.
මෙවැනි ම වූ බෙලි, දිවුල්, අනෝදා, ගොරකා වැනි බොහොමයක් ශාකවල විවිධ ප්‍රයෝජන ගැන අප ගේ මුතුන් මිත්තන් මනාව දැන සිටි බව නොරහසක්. එපමණක් නො ව පරිසරයේ වැඩෙන සැම පැළෑටියක ම, ශාකයක ම කුමන හෝ වැදගත්කමක් පැවතුණා. එය ආහාරමය හෝ ඖෂධමය හෝ විය හැකියි. එනිසා ම ගෙවත්තක වූයේ වල්පැළ නො ව බෙහෙත් වර්ගයි. සම්මිශ්‍රණය හොඳින් ප්‍රගුණ කළ අප ගේ මුතුන් මිත්තන්ට මනා සෞඛ්‍යයක් පවත්වාගැනීම අපහසු කාර්යයක් වුණේ නැහැ.
මෙවැනි වූ දේශීය දැනුම ජනතාව අතර එලෙස පැතිර පැවතීම විටෙක පුදුමය දනවනසුලුයි. වසර සිය ගණනක් හෝ දහස් ගණනක් තිස්‌සේ ප්‍රායෝගික පරීක්‌ෂණවලට ලක් වී ප්‍රත්‍යක්‌ෂ වූ මේ ආකාරයේ දැනුම ඉතා වැදගත්. බොහෝ දෙනකු ගේ නිරීක්‌ෂණ සහ අත්දැකීම් මත ස්‌ථාපිත වූ මේ දැනුම විටෙක බටහිර විද්‍යාවටත් අභියෝගයක්. සත්‍ය ලෙස ම සලකා බැලුව හොත් බටහිර විද්‍යාවේ පරීක්‌ෂණ, නිරීක්‌ෂණ සහ නිගමන මතින් තහවුරු වන අකාරයට ම හෝ සමහර විටෙක ඉන් ඔබ්බට ද ගිය සුවිශේෂී ක්‍රමවේද ඔස්‌සේ සකස් කරගත් මේ දැනුම අප සංස්‌කෘතියට ආවේනිකයි. ශ්‍රී ලාංකිකයන් ලෙස අප අමතක නො කළ යුත්තේත් එය මයි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ