2015 ජුලි 01 බදාදා
මෙවර තරු කඳවුර පැවැත්වූයේ බප/ජය/ ජනාධිපති බාලිකා විද්‍යාලයේ දීයි. මෙවැනි වැඩසටහනකට සහභාගි වීමට අවස්‌ථාව ලැබීම මා ඉතා භාග්‍යයක් කොට සලකන අතර එය මට නවමු අත්දැකීමක් වුණා. විදුසර ප්‍රධාන කර්තෘතුමාටත් වැඩසටහන මෙහෙයවූ සමීර මහතා ඇතුළු කණ්‌ඩායමටත් පළමුව මා ගේ හෘදයාංගම ස්‌තුතිය පුද කළ යුතුයි. ඔවුන් මේ වැඩසටහන ඔස්‌සේ ශ්‍රී ලංකාවේ පාසල් අතර විද්‍යාව ප්‍රචලිත කිරීමට ගන්නා නිහඬ වෑයම ඉතා අගය කළ යුතුයි. විද්‍යාව රටෙහි ප්‍රචලිත කිරීම සඳහා ඉතා පලදායි ක්‍රමයක් ලෙස මෙවැනි කඳවුරු පැවැත්වීමත් ඒ සඳහා කවුරුත් ප්‍රිය කරන විෂයක් වන තාරකා විද්‍යාව වැන්නක් යොදාගැනීමත් ඉතා සුදුසු බවයි සමීර මහතා ගේ අදහස වූයේ. මා ද එය ඉහළින් ම අනුමත කරන අතර මෙවැනි එක් කුඩා ක්‍රියාකාරකමක් දරුවකු විද්‍යාව කෙරෙහි යොමු වීමට ප්‍රබල හේතුවක් විය හැකියි.
ඉතා අපූරුවට සංවිධානය කර තිබූ මේ තරු කඳවුර සඳහා විද්‍යාලයයේ බාලිකාවන් විශාල ප්‍රමාණයක් සහභාගි වූවා. එය අපේක්‌ෂිත ප්‍රමාණය ඉක්‌මවූ බවයි විදුහල්පතිතුමිය පැවසුවේ. දරුවන් අහසට කෙතරම් ඇලුම් කරනවා ද යන්න මේ පාසලේ දරුවන් ගේ තිබූ උද්යෝගයෙනුත් උනන්දුවෙනුත් මනාව පෙන්නුම් කළා. තරමක වැසි සහිත කාලගුණයක් පැවතියත් නිරීක්‌ෂණ කටයුතු සඳහා එය බාධාවක් වූයේ නැහැ. විවිධ වර්ගයේ දුරේක්‌ෂ කිහිපයක් මගින් දරුවන්ට අහස නිරීක්‌ෂණය කිරීමේ පහසුකම් සලසා තිබුණ බැවින් අහස තම කුළුදුල් විද්‍යා පර්යේෂණාගාරය කරගන්නට බොහෝ බාලිකාවනට හැකි වන්නට ඇති. එමෙන් ම බොහොමයක ගේ එය කුළුදුල් අත්දැකීම වන්නට ඇති. එනිසා ම අනාගතයේ බිහි වන ශ්‍රී ලාංකික විද්‍යාඥයන් කිහිප දෙනකු ගේ වත් තිඹිරිගෙය මේ තරු කඳවුර වන්නට බැරිකමක් නැහැ.
තාරකා විද්‍යාව කෙරෙහි උනන්දු වන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වශයෙන් ඔබ ගේ පාසලේත් තාරකා විද්‍යා සංගමයක් ආරම්භ කළ හැකියි. එවැන්නක් ආරම්භ කිරීම පාසලේ අධ්‍යාපන කටයුතුවල දීත් මහඟු ප්‍රයෝජනයක් වනු ඇත්තේ පාසල් විෂයමාලාවට ද කිසියම් ප්‍රමාණයකින් මේ විෂය ධාරාව ඇතුළත් කර ඇති බැවිනුයි. එමෙන් ම නවෝත්පාදන කෙරෙහි ඇල්මක් දක්‌වන්නන් හට තම නිර්මාණශීලී ප්‍රයත්නයන් ඔස්‌සේ දුරේක්‌ෂ නිර්මාණය සඳහා යොමු වන්නට වුවත් අවස්‌ථාවක් පවතිනවා. දැනට අධ්‍යයන කටයුතු සඳහා දුරේක්‌ෂ ගෙන එන්නේ පිට රටින්. මූලිකව මේ සඳහා අවශ්‍ය වන්නේ ඉතා සරල අමුද්‍රව්‍ය පමණයි. ඒවා බොහොමයක් අප රටෙන් සොයාගත හැකියි.
මේ තොරතුරු ගොනු කරද්දී මගේ මතකයට නැෙගන්නේ 2003 වසරේ මුරුතලාව ප්‍රදේශයට ඇද වැටුණු උල්කාපාතයයි. එහි කොටසක් ප්‍රදර්ශනය සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාල්යයේ භූ විද්‍යා දෙපාර්තමේන්තුවේ කෞතුකාගාරයෙහි තබා තිබෙනවා. එහි රසායනයත් ඛනිජ විද්‍යාත්මක පසුබිමත් පිළිබඳව ද භූ විද්‍යා පර්යේෂණ පවත්වා කරුණු අනාවරණය කර තිබෙනවා. පිටසක්‌වළ ජීවය පැවතීම හා සම්බන්ධ පර්යේෂණ පිළිබඳව ලෝකය තුළ ඇත්තේ ඉතා ඉහළ උනන්දුවක්. ඒ පිළිබඳව ශ්‍රී ලංකාවෙන් ද පසුගිය කාලයේ යම් යම් සාක්‌ෂි එක් වුණු බව ඔබට මතක ඇති. පොළොන්නරුව ප්‍රදේශයට ඇදහැළුණු උල්කාපාත වර්ෂාවකින් ලබාගත් පාෂාණ කැබැලි විශ්ලේෂණයට ලක් කිරීමෙන් ඒ තුළ ජීවය පැවතීම පිළිබඳ ධනාත්මක තොරතුරු එක් රැස් කරගැනීමට ශ්‍රී ලාංකික විද්වතකු වන මහාචාර්ය චන්ද්‍රd වික්‍රමසිංහ මහතාට හැකි වුණා.
වත්මනෙහි මේ විෂය සම්බන්ධව විශ්වවිද්‍යාල ප්‍රජාව තුළත් පිබිදීමක් ඇති වි තිබීම සතුටුදායක කරුණක්. පේරාදෙණිය විශ්වවිද්‍යාලය මේ හා සම්බන්ධිත විද්‍යාත්මක කරුණු සාකච්ඡා කීරීම සදහා විශේෂ සමුළුවක් එළඹෙන අගෝස්‌තුවේ පැවැත්වීමට මේ දිනවල කටයුතු කරගෙන යනවා. මේ විෂය ක්‌ෂේත්‍රයේ පර්යේෂණ සිදු කරන්නන් හට ද ඒ පිළිබඳව උනන්දුවක් දක්‌වන්නන් හට ද මෙය මහඟු අවස්‌ථාවක් වනවා නොඅනුමානයි. එමෙන් ම මේ විෂය තවමත් විශ්ව විද්‍යාල අධ්‍යාපනය තුළට ප්‍රමාණවත් ලෙස ග්‍රහණය කරගැනීමට නොහැකි වීමෙන් ප්‍රමාද වී ඇති තාරකා විද්‍යා උපාධිය කෙරෙහි උනන්දු වීමටත් යෝජනා කිරීමට මේ සමුළුව පුරෝගාමී වන්නේ නම් ලෝකය ජය ගැනීමට බලා ඉන්නා රටෙහි අනාගත පරපුරට එය අති විශාල සේවයක් වනු ඇති.
විශ්වයේ ජීවය ආරම්භ වීම කවදා කොතැනක කෙසේ සිදු වුණි දැයි තවමත් නිශ්චිතව තහවුරු වී නැහැ. වසර බිලියන 12.5කට පමණ පෙර විශ්වය ආරම්භ වූ බවත් ආරම්භයේ ඇති වූ ක්‌ෂණික පිපිරුම හේතුවෙන් වේගවත් ප්‍රසාරණයක් සිදු වී ක්‍රමයෙන් ශක්‌තිය පදාර්ථය බවට පත් වූ බවත් අද පිළිගන්නා මතයයි. ජීවය පවතින, තවමත් අප දන්නා එක ම ග්‍රහ ලොව පෘථිවියයි. වසර මිලියන 4500කට පමණ පෙර ඇති වූ මෙහි ජීවය ආරම්භ වූයේ මෙහි ම බවට තවත් ශ්‍රී ලාංකික විද්‍යාඥයකු මතයක් පළ කර තිබෙනවා. ඒ මහාචාර්ය සිරිල් පොන්නම්පෙරුම මහතායි. එනිසා මේ විෂය ඔස්‌සේ රටෙහි නම ලොව සුපතළ කිරීමට හැකි වීම අගය කළ යුතු මෙන්ම සැලකිල්ලට ද ගත යුතු සිදුවීමක්.
ලෝකය ආරම්භයේ ඇති වූ ජීවය හා සමාන ජීවීන් බොහෝ කටුක පරිසරවල දී හමු වන බව වත්මන් විද්‍යාඥයන් සොයාගෙන තිබෙනවා. ඒ අතර මුහුදෙහි ඇති වන ගිනිකඳු ආශ්‍රිත පරිසරවල ද, අධික ලවණතාව ඇති ස්‌ථාන ද, ගල්ගුහා වැනි පරිසර ද වනවා. ශ්‍රී ලාංකේය භූ ස්‌කන්ධයේ බහුලව විවිධාකාරයේ ගල්ගුහා හමු වන බැවින් මෙවැනි ප්‍රාථමික ජීවින් අධ්‍යයනය සඳහා මෙරට තෝතැන්නක් වනු ඇතැයි අපට සිතිය හැකියි. තවමත් ප්‍රාථමික මට්‌ටමේ පවතින ගල්ගුහා පර්යේෂණ ව්‍යාපෘතිය ඉදිරි කාලයේ දී මෙවැනි පර්යේෂණ සදහා ද අවස්‌ථාව සැලසීමට සූදානමින් සිටින බව එම පර්යේෂණ කණ්‌ඩායමේ සාමාජිකයකු හැටියට මට පැවසිය හැකියි. එපමණක් නො ව ගල්ගුහා පර්යේෂණ සදහා දායක විය හැකි කණ්‌ඩායම් සහ පාසල් ඇත්නම් විදුසර හරහා අප හා සම්බන්ධ විය හැකි බව මේ සමග දැනුම් දෙන්නට කැමතියි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment