Sunday, 12 February 2017

විදු පත් ඉරුව

2015  අගෝස්‌තු 05 බදාදා

මේ ගත වන්නේ කිතු උපතින් 2015 වැනි වසරයි. ලෝකයේ ශිෂ්ටාචාර සහ සංස්‌කෘතීන් බිහි වන්නේ වසර බොහෝ කලකට පෙර ය. පෙර කල බිහි වූ සමහර ශිෂ්ටාචාර අද වන විට වඳ වී ගොසිනි. මේ අතර අලුතෙන් ඒවා බිහි විය. මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාර කලක දී ලොව ප්‍රමුඛ ඒවා විය. එහි උපරිමයට පත් වන මේ සංස්‌කෘතීන් පසුව ක්‍රමයෙන් හෝ එක්‌ වර ම විවිධ හේතුන් නිසා පසුබසියි. ප්‍රමුඛ ශිෂ්ටාචාර යම් යම් කාලවල දී ලොව විවිධ ප්‍රදේශවල පැතිර යයි. එහි පැවැත්මට ද පැතිර යැමට ද ස්‌වාභාවික පාරිසරික සහ කාලගුණික සාධක ඉතා ප්‍රබලව බලපායි. මේ සුවිශේෂී කාලගුණික හෝ පාරිසරික සාධක සහිත ප්‍රදේශවලින් බිහි වන්නේ සුවිශේෂී වූ සංස්‌කෘතියක්‌ සහිත ශිෂ්ටාචාරයකි. මූලික අවශ්‍යතා පොදු වුවත් විවීධ ශිෂ්ටාචාරඒවා සපුරාගැනීමේ ක්‍රමවේදය විවිධ වේ. එනිසා ම මේ එක්‌ එක්‌ ශිෂ්ටාචාරයන්හි සංස්‌කෘතිකාංග ද ඉතා පුළුල් ලෙස විවිධාංගිකරණය වේ.

බොහෝ ශිෂ්ටාචාර ස්‌වභාවික පරිසරයට බද්දව පැවති අතර එනිසා ම පාරිසරික වෙනස්‌කම් මත ක්‍රමයෙන් ප්‍රගමනය විය. වෙනස්‌කම් දරාගත නොහැකි වූ කල ශිෂ්ටාචාර බිඳ වැටන අතර ඒවා වඳ වීම ද වෙනත් ප්‍රදේශයකට සංක්‍රමණය වී බලපෑමෙන් මිදුණු අවස්‌ථා ද ඇත. කෙසේ වෙතත් වත්මනෙහි තරම් පැරැන්නන් පරිසරයට බලපෑමක්‌ නො කරන්නට ඇති බව අප ගේ විස්‌වාසයයි. පරිසරය ඉක්‌මවා යමින් අද ලොව සිදු කරන ක්‍රියා අපට ම පාරා වළල්ලක්‌ වී පැමිණ ඇති බව අප කවුරුත් හොඳින් ම දන්නා කරුණකි.

දිගු කල් පවතින හෝ පැවති ශිෂ්ටාචාර සතු ව අති විශාල දැනුම් සම්භාරයක්‌ එක්‌ රැස්‌ වී ඇත. කාලාන්තරයක්‌ තිස්‌සේ බොහෝ අත්දැකීම් මත ස්‌ථාපිත වූ ඒ දැනුම ඉතා කදිමට පාරිසරික සාධක හා මුසු ඒවා වේ. එනිසා ම පාරිසරික සංරක්‌ෂණය නිතැතින් ම සැලසිණි. කෙටි කාලීනව ලොව ප්‍රමුඛ වූ ශිෂ්ටාචාර අඩු දැනුම් පද්ධතියක්‌ මූලාශ්‍ර කරගැනීම ඉතා දරුණු ලෙස පරිසරයට වින කිරීමට හේතු වන බව වත්මනෙහි අප ගේ ඇස ඉදිරිපිට ම සත්‍ය වී ඇත. ශ්‍රී ලංකාවාසීන් ලෙස අප නිරන්තරයෙන් ම ආඩම්බර වන්නේ වසර 2500කට වඩා එපිටට දිවෙන බොහෝ අපූරු ශිෂ්ටාචාරයක්‌ අත්පත් කරගැනීම හේතුවෙනි. එමගින් මතු වී ඇත්තා වූ පැරැණි සංස්‌කෘතිය කෙතරම් පාරිසරික සංරක්‌ෂණය කෙරෙහි නැඹුරු වී ඇත්තේ ද යත් පැරැණි නිර්මිත පරිසරය ද ස්‌වාභාවික පරිසරයේ ම කොටසක්‌ ව ඇති බව බොහෝ තැන්හි දී පැහැදිලි වේ. පාරිසරික හානිය අවමයේ පවත්වාගැනීම, අවශ්‍යතාව මත පැවැත්ම තහවුරු කිරීම, පශ්චාත් පාරිසරික සංවර්ධනය, අපතේ නො යැම හා තිරසාර බව වැනි බොහෝ වැදගත් කරුණු කාරණා පැරැන්නන් ගේ යහපාලන ක්‍රියා තුළ පැවැති බව මෙරට අතීතය දෙස ආපසු හැරී බැලීමේ දී ප්‍රත්‍යක්‌ෂ වේ.

වර්තමානය වන විට ලෝකයේ පරිසර සමතුලිත බව ඉතා දරුණු ලෙස බිඳ වැටෙමින් පවතී. එමගින් පැවසෙන්නේ කුමක්‌ ද? ලොව සැම ශිෂ්ටාචාරයකට ම මෙය බලපාන බව නො වේ ද? කඩා හැලෙනා පැරැණි ගොඩනැගිල්ලකට මුක්‌කු ගසා නවතාලන්නට උත්සාහ කරන්නා සේ, නා නා විධ සංවර්ධන කටයුතු නිසා සිදු වන පාරිසරික බලපෑම් තක්‌සේරුව උදෙසා වත්මනෙහි හඳුන්වා දී ඇති "පාරිසරික බලපෑම් තක්‌සේරුව" කෙතරම් දුරකට ප්‍රායෝගික ද යන්න ගැටලුසහගත ය. එක්‌ එක්‌ ව්‍යාපෘති උදෙසා අප රටෙහි විවිධ කෝණවලින් විවිධ පාලන තන්ත්‍ර යටතේ නිරීක්‌ෂණය කළ අයුරු අපට අමතක නො වේ. දේශපාලනික වශයෙන් ද ඉතා දරුණු ලෙස "පාරිසරික බලපෑම් තක්‌සේරුව" බලපෑමට ලක්‌ වන බව ඉන් පැහැදිලි වේ. භූ විද්‍යාත්මකව ද, ජීව විද්‍යාත්මකව ද, රසායනිකව ද යනාදී වශයෙන් පරිසරයේ එක්‌ එක්‌ අංගවලට ව්‍යාපෘතියේ එක්‌ එක්‌ සංවර්ධන ක්‍රියා නිසා සිදු වන බලපෑම මෙහි දී තක්‌සේරු වන අතර ව්‍යාපෘතිය ස්‌ථාපිත වීමෙන් සිදු විය හැකි අනාගත බලපෑම් ද මෙහි දී කිසියම් ප්‍රමාණයකට පුරෝකථනය වේ.

පාරිසරික බලපෑම් තක්‌සේරුව හඳුන්වා දෙන්නේ යම් ව්‍යාපෘතියකින් සිදු වන හානිය තක්‌සේරු කර එම හානි අවම කිරීමට අවශ්‍ය පියවරයන් ගැනීම සදහා පමණක්‌ ම නො වේ. බලපෑම් තක්‌සේරුවෙන් කිසියම් ආකාරයකට පරිසරයට සිදු වන්නා වූ බලපෑම සැලකිය යුතු මට්‌ටමක වේ යයි තහවුරු වන්නේ නම් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සපුරා නවතා දැමීමට හැකි ය. ඒ කෙසේ වෙතත් රටක සංවර්ධනය නවතාලිය නොහැකි බව පැවසෙයි. එනයින් බලන කල පාරිසරික සංරක්‌ෂණය මූලික අරමුණ නො වන අතර දෙවැනි තැනට වැටී ඇත. කෙසේ වෙතත් වත්මනෙහි සැකසී ඇති නීති පද්ධතිය කිසියම් දුරකට හෝ පාරිසරික ආරක්‌ෂණයට ආවරණයක්‌ සැපයීම සතුටු විය හැකි තත්ත්වයකි.

කඩිනම් මහවැලි ව්යාපාරය අප රටෙහි අසූව දශකයේ සිදු වූ විශාලතම සංවර්ධන ව්‍යාපාරයයි. එය අප දකින්නේ නිසි කළමනාකරණයකින් තොර ව සිදු වූ දැවැන්ත ම පාරිසරික විනාශයක්‌ ලෙසිනි. "පාරිසරික බලපෑම් අධ්‍යයනයන්" කරලියට නො ආ එකල්හි කිසිදු අවහිරයකින් තොර ව ස්‌වාභාවික පරිසරය හිතූ මනාපයේ පරිහරණය කළ හැකි විය. එනිසා ම බොහෝ පාරිසරික ව්‍යසනයන් සහ සහ ඒවායේ ප්‍රතිපල භුක්‌ති විඳීමට අසරණ ජනයා ප්‍රමුඛ සමස්‌ත පරිසරයට අද සිදු වී ඇත. පසුගිය දිනෙක මහවැලි ජලපෝෂක ප්‍රදේශවල සංචාරය කිරීමට මා ලද අවස්‌ථාවෙන් පසක්‌ වූයේ එම ජල පෝෂක ප්‍රදේශ නිසි කළමනාකරණයකට නතු වී නැති බවයි. සංරක්‌ෂණය කළ යුතු මේ ප්‍රදේශ නොවිධිමත් වගා කටයුතු සඳහා ඉතා දරුණු ලෙස භාවිත වන බව ද, එනිසා ම පස සෝදාපාලුව ඉහළ අගයකින් සිදු වන බව ද මනාව පැහැදිලි වේ. මෙනිසා ම තැනූ ජලාශවල ධාරිතාව ක්‍රමයෙන් අඩු වන බව තේරුම්ගැනීම උදෙසා වෙනත් සාධක අවශ්‍ය නො වේ. එපමණක්‌ නො ව මේ ව්‍යාපෘතිය හරහා හෝ වෙනත් මාර්ගයකින් හෝ පැමිණි ආක්‍රමණික ශාක මහවැලියේ සමහර පෝෂක ප්‍රදේශවල වූ ස්‌වාභාවික වන වැස්‌ම සම්පූර්ණයෙන් ම ඉවත් කර ඇත. එනිසා ම දේශීය ශාක ද එහි වෙසෙන සතුන් ද තර්ජනයට ලක්‌ වී ඇති බව අමුතුවෙන් විස්‌තර කළ යුතු නො වේ. එනයින් බලන කල මහවැලියෙන් ජලය සපයන ප්‍රදේශවල ද මෙතෙක්‌ සැලකිය යුතු ලෙස පාරිසරික වෙනස්‌කම් සිදු විය යුතු ය. ලැබෙන හා මෙතෙක්‌ ලද ප්‍රතිලාභ, කළ වියදම හා සැසඳීමේ දී මේ ව්‍යාපෘතිය කෙතරම් සාර්ථක ද යන්න ගැටලුවකි. කෙසේ වෙතත් මහවැලිය ව්‍යාපාරය පිළිබඳව පශ්චාත් සංවර්ධන පාරිසරික වාර්තාවක්‌ හෝ සැකසීම සුදුසු බව අප ගේ හැඟීමයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...