2015 ජුනි 03 බදාදා
මෙවර ගිම්හානය ඉන්දියාවට එතරම් හොඳ තත්ත්වයක් ගෙන නො එන බවයි පෙනී යන්නේ. අසාමාන්‍ය ලෙස ඉහළ නැග ඇති උෂ්ණත්වය හේතුවෙන් දැනටමත් 2000ක් පමණ වූ මිනිස් ජීවිත ප්‍රමාණයක් අහිමි වී ඇති අතර 1995ට පසු සටහන් වන ඉහළ ම උෂ්ණත්ව වැඩි වීම මේ වසරේ දී වාර්තා වී ඇත. සෙල්සියස් අංශක 45 ද පසු කළ දිනයන් බහුල වූ පසුගිය මාසයේ මැයි 24 වැනි දා වැඩි ම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 48ක් "කම්මාම්"වලින් වාර්තා විය. මේ තාප තරංග ඉන්දියාව හරහා ගමන් කරද්දී වැඩි ම හානියක් සිදු කර ඇත්තේ ආන්ද්‍ර ප්‍රදේශයට ය. මෙලෙස මිය ගිය බොහෝ දෙනකු මිය ගොස් ඇත්තේ විජලනයට ලක් වීමෙන් සහ තාප ආඝාතය හේතුවෙනි.
මේ අකරතැබ්බයෙන් බේරෙන්නට දහවල් කාලයේ එළිමහනේ සහ ඇඟ වෙහෙස වී සිදු කරන ක්‍රියාවන්වලින් වැළකී ගෙවල් තුළට වී කාලය ගත කරන ලෙස ඉන්දියානු වැසියන්ට උපදෙස් දී ඇතත් දෛනික වේතනයන් ලබා ගන්නා පුද්ගලයන්ට දිගින් දිගට ම එලෙස ගත කිරීම අපහසු වේ. කෙසේ වෙතත් මේ අසාමාන්‍ය තත්ත්වය ඇති වන්නේ සාමාන්‍ය ග්‍රීෂ්ම කාලය "එල්-නිනෝ" කාලගුණික තත්ත්වයත් සමග සමපාත වීමෙනි. එවිට සාමාන්‍ය ග්‍රීෂ්ම තත්ත්වය තවදුරටත් වර්ධනය වන අතර පසුව අසාමාන්‍ය තත්ත්වයක් දක්‌වා ගෙන යයි. එල්-නිනෝ ඇති වන වසරවල, විශේෂයෙන් ම ආසියානු කලාපයට, ඉතා දරුණු ලෙස ග්‍රීෂ්මය ගෙන එන අතර පේරු සහ ඉක්‌වදෝරය ඇතුළු දකුණු ඇමෙරිකානු රටවලට අධික වැසි ඇති කරයි.
මේ ග්‍රීෂ්ම තත්ත්වය ලංකාවට ද තරමක් ප්‍රබලව බලපාන බව පෙනේ. එල්-නිනෝ තත්ත්වයක් ඇති වන්නේ සාමාන්‍යයෙන් වසර හතරකට වරකි. වසර 2010 දී ද මෙවැනි උණුසුමක් අත්විඳි බව ඔබට මතක ඇති. එල්-නිනෝව අප ගේ වගාවන්ට දරුණු ලෙස බලපායි. නියඟය ඇති වී වගාවන් පාළු වන අතර එය Rජු ව ම ආහාර නිෂ්පාදනයට බලපායි. උෂ්ණත්වය අංශක කිහිපයකින් වැඩි වීම ප්‍රභාසංශ්ලේෂණ ක්‍රියාව වැඩි කරන අතර එම නිසා වැඩි අස්‌වැන්නක් අපේක්‌ෂා කළ ද නියගය ඇති වී ජල සැපයුම නතර වීම වගාවන් විනාශ වීමට හේතු වේ. වියළි කාලගුණික තත්ත්වවලට ඔරොත්තු දෙන බවබෝග වගා කිරීමෙන් මේ තත්ත්වය තරමක් දුරට මගහරවා ගත හැකි වුවත් නිසි උපාය මාර්ග සහිත වූ වැඩපිළිවෙළක් නොමැති වුව හොත් රටෙහි ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය බිඳ වැටී ආර්ථිකය දුර්වල වේ. එනිසා මෙවැනි කාලගුණික තත්ත්ව පුරෝකථනය කිරීමේ අවශ්‍යතාව ඔබට හොඳින් වැටහෙනවා ඇත.
ඔබ හොඳින් දන්නා කර්තකොලම්බන් අඹ වැවෙන්නේ වියළි දේශගුණයක් ඇති අනුරාධපුරය, යාපනය වැනි ප්‍රදේශවල ය. ඉතා හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ ශාකය තෙත් කලාපයේ වැඩුණත් සරුවට අස්‌වැන්න ලබා දෙන්නේ නැත. මේ සම්බන්ධව මා ලද ඉතා කදිම අත්දැකීමක් මෙහි ලා සදහන් කිරීම වටියි. තෙත් කලාපයේ පිහිටි මගේ ගමෙහි මා කුඩා කාලයේ පියාණන් විසින් ඉහත සදහන් කළ අඹ වර්ගයේ පැළ දෙකක් ගෙනැවිත් වත්තේ ඉන්දවන ලදි. පසුව හොඳින් වැඩි සෑහෙන කාලයක් ගත වුවත් හොඳ අස්‌වැන්නක් නො ලැබුණු අතර එක වසරක දී ඉතා කදිමට මල් පිපී ගස අඹවලින් පිරිණි. ඉන්පසු වසරවල දී අතළොස්‌සක් පමණ ගෙඩි හටගත් අතර නැවතත් මා හට මතක ඇති පරිදි වසර තුනකට හෝ හතරකට පසු ඉතා හොඳින් පලදාව ඇති විය. මේ තත්ත්වය තේරුම්ගැනීමට මුල දී මා හට නොහැකි වුවත් පසුව මේ ඉතා හොඳ පලදාව හටගන්නේ එල්නිනෝ ඇති වන වර්ෂවල දී බව මා හට අවබෝධ විය. වියළි දේශගුණික ප්‍රදේශවල දී හොඳින් අස්‌වැන්න ලබා දෙන මේ අඹ වර්ගය තෙත් කලාපයේ දී ගෙඩි හටගැනීම සදහා සුදුසු අදාළ තත්ත්වය ලබාගන්නේ එල්-නිනෝ කාලවල දී පමණක් බවයි මෙයින් පැහැදිලි වන්නේ. එපමණක් නො ව අප අවට පවත්නා ශාකවලට ඉදිරියේ ඇති වන්නා වූ කාලගුණික විපර්යාසයන් ග්‍රහණය කරගැනීමේ හැකියාව ඇති බව මෙයින් මනාව පැහැදිලි වේ. ඒ සදහා ඔවුන් දක්‌වන ප්‍රතිචාර කිසියම් හෝ ලෙස තේරුම්ගත හැකි නම් කාලගුණික පුරෝකථනයන් එතරම් අපහසු දෙයක් නො වනු ඇති බවයි මගේ හැඟීම.
මෙවැනි ග්‍රීෂ්ම කාලවල දී අප අවට පරිසරයේ උෂ්ණත්වය වැඩි කරන්නට තව බොහෝ දේ බලපායි. විශේෂයෙන් ම කාර්මිකකරණය හේතුවෙන් අප වායුගෝලයට නිදහස් කරන දුහුවිලි ඇතුළු අනෙකුත් බොහොමයක් අංශුන්වලට තාප ශක්‌තිය උරාගෙන රඳවා තබාගත හැකි ය. එනිසා වායුගෝලයේ මේ අංශු වැඩි වන විට අවට පරිසරයේ උෂ්ණත්වය ඉහළ යා හැකි ය. එමෙන් ම නාගරිකකරණය හේතුවෙන් වනවැස්‌ම ඉවත් වී ඒ වෙනුවට ගොඩනැගිලි ඉදි වීම ද අවට පරිසරයේ උණුසුම ඉහළ නැංවීමට හේතු වේ. ගොඩනැගිලි ඉදි කර ඇති කොන්ක්‍රීට් දහවල දී තාප කිරණ උරාගන්නා අතර නිදහස් කරන්නේ සෙමිනි. එහෙත් රාත්‍රියට පරිසරය ඉක්‌මනින් සිසිල් වන අතර ගොඩනැගිලි උරාගත් තාපය හේතුවෙන් අවට පරිසරය නැවත උණුසුම් කරයි. එම නිසා නාගරික රාත්‍රිය බොහෝ දහදිය දමන තත්ත්වයක් ඇති කරයි. ගොඩනැගිලිවල ආලේපිත වර්ණ සහ වීදුරු වැනි දෑ නිසාත් නාගරික දහවල ද අධික උණුසුම් වේ. මේ තත්ත්වය "නාගරික තාප දිවයින" (Urban Heat Island) ලෙස හදුන්වන අතර නගර අලංකරණයේ දී ඉතා සූක්‌ෂම විය යුත්තේ මේ හේතුවෙනි. නාගරිකව ඇති වන මේ අධික තාපය උරාගත හැකි ශාක වර්ග වගා කිරීම මගින් කිසියම් ප්‍රමාණයකට මේ තත්ත්වය සමනය කරගත හැකි වන අතර ආලෝකය පර්වර්තනය නො කරන්නා වූ මතුපිටවල් සහිත ගොඩනැගිලි ඉදි කිරීම ද ප්‍රතිපලදායක ය. එමෙන් ම නගරය තුළ දුහුවිලි වැනි අංශුන් වායුගෝලයට නිදහස් වීම වැළැක්‌වීමට කටයුතු කළ යුතු අතර මංමාවත් සහ ඇළ මාර්ග ඉතා පිරිසිදුව සහ ක්‍රමවත්ව පවත්වාගැනීම මගින් මේ තත්ත්වය මගහරවාගත හැකි ය. එනිසා නගර අලංකරණය යනු හුදු අලංකරණයක් නො ව ඉතා සුපරීක්‌ෂාකාරීව සිතා බලා දිගුකාලීන සැලැස්‌මක් ඇති ව සිදු කළ යුත්තකි. වසර කිහිපයකට පෙර කොළඹ නගරය බොහෝ අපිරිසිදු ස්‌ථානයක් වූ බව ඔබට අමතක නො වනු ඇත. එහෙත් පසු ගිය වසර කිහිපයේ දී කිසියම් ප්‍රමාණයකට වර්ධනය වෙමින් තිබූ නගරාලංකරණ ව්‍යාපෘති අගය කළ යුත්තකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment