2017 ජූලි 05 බදාදා
පසුගිය මැයි මාසයේ වැල්ලවත්තේ පිහිටි පස් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී මහ විනාශයක් සිදු විය. පස්‌චාත් ආපදා පරීක්‌ෂණවල දී හෙළි වූයේ නියමිත ඉංජිනේරු තාක්‌ෂණයන් යොදා නො ගෙන ඉදිකිරීම් සිදු කිරීම මේ ව්‍යසනයට මුල් වී ඇති බවයි. අනතුරට ලක් වන විටත් එහි ඉදිකිරීම් සිදු වෙමින් පැවති බව රහසක් නො වේ. මේ සිදුවීම අපට කියා දෙන්නේ ආවාට ගියාට ඉදිකිරීම් සිදු කිරීම පිළිබඳව ඇති නීතිමය තත්ත්වයේ සැලකිය යුතු වෙනසක් සිදු විය යුතු බවයි. ඒ මන්ද යත් ඉදිරියටත් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට බොහෝ ඉඩකඩ ඇති බැවිනි.
ඒ කෙසේ වෙතත්, විශේෂයෙන් ම, කොළඹ ප්‍රදේශයේ ඉදිකිරීම් සිදු කිරීමේ දී ඉතා සැලකිලිමත් විය යුතු ය. කොළඹ තට්‌ටු ගොඩනැගිලි ඉදිකිරිමේ දී වඩාත් සැලකිලිමත් විය යුතු ය. භූ තාක්‌ෂණික සහ භූ ඉංජිනේරු තාක්‌ෂණයන්හි වැදගත්කම මෙහි දී වඩා ප්‍රබලව පැනනගී. කොළඹ භූ පරිසරය අතිශය සංකීර්ණ වේ. කලක දී කලපුවක් ව සහ වගුරු බිමක් ව තිබූ කොළඹ ප්‍රදේශය මුතුරාජවෙල හා සම්බන්ධිත ව තිබූ බව භූ විද්‍යාත්මක පර්යේෂණවලින් පැහැදිලි වේ. තැනින් තැන පිහිටි උස් බිම් අතර වූ පහත් බිම් වසා ලමින් තැන්පත් වූ චාතුර්ථ අවධියේ අවසාදිත කොළඹ ප්‍රදේශයේ ප්‍රමුඛ භූ අභ්‍යන්තරික තැන්පතු වේ. එනිසා ඒකාකාරී නො වන අභ්‍යන්තරික භූ පරිසරයේ ස්‌ථාපනය කෙරෙන ගොඩනැගිලි සහ උමං වැනි වෙනත් ඉදි කිරීම් නිර්මාණය කිරීමට ප්‍රථම සවිස්‌තරාත්මක භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර ඉංජිනේරු තාක්‌ෂණික නිර්මාණයන් සිදු කිරීම අත්‍යවශ්‍ය කරුණක් වී ඇති බව අප තේරුම්ගත යුතු ය.
අවධි ගණනාවක ඉදිකිරීම් කොළඹ ප්‍රදේශයේ පැවතීම නව ඉදිකිරීම් සිදු කිරීමේ දී පැනනගින ගැටලු තවත් සංකීර්ණ කරයි. කලකට පෙර ඉදි කරන ලද ගොඩනැගිලි අතර වසර සිය ගණනකට පෙර ඉදි කරන ලද ඒවා ද වෙයි. එකල මෙතරම් තදබදයක ගොඩනැගිලි නො පැවතීම සූක්‌ෂ්ම භූ විද්‍යාත්මක සහ භූ ඉංජිනේරු තාක්‌ෂණයන් භාවිත නො කරන්නට හේතුවක් වන්නට ඇත. එපමණක් නො ව මෙතරම් දියුණු තාක්‌ෂණික ක්‍රමවේද ප්‍රචලිත වී නො තිබීම ද හේතුවක් වන්නට හැකි ය. බොහොමයක් එවැනි ගොඩනැගිලි තට්‌ටු ගොඩනැගිලි නො වූ අතර වූයේ නම් දෙවැනි තට්‌ටුව ඉක්‌ම නො යන්නට වග බලාගන්නට ඇත. එහෙත් වර්තමානයේ කොළඹ බොහොමයක් ප්‍රදේශ ගොඩනැගිලිවලින් වැසී ගොසිනි. තාක්‌ෂණයේ දියුණුව සහ ඉංජිනේරු සහ ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුවත් සමග ම සීමිත ඉඩකඩක් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නට හැකියාව ලැබී තිබේ.
අහස සිඹින ගොඩනැගිලි ඉදි කරමින් බොහෝ දෙනකුට වාසය හිමි කර දෙන්නට තැත් කරන්නේ වැඩි වන ජනගහනයේ අධික ඉල්ලුම හේතුවෙනි. එමෙන් ම භූ අභ්‍යන්තරයේ වැඩි අවකාශයක් ලබාගනිමින් වැඩිමනත් තට්‌ටු කිහිපයක් භූගත ව නිර්මාණය කරන්නේ ද රථවාහන ගාල් කිරීමේ ගැටලුවට පිළියමක් ලෙසිනි. එහෙත් ඉහළ යන්නට යන්නට පහළට ලබා දෙන පීඩනය වැඩි වන්නේ පාදමේ සවි ශක්‌තිය අභියෝගයකට ලක් කරමිනි. චාතුර්ථ අවධියේ වරින් වර තැන්පත් වූ මඩ තැන්පතු සේ ම වැලි තැන්පතු ද මිශ්‍ර වූ අවසාදිත කොළඹ ප්‍රදේශයේ ඇත. මෙවැනි අවසාදිත අතර විශාල ජීර්ණිත පාෂාණ කුට්‌ටි බහුලව හමු වේ. බිහි විදුම් දත්ත ලබා ගත්ත ද නිසි පරිදි විශ්ලේෂණය නො කරන්නේ නම් පාදම පිළිබඳව වන ඉංජිනේරු පුරෝකථනයන් වරදින්නට පුළුවන. භූ භෞතික ක්‍රමවේදයන් මගින් භූ අභ්‍යන්තරය නිරීක්‌ෂණය කිරීම ඉංජිනේරු පුරෝකථනයන් සඳහා ලබා දෙන සහාය ද සුළුපටු නො වේ.
භූ අභ්‍යන්තරික ජල මට්‌ටම මතුපිටට ආසන්නයේ පැවතීම ද ඉංජිනේරු නිර්මාණයන්වල දී අභියෝගාත්මක වෙයි. ජලයේ හැසිරීම නිසි පරිදි හඳුනාගැනීම ඉතා වැදගත් වෙයි. දැනටමත් ඉදිකිරීම් විශාල ප්‍රමාණයක් කොළඹ පැවතීම ද, භූ ජල මට්‌ටම ඉහළින් පැවතීම ද ඉදි කිරීම් සිදු කිරීමේ දී කරන්නා වූ භූ කැණීම් ආසන්න ගොඩනැගිලි අස්‌ථාවර කරන්නට හේතු වෙයි. කැණීම් නිසා පහළ වැටෙන භූ ජල මට්‌ටම, ආසන්න ගොඩනැගිලිවලට පහළින් අභ්‍යන්තරයේ අවකාශ තනන්නේ එම ගොඩනැගිලිවල බිත්ති ද පාදම ද ඉරිතලමිනි. භූ තාක්‌ෂණයේ පිහිට පතන්නට මේ සැම විටක ම සිදු වන අතර පවතින අත්දැකීම් අනුව නම් බොහෝ විට මේ තත්වය සලකා බලන්නේ ඉදිකිරීම සිදු කරන අතරතුර වීම කණගාටුවට කරුණකි. භූවිද්‍යාඥයන් ගේ සහාය පතන්නේ ද ගැටලුවේ අවසාන අදියරේ දී වීම ශ්‍රී ලංකාවේ තත්ත්වයයි. වැය කරන්නට සිදු වන වියදම සැලකිල්ලට ගැනීමේ දී පළමු අදියරේ දී, එනම් ශක්‍යතා අධ්‍යයනයේ දී ම භූ විද්‍යාත්මක අධ්‍යයනයන් සිදු කර දත්ත විශ්ලේෂණය කිරීම වඩාත් වාසි දායක වේ.
කොළඹ පමණක් නො ව රටෙහි අනෙකුත් ප්‍රදේශවල ද මහත් විශාල ඉදි කිරීම් ව්‍යාපෘතිවල දී මේ අධ්‍යයනයන් සිදු කළ ද සුළු පරිමාණයේ ඉදිකිරීම්වල දී මේ තත්ත්වය දැකගත නොහැකි ය. එනිසා සිදු වන සුළු හෝ භූ අස්‌ථාවරත්වයන්වල දී ඉදි කිරීම් ද ක්‌ෂණිකව අස්‌ථාවර වෙයි. පර්යේෂණවලින් පෙන්වා දී ඇත්තේ මේ තත්ත්වය ග්‍රාමීයව වැඩි බවයි. භූ තාක්‌ෂණය සහ භූ ඉංජිනේරු තාක්‌ෂණය අවැසි බව වටහාගන්නේ ණය පහසුකම් ඉල්ලීමේ දී හෝ පාරිසරික තත්ත්ව වාර්තාවක් ඉදිරිපත් කිරීමේ දී හෝ පමණක් වීම මෙරට මේ සඳහා පවතින නීතිමය තත්ත්වයේ අඩුපාඩුවක් බව තරයේම වටහා දෙයි. මේ තත්ත්වය තේරුම්ගෙන ගොඩනැගිලි තත්ත්ව සමීක්‌ෂණය සහ පාලනය උදෙසා ක්‍රමවත් බලාත්මක වැඩපිළිවෙළක් සකස් වීම කාලීන අවශ්‍යතාවක් බව අප තේරුම්ගත යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment