10.02.2016
හන්තාන අඩවිය පිස එන සුළඟ කිසි දිනක අමතක කළ නොහැක්‌කේ මා ගේ දෙවැනි කඩඉම සාක්‌ෂාත් කර දුන් පරිසරය එය බැවිනි. එපමණට ම මට හන්තාන අඩවිය ළබැඳි ය. විද්‍යාවේ ගැඹුරට කිමිදෙන්නට හන්තාන අඩවිය අපූරු පරිසරයක් සකස් කර දුන්නා ය. පළමු වසරේ සිට අවසාන වසර තෙක් ම හන්තානේ නොයෙක් තැන්වල කරක්‌ගසන්නට මා හට අවස්‌ථාව උදා විය. නැත හොත් අවස්‌ථාව මම ම උදා කරගත්තෙමි. ඒ කරුණු කිහිපයක් නිසාවෙනි. පළමුවැන්න මා භූ විද්‍යාව හදාරන ශිෂ්‍යයකු වීමයි. දෙවැන්න මට විශ්ව විද්‍යාලය තුළ වූ ප්‍රමුඛ පෙළේ සමිති සමාගම් කිහිපයක ම ක්‍රියාකාරී සාමාජිකයකු වන්නට ලැබීමයි. තෙවැන්න මේ කිසිවක් නොමැති කල කණ්‌ඩායම් සගයකු සමග කොහේ හෝ ඇවිදින්නට යැමයි.
තෙවැන්න බොහෝ විට සිදු වන්නේ නිවාඩු කාලයේ දී හෝ නිවාඩු දිනවල දී ය. සතිපතා ගෙදර දිවීමට වුqවමනාවක් එකල මට නො වී ය. එමෙන් ම ඉතා දුර බැවින් සතිපතා ගමේ යැමට නොහැකි සගයන් කිහිප දෙනකු ද බොහෝ වේලාවට සති අන්තයේ නැවතිණි. විශ්ව විද්‍යාලයයේ නේවාසිකාගාර නිස්‌කලංකව පසු වෙයි. හවස් වන විට කුමක් දෝ පාළුවක් අප වෙලාගනී. ඔන්න එවිට කාමරයෙන් පැන යැමට සිත් පහළ වෙයි. "යමු ද ඇවිදින්න" ඒ කනට මිහිරි වචන පෙළ අනෙකා ගෙන් පනින තුරු අප බලා සිටියා සේ ය. විශ්ව විද්‍යාලයයේ සිට හන්තාන කඳුකරය දෙසට විහිද යන පාරවල අපි සහෘදයන් සේ ඇවිද යන්නෙමු. විද්‍යාවේ ගැඹුරු තැන් ද, විද්‍යාඥයන් ගැන ද, පරිසරය ගැන ද, පුවත්පත්වල පළ වන වාද විවාද ගැන ද, දේශපාලනය ගැන ද පමණක් නො වේ, ආචාර්යවරුන් සහ කණ්‌ඩායම් සගයන් ගැන ද අප ගේ නො නවතින කතා බහ ගලා යයි. විටෙක මේ නිස්‌කලංක ඇවිදීම නිසා ඉගෙනගත් කරුණු යළි සිහි කරන්නට පරිසරය තුළින් ම අවස්‌ථාව උදා විය. භූ විද්‍යාවේ උගත් ඛනිජ සහ පාෂාණ පිළිබඳ කරුණු ප්‍රායෝගිකව අත්විදින්නට මෙනිසා අපට අවස්‌ථාව ලැබිණි. වසර අවසාන විභාගය සදහා අප සූදානම් වූයේ ඒ සදහා ඉතා කෙටි කලක් තබා ය. එහෙත් පෙර සිට ම විභාග භීතිකාවෙන් පෙළෙමින් බිය වී උන් අය අපහසුතාවට පත් කරමින් විටෙක අපි කිහිප දෙනා නිස්‌කලංකයේ ඇවිදින්නට යන්නෙමු. එය ඉතා වටිනා උපකාරයක් වූයේ අප ගේ මානසික ආතතිය අඩු කරන්නට එය බෙහෙවින් හේතු වූ බැවිනි.
මෙයට පෙර වතාවක දී ද මා සදහන් කළ පරිදි සමිති අතර "හන්තාන සංරක්‌ෂණ සංගමය" මා හට බොහෝ අත්දැකීම් ලබා දුනි. 1998 වසරේ දී පිහිටුවූ මේ සංගමය විශ්වවිද්‍යාලයයේ බොහොමයක් පීඨ නියෝජනය කරමින් ශිෂ්‍යයන් මෙන්ම ආචාර්යවරුන් ද සහයෝගය ලබා දුන් සංගමයක් විය. එකල මේ සංගමය කමිටු ගණනාවකින් සමන්විත විය. ඒ අතර මා සිත්ගත් එක් කමිටුවක් වූයේ "ගිනි ගැනීම් මර්දනය කිරීමේ" කමිටුවයි. බොහෝ විට වියළි කාලගුණය ඇති කාලවල දී හන්තාන කඳුකරය ගිනිගැනීම්වලට ලක් වේ. මේවා ස්‌වාභාවික ලැව් ගිනි නො වූ අතර මිනිසුන් ගේ යම් යම් ක්‍රියාකලාපයන් නිසා ඇති වන ගිනි ගැනීම් වේ. මෙය වළක්‌වාගැනීමේ පියවරක් ලෙස හන්තාන අවට ග්‍රාමයන්හි වෙසෙන ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් දියත් කරන ලදි. "රාත්‍රි කඳවුරු" ලෙස හැඳින්වූ මේ ක්‍රියාකාරකමට සහභාගී වන්නට මම බොහෝ කැමැත්තක් දැක්‌වූයෙමි. එහි දී සිදු වූ ප්‍රධාන කෘත්‍යය වූයේ අදාළ ගමෙහි ජනතාව රැස් කර පරිසර සංරක්‌ෂණයේ වැදගත්කම ගැන ඔවුනට පහදා දීමයි. ගිනිගැනීම නිසා පරිසරයට සිදු වන හානිය පහදා දීමයි. මෙහි දී පරිසර සංරක්‌ෂණය අරමුණු කරගත් නාට්‍ය ද කිහිපයක් ද රඟදක්‌වන ලද අතර නළු නිළියන් වන්නේ ද සංගමයේ සාමාජිකයන් ම ය. ඉතා අගනා ලෙස ගම්මුන් හට පණිවිඩය දෙන්නට අප සමත් වන්නේ ය. අපත් සමග විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු ද සහභාගි වන නිසා එතුමා ගේ දෙසුමක් ද මේ රාත්‍රී කඳවුරේ අනිවාර්ය අංගයක් වේ. රාත්‍රී ආහාරය බොහෝ විට පොලුත් සමග තැම්බූ කොස් හෝ මඤ්ෙÆක්‌කා වෙයි. මහන්සි වී ද නේවාසිකාගාර බොජුන්හල්වල ඒකාකාරී ආහාරවලින් හෙම්බත් වී ද සිටින අපට ඒවා නම් දිව බොජුන් ය. මෙවැනි ක්‍රියාකාරකම් සදහා අනිවාර්යයෙන් ම සහභාගි වන්නා වූ දෙදෙනෙක් වෙති. ඒ හේරත් මහත්ම මහත්මීන් දෙපළයි. අප ගේ කණ්‌ඩායම් සගයකු වන නිලන්ත ගේ මවුපියන් වන මොවුන් දෙදෙනා ගෙන් අපට ලැබුණු සහයෝගය ද ගුරුහරුකම් ද බොහෝ ය. මා අද ද ඔවුන් දෙපල සිහි කරන්නේ හද පිරි සතුටෙනි.
හන්තානේ ගිනිගැනීම් වැළැක්‌වීම සදහා හන්තාන සංරක්‌ෂණ සංගමය එකල ඉතා අගනා වටිනා සහයෝගයක් ලබා දුන්නා ය. ඉහත සදහන් කළ දැනුවත් කිරීමේ රාත්‍රී කඳවුරුවලට අමතරව එම කමිටුවේ සාමාජිකයෝ ප්‍රායෝගිකව ද එම වගකීම ක්‍රියාවට නැංවූ හ. ගිනිගැනීමක් පිළිබඳව ආරංචියක් ලද වහා ම කමිටුවේ සංගමයේ සාමාජිකයන් රැස් කර ගින්න නිවන්නට ද අපි උත්සුක වූයෙමු. එහි දී විශ්වවිද්‍යාලයයේ ආරක්‌ෂක අංශය ද දැනුවත් කරන්නට අප වැඩපිළිවෙළක් සකස් කර තිබිණි. පසු කාලීනව ආරක්‌ෂක අංශය වෙත යන අප සාමාජිකයන් දුටු සැණින් ඔවුහු බොහෝ විට ඒ බව කලින් ම නිශ්චය කර ගනිති. කෙසේ වෙතත් මෙවැනි වැඩ කටයුතු නිසා ආරක්‌ෂක අංශය පමණක් නො ව විශ්ව විද්‍යාලයයේ "භූ දර්ශන නඩත්තු අංශය" ද අපට ඉතා සමීප විය. හන්තානේ ගිනිගැනීම් ඇති වන්නේ බොහෝ විට රාත්‍රී කාලයේ දී ය. රාත්‍රියේ දී වුව යාමය නිශ්චිත නො වී ය. එනිසා ක්‍රියාත්මක වීම කොයි මොහොතේ හෝ සිදු වෙයි. එකල අපට ගිනි නිවීම් සදහා ක්‍රමවත් උපකරණ නො වී ය. එහෙත් කෙසේ හෝ කාර්යය නිම කිරීමට අපි සමත් වූයෙමු. ආපසු නේවාසිකාගාරයට එන විට අපි හැමෝ ම කළු පැහැ ගැන්වී සිටියෙමු. වරක මද්දහනේ හන්තාන කඳු පන්තියේ හතරවැනි ශීර්ෂයේ ගින්නක් ඇති වී තිබෙනු දුටුවෙමු. ඉතා හදිසියේ වුව අප ගේ තීරණය වූයේ කෙසේ හෝ එහි ළඟා වී ගින්න නිවිය යුතු බවයි. වෙනදාට පැය තුන හතරක කාලය ගන්නා ගමන පැයක දී නිම කරන්නට සමත් වූ අපි ගින්න ඇති වූ ස්‌ථානයට ළඟා වූයෙමු. සිටියේ අප හතර දෙනකු පමණි. වහා ම ක්‍රියාත්මක වූ අපි පැය කිහිපයක් මහන්සි වී ගින්න නිවා දැමුවෙමුq. නැවත විශ්වවිද්‍යාලය වෙත එන විට හවස හය පසු වී තිබිණි. මෙවැනි දේ මගින් අපි වින්දනයක් ලැබුවෙමු. ජීවිතයට අත්දැකීම් එක් කරගත්තෙමු. වර්තමානයේ මෙවැනි දේ සදහා විශ්වවිද්‍යාලයයේ ශිෂ්‍යයන් හට ඉස්‌පාසුවක් වේ ද යන්න මෙන්ම කාලය තිබුණ ද ඒ සදහා උනන්දුවක් ඇත් ද යන්න ගැටලුවකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment