Wednesday, 28 November 2018

විදු පත් ඉරුව
13.04.2016

ඔන්න දන්නෙ ම නැතුව සිංහල අලුත් අවුරුද්දත් කට ළඟට ම ඇවිල්ලා. බක්‌ මහ කියන්නේ ඉතිං ශ්‍රී ලාංකිකයන්ට අතිශය වැදගත් මාසයක්‌ නේ. තමන් ගේ වගාවේ අස්‌වැන්න නෙළලා හා පුරා කියලා ගෙට ගන්නේ බක්‌ මහේ. ඒ නෙළාගත්ත අස්‌වැන්නේ සතුට සමරන්න අපේ පැරැන්නන් සංවිධානය කරපු මංගල්‍යයක්‌ තමයි අලුත් අවුරුද්ද කියන්නේ. කොටින් ම හැම දේ ම අලුත් කරමින් තවත් නව පරිච්ඡෙදයක්‌ අරඹන්න ලක ලැහැස්‌ති වෙන්න තමයි අපේ මුතුන්මිත්තන් අලුත් අවුරුදු චාරිත්‍ර කළේ.

පැරැන්නන් අවුරුදු සමරන්න අස්‌වැන්න නෙළීම මූලික කරගත්තත් අද වෙනකොට ගොවි සංස්‌කෘතිය බොහෝ දුරට අපෙන් වියෑකිලා ගිහින් කියන එක අමුතුවෙන් කියන්න දෙයක්‌ නැහැ. ඒ හින්දා අද බොහෝ දෙනෙක්‌ අලුත් අවුරුද්ද සමරන්නේ සංකේතයක්‌ නැතිනම්

පැරැණි සංකෘතික අංගයක්‌ ලෙසයි කියලා පැහැදිලියි.

ඇත්තට ම අද වෙනකොට ශ්‍රී ලංකාවේ ගොවි සංස්‌කෘතිය බරපතළ අර්බුදයකට ලක්‌ වෙලා තියෙන බව අප හැමෝට ම හොඳින් තේරුම් යන දෙයක්‌. ඒ ආකාර කිහිපයකින්. එකක්‌ තමයි ගොවිතැන සිදු කරන ගොවියා ගේ ජවය පිරිහෙමින් පැවතීම. ඒකට උදාහරණයක්‌ විදියට මාරාන්තික වකුගඩු රෝගයට රජරට ගොවියා ලක්‌ වී තිබීම දක්‌වන්න පුළුවන්. තවමත් නිසි ප්‍රතිකර්මයක්‌ මීට සොයා නො ගැනීම නිසා ඔවුන් තවත් අසරණ වෙලා. වගකිවයුතු විද්‍යාඥයින් ලෙස අප මේ සම්බන්ධව කණගාටුවට පත් විය යුතුවා වාගේ ම එක්‌ එක්‌ මත කෙරෙහි එකිනෙකා ගේ ඇති කුළල් කාගැනීම නතර කොට සාමූහික ප්‍රයන්තයක යෙදිය යුතු කාලය එළඹිලයි තිබෙන්නේ. ගොවීන් ගේ ජවය පිරිහීමේ පවතින බරපතළ ප්‍රතිවිපාකය තමයි ගොවිතැනේ දක්‌ෂයන් ක්‍රමයෙන් තුරන් වී යැම. එනිසා අනාගත ගොවි පරම්පරාව හීන වෙලා මතු ජාන සම්ප්‍රේෂණය ඇනහිටීම සිදු වේ වි. ගොවිතැනේ විවිධ ක්‍රම විධි දැන සිටින දක්‌ෂ ගොවීන් හිඟ වීම අනාගත ශ්‍රී ලංකාවට අති විශාල පාඩුවක්‌ වේ වි. මේ තත්ත්වය වර්ධනය වීම මෙරට අනාගත ආහාර නිෂ්පාදනයේ ගැටලු ඇති කරන්නක්‌ වේ වි. ඒ වාගේ ම සාම්ප්‍රදායික ගොවිතැන අතහැර නවීන රසායනික ගොවිතැනට ගොවීන් රාජ්‍ය අනුග්‍රහය ඇති ව පෙලඹවීමත් මේ අර්බුදකාරී තත්ත්වයන් ඇති කිරීමට මූලික හේතුවක්‌ බවයි අපට හැඟෙන්නේ. එක්‌තරා ක්‍රමවත් රටාවකට හුරු වී සිටි හෙළ ගොවියා අහසින් පහත් වූ ක්‍රමවේද අනුගමනය කිරීමේ ප්‍රතිඵල අද භුක්‌ති විඳිමින් සිටින බව හොඳින් පැහැදිලි වෙනවා.

රසායනික ද්‍රව්‍ය භාවිතය හේතු කොටගෙන සරුසාර පස විෂ සහිත වී ඇති බව ඔබ නො දන්නවා නො වේ. බොහොමයක්‌ රසායනික ද්‍රව්‍ය බොහෝ කාලයක්‌ පසෙහි රැඳෙන ඒ වාගේ ම ඒවායේ විඛණ්‌ඩක පවා හානිදායක රසායනිකයන් වීම සුවිශේෂී කරුණක්‌. මේ තත්ත්වය පසුගිය දශක ගණනක සිට දිගින් දිගට ම පැවතීම පසෙහි ජීව ගුණය අතුරුදන් කරවන්නට හේතු වී තිබෙනවා. මේ හේතු කොටගෙන ක්‌ෂුද්‍රජීවීන් ප්‍රමුඛ අනෙකුත් පාංශු ජීවීන් ද පසෙන් තුරන් වී අවසානයි. එපමණක්‌ නො වේ, විෂ රසායනිකයන් භූගත ජලයට ද මතුපිට ජලයට ද එක්‌ වී හමාරයි. මෙලෙස විෂ රසායනිකයන් ජලයට මුසු වීම වෙනත් බොහෝ ස්‌ථානවලට එම විෂ ගෙන යැමට හේතුවක්‌. එය තව දුරටත් ජලය වගේ ම පස ද දූෂණය කරන්නක්‌. මේ විදියට තව බොහෝ ආකාරවලින් මේ බැඳීම් ක්‍රියාත්මක වීම සිදු වන අතර ක්‍රමයෙන් පාරිසරික ජීව ගුණය පහත හෙළන බව රහසක්‌ නො වේ. මේ තත්ත්වය නො හික්‌මුණු නවීන විද්‍යාවේ එක්‌තරා අතුරුඵලයක්‌ බව නො කියා ම බැහැ.

මෙනයින් බලන කල ශ්‍රී ලාංකිකයන් වන අපට අනාගතයේ දී ඉතා ප්‍රබල අභියෝග ගණනාවකට මුහුණ පෑමට සිදු වන අතර ජීවිතය පවත්වාගැනීමට නම් ඒවා අනිවාර්යයෙන් ම ජයගැනීමට සිදු වේ වි. ඉන් ප්‍රබල ම අභියෝගය වන්නේ විෂ රහිත ආහාර නිෂ්පාදනයක්‌ සදහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේද සම්පාදනයයි. සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රමවේද ප්‍රචලිත කිරීමේ සිට නව ක්‍රමෝපා නිපැයුම් දක්‌වා වූ අතිවිශාල පරාසයක මේ වෙනස සිදු කළ යුතුයි. යුග ගණනාවක්‌ තිස්‌සේ පවත්වා ගෙන එන ශ්‍රී ලාංකික මිනිසුන් ගේ ජාන හුරුව හඳුනාගැනීම සහ එයට ගැලපෙන ආහාර රටාවක්‌ උදෙසා ක්‍රමවේද සකස්‌ කිරීම කෙරෙහි විශේෂ සැලකිල්ලක්‌ දැක්‌විය යුතු වනවා. ඒ වාගේ ම වගා කිරීම සදහා වැදගත් වන සුදුසු පසක්‌ ඇති කිරීමට පවතින "විෂ පස" සුවපත් කිරීමේ ක්‍රමවේද ඇති කළ යුතුයි. ලෙඩ රෝග සදහා ඔරොත්තු දෙන බෝග වර්ග තෝරාගැනීම ද මෙහි ලා අතිශය වැදගත් කටයුත්තක්‌.

දෙවැනි, එහෙත් පළමු වැන්නට ද වඩා විශාල බලපෑමක්‌ කළ හැකි අභියෝගය වන්නේ පිරිසිදු ජල නිධි පවත්වාගෙන යැමයි. බොහොමයක්‌ නගරාශ්‍රිත ව මෙන්ම කාර්මිකකරණය වූ ප්‍රදේශවල මතුපිට මෙන්ම භුගත ජල නිධි ද වර්මානයේ දූෂණය වී හමාර බව පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා. නමුත් වාසනාවකට කඳුකරයේ ද, ග්‍රාමීයව ද පවතින ජල නිධි සුරැකි ව තිබීම සැනසිල්ලට කරුණක්‌. එවැනි ජල නිධි ක්‍රමානුකූල භාවිතය සහ කළමනාකරණය උදෙසා යහපත් වැඩපිළිවෙළක්‌ සකස්‌ වීම අනිවාර්යයි. එහි එක අංගයක්‌ ලෙස දැනට පිරිසිදුව පවත්නා ජල නිධි සිතියම්ගත කිරීම සහ ප්‍රමාණාත්මක ගණනය සදහා සමීක්‌ෂණ වහ වහා සිදු විය යුතුයි. දූෂණයට ලක්‌ වූ ජල නිධි යථා තත්ත්වයට පත් කිරීමේ ක්‍රමවේද කෙරෙහි විද්‍යාත්මක පර්යේෂණ මෙහෙයවිය යුතුයි.

සමගාමීව ජයගත යුතු එහෙත් වැඩි පරිශ්‍රමයක්‌ යෙදිය යුතු වන්නේ දෙවැන්නටයි. මන්ද යත් ආහාර නිෂ්පාදනයද රඳා පවත්නේ ජලය මත වීමයි. කෙසේ වෙතත් අනාගතයේ අනෙකුත් සියලු ම ප්‍රශ්නවලට වඩා ප්‍රමුඛ වන්නේ උක්‌ත කරුණු අරභයා ඇති වන ගැටලු ජාලයයි. එනිසා මේ අලුත් අවුරුද්දේ දේශපාලනිකව ද, ජාතීන් ලෙස ද, ආගමිකව ද නො බෙදී අප අවධානය යොමු කළ යුත්තේ අප හමුවේ ඇති මේ ප්‍රබල අභියෝග ජයගන්නා උපක්‍රම සෙවීම ගැනයි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Thursday, 15 November 2018

විදු පත් ඉරුව
06.04.2016

මෙරට ඉතිහාසය විකෘත වෙමින් යන්නේ ද යන්න මෑත කාලයේ මසිතෙහි හටගත් ගැටලුවකි. ඊට හේතු වන සාධාරණ සාක්‌ෂි වරින් වර විවිධ ලෙස මතු වෙමින් තිබේ. ජාතික තලයේ පත්තර ද, නා නා ප්‍රකාර වෙබ් අඩවි හා බුකියේ පිටු ද විවිධ ආකාරයේ අරමුණු මුල් කරගෙන නො දන්නා ඉතිහාසයක්‌ ගොඩන ගමින් සිටියි. සමහරකුට අනුව මෙරට ලොව තිබූ ප්‍රබල ම රට ය. ඔවුනට අනුව මෙරට මුල් කරගෙන ලෝක ශිෂ්ටාචාර බිහි වී ඇත. තවත් සමහරකුට අනුව විජය එන තෙක්‌ මෙරට විසුවෝ ගෝත්‍රිකයෝ ය. ඔවුනට අනුව විජය පැමිණීමෙන් පසු ශිෂ්ටාචාර බිහි වූ අතර ඉන්දියාව අප ශිෂ්ටාචාරයේ ප්‍රාරම්භකයා විය. ඒ අතර සමහර පුරාවිද්‍යා ඉතිහාසඥයෝ විද්‍යාත්මක පර්යේෂණ යෑයි පවසමින් කැණීම් ද කරමින් තමන් ගේ මතය තහවුරු කරන කරුණු පමණක්‌ එළිදක්‌වමින් සිටිති. ඔවුන් සමහරකුට අනුව ලංකාවේ ප්‍රාග් ඓතිහාසිකයෝ කන්ද උඩරට විසූවෝ වෙති. පසුව පරිණාමයත් සමග පහළට බැස්‌සෝ ඔවුහු ය. තවත් අයකුට අනුව ඔවුන් පහළින් ඉහළට සංක්‍රමණය වූ හ. ඒ සදහා සාක්‌ෂි ද සපයනු ලැබේ. සමහරු එහෙටත් නැති මෙහෙටත් නැති බහුබූත ද දොඩවති.

වර්තමානයේ අප දරුවන් රටෙහි ඉතිහාසය, ශ්‍රී ලාංකික මානවයා ගේ පරිණාමය ගැන ඉගෙනගන්නේ මෙවැනි පසුබිමක ය. විද්‍යාත්මක තර්කණය පලා ගොසිනි. විද්‍යාත්මක ක්‍රමවේද භාවිතය සහ බහු විෂයාත්මක ප්‍රවේශය ගවු ගාණක්‌ ඈත ය. එහෙන් මෙහෙන් අහුලාගත් කරුණු ගොනු කර නිගමනවලට එළඹෙති. මේ සදහා කදිම උදාහරණ බොහෝ ඇත. සමහර ඒවා මා ද අත්දැක ඇත. වසර කිහිපයකයට ප්‍රථම වර්තමානයේ මෙරට ප්‍රසිද්ධියට පත් පුරාවිද්‍යා පර්යේෂකයකු ගේ කැණීමක්‌ බැලීමට අහඹු අවස්‌තාවක්‌ මම ලදිමි. ඒ අප ගේ පර්යේෂණ කටයුත්තකට යන ගමනෙහි අතර මැද ය. මා භූ විද්‍යාඥයකු බැවින් එහි කැණීමෙන් ලද ද්‍රව්‍ය ගොනුවක්‌ මා ඉදිරියේ තබා යමක්‌ ප්‍රකාශ කළ හැකි දැයි ඔහු විමසා සිටියේ ය. බොහොමයක්‌ ඉතා තදින් ජීර්ණය වී තිබූ අතර යම් යම් ඛනිජ ද පාෂාණ ද මට හැකි අයුරින් හඳුනා ගත්තෙමි. සරල පැහැදිලි කිරීමක්‌ ද මා විසින් සිදු කරන ලදි. "බෝල" නැත හොත් "ගුලි" මෙන් වූ ඛනිජ විශේෂයක්‌ එහි වූ අතර එම ගුලි ප්‍රදේශයේ මිනිසුන් "රාවණා ගුලි" ලෙස හඳුන්වන බව ඔහු පවසා සිටි අතර ඔහු ගේ වැඩි අවධානයක්‌ එම ද්‍රව්‍ය කෙරෙහි යොමු වී තිබිණි. අධිකව ජීර්ණය වී තිබූ මේ ද්‍රව්‍යය හඳුනාගැනීමට තරමක්‌ අසීරු වුව ද ප්‍රදේශයේ පාෂාණ සහ ඛනිජ පිළිබඳව තරමක අවබෝධයක්‌ මා සතු ව තිබූ බැවින් එම ද්‍රව්‍යය බොහෝ විට "ගානට්‌" නැත හොත් "රබහ" නම් ඛනිජය විය හැකි බව ද එම ප්‍රදේශයේ "ඇල්මන්ඩින් ගානට්‌" නම් ඛනිජය තිබූ නිසා මේවා එම ඛනිජයේ ජීර්ණිත කොටස්‌ විය හැකි බව ද මම තවදුරටත් පවසා සිටියෙමි. එහෙත් මේ කරුණු තහවුරු කරනු වස්‌ තවදුරටත් භූ විද්‍යාත්මක පර්යේෂණ කළ යුතු බව ද මම පවසා සිටියෙමි. පුදුමයක මහත...ෘ කැණීම අවසාන වන්නට ද ප්‍රථම, එම ප්‍රදේශයේ එකල සිටි පැරැණි ජනතාව යකඩ නිෂ්පාදනය සදහා යොදාගෙන ඇත්තේ "ඇල්මන්ඩින් ගානට්‌" නම් ඛනිජ විශේෂය බවට සාක්‌ෂි හමු වූවා යෑයි කරුණු ප්‍රසිද්ධ විය. එය අසා සිටි මා බොහෝ පුදුමයට පත් වූ අතර එලෙස කරුණු ප්‍රසිද්ධ වීම සම්පූර්ණයෙන් ම සාවද්‍ය බව මා හට අමුතුවෙන් වටහාගැනීම අනවශ්‍ය නො වී ය. එනිසා ඔවුන් ගේ පර්යේෂණ නිගමන කොපමණ දුරට සත්‍ය දැයි ගැටලුවක්‌ ඇත.

පැරැණි යකඩ කර්මාන්තය පිළිබඳව අප කළ පර්යේෂණයකින් හෙළි වූයේ මෙතෙක්‌ ශ්‍රී ලංකාවේ යකඩ නිෂ්පාදනය සදහා යොදාගෙන ඇත්තේ "හිමටයිට්‌" නම් වූ යකඩ ප්‍රතිශතය වැඩි ද්විතීයික ඛනිජයක්‌ බවයි. යම් ද්‍රව්‍යයක්‌ තම කැණීමෙන් හෝ පර්යේෂණයට භාජන වන භූමියෙන් හමු වූ පමණින් ම එවැනි නිගමනවලට එළඹීම කෙතරම් අනුවණ දැයි තේරුම්ගත යුතු ය. අප පර්යේෂණයට භාජන කළ ස්‌ථානවල සමහරක්‌ අවස්‌ථාවල දී "මැග්නටයිට්‌" නම් වූ ඛනිජය ද හමු ව ඇති අතර එම ද්‍රව්‍ය යකඩ නිස්‌සාරණයට ගෙන නොමැති බව ඉඳුරා ම පැහැදිලි විය. එහෙත් මේ ක්‌ෂේත්‍රයේ සිදු කළ තවත් පර්යේෂණයක අවසාන නිගමනය වී ඇත්තේ ශ්‍රී ලංකාවේ යකඩ නිස්‌සාරණය සදහා යොදාගෙන ඇත්තේ මේ "මැග්නටයිට්‌" නම් ඛනිජය බවයි. එහෙත් එම නිගමනය ගැටලුකාරී ය. "මැග්නටයිට්‌" උණු කළ හැකි නිස්‌සාරණ තාක්‌ෂණයක්‌ ලංකාවේ මෙතෙක්‌ හමු වී නොමැත.

මහාවංශයට අනුව විජය ගොඩබසින්නේ තම්බපන්නි නම් වූ ස්‌ථානයකට ය. එය බොහෝ දුරට බස්‌නාහිර වෙරළෙහි එක්‌ ස්‌ථානයක්‌ විය හැකි බව සමහර පුරාවිද්‍යාඥයන් ගේ සහ ඉතිහාසයඥයන් ගේ මතයයි. ඇත්තෙන් ම එය කොපමණ දුරට සත්‍ය ද යන්න විද්‍යාත්මක පර්යේෂණ මඟින් තවමත් විසඳී නොමැත. තම්බපන්නි යන නම පටබැඳෙන්නේ තම අත්ල තඹ පැහැ ගත් හෙයිනැයි එහි තවදුරටත් කියෑවේ. ඇත්තෙන් ම ඔය කියනා ස්‌ථානයේ බොහෝ ප්‍රදේශයක්‌ පුරා පැතිර ඇත්තේ රතු පැහැගත් පස්‌ සහ වැලි ය. මේ බිහි වීම සදහා හේතු වන්නේ අතීතයේ එක්‌ කලක දී ඇති වූ අධික සූර්ය තාපය හේතුවෙන් එහි වූ යකඩ ඔක්‌සිකරණය වීමයි. ඔක්‌සිකරණය වූ යකඩ රතු පැහැති ය. රතු සහ තඹ යනු පැහැයන් දෙකකි. අප රටෙහි දකුණු වෙරළෙහි බේරුවල ප්‍රදේශයේ මොනසයිට්‌ නම් වූ කහ පැහැ ගත් ඛනිජ වැලි නිධි හමු වේ. මේ කහ පැහැය බොහෝ දුරට තඹ පැහැයට හුරු ය.

ඕනෑ ම අවස්‌ථාවක දී නිගමනවලට එළඹීම ඉතා පරෙස්‌සමෙන් කළ යුතු ය. ඒ සදහා බොහෝ කරුණු එක්‌රැස්‌ කරගත යුතු ය. විටෙක නොවැදගත් යෑයි ඉවත දමන සාක්‌ෂි අතීතය විදහාපාන හොඳ ම සාක්‌ෂි විය හැකි ය. එනිසා තිබෙන කරුණු මුල් කරගෙන නිගමනවලට එළඹෙනවා මිස තම මතය තහවුරු කිරීම සදහා කරුණු ගොනු කිරීම සාවද්‍ය මත මුල් බැසගැනීම සදහා හේතු වේ. ශ්‍රී ලංකික පුරාවිද්‍යා ක්‌ෂේත්‍රය තුළ මෙවැනි මත බහුල ය. මෙරටෙහි අනාගත පුරාවිද්‍යාඥයන් මේ කරුණ ඉතා හොඳින් සිත්හි තබාගත යුතු ය. ඒ සදහා ක්‍රියාත්මක විය යුතු ය. ඉතිහාසය සැඟවීම සහ විකෘති කිරීම අනාගතයට අප කරන ඉතා දරුණු අසාධාරණයකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

Sunday, 11 November 2018

විදුපත්ඉරුව

අද ශීඝ්‍ර දියුණුවක්‌ අත් කරගෙන සිටින චීනය විසින්, හැටේ දශකයේ අග භාගයේ තම කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා, තෝරාගත් සතුන් හතර දෙනකු සමූලඝාතනය කරන්නට තීරණය කරන ලදි. මැස්‌සන් ද, මදුරුවන් ද, මීයන් ද සමග චීනයේ බහුලව වෙසෙන ගේ කුරුල්ලකු මේ පළිබෝධයන් හතර දෙනා විය. විශේෂයෙන් ම "යුරොපීය රුක්‌ ගේ කුරුල්ලා" ගැන චීන ආණ්‌ඩුවට වූයේ ඉතා කරදරකාරී හැඟීමකි. ඒ කිසිවක්‌ නිසා නො ව, ගණනයන්ට අනුව වසරක දී එක්‌ ගේ කුරුල්ලෙකු වී කිලෝ 4.5ක්‌ පමණ කා දමන නිසා ය. එමෙන් ම අවසානයේ දී මිලියනයක පමණ ගේ කුරුල්ලන් ගෙන් හානි වන්නේ මිනිසුන් 60,000ක ආහාර බව ද ගණනය කර තිබිණි. මිලියන සියයකට වැඩි ප්‍රමාණයක්‌ වූ ගේ කුරුල්ලන් හට චීනයේ මේ තීරණය නිසා ජීවිත පූජා කරන්නට සිදු විය.

චීන ආණ්‌ඩුවට වැරදුණු බව තේරුම් යැමට වැඩි කාලයක්‌ ගත නො වී ය. මේ ගේ කුරුල්ලන් කා දමන්නේ ධාන්‍ය පමණක්‌ නො වන බවත් වගාවට හානි කරන අනෙකුත් කෘමීන් ද ඒ අතර වන බවත් ඔවුනට පසුව පැහැදිලි විය. එහෙත් ඒ වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබිණි. එනිසා අපේක්‌ෂා කළ ලාභය නො ව අවසානයේ දී ඔවුනට මුහුණ පෑමට සිදු වූයේ අනපේක්‌ෂිත අලාභයකට ය.

පරිසරයේ වෙසෙන සතුන් සහ ශාක අතර ඇත්තේ අපට සිතාගැනීමටවත් නොහැකි තරම් වූ කදිම සම්බන්ධතාවකි. ආහාර ජාලයේ එක පුරුකක්‌ ඉවත් කළ විට සමස්‌ත පද්ධතියේ ම සමතුලිත බව බිඳ වැටෙන්නේ එනිසා ය. ලෝක ඉතිහාසයේ මෙවන් සිදුවීම් තව බොහෝ ඇත. ඒ හැම දෙයකින් ම තුලිත පරිසරයක්‌ උදෙසා සොබාදහමේ ඇති සැම අංගයක ම වැදගත්කම කියා පායි.

මානව දියුණුවත් සමග ඒ හා සමගාමීව ඔවුනට සතුරු පළිබෝධයන් රැසක්‌ ද බිහි වන බව අමුතුවෙන් ඔබට විස්‌තර කළ යුතු නො වේ. ගම් නගර බිහි වත් ම සොබාවිකත්වය ඈත් වේ. එනිසා ම මේ පළිබෝධයන් වනසන ස්‌වාභාවික සතුරන් ද හිඟ වේ. නැත හොත් ස්‌වාභාවික සතුරන් නොමැති ම වේ. මේ අනුව අප ගේ ක්‍රියාකාරකම් ද ඔවුන් ගේ ශීඝ්‍ර වර්ධනයට රුකුල් දෙන බව පෙනෙයි.

මීයන් ද, කැරපොත්තන් ද, මැස්‌සන් ද, මදුරුවන් ද අප අත නො හැර ම මානව පරිසරයේ රැඳී සිටින සත්ත්ව කාණ්‌ඩ වෙයි. ඔවුන් ගෙන් අපට එල්ල වන උපද්‍රව සහ හානි නිසා බොහෝ ආර්ථික අලාභ සිදු වේ.

මේ අතරින් මීයන් ගෙන් සිදු වන හානිය ඉතා සුවිශේෂී වේ. වාර්තාවලට අනුව පාචනය, මී උණ, ජලභීතිකාව ඇතුළු ලෙඩ රෝග 34ක්‌ සදහා මීයන් හේතුකාරක වෙයි. ගණනය කර ඇති ආකාරයට වසරක දී මීයන් ගෙන් මානවයාට සිදු වන හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක්‌ පමණ වේ.

කලින් සදහන් කළ පරිදි මේ සදහා බොහෝ විට අනුබල දෙන්නේ අප ගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් බව බොහෝ දෙනකු නො දන්නවා ඇත. මීයන් ගේ ආගමනය වැඩි වන්නේ ගෙවල ඇතුළත ද පිටත ද ඉතා නිදහස්‌ ලෙස ද බහුල ලෙස ද ආහාර ලබාගැනීමට හැකි වීම නිසා ය. භාවිතයෙන් පසු ආහාර ක්‍රමවත්ව අසුරා නො තිබීම, ඉඳුල් ආහාර ක්‍රමවත්ව බැහැර නො කිරීම යනාදී පුරුදු මී ගහනය වැඩි කරන්නටත් අදාළ ස්‌ථානවලට ඔවුන් කැඳවීමටත් හේතු වේ.

කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අඳුර වැටෙන විට පමණක්‌ නො ව දහවල් කාලයේ දී ද ගොඩනැගිලි, කඩවල් සහ කුණු කාණු ආශ්‍රිත ව සැරිසරන මීයන් දුලබ දසුනක්‌ නො වේ.

මී උවදුරෙන් මිදීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරන මුත් ඒ එක්‌ ක්‍රමවේදයකින් හෝ නිසි ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇති බව ද පෙනී යන කරුණකි. වර්තමානයේ මීයන් මර්දනයට බහුලව විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙයි. මේ අතරින් "කූමරින්" (Coumarin) නම් වූ රසායනිකය භාවිත වන්නේ රුධිර ප්‍රතිකැටිකාරකයක්‌ (anticogulant) ලෙසිනි. මෙමගින් මීයන් හට හානි කළ හැකි බව සොයාගත් පසු මීයන් නැසීම සදහා පළිබෝධනාශකයක්‌ ලෙස භාවිත කරන්නට මිනිසුන් පෙලඹී ඇත. අනෙකුත් මී නාශක මෙන් නො ව මීයා ගේ මරණය ගෙන දෙන සාන්ද්‍රණය අත් කරගැනීම සදහා කිහිප වතාවක්‌ ම මේ රසායනිකය ශරීරගත විය යුතු ය. එමගින් අභ්‍යන්තර රුධිර වහනය වී මීයා මරණයට පත් වේ.

කොළඹ නගරවාසීන්ට මී උවදුරෙන් ගැලවීම සදහා කොළඹ නගර සභාව නොමිලේ රසායනිකය ලබා දෙන්නට තීරණය කර ඇත. එය එක්‌ අතකින් කෙතරම් හොඳ තීරණයක්‌ වුව ද අහිතකර පැති ද ඇති බව විමර්ශනය කළ යුතු ය. ලබා දෙන ප්‍රමාණය කොපමණ ද යන්න මෙහි දී ඉතා වැදගත් ය. එය නිශ්චය කරන්නේ කෙසේ ද? කොපමණ වතාවක්‌ ලබා දෙනවා ද? යන්න සැලකිය යුතු කරුණු ය. ඒ සියල්ල හා බැඳී පවතින්නේ නිකරුණේ කොපමණ ප්‍රමාණයක්‌ මේවා පරිසරයට එකතු වන්නේ ද යන්නයි. එමෙන් ම එම ප්‍රමාණය නැවත පරිසරයෙන් ඉවත් කළ හැකි ද යන්නත් ඉතා වැදගත් ප්‍රශ්නයකි. මේ විෂද්‍රව්‍ය භාවිතය නිසා ඉලක්‌කගත නො වන අය ද බලපෑමට ලක්‌ විය හැකි ය. ඒ අතර කුඩා දරුවන්, බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන්, මාළුන් වැනි ජලාශ්‍රිත සතුන් ද විශේෂයෙන් ම මීයන් මත යෑපෙන බස්‌සන් සහ උකුස්‌සන් වැනි කුරුල්ලන්, කබරගොයින් සහ සර්පයන් ද පමණක්‌ නො ව එම ආහාර ජාලයේ ඉහළින් ඉන්නා අනෙකුත් සතුන් ද සිටිය හැකි ය. එලෙස වූ අවස්‌ථා ලොව නන් දෙසින් වාර්තා වෙයි. එපමණක්‌ නො ව මෙලෙස කුඩා ප්‍රදේශයකට ලබා දෙන පීඩනයෙන් මීයන් මර්දනය කෙතරම් දුරකට සාර්ථක ව කෙරෙයි ද යන්න ද ගැටලුසහගත ය.

මීයන් සමූලඝාතනයේ පසු ප්‍රතිඵල චීන ගේ කුරුල්ලන් ඝාතනය සේ ම නො සිතු අහිතකර ප්‍රතිපල ගෙන එන්නට බැරි නැත. එනිසා සමූලඝාතනය නො ව පාලනයකට ලක්‌ කිරීම වඩාත් යෝග්‍ය බව අප ගේ අදහස ය. ඒ සදහා සත්ත්වයා වෙත යොමු වීමට පළමුව අප ගේ අඩුපාඩු නිවැරැදි කරගත හැකි නම් මැනවි. විශේෂයෙන් ම නිසි පරිදි නිසි කල කාබනික අපද්‍රව්‍ය බැහැර කිරීම ඉතා වැදගත් ය. ආහාර අපතේ නො යෑවීම ද එහි එක්‌ වැදගත් පියවරකි.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...