විදුපත්ඉරුව
අද ශීඝ්‍ර දියුණුවක් අත් කරගෙන සිටින චීනය විසින්, හැටේ දශකයේ අග භාගයේ තම කෘෂිකර්මාන්තයේ අභිවෘද්ධිය උදෙසා, තෝරාගත් සතුන් හතර දෙනකු සමූලඝාතනය කරන්නට තීරණය කරන ලදි. මැස්‌සන් ද, මදුරුවන් ද, මීයන් ද සමග චීනයේ බහුලව වෙසෙන ගේ කුරුල්ලකු මේ පළිබෝධයන් හතර දෙනා විය. විශේෂයෙන් ම "යුරොපීය රුක් ගේ කුරුල්ලා" ගැන චීන ආණ්‌ඩුවට වූයේ ඉතා කරදරකාරී හැඟීමකි. ඒ කිසිවක් නිසා නො ව, ගණනයන්ට අනුව වසරක දී එක් ගේ කුරුල්ලෙකු වී කිලෝ 4.5ක් පමණ කා දමන නිසා ය. එමෙන් ම අවසානයේ දී මිලියනයක පමණ ගේ කුරුල්ලන් ගෙන් හානි වන්නේ මිනිසුන් 60,000ක ආහාර බව ද ගණනය කර තිබිණි. මිලියන සියයකට වැඩි ප්‍රමාණයක් වූ ගේ කුරුල්ලන් හට චීනයේ මේ තීරණය නිසා ජීවිත පූජා කරන්නට සිදු විය.
චීන ආණ්‌ඩුවට වැරදුණු බව තේරුම් යැමට වැඩි කාලයක් ගත නො වී ය. මේ ගේ කුරුල්ලන් කා දමන්නේ ධාන්‍ය පමණක් නො වන බවත් වගාවට හානි කරන අනෙකුත් කෘමීන් ද ඒ අතර වන බවත් ඔවුනට පසුව පැහැදිලි විය. එහෙත් ඒ වන විට ඔවුන් බොහෝ ප්‍රමාද වී තිබිණි. එනිසා අපේක්‌ෂා කළ ලාභය නො ව අවසානයේ දී ඔවුනට මුහුණ පෑමට සිදු වූයේ අනපේක්‌ෂිත අලාභයකට ය.
පරිසරයේ වෙසෙන සතුන් සහ ශාක අතර ඇත්තේ අපට සිතාගැනීමටවත් නොහැකි තරම් වූ කදිම සම්බන්ධතාවකි. ආහාර ජාලයේ එක පුරුකක් ඉවත් කළ විට සමස්‌ත පද්ධතියේ ම සමතුලිත බව බිඳ වැටෙන්නේ එනිසා ය. ලෝක ඉතිහාසයේ මෙවන් සිදුවීම් තව බොහෝ ඇත. ඒ හැම දෙයකින් ම තුලිත පරිසරයක් උදෙසා සොබාදහමේ ඇති සැම අංගයක ම වැදගත්කම කියා පායි.
මානව දියුණුවත් සමග ඒ හා සමගාමීව ඔවුනට සතුරු පළිබෝධයන් රැසක් ද බිහි වන බව අමුතුවෙන් ඔබට විස්‌තර කළ යුතු නො වේ. ගම් නගර බිහි වත් ම සොබාවිකත්වය ඈත් වේ. එනිසා ම මේ පළිබෝධයන් වනසන ස්‌වාභාවික සතුරන් ද හිඟ වේ. නැත හොත් ස්‌වාභාවික සතුරන් නොමැති ම වේ. මේ අනුව අප ගේ ක්‍රියාකාරකම් ද ඔවුන් ගේ ශීඝ්‍ර වර්ධනයට රුකුල් දෙන බව පෙනෙයි.
මීයන් ද, කැරපොත්තන් ද, මැස්‌සන් ද, මදුරුවන් ද අප අත නො හැර ම මානව පරිසරයේ රැඳී සිටින සත්ත්ව කාණ්‌ඩ වෙයි. ඔවුන් ගෙන් අපට එල්ල වන උපද්‍රව සහ හානි නිසා බොහෝ ආර්ථික අලාභ සිදු වේ.
මේ අතරින් මීයන් ගෙන් සිදු වන හානිය ඉතා සුවිශේෂී වේ. වාර්තාවලට අනුව පාචනය, මී උණ, ජලභීතිකාව ඇතුළු ලෙඩ රෝග 34ක් සදහා මීයන් හේතුකාරක වෙයි. ගණනය කර ඇති ආකාරයට වසරක දී මීයන් ගෙන් මානවයාට සිදු වන හානිය ඇමෙරිකානු ඩොලර් බිලියන 400ක් පමණ වේ.
කලින් සදහන් කළ පරිදි මේ සදහා බොහෝ විට අනුබල දෙන්නේ අප ගේ නොසැලකිලිමත් ක්‍රියාකාරකම් බව බොහෝ දෙනකු නො දන්නවා ඇත. මීයන් ගේ ආගමනය වැඩි වන්නේ ගෙවල ඇතුළත ද පිටත ද ඉතා නිදහස් ලෙස ද බහුල ලෙස ද ආහාර ලබාගැනීමට හැකි වීම නිසා ය. භාවිතයෙන් පසු ආහාර ක්‍රමවත්ව අසුරා නො තිබීම, ඉඳුල් ආහාර ක්‍රමවත්ව බැහැර නො කිරීම යනාදී පුරුදු මී ගහනය වැඩි කරන්නටත් අදාළ ස්‌ථානවලට ඔවුන් කැඳවීමටත් හේතු වේ.
කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල අඳුර වැටෙන විට පමණක් නො ව දහවල් කාලයේ දී ද ගොඩනැගිලි, කඩවල් සහ කුණු කාණු ආශ්‍රිත ව සැරිසරන මීයන් දුලබ දසුනක් නො වේ.
මී උවදුරෙන් මිදීමට නොයෙකුත් උපක්‍රම භාවිත කරන මුත් ඒ එක් ක්‍රමවේදයකින් හෝ නිසි ප්‍රතිඵල ලබාගැනීමට නොහැකි වී ඇති බව ද පෙනී යන කරුණකි. වර්තමානයේ මීයන් මර්දනයට බහුලව විෂ රසායනික ද්‍රව්‍ය භාවිත කෙරෙයි. මේ අතරින් "කූමරින්" (Coumarin) නම් වූ රසායනිකය භාවිත වන්නේ රුධිර ප්‍රතිකැටිකාරකයක් (anticogulant) ලෙසිනි. මෙමගින් මීයන් හට හානි කළ හැකි බව සොයාගත් පසු මීයන් නැසීම සදහා පළිබෝධනාශකයක් ලෙස භාවිත කරන්නට මිනිසුන් පෙලඹී ඇත. අනෙකුත් මී නාශක මෙන් නො ව මීයා ගේ මරණය ගෙන දෙන සාන්ද්‍රණය අත් කරගැනීම සදහා කිහිප වතාවක් ම මේ රසායනිකය ශරීරගත විය යුතු ය. එමගින් අභ්‍යන්තර රුධිර වහනය වී මීයා මරණයට පත් වේ.
කොළඹ නගරවාසීන්ට මී උවදුරෙන් ගැලවීම සදහා කොළඹ නගර සභාව නොමිලේ රසායනිකය ලබා දෙන්නට තීරණය කර ඇත. එය එක් අතකින් කෙතරම් හොඳ තීරණයක් වුව ද අහිතකර පැති ද ඇති බව විමර්ශනය කළ යුතු ය. ලබා දෙන ප්‍රමාණය කොපමණ ද යන්න මෙහි දී ඉතා වැදගත් ය. එය නිශ්චය කරන්නේ කෙසේ ද? කොපමණ වතාවක් ලබා දෙනවා ද? යන්න සැලකිය යුතු කරුණු ය. ඒ සියල්ල හා බැඳී පවතින්නේ නිකරුණේ කොපමණ ප්‍රමාණයක් මේවා පරිසරයට එකතු වන්නේ ද යන්නයි. එමෙන් ම එම ප්‍රමාණය නැවත පරිසරයෙන් ඉවත් කළ හැකි ද යන්නත් ඉතා වැදගත් ප්‍රශ්නයකි. මේ විෂද්‍රව්‍ය භාවිතය නිසා ඉලක්‌කගත නො වන අය ද බලපෑමට ලක් විය හැකි ය. ඒ අතර කුඩා දරුවන්, බල්ලන් සහ පූසන් වැනි සුරතල් සතුන්, මාළුන් වැනි ජලාශ්‍රිත සතුන් ද විශේෂයෙන් ම මීයන් මත යෑපෙන බස්‌සන් සහ උකුස්‌සන් වැනි කුරුල්ලන්, කබරගොයින් සහ සර්පයන් ද පමණක් නො ව එම ආහාර ජාලයේ ඉහළින් ඉන්නා අනෙකුත් සතුන් ද සිටිය හැකි ය. එලෙස වූ අවස්‌ථා ලොව නන් දෙසින් වාර්තා වෙයි. එපමණක් නො ව මෙලෙස කුඩා ප්‍රදේශයකට ලබා දෙන පීඩනයෙන් මීයන් මර්දනය කෙතරම් දුරකට සාර්ථක ව කෙරෙයි ද යන්න ද ගැටලුසහගත ය.
මීයන් සමූලඝාතනයේ පසු ප්‍රතිඵල චීන ගේ කුරුල්ලන් ඝාතනය සේ ම නො සිතු අහිතකර ප්‍රතිපල ගෙන එන්නට බැරි නැත. එනිසා සමූලඝාතනය නො ව පාලනයකට ලක් කිරීම වඩාත් යෝග්‍ය බව අප ගේ අදහස ය. ඒ සදහා සත්ත්වයා වෙත යොමු වීමට පළමුව අප ගේ අඩුපාඩු නිවැරැදි කරගත හැකි නම් මැනවි. විශේෂයෙන් ම නිසි පරිදි නිසි කල කාබනික අපද්‍රව්‍ය බැහැර කිරීම ඉතා වැදගත් ය. ආහාර අපතේ නො යෑවීම ද එහි එක් වැදගත් පියවරකි.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Sunday, 11 November 2018
Subscribe to:
Post Comments (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...
1 comment:
Nice article sir, thanks for sharing knowledge
Post a Comment