Friday, 23 August 2019

විදු පත් ඉරුව
29.03.2017

පෘථරිවිය බිහි වූයේ මින් වසර බිලියන 4.6 කට පෙර ය. මහා පිපිරුම නිසා විසිරුණු දුහුවිලි වලාවක්‌ ක්‍රමයෙන් සංකෝචනය වීමෙන් පෘථරිවිය සහිත මේ සූර්යග්‍රහ මණ්‌ඩලය නිර්මාණය විය. එහි ජීවයේ නියමුවා වූයේ පෘථරිවියයි. දසත පැතිර තිබූ දුහුවිලි අධික තාපයක්‌ සමග සංකෝචනය වූයේ ඝනැති පාෂාණ නිර්මාණය කරමිනි. ක්‍රමයෙන් සිසිලනයට ලක්‌ වූ පාෂාණ තට්‌ටු වරෙක එක්‌ වෙමින් ද නැවත වෙන් වෙමින් ද නො නවතින ගමනක නිරත වෙමින් පවතී. මේ අතර ජීර්ණයට ලක්‌ වූ මිහිපිට වූ පාෂාණ අවසාදිත නිර්මාණය කරමින් මුහුදු පත්ලේ තැන්පත් විණි. තවත් වරෙක මිහි ලිය ගිලගත් පාෂාණ තට්‌ටු දිය කරමින් ලෝදිය නිපැදවිණි.

එලෙස නිර්මාණය වූ පෘථරිවි තල අතර වූ එක්‌ අපූරු තලයක ය අප රට පිහිටන්නේ. ජුරාසික යුගයේ දී ම ඉන්දියානු තලයෙන් වෙන් ව තනි ව ගමනක යෙදෙන ශ්‍රී ලාංකීය භූ තලය අද දවසේ ඔබ අප ගේ නිවහන වන්නේ ය. දූපතක්‌ ලෙස මෙදින එය දිස්‌ වන්නට හේතු වූයේ එම වෙන් වීමයි. භූ විද්‍යාඥයන් පවසන අන්දමට වසරකට මිලිමීටර එකක පමණ වේගයකින් ඉන්දියාවෙන් වෙන් ව ඕස්‌ටේ්‍රලියාව දෙසට පා වෙමින් පවතින ශ්‍රී ලාංකේය භුමි භාගය කාවරී ෙද්‍රdaණිය කෙමෙන් පුළුල් කරයි.

ශ්‍රී ලංකාවේ භූ විද්‍යාත්මක පසුබිම ඔබ අප සියලු දෙනා දැනගත යුතු ව ඇත. ප්‍රොaටෙරොසොයික්‌ යුගය ශ්‍රී ලංකා භුමි භාගය නිර්මාණය කරන්නට හේතු වූ කාලවකවානුවයි. ඒ වසර මිලියන 2000කට පමණ පෙර ය. ලොව බිහි වූ මුල් ම පාෂාණ ගිනිකඳු පිපිරීම් නිසා ද භූ තල ක්‍රියාකාරකම් නිසා ද නැවත නැවත චක්‍රීයකරණය වන්නට විය. මෙහි දී ජීර්ණය ද ප්‍රමුඛ කාර්යභාරයක්‌ ඉටු කළේ ය. එමගින් බිහි වූ අවසාදිත මුහුදු පත්ලේ තැන්පත් වූ අතර වරින් වර පොළෝ අභ්‍යන්තරයෙන් පිපිරී ඉහළට ආ ලෝදිය සමග මිශ්‍ර විය. ශ්‍රී ලාංකේය භූමි භාගයේ නිර්මාණය එසේ ඇරඹුණු අතර එය එතරම් ම සරල සිදුවීමක්‌ නො වන බව ද අප සිහි තබාගත යුතු ය. දීර්ඝ කාලයක්‌ තිස්‌සේ සිදු වන මෙවැනි පෘථිවි ක්‍රියාදාමයන් සැම විට ම සංකීර්ණ වෙයි.

වසර මිලියන පන් සියයක්‌ පමණ වූ කාලයේ සිදු වූ තවත් අපූරු ක්‍රියාවලියක්‌ හේතුවෙන් ෙද්‍රdණිගත වූ ඉහත කී පූර්වජ අවසාදිතවල ද අවසාදිත පාෂාණවල ද සිදු වූ විපරියාසය ශ්‍රී ලංකා භුමිභාගය නිර්මාණයට හේතු විය. එය විපරිතකරණය නම් වේ. පෘථිවි තල අතර වූ තෙරපීම මේ විපරිතකරණය සිදු කරවී ය. අවසාදිතකරණය හේතුවෙන් මුහුදු පත්ලේ නිර්මාණය වූ පූර්වජ අවසාදිත සහ අවසාදිත පාෂාණ මෙනිසා විපරිතකරණය විය. ඒ හා සමග වූ ලෝදියෙන් නිර්මාණය වූ පාෂාණ ද විපරිතකරණයට ලක්‌ විය. විපරිතකරණය මුළුමනින් ම වෙනස්‌ වූ පාෂාණ ගොනු බිහි කරන්නට හේතු විය.

මේ විපරිතකරණයෙන් ශ්‍රී ලකා භුමි භාගය නිර්මාණය කළ පාෂාණ බහුතරයක්‌ විපරිත පාෂාණ බවට පත් විණි. විපරිතකරණයේ අපූරු සිහිවටන එම පාෂාණ තුළ තැන්පත් කෙරිණි. ඝන මාධ්‍යයේ සිදු වූ ප්‍රතිඛනිජකරණය විපරිතකරණය සිදු වන විට තිබූ පාරිසරික තත්ත්වවලට ගැලපුණු කදිමට ඛනිජ බිහි කරන්නට හේතු විය. ඝන මාධ්‍යයේ සිදු වන ස්‌ඵටිකීකරණය විස්‌මයජනක භූ රසායනික ක්‍රියාවලියකි. විපරිතකරණය සිදු වෙද්දී ඇති වන පීඩනය ද අධික තාපය ද මේ ප්‍රතිඛනිජකරණයට මගපාදයි. ඛනිජ යනු රසායනික සංයෝග වේ. ඒවා නිර්මාණය වන්නේ විවිධ මූලද්‍රව්‍ය මිශ්‍රණයෙන් වන අතර විපරිතකරණයේ දී වෙනත් ඛනිජ බවට පත් වීමේ දී මේ මූලද්‍රව්‍ය ද පැරැණි ඛනිජ තුළින් ගිලිහී නැවත මිශ්‍ර ව අලුත් ඛනිජ බිහි කරයි. ඇදහිය නොහැකි කරුණ වන්නේ මේ සියල්ල ඝන මාධ්‍යයේ සිදු වීමයි. විපරිතකරණයේ විස්‌මය එයයි.

විපරිතකරණයේ දී අවසාදිත සහ අවසාදිත පාෂාණ සුවිශේෂී විපරිත පාෂාණ බවට පත් වේ. බොහොමයක්‌ අවසාදිතවලට ලාක්‌ෂණික වනුයේ ඇලුමිනියම් අධික වීමයි. එහෙත් විපරිතකරණයෙන් බිහි වන පාෂාණවල රසායනයේ වෙනසක්‌ සිදු නො වේ. සිදු වන්නේ ඛනිජ සංයුතිය වෙනස්‌ වීමයි. එනිසා ඇලුමිනියම් වැඩි විපරිත ඛනිජ බිහි වනුයේ නව පාෂාණ නිර්මාණය කරමිනි. රබහා, කොරන්ඩම්, සිලිමනයිට්‌ හා කයනයිට්‌ වැනි ඛනිජ ඇලුමිනියම් අධික පාෂාණවල ලාක්‌ෂණික වේ. මේ ඛනිජ බොහොමයක්‌ ශ්වේත වර්ණ වේ.

අවසාදිතවල සහ අවසාදිත පාෂාණවල වූ 'ප්‍රාග් ජීව ධාතුන්' සහ ඒවායේ සටහන් විපරිතකරණය නිසා විනාශ වී යයි. එනිසා සියලු විපරිත පාෂාණවල මෙවැනි 'ප්‍රාග් ජීව ධාතුන්' රැඳෙන්නේ නැත. අවසාදිත පාෂාණවල වූ සියලු ලක්‌ෂණ මෙනිසා ඉතිරි වන්නේ නැත. එපමණක්‌ නො ව, ලෝදිය මගින් නිර්මාණය වූ පාෂාණවල වූ ලක්‌ෂණ ද ඛනිජ සංයුතිය ද වියෑකී යන්නේ විපරිතකරණය නිසාවෙනි. ඓහෙත් රසායනයන්හි නො සිදු වූ වෙනස්‌කම් නිසා විපරිතකරණයෙන් පසු මේ පාෂාණ වර්ග කර හඳුනාගැනීම එතරම් ම අපහසු නො වේ.

ශ්‍රී ලංකාව බිහි කළ බොහොමයක්‌ විපරිත පාෂාණ නයිස්‌ නම් වූ වර්ගයට අයත් වේ. ඉහළ ම තත්ත්වවල දී නිර්මාණය වූ උසස්‌ විපරිත පාෂාණ වන මේ පාෂාණ එයට ලාක්‌ෂණික වන එකිනෙක පරයා සැකසුණු කළු සහ සුදු පැහැ වර්ණ රටාවන් ගෙන් සමන්විත වේ. ශ්‍රී ලංකාවේ භුමිය නිර්මාණය වන්නේ ප්‍රධාන පාෂාණ සංකීර්ණ තුනක්‌ මගින් වන අතර ඒවායේ පූර්වජයන් ගේ බිහි වූ කාල සීමාව පදනම් කරගත් කාල නිර්ණයෙන් මූලිකව වෙන් කර හඳුනාගනී. ඊසාන-නිරිත දිශානුගත ව විහිදෙන මේ පාෂාණ සංකීර්ණ තුන හඳුන්වන්නේ උතුරේ සිට වන්නි, උස්‌බිම් සහ විජයානු සංකීර්ණ ලෙස ය. මධ්‍යයේ වන උස්‌බිම් සංකීර්ණය වසර මිලියන 2100ක්‌ පමණ පැරැණි අතර ඉතිරි සංකීර්ණ දෙක වසර මිලියන 1100ක්‌ පමණ වෙතැයි ගණනය කර ඇත. ඒ අනුව භූ විද්‍යාඥයන් පවසන්නේ ශ්‍රී ලංකාව පිහිටන්නේ ලොව පැරැණි ම පාෂාණ කලාපයක බව ය.

ආචාර්ය පත්මකුමාර ජයසිංහ

4 comments:

Eratu said...

ළමයින් ට හරි වටිනව.විද්‍යාවට (10 ශ්‍රේණියෙ) ඉස්සර තිබ්බ.අලුත් සිලබස් වෙද්දි 2016 අයින් කරල. ඔබේ නමත් එක්ක බිත්ති පුවත් පතට දාන්න ගත්තට කමක් නැද්ද.

vidyavindana said...

Please go ahead wathsala....!!!

Gayashan L. Kodagoda said...

Apita note hadanna kiyala godak dewal naha kiyala hithanawa sir... sirge blog eka kiyawadda e dewal godak cover wenwa kiyala hithenawa...

Pathme said...

I am so happy that you all are reading here. Those article are very important because it covers many areas. These are resulted from long term habit of reading. You all should do that. Extract knowledge and create new knowledge.

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...