10.05.2017
පරිසරය නිරතුරුව වෙනස් වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමයට ලක් වෙයි. මිනිසා ද පරිණාමයට ලක් වෙයි. එනිසා සමාජ සංස්‌කෘතීන් ද පරිණාමයට ලක් වෙයි. එම පරිණාමය මෙකල්හි 'විපරිණාමයක්' නො වන්නේ යෑයි කාට කිව හැකි දැයි අපි නො දනිමු.
සංස්‌කෘතීන්හි පරිණාමය විපරිණාමයක් වූ කල්හි මිනිස් සංහතියේ විනාශය සනිටුහන් කරන බව අමතක නො කළ යුතු ය. පවතින පරිසරයට එරෙහි ව යන කල යම් සංස්‌කෘතියක් වැඩි කල් නො පවතින බව සමාජ මතයයි. මුල් බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක් ස්‌ථාපනය කරන්නටත් එය මෙලොවින් තුරන් කරන්නටත් ඇතැම් විට සමත් වෙයි.
ආගමක් අවැසි වන්නේ සමාජය හික්‌මවන්නට බව පැවැසේ. සැම ආගමක් ම එසේ නොමැති යෑයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වුවත් 'හික්‌මවීම' යන්න පවා බොහෝ සාපේක්‌ෂ බව පැවසිය යුතු ය. පවතින සමාජය තුළ හෝ බිහි වන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි.
බෞද්ධාගම වැළඳගත් අපේ පැරැණි මිනිසුන් ඒ පාදක කරගෙන අපූරු සංස්‌කෘතියක් බිහි කර ඇත්තේ ය. සාමය ද, අහිංසාව ද ප්‍රමුඛ කරගත් ඒ සමාජය කරුණාව ද මෛත්‍රිය ද තම මාවත එළිය කරන පහන් ටැඹ කරගත් බව, අතීත සිදුවීම් විමසන විට කදිමට තේරුම්ගත හැකි වේ. සතා සිවුපාවට ද, ගහ කොළට ද ඒ තුළ ඇත්තේ අත්‍යන්ත ආරක්‌ෂාවකි.
යම් ආගමක සත්‍යය, මූලික හරය, සමාජ පරිණාමයත් සමග කල් යත් ම අනාගතයට නිසි ලෙස නිවැරැදිව සම්ප්‍රේෂණය වන්නේ යෑයි කිසි ලෙසකින් වත් පැවසිය නොහැකි ය. වසර 2600කට පෙර බිහි වූ බෞද්ධ ධර්මය නිර්මලව පවතින්නේ යෑයි අද අපට පැවසිය නොහැකි ය. නළ දිගේ ජලය සුමටව ගලා යන්නා සේ එක් එක් සමාජ පරිවර්තනයන් හමුවේ ඕනෑ ම ආගමක අරමුණ ද හරය ද සුමටව ගලා යන්නේ නැත. එනිසා එහි නිර්මල අරමුණ ද හරය ද නොයෙක් ලෙස වෙනස් වීම්වලට භාජන වන බව අපට පැහැදිලි වෙයි. සමාජ ප්‍රගමනය කෙතරම් ප්‍රබල ද යන්න යම් ආගමක අපගමනය අනුව තේරුම්ගත හැකි ය. බෞද්ධ අපට ද මෙය වලංගු වෙයි.
විදුසර ඔබ අත පත් වන අද දින බෞද්ධ ජනතාවට අතිශය වැදගත් දිනයයි. එහෙත් අද දිනයේ ලහි ලහියේ බොහෝ දෙනකු ලක ලැහැස්‌ති වන්නේ කුමන පරමාර්ථයක් සරි කරගන්නට ද යන්න ගැටලු සහගත බව ඔවුන් සිදු කරන යම් යම් කටයුතුවලින් පැහැදිලි වේ. බෞද්ධ සාරධර්මවලට සහ මූලික හරයට පටහැනි ව කොපමණ දෙනා මේ වෙසඟේ ක්‍රියාත්මක වන්නේ ද යන්න මඳක් සිතා බලන්න.
සමාජ විද්‍යාත්මක විග්‍රහයන් මඟින් පැහැදිලි වන්නේ නූතනයේ ප්‍රතිපත්තියට අඩු තැනක් දෙමින් ආමිසය කෙරෙහි ම ඇති බෞද්ධයන් ගේ නැඹුරුවයි. දන්සල් පවා සැබෑ දානයක තිබිය යුතු ගැඹුරු අරමුණු පෙරදැරිව ක්‍රියාත්මක වන්නේ ද නැතිනම් හුදෙක් ප්‍රචාරණ හෝ වෙනත් එවැනි මතුපිට අරමුණක් ඇති ව සිදු කරන්නේ ද යන සැකය එහි යෙදෙන ඇතැමුන් ගේ ක්‍රියා කලාප දෙස බලන කල මතු වේ. මනස මූලික කරගත් දහමක මෙවැනි අපගමනයක් අනුමත කරන්නේ කෙසේ ද? වෙසක් කූඩු ද, පහන් ද, ඉටිපන්දම් ද දල්වමින් ඔබ සිහි කළ යුත්තේ කුමක් දැයි නිකමට හෝ සිතුවා ද? බොහෝ අලංකාර පුෂ්පයන් පූජා කරමින් ඔබ මතකයට නගන්නේ කුමක් ද? දැල්වෙන නිවෙන විදුලි බුබුළු පිරිවරාගත් තොරණ රාජයා ගෙන එන පණිවිඩය කුමක් දැයි ඔබ මොහොතකට හෝ සිතුවා ද? වෛවර්ණ අලංකරණය පමණක් ම මූලික කරගත් වෙසක් සැරසිලිවලින් සමන්විත "කලාප" සහ ඒ නරඹන්නට සැණකෙළි සිරියෙන් සැදී පැහැදී විවිධ ඝෝෂා නගමින් සෙසු අයටත් කරදරයක් වෙමින් ගමන් කරන නඩ අපට කියාපාන පණිවිඩය කුමක් ද? මෙකල වෙසක් දිනයේ බාගෙට බාගයක් අංග, ආධ්‍යාත්මය දියුණු කරන ප්‍රතිපත්ති වසාලමින් ලෞකික බැඳීම් කෙරෙහි ම මිනිසා නැඹුරු කරන සහ එනයින් චිත්ත ඒකාග්‍රතාවට නැවතත් බාධා පමුණුවන සියුම් උගුල් පමණක් වී ඇති අයුරු ඉතා සුපැහැදිලිව දක්‌නට ඇත.
මනසෙහි ප්‍රගමනය වර්තමානයේ සිදු වන්නේ ආපස්‌සට බව මෙරට පමණක් නො ව මෙලොව සිදු වන බොහෝ ක්‍රියාකලාපයන් විශ්ලේෂණයෙන් උගත හැකි කරුණයි. විය යුත්තේ මනසෙහි සන්සුන් බව රැකගැනීම නම් මෙතරම් විච්චූරණ මන්දැයි යමකුට අසන්නට හැකියාව ඇත. එම පැනය වර්තමානයට ඉතා අපූරුවට සබැඳේ. තම ආගමෙන් කියවෙන බොහෝ කරුණු දැන් දැන් මිනිස් සිත් සතන් තුළින් ගිලිහී ගොස් ඇති බව විපරිණාමය වෙමින් පවතින මේ සමාජය විග්‍රහ කිරීමෙන් පැහැදිලි වේ.
මනසෙහි පරිණාමය ක්‌ෂණිකව සිදු වන්නක් නො වේ. සුබදායි වෙනසකට වඩා අසුබවාදී වෙනසකට මනස පෙරළෙන්නට ගත වන කාලය ඉතා අඩු ය. දිගුකාලීනව පුරුදු පුහුණු වූ මනසකට සමාජ පෙරළීම් හමුවේ නො සැලී සිටිය හැකි වුවත් දැන් දැන් සිදු වන විවිධ පෙරළීම් හමුවේ වත්මන් බෞද්ධයන් කෙතරම් කැළඹිලිසහගත ද යන්න ඔවුන් යම් යම් සිදුවීම්වලට දක්‌වන ප්‍රතික්‍රියා අනුව පැහැදිලි වේ. සියලු අන්තගාමී ආගමික කල්ලි මේ සමාජය රැගෙන යන්නේ විනාශය කරා බව සියුම් ව මේ සිදුවීම් විග්‍රහ කරන්නකුට පැහැදිලි වෙයි.
සුබදායි පරිසරයක් පවත්වාගැනීමට මනසෙහි සන්සුන් බව විශාල පිටිවහලක් බව අමුතුවෙන් පැවසිය යුතු නො වේ. සන්සුන් මනස විද්‍යාඥයකුට ද අත්‍යවශ්‍ය සාධකයක් වෙයි. චිත්ත ඒකාග්‍රතාව ලබා දෙන ආගමක් වේ නම් එය සමාජයේ ඕනෑ ම යහපත් කටයුත්තක් සාක්‌ෂාත් කරගැනීම සඳහා ද ආශිර්වාදයකි. එනිසා ආගම එහි අන්තර්ගත හරයට අනුකූලව, බුද්ධිමත්ව, අවිහිංසාවාදී ව පරිශීලනය නො වේ නම් එතන බිහි වන්නේ සමාජ ප්‍රගමනයට අනුචිත වටපිටාවක් බව අප වටහාගත යුතු ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment