විදුපත්ඉරුව
2016.08.17
2016.08.17
"පෘථිවි අභ්‍යන්තරයේ ඉන්නා ගල් කන පණුවා ගල් කෑව ද ගල් දෙකක් අතරින් තැබූ කතුර කන්නේ මළකඩ ය". මේ "ගල් කන පණුවා ගේ කතාව" අප අතර එක් කලෙක පැතිර ගිය ජනප්‍රිය හාස්‍යජනක කතාන්දරයකි. සත්‍ය ලෙස ම මෙවැනි ජීවීන් ලොව වෙසෙන්නේ ද යන්න එකල මට ද ඇති වූ පැනයකි. පණුවන් කෙසේ වෙතත් පාෂාණ ආහාර කරගන්නා වෙනත් ජීවීන් විශේෂයක් වෙසෙන බව විද්‍යාඥයන් සොයාගෙන තිබීම කෙතරම් විස්‌මයජනක ද යන්න ඒ ගැන සොයද්දී මට සිතිණි. ඔබට ද මෙය කියවූ පසු එසේ සිතෙනු නිසැක ය. ඇසට නො පෙනෙන ජීවීන් කාණ්‌ඩයක් වන මොවුන් ඔබ ඉතා හොඳින් දන්නා බැක්‌ටීරියාවන් වේ. මොවුන් හඳුන්වන්නේ 'පාෂාණභක්‌ෂක' බැක්‌ටීරියාවන් (lithotrophic bacteria) ලෙස ය.
ඔබ හොඳින් දන්නා පරිදි බැක්‌ටීරියාවන් ඉතා අධික විවිධත්වයක් පෙන්වන ක්‌ෂුද්‍රජීවීන් කාණ්‌ඩයකි. ලොව දසත විසිරි පැතිරී ඇති මොවුන් ඉතා කටුක පරිසරවල පවා ජීවත් වීමට කදිමට හැඩගැසී ඇත. ක්‌ෂුද්‍ර දේහ දරන මේ ජීවීන් ඉතා සරල ඒක සෛලිකයන් ය. ජීවී පරිණාමයේ මූලාරාම්භකයන් ලෙස විදු ලොව පිළිගැනෙන මොවුන් ගේ සරල දේහ ඉතා ම සරල පරිවෘත්තීය ක්‍රියා පෙන්වන විද්‍යාගාර වැනි ය. තම ශක්‌ති අවශ්‍යතාව ආකාර ගණනාවකින් පිරිමසාගන්නා මොවුන් සමහරෙක් ස්‌වයං නිෂ්පාදකයෝ වෙති. ප්‍රභාසංශ්ලේෂකයෝ ද එමෙන් ම රසාසංස්‌ලේෂකයෝ ද ඒ අතර වෙති.
'පාෂාණභක්‌ෂකයෝ' රසාසංශ්ලේෂකයෝ වෙති. ප්‍රභාව අහිමි පරිසර තුළ වෙසෙන මේ අපූරු බැක්‌ටීරියාවන් තම ශක්‌ති අවශ්‍යතාව සපුරාගන්නේ අකාබනික සංයෝග බිඳ හෙළීමෙනි. ඒ සදහා ඔවුන් වෙසෙන පරිසරයේ ඇත්තා වූ විවිධ සංයෝග වර්ග යොදාගනු ලැබේ. මේවා බොහොමයක් පාෂාණකාරක ඛනිජ නිර්මාණය කරන සංයෝග වෙයි. සරල ව පවසන්නේ නම් මොවුන් භක්‌ෂණය කරන්නේ ඛනිජ ය. ශක්‌තිය නිපදවන කැල්වින් චක්‍රය හරහා කාබන්ඩයොක්‌සයිඩ් තිර කිරීමට මොවුනට හැකි ය. මොවුනට ඒ හැකියාව ලැබෙන්නේ මේ සංයෝග බිඳ හෙළීමෙන් ලබාගන්නා ඉලෙක්‌ට්‍රොaනවලිනි. ඔක්‌සිජන් සපිරි පරිසරවල ද ඔක්‌සිජන් රහිත පරිසරවල ද ඉතා කදිමට ජීවත් වීමට මොවුනට හැකියාව ඇත. එහෙත් පරිසර තත්ත්ව වෙනස් වූ විට තම ජීවිතය ගැටගසා ගැනීමට සමහරකුට නොහැකි අතර තවත් කාණ්‌ඩයකට ඒ අපූරු හැකියාව ලැබී ඇත. ඔවුහු වෛකල්පිත පාෂාණභක්‌ෂකයෝ වෙති.
රසාසංශ්ලේෂක පාෂාණභක්‌ෂකයන් බොහෝ විට වෙසෙන්නේ ගල් ගුහාණී වගුරුබිම් වැනි අඳුරු පරිසර තුළ ය. ගැඹුරු මුහුදු පත්ලේ දැන් දැන් පිපිරෙන ගිනිකඳුවල ලාවා මුදාහරින විදාරණ ආශ්‍රිත ව ද පාෂාණභක්‌ෂකයන් හමු වන බවට සාක්‌ෂි ඇත. පොළොව අභ්‍යන්තරයේ ඉතා කටුක තත්ත්ව යටතේ අපූර්ව ජීවන ක්‍රමයකට හැඩගැසී ඇති පාෂාණභක්‌ෂකයෝ බොහොමයක් ඔක්‌සිජනිකෘත තත්ත්ව යටතේ ඉතා හොඳින් ක්‌රිතයාකාරී ය. ඔක්‌සිහරිත අකාබනික සංයෝග ඔක්‌සිකරණය කරමින් දායක සංයෝගයකින් ඉලෙක්‌ට්‍රොaන සොරාගන්නා මේ බැක්‌ටීරියාවන් දෛනික ක්‍රියා සදහා අවශ්‍ය ශක්‌තිය නිපදවාගන්නා අයුරු ඇත්තෙන් ම විස්‌මයජනක ය.
පාෂාණභක්‌ෂකයන් පාෂාණයේ ඛනිජ ආහාර කරගැනීම නිසා පාෂාණය ජීරණයට ලක් වන අතර නව ඛනිජයක් බිහි කරන්නට හේතු වේ. මෙය ජෛවඛනිජකරණය (Biomineralization) ලෙස හඳුන්වන අතර ඒ සදහා හේතු වන්නේ ඔවුන් ගේ ඔක්‌සිකාරක ක්‍රියාවයි. සෑදෙන ඔක්‌සිහරිත සංයෝග පරිසරයේ වඩා ස්‌ථායි සංයෝගයක් ලෙස නිදහස් වේ. උදාහරණයක් ලෙස 'යකඩ භක්‌ෂක' (iron) බැක්‌ටීරියාවන් විසින් ඔක්‌සිහරණය වූ යකඩ ඔක්‌සිකරණය කර යකඩ ඔක්‌සයිඩය (Fe2O3) නිපදවනු ලැබේ. මේවා බොහෝ විට හිමටයිට් ලෙස ස්‌ඵටිකීකරණය වන අතර වගුරු බිම්, කුඹුරු වැනි ස්‌ථානවල බහුලව හමු වේ. මේ අතර මැන්ගනස් (Manganas) සංයෝග මත යෑපෙන පාෂණභක්‌ෂක විශේෂයක් ද වෙයි. බොහෝ විට ඔවුන් 'යකඩ භක්‌ෂකයන්' හා එක් ව වෙසෙන බවක් පෙනී යයි. යකඩ ඔක්‌සයිඩ අවක්‌ෂේප වන්නා වූ බොහොමයක් ස්‌ථානවල මැන්ගනිස් ඔක්‌සයිඩය (MnO) ද අවක්‌ෂේප වනු දැකිය හැකි ය. ගෙන්දගම් (S) නිපදවන්නට සමර්ථයෝ ද මේ අතර වෙති. ඒ සදහා ඔවුන් භක්‌ෂණයට යොදාගන්නේ පයරයිට් (Payarite) වැනි ගෙන්දගම් අඩංගු ඛනිජ වර්ග වේ. එහි ඇති යකඩ හා ගෙන්දගම් අතර බන්ධනය කඩා බිඳ දමා ඔක්‌සිහරිත ගෙන්දගම් ඔකසිකරණය කර ස්‌ථායි ගෙන්දගම් බවට පත් කරනු ලැබේ. තවත් විශේෂයක් ගෙන්දගම් මත ක්‍රියා කර තවදුරටත් ඔක්‌සිකරණය කර සල්ෆේට නිපදවයි.
පාෂාණභක්‌ෂකයෝ නයිට්‍රජන්, පොටෑසියම්, පොස්‌පරස් සහ හයිඩ්‍රජන්වල සංයෝග මත ද ක්‍රියා කරන අතර එනිසා පෘථිවි ගැඹුරේ සිර වී ඇති මේ සංයෝග පොළොව මතුපිටට ගෙන එන්නට එය හේතුවක් වෙයි. මේ මුලද්‍රව්‍ය සංයෝගවල චක්‍රීය සංසරණයට මොවුන් ගේ භක්‌ෂණය මනා පිටිවහලක් වී ඇත. පාෂාණ භක්‌ෂකයන් ගේ ක්‍රියාකාරිත්වය විටෙක මිනිසාට තර්ජනයක් වන අවස්‌ථා ද නැත්තේ නො වේ. ස්‌වාභාවිකව පරිසරයේ ඇති ආසනික් සංයෝග අද්‍රdව්‍ය නිසා ජලයට නිදහස් වන්නේ නැත. එහෙත් වර්තමානයේ විද්‍යාඥයන් සැක කරන්නේ මොවුන් ගේ ක්‍රියාකාරිත්වය නිසා අද්‍රdව්‍ය ආසනික සංයෝග ද්‍රdව්‍ය වනු ඇති බවයි. එනිසා ආසනික් භූගත ජලයට එකතු වී මිනිසාට හානි ගෙන දෙන්නට හේතු වන බවයි.
පාෂාණභක්‌ෂයන් ගේ ක්‍රියාකාරිත්වයෙන් ඇති වන ඛනිජ එක්‌රැස් වී බිහි වන ඛනිජ නිධි හඳුනාගැනීම එතරම් අපහසු නොමැති බව විද්‍යාඥයෝ පවසති. ඒ මන්ද යත් සියල්ලෝ ම කරන පරිදි, ඔවුන් ද යම්කිසි සාක්‌කි සටහන් තබන බැවිනි. මේ ක්‌ෂුද්‍රයන් ගේ ක්‍රියාවෙන් උපදිනා සංයෝග ඉතා සියුම් වේ. බොහෝ විට ඉතා සියුම් ඛණිකා වන අතර ඒවායේ ප්‍රමාණය නැනෝ මීටර 2-3ක් පමණ වේ. එහෙත් අකාබනික ඛනිජකරණයෙන් බිහි වන සංයෝගවල ස්‌ඵටික වඩා විශාල වන අතර මේවායේ සියුම් ස්‌වරූපය අති විශේෂ වේ. මේ සදහා කදිම උදාහරණයක් වන්නේ ඇමෙරිකාවේ නෙවාඩා ප්‍රදේශයෙන් හමු වන සින්ක් නිධියකි.
කෙසේ වෙතත් මේ අපූර්ව ජීවී විශේෂය විශ්වයේ ජීවය ඇති වීමේ රහස සොයා යන ගමනේ එක සන්ධිස්‌ථානයක් ලෙස ද අපට සැලකිය හැකි ය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
No comments:
Post a Comment