Wednesday 16 October 2019

සුපිරි සිනාවකට පාෂාණ
Original Article was published in DIVAINA 16.10.2019

සුපිරි සිනාවකට නම් භූ විද්‍යාව ඕනේමයි. නොදන්නවා වුනාට ඔය ලස්සන හිනාව තවත් ලස්සන කරන්නේ භූ සම්පත් නිසා. ඇත්තටම කිව්වොත් ඛණිජ වර්ග නිසා. මොකද දන්නවද එහෙම කියන්නේ ? ඒ අපි පාවිච්චි කරන දත් බෙහෙත් හදන්න ඛණිජ ගණනාවක් යොදාගන්න නිසා. සජල සිලිකා, බෙන්තොනයිට් මැටි සහ හුණු මේ අතර ප්‍රධාන වෙනවා. මොකද හිතන්නේ... අච්චර තද ගල් වලින් මෙච්චර සුමුදූ දත් බෙහෙත් හදනවා කියලා හිතාගන්නත් බෑ නේද ?.

ඉහත සඳහන් කල ඛණිජ දත් බෙහෙත් හදන්න යොදාගන්නේ උලේඛයන් (Abrasive) ලෙසයි. සජල සිලිකා යන්නෙන් හැදින්වෙන්නේ ජලය සහිත සිලිකා යන්නයි. බොහොමයක් දෙනා මේ ගැන දන්නවා. යම් කිසි ඇසුරුමක ඇති දෙයක් වියලිව තියා ගන්න ඕනේ උනාම අපි වියළි සිලිකා භාවිතා කරනවා නේ. ඒවාට ජලය උරා ගත්තාම සජල සිලිකා බවට පත් වෙනවා. සිලිකා සමන්විත වෙන්නේ සිලිකන් ඩයොක්සයිඩ් (SiO2) කියන රසායනයෙන්. තිරුවානා ගල් හැදිලා තියෙන්නෙත් එම රසායනයෙන්ම තමයි.

බෙන්තොනයිට් කියන්නේ මැටි වර්ගයක්. ඇලුමිනියම් සිලිකේටයක් ලෙස හදුන්වන්න පුළුවන්. මැටි ඛණිජ වර්ග ගණනාවක් තියෙනවා. කෙයෝලින් කියන්නත් ඒවගේ මැටි වර්ගයක්. බෙන්තොනයිට් අයිති වෙන්නේ මොන්ට්මොරිලිනයිට් (montmorillonite) කියන මැටි වර්ගයට. ඇත්තටම් මේ මැටි වර්ගය නිපදෙන්නේ ගිනිකඳු මගින් නිර්මාණය වෙන්නේ යමහල් අළු (volcanic ash) ජීර්ණයට ලක් වීමෙන්. බෙන්තොනයිට් වයින්, බීර වැනි නිෂ්පාදන සඳහාද යොදා ගන්නවා.

එතකොට දත් බෙහෙත් හදන්න හුණුත් යොදාගන්නාව කියලා කිවවනේ. කැල්සියම් කාබොනේට් යන රසායනයෙන් තමයි හුණු නිර්මාණය වෙලා තියෙන්නේ. විටක් කනකොට ගන්න හුණු වලත රසායනයත් ඒකමයි. දත් බෙහෙත් හදන්න ගන්න හුණු ලබා ගන්නේ ‘චෝක්’ (chalk) නම් වූ පාෂාණයෙන්. ඉතිහාසයේ සඳහන් වෙන විදියට විසිවෙන ශතවර්ෂයේ මුල් භාගයේ ප්‍රධානම සංඝටකයක් වුනේ හුණු. ඒ විතරක් නොවෙයි සෝඩියම් බයි කාබොනේට් එහෙම නැතිනං බේකින් සෝඩා ත් උලේඛයක් ලෙස දත් බෙහෙත් හදන කොට ගන්නවා.

වසර 4000 කට පෙර සිටම දත් බෙහෙත් භාවිතා කල බවට සාක්ෂි හමු වෙනවා. මුල්ම කාලෙ ග්‍රීසියේ විවිධ ලෝහ රසායනයන් භාවිතා කරලා තියෙනවා. චීනයේ මිනිසුන් කුඩුකර ගත් මාළු ඇටකටු තමයි මේ සඳහා අරන් තියෙන්නේ. අරාබි ජාතිකයන් සිහින්ව කුඩුකරගත් වැලි වගේම පුමයිස් (pumice) කියන ආග්නේය පාෂාණ වලින් දත් පිරිසිදු කරන්න භාවිතාකල බව සඳහන් වෙනවා. ඒ විතරක් නොවෙයි සමහර රටවල් කුඩුකර ගත ලුණුත් මේ සඳහා යොදාගෙන තියෙනවා. අපේ රටෙත් ඉස්සර මිනිස්සු අඟුරු භාවිතා කල බව අපි හොඳින්ම දන්නාවා නේ.

නවීන බටහිර විද්‍යාව දියුණු වීමත් සමගම තමයි අපූරු දත් බෙහෙත් භාවිතයට එන්නේ. අද වෙනකොට වෙළඳ පොලේ තියෙන දත් බෙහෙත් වර්ග දුටුවාම නම් අපට කීයටවත් හිතෙන්නේ නැහැ ඛණිජ ඒ සඳහා යොදාගන්නවා කියලා.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...