Wednesday, 8 July 2020
භූ සංචාරිතයට කදිම වවුල්පනේ ටුෆා ගුහාව ….!!!
The article is originally published on Vidusara, 08.07.2020.
ලෝකයේ ඉතා සුප්රසිද්ධ ගල් ගුහා බොහොමයක් නිර්මාණය වී ඇත්තේ හුණුගල් තුලයි. හුණුගල් යනු අවසාදිත පාෂාණයක් වන අතර එහි රසායනික සංයුතිය කැල්සියම් කාබෝනේට් වෙයි. මැග්නීසියම් කාබෝනේට් ද එහි නැතුවා නොවෙයි. මලයාසියාවේ "බටු ගුහා" එවැනි ආකාරයට හුණුගල් තුල බිහි වූ ගුහා සමුහයකි. ලෝකයේ ගැඹුරුම ගුහාව ලෙස සැලකෙන කෘබේරා ගුහාව පවා නිර්මාණය වී ඇත්තේ හුනුගලක් තුලයි. නමුත් මෙයට වඩා ගැඹුරු ගුහාවක් සොයාගත් බව ගුහා ගවේෂක බිල් ස්ටෝන් 2017 දී කල ප්‍රකාශයත් සමගම එම වාර්තාව බිඳ වැටෙන බව පෙනී යයි. එම ගුහාව හමුවන්නේ මෙක්සිකෝවෙනි. ගුහාවේ නාමය වන්නේ චීව් (Cheve) වන අතර ගැඹුර වන්නේ සැතපුම් 1.6 කි. නමුත් කෘබේරා ගුහාවේ ගැඹුර සැතපුම් 1.3 පමණ වෙයි. කෙසේ වෙතත් මේ ගුහා දෙකම නිර්මණය වී ඇත්තේ හුණුගල් තුල වීම විශේෂත්වය වෙයි. මින් පහැදිලි වන්නේ ගැඹුරු සහ විශාල ගුහා නිර්මාණය වීම සඳහා පාෂාණය බලපාන බවයි. විශේෂයෙන්ම අවසාදිත පාෂාණයක් වන හුණුගල වල දුර්වලතාවය මේ සඳහා හේතුවන බව නිගමනය කල හැක.
හුණුගල ඉතා පහසුවෙන් ජලයේ දියවීම හේතුකොටගෙන මෙවැනි භූ රූපණ නිර්මාණය වන බව අප අවබෝධ කරගත යුතුය. බොහෝවිට මතුපිට ගලා යන ජලය ආම්ලික වන්නේ කාබන්ඩයොක්සයිඩ් මෙන්ම කාබනික ද්රව්යයද එහි දියවීම නිසායි. එනිසා ජලයේ ආම්ලික තත්වය වැඩිවන අතර එනිසා එහි බලපෑම හේතුකොටගෙන කබෝනේට දියවීම ආරම්භ වේ. වායුගෝලයේ කාබන්ඩයොක්සයිඩ් සාන්ද්රණය වැඩිවීම ද මේ තත්වය උග්‍ර කරන්නට හේතුවන බව අමතක නොකළ යුතුය. එනිසාම කබෝනේට් පාෂාණ පමණක් නොව සිලිකේට් පාෂාණවල ඉරණම ද තීන්දු කරන්නට හේතුවන බව මෙහිලා සඳහන් කල යුතුය.
භූ සංචාරිතයේ මෙවර අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ සුප්රසිද්ධ කාබෝනේට් ගුහාවක් වෙතයි. ඒ වෙන කිසිවක් නොව ඔබ හොඳින් දන්නා "වවුල්පනේ ගල් ගුහාවයි". කහවත්ත නගරයෙන් හැරී කිලෝමීටර හතළිහක් පමණ බුළුතොට රක්වාන කඳුපන්තියේ මුණ ගැහෙනා මේ අපූරු ගල්ගුහාව ඔබ තවමත් දැක බලාගෙන නොමැතිනම් වහාම ඒ සඳහා යොමු විය යුතුමය. සිත සනහන අපූරු ඉසව්වක පිහිටි මේ ගුහාව දැක බලා ගැනීමට දිවයිනේ බොහෝ පිරිසක් එන බව අමතක නොකළ යුතුය.
ශ්‍රී ලංකාව භූ විද්යාත්මකව ගත්කල නිර්මාණය වී ඇත්තේ විපරීත පාෂාණ වලිනි. එනිසා රටේ බහුතරයක් ප්රදේශවල හුණුගල් (අවසාදිත පාෂාණ) හමු නොවේ. හමුවන්නේ නේ නම් ඒ යාපනය ප්රදේශයේ සහ මන්නාරම ප්රදේශයේ බව සඳහන් කල යුතුය. විපරිත හුණුගල් හඳුන්වන්නේ කිරිගරුඬ යන නමිනි (Marbal). නමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම වවුල්පනේ ගුහාව එලෙස කිරිගරුඬ පාෂාණයක නිර්මාණය වූ ගල් ගුහාවක් නොවන බව අමතක නොකල යුතුය. මේ සුවිශේෂී නිර්මාණය සිදුවුයේ කෙලෙසකදැයි අප මෙහිදී සාකච්චා කරමු.
පවතින පාරිසරික තත්වයේ සිදුවන වෙනස්කම් නිසා වායුගෝලීය කාබන්ඩයොක්සයිඩ් සාන්ද්‍රණය වෙනස්වන අතර එනිසා වැසි ජලයේ ආම්ලිකතාවය අඩුවැඩි විය හැක. මේ තත්වය මත වැඩිවන අම්ර්ලිකතාවය හමුවේ කබෝනෙට් පාෂාණ දියවන අතර ඇතිවන ජල පහර ඔස්සේ මෙම රසායනය වෙනත් වෙනත් ස්ථාන ප්‍රවාහනය විය හැක. එලෙස ප්‍රවාහනය වන කබෝනෙට් රසායනය සුදුසු කල්හි නැවත අවක්ෂේපණය වන අතර එවිට ඝන කැල්සියම් කබෝනේට් බිහිවෙයි. එහිදී ක්‍රමයෙන් ඝන බවට පත් වීමේදී කැල්සයිට් සහ මැග්නසයිට් ඛනිජ බිහිවන අතර එය නව පාෂාණයක් නිර්මාණය කිරීම සඳහා හේතු වෙයි. ජල පහරක දෙපැත්තේ මෙලෙස මෙම ඛනිජය තැන්පත් වීමෙන් ක්‍රමයෙන් ජල පහර වට කරමින් ගුහාවක ආකාරයට බිහි වීම සිදුවේ.
ආම්ලික වැසි ජලය භූ අභ්‍යන්තරයේ වූ කාබනේට් පාෂාණයක් දියකරන්නට සමත් වූ විට දිය වූ රසායනය භූ අභ්‍යන්තර කුහර, කුස්තුර සහ පැලුම් ඔස්සේ ගමන් කර එලියට පැමිණෙන්නේ ජල උල්පතක් ලෙසයි. භූ අභ්‍යන්තරයෙන් එකවරම එළියට පැමිණීම ජලයේ කාබනික සාන්ද්‍රණය වෙනස්කරන්නට හේතුවන අතර එය එකවරම කබෝනෙට් අවක්ෂේප කරන්නට හේතුවෙයි.
ඉහත කී ආකාරයේ පැහැදිලි කිරීමක් "වවුල්පනේ ගුහාව" නිර්මාණය වීම සඳහා යොදා ගත හැක. බොහෝ ඈත ස්ථානයක පවතින කිරිගරුඬ පාෂාණයක් දියවීමෙන් භූ අභ්‍යන්තරයෙන්ම රැගෙන ආ කාබනික ජලය උල්පතක් ලෙසින් එළියට පැමිණීමෙන් ඇති වූ තත්වය හමුවේ අවක්ෂේපණය වූ කාබනේට වවුල්පනේ ඇතිකරන්නට හේතු වී ඇති බව පෙනී යයි. භූ විද්‍යත්මකව මෙවැනි ගුහා හඳුන්වන්නේ ටුෆා (tuffa ) ලෙසයි. උල්පතෙන් ඇති වූ ජල පහර වටකරමින් අවක්ෂේපණය වූ කාබනේට ගුහා ආකාරයේ ව්‍යුහයක් නිර්මාණය කරන්නට හේතු වූ අතර වරින් වර වෙනස්වන ජලපහරේ හැසිරීම ද ගුහාවේ හැඩය තීරණය කරන්නට හේතුවන්නට ඇත. වරින් වර වෙනස් වූ ජල පහරේ ගමන් මග පෙන්නුම් කරමින් ගුහාවේ බිත්ති වල තැන්පත් වූ බෝල ගල් සහ පෙබලු ඉතා හොඳින් දැක ගත හැකි වීම ඉහත කරුණ මනාව සනාථකරන බව මෙහිලා සඳහන් කල යුතුය. ඉතා දිගුකාලයක් තිස්සේ සිදු වූ මෙම අපුරු භූ ක්‍රියාදාමය චාතුර්ත අවධියේ සිදුවූවක් ද ඉන් ඔබ්බට රැගෙන යා හැකිදැයි තවමත් නිශ්චිත කරුණු ගොනු වී නොමැති බව කිව යුතුය. මෙම අවක්ෂේපනයත් සමග ගොනු වූ සමහර සතුන්ගේ ද ශාකවල ද කොටස ප්‍රාග් ජීව ධාතූන් ලෙස මෙහි තැන්පත් වී ඇති බව නිසැකය.
මා වරෙක පැවැසූ පරිදි ගුහා සංචරණය ආදී කාලික පුරුද්දක් බව අමතක නොකළ යුතුය. එනිසා මෙම අපුරු භූ ව්‍යුහයද භූ සංචාරිතයක් කරගන්නට මෙරට බොහෝ ජනතාව උත්සාහ කරන බව පෙනී යයි. නමුත් ඒ සඳහා යොමු වීමේදී බොහෝ කරුණු කාරනා පිළිබඳව අපගේ අවධානය යොමු විය යුතුය. මෙවැනි භූ ව්‍යුහයන් විවිධ ජිවින්ගේ වාසභූමි බවට පත් වී ඇත. එනිසා ඔවුන්ගේ දිගුකාලීන පැවැත්ම තහවුරු කල යුතුය. මිනිසාගේ ඇඟිලි ගැසීම් නිසා සැමවිටම යහපත් පරිසරය අයහපත් වන බැවින් ගුහා සංචරණය නිසි ක්‍රමවේදයකින් සහ පාලනයකින් සිදු විය යුතුමය. එනිසා තවමත් මෙරට එවැනි තත්වයක් ඇති වී නොමැති නිසා ගුහා සංචරණය ප්‍රචලිත කිරිම පිළිබඳව අප දෙවරක් සිතිය යුතුය.
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
Subscribe to:
Post Comments (Atom)
පත්මෙගේ භූ විද්‍යා අන්දර 07 කිරින්ද එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...
-
භූ විද්‍යාව යනු කුමක් ද ? 04.11.2015 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී...
-
පරණම පරණ මිනිස්සු භාවිතා කල පරණම ලෝහය ; තඹ This article is originally published on Divaina, 16.02.2020. වසර දස දහසක් පමණ පැරණි ...
-
වෙරළ භූ රූපණය 2 වෙරළ යනු කුමක්දැයි ඇසුවහොත් ඒ සඳහා ඔබ දෙන පිළිතුර කුමක්ද ? බොහොම සරලව පැවසුවහොත් ගොඩබිමත් සාගරයත් එක්කරන මායිම වන්නේ ව...
No comments:
Post a Comment