Monday, 21 September 2020

කන්දේ අසිරිය සොරාගන්නා වත්මන් සංවර්ධන කටයුතු. 

This article is originally published on Vidusara, 16.09.2020.

භූ සංචාරිතය 27

මෙරට කඳුකරය තරම් අපූරු චමත්කාර ජනක තැනක් ඇත්තේ නැත. එය එතරම් සුන්දරය. ඉතා අපූරු සංචාරක ස්ථාන රාශියක් නිර්මාණය වී ඇත්තේ නම් ඒ කඳුකරයේ බව අප අමතක නොකළ යුතුය. කඳුකරය භූ විෂමතාවය ගෙන එන්නේ දුටු දුටු ස්ථානයන්හි අලංකාරනයකි. එනිසාම මෙවර භූ සංචරිතය ගෙන එන්නේ කඳුකරයේ භූ අසිරියට සිදුවන ඉතා ප්‍රභල බලපෑම් කිහිපයක් ගැන සාකච්චා කරන්නටය. මන්දයත් කඳුකරයේ අසිරිය විඳින්නට නම් එය අප ආරක්ෂා කර ගත යුතුය. ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරගන්නට නම් එහි සිදුවන්නේ කුමන ආකාරයේ ව්‍යසනයක් ද අප තේරුම් ගත යුතුය. භූ සංචාරිත ස්ථාන රැකගැනීම මෙම ලිපි පෙළේ එක් අරමුණකි.

භූ විෂමතා කලාප කදිමට දැක බලා ගන්නට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මහාචාර්ය කුරේ මහතා එතුමාගේ පොතේ සඳහන් කරන්නේ හපුතලේ බවයි. හපුතලේ පහුකර පල්ලම බහින්නට සුදානම් වන්නට පෙර ඉදිරියෙන් ඇත්තා වූ භූ දර්ශනය ඔබ දැකගෙන ඇත්තේ නම් එහි චමත්කාරජනක බව ගැන අමුතුවෙන් විස්තර කල යුත්තේ නැහැ. “Geology of Ceylon” නම් වූ ඒ සාරගර්භ පුස්ථකය මෙරට භූ විද්‍යාවට සම්බන්ධ විද්වතෙකු විසින් බිහිකරන ලද මහාර්ඝ සම්පතකි. එවන් වූ දුරදර්ශි ග්‍රන්ථයක් නැවත මෙරට බිහි නොවනු ඇති බවයි මාගේ හැඟීම වන්නේ. එවන් වූ දක්ෂයකන් අද නොමත්තේමය. මෙම පුස්ථකය සාමාන්‍ය අයෙකුට වුව කියවා තේරුම් ගත හැකි වීම එහි වූ එක් විශේෂත්වයක් වන්නේය.

මෙරට අඩතැනි ත්‍රිත්වය එකවර බලා ගත හැක්කේ හපුතලේ සිටයි. ඔබ පයගහගෙන සිටින්නේ උඩම වූ අඩ තැන්නේ වන අතර ඉන් පහලින් දැක ගත හැකි මධ්‍යම අඩ තැන්නක් ඉන් ඔබ්බෙන් වූ පහලම අඩ තැන්නත්ය. වලාකුළු අතර කිමිදෙන්නටත් ක්ෂණිකව ඔබව මිදුම් සුදු සේලයෙන් වෙලාගන්නටත් හැකියාව මේ ස්ථානයේදී ඔබට හැකි වන්නේය. අහස ඉතා පැහැදිලි වූ විට ඉහත සඳහන් කල අඩ තැනි කදිමට දැකබලා ගත හැකිය. ප්‍රදේශයේ ජනයා පවසන ආකාරයට ඉතා පැහැදිලි පරිසරයක් නිර්මාණය වූ විට පහලම අඩ තැන්නෙන් මායිම වන මුහුද ද දැක බල ගත හැකි බවයි.

මෙවන් වූ සුන්දර පරිසරයක් කඳුකරය අපට උරුම කර දෙද්දී වර්තමානයේ එයට උසුලාගත නොහැකි බරක් සහ වේදනාවක් අප ඇති කරමින් සිටිනා බව බොහෝ දෙනකු තම කල්පනාවට ගන්නේ නැත. මේ වන විටත් කඳුකරයේ බොහෝ අපූරු ස්ථාන විනාශ වීමට පටන් ගෙන ඇති බව මා ඔබට අමුතුවෙන් වටහා දියයුතු නොවේ. වැඩිවන ජනගහනයේ අධික බර මෙරට කඳු රටට දරා ගැනීමට නොහැකි වී ඇති බව ඉතා පැහැදිළිව පෙනෙනා සත්‍යකි. ජනගහනයේ අධික බර ඇතිකරන්නේ අප සිදුකරන්නා වූ විවිධාකාරයේ සංවර්ධන ක්‍රියාදාමයන් හරහා බව අප අමතක නොකළ යුතුය. වැඩිවන ජනගහනය උදෙසා අවශ්‍ය පහසුකම් සැපයීම සඳහා අත නොගැසිය යුතු වූ කඳුකරයේ ඇති සංවේදී කලාප පවා මේ වනවිට තර්ජනයට ලක් වී ඇත. ඉතා කුඩා කුඩා ඉඩම් කට්ටි වෙන්කර ගන්නාවූ ආත්මාර්ථකාමී ජනයා කන්ඩි කපා දමමින් සිදුකරන්නා විනාශය අදවන විට සමස්ත කඳුකරයම අස්ථායි කරන්නට හේතු වී ඇති බව ඉතා පැහැදිළි කරුණකි.

මේ බව අපට කියා පාන්නේ වරින් වර ඇදහැලෙන වැසි ඇලි සමග අස්ථාවර වන භූමින් බව අප අමතක නොකළ යුතුය. ප්‍රධාන නාය යාම් වලට අමතරව මෙලෙස ඇතිවන කුඩා කුඩා ස්ථාන වල භූ අස්තාවරයන් ඉතා දරුණු ප්‍රතිඵල අත්කර දෙන බව බොහෝ දෙනෙකු නිසි පරිදි වටහා ගෙන නොමැති බව ඉතා කණගාටුවෙන් පැවසිය යුතුය. නාය යාම් සොබාවික සංසිද්ධියක් වුව කන්ඩි කඩා වැටීම් නම් සොබාවික නොවේ. එය අප විසින්ම ඇතිකර ගත්තෙකි. නිසි පරිදි ස්ථානීය පැවැත්ම තහවුරු නොකර සිදුකරන සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ සුන්දරත්වය පමණක් නොව ස්ථාවරත්වය ද තර්ජනයට ලක් වී ඇත.

ප්‍රාමාණික විශ්ලේෂණ සිදු නොකර කරනා සංවර්ධන ව්‍යපෘති සැමවිටම පිළිකා වැනිය. ඒවා කෙදිනකවත් මානව සහ පාරිසරිකව හිතවාදී වන්නේ නැත. වරෙක මා සහභාගි වූ සම්මන්ත්‍රනයක දී මා ගෙන් විමසුවේ කාලගුණික විපරියාසයට අනුගත වීමට මෙරට සිදුකරනා නාය භුමි ප්‍රති ස්ථායිකරණය (Landslide Mitigation) ගැන මාගේ අදහස කුමක් ද යන්නයි. මා ගත් කටටම පැවසුවේ එවැනි ව්‍යපෘති කාලගුණික විපරියාසයේ අවබලපෑම සමනය කරන්නට ගෙන ඇති පියවරයන් නොවන බවයි. මා අදත් සිතන්නේ එයමය. එවැනි විහිළුවක් මෑත කාලීනව දැක නැත්තේමය. නාය යන්නේ කන්ඩි කඩා වැටෙන්නේ කාලගුණික විපරියාසය නිසා යයි පැවසීම තරම් තවත් විහිළුවක් ඇත්තේ ද යන්න සැකය.

ඉතා ගැඹුරෙන් විශ්ලේෂණය කල විට පැහැදිලිවන කාරණය වන්නේ නිසි පරිදි සිදුකලයුතු භුමි පරිහරණ රටාවේ කළමනාකරණයක් සහ සංරක්ෂණය නොමැති වීම මේ සඳහා හේතුවන බවයි. බොහෝ භුමි පරිහරණ රටා ගැන දන්නා විද්වතුන් පමණක් නොව භූ දර්ශ ව්‍යාප්තිය ගැන දන්නා විද්වතුන් ද මෙරට විශ්ව විද්‍යාල වලින්  බිහිවන බව අප අමතක නොකළ යුතුය. කෘෂිකාර්මික කටයුතු ගැන දන්නා විද්වතුන්ද මෙරට නැත්තේ නොවේ. ජල කළමණාකරණය ගැන දන්නා විද්වතුන් ද මෙරට නැත්තේ නොවේ. පාංශු කළමණාකරණය ගැන දන්නා විද්වතුන්ද නැත්තේ නොවේ.  නගර සැලසුම් කරුන්ව ද මාර්ග නිර්මාණය සඳහා ම ඇපකැප වූ විද්වතුන් මෙරට ඕනා තරම් ඇත. එසේ නම් අප මෙරට කඳුකරයට සිදුකරමින් සිටින්නේ කුමක්දැයි යන්න පැහැදිලි නැත.

අස්ථාවර භූමින් ස්ථාවර වන්නේ නාය ගිය පසුය. ඉන් මත්තේ නැවත විශාල අස්ථාවර වීමක් අපේක්ෂා නොකළ හැකිය. එසේ නම් මාගේ ගැටලුව වන්නේ අස්ථාවර වූ භූමීන් නාය ගිය පසු ස්ථායිකරණට ලක් කරන්නේ මන්ද යන්නයි.  අප විසින් බලෙන් සිදුකල සංවර්ධන කටයුතු හේතුවෙන් කඳුකරයේ විවිධ ස්ථාන මෙලස ස්ථාවර වී ඇත. මහාමාර්ග විශාල කිරීමේදී පමණක් නොව විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී ද පවා අප නිසි පරිදි අදාල තාක්ෂණික කරුණු කාරණා ගැන සැලකිලිමත් වන්නේ නැත. එනිසාම අද වන විට භුමි ස්ථායිකරණය කෘතීමව ඇතිකරන මට්ටම ට පත් වී ඇත. එලෙස සිදුකරනා අස්ථාවරත්වයන් එසේ නොකළේ නම් වර්ෂාව හමුවේ නාය ගොස් ස්ථාවර වන බව පැහැදිළි කරුණකි. එසේ නම් අප විශාල මුදල් වය කර එවන් ස්ථාවර වූ භූමින් ස්ථාවර කරන්නේ මන්ද? අප ප්‍රතිස්ථායිකරණයට ලක් කල යුත්තේ අස්ථාවර භූමීන් නොවේද?


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

No comments:

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...